අරුණි ශපීරෝ‍ වෙතින්

රාජ්‍ය රහස් පිළිබඳ ආචාර ධර්ම

Posted in Uncategorized by arunishapiro on ජූලි 10, 2013

මේ සටහන ආශ්‍රය කරගන්නා “රාජ්‍ය රහස් පිළිබඳ ආචාර ධර්ම” යන සිරස්තලයෙන් බෙන් ඕ’නීල් විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපිය මෙතැනින් කියවත හැකියි.

ස්නෝඩන් විසින් විසිල් ගසා හෙළිදරව් කරන ලද ජාතික ආරක්ෂක ඒජන්සියේ ලියකියැවිලි එසේ බෙදා හැරීමට ඔහුට අනුමැතියක් නොලැබුනාය යන්න ඔහුට එරෙහිව ඇති චෝදනාවකි. ආණ්ඩුවක අපරාධ ක්‍රියාවන් ගැන සාක්ෂි හෙළිදරව් කරන්නට ආණ්ඩුවේ අවසරය ලැබිය යුතු යැයි එම චෝදනාව කියා සිටියි.

ආණ්ඩුවේ දේපල සොරකම් කළ ස්නෝඩන්ගේ ක්‍රියාව දිහා බලන්නේ, අපරාධයක දී දේපල සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය නීති වලින් විමර්ශනය කරද්දී මෙන් නම්, එවිට පෙනී යන ආකාරය මෙසේය. යම් පුද්ගලික සමාගමක් ඔවුන්ගේ දේපල භාවිතයෙන් යම් නීති විරෝධී ක්‍රියාවක නිරත වෙනවා නම් අපරාධය විමර්ශනයේ දී ඒ පුද්ගලික සමාගමට ඒ දේපල අහිමි වේ.

අපරාධය විමර්ශනය කරන්නා, පුද්ගලික සමාගම විසින් අපරාධයට භාවිත කළ දේපල, උදාහරණයක් ලෙසට අනුන්ගේ දේපලකට ඇද හැලුවා යැයි කියන විෂ අපද්‍රව්‍ය බැරල් යැයි සිතමු, එවිට ඒවා රාජසන්තක කරයි. එහි දී පුද්ගලික සමාගම ඒ උපකරණ තමන්ගේය කියා ඔප්පු කරන්නට ඒවා මිල දී ගත් රිසිට් පත් පෙන්වන්නේ ද එයින් ඔවුන්ව ප්‍රෝක්ත අපරාධයේ නිරත වූවා යැයි කෙළින් ම පෙන්වා දෙන්නට සාක්ෂි ලැබේ. යම් අපරාධයක සාක්ෂි හැටියට ලියකියැවිලි ඇත්නම් එහි දී ද සිද්ධ වන්නේ මෙයයි. විමර්ශනය කරන්නාට වැරදිකරු විසින් අපරාධී වරදක් කළා යැයි පෙන්වන්නට නීත්‍යානුකූලව ඒ ලියකියැවිලි පෙන්වත හැකියාව ලැබේ.

එහි දී සාමාන්‍යයෙන් අයිතිය ඇත්තේ කාටදැයි යන්න සැලකිල්ලට පාත්‍ර වෙන්නේ නැත. පුද්ගලික නිසා යැයි විශේෂත්වයක් නොවනවා සේ ම ආණ්ඩුවේ නිසා යැයි දේපල අයිතියට සුවිශේෂ තත්වයක් එහි දී නොලැබේ. දේපල අයිතිය ගැන වූ සාමාන්‍ය සිද්ධාන්ත අභිබවා එය නොයයි.

පුද්ගලික සමාගමක් කරන ලද අපරාධයක දී සිය දේපල මිල දී ගෙන අයිතිය කියන්නේ ඔවුන්ගේ මුදල් වලිනි. එහෙත් ආණ්ඩුවකට තමන්ගේය කියා මුදල් නැති නිසා (ආණ්ඩුවේ මුදල් යනු මහජනතාවගේ මුදල් බව බොහෝ අය අමතක කරති.) ආණ්ඩුවකට දේපල වලට අයිතියක් කියත හැකියාව ඊට වඩා දුර්වල වූවකි.

නීති විරෝධී ලෙසින් විෂ අපද්‍රව්‍ය බැරල් වෙනත් කාගෙන් හෝ හොරා නොගෙන මිල දී ගත්තා වන්නට බොහෝ ඉඩ ඇත. නමුත් රජයේ ආයතන පවත්වා ගෙන යන්නේ බදු ක්‍රමයෙන් බලහත්කාරයෙන් රටේ වැසියන් ගෙන් උදුරා ගන්නා සම්පත් වලිනි. ඉතින් පුද්ගලික සමාගමක අය ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ මුදල් භාවිතා කරද්දී ආණ්ඩුවක අය නීති විරෝධී ක්‍රියාවන් වල දී භාවිතා කරන්නේ මහජනතාව වෙතින් බලහත්කාරයෙන් උදුරා ගත් බදු මුදල් ය.

බලහත්කාරයෙන් උදුරා ගත් බදු මුදල් යැයි කියන්නේ ඇයි? හිරේ නොයා දඬුවම් නොවිඳ බදු නොගෙවා ඉන්නට හැකි නම් කැමැත්තෙන් බදු යැයි කියා ආදායම් බදු දෙපාර්තමේන්තුවට තමන් උපයා ගත් වත්කම තෑගි කරන අයෙක් ලෝකේ කොතැනකින් වත් සොයාගත නොහැකි නිසයි.

මේ නිසා ආණ්ඩුවේ “කොටස් ආයෝජකයන්ට” නොහොත් “බදු ගෙවන අයට” දිගින් දිගටම ආණ්ඩුවේ අපරාධ කටයුතු නඩත්තු කරන්නට බලහත්කාරකමක් සිද්ධ වේ. ආණ්ඩුව අපරාධ කරනවා යැයි කියා සහභාගී නොවී සිටීමට නීතිමය අවසරයක් ලැබෙන්නේ නැත.

මුලින් ම, ආණ්ඩුවක් විසින් එහි දේපල තම අයිතිය යැයි කීම අතිශයින් ම සැක කටයුතු වූවකි. මෙය වඩාත් තීව්‍රර වන්නේ තමන්ගේ යැයි කියන මේ දේපල යොදාගෙන ආණ්ඩුව විසින් කරන කටයුතු එහි කොටස් ආයෝජකයන්ගෙන් හෙවත් බදු ගෙවන අයගෙන් වසන් කරන්නට යොදා ගැනෙද්දී ය. ඊ ළඟට මේ ලියකියැවිලි හෙළිදරව් කිරීම නවත්වන්නට ඒවාට තමනට අයිතියක් ඇතැයි කියන්නේ ද, ඒ ආණ්ඩුව විසින් කරන අපරාධී ක්‍රියාවන් තවත් දිගින් දිගට ම කරගෙන යාමට ඇති උවමනාව නිසා යැයි කියද්දී දේපල අයිතිය තුන් ආකාරයකින් කප්පාදු වී ඇත.

පුද්ගලික අපරාධයක් කරන ලද්දෙක් දරුණු අපරාධයකට තමා සම්බන්ධ යැයි කියන සාක්ෂි වලට අයිතිය කියන්නට යෑම අස්වාභාවික ය. ඔවුන්ගේ අපරාධකාරී වරදකාරීත්වය ඔප්පු කරන සාක්ෂි වලට අයිතියක් නොකියන්නට ඔවුන් බොහෝ සෙයින් මහන්සි වනු ඇත.

තමන් කරන ලද අපරාධයක සාක්ෂි වලට තමන්ට අයිතියක් තියෙනවා යැයි කියන්නට ඉදිරියට එන්නේ මොන වගේ ප්‍රචණ්ඩවත් චණ්ඩියෙක් ද?!!!!!

ස්නෝඩන්ට විරුද්ධව ඇති අනෙකුත් චෝදනාව ඔහු ආණ්ඩුව විසින් ඒ ඒ ඒජන්සි අධීක්ෂණයට නිල වශයෙන් අවසර දුන් මාර්ග වලට ඔබ්බෙන් ගියා කියායි. මෙය විමර්ශනය කරද්දී ආණ්ඩුවේ වැරදි හැසිරීම සහ අපරාධී කටයුතු වාර්තා කළ යුත්තේ ඔවුන් විසින් ම හදාගත් නීති ඇති ආයතනයකටයි. එනම් ආණ්ඩුවේ අධීක්ෂණ ඒජන්සියට හා කොංග්‍රසයේ ඒ සඳහා ඔවුන් පත්කරගන්නා ලද කමිටුවටයි.

එහි දී ආණ්ඩුවේ අපරාධී කටයුතු ගැන වාර්තා කරන්නට යන සේවකයාට, “ඔබ කරන අපරාධ ගැන වාර්තා කරන්න කරුණාකරලා මට මොන පෝරම පුරවන්න අවශ්‍ය දැයි කියන්න,” යැයි ආණ්ඩුවෙන් ඉල්ලන්නට සිද්ධ වේ.

ස්නෝඩන් විසිල් ගහන්නට පෙර ජාතික බුද්ධි විමර්ශන අංශයේ සාමාන්‍යාධිකාරී ජෙනරල් ක්ලැපර් සහ කොංග්‍රස සභික ඩයාන් ෆයන්ස්ටයින් විසින් එහෙම වැඩක් සිද්ධ වෙන්නේ නැතැයි කියා සිටියහ.

ආණ්ඩුවක් විසින් ආණ්ඩුවේ සේවකයන්ට විසිල් ගහන මාර්ග හදා දීම යනු හොරුන්ගේ අම්මලා වෙතින් පේන අහන්නට යෑමකි.

එඩ්වඩ් ස්නෝඩන් යනු ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු බලන මෙහෙයුම ගැන විසිල් ගැසූ ප්‍රධාන අය අතර සිටින පස්වැන්නා වෙයි. අනෙක් අය ගත් උත්සාහයන් අනුව යමින් ඔහු ආණ්ඩුව විසින් අනුමත කරන ලද මාර්ග වලින් විසිල් ගහන්නට ගියේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ක්‍රමානුකූලව තොරතුරු එකතු කර සියල්ලම ජනමාධ්‍යයට දී තොරතුරු කෙළින් ම මහජනතාව අතට පත් කිරීමයි. මේ නිසාම අනෙක් අයට නොහැකි වූව ඔහු කරන්නට සමත් විය. මේ නිසාම මීට කළින් අනෙක් තුන් දෙනෙක් ඉදිරිපත් කළ තොරතුරු සත්‍ය බව දැන් දැනගන්නට ලැබී ඇත.

නිව් යෝර්ක් හි FBI නිලධාරියෙක් වූ ජෝසෆ් පිස්ටෝනෙ නොහොත් ඩොනී බ්‍රැස්කෝ නිව් යෝර්ක් හි බොනානො අපරාධ පවුලට රහසිගතව එකතු වෙද්දී ඔහු වසර හයක් එහි පහත මට්ටමේ තරාතිරම් වල මාෆියා සාමාජිකයන් ඇසුරු කළේය. මාෆියාවේ රහස් රකින්නට නිහඬ බවින් ඉන්නට ඔහු පොරොන්දු වූ බවට කිසිත් සැකයක් නැත.

ඉතින් නීති විරෝධී සංවිධානයේ ක්‍රියා කලාපයන් හෙළිදරව් කරද්දී ඔහුගේ ඒ ක්‍රියාව කිසිම ආකාරයකින් නීත්‍යානුකූල නොවේ යැයි සැලකුනේ ද නැත. රහස් රකිනවා යැයි මාෆියාවට දුන් පොරොන්දු රහස් සොයන්නට යන අරමුණෙන් යුතුව දුන් නිසා එය නීත්‍යානුකූල වශයෙන් මෙන්ම ආචාර ධාර්මික ද වශයෙන් ද අනුගම්‍ය (binding) නොවේ.

තමන් ගැන තොරතුරු හෙළිවුනාම මෙහි දී ආණ්ඩුව විසින් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. අපරාධ කල්ලියකට රිංගා ඔවුනට බොරු පොරොන්දු දී රහස්‍ය තොරතුරු ආරක්ෂා කරනවා යැයි කියමින් එකතු කරගත් සාක්ෂි වලින් අපරාධකරුවන්ව අල්ලා ගෙන දඬුවම් දිය හැකි යැයි කියන ආණ්ඩුව තමන් වැරදි කරද්දී පමණක් එසේ කරන්නට වෙනත් කිසිවෙකුට නොහැකි යැයි කියයි.

මෙහි දී එය කළ නොහැකි යැයි කියනවා පමණක් නොව ආණ්ඩුව ඒ වැරදි ගැන සාක්ෂි එකතු කිරීම අපරාධයක් යැයි ද කියයි.

නීතිය ගැන ආණ්ඩුවේ රෙගුලාසිකරණයෙන් බැහැරව බැලිය යුතු වෙන්නේ මේ නිසයි. නැත්නම් ෆෙඩ්රික් බැස්ටියාට් කියා ඇති ලෙසින් “සමාජයේ යම් පිරිසක් මංකොල්ලය සිරිතක් කරගත් පසු කාලයාගේ ඇවෑමෙන් ඔවුන් තමන්ගේ වාසියට ඒ සඳහා නීති පද්ධතියක් හදාගෙන, ඒ නීති උතුම් යැයි කියන සදාචාර පද්ධතියක් ද අනුමත කර ගනිති.”

විසිල් ගහන එඩ්වඩ් ස්නෝඩන් වැන්නවුන් කටයුතු කරන්නේ ද වෙනත් ඕනෑම රහස් පරීක්ෂකයෙක් කටයුතු කරන්නා සේ ම ය. යම් අපරාධයක් ගැන සාක්ෂි සොයා එය මහජනතාවට දැන්වීමයි.

මේ නිදහස් ප්‍රකාශන අයිතිය සමඟ සිය කටයුතු කරගෙන යෑම ජාතික ආරක්ෂක ඒජන්සියට ගැටළුවක් නම් එහෙනම් එවිට එම ඒජන්සියේ ක්‍රියා කලාපය තමයි සත්‍ය ප්‍රශ්නය.

ආශ්‍රිත ලිපිය අවසානයේ දී ලේඛකයා මතක් කර දෙන්නේ නිදහස අගයන අපි බොහොමයක් දන්නා කාරණයකි. දැන් බොහෝ කාලයක සිට, ආදායම් බදු දෙපාර්තමේන්තුවක් පිහිටුවන්නට අවසර දීමත් සමඟින් ආරම්භ වී ඔබාමා සෞඛ්‍ය පනතෙන් මංකොල්ලකන සිරිත දිගින් දිගට ම ගෙන යන ඇමෙරිකන් උසාවිය ඇමෙරිකන් ආණ්ඩුව නීතියේ රීතියට අනුව කටයුතු කරන්නේ දැයි විමසීම නවතා දමා ඇති බවයි.

එහෙත් හොරකම, අයෙකුට වලංගු ලෙසින් සත්‍යයෙන් ඇති දේපල අයිතිය සහ ගිවිසුම් යනාදී නීති සංකල්පයන් ගැන නිවැරදි සිද්ධාන්ත දැන ගන්නට හා කතාබහ කරන්නට කැමති අය, මේ සිද්ධිය ගැන දැඩි උවමනාවක් දක්වනු ඇත.

අපි උපයන සල්ලි බදු ලෙසින් බලහත්කාරයෙන් උදුරා ගෙන අපිව අපරාධකරුවන් කරනවාට අපි විරෝධය දක්වන බව කියන්නට මෙයින් හැකියාව ලැබේ. එහෙත් ඇමෙරිකාව ඔත්තු බැලුවා යැයි දෝෂාරෝපණය කරන බොහෝ ලෝක වාසීන් කිසිම ලෙසකින් පුද්ගලයෙක් උපයන මුදල් බදු ලෙසින් උදුරා ගැනීම නතර කරන්න යැයි අපරාධ කරන තම ආණ්ඩු වලට නොකියනු ඇත. 😀

ස්නෝඩන් තමනට එරෙහිව ගෙන යන ආණ්ඩු පාක්ෂිකයන්ගේ මඩ ගැසීම් සහ නීතිමය උත්සාහයන් වලින් ගැලවෙන්නට සමත් වුවහොත් එය අනාගත විසිල් ගහන්නන්ට ද මහජනතාවට සත්‍ය සේවයක් කළ හැකි යැයි පණිවුඩයක් ලබාදෙයි. ඔහුට යම් අනතුරක් වුවහොත් එයින් ද බෙදා හැරෙන්නේ පණිවුඩයකි. මේ සිද්ධිය ආණ්ඩුවක් වගකිව යුතු බවකින් තබාගන්නට කැමති සැමට වැදගත් වූවකි.

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වෙළඳපොල ක්‍රමයක විසිල් ගසන්නට කැපවීම යනු ඒකීය පුද්ගලයෙකුට වෙනසක් කරන්නට හැකියාව ඇතැයි යන්න ගැන මූලික විශ්වාසයක් තබා ගැනීමකි. වරද කිරීම සම්පූර්ණයෙන් සමාජයකින් අතු ගා දමන්නට නොහැකියි. එහෙත් සමාජ වගකීමෙන් යුතු අවංක පුරවැසියෙක් සමාජයේ යහපත වෙනුවෙන් කරන ක්‍රියාවක දී ඔහුව ආරක්ෂා කරන්නට විසිල් ගැසීමෙන් හැකිය.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Mangala said, on ජූලි 10, 2013 at 7:40 පෙ.ව.

    Good analysis. This is really not about the Snowden but it tells us what we should expect from government and what not.

  2. SilentSahan said, on ජූලි 10, 2013 at 10:20 පෙ.ව.

    අරුණි අක්කේ මෙන්න මේක බලන්න ඉඩක් ඇති වෙලාවක..
    එදිනෙදා ජීවිතය | : Edward Snowden – Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.

  3. jagath padmasiri said, on ජූලි 12, 2013 at 7:26 පෙ.ව.

    මෙතනදී මේ වැඩේ හොඳ පැත්තකුත් තියෙනවා
    මෙම ඔත්තු බැලීමේ වැඩ පිලිවෙල නිසා පරිගනක තාක්ෂනයට විශාල සේවයක් වෙනවා
    ලෝකයේ හොඳම OCR මෘදුකාංග, කටහඬ හඳුනාගැනීමේ මෘදුකාංග භාශා පරිවර්ථන මෘදුකාංග කෘතිම බුද්ධි මෘදුකාංග මෙම නිසා නිපදවෙන බව පැහැදිලියි
    අද අප පාවිච්චි කරන අන්තර්ජාලය සහ GPS තාක්ෂනය පවා හමුදා කටයුතු වලට නිපදවූ තාක්ෂනයන් බව අමතක නොකල යුතුයි

    එඩ්වඩ් ස්නෝඩන් ගේ විසිල් ගැසීමෙන් ඇමරිකා රාජ්‍යයට ලොකු බලපෑමක් වෙනවද කියන ගැටලුවත් මෙතනදී ගැටලුවක් තියෙනවා
    මට හිතෙන හැටියටනම් මෙයින් වියහැකි ලොකුම ප්‍රතිඵලය මෙම ඔත්තු බැලීමේ ඒකකය වසා දැමීම පමනයි නමුත් වෙනත් නමකින් මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට බැරි කමක් නෑ
    බොහෝවිට නිලධාරීන් කිහිප දෙනෙක්ට දඬුවම් දීමක් පමනක් සිදුවිය හැකියි
    මෙයින් google, face book වැනි ඇමරිකානු ව්‍යාපාර වලට දැනෙන බලපෑමක් වෙයිද? එයට විකල්ප ලෙස තෝරාගන්නා අන්තර්ජාල සේවා ආයතන බොහෝවිට ඇමරිකානු ආයතනම වියහැකියි
    මෙම සිද්ධිය නිසා කිසිවෙක් ඇමරිකාවට ආර්ථික සම්භාදක දමන්නේ නෑ
    ඇමරිකාවට ගුවන් තහනමි කලාප දමන්නේ නෑ ඇමරිකාවට එරෙහි සංවිධාන වලට ආධාර ලැබෙන්නෙත් නෑ
    එඩ්වඩ් ස්නෝඩන් ට මෙතරම් වත් පිලිගැනීමක් ලැබුනේ ඔසාමා මරාදමා ඇති නිසයි
    ඇමරිකා ජනගහනයෙන් බහුතරයක් (විශේෂයෙන්ම මුල් සංක්‍රමනිකයන්ගෙන් පැවත එන සුදු ජාතිකයන් අතර) මේ ගැන දක්වන ප්‍රතිචාරය ගැන දැනගන්නත් කැමතියි

    • arunishapiro said, on ජූලි 12, 2013 at 8:16 පෙ.ව.

      jagath padmasiri,

      ඔත්තු බැලීමක් තිබුණත් නැතත් හැමදාම යම් ආණ්ඩුවේ මැදිහත්වීමකට විරුද්ධව නිදහස ආරක්ෂා කරගන්න හැකි ක්‍රම සොයා ගිය අය ඇමෙරිකාව බිහි වූ දවසේ පටන් දකින්නට ලැබුණා.

      උත්පාදනය කෙසේ වූවත් පරිගණක තාක්ෂණය ආණ්ඩුවේ මැදිහත්වීම් නිසා නෙමෙයි සාර්ථකත්වයක් ලැබුවේ. සාර්ථකත්වයක් යනු පුරවැසියාට බදු බරක් පැටවෙන්නේ නැති, සතුට සොයා යන අනේක විධ මාර්ග නිවාස වල ගරාජ් තුලින් බිහිවීමයි. ලෝකයේ ආණ්ඩුවක් මැදිහත් වූ කිසිදු ව්‍යාපෘතියක් සාර්ථකත්වයක් අත්කරගෙන නැහැ. NSA හි මහා ඔත්තු බලන්නට කරන මහා වැයෙන් පරිගණක තාක්ෂණයට යහපතක් සිද්ධ වේ යැයි කීම රටක ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නා අයෙකුගේ ප්‍රකාශයක් වෙයි.

      //එඩ්වඩ් ස්නෝඩන් ගේ විසිල් ගැසීමෙන් ඇමරිකා රාජ්‍යයට ලොකු බලපෑමක් වෙනවද කියන ගැටලුවත් මෙතනදී ගැටලුවක් තියෙනවා// පැහැදිලි බලපෑමක් කරන්නට ඇමෙරිකන් වැසියන්ට රටේ ව්‍යවස්ථාව විසින් ප්‍රදානය කර ඇති නිදහස අගයන මා වැනි පුරවැසියන් නොකඩවා වෙහෙසන බව කියවන්න කැමතියි. රට යන අත වෙනස් කරගන්නට මේ කාලයේ දී දිනපතා එකතු වෙන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව සතුටින් දන්වමි.

      මුල් සංක්‍රමණිකයන් ගෙන් පැවත එන සුදු ජාතිකයන්ට යැයි කියා විශේෂ වූ දැක්මක් නැහැ. මේ ගැන රටේ සියළුම ජනතාව දක්වන ප්‍රතිචාරය කොටස් තුනකට බෙදන්න පුළුවන්:
      1. ඇමෙරිකන් නිදහස යන සංකල්පය, රටේ ඉතිහාසය සහ රටේ ව්‍යවස්ථාව වටහා ගත් අය.
      2. ඕනෑම රටක ආණ්ඩුවකට රටේ ආරක්ෂාව සපයනු පිණිස ඕනෑම බලපුළුවන්කාරකමක් කරන්නට අවසරය දෙන්නට කැමති අය.
      3. අපි ඇමෙරිකාවට ඇවිත් ඉන්නෙ ආර්ථික වාසි නිසා විතරයි කියන එහෙත් නිදහස නැත්නම් එයට ඉඩක් ද නොලැබෙන බව නොදන්න අය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: