අරුණි ශපීරෝ‍ වෙතින්

ලයිල් ලවෙට් අපි නරඹද්දී ඔහු අපිව නැරඹුවේය

Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2013

LyleLovett

අප නිවසේ සිට ඇවිදගෙන යා හැකි දුරක පිහිටන Freeman වේදිකාව මෑත කාලීන උත්සාහයකි. පටන් ගත් කාලයේ ගමෙන් ගමට යන සර්කස් සංදර්ශන පැවැත්වුණි. කළින් දවසක එල්විස් ප්‍රෙස්ලි අනුකරණය ද නරඹන්නට ගියේ එතැන දී තමයි. මේ වසරේ ෂෙරිල් ක්‍රෝ සංදර්ශනයේ ටිකට් විකිණී අවසන් වූයේ මිනිත්තු 10 ක කාලයක් ඇතුලත. මම හොඳටම දන්නෙ ටිකට් අලෙවිය පටන් ගත්තු මුල් මිනිත්තු දහය මට මිස් වෙච්ච නිසා.

ඉතින් ඊ ළඟට අපේ කුඩා ගමට පැමිණෙන වැඩියෙන් ම ප්‍රසිද්ධ සංගීත ශිල්පියා වූයේ ලයිල් ලවෙට්. 80 ගණන් වල දී සංගීත රචකයෙක් ලෙසින් වෘත්තිය ආරම්භ කළ ඔහු පැහැදිලිව ම අනෙක් අයට වඩා වෙනස් පන්නයක ගායකයෙක් සහ ගීත රචකයෙකි. වයස 55 ක් වන ඔහුට ඇමෙරිකාවේ වැඩියෙන් ම නියෝජනය වෙන වයස් කණ්ඩායමට තව බොහෝ කාලයක් යනතුරු සිය සංගීතය සපයන්නට හැකිවනු ඇත.

ඔහුගේ සංගීතය හැදෙන්නේ country, folk මෙන් ම විශාල බෑන්ඩ් කණ්ඩායමක් ගහන swing සහ සාම්ප්‍රදායික පොප් යනාදියෙන් වූ මිශ්‍රණයකින්.

ඇමෙරිකාවේ ජීමි බෆට් මෙන් මොහුට ද cult following යන්නෙන් හැඳින්වෙන අනුගාමිකයන් සිටිති. ජීමි බෆට් ද සිය සංගීතය හදන්නේ ඊනියා නොහොත් එසේ යැයි පෙනෙන එහෙත් එසේම නොවන කැරීබියන්, folk සහ රොක් මිශ්‍රණයකිනි. ඇමෙරිකාවේ තමන්ට ම ආවේණික වූ ශෛලියකින් සංගීතය හා ගායනය කරගෙන යන නිර්මාණශීලී කලාකරුවන් බොහොමයකි.

සන්ධ්‍යාව වැසිබර අඳුරින් පිරී තිබුණි. ලවෙට් ලෝලී ප්‍රේක්ෂකයන් අහස දිහා බලා ගෙදර නැවතුනේ නැත. සංදර්ශනය පටන් ගනිද්දී වැසි බිංදු දෙක තුනක් ඇද හැලෙන්නට වුව ද කිසිවෙක් පුටුවලින් නැඟිට්ටේ ද නැත. සිංදුවක් අවසන් වූ පසු ප්‍රේක්ෂකයන් දිහා බලා ඔහුටම සුවිශේෂී වූ හිනාවකින් සංග්‍රහ කළ ලවෙට් කියා සිටියේ වැසි බිංදු වැටෙන්නේ එකිනෙකාට ඈතින් ඈත බවයි. සන්ධ්‍යාව උණුසුම් බවින් වූවකි. වැසි බිංදු වලින් ලැබුනේ සුවදායක සහනයකි. වැස්ස කඩා නොවැටී වෙනතක ගියේය. ගිටාර් එකට තට්ටු කරමින් සිනාව පුළුල් කරගත් ඔහු අනතුරුව ටෙක්සාස් කාලගුණය ලබා දීම ගැන සංවිධායකයන්ට ස්තූති කළේය.

ආලෝක ධාරාවන් සියල්ල එල්ල වී තිබුනේ වේදිකාවට. ප්‍රේක්ෂකයන් සිටියේ කෙමෙන් කෙමන් පහත් වූ අඩ අඳුරේ ය. වතාවක් දෙකක් වේදිකාවේ ආලෝකය සිය ගිටාරයෙන් ප්‍රේක්ෂකයන් වෙතට පරාවර්තනය කළ ඔහු තමන් බලන්නට ආවේ කවුදැයි සොයා බැලීය. “ඔයාල හිතන්නෙ ඔයාල ආවේ අපිව නරඹන්න කියලා, ඒත් ඔයාල දන්නෙ නැහැ අපි ආවේ ඔයාලව නරඹන්න බව,” යැයි ඔහු සභාවට කීය.

පහත අමුණන විඩියෝවේ සිටින දැවැන්ත බේස් ගිටාර් එක ගහන වික්ටර් ක්‍රවුස්, ගිටාරය සහ මැන්ඩලින් ගහන කීත් සූ, ෆිඩල් එක ගැසූ ලූක් බුලා, සහ ඩ්‍රම්ස් වාදනය කළ රස් කන්කල් හඳුන්වා දෙමින් ඔවුන්ගේ තනිව ගයන වයන සංගීත ඇල්බම් ගැනත් සභාවට පවසා ඔවුන්ට වේදිකාවේ තනිවම වාදනයට ඉඩ ලවෙට් ලබා දුනි. අපේ ගමට ආවේ මේ හතර දෙනා පමණක් වුනත් ලවෙට් සංදර්ශන පවත්වන අනෙක් තැන්වල දී හේ විශාල බෑන්ඩ් කණ්ඩායම් යොදා ගනියි.

ඔහුගේ ගීත වලට යොදාගත් සමහර ව්‍යාවහාර මා නොදත්තෙමි. සභාව අත්පොළසන් නාදයෙන් සතුටින් විසිල් ගසමින් ප්‍රතිචාර දක්වද්දී සුදු අප්පුහාමි මට කණට කොඳුරා එහි අර්ථයන් පැහැදිලි කළේය. අඩ අඳුරේ වාසිය නිසා මගේ මුහුණ ලැජ්ජාවෙන් පිරී යනවා කිසිවෙක් දැක්කේ නැත. මේ “බේබි බූමර්” පරම්පරාවට අන්තිමට එකතු වූ අය අසික්කිත වචන නැති &#$%!* වචන සිංදු වලට දාලා.

ටයි කෝට් සූට් එකක් හැඳ ගායනය කරන ලවෙට් සාම්ප්‍රදායික නොවන්නේ ය!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: