අරුණි ශපීරෝ‍ වෙතින්

බොදු බල සේනා තහනම් පෙත්සමට එරෙහි විය යුත්තේ ඇයි?

Posted in Uncategorized by arunishapiro on ජූලි 12, 2013

972031_496775740407227_1985847237_n

බොදු බල සේනා තහනම් කිරීමට අත්සන් එකතු කරන පෙත්සමක් ගැන දැනගන්නට ලැබුණි. රාවණා බලය ද තහනම් කළ යුතු කියන අය ද ඉන්නා බව පෙනේ. එම තහනම් වලට විරෝධය පෑ යුතු වන්නේ මන්දැයි පහදන්නට මේ සටහන ලියමි. බොදු බල සේනාවට සහ රාවණා බලයට මම අකමැතියි. එහෙත් ඒවා තහනමට මම කැමති නොවන්නේ මන්දැයි නිදහස අගය කරන වුන් වටහා ගත්වා!!!!

පෙත්සමට අත්සන් කරන්න යැයි කියන අය එම අත්සන් ඉල්ලා සිටින්නේ බොදු බල සේනා සහ රාවණා බලය වැනි සංවිධානයන් කරනවා කියන නිදහස කප්පාදුව නැවතීමට සහ බහු ජාතික සංස්කෘතිය ආරක්ෂා කරගන්නට ය. ඊට ඔවුන් දකින පහසු ක්‍රියා මාර්ගය රජයේ තහනමක් ගෙන ඒමයි.

එනම් චණ්ඩින්ට වඩා බලවත් චණ්ඩියෙකු වීමට රජයට නීතියේ බලය පවරා දී රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්නට යැයි ඉල්ලා සිටීමකි.

යම් පුද්ගලයෙකුට හෝ ජන සංවිධානයකට නීතිමය තහනමක් පැනවීම නිසා පමණින් දැනටමත් නීති විරෝධී වූ අපරාධ ඔවුන් දිගින් දිගට ම කිරීම නවත්වන්නට සමත් වූ කිසිවෙක් හෝ කිසිම සංවිධානයක් ලොව නැත.

එහි දී සිද්ධ වෙන්නේ එළිපිට කරමින් සිටි අපරාධ දිගට ම කරගෙන යන්නට හොර රහසේ සංවිධානය වීමයි. ලෝක ඉතිහාසයේ මෙන් ම ලංකා ඉතිහාසයේ ද සුද්දන් කළ ද, සිංහලයන් කළ ද මෙය එසේම ප්‍රතිඵල ගෙන දුන්නකි. ඒ බව නොදන්නා අය ඒවා ගැන ඉතිහාසයෙන් හොයාගෙන කියැවිය යුතුයි.

තහනමක් ඉල්ලා සිටීමෙන් ඒ තහනම ඉල්ලන අය දැනටමත් පරාජය පිළිගෙන ඇත. නීතිමය තහනමක් ඉල්ලා සිටීම යනු අයහපත් දෘශ්ටිය යහපත් මඟකට හරවා ගන්නා ආකල්පමය සටන ජයගන්නට බැරිවුන පරාජිත බව කියා පාන්නයි.

යහපත් දෘශ්ටියකට පක්ෂපාතී වූවත් එය කුමක් දැයි කියාගන්නට බැරි වූ කල එයට ජයක් ලැබෙන්නේ නැත. ඉතින් ඊට ජය නොලැබෙන නිසා බලහත්කාරයෙන් ජයගන්නට නම් ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය බව මුග්ධතාවයෙන් යුත්තන් විශ්වාස කරති.

සටන් වදින්නේ කුමක් පිණිස දැයි තේරුම් බේරුම් කර නොගන්නේ ද, ඉල්ලන නිදහස යනු කුමක් දැයි වටහා නොගන්නේ ද, හැමදාම ඒ අයට පසු කාලයක දී අරයා නැත්නම් මෙයා “අපේ විප්ලවය පාවා දුන්නා,” යැයි හඬගාන්නට සිද්ධ වේ.

එය මුලින් ම ඇහුනේ ප්‍රංශ විප්ලවයෙන් පසුවයි. එදා පටන් අද දක්වා, බියෙන් තැතිගත් මිනිස්සු මුග්ධතාවය නිසා ඊර්ෂ්‍යාවෙන් පිරී ගොස් තමනට පිරිනැමෙන්නේ යහපත් දෘශ්ටියන් දැයි සොයා බැලීමකින් තොරව වෙනසක් වෙනුවෙන් විප්ලව කරමින්, අනතුරුව වෙනසක් නැති කල අනේ අපේ විප්ලවය පාවා දුන්නා යැයි තවමත් කියමින් සිටිති.

චණ්ඩියෙක් නැති සමාජයක දකින්නට ලැබෙන්නේ අලස උදාසීන මිනිසුන් වෙති. සෝවියට් රටවල හා කොමියුනිස්ට් චීනයේ එවැන්නෝ බහුල වශයෙන් සිටියහ. එසේම වර්තමානයේ දී ද කොමියුනිස්ට් කියුබාවේ හා ලතින් ඇමෙරිකන් සමාජවාදී රටවල එවැනි මිනිසුන් බහුල වශයෙන් වාසය කරති.

හුදු චණ්ඩියෙක් හෝ දාමරිකයෙක් වූ පමණින් අයෙක් අපරාධකාරයෙක් වෙනවා ද?

චණ්ඩි හැදියාවට සහ චණ්ඩි කතාබහට නීතියෙන් දඬුවම් දෙන්නට යනවා ද?

නැත්නම් චණ්ඩියෙක් හෝ දාමරිකයෙක් කරන අපරාධ වලට පමණක් දැනටමත් පවතින නීතියෙන් දඬුවම් කරනවා ද?

ලංකා නීති පද්ධතියේ පවතින දේපල නීතිය, සාක්ෂ්‍ය නීතිය, බන්ධන නීතිය, පුද්ගල නීතිය සහ කරදර නීතිය යනාදිය තම තමන් කැමති පරිදි වරප්‍රසාද ලත් අයගේ උවමනා අනුව වෙනස් කරගන්නට ඉඩ නොදී සැමට එක ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට යැයි ඉල්ලා සිටින්නට කිසිවෙක් පෙත්සම් අත්සන් නොකරන්නේ ඇයි?!!!!!

සිසුන් කරන උද්ඝෝෂණ, සඟුන් කරන උද්ඝෝෂණ, වර්ජකයන් කරන උද්ඝෝෂණ යනු පවතින තත්වයක් ගැන අප්‍රසාදයක් දක්වන්නට ඇති මාර්ගයකි. උද්ඝෝෂණය වැළැක්වීමෙන් අප්‍රසාදය නැති වී යන්නේ නැත. එහෙත් අප්‍රසාදය කුමක් නිසා දැයි තෝරා බේරා ගැනීමට හැකියාව ලැබෙන්නේ ද, එවිට අප්‍රසාද ඇතිවීම වළක්වා ගැනීමට මාර්ග සොයාගත හැකිවේ.

උදාහරණයක් හැටියට ආණ්ඩුවෙන් නොමිලේ දෙනවා යැයි කියන නිදහස් අධ්‍යාපනය ලබන්නට අයිතියක් තමනට ඇතැයි සිතන අය පහසුකම් සහිත නේවාසිකාගාර ඉල්ලා පාරට බහිද්දී ඔවුන් තමන්ව ද තම අනගාත දරු පරම්පරාවන් ද හිඟන්නන් කරන අය බව කියා දෙන්නට කිසිවෙක් නැහැ!!!!!!!

80 ගණන් මැද දී පාරට බැස උද්ඝෝෂණ පැවැත්වූ ශිෂ්‍ය නායකයන් අද මැති ඇමතිවරුන් වී සිටිති. ඔවුන් අද පාරට බසින ශිෂ්‍ය නායකයන් සඳහා දඬුවම් නියම කරන්නේ එදා ඔවුන් මුහුණු දුන් දඬුවම් වලින් ම ය. එහෙත් එදා ඔවුන් ඒවාට ප්‍රතිචාර ලෙසින් දැක් වූ විරෝධය අද අයත් එලෙසින් ම දකින්නට හැකියි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා අය ඉතිහාසය නැවත එසේම රඟපාති.

රටේ public administration ගැන සිංහලෙන් රාජ්‍ය පරිපාලන සේවා කියමින් රටේ public policy ගැන සිංහලෙන් කියද්දී ජන ප්‍රතිපත්ති වීම රජය සහ ජනතාව අතර පටලැවිල්ල ඒවා හඳුන්වන නාමයන් වලින් වසන් වී ඇත්දැයි සිතුණි.

ආණ්ඩුව ගැන අප්‍රසාදයෙන් ඉන්නවා නම් කැමැත්තෙන් ම ආණ්ඩුවට ම තව තවත් බලය පවරන්නේ ඇයි?!!!!!!!!

කළ නොහැකි දේවල් වලට ආණ්ඩුවට බලය තවත් වැඩි වැඩියෙන් පවරමින් දිගින් දිගට ම උද්ඝෝෂණ පවත්වන්නේ ඇයි?!!!!!!!!

තත්වය වෙනස් කරගන්නේ කෙසේදැයි වැටහීමක් ලබාගන්නට උත්සාහයක් නොකර, ප්ලේටෝ ගේ මනෝරාජ්‍යයෙන් පටන් ගෙන ලෝක ඉතිහාසය පුරා පෙර අපර දෙදිග ඵල නොදැරූ යල්පැන ගිය ප්‍රතිපත්ති තවමත් අගය කරමින් මේ ආණ්ඩුවට බැරි දේවල් තවත් එවැනි ම ආණ්ඩුවකට කළ හැකි යැයි සිතන්නේ ඇයි?!!!!!

රට පාලනයේ ඉන්නා උද්ඝෝෂණ වළක්වන්නට කටයුතු කරන අයත්, ආණ්ඩුවට වැඩි වැඩියෙන් බලය පවරන්නට කැමති මහජනතාවත් යන දෙගොල්ලන්ම නොදන්නා කාරණය නම් කොතරම් උද්ඝෝෂණ පැවැත්වුව ද වෙනස් කරගත යුත්ත කුමක් දැයි අවබෝධ කර නොගන්නේ ද හැමදාම උද්ඝෝෂණ පවත්වමින් ඉන්නට සිද්ධ වෙන බවයි.

වෙන්නේ මොකක්ද කියා නොදැන බැහැගෙන සිටින ඇල් මැරුණු වතුරේ නිකම්ම නිකම් ඉන්නා ගෙම්බන් විසින් යමක් කළ යුතු කාලය ඉක්මවා යමින් පවතී. 😀

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on ජූලි 12, 2013 at 7:42 පෙ.ව.

    මේකට නම් එකඟ වෙන්න බෑ නෝනේ.. එසේනම් ඇමරිකාව අල් කයිඩාවට එරෙහිව වෙනත් රටවලටත් පැන ඒවා අතුගා දැමීමට වෙහෙසෙන්නේ ඇයි. මා නම් ප්‍රචන්ඩත්වය කිසි සේත් අනුමත කරන්නේ නැත. මොවුන් අප රට තුල සාමකාමිව සිටිනා අන්‍යාගමිකයනට හිරි හැර කරයි නම්, ඔවුනගේ දේපල අලාභ හානි කරයි නම්. මොවුන් නීතීය ඉදිරියේ පව වැරදි කරුවන් නොවෙද? එවිට අනික් පාරෂවයට වන අගතිය ගැන කතා කරන්නේ කව්ද..?

    මෙය නිර්මල යයි කියා ගන්නා බුද්ධාගමටත් තරම් නොවේ. සමහර විට ඔබ මොවුන් ගැන නොදන්නවා විය හැක.

    • arunishapiro said, on ජූලි 12, 2013 at 8:22 පෙ.ව.

      maathalan,

      //එසේනම් ඇමරිකාව අල් කයිඩාවට එරෙහිව වෙනත් රටවලටත් පැන ඒවා අතුගා දැමීමට වෙහෙසෙන්නේ ඇයි.// අනුන් මුග්ධත්වයෙන් වැරදි කරන නිසා තමන් ද වැරදි කරන්නට බලයක් ඉල්ලන්නේ ඇයි? 😀

      නීතිය ඉදිරියේ වරදක් කර ඇත්නම් දැනට පවතින නීති වලින් දඬුවම් නොදෙන්නේ ඇයි?!!!!

      කැරලිකරුවන් තහනම් කරන ආණ්ඩුවකට ඒ නාමයෙන් තම බලතල සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්. එතකොට අනික් සියළු පාර්ශවයන්ට සිද්ධ වෙන අගතිය ගැන කතා කරන්න කෙනෙක් ඉතිරි වෙන්නේ නැහැ, මොකද ඔවුන් සියල්ල හිතුමතයේ පැනවෙන ලද කිසිවෙකුට පැහැදිලි කරත නොහැකි රහස්‍ය බවකින් යුතු නීති වලින් තීරණය වූ දේශද්‍රෝහියන්!!!!

      මාතලන්, අපි NSA රටේ ඉන්න අය 😀 … මෙහෙ ඇවිත් කුකුල් මස් කටු හිටන් සුප්පු කරලා ලංකාවට ගිහින් ගවමස් තහනම් කරන්න කියන මොවුන් ගැන අපි හොඳට දන්නවා.

  2. amila chathuranga said, on ජූලි 12, 2013 at 8:50 පෙ.ව.

    සංවිධාන තහනම් කරන්න නෙමෙයි ඕනි. පාලනය කරන එක. නීතිය කියන දේ හරියට බලාත්මක වෙනවා නම් කුමන සංවිධානයක් පිහිටුවා ගත්තත් කිසිම ගැටලුවක් මහජනයාට නැහැ. තංගල්ල බස් නැවතුම ආසන්න ප්‍රසිද්ධ ස්ථානයකදී මස් කඩයක් ගිනි තියනවා සිවුරු දාරින් විසින්. ඔවුන්ට එය කරන්නට කිසිදු අයිතියක් නැහැ. ඔවුන් එය කරනවා නම් එය දේපල හානියක්. සිවුරක් දරනවා කියන්නෙ නීතිය හමුවේ එයා ඇවිල්ලා අලුත් කෙනෙක්නෙමෙයි.

    ඒ වගේම මන්නාරම උසාවිය වටලා එහි ගත් තින්දු වලට අභියෝග කරනවා මුස්ලිම් පිරිසක්. ඔවුන්ට එසේ කරන්නට බලයක් තබෙන්න බැහැ. ඔවුන් එසේ කරනවා නම් එය උසාවි ක්‍රමය හෑල්ලුවට ලක් කිරීමක්. ඒවා වැරදි වැඩ.

    හැමෝටම ඒ ඒ අය කැමති විදියට නටන්න දුන්නම ඒක හරි කැතයි. කුඩා පිරිසක් නටත්දි අනික් අයට තාලෙට නැලවෙන්න ලැබෙනවා නම් ඒක තමයි ලක්ෂන වෙන්නෙ.

    • arunishapiro said, on ජූලි 12, 2013 at 8:55 පෙ.ව.

      amila,

      //නීතිය කියන දේ හරියට බලාත්මක වෙනවා නම් කුමන සංවිධානයක් පිහිටුවා ගත්තත් කිසිම ගැටලුවක් මහජනයාට නැහැ.// හරියට ම හරි. ඒත් සිද්ධ වෙන්නේ නීතිය රකින නාමයෙන් අළුත් සහ විකෘති නීති (තහනම්) පැනවීමයි.

      අපි එකඟ වෙන්න තැනක් හොයා ගත්ත එහෙනම්!! 😀

  3. hallow rusta said, on ජූලි 12, 2013 at 9:09 පෙ.ව.

    කලක් තිස්සෙම පය බරවාය තියාගෙන පිටිකර ට බෙහෙත් බැදලම දැන් රෝගෙ ඔඩු දුවල. ගොඩ වෙද්දුන් ගෙ ලාබ බෙහෙත් වලට රැවටුන රැවටෙන මහජනයා බලාපොරොත්තු වෙන්න ඕන වෙන මොනවද?

    • arunishapiro said, on ජූලි 12, 2013 at 9:13 පෙ.ව.

      hallow rusta,

      පුංචි වැරැද්දක් හදන්නම් .. ලාබ වුන පමණින් නරක වෙන්නෙ නැහැ. ලාබ සහ බාල අතර පැහැදිලි වූ වෙනසක් තියනවා. බාල බෙහෙත් වලට රැවටුන රැවටෙන මහජනතාවට අනගි බෙහෙත් මොනවා දැයි කියා දෙන්නට බුද්ධිමත් ස්වල්පය කැපවෙන්න ඕනෑ .. හැමදාම රැල්ලට අසු වී ඒ පැත්තට මේ පැත්තට ගසා ගෙන යන අය එවිට බුද්ධිමතුන්ගේ විලාසිතාව අනුකරණය කරාවි.

  4. hallow rusta said, on ජූලි 12, 2013 at 10:03 පෙ.ව.

    ඔබ හරි, නමුත් ඒ ලාබ බෙහෙත් දෙන්නෙ මෙහේ ගොඩ වෙදුන් නිසා ඔවුන්ගෙ බෙහෙත් නරක නොවුනත් ඒ බෙහෙත් නිවැරදි වෙන්නෙ නැහැ. බදින්නෙත් පය බරවාය තබා පිටිකර ට.:D, අද මෙහේ තිබෙන්නේ නොදන්නවාටත් වඩා- ජන්මෙට වඩා ලොකු පුරුද්ද- නරක දේ වුනත් පුරුද්දට ගියාම අර මංකොල්ලය සාධාරණීකරනය කරගත්තා වගේ(බැස්ටියාට්) ජනතාවත් තම තමන්ගෙ ක්රියා කලාප යුක්ති සහගත කරගන්නවා තමන්ගේම නීති හදාගෙන තමන් තුළම. ඉස්සර යුක්තියට මග කීව තමන්තුළ දැවටුනු අධ්‍යාත්මික සිතිවිලි හා ඒකට පන්නරය සපයපු ධර්මය අද වැළලිලා. වැල යන අතට මැස්ස ගැහීම, ඒකත් අවශ්‍යයයි. නමුත් වැල යන අතටම මැස්ස ගහන්න ගියොත් අවසානෙට කොතන නතරවෙයිද? නයා සිල්ගත්තයි කියා බණ දෙසන්නට යාමට වඩා තම සර්ප කුලයේ ගතිය පෙන්නීමෙන් වඩා යහපතක් වේයැයි හිතන්නට වෙන්නේ ඇල්මැරුණු වතුරේ නිකම් ඉන්න ගෙම්බන් ගැන කතාව ඇසෙද්දී..

    • arunishapiro said, on ජූලි 12, 2013 at 10:22 පෙ.ව.

      hallow rusta,

      ගොඩ වෙදුන් නිවැරදි නොවන බෙහෙත් නියම කරද්දී නිවැරදි බෙහෙත් මොනවා දැයි පහදා දිය යුත්තේ ඔවුන්ට නොව බෙහෙත් ගන්නට එන ලෙඩ්ඩුන්ටයි!!!!

      වැල හොඳට සරුවට වැවෙන්න නම් ඕනෑ නිවැරදි අතට මැස්ස ගැසීම කළ යුතුයි නේද? මම යෝජනා කරන්නේ ද වැල යවන්න ඕනෑ දිශාව කුමක් දැයි පහදා ගන්නට බුද්ධිමත් ජනතාව (සහතික පෙන්වා උගත් යැයි කියන අය නෙමෙයි :D) නොබියව ඉදිරිපත් විය යුතුයි කියල. සමාජයක හිත හොඳ මිනිස්සු වැඩියි. ඒත් ඔවුන් හිත හොඳකම නිසාම නිහඬව ඉන්නවා. සමහර ආරවුල් වල දී තමන් ගන්නා පැත්ත කුමක් දැයි විමසා බලන්නේ ද නැතිව සහ නොකියා නිහඬ වීමෙන් ද, සිද්ධ වෙන්නේ මහ විනාශයක්.

      • Itnishantha said, on ජූලි 12, 2013 at 1:40 ප.ව.

        එකඟයි. පබාලා අනර්කලීලා පාර්ලිමේන්තු යවපු අපි කොහෙද නෝනේ මැස්ස ගහලා වැල හරවන්නේ.

        • arunishapiro said, on ජූලි 12, 2013 at 8:53 ප.ව.

          Itnishantha,

          නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනයෙන් මුග්ධතාවයෙන් යුත් ගොන්නු දක්කාගෙන යන කාලය අවසන් කරන්නට සංවිධාන වල නැති ගෙවල් වල බත් උයන අපිටත් අද බොහෝ පිරිසක් අතරට දැනුම බෙදන්න හැකි ආකාරයන් බොහොමයක් ලැබී තියෙනවා. ඒවා වලින් තමයි හැකි පමණින් වැල් හරවන්න මැසි ගැහිය යුත්තේ. 😀

  5. hallow rusta said, on ජූලි 12, 2013 at 10:37 පෙ.ව.

    ස්තූතියි, ජනතාවට පෙනේ පුප්පන්න කියා දෙන්න ඕනෑ තමාට හැකි තරමට, 🙂 ඇගිල්ලේ තරමට ඉදිමීම වගේ. සර්ප කුලේ ගතිය පෙන්නීම යනු වෙන් මා අදහස් කලේත් අදාළ විට නිහඩව වින්දනය හෝ විදවීම නොවිය යුතුය යන්නයි.

  6. හෙනහුරා said, on ජූලි 12, 2013 at 12:56 ප.ව.

    ඔහොම පෙත්සමක් ගැන මට ආරංචි වී නැති නමුත්, යම් කෙනකුට එවැනි පෙත්සමක් අත්සන් කරවීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි මා සිතනවා. ඔවුන් වෙනත් යමකට පෙත්සමක් අත්සන් කරන්නේ නැත්තේ ඇයිදැයි ඇසීම තේරුමක් නැහැ. සරත් නිසංසලාව කසාද බඳින්නට හදද්දි ඇයි නිසංසලාවම බඳින්නෙ මනෝරිව බඳින්න තිබුනනෙ කියල අහනව වගේවැඩක් තමයි ලංකා නීති පද්ධතියේ පවතින දේපල නීතිය, සාක්ෂ්‍ය නීතිය, බන්ධන නීතිය, පුද්ගල නීතිය සහ කරදර නීතිය යනාදිය තම තමන් කැමති පරිදි වරප්‍රසාද ලත් අයගේ උවමනා අනුව වෙනස් කරගන්නට ඉඩ නොදී සැමට එක ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට යැයි ඉල්ලා සිටින්නට කිසිවෙක් පෙත්සම් අත්සන් නොකරන්නේ ඇයි?!!!!! කියා ඇසීමත්.

    ආන්ඩුවෙන්ම උසිගන්වන බවට සාධාරණ සැකයක් පවතින බොදුබල සේනාව වගේ සංවිධාන තහනම් කරන්නට කියා ආන්ඩුවටම කීම තේරුමක් නැති දෙයක් වගේ පෙනෙන නමුත් එවැනි ඉල්ලීමකට ආණ්ඩුව එකඟ නොවුනහොත් ඒ සාධාරණ සැකය තහවුරු කරවන පැත්තට ලකුණක් එකතු වෙන බවත් මතක තියාගන්න ඕනැ. පෙත්සමක් අත්සන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ පෙත්සමෙන් ඉල්ලන දේ ඉෂ්ට වීමම නොවන බව මගේ අත්දැකීමයි.

    • arunishapiro said, on ජූලි 12, 2013 at 8:48 ප.ව.

      හෙනහුරා,

      අයිතියක් නැතැයි මම කිව්වෙ නැහැනෙ. මම කිව්වෙ එයට එරෙහි විය යුත්තේ මේ හේතු නිසා කියල විතරයි. කැමැත්තක් කැමති අයට කරගන්න පුළුවන්.

      //ඔවුන් වෙනත් යමකට පෙත්සමක් අත්සන් කරන්නේ නැත්තේ ඇයිදැයි ඇසීම තේරුමක් නැහැ.// ඇයි නැත්තෙ? විසඳුම ලැබෙන එකම ආකාරයට ඔච්චර අකැමති ඇයි කියලා අහන්න බැරි මොකද?

      //ආන්ඩුවෙන්ම උසිගන්වන බවට සාධාරණ සැකයක් පවතින බොදුබල සේනාව වගේ සංවිධාන තහනම් කරන්නට කියා ආන්ඩුවටම කීම තේරුමක් නැති දෙයක් වගේ පෙනෙන නමුත් එවැනි ඉල්ලීමකට ආණ්ඩුව එකඟ නොවුනහොත් ඒ සාධාරණ සැකය තහවුරු කරවන පැත්තට ලකුණක් එකතු වෙන බවත් මතක තියාගන්න ඕනැ.// මෙන්න මේක තමයි දැනගත්ත කියල කිසිම ඵලක් නැති එක!!!!

      //පෙත්සමක් අත්සන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ පෙත්සමෙන් ඉල්ලන දේ ඉෂ්ට වීමම නොවන බව මගේ අත්දැකීමයි.// ඒක ඇත්ත. පෙත්සමක් නිසා වාද විෂයයට අවධානය ලැබෙනවා .. මටත් මේ සටහන ලියන්න ලැබුනේ ඒ නිසානේ.

  7. keerthi ratethanne said, on ජූලි 12, 2013 at 4:18 ප.ව.

    “වහලාට කලකදී වහල් බව මිහිරි වේ” යයි කියමනක් මා අසා අැත. අප රටේ ද අද ඉන්නේ මෝහය නිසා වහල් බවට පත්වූ ජාතියකි. යුධ ජයග්‍රහණය නැමති උන්මාදයෙන් මෝහයට පත්ව අැති අපේ අහංසකයින් ට යුධ ජයග්‍රහණයට හේතු සාධක වූ කරුනු හෝ ඒ ජයග්‍රහණයට මූලික වූවන් හෝ පිලිබදව නිවැරදි තීරණයක් පවා ගත නොහැකිව මෝහයෙන් අන්ධව අැල් මැරුනු වතුරේ ගෙම්බන් මෙන් තමාට යටින් ගිනි අැවිලෙන බව නොදැක නොදැන තමන්්ගේ පාඩුවේ සිටිති.

  8. pakaya said, on ජූලි 12, 2013 at 5:54 ප.ව.

    aruni puka nodi hukagannenathuwa wenadeyak liyanawada

    • arunishapiro said, on ජූලි 12, 2013 at 8:57 ප.ව.

      pakaya,

      ඔන්න ඔතැන තමයි වැරැද්ද තියෙන්නෙ. ඔයා මොකද කරදර වෙන්නෙ මම දෙන්නෙ කාට ද කියලා .. මම කැමති කෙනෙක්ට දෙන්න ඕනෑ නම් මම ඒක දීගන්නම්. ඔයාගෙ එක දෙන්නෙ කාට ද කියලා ඔයා හොයලා බලන්න.

  9. සමරසේකර said, on ජූලි 12, 2013 at 9:09 ප.ව.

    කාලින මාතෘකාවක් ගැන අදහස් පළකිරීම ගැන ඔබට ස්තුතියි. සංඝයා වහන්සේ යනු අතීතයේ පටන් මේ රටේ ඉතිහාසය තීරණය කරන්නාය .එම තිරනයන් ගැන නොපහැදෙන අය සංඝයා වහන්සේලාගේ එකී තත්වප කෙලසීමට විවිධ මත ඉදිරිපත් කරති.වත්මන් සංඝයා වහන්සේලා දුසිල්වත්ය.එබැවින් එම සංඝයා වහන්සේලාගේ සන්විඨාන තහනම් කල යුතුය යන්න එක මතයකි. දුසිල්වත්ය.එබැවින් එම සංඝයා වහන්සේලා උවත් දුසිල්වත් මිනිසාට වඩා උසස් වන පහත විස්තරයෙන් දක්වා සිටිමි.

    මිලින්ද ප්‍රශ්නය යනු මිලින්ද රජතුමා සහ නාගර්ජුන හිමියන් අතර පැවති ධර්ම විවාදයයි. එය විශාල පොතකි. එහිදී ශාරංශ වශයෙන් මුලික කරුණු 10 කින් සහ අතිරේක කරුණු 10කින් දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව නාගර්ජුන හිමියන් විසින් මිලින්ද රජතුමාට ඔප්පු කර ඇත. පහත දැක්වෙන්නේ එම කරුණුය.

    මුලික කරුණු 10

    1. භික්ෂුන් වහන්සේ චිවරය දැරීම
    2. භික්ෂුන් වහන්සේ මුඩුකළ හිස දැරීම
    3. සංඝ සමාජයට ඇතුලත් නිසා දානය ලැබීමට සුදුසුවිම
    4. ත්‍රිවිධ රත්නය සරණ යන බැවින් දානය ලැබීමට සුදුසුවිම
    5. වීර්ය වැදීමට සුදුසු ශුන්‍යාගාර සේවනය කරන බැවින් දානය ලැබීමට
    සුදුසුවිම
    6. සර්වඥතාවය නම්වූ ශ්‍රේෂ්ට ධනය සොයන බැවින් දානය ලැබීමට
    සුදුසුවිම
    7. ධර්මානුරුපිය හැසිරෙන බැවින් දානය ලැබීමට සුදුසුවිම
    8. බුදුන් වහන්සේ තුන් ලොවටම අග්‍ර යයි දෙසන බැවින් දානය ලැබීමට
    සුදුසුවිම
    9. සද්ධර්මය දේශනා කරන බැවින් දානය ලැබීමට සුදුසුවිම
    10. නව උපොසතය නොකඩවා සමාදන් වීමෙන් බැවින් දානය ලැබීමට
    සුදුසුවිම

    අතිරේක කරුණු 10

    1. බුදුන්වහන්සේ කෙරෙහි ගෞරවයක් දක්වයි
    2. ධර්මය කෙරෙහි ගෞරවයක් දක්වයි
    3. තමන් හා සමාන සංඝයා කෙරෙහි ගෞරවයක් දක්වයි
    4. ඇවත් උදෙසා සිල්වත් වීමට වෙර දරයි
    5. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන් මනා ලෙස තම හිත සංවර කර ගනී
    6. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
    මනා ලෙස තම කය සංවර කර ගනී
    7. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
    මනා ලෙස තම වචනය සංවර කර ගනී
    8. ඔහුගේ හිත භාවනාභිමුඛවේ.
    9. පව් කලත් ඒවා එළිපිට නොකරයි
    10. ගර්හා බයින් (ලජ්ජා බයින් යුක්තවේ. )

    මෙම කාරනා නිසා යම් අයෙක් ශ්‍රමනයන් වහන්සේ නමක් දුසිල්වත්විම එම භික්ෂුන් වහන්සේට බලපාන කරුණක් මිස එම
    භික්ෂුන් වහන්සේට ගර්හා කිරීමට අපට ලැබුණු බලපත්‍රයක් නොවේ. තමන්ගේ දුසිල්වත්වීම තුලින් තමන්ට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස් කර ගැනීමට එම දුසිල්වත් භික්ෂුන් වහන්සේ කටයුතු කරන අතර, අපත් එවැන්නන්ට ගරහා අපට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස් කර ගැනීමට කටයුතු කරගත යුතුද?

  10. dawkinssdodo said, on ජූලි 12, 2013 at 11:48 ප.ව.

    මගෙත් මතය තහනම් නොකල යුතු බවය.

    බොදුබල සේනා හරක් මස් කන්න එපෝ කියලා එහෙන්.

    ජිහාඩ් කට්ටිය “අපි කන්නේ හලාල් විතරයි ඒ හින්දා හැමෝම හලාල් කාපල්ලා” කියල මෙහෙන්.

    ඌරු මස් කෑල්ලක්, හරක් මස් කෑල්ලක් කාලා දෙකක් දාලා ඉන්න, අපි කන හැටි වෙන කවුරුවත් තීරනය කරන්න හැදුවත්, ඊට බෙහෙවින් අකැමති වුනත්, ඔවුන්ගේ හඬ නැගීමටත් නිදහස තිබිය යුතුය.

    • arunishapiro said, on ජූලි 13, 2013 at 8:41 පෙ.ව.

      dawkinssdodo,

      නිව් යෝර්ක් නගරාධිපති අවුන්ස 16 සෝඩා විකිණීම තහනම් කරලා හොට් ඩෝග් කොච්චර ගිලින්න පුළුවන් දැයි බලන තරඟ උත්සවයක් පැවැත්වූවා!!!!

      බහුතරයා හිතන්නෙ අපි බෙහෙවින් අකමැති වූ පමණින් නීති ගෙනැල්ලා මිනිස් ස්වභාවය වෙනස් කරගන්න පුළුවන් කියලනෙ. එහෙම බැරි වුන බව මිනිසාගේ මුළු ඉතිහාසය පුරා ඔප්පු කරලා තිබ්බට කෝ පාඩමක් ඉගෙන ගන්නවා ද?!!!

  11. සෙන්කෝලයා said, on ජූලි 13, 2013 at 12:57 පෙ.ව.

    මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

  12. Ravi said, on ජූලි 13, 2013 at 2:26 පෙ.ව.

    ඔහොම පෙස්සං අස්සං කරන්න දඟලන අය නොදන්න නැත්තං හිතාමතා අමතක කරන දේ තමයි අර බොහොම අපූරු සිංහල කියමන ” ලබ්බට තියපු අතම තමයි පුහුලටත් ”

    නුදුරු අනාගතයෙම දවසක තමංගෙම ඔළුවට පත බෑමට යොදාගත හැකි, එසේ නොවනවා යයි කිසිම සහතිකයකුත් නැති, මෝල් ගහක් භයානක චණ්ඩියෙක් අතට පසඟ පිහිටුවා වැඳල ප්‍රදානය කිරීමක් මේ කරන්න යන්නෙ…

    පොලීසිය දිගට හරහට අපරාධ කාරයො කියල සැක කරපු අය මරන්ට පටන් ගත්තමත් මිනිස්සු බොහොම සතුටු උනා.අපොයි ලොකු දෙයක්..එහෙමවත් රටේ අපරාද නැතිවෙන එක කියල..ඒත් අන්තිමට උනේ මොකක්ද?…පොලීසියෙ ඉහලම ලොක්කො පටන් ගත්ත කප්පං ගන්ට සහ කොන්ත්‍රාත්වලට මිනිස්සු මරන්ට…

    මම මේ පෙත්සමට අත්සන් නොකරනව උනාට මේ වැඩෙං හොඳකුත් වෙනව කියල හිතෙනව වෙලාවකට. අද නිදහස අගයන ලෝකෙ කොහෙත් ලංකාව ගැන තියෙන්නෙ බොහොම අශුභ වාදී චිත්‍රයක්, හැඟීමක්…

    වැඩවසම්, ගෝත්‍රිකවාදී බල ලෝභී නායකත්වයකින් පාලනය වන අන්තවාදී, විචාර බුද්ධිය කියන වචනෙ තේරුම වත් නොදන්නා වනචාරී ජනතාවක් වාසය කරන රටක් කියලයි පොදු හැඟීම. ඉතිං මේ වගෙ ක්‍රියාකාරකමකින් අඩු ගානෙ ඒ අදහස යම් තරමකින්වත් අඩුවෙයි කියල මට හිතෙනව සහ එහෙම මම ප්‍රාර්ථනා කරනව…එච්චරයි.

    ප. ලි. – අරුණි, උඩම තියෙන පින්තූරෙ අර පරීක්ෂණ නලයට එකතුවෙන්නෙ මොනවයි අර? HA + e ???…මම මුලින්ම දැක්කෙ එහෙමයි 🙂

    • arunishapiro said, on ජූලි 13, 2013 at 8:10 පෙ.ව.

      Ravi,

      උඩ ඉඳන් කියාගෙන ආව ඔක්කොමට එකඟයි… ඒත් මේ පෙත්සම් අත්සන් කරන්න මෙහෙයුමක් පටන් ගත් නිසා ලංකාවේ නීතියේ රීතිය ගැන මිනිසුන් අප්‍රසාදයක් දක්වනවා යන හැඟීම නෙමෙයිනෙ රවී එන්නෙ. ලංකාවේ මුග්ධ මිනිස්සු ඇයි මේ “නුදුරු අනාගතයෙම දවසක තමංගෙම ඔළුවට පත බෑමට යොදාගත හැකි, එසේ නොවනවා යයි කිසිම සහතිකයකුත් නැති, මෝල් ගහක් භයානක චණ්ඩියෙක් අතට පසඟ පිහිටුවා වැඳල ප්‍රදානය කිරීමක් මේ කරන්න යන්නෙ…” කියලයි හිතෙන්නෙ.

      HA + e ඔහොම තමයි 😀 😀 ගොඩක් අය දකින්නෙ එහෙමනෙ. ඉතින් ඒක වැරදි ඇයි කියලත් අහනවානේ!!!!

  13. keerthi ratethanne said, on ජූලි 13, 2013 at 7:02 පෙ.ව.

    බොදු බල සේනාවත් අර පසුගිය කාලයේ සිටි ග්‍රීස් යක්කු ඒ වාගෙම පිට පිටම අාපු පිටසක්වල යානා ඒහෙමත් නැත්නම් අර තැනින් තැනට වැහැපු රතුපාට කොලපාට කහපාට වැහි ඒතකොට කොටකෙතන ගමේ කාන්තා භීෂණය වගේ ටික දිනකින් නැතිවෙලා යන “අවා ගියෝ” සත්වකොට්ඨාශයකි. ඒ නිසා ඒක තහනම් කරනවාද? නැතිද? යන ප්‍රශ්ණය ඒතරම් ගනන් ගතයුතු දෙයක් නොවේ. බොදු බල සේනාවේද ස්විචය “ඔන්” කල අය විසින්ම ඔවුන්ගේ ස්විචය “ඔ්ෆ්” කරන තුරු අප මේ ගොන්පාට් බලබලා හිදිමු. මෙහිදී විදෙස් වල ජීවත්වන බෞධයින්ට අත්විදින්නට සිදුවන යම් යම් අපහසුතාවයන් පිලිබදව අපට කනගාටු වනවා හැරුන්නට වෙන කලහැකි දෙයක් නොමැත.

    • arunishapiro said, on ජූලි 13, 2013 at 8:34 පෙ.ව.

      keerthi,

      අපොයි නැහැ keerthi විදෙස් වල ජීවත්වෙන බෞද්ධ අපිට අපේ රටවල නායකයන් කරන දේවල් වලින් අත්විඳින්නට සිද්ධ වන අපහසුතාවයන් එක්ක බැලුවම මේවා ගැන වැඩියෙන් ලැජ්ජා වෙන්න කාලයක් නැහැ මේ දවස්වල 😀

      මුග්ධත්වයෙන් නොසිටින සෑම පුරවැසියෙකුම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවෙන් සිටින්නෙකි.

  14. ineshwickramaraja said, on ජූලි 16, 2013 at 1:10 පෙ.ව.

    ලන්කවෙ බහුතරයක් ඉන්නේ 90%,කාලකන්නි ,ජරා,මෝඩ මිනිස්සු කියන සිතුවිල්ල ඔලුවෙ තියෙන්නෙ,ඉක්මනට අයෙත් රටෙන් පිටවෙන්න හිතෙනව මිසක්,රටට යමක් රට තුලම ඉදගෙන කරන්න ලන්කාවෙ ඉඩක් තියනව කියල විශ්වසයක් තියනවද?ගෙම්බගෙ කතාවෙ වගෙ,හැලිය තැම්බෙන එක නවත්වනවට වඩා හැලියෙන් බැහලා යන එක හොද නැද්ද?මොකද ගින්දර වැඩියි දැන් නිවන්න,ලන්කා වාසියො වදවෙලා යන කලේ හරි වගේ………..

    • arunishapiro said, on ජූලි 16, 2013 at 6:37 පෙ.ව.

      ineshwickramaraja,

      නෑ නෑ මේ දවස්වල මේ අයව වැඩියෙන් දකින්න ලැබුණාට එහෙම නොවන අය බොහොමයක් ඉන්නවා. ඒත් ඔවුන් නිහඬව පාඩුවේ සිටීම නිවැරදි යැයි සිතන නිසා //රටට යමක් රට තුලම ඉදගෙන කරන්න ලන්කාවෙ ඉඩක් තියනව කියල විශ්වසයක් තියනවද?// ගැන සැකයි.

      මාත් හැලියෙන් පැනලා ගිය කෙනෙක් නිසා කොහොම ද කියන්නෙ පහසුම වූ ඒක කරන්න එපා කියල!!!!! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: