අරුණි ශපීරෝ‍ වෙතින්

ඇත්තක අරුමය

Posted in Uncategorized by arunishapiro on ජූලි 15, 2013

The Magic of Reality

රාවය විසින් “ඇත්තක අරුමය” සිරස්තලයෙන් The Magic of Reality (2011) පරිවර්තනය සිංහල පාඨකයා වෙනුවෙන් ප්‍රකාශනය කර ඇතැයි කියෙව්වෙ ඩෝකින්ස්ගේ ඩෝඩෝ අඩවියෙන්.

ලංකාවේ හැමදාම පරිවර්තනය වෙන්නෙ කාල් මාක්ස්, ජෝන් මේනාඩ් කේන්ස්, රිචඩ් ඩාව්කින්ස් … අතීතයේ පටන් ඉහත අයගේ සිද්ධාන්තයන් නිශ්ප්‍රභා කළ ෆෙඩරික් බැස්ටියාට්, ලුඩ්විග් වොන් මීසස්, ෆෙඩරික් හයෙක් ගැන සිංහල පරිවර්තන නැහැ. හැමට දැනුම බෙදන රාජ්‍ය පාසැල් ක්‍රම තුලින් මුළු ලෝකයේ ම දකින්නට ලැබෙන්නේ ද පළමුවෙන් සඳහන් අය ගැන. ඊ ළඟට සඳහන් කරන අය ගැන හදාරන්නට හැකියාව ලැබෙන්නෙ මුදල් ගෙවා අධ්‍යාපනය ලබන පුද්ගලික ආයතන වලින්.

මෑතක දී පළවුන අපට ගැළපෙන ආර්ථික ක්‍රමවේද පොතෙහි පිටුවෙන් පිටුව පුරවා තිබුනේ කිසිම රටකට නොගැලපෙන කේන්සියන් ආර්ථික ක්‍රමවේදයන් බව කණගාටුවෙන් දන්වමි.

සිංහල පුවත්පතක කේන්සියානු අදහස් විවේචනය කරන ලිපියක් මෙතෙක් දකින්න නොලැබුන එක නිවැරදි කරමින් “කේන්සියානු අගාධය” සිරස්තලය යටතේ මගේ ලිපියක් මම සතිපතා සටහන් එකතු කරන ජීවිතයට ආර්ථික නුවණ ගෙනෙන රන්දොර අඩවියෙන් ගත්තු රාවයට (එය රාවයේ පළවන්නේ “ගෙවී යන්නේ ලිබරල් ආර්ථික ක්‍රමයේ අවසන් කාලපරිච්ඡේදය ද” නමින්) ගොඩක් ස්තූතියි!!! 😀 ලිබරල් යනු කුමක් දැයි නොදන්නා අය ඒ ධනවාදී ආර්ථික ක්‍රමයේ අවසානය යැයි හිතාවි. ඒ නිසා සම්පූර්ණ සටහන එකතු කළා නම් වඩා හොඳයි, මොකද කේන්සියානු අගාධය ගැන වැදගත් ම කොටස තිබුනේ එහි අවසානයට. අනික මගේ නමත් නිවැරදිව දැම්මා නම් තවත් අගෙයි. නැත්නම් බලන්නකො වෙන වැඩේ: සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතු වල තමයි නම වෙනස් කරලා කොටසක් පමණක් පාවිච්චි කරන එක එයාලගෙ පැත්තට වාසි වෙන්න පළ වෙන්නෙ!!!!! අනේ අපොයි!!!!

ඩාව්කින්ස්ට අභියෝග කළ පීටර් හිග්ස් ගැන අන්තර්ජාලයෙන් සිංහලෙන් ලියැවිලා ඇති බව කියවන්න පුළුවන්. හිග්ස් විසින් ඩාව්කින්ස්ට එල්ල කරන ලද අභියෝග ගැන විශේෂයෙන් සඳහන් කරලා නෙමෙයි ඒත්. ඒ වගේ ම දෙවියන් අදහන්නෙ නැති ඩාව්කින්ස්ට කැමති අය දෙවියන් අදහන්නෙ නැති හිග්ස්ට අකැමතියි. සහතික පෙන්වා විද්‍යාඥයන් යැයි තමන් කියාගන්නා අය සෙසු ලෝක විද්‍යාඥයන් වෙතින් සම්මාන ලත් හිග්ස් ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යයන් ද හෑල්ලුවට ලක් කරන හැටිත් සිංහලෙන් කියවන්න පුළුවන්.

තම මතවාදය ඔප්පු කරන්නට අවමානය හා අපවාදය යොදාගත් මාක්ස් හා කේන්ස් යනාදීන්ට රිචඩ් ඩාව්කින්ස් ද එකතු වූයේ මෑතක දී වොෂිංටන් නගරයට පැමිණ. විචාරය යනු එය නොවන බවත්, ප්‍රතිවාදියාව හෑල්ලු කිරීමෙන් පමණක් තම මතවාදය ජයගත්තා යැයි කිව නොහැකි බවත්, මගේ අඩවියට එන සමහර අයටත් නොවැටහේ!!!!!

ඩාව්කින්ස්ගේ පොත අලලා මම ලියූ සටහනක් මෙතැනින් කියවන්න පුළුවන් කැමති අයෙකුට.

රිචඩ් ඩාව්කින්ස් මැජික් සහ හාස්කම් අතර වෙනස හරියාකාරව පැහැදිලි කර පාඨකයා රවටන්නේ මැජික් වලින්. ඒ මෙහෙමයි.

හාස්කම් කියන්නෙ යම් ප්‍රතිඵලයක් ඇති වූයේ කෙසේදැයි අපිට දැනට වටහා ගන්නට බැරි සහ පැහැදිලි කරගන්නට බැරි වූවක්. මැජික් කියන්නෙ පවතින සහ වටහා ගත හැකි දේවල් අතර පවතින්නක් මැජික්කාරයා විසින් සිද්ධ කරන යම් ක්‍රියාවකින් නරඹන්නා වෙතින් සඟවා, අනතුරුව ලබාගන්නා ප්‍රතිඵලය සභාවට පෙන්වා අත්පොළසන් ලබා ගැනීමයි.

ඉතින් “යථාර්ථයේ මැජික්” ගැන ලියන මේ ‘විද්‍යා රචකයා’ කර ඇත්තේ ද එයයි. හාස්කම් හා ප්‍රාතිහාර්යයන් වටහා ගන්නට බැරි නිසා මිථ්‍යා ආගමික විශ්වාසයෙන් කරන මිනිස් ක්‍රියාකාරකම් වෙත පාඨකයාගේ අවධානය ඉතා සිත් ගන්නා ලෙසකින් ඔහු අද්දවා ගනියි.

1. හුදු ආගම් ඇදහීම නිසා යැයි කියමින්, එහෙත් 2. ඉතිහාසමය ආගමික දාර්ශනික පුනරුදය නොසලකා හැර, 3. නීති විරෝධී ක්‍රියාවන් කරන ආගමික නායකයන් අන්ධානුකරණයෙන් අනුගමනය නොසලකා හැර, 4. පුරාතනයේ වූ මිථ්‍යා කල්පිතයන් හා අනුගමනයන් බහුතරය ඇසුරින්, සත්‍යයෙන් ලොව සිදු වූ හා සිද්ධ වෙන හා සිද්ධ විය හැකි මහත් විනාශයන් ගැන මේ මැජික්කාරයා විසින් පාඨකයාගේ අවධානය ගෙන යයි.

දක්ෂ මැජික් සංදර්ශකයෙක් ලෙසින් ඔහු ලොව පැවති ආගම අහෝසි කර දැමූ රටවල් වල දී සිදු වූ මහත් විනාශයන් සඟවයි.

ආගම නිසා මිනිසා ‘ඇත්තක අරුමය’ දකින්නේ නැතැයි කියමින්, ඉතිහාසය නොදන්නා නිසා ප්‍රතිඵල ඇති වූයේ කෙසේදැයි වටහා ගත නොහැකිව සිටින ප්‍රේක්ෂකයන්ව ඔහු පෙන්වූ මැජික් වලින් රවටා සභාවෙන් දැවැන්ත අත්පොළසන් නාදයක් ලබා ගනියි.

විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාව පිරුණු තොරතුරු වලින් ලෝකය පිරී ඉතිරී යද්දී විද්‍යාත්මක සත්‍යයන් මොනවා දැයි තෝරා බේරා ගන්නේ කෙසේදැයි ලිපි පෙළක ආරම්භයට මෙය පූර්විකාවක් කරගනිමි.

ගූගල් කොම්පැණියේ පර්යේෂණ අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් පීටර් නෝර්විග් ලියූ පරීක්ෂණාත්මක සැලසුම් නිර්මාණය සහ වටහා ගැනීමේ අවදානම් පෙන්වන සංඥා යන ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනය මෙතැනින් කියැවිය හැකියි.

එහි දෙවැනි කොටසේ පරිවර්තනය කියැවීම සඳහා මෙතැනින් ගුරුගෙදර අඩවියට යා හැකියි.

යමක නියැළීමෙන් අරමුණු කරගත් ප්‍රතිඵලය ලැබෙන ක්‍රමයක් ලොව ඇත. අයෙකුට එය දෙවියන්ගේ නිර්මාණයක් යැයි කිව හැකියි. තවත් අයෙකුට එය ලෝක ස්වභාවය යැයි කිව හැකියි. අපි හඳුනාගන්නට නොදත් පමණින් ලෝක ස්වභාවය වෙනස් වී නැත. අපි හඳුනාගන්නට නොදත් පමණින් මිනිස් ස්වභාවය ද වෙනස් වී නැත. ප්‍රතිඵල කැමැති අය සිටිනවා නම් ඔවුන් හැමදාම වැඩ නොකරන ක්‍රමයන් වල එල්ලෙන හැදියාව වෙනස් කරගත යුතුයි. වෙනස යනු වෙනසක් ඇති කරමු කියමින් ඵලදායී නොවන විප්ලවීය ක්‍රියාවන් වලට වැඩියෙන් වෙහෙස වීම හෝ වැඩියෙන් මුදල් යට කිරීම නෙමෙයි.

වැඩ කරන ක්‍රමය අයෙක් පහදා දී එසේ කිරීමෙන් මෙසේ ප්‍රතිඵල ලැබේ යැයි පෙන්වා දී තිබෙන විට ඒවා ගැන සොයා බලන හැදියාවක් වඩවා ගත යුත්තේ අරමුණු සාක්ෂාත් කරගන්නට කැමති අයයි.

එතකොට නොදැන නොකර ඉන්නවාට වඩා අඩුගානේ කරන හැටි දැනගෙන වත් කරන නොකරන එක තෝරාගත හැකියි නේද?!!!!! 😀

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. වැව් ඉස්මත්ත said, on ජූලි 15, 2013 at 9:33 පෙ.ව.

    මම ඔබේ ලිපි කියවන්න උත්සාහ කරනවා. දැන්නම් කොටසක් පමණයි කියෙව්වෙ. නමුත් ලිදේ ඉන්නා ගෙම්බන් පරිද්දෙන් ඔබ ලියනා දේවලින් ඉදිකට්ටක තුඩක ප්‍රමාණයක් වත් මා දන්නවා යැයි මටම සැකයකි. ඔබ ලියන දේ පිළිබද මට අර්ථකතන සැපයීය නොහැකිය. ඒ මා එම විෂයය පිළිබද නොදන්නා බැවිණි. නමුත් පාසල් යන කාලයේ දේශපාලන විද්‍යාව විෂයයක් ලෙස හැදෑරු බැවින් ඔබගේ මෙම සටහන් තේරුම් ගැනීම මා හට දුෂ්කර කාර්යයක් නොවනු ඇත යන්න මගේ හැගීමයි. ස්තූතියි ඔබට

    • arunishapiro said, on ජූලි 15, 2013 at 9:43 පෙ.ව.

      වැව් ඉස්මත්ත,

      ඔබ දන්නා කරුණු ඇසුරින් මේ ඉදිරිපත් කරන තොරතුරු විමර්ශනයෙන් පසු ඇත්ත නැත්ත පහදා ගන්නට හැකිවේවි යැයි මම උදක් ම බලාපොරොත්තු වෙනවා.

      ඔබ මට ඉතා වැදගත් කාරණාවක් මතක් කළා. ගොඩක් ස්තූතියි.

      උසස් පෙළ හා කැම්පස් අධ්‍යාපන ලබන දරුවන් බොහොමයක් මගේ ලිපි කියවන්න මේ අඩවියට එන බව මම දන්නවා. අනේ දරුවනේ කරුණාකරලා මේවා විභාගයට ලියලා විභාගේ ඇන ගන්න එපා!!!! මේ දැනුම ජීවිතයට. අධ්‍යාපන අමාත්‍යාංශය හදන්න යන්න විභාග පාස් කළාට පස්සෙ පුළුවන් වේවි!!! ලංකාවේ විභාග පාස් වෙන්න නම් ගුරුවරුන් කැමති විදියට තමයි ලියන්න ඕනෑ. එහෙම නැතිව ඉඩක් ලැබෙන්නේ මුල ඉඳලාම මම වගේ කැත්තට පොල්ල ස්ටැයිල් එකෙන් ඒත් විනීතව සහ තතු සොයාගෙන හිතහොඳ ගුරුවරු සමඟ තර්කයෙන් දිනන්න හැකියාවක් තියෙන ඉතාමත් ඉතා සුළු ම සුළු පිරිසකට පමණයි.

  2. dawkinssdodo said, on ජූලි 15, 2013 at 10:39 පෙ.ව.

    //තම මතවාදය ඔප්පු කරන්නට අවමානය හා අපවාදය යොදාගත් මාක්ස් හා කේන්ස් යනාදීන්ට රිචඩ් ඩාව්කින්ස් ද එකතු වූයේ මෑතක දී වොෂිංටන් නගරයට පැමිණ. විචාරය යනු එය නොවන බවත්, ප්‍රතිවාදියාව හෑල්ලු කිරීමෙන් පමණක් තම මතවාදය ජයගත්තා යැයි කිව නොහැකි බවත්, මගේ අඩවියට එන සමහර අයටත් නොවැටහේ!!!!!//

    😀 😀

    හිග්ස් බෝසෝනය ගැන අසා තිබුණත් හිග්ස් ඩෝකින්ස් ව විවෙචනය කල බව දන්නෙ අදයි.
    (වස ලැජ්ජාව! )

    ඔබව පුද්ගලිකව සම්බන්ද කරගත් හැකි විද්‍යුත් ලිපිනයක් වේද?
    dawkinssdodo@gamil.com

  3. රවිP said, on ජූලි 15, 2013 at 11:11 පෙ.ව.

    පීටර් නෝර්විග් ගේ “පරීක්ෂණාත්මක සැලසුම් නිර්මාණය සහ වටහා ගැනීමේ අවදානම් පෙන්වන සංඥා“ ලිපියේ මුල් පිටපතට සබැදියක් හෝ එම ලිපියේ මාතෘකාව ඉංග්‍රිසියෙන් දෙන්න පුළුවනිද? එහි අන්තර්ගතය මම හදාරන පාඨමාලාවකට වැදගත්.

    ස්තුතියි.

  4. Naleen Dilruksha said, on ජූලි 15, 2013 at 11:29 පෙ.ව.

    මේ පරිවර්තනය කියවන්න බොහොම ආසාවෙන් හිටියේ ඒ ආසාව හා එය කියැවීමේදි බොහෝ තැන් වටහාගන්නට මේ ලිපිය එක්තරා උත්තේජයක්ම වේවි. ස්තුතියි අරුණි.

  5. hallow rusta said, on ජූලි 15, 2013 at 12:00 ප.ව.

    සාමන්‍ය දැනීමේ ඉන්න, රස්තියාදුවේ හිටියත් ඒ බව නොදන්නා බොහෝ දෙනා හොයන්නේ- ඇත්ත තිත්තද? ඇත්ත අරුමයක්ද? ඇත්ත නොදැනීම නිසා බොහෝ දේ අරුමයක් වෙනවද? කරුමයක් වෙනවද? කියන වට වඩා ඇත්ත මොකද්ද කියල විතරයි. ඇත්ත මැජික් වෙන්නෙ නොදන්නකම්, දැනගත්තම ඒක දැනුවත් කමක් නැත්නම් උගත් විට උගත් කමක් වෙනව. එතනින් පස්සෙ ඒක ආභරණයක් කරගන්න බොහෝ දෙනා ඒතන ඇත්ත තේරුම් ගන්න බැරිව වෙන විදිහකට මුළාවේ වැටෙනව. අර ඇත්ත මොකක්ද කියල විතරක් හොයපු අය ඊලගට ඒ ඇත්ත පෙන්නා දුන් කෙනා සරණ යන්න හදනව, නමුත් පරම සත්‍යක් දන්නෙ නැති බාග ඇත්ත වන්දනා කරගෙන යන්න පුළුවන් සීමාවේ ඉදන් ඉතිරි දුර බලන්න කියල දෙන්නෙ කීයෙන් කීදෙනාද? මේ මගේ රස්තියාදුවට වැටෙන කුණු රොඩු අතරේ ඇහුව අවිධිමත් අසංවිධිත ප්රශ්නයක්, ශුද්ධ කරගන්නා අදහසින් තව ටිකක් රස්තියාදුව බලාපොරොත්තු වෙනව පිළිතුරක් 😀

  6. hallow rusta said, on ජූලි 15, 2013 at 1:08 ප.ව.

    ස්තූතියි, පිළිතුරු පැහැදිලියි. උසස් පෙළ විද්‍යා විෂයන් ඉගෙන ගනිද්දිත් මනසට වද දුන්නෙ සතර පෙරනිමිති තරමට ඔය දැනුම පෙළඹවීමක් නොකරන දෙයක් නිසා. වර්තමානයේ මෙහේ පිපෙමින් එන තාරුණ්‍යට ප්රමුඛව ඇති ගැටළුවක් නම්, සතුන්ට අමතරව මිනිසා ට ඇති ඉතිරි ප්පරාජක දෙකේ කළමනාකාරීත්වය යැයි කියා මම දකින්නේ. එතනදි අද සිදු වන්නේ හුදු රස්තියාදුවක අතරමං වීමක් පමණයි. දැනුම තිබෙන්නට පුළුවන්, නමුත් දැනුම භාවිත කොට ගතහැකි තීරණයේ නිවැරදි තාවය දැනුමට ඔබ්බෙන් පවතිනක් නම්, උදා- පරිගණකය භාවිත කරන්නාට පරිගණකය පිළීබද තීරණයක් ගැනීමට නොහැකි කම. ඔහු සතු දැනුම සීමා වන්නේ එහි ඇති මෘදුකාංග කීපයකකට පමණක් නම්… පුද්ගලයා හා සම්බන්ධ ගැටළුවකදී, මිනිසාගේ දැනුම විසිරෙන පරාසය අනුව ඔහු තවත් එක් යන්තර කොටසක් ලෙස ක්රියා නොකරාවිද? එතකොට මා ගැන තීරණය කරන්නට මගේ තනි දැනුමට හැකියාවක් නැත්නම්, මගේ දැනුමෙන් මා ගන්නා තීරණය වැරදී යාමට ඇති ඉඩ කඩ වැඩිනම්, ඉන් ඔබ්බට මිනිහා තුළම තවත් අයිතිකරුවන් කීප දෙනෙකුගේ මත නොසැරිසරත්ද? දැනටමත් අපේ සමහර තීරණ ගන්නේ අපි නොවේ, යන්තර හෝ ඒ මත පදනම් වන තවත් මිහිසෙක් හෝ කණ්ඩායමක්. එතැන විශ්වාසනීය දැනුමක් සැරි සරනවා තමයි. සියල්ලන්ටම ප්රත්‍යක්ෂ ඥානය ලබා මෙහෙය‍වෙන්නට ඉඩක් නැති බව සැබැයි. නමුත් මිනිහා විශ්වාසයෙන් තොරව නිවැරදි තීරණ ගන්නේ කොහොමද? සත්‍ය හදුනා ගන්නේ කොහොමද? එතැනදී පදනම දැනුම නම්, එය සීමාකාරී සාධයක් වන තැන ඉදිරියට එන්නේ කුමක්ද? අත්දැකීම්ද? අත්දැකීම් නැත්නම්, මොළයේ කොටස් වල ක්රියාකාරිත්වයේ ප්රශ්න නොමැතිවම අතීරණයක හෝ අතරමගක හිර වෙන්නෝ නැතිද? හිතේ ප්රබලතාවයට මොළය බලපාන්නේ යම්සේද? මොළයේ ප්රබලතාව මතු කරගැනීමට හිත හසුරවා, මෙහෙයවා ගැනීමක් ගැන අද කතාවක් තිබේද? වඩා ප්රබල මොළයද? හිතද? මං අහන්නේ බලපෑම් සිදුවීම කෙරෙන්නේ අප වෙතද? අප විසින්ද? තීරණ ගැනීම හා සත්‍ය වෙත ගමන හා ගොඩනැංවීම පවතින්නේ මොළය මතද? හිත හෝ හිතිවිලි මතද? මන්ද මානසික හෝ මන්ද බුද්ධික හෝ නොවන සාමාන්‍ය මිනිසා මුල් කොට ගෙන විමසමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: