අරුණි ශපීරෝ‍ වෙතින්

නොමඟ යවන ලෙසින් බෙදා හරින විද්‍යාවේ අවිද්‍යාව

Posted in Uncategorized by arunishapiro on ජූලි 16, 2013

“දැනුම වනාහී බලයයි,” යන්න අනේක විධ පෝස්ටර වලින් දකින්නට ලැබෙනවා. සර් ෆ්‍රැන්සිස් බේකන් ඉදිරිපත් කරපු වහරකි මෙය. එහෙත් දැනුම බෙදන නාමයෙන් පතුරුවා හරින්නේ බියෙන් ඉන්නා අයව මුග්ධත්වයෙන් රත්කර ලැබෙන ප්‍රතිඵලය වූ ඊර්ෂ්‍යාව නම්?!!!!!

එවිට දැනුම යැයි කියා බෙදා හරින බලය ලැබෙන්නේ කාට ද?!!!!!!

තෝරා ගැනීම් වලට මුහුණ නොදී දත් මදින්නවත් බැහැ. තෝරා ගැනීමක දී මුහුණ දෙන්නට සිද්ධ වෙන අවිනිශ්චිත බව තමයි මිනිස් ජීවිතයකට දුෂ්කරතම වූ කාර්යය. නැත්තම් තෝරා ගන්නෙ මොකක් ද කිය කිය හිතන්නෙ නැතිව ඒක කරනවානේ. බැන්ඳ එක්කෙනා මෙතෙක් දැක්වූ හොඳ යහපත් ගතිගුණ වලින් යුග දිවිය අවසානය දක්වා ගෙවන්නට සහාය වේවි ද? ඒක කාට ද කියන්න පුළුවන්. ඒත් අපි හිතනවා දත් මදින්න ගන්න ටූත්පේස්ට් එක ගැන නම් අපිට හොඳින් සොයා බලා අහිතකර නැති එක මිල දී ගන්නට දැනුමක් ඇතැයි කියල.

ඉතින් ඉස්කෝලේ දී ඉගෙන ගත්ත දේවල්, යහළු මිත්‍රාන්දීන් වෙතින් ලැබෙන වාර්තා, පත්තර වල සහ අන්තර්ජාලයේ යන විද්‍යාඥයන් ලියන විවරණ යනාදිය අපි සිතා/නොසිතාම පරිහරණයට ගන්නවා ජීවිතයේ යම් තෝරා ගැනීමක දී ඇතිවන අවිනිශ්චිත බව මඟ හරවා ගන්නට.

ඒත් බහුතර අයට පාසැල් අධ්‍යාපනයෙන් පවා ලැබෙන්නෙ නැති වූවක් තමයි, තොරතුරු බහුල ලෝකයක යමක් වටහා ගැනීමට සහ සත්‍ය අසත්‍යය වෙන් කර ගන්නට හැකි විද්‍යාත්මක ප්‍රවේශය කුමක් දැයි කියා.

උදාහරණයක් හැටියට ඉහත විඩියෝවේ කියන අනතුරුදායක රසායනය ගනිමු.

පරිසරයේ බහුලව පැතිර පවතින පාටක් නැති ගන්ධයක් නැති ඒ රසායනය ගැන අනතුරු අඟවන්න -විද්‍යාත්මක ක්‍රමය ගැන කතාබහ පිණිස හදපු- වෙබ් අඩවිය තමයි මෙතැන. රසායනයේ නම ඩයිහයිඩ්‍රජන් මොනඔක්සයිඩ් – DHMO !!!!!

එයින් ඇතිවන අනතුරු:
* සුළු ප්‍රමාණයක් බලාපොරොත්තු නොවූ ලෙසකින් ආශ්වාස කිරීම නිසා මරණය පවා සිදුවිය හැකියි.
* ඝන DHMO වලට වැඩි කාලයක් නිරාවරණය වීමෙන් බරපතල ලෙසින් පටක හානියක් සිදුවේ.
* ඇසිඩ් වැසිවල ප්‍රධාන අංගයකි.
* සෝදාපාළුව සිද්ධ කරයි.
* ප්‍රාග්-පිළිකා ගෙඩි වලින් සහ තුවාල වලින් ගත් වාණු පරීක්ෂණ නොහොත් බයොප්සි වල දී දැකිය හැකියි.

රසායනික අවි හදන්නට සහ කෘමි නාශක හදන්නට යොදා ගන්නා මේ රසායනය ඔබ දිනපතා බොන වතුර යැයි දන්නේ රසායන විද්‍යාවේ දී DHMO යනුවෙන් ලේබල් අලවා ඇති ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් යන්න කුමක් දැයි දන්නා අයයි. ඩයිහයිඩ්‍රජන් යනු හයිඩ්‍රජන් දෙකකි. මොනොඔක්සයිඩ් යනු ඔක්සිජන් එකකි. ඉතින් මේ අනතුරුදායක රසායනය, ඔව් එය H2O නොහොත් වතුර වෙයි.

එයින් ඇතිවන අනතුරු ලෙසින් දක්වා ඇති ඉහත සියල්ල සත්‍යයන් වෙති.

එහෙත් පාඨකයා නොමඟ යවා ඇත්තේ සමහර තොරතුරු සපයමින් තවත් තොරතුරු වසන් කිරීම මඟිනි. වායුවක් ලෙසින් පිටවන වතුර නිසා දැඩි ලෙස පිච්චෙන්නට හැකියි. ඒත් ඒ වතුර අනතුරුදායක නිසා නොවේ. එය විඛාදක (corrosive) රසායනයක් නිසා නොවේ. වතුර උණුවෙද්දී පිටවෙන හුමාලය රස්නයෙන් අධික නිසායි.

“වතුරේ ආදීනව” යන සිරස්තලයෙන් ඒ අනතුරු සියල්ල ගැනම ලිව්වා නම් කියවන කිසිවෙක් එය මහා අනතුරුදායක රසායනයක් නොවන බව අත්දැකීමෙන් දන්නා නිසා කලබලයට පත් නොවෙති.

සමාජයට තොරතුරු සපයන අය (සමහර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය පවා) උවමනාවෙන් ම තමනට ආධාර (විද්‍යාගාර උපකරණ, තනතුරු හා ව්‍යාපෘති මුදල් යනාදිය) ලැබෙන පැත්තට වාසි වෙන පරිදි විද්‍යාවේ කොටසක් අතහැර කොටසක් පමණක් ඉදිරිපත් කරති. සමහරු එය කරන්නේ තමන් ලියන කියන දේවල් වලට අවධානයක් නොදක්වන නිසයි. තව සමහර අය එසේ කරන්නේ කිසිත් පුද්ගලික ලාබයක් නැති වුවත් තමන් අල්ලා ගත් දැක්ම ඊට පටහැණි වූවට වඩා වඩාත් හොඳ ලෙසකින් පෙන්වනු සඳහා උවමනාවෙන් ම පාඨකයා නොමඟ යවන්නටයි.

නැවතත් එමු, දැනුම යැයි කියා බෙදා හරින්නේ කාට බලයක් පවරන්නට ද? පාරිභෝගිකයාට ද? වෙළඳාමේ හා නිෂ්පාදනයේ යෙදෙන අයට ද? රෙගුලාසි හදන අයගෙ සහ ඔවුන්ගේ ගැත්තන්ගේ බලය සහ මඩිය තර කරගන්නට ද?

ඉතින් තෝරාගැනීමක් ඉදිරියේ පවතින මතභේද අර්බූදයක දී සත්‍යය සොයා ගන්නට කැමත්තක් තියෙන අයෙක් විමසිය යුතු ප්‍රශ්න මේවායි:
* මතභේදයට පාත්‍ර වෙලා තියෙන භාණ්ඩය විකුණන්නේ හෝ මිල දී ගන්නේ කවුද?
* ඒ විකුණන අයගේ තරඟකරුවන් කවුරුන් ද?
* රෙගුලාසි හදන්නේ කවුරුන් ද?
* මතභේදය නිසා පීඩා විඳින්නේ කවුරුන් ද?

මේ අයට කියන්නෙ පරදු දරන අය (stakeholders) කියල. ඕනෑම මතභේදයක දී මේ අය කවුරුන් දැයි සොයාගන්නට හැකිනම් අවුල ලිහා ගන්න පහසුයි. සමහර පරදු දරන අය ගැන අපිට වැඩියෙන් ඇහෙද්දී, ඉතා ඛේදනීය තත්වයන්ට මුහුණ දෙන පරදු දරන්නන් ගැන අහන්නවත් ලැබෙන්නෙ නැති අවස්ථා තියෙනවා.

සාගතයකින් පෙළුන සැම්බියාවේ ජනතාවට ඇමෙරිකාවෙන් තෑගි පිණිස යවපු තිරිඟු තොගයක GMO තිරිඟු කොටසක් ද තිබුණ. ඉතින් ඇමෙරිකාවේ මිනිස්සු මිල දී ගෙන කන ආහාර සැම්බියාවේ සාගතයෙන් පෙළෙන අයට තෑගි කරන එක සැම්බියා රජයෙන් වැළැක්වීම නිසා ඒ රටේ ජනතාව ජාන විකිරණ ඓන්ද්‍රිකයන් නොහොත් GMO ගැන ඇති කරගත්තේ වැරදි අදහසක්. සෙසු අප්‍රිකානු රටවල් ද GMO වලට බිය වුනේ ඒවාට ඉඩ දුන්නොත් යුරෝපයට කෘෂිකාර්මික අපනයන යැවීමට නොහැකි වේවි යන බියට.

ජාන විකිරණ ඓන්ද්‍රිකයන් යොදාගෙන කෘෂිකර්මයේ යෙදෙන පරදු දරන අය බොහොමයක් හිටියත්, එදත් අදත් ලෝකයේ මොන්සැන්ටෝ කොම්පැණියට ඇමෙරිකන් ආණ්ඩුවෙන් ලැබෙන විශේෂ සහනාධාර සහ රෙගුලාසි අඩුවීම ඉවත් කරන්න යැයි ඉල්ලා සිටින්නට දන්නේ නිදහස් වෙළඳපොල අගයන සුළු කොටසක් පමණයි. අනිත් අය සමස්ත වශයෙන් ජාන විකිරණ ඓන්ද්‍රිකයන් ගැන කතාබහෙන් ජනතාව නොමඟ යවනවා මිසෙක ආණ්ඩුව යම් පරදු දරන කොටසකට විශේෂ වරප්‍රසාද දී තියෙන්නෙ ඇයි කියන එක කතාබහට එන්නෙ නැහැ. ඒ ඇයි? තමන් බලයට ආවම තමන් ද ඒ අයට විශේෂ වරප්‍රසාද දීලා ඔවුන් වෙතින් තමන්ගේ දේශපාලනයට වාසි බලාපොරොත්තු වෙන නිසා.

ලෝකයේ සෑම පුද්ගලයෙක් ම පරදු දරන අයෙක්. විද්‍යාත්මක සත්‍යයට වඩා වේගයෙන් බෙදාහරින විද්‍යාවේ අවිද්‍යාව පහදා ගැනීමේ වගකීම පැටවෙන්නේ තමන්ට. ඒක ගෙදර අම්මා තාත්තා, පාසැල් ගුරුවර ගුරුවරියන්, විශේෂඥයන්, විද්‍යාඥයන් හෝ රටේ ආණ්ඩුව විසින් කර දේවි යැයි විශ්වාසය තබාගෙන තමන් උත්සාහයක් නොගෙන සිටියොත් වෙන්නෙ මිනිසාගේ දියුණුව එක තැන ලැග පැවතීමයි.

අවුල් ලිහා ගැනීමට තොරතුරු එකතු කරන අය වෙනුවෙන් කළින් ලියන ලද ෆ්‍රැන්කන්ස්ටයින් කවුද? සහ තිරිඟු ජාන රාක්ෂයාව ෆ්‍රැන්කන්ස්ටයින් බවට හරවයි! යන්නත් කියවා GMO ගැන මේ පිළිතුරත් සහ මිහිකත දිනයේ අද ජීවත්වන අප වෙනුවෙන් කියවන්නට යැයි ආරාධනා!

සරල ලෙසින් පැහැදිලි කරන්නට ගන්නා උත්සාහයෙන් විද්‍යාත්මක ප්‍රවේශය පුද්ගලයෙක් විසින් කෙසේ කළ යුතු දැයි ලියන මෙම සටහන් පෙල එහි අවසානය දක්වා කියවන්නට රැඳී සිටින්න යැයි ආරාධනා කරමි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූලි 16, 2013 at 11:04 ප.ව.

    වෙළද දැන්වීම් හා ‘නොමග යවන ලෙසින් බෙදා හරින විද්‍යාවේ අවිද්‍යාව‘ කිසිදු නීති රීති සීමාවකින් තොරව මෙහේ අපූරුවට ගලපනවා. දැන් ඒකට මානුෂීය සබදතා පිළිබදව කලාවක්ද එකතු වෙලා.. හොද ටිකක් වන මේ බොහෝ තැන්වලින් ගලන දැනුම අපට ඛේදවාචකයක් වෙලා. ?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: