අරුණි ශපීරෝ‍ වෙතින්

සෝඩා පාන වල අගුණ දෙසන අය මත්පැන් බොනවා වගේ

Posted in Uncategorized by arunishapiro on ජූලි 18, 2013

වතුර ෆිල්ටර් විතරක් නෙමෙයි අපිට ඇහෙනවා අතේ චුම්බක නැත්නම් අයනීකාර වළල්ලක් දාගත්තම සමබරතාවය නැත්නම් නිරෝගී බවක් ලැබෙන හැටි ගැන. අපූරු ප්‍රතිඵල ගෙනෙන තෙල් බෙහෙත් ගැන. මේවායේ සත්‍යය හා අසත්‍යය තෝරා වෙන් කරගන්න හැටි බැටළුවන් වගේ පාසැල් අධ්‍යාපනයෙන් දක්කා ගෙන ගිය අයට නුහුරුයි.

තමන් දන්න දැනුම අනිත් එක්ක බෙදා ගන්න උවමනාව මිනිස් ප්‍රාජකයන් අතර වූවක්. ඒත් අම්මා කෙනෙක් අළුත උපන් බබාගේ මුහුණ ඉඹලා බබාට ප්‍රතිශක්තියන් ලබාදෙනවා කියන අවුල මුහුණුපොතේ බෙදා ගැනෙද්දී කීයෙන් කී දෙනෙක් ද ඒ අවුල බේරාගන්න දැනගෙන හිටියෙ.

ඇහෙන හැම දෙයක ම පටලවා තියෙන මුලාව සහ සත්‍යය හඳුනා ගැනීමේ වගකීම ඇත්තේ තමන් අත. රසායන, වසවිස, විෂ යනාදී වචන නරකයි කියලා ඇහෙද්දී ස්වභාවික දේවල් හොඳ යැයි කියද්දී ස්වභාවික ලෝකයේ කොතරම් රසායන, වසවිස, විෂ පිරිලා ඇත්දැයි හිතන්න අයෙක් පොඩ්ඩක් හෝ වෙහෙසක් ගන්නෙ නැහැ.

අණුව, රසායනික ප්‍රතික්‍රියා සහ පර්යේෂණ විධි ක්‍රම ගැන යාන්තමකින් හෝ දැනුමක් බහුතරයකට නැහැ. ඒ නිසාම ප්ලේසිබෝ යන ඖෂධයක් නොවන එහෙත් එලෙසින් පිරිනමන්න කොතරම් වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා ද යන්න ද දන්නෙ නැහැ. මුතුන් මුත්තන් සිට භාවිතා වූවා යැයි කියැවෙන සමහර බෙහෙත් වලට අනවශ්‍ය ලෙසින් ඇබ්බැහි වෙලා සිටීමෙන් ඇතිවන අවුල ගැන දන්නත් නැහැ.

විද්‍යාවට උත්තර ඔක්කොම දෙන්න බැහැනෙ කියන එක ඉස්සර වෙලා ම පිළිගන්නෙ සත්‍යය විද්‍යාඥයන්.

විද්‍යාවේ දී වැරදි සිදුවෙනවා යැයි කියන එකත් ඉස්සර වෙලා ම පිළිගන්නේ සත්‍යය විද්‍යාඥයන්.

එහෙත් බහුතරයක් පිළිනොගන්න වැදගත් ම වූව තමයි විද්‍යාත්මක ක්‍රමය පමණයි අපිට දියුණුව කරා යන්න හැකි එකම මාර්ගය කියල.

ඉතින් ඊයේ දාපු සටහනේ වතුර ෆිල්ටර් විකුණන්න ආපු සේල්ස්මන්ට රසායන විද්‍යා දේශනයක් දුන්න මහාචාර්යවරයා ටැප් වතුරෙන් හදපු කෝපි කෝප්පයක් දුන්නම සේල්ස්මන් එය බොන්න මැළිවෙන්නෙ නැහැ.

ඒත් වතුර ෆිල්ටරයක් තමන් ද මිල දී ගන්නවා යැයි කිව්වම නම් සේල්ස්මන් පුටුවෙන් වැටෙන්න තරමට පුදුම වුනාලු.

නගර සභාවෙන් පිරිසිදු කරලා එවන වතුර වල ඉතිරි වෙලා තියෙන ට්‍රයිහැලොමේතේන්ස් වැනි අයහපත් දේවල් කිහිපයක් මේ ෆිල්ටරයෙන් ඉවත් වෙන බව මහාචාර්යවරයා සේල්ස්මන්ට කියා දෙනවා. ක්ලෝරීන් වෙනත් දියවුණු කාබනික සංයෝගයන් සමඟ ප්‍රතික්‍රියා කරල තමයි ට්‍රයිහැලොමේතේන්ස් නිෂ්පාදනය කරන්නෙ. එය පිළිකාරයක්. ක්‍රියාශීලී ලෙසින් වැඩ කරන කාබන් ෆිල්ටර් ඒවා සහ තවත් අපවිත්‍ර දෑ ටැප් වතුරෙන් ඉවත් කරන බව කියන මහාචාර්යවරයා ඒ පමණක් හේතුවෙන් ෆිල්ටරය මිල දී ගන්නේ යැයි කියල ෆිල්ටරය ගන්න චෙක් එකක් ලියලා දෙනවා.

ඔහු මහාචාර්යවරයාගේ නිවසෙන් පිටවෙලා ඊ ළඟ නිවසට ඇවිද ගෙන යද්දී මහාචාර්යවරයා ජනේලයෙන් බලාගෙන ඉන්නෙ මේ කියා දුන්න කොච්චර දෙයක් ඔහු ඉගෙන ගන්න ඇත්දැයි කියල. ටැප් වතුරේ තියෙන අහිතකර රසායන වලින් සිරුරට වන හානි ගැන කියමින් ෆිල්ටර් විකුණන සේල්ස්මන් අනික් ගෙදරට යන්න කළින් පොඩ්ඩක් නැවතිලා සිගරට් එකක් පත්තු කරගෙන හනිකට උරනවා. මේ මහාචාර්යවරයා දුන්න පාඩමෙන් හිත කලබල වෙන්නත් ඇති.

ඒත් අපිට ඒ හැදියාවත් නිතර දකින්න ලැබෙන එකක්. අනිත් අයට යම් දෙයකින් සිද්ධ වෙන පව් හෝ හානිය ගැන අවදානම් කියන්න මහා කරුණාවන්ත සංවේදී මිනිස්සු හැටියට වෙහෙසනවා යැයි කියන අය අනුන්ට ගවමස් කන්න එපා කියමින් තමන් කුකුල් මස් කනවා. නිව් යෝර්ක් නගරාධිපති වගේ සෝඩා පානයේ ආදීනව ගැන කියමින් ඊට තහනම් ගෙනෙමින් හොට් ඩෝග් කොච්චරක් ගිලින්න පුළුවන් දැයි උත්සව පවත්වනවා. නැත්නම් කොකා කෝලා වල මෙච්චර මෙච්චර නරක දේවල් තියනවා යැයි කියන අයට යාළු මිත්‍රාන්දීන් එකතු වුනාම විස්කි වීදුරුවක් දාගත්තෙ නැත්නම් නිකන් මොකක්ද නැහැ වගේ!!!! 😀

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. බෙබේ said, on ජූලි 18, 2013 at 10:11 පෙ.ව.

    කොකා කෝලා වල මෙච්චර මෙච්චර නරක දේවල් තියනවා යැයි කියන අයට යාළු මිත්‍රාන්දීන් එකතු වුනාම විස්කි වීදුරුවක් දාගත්තෙ නැත්නම් නිකන් මොකක්ද නැහැ වගේ!!!!

    කොකා කෝල වලට වඩා විස්කි නරකයි කියල කොහේ හරි තියද අරුණි? මම කියන්නෙ සමාන ප්‍රමාන වලින් නෙවෙයි, අපි කියමුකො ඉඳ හිට බොන කෙනෙක් ට පාවිච්චි වෙන තරමට. කවුරුවත් ඉතින් කොකා කෝල බොන තරම් විස්කි බොන්නෙ නැහැ නෙ ඒක නිසා සමාන ප්‍රමාණ සංසන්දනය අසාධාරනයි.

    මම කොකාකෝල බොන්නෙ නැතිම තරමයි, HFCS නිසා, අනෙක මට කොකා කෝල වලට පීනස වැඩි වෙනවා සිරාවට. විස්කි නම් ඉඳ හිට බොනවා අයිස් එක්ක, පාටියක් එහෙම සෙට් උනොත්.

    • arunishapiro said, on ජූලි 18, 2013 at 10:00 ප.ව.

      බෙබේ,

      මුලින්ම කියන්නම් මම කොකා කෝලා වලට කැමති කෙනෙක් නෙමෙයි. මම විස්කි වලටත් කැමති කෙනෙක් නෙමෙයි. එත් දෙකම බීලා තියෙනවා. අද බිව්වෙ නැහැයි කියලා හෙට බොන්නෙ නැහැයි කියන්නෙත් නැහැ. ඒත් ඒ නිසා අනිත් අයට කොකා කෝලා හෝ විස්කි හෝ බොන්න කියා හෝ නොබොන්න කියා කියන අයෙක් ද නෙමෙයි. එපමණක් නෙමෙයි බොන කෙනෙකුට මත්පැන් බොන හැටි ගැනත් මේ අඩවියේ දී ම ලියලා තියෙනවා!!!

      කොකා කෝලා බීලා ඉංග්‍රීසි සමුද්‍රසන්ධිය තරණය කරපු ඔස්ට්‍රේලියන් ජාතික Linda McGill පිහිනුම් ක්‍රීඩිකාව ගැන අහලා තියෙනවා ද? ප්‍රංශ බයිසිකල් සවාරියේ යන යුරෝපීය තරඟකරුවන් තරඟය මැද දී කොකා කෝලා බොනවා දැකලා තියෙනවා ද? ඒත්, විස්කි බීලා ජයගත්තු වෘත්තීමය ක්‍රීඩා තරඟයක් ගැන අහලා තියෙනවා ද?

      //කවුරුවත් ඉතින් කොකා කෝල බොන තරම් විස්කි බොන්නෙ නැහැ නෙ ඒක නිසා සමාන ප්‍රමාණ සංසන්දනය අසාධාරනයි.// ඔයා මෙය සත්‍යයක් යැයි කියන්නේ මොන දත්ත ඇසුරින් ද?

      සමහරු කොකා කෝලා බොන්නේ පීනස මඟ හරවා ගන්නට යැයි ඔබ දන්නවා ද? අයිස් කරපු හෝ අයිස් කැට දාපු බීමක් බිව්වම sore throat හැදෙනවා කියලත් විශ්වාස කරන අය ලංකාවේ ඉන්නවා කියල දන්නවා ද?

      high fructose corn syrup යනු තේ බොන්න ගන්න සීනි වල තියෙන රසායන වලින් ම යුතු වූ බව දන්නවා ද?

      බොන ප්‍රමාණය නිසා හානිය සිද්ධ වේ නම් විස්කි බොන තරමට පමණක් කොකා කෝලා බොන්න බැරි ඇයි? තවත් විදියකින් ඇහැව්වොත් විස්කි බොන එක පාලනය කරගන්න පුළුවන් නම් ඇයි කොකා කෝලා බොන තරම පාලනය කරගන්න බැරි? නැත්නම් විස්කි බොන එක මත්වෙලා වැටුනම ඉබේම පාලනය වෙන නිසා ඒකට නතු වෙලා තමන් වෙහෙසක් නොගෙන පාලනය වෙන එකට කැමැත්තෙන් ඉන්නවා ද? HFCS වැඩියෙන් බීලා තරබාරු වීම නරක යැයි කියද්දී විස්කි අඩුවෙන් බීලා අක්මාව නරක් වීම කමක් නැද්ද? 😀

      • බෙබේ said, on ජූලි 19, 2013 at 12:45 පෙ.ව.

        කොකා කෝලා බීලා ඉංග්‍රීසි සමුද්‍රසන්ධිය තරණය කරපු ඔස්ට්‍රේලියන් ජාතික Linda McGill පිහිනුම් ක්‍රීඩිකාව ගැන අහලා තියෙනවා ද? ප්‍රංශ බයිසිකල් සවාරියේ යන යුරෝපීය තරඟකරුවන් තරඟය මැද දී කොකා කෝලා බොනවා දැකලා තියෙනවා ද? ඒත්, විස්කි බීලා ජයගත්තු වෘත්තීමය ක්‍රීඩා තරඟයක් ගැන අහලා තියෙනවා ද?

        මේ තර්කෙත් නිකන් උඳුපියලිය ඇස් වලට හොඳයි, හාවො ඇස් කන්නාඩි දානව දැකල තියෙනවද වගේ එකක්. මෙතන කතා උනේ රේස් යන උන්ට බොන්න හොඳ විස්කි ද කෝක් ද කියල නෙවෙයි නෙ?

        //කවුරුවත් ඉතින් කොකා කෝල බොන තරම් විස්කි බොන්නෙ නැහැ නෙ ඒක නිසා සමාන ප්‍රමාණ සංසන්දනය
        අසාධාරනයි.// ඔයා මෙය සත්‍යයක් යැයි කියන්නේ මොන දත්ත ඇසුරින් ද?

        නිකන් පුලුවන් වෙච්ච පලියට ස්ටැටිස්ටික්ස් ඉල්ලන්න එපා, එගෙම ස්ටැටිස්ටික්ස් අතේ රෙඩි නැති බව හොඳටම දැන දැන. ස්ටැටිස්ටික්ස් ක්වෙස්චන් කරන්න ඕන අඩු ගානෙ තමන් “එහෙම වෙන්න බැහැ” කියන තර්කෙ කවුන්ටර් ආගියුමන්ට් එකක් හැටියට යූස් කරන්න ලේස්ති නම්, නැතුව තර්කයක් ඉදිරිපත් කරන එකාට කරදර කරන්නම බලාගෙන නෙවෙයි. ඔයා දැන් කියන්න යන්නෙ, “සාමාන්යයෙන් මිනිස්සු සාමාන්ය ජීවිත කාලෙකදි කෝක් වලට වඩා කොන්ටිටි එකක් විස්කි බොනව වෙන්න පුලුවන්” කියල ද? එහෙම කියන්න යන්නෙ නැත්නම් බොරුවට මගේ ක්ලේම් එකට ස්ටැටිස්ස්ටික්ස් ඉල්ලන්නෙ ඇයි?

        high fructose corn syrup යනු තේ බොන්න ගන්න සීනි වල තියෙන රසායන වලින් ම යුතු වූ බව දන්නවා ද?

        ඉතින් මොකෝ? ඇයි සීනි කිව්වම තියන කැලරි ගාන අඩු වෙනව ද ? මම “HFCS නිසා” කියන එකෙන් අදහස් කරේ “කොකා කෝල වල තියනව කියල කට කතාවල කියන ඔය අනෙක් එක එක විෂ හෝ ඇල්කොහොල් නිසා නෙවෙයි ඊට වඩා ඔබ්වියස් ෆැක්ටර් එකක් නිසා” කියන එක.

        HFCS වැඩියෙන් බීලා තරබාරු වීම නරක යැයි කියද්දී විස්කි අඩුවෙන් බීලා අක්මාව නරක් වීම කමක් නැද්ද?

        තරබාරු කමයි අක්මාව නරක් වීමයි දෙකම නරකයි. දියුනු වෙන ලෝකෙ තරබාරු කම ප්‍රශ්නයක් ද නැද්ද කියන එකත්, කොකාකෝල වගේ කාබනේටඩ් ඩ්‍රින්ක්ස් ඒවට කොච්චර හේතු වෙනවද කියන එකත් ඔයා දන්නව නෙ? විස්කි ***අඩුවෙන් බොන*** උන්ගෙ අක්මාව නරක් වෙනවා කියන්නෙ මොන දත්ත ඇසුරෙන් ද?

        Recent studies show that moderate use of alcohol may have a beneficial effect on the coronary system. In general, for healthy people, one drink per day for women and no more than two drinks per day for men would be considered the maximum amount of alcohol consumption to be considered moderate use.

        http://www.healthchecksystems.com/alcohol.htm

        • arunishapiro said, on ජූලි 19, 2013 at 7:33 පෙ.ව.

          බෙබේ,

          රවී බීට්ල්ට ලියපු ප්‍රතිචාරයට මා එකතු කළ පිළිතුර කියවන්න. මේ “Recent studies show” යනු අර ෆිල්ටර් සේල්ස්මන් වැනි විද්‍යාත්මක ඉදිරිපත් කිරීම්. ඒ ගැන ඉදිරි සටහනකින් තවත් කතාබහ කරමි.

  2. dawkinssdodo said, on ජූලි 18, 2013 at 10:20 පෙ.ව.

    Home
    හෙහ් හෙහ් මමත් හාමිනේට සොඩා පාන බොන්න එපා කියන ගමන් මත් පැන් බොන්නෙක්. එහෙත් ඩයට් සෝඩා පාන නිසා වැඩි අහිතකර තත්වයක් ඇතිවිය හැකි බවයි දැන් කියන්නේ.

    • arunishapiro said, on ජූලි 18, 2013 at 10:06 ප.ව.

      dawkinssdodo,

      තමන් කරන්නට අවධානයක් නොදක්වා අනුන්ට එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියන අය හැමදාම ලෝකෙ වැඩියි. 🙂

      මේ ගිම්හානයේ දී ඇමෙරිකාවේ කොකා කෝලා සේල්ස් අඩුවෙලා කියලා රූපවාහිනියේ ගිය වාර්තාවක හේතුව හැටියට කිව්වෙ ඇමෙරිකන් ජනතාව වැඩියෙන් තම සෞඛ්‍යය ගැන උනන්දුවක් දක්වනවා කියල. ඒත් දුම්කොළ නිෂ්පාදනයේ විස්තර හොයන කොට දැනගන්න ලැබෙන්නෙ සිගරට් වල මිල ඉහළ දැම්මත් බොන අය අඩුවෙලා නැහැ කියල!!!

      • venu said, on අගෝස්තු 1, 2013 at 5:00 පෙ.ව.

        බොන අය අඩු වෙන්නේ නැතිව ඇති ඒත් බොන අය බොන සිගරට් ගණන අඩු වෙනවා ඒක නම් විෂ්වාසයි….සිගරට් කොම්පැණි වලින් කරන සමීක්ෂන වල නම් ඔහොම දේවල් කියනවා…

        • arunishapiro said, on අගෝස්තු 1, 2013 at 9:26 පෙ.ව.

          venu,

          සිගරට් කොම්පැණිය කරන සමීක්ෂණ වල පරමාර්ථය සිගරට් විකුණා ගැනීම .. දෙපැත්ත දිහා බලා ගත යුතු සත්‍යයක් ඇත්නම් එය පිළිගෙන නොගත යුතු අසත්‍යයන් බැහැරලන්නට ඉගෙන ගැනීමයි බුද්ධිමතාගේ උත්සාහය විය යුත්තේ.

  3. maathalan said, on ජූලි 18, 2013 at 11:02 පෙ.ව.

    අයියෝ ෂොට් එකක් නැත්නම් ඒකත් ජීවීතයක්ද නෝනේ.. මට මතකයි ඔහෙත් ලේ පාට මොනවද ග්ලාස් එකක දාගෙන හිටපු ෆොටෝ එකක් කලෙකට ඉහතදි…

    • arunishapiro said, on ජූලි 18, 2013 at 10:14 ප.ව.

      maathalan,

      //අයියෝ ෂොට් එකක් නැත්නම් ඒකත් ජීවීතයක්ද නෝනේ.. // මේක ගැන නෙමෙයිනෙ මම කියන්නෙ.

      // මට මතකයි ඔහෙත් ලේ පාට මොනවද ග්ලාස් එකක දාගෙන හිටපු ෆොටෝ එකක් කලෙකට ඉහතදි…// වැරදීමක් වෙලා මාතලන්ට. මම දාලා තියෙන්නෙ මයාමි වල දී මත්පැන් නැති සුදු පාට පින්‍යා කොලාඩා “දැවැන්ත භාජනයකට” ස්ට්‍රෝ එකක් දාගෙන උරන පින්තූරයක් විතරයි.

  4. Beetle said, on ජූලි 18, 2013 at 6:09 ප.ව.

    එකදවසක් මොනවාහරි ගන්න ඕනේ වෙලා මමත් යාලුවෙකුගෙන් පිටකොටුවට යමුද කියලා ඇහුවාම පිස්සුද මේ මහදවල් ඔය දූවිලි ගොඩේ ගිහින් ලෙඩ හැදෙයි… දැන් බෑ හවසට යමු… වරෙන් කැන්ටිමට යන් සිගරැට් එකක් ගහන්න කිව්වා…

    • arunishapiro said, on ජූලි 18, 2013 at 10:15 ප.ව.

      Beetle,

      සටහන තේරුම් ගත්තු ප්‍රතිචාරයක් දැම්මට ගොඩක් ස්තූතියි Beetle ට!!!!!

    • Ravi said, on ජූලි 19, 2013 at 12:19 පෙ.ව.

      Beetle,

      යාළුවගෙ කතාවට මම නම් එකඟයි. පිටකොටුවෙ දූවිලි කකා ඇවිදින එකයි කැන්ටිමට ගිහිල්ල සිගරට් එකක් ගහන එකයි සමාන නැහැ කියලයි මගෙ කල්පනාව. 🙂

      • arunishapiro said, on ජූලි 19, 2013 at 7:32 පෙ.ව.

        Ravi,

        හරි ඒක රවීගේ කල්පනාව. මම මේ සටහනෙන් පාඨකයාගේ විමර්ශනය ගෙන යන්න අදහස් කරන්නේ අන්න ඒකට තමයි. නරක වැඩි කොයි එක ද යන්න තීරණය කරන්නෙ කවුද සහ කොහොම ද කියල? ඒක හොයන්න අවශ්‍ය තොරතුරු සියල්ල අපිට ලබාගත හැකි ක්‍රමයක් නැහැ. එහෙත් එහෙම පුළුවන් යැයි උපකල්පනය කරමින් ගෙන යන අසම්පූර්ණ සහ විද්‍යාවේ අවිද්‍යාවෙන් කරන පර්යේෂණ තමයි බහුතර වශයෙන් අපිට ලොව දකින්නට ලැබෙන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: