අරුණි ශපීරෝ‍ වෙතින්

ඇයි විද්‍යාඥයන් එකිනෙකා සමඟ එකඟ නොවන්නේ?

Posted in Uncategorized by arunishapiro on ජූලි 20, 2013

487px-Alfred_Wegener_ca.1924-30

පාසැලක විද්‍යා පංතියක දී පර්යේෂණයක් කරන ළමයි එහි දී තමන්ට කියලා දීලා තියෙන විදියට ලබාගත යුතු යැයි කියන ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් වෙහෙසෙන්නෙ.

මුලින් ම උපන්‍යාසයක් හදා ගන්නව.
එය විභාගයට පර්යේෂණයක් සැලසුම් කරගන්නව.
පර්යේෂණයේ යෙදෙමින් දත්ත එකතු කරනව.
එකතු කරගත් දත්ත විශ්ලේෂණය කරනව.
දත්ත වලින් උපන්‍යාස තහවුරු කරගන්නට පුළුවන් වුනා ද බැරි වුනා ද කියන එක තීරණය කරනව.

ඒත් පාසැල් ඉගෙනීම ඉවර වෙලා, සමහර වෙලාවට කැම්පස් ඉගෙනීම පවා අවසන් කරලා, සත්‍යය ලෝකයට ගියාට පස්සෙ විද්‍යාත්මක විමර්ශනයේ යෙදෙන්නෙ එහෙම නෙමෙයි කියල දකිනව. කාලාන්තරයක් තිස්සෙ උපන්‍යාස විභාගයට ලක් නොවී තිබීම, ලැබෙන ප්‍රතිඵල ගැන විද්‍යාඥයන් එකඟ නොවීම, මේවා පංතියේ දී කියා දෙන්නෙ නැති ඒවා!!! 😀

නව තාක්ෂණය තුලින් නව පර්යේෂණ විධි ක්‍රම බිහිවෙයි. එවිට මෙතෙක් විභාග නොකරන ලද උපන්‍යාස විභාග කරන්නට විද්‍යාඥයන්ට අවස්ථාව ලැබේ. අළුතින් බිහිවූයේ සුදුසු තාක්ෂණයක් හෝ සුදුසු විධි ක්‍රමයක් යැයි සෙසු විද්‍යාඥයන් පිළිගත්තේ නැත්නම් ඒ අනුව දත්ත එකතු කිරීමෙන් ඵලක් නැති නිසා ඒවා භාවිතයට ගැනෙන්නේ ද නැහැ.

බටහිර විද්‍යාවේ අද මෙහෙමයි කියල, හෙට එහෙම නෙමෙයි කියනවා යැයි සිංහලෙන් කියවන සමහර අයගේ අවලාදය. ඒත් එහෙම කියන අය දකින්නෙ සෙල් ෆෝන් කුළුණු අසල පිළිකා පොකුරු හැදෙන හැටි හොයා ගත්ත කියල නොමඟ යවන ජනප්‍රිය විද්‍යාවේ අවිද්‍යාව. ඒ ගැන පැහැදිලි කරන පරීක්ෂණාත්මක සැලසුම් නිර්මාණය සහ වටහා ගැනීමේ අවදානම් පෙන්වන සංඥා දෙවැනි කොටස කියවන්නට මෙතැනින් යා හැකියි.

විද්‍යාත්මක සත්‍යයන් කටපාඩම් කරගෙන ඇවිත් විභාගයට ලිව්වම පාස් වෙන විදියට විෂය මාලා හැදිලා තියෙද්දී විද්‍යාත්මක අදහස් ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඉතිහාසයේ එක විද්‍යාත්මක අදහසක් පාවිච්චිය නැවතිලා වෙනත් විද්‍යාත්මක අදහසක් භාවිතය පටන් ගැනුනේ මොන හේතු නිසා දැයි දැනුමක් නැහැ.

පැරණි විද්‍යාඥයන් මුහුණ දුන් ඔක්කොම ගැටළු දැන් විසඳා පහදා ගෙන ඉන්නෙ කියල හිතන නිසා, වර්තමාන විද්‍යාත්මක අදහස්, න්‍යායයන් අනිවාර්යෙන් ම සත්‍යය බවයි සමහර අයගෙ විශ්වාස.

විද්‍යාඥයන් අතර තිබුණු අසම්මතියන් විද්‍යාවේ දියුණුවට දැවැන්ත මෙහෙයක් ඉටු කරපු බව ඉගෙන ගන්න හැකියාවක් අද බහුතරයට හුරු නැහැ. අද අසම්මතිය දේශපාලන පැති අනුව හංවඩු ගහලා අපේ පැත්තේ කට්ටිය හරි අනික් පැත්තෙ කට්ටිය වැරදි … පිළිගැනීම සහ පිළිපැදීම අපේ දේශපාලන මතවාදයට අනුව පමණයි .. දත්ත හොයන්න?? ඔප්පු කරන්න???? ඒ මොකට ද?!!!! අදහස් සහ න්‍යායන් වලින් අනාගතය ගැන අනාවැකි කිව්වම ඇති!!!! ඒ අනාගතය එනකොට අපි ඔක්කොම මැරිලනෙ!!!! 😀

විද්‍යාඥයන් අතර එහෙම නැති විසංවාදය යනු විද්‍යාත්මක ප්‍රවේශයට අත්‍යාවශ්‍ය වූවක්.

ඇල්ෆ්‍රඩ් වෙගෙනර් මහාද්වීපික ප්ලාවිනය (continental drift) ගැන උපන්‍යාසයක් ඉදිරිපත් කළේ 1912 දී. මෙහි මූලික අදහස නම් එකෝමත් එක කාලයක ලෝකයේ පැන්ජියා නොහොත් පැංය ලෙසින් සුපර් මහාද්වීපයක් හැටියට එක භූ ස්කන්ධයකින් භූමිය පැවති බවයි. ඒක කැඩිලා ගිහින් මහාද්වීප බෙදුනා යැයි ලෝකයට කිව්වෙ වෙගෙනර්.

එවක විද්‍යාඥයන් එය පිළිනොගත්තේ ඔවුන් ලෝකය මැවූ දෙවියන් විශ්වාස කරපු නිසා නෙමෙයි. කොහොම ද මේ මහාද්වීපයන් කැඩී ගියේ කියන එක පහදා ගන්න විද්‍යාත්මක ක්‍රමයක් ඔවුනට නොතිබුණු නිසා. මහාද්වීපයක් තැනකින් තැනකට යන්නෙ කොහොම ද? මේක පැහැදිලි කරන්න වෙගෙනර්ටත් දත්ත තිබුනේ නැහැ. ඒ නිසා තම අදහසේ අඩුපාඩු ඇති බව ඔහු පිළිගත්ත.

පසු කාලීන සොයා ගැනීම් තුනක් උදව් වෙනවා වෙගෙනර්ගේ මතය සනාථ කරන්නට.

1. මුහුද පතුලේ තියෙන ගල් මහාද්වීප වල තියෙන ගල් වලට වඩා ගොඩක් තරුණ බව පෙන්වන්නට විද්‍යාඥයන්ට හැකිවීම. 2. දිග කඳු වැටියක සක්‍රීය ගිනිකඳු මැද්දෙ තියෙද්දී පරණ ගිනිකඳු එහි මායිමේ තිබෙන බව සොයා ගැනීම. ඒවායෙන් උතුරු දකුණු බෙදීමක් කරන වාටියක් අත්ලාන්තික් මුහුදේ මැද තිබෙන බවත් දැන ගැනීම. 3. අත්ලාන්තික් සාගරයේ පතුලේ අර කඳුවැටියට සාමාන්තරව පිහිටා ඇති කොටසක් උත්තර ධ්‍රැවයටත් කොටසක් දක්ෂිණ ධ්‍රැවයටත් වශයෙන් හැරිලා තියෙන වෛකල්පික පරස්පරතාවයකින් යුතු චුම්භක පටි සොයා ගැනීම.

මිලියන 200 ගණනකට පෙර ගිනිකඳු පුපුරා යෑම නිසා පැංය කැඩෙන්නට පටන් ගත් බවත්, එහි දී අත්ලාන්තික් සාගරය හැදුන බවත්, එහි දෙපැත්තේ තියෙන මහාද්වීපයන් තවමත් දෙපැත්තට තල්ලු වෙමින් පවතින බවත් අනතුරුව විද්‍යාඥයන් පහදා ගත්හ.

තවමත් එංගලන්තයයි ඇමෙරිකාවයි හැම වසරක දී ම අඟල් කිහිපයකින් එකිනෙකාගෙන් ඈත් වෙති.

පර්යේෂණ ගවේෂණ චාරිකාවකින් ග්‍රීන්ලන්තයට 1930 දී ගිය වෙගෙනර් එහි දී මිය ගියේය. ඔහුගේ අදහස් නව තාක්ෂණය බිහිවීමත් සමඟ ඔප්පු වී ලෝකයේ භූවිද්‍යාවේ මහත් ආන්දෝලනයක් ඇතිවෙන්නෙ ඔහු මිය ගිහින් වසර 30 කට පසුවයි.

ඉතින් ඔහු ඉදිරිපත් කළ මතය පිළිගත්තේ නැතැයි කියා ඒ කාලේ හිටපු වෙගෙනර්ගේ සමකාලීනයන්ට වරදක් කියන්නට බැහැ. මොකද ඒවාට හේතු දක්වන්නට වෙගෙනර්ට හෝ ඔවුන්ට දත්ත නොතිබුණ නිසා. නමුත් විද්‍යාවේ වැදගත්ම ලක්ෂණය තමයි ප්‍රගතිය වෙනුවෙන් අසම්මතියන් තුලින් න්‍යාය ඔප්පු කරන්න දත්ත ලැබුනාම සම්මතියකට එළඹෙන්න තිබෙන හැකියාව.

තවත් විදියකින් කිව්වොත් හරි දෙයක් වුනත් හරි වෙන්නෙ කොහොම දැයි පහදා ගන්න තෙක් පිළිගන්න පිළිපදින්න අවශ්‍ය නැහැ. ඒ වගේ ම වැරදි හදාගෙන අද තියනවාට වඩා හෙට හදාගත හැකි වූව අනගි විය යුතු යැයි අපේක්ෂා කිරීම අත්හරින්නත් නරකයි. හැබැයි ඒ දෙකටම වඩා විද්‍යාත්මක ප්‍රවේශයට අත්‍යාවශ්‍යම වූව තමයි න්‍යාය ඔප්පු කරන්න දත්ත පෙන්වන්න නොහැකි නම් අරහෙම විය හැකියි මෙහෙම විය හැකියි කියමින් පමණක් එය ඔප්පු කරන ලද සත්‍යයක් ලෙසින් පෙන්වන්නට යෑමෙන් වැළකී සිටීම.

Sherry Seethaler ලියන ලද Lies, Damned Lies and Science (2009) පොත ඇසුරෙනි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. dawkinssdodo said, on ජූලි 20, 2013 at 2:16 ප.ව.

    විද්‍යාත්මක විධි ක්‍රමය විවේචනය කරන නලින් ද සිල්වා දැනුම සංස්කෘතියට සාපේක්ෂ යැයි පවසන්නේ Paul Feyerabend අනුව යමින් Feyerabend විසින් ලියන ලද Farewell to reason පොතේ ඇති අදහස් හා සමපාත වන අයුරිනි. Feyerabend ට අනුව විද්‍යාව යනු ආරාජික ව්‍යාපෘතියකි. පිලිගත් සම්මත ක්‍රමවේදවලට විද්‍යාව කොටුකිරීම එහි උන්නතියට බාදාවක් ලෙස ඔහු සැලකුවේය. මේ නිසාම “anything goes” යන විද්‍යාත්මක ප්‍රජාව කුපිත කරන ප්‍රකට කියමනද ඔහුගේ Against the Method පොත සමඟ ඈදෙන්නේය. ඔබ Feyrabend ගේ මතවාදය ගැන සිතන්නේ කුමක්ද?

    • arunishapiro said, on ජූලි 20, 2013 at 3:23 ප.ව.

      dawkinssdodo,

      කටින් බතල හිටවන අයට වඳින පුදන ලෝකයක පාරට්ටු බෑවාට කන්න බතල ලැබෙන්නෙ නැති බව කියා දෙන්න කොච්චර අමාරු ද? අනුන් ගහන ‘ගැට විජ්ජා’ පැහැදිලි කරන්න කාලය යෙදෙව්වොත් මට කියන්න උවමනා මගේ ධනවාදී අදහස් වලට කාලය නැතිවෙලා යනවානේ. අපි ඉස්සර වෙලා කන්න දීලා පස්සෙ ‘බණ කතා’ කරමු!!!! 😀

      “Feyrabend calls for a maximally broad and ‘ever increasing ocean of mutually incompatible (and perhaps even incommensurable) alternatives’ — of alternative counter-intuitive (and also ‘counter-inductive’) theories.6 As soon, however, as we attempt to imagine in concrete fashion what it would mean to practice science (or anything else) consciously and consistently according to the policy of arbitrariness, then we recognize that Feyerabend’s doctrine of ‘anything goes’ is entirely indefensible. For however large and important the role of serendipity in science may be, it is surely obvious that the idea that scientists could apply arbitrary assumptions is impracticable. Even those who hold falsification to be the primary motor of scientific development must insist that the falsification of arbitrary assumptions would be a fruitless enterprise.”
      සම්පූර්ණ ලිපිය මෙතැනින්: http://mises.org/journals/jls/12_1/12_1_9.pdf

  2. maathalan said, on ජූලි 20, 2013 at 11:16 ප.ව.

    ඔහේගේ ප්‍රශ්ණයට කෙටිම පිළිතුර නම්. ඔවුන් මෝඩයන් නොව ව්ද්‍යඥ්ඥයින්ම වන නිසා…

    • arunishapiro said, on ජූලි 21, 2013 at 6:24 පෙ.ව.

      maathalan,

      එක වාක්‍යයක් පැහැදිලි නොවෙද්දී ඒකෙ එල්ලෙන අය ඉන්න ලෝකයක මාතලන් එහෙම කිව්වම අදහස තව අවුල් වෙනවා මිසක් පැහැදිලි වෙන්නෙ නැහැ. විද්‍යාඥයන් එකිනෙකා හා එකඟ නොවෙන්නෙ පහදා ගන්න තෙක් පිළිගන්න පිළිපදින්න අවශ්‍ය නැති නිසයි. නමුත්, ඒ එක්කම “විද්‍යාඥයන්” සහ සහතික ලබාගත් පමණින් තමන් “විද්‍යාඥයන් යැයි කියාගන්න අය” එකම වර්ගීකරණයේ නැති බවත් සලකන්න ඕනෑ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: