අරුණි ශපීරෝ‍ වෙතින්

විද්‍යාත්මක අදහසක උප්පත්තිය සහ වර්ධනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 22, 2013

IMG_8956

එකිනෙකාගේ විද්‍යාත්මක අදහස්, පර්යේෂණ විධි ක්‍රම සහ ප්‍රතිඵල වලට අභියෝග කිරීම විද්‍යාවේ ප්‍රගතිය පිණිස විද්‍යාඥයන් විසින් කළ යුත්තකි.

ප්‍රගතියේ නාමයෙන් නොකළ යුත්ත නම් තමනට උවමනා හැටියට නිර්වචනය කරගෙන පවතින සංකල්පයක් විවේචනයයි. විද්වත් යැයි පෙනී සිටින්නා සමාජයට ලැජ්ජා උපදවන ආකාරයකින් හැසිරෙන්නේ අවංක නොවීමෙනි, දන්නා දේවල් සැඟවීමෙනි, දැන සිටිය යුතු දේවල් නොදැන සිටීමෙනි, සහ සත්‍යයෙන් පවතින තත්වය තමනට පෙන්වන්නට උවමනා පරිදි වරදවා විස්තර කිරීමෙනි. එසේම කිසිවෙක් කිසිවක් නොදන්නේ යැයි කියමින් විමර්ශනය අර්ථ ශුන්‍ය යැයි කියා ඵලක් නැතැයි කියන්නට ඔය තරම් වෙහෙසිය යුතු ද නැත.

පවතින සංකල්පයක් දෝෂ සහගත නම් එය වෙනුවෙන් වෙනත් සංකල්පයක් ගෙනැවිත් සාධක පෙන්වා නව සංකල්පය ඔප්පු කරත යුතුයි.

එසේම විද්‍යාඥයන් විසින් එකිනෙකාව අගැයුම් කරන විද්‍යාත්මක සඟරා වල තම විද්‍යාත්මක අදහස් පළකර ඒවා විද්වත් සාකච්ඡාවට පාත්‍ර කරනවා වෙනුවට මෑත කාලයේ විද්‍යාව ඉහළයි කියූ විද්වතුන් පිරිසක් කෙළින් ම ගියේ පොප් විද්‍යා ජනමාධ්‍යයටයි.

1989 දී Stanley Pons සහ Martin Fleischmann දෙදෙනා ඔවුන්ගේ cold fusion ප්‍රතිඵලය අනාවරණය කළේ එසේය. ඒ අනාවරණයෙන් මාසයකට පසුව ඇමෙරිකන් රසායන විද්‍යා සංගමයේ ජාතික සම්මන්ත්‍රණයේ දී 7,000 ක පිරිසක් සහභාගී වූයේ ඒ තේමාව යටතේ නව ප්‍රතිඵලය දැනගන්නට. ඔවුන් විද්‍යාත්මක සඟරා වලට ඉදිරිපත් නොකර ජනමාධ්‍ය වලට කෙළින්ම ගියේ මන්දැයි තවත් දශක දෙකක් පමණ යද්දී තොරතුරු විමසා බලන අයට පමණක් පැහැදිලි වූවකි. එනම්, පොන්ස් සහ ෆ්ලයිෂ්මන් දෙදෙනාගේ පර්යේෂණයේ වැරදි නිසා ඔවුනට ඒ ප්‍රතිඵල ලැබී තිබුණි.

“මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ ..” යැයි සඳහන් වෙන සෑම වාර්තාවක් ම කියවද්දී, විද්‍යාඥයන් සම්බන්ධ වූ අධ්‍යයනක් නම් එය සත්‍යයක් යැයි සිතා, කල්පනා කරන්නට නුහුරු අධ්‍යාපනයක් ලැබූ මිනිසුන් විමර්ශනයකින් තොරව පිළිගැනීමට පෙළඹෙති. මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ “මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ,” යැයි කියූ සෑම අවස්ථාවක දී ම 84.7% ක පිරිසක් එය පිළිගන්නා බවයි!!!!!

“විද්‍යාඥයන් දැන් සිතන්නේ …” යැයි වාර්තාවක කියද්දී කළින් විද්‍යාඥයන් සිතුවේ කුමක් දැයි හනිකට විමසා බැලිය යුතුයි. කළින් මතය සහ දැන් මතය ගැන ඇති මතභේදය කුමක්දැයි විමසිය යුතුය. එහි දී මතභේදය හටගන්නට පෙර විද්‍යාඥයන් එකඟ වී සිටියේ මොනවා ගැන දැයි සොයා බැලිය යුතුයි.

සමහර අවස්ථා වල දී කිසිත් මතභේදයක් නැතත් එවැන්නක් ඇතැයි හැඟෙන සේ වාර්තා පළවේ. සමහර අවස්ථා වල දී වඩා සුපරීක්ෂාකාරී පිළිතුරක් දෙනවා වෙනුවට ඉක්මණින් මතභේදයක් මඟහරවා ගන්නට නුසුදුසු වූ නිශ්චිත පිළිතුරක් දෙන හැටි දකින්නට ලැබේ.

සෞඛ්‍යය සහ පෝෂණය ගැන තීරණ ගනිද්දී සේ ම අළුත් වාහනයක් ගැනීම හා චන්දය ප්‍රකාශයේ දී ද මතභේදයට ලක්ව ඇති කාරණය ගැන ගැඹුරින් සොයා නොබලන්නා රැවටෙන්නේ ඔබ ගැන කිසිත් සැලකිල්ලක් නොදක්වා ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා “සවුන්ඩ් බයිට්” ප්‍රචාරයේ යෙදෙන අයටයි. ඔවුන් කාලයක දී ආරක්ෂා කළ යුතු යැයි කියන්න තවත් කාලයක දී විනාශ කළ යුතු යැයි කියන්නේ අපට ඔවුන් ගැන ලැජ්ජා උපදවමිනි!!!

සැබෑ විද්‍යාඥයන් එකිනෙකා අතර සබඳතා පැවැත්වීම සාමාන්‍ය පුද්ගලයෙක් හිතනවාට වඩා ඉතා බහුල වශයෙන් සිද්ධ වෙන්නකි. විද්‍යාඥයෙක් කිව්වාම බොහෝ අයගේ සිහියට එන්නේ සාමාන්‍ය ලෝකය අමතක වෙන හුදකලාව විද්‍යා ගවේෂණයේ යෙදෙන Georges Remi ගේ නිර්මාණය වූ මහාචාර්ය කැල්කියුලස්ව ය.

එහෙත් විද්‍යා පොත් වලින්, ජනමාධ්‍යයෙන් හෝ ජනශ්‍රැතියෙන් දැනගන්නට නොලැබෙන වැදගත් කාරණය නම් ලොව විද්‍යාඥයන් කොතරම් එකිනෙකා හා සබඳතා පවත්වනවා ද කියාය. විද්‍යාව ගැන ලියන ජනප්‍රිය විද්‍යා රචකයන් සේ නොව විද්‍යාවෙන් ඵල නෙළා ගන්නට දිනපතා වෙහෙසන විද්‍යාඥයන් තමන් මුහුණ දෙන විවිධ ගැටළු විසඳා ගන්නට අනෙක් විද්‍යාඥයන්ගේ සහාය සොයති.

විද්‍යාත්මක ප්‍රතිඵලයක් ගැන වාර්තාකරණයේ දී ප්‍රතිඵලයේ වැදගත්කම පැහැදිලිව කියන්නට උත්සාහයක් සාමාන්‍යයෙන් දකින්නට නොලැබේ. වාර්තාකරුවන් වැඩි අවධානයක් දෙන්නේ එයින් ඇතිවන වෙනත් බලපෑම් ගැන අනාවැකි කියන්නටයි. යම් උඩක සිට පිහාටුවක් සහ ඊයම් බෝලයක් එකවර අත්හැරියොත් දෙකම බිමට පතිත වන්නේ එකට යැයි කියද්දී එසේ වෙන්නේ වෙනත් බලපෑම් කිසිත් නැත්නම් යන්න කීම අමතක කරති. ඉතින් සාමාන්‍යයෙන් විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයකින් යම් ආකාරයක් සිද්ධ වේ යැයි ඔප්පු කර පෙන්වන්නට හැකි වූවාට එය සමාජයේ භාවිතයට ගනිද්දී අනෙකුත් අසූහාර දාහකට වැඩියෙන් ඇති බලපෑම් වලින් ඇතිවන ප්‍රතිඵලයේ වෙනස්කම් ගැන අනාවැකි කිව නොහැකි බව එක කොන්දේසියක් ගැන පමණක් පර්යේෂණය පැවැත්වූ අය නොදනිති.

දිනපතා ප්‍රතිඵල නොසොයන පිවිතුරු හෝ ගැඹුරු විද්‍යාවේ යෙදෙනවා යැයි කියන විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට ද තමන්ට පර්යේෂණ සඳහා අරමුදල් තමන් සොයා ගැනීමට අවශ්‍ය නිසා එවිට හනිකට ප්‍රතිඵල සොයන හැටි ගැන පහදන්නට වෙහෙසෙති!!!!

ලාබ උපයන කර්මාන්ත ක්ෂේත්‍රයේ දී වෙළඳපොල කොටසක් අල්ලා ගන්නට තරඟයේ යෙදෙන විද්‍යාඥයන් අතර ද නව අදහසක්, නව පර්යේෂණ ක්‍රමයක්, සහ අළුතින් ලබාගන්නට සමත් වූ ප්‍රතිඵල ඔවුන් නොමිලේ බෙදා ගන්නා බව දන්නේ ද සමාජයේ ඉතාමත් අල්පයකි. සමහර විට එය මස් පිණිස හදන සත්වයන්ට වැළඳෙන යම් රෝගයක් වළක්වා ගන්නා පහසු ක්‍රමයක් විය හැකියි. සමහර විට එය රසායනයක් හෝ උපකරණයක් හදාගන්නට අඩු වැයකින් හැකි ක්‍රමයක් විය හැකියි. ඔවුන් ඒ දැනුම බෙදාගන්නේ අනිකෙක් විසින් ද නව දැනුමක් සොයාගත් විට තමන් හා බෙදා ගන්නා බව අත්දැකීමෙන් දන්නා නිසයි.

එහෙත් ජනමාධ්‍ය සහ නොමිලේ බෙදා දෙන අධ්‍යාපනයෙන් බහුතර ජනතාව මුලා කර ඇත්තේ ලාබ උපයන ක්ෂේත්‍රයන්හි නියැළෙන විද්‍යාඥයන් එකිනෙකා සමඟ කිසිත් හුවමාරුවක් නැතිව පාරිභෝගිකයා සූරා කන්නට සූදානමින් ඉන්නවා කියාය.

විද්‍යාව යනු පවතින ඒවාට නව පරිසිද්ධි එකතුවෙමින් ඉදිරියට යන්නක් නොවේ. පරණ අදහස් අත්හැර දමන හැටි විද්‍යාවේ දී නිතර දකින්නට ලැබේ. විද්‍යාවේ විප්ලවයන් නිතර සිද්ධ වේ. අපි වර්තමාන විද්‍යාත්මක දැනුම මත අපේ තීරණ පදනම් කරගත යුත්තේ එය පරම්පරා ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් අතින් දියුණු වී (එනම් වැරදි අදහස් අත්හැර අළුත් අදහස් පිළිගැනීම මඟින්) පැමිණ, අපට ඇති වැඩිම බලවත් තාක්ෂණික ක්‍රම වලින් පාදා ගත්, වඩාත්ම හොඳ වූව නිසාය. ඊ ළඟට වර්තමාන අඩුපාඩු මඟ හරවා ගත හැකි ප්‍රතිඵල ලබාදෙන අළුත් සාක්ෂි සොයාගත හැකි වේවි යැයි අප නිතරම කල්පනාවෙන් සිටිය යුතුයි.

Gary Gutting ලියන ලද What Do Scientific Studies Show ලිපිය මෙතැනින් කියවත හැකියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: