අරුණි ශපීරෝ‍ වෙතින්

වසවිෂ, ආසනික් හා කොකා කෝලා

Posted in Uncategorized by arunishapiro on ජූලි 24, 2013

ස්වභාවික රසායන වලට වැඩියෙන් මිනිසා හදන ලද රසායන අහිතකර යැයි දුර්මතයක් ලොව පවතී. ජමනාරං හා පැණිදොඩම් යනාදී පැඟිරි පළතුරු වලින් ලැබෙන විටමින් සී –ඇස්කෝබික් අම්ලය– සහ මිනිසා විසින් හදන විටමින් සී හි කිසිදු රසායනික වෙනසක් නැත. එහෙත් පැඟිරි පළතුරක් අනුභවයේ දී ලැබෙන ලොඬිය (pulp) විටමින් පෙත්තකින් නොලැබේ.

පැලෑටි සහ සත්වයන් වෙතින් ලැබෙන රසායන හැම විටම “හොඳ” යැයි ද මිනිසා නිර්මාණය කරන ලද රසායන හැම විටම “නරක” යැයි ද සිතීම දුර්මතයකි.

ස්වභාවික රසායන බොහොමයකින් මිනිසාට මරණය ළඟා විය හැකියි. වසවිෂ ගැන කතාබහේ දී මාත්‍රය (dose) යන්න ඉතා වැදගත්. ඒ නිසා කෝපි බීලා කැෆීන් විෂවෙලා මරණය සිද්ධ විය හැකියි කියද්දී, ඒක අසත්‍යයක් නෙමෙයි. හැබැයි මැරෙන්න හැකි තරම් ගණනාවක් ගෙදර හදන කෝපි කෝප්ප පානය කරන්න හැකියාවක් අයෙකුට නැතැයි කීමත් අසත්‍යයක් නෙමෙයි.

මෙන්න මෙවැනි කතාබහේ දී තමයි වසවිෂ හා ආහාර ගැන බොහෝ අයට ලිහා ගන්න බැරි අවුල් හටගන්නේ.

ඉස්සෝ අපි බොහෝ දෙනෙකුට ඉතා රසවත් ආහාරයක්. ඒත් ඉස්සන්ට දැඩි අසාත්මිකතාවයක් ඇත්තෙකුට ඉස්සෙක් ගෑවිච්ච කෑමක් කැවුනොත්, හනිකට ප්‍රතිකාර ලබා නොදුන්නොත්, එය මරණය කැඳවන විෂක්.

ඒ ඒ පුද්ගලයාට අනුව පමණක් නොව, එකම පුද්ගලයාට ද, හැම විටෙකම මෙහෙමයි මේ මේ දේවල් වසවිෂ වෙන්නෙ කියා ද නිසැකවම නිශ්චිතවම අනාවැකි කියන්න බැරි වූවක්. ඒත් අපිට කාලාන්තරයක් තිස්සෙ වැරදි නිවැරදි කරගෙන ආපු නිසා වර්තමානයේ දී බොහෝ දුරට ජීවිත ආරක්ෂා කරගත හැකි දැනුම් සම්භාරයක් ලැබී ඇත. ඒ නිසා වතුර වැඩියෙන් බිව්වමත් විෂ වෙන්න පුළුවන් යැයි දන්නා අතර, හැබැයි මැරතන් දුවන්නෙක් හෝ අතදරුවෙක් නොවෙනවා නම් වතුර විෂවීම ඉතා දුලබ වශයෙන් දැකිය හැකි වූවක් යැයි කියාත් අපි දනිමු.

ඉතින්, ආසනික් හෝ කොකා කෝලා ‘ආහාරයක්’ වෙන අවස්ථාව සහ එය ඉක්මවා යන එනම් එය වසවිෂක් වෙන අවස්ථාව නොහොත් ‘කොම්ප්‍රොමයිස් ගහන්න බැරි අවස්ථාව’ හඳුනාගන්නේ කෙසේද?!!!!!!!

අපි කන ආහාර සහ බොන වතුර වලින් තමයි ආසනික් සිරුරට ඇතුල් වෙන්නෙ. වායුවෙන් ලැබෙන ආසනික් අඩුයි. කිලෝග්‍රෑම් 70 ක් පමණ බරක් ඇති සාමාන්‍ය පුද්ගලයෙක් තුල ආසනික් මිලිග්‍රෑම් 10 ක් පමණ අඩංගුයි. අක්මාව නොනවත්වා එය නිශ්කර්ශය (extract) කරමින් එය ප්‍රධාන වශයෙන් ඩයිමෙතිල්ආසනික් අම්ලය බවට හරවමින් මුත්‍රා සමඟ පිට කරයි. මේක අක්මාවේ වේගවත් ක්‍රියාවලියක් නිසා ඒ ආසනික් වලින් සිරුරට හානියක් නැත.

මෑත කාලයක් වනතුරු ආසනික් යොදා ගනු ලැබුවා ලෝක කුකුල් කර්මාන්තයේ උන්ගේ වර්ධනය රෙගුලාසි කරගන්නට. ඊයේ දාපු කෝක්-පෙප්සි අවුල මතකයිනෙ. ඉතින් කුකුල් කර්මාන්තයේ ආසනික් කතාවත් එහෙම එකක්. කුකුලන්ගේ අනුභවය ක්‍රමවත් කිරීමට ආසනික් සංයෝගයක් යොදා ගනිද්දී වෙළඳපොලට යවන බරට ළං වෙද්දී සති දෙකකට පෙර ආසනික් සංයෝගය නවත්වනවා. වෙළඳපොලට යද්දී ආසනික් හෝඩුවාවක් උන්ගෙ මස්වල කොහෙත්ම නැහැ. ජීර්ණය පහසු කරගැනීමට ආසනික් යනු කුකුලන් ස්වභාවයෙන් ඇහිඳ කන ආහාර අතර තියෙන්නක්. ඒත් ස්වභාවික හොඳයි හා මිනිසා විසින් හදන ලද්ද නරකයි කියන සමාජයේ පිළිගැනීම නිසා ඇමෙරිකන් කුකුල් කර්මාන්තයේ අය වර්තමානයේ දී ආසනික් කුකුල් ආහාර වලට කොයිම අවස්ථාවක දී හෝ එකතු කිරීමෙන් වැළකෙනවා. ඒ මහජන ප්‍රසාදය දිනාගන්නට … ඒත් ඉතින් ඒක අරාබීන් සතුටු කරනවා ද නැත්නම් යුදෙව්වන් සතුටු කරනවා ද වගේ එකක් .. දෙකෙන් කොයි එක කළත් ජයගන්නට බැහැ… ආසනික් කිසිම විටෙක භාවිතයක් නැතිව හදන කුකුල් මස් වල මිල ගණන් වැඩියි. ආසනික් කොයිම අවස්ථාවක දී වත් දාන්න එපා කියල ඇමෙරිකාවට කිව්වට ගෝලීය පාරිභෝගිකයා සත්‍යයෙන් යන්නෙ ආසනික දීලා කුකුලන් හදන රටවලින් අපනයනය කරන මිල අඩු කුකුල් මස් ගන්න!!!!!

මරණය කැඳවන ආසනික් ගැන අහලා තිබුණට බහුතරයකට එහි ඇති ශක්තිජනක හා ඖෂධ බව ගැන දැනුම අඩුයි. ඔස්ට්‍රියන්-හංගේරියන් හි ස්ට්‍රිරියන් ඇල්ප්ස් කඳුකර ගම්බද ජනතාව ද පුරාතනයක දී ආසනික් ට්‍රියොක්සයිඩ් යන්න ශක්තිජනක ඖෂධයක් ලෙසින් භාවිත කරන ලද්දක්.

ලියුකේමියා සහ ඇනීමියා සමනය කරන්නට ද ආසනික් යොදා ගැනෙනවා.

ඒත් පුරාතනයේ සිට මරණය කැඳවන්න යොදාගත් නිසා ආසනික් වලට ලැබිලා තියෙන නරක නාමයෙන් ගොඩ එන්න ඉඩ නොලැබෙන බව කියමින් ආසනික් ඖෂධය සහ ආසනික් වසවිෂ ගැන ඉංග්‍රීසි ලිපියක් මෙතැනින් කියවත හැකියි.

දැන් කොකා කෝලා ගැන.

මිනිසාගේ ආමාශයේ ඇති ග්‍රෑස්ටික් අම්ලයට මස්කටුවක් හෝ යකඩ ඇනයක් දාලා පර්යේෂණ පවත්වන්න හැකියාවක් නැහැනෙ. පුද්ගලයාට වෙනත් හානියක් සිද්ධ නොවී එය අත්හදා බලන්න හැකියාවක් ඇත්නම් කොකා කෝලා වල තියෙන අම්ලයට වඩා ආමාශයේ ස්වභාවයෙන් පවතින අම්ල සෑහෙන්න දරුණු යැයි අයෙකුට පහදා දෙන්න පහසුයි.

කොකා කෝලා වල තියෙන සිට්‍රික් අම්ලය දොඩම් ගෙඩියක තියෙන පැඟිරි වලින් ලැබෙන අම්ලයට වඩා අඩුයි. ඒ වගේ ම කොකා කෝලා වල තියෙන ෆොස්ෆොරික් අම්ල සාන්ද්‍රණය ද මස්කටුවක් එක රාත්‍රියකින් දිය කරන්න තරම් බලවත් නැහැ. ඒත් දවස් ගණනක දී එය වෙන්න පුළුවන් යැයි කියද්දී, ඒ කියන්නෙ ආමාශය ස්වභාවිකව කරන වෙනත් ක්‍රියාවන් උදා. වතුර බොන්නෙ නැතිව, මුත්‍රා පිට නොකර ඉන්නවා යැයි අදහස් වෙනවා!!!

මිනිස් ආමාශය තුල හයිඩ්‍රොක්ලොරික් අම්ලය වාස්සන (secrete) විශේෂිත සෛල තියෙනවා. හයිඩ්‍රොක්ලොරික් අම්ලයට පුළුවන් ඉතා පහසුවෙන් ඇනයක් දියකර හරින්න. ඒත් එහෙම කියද්දී ඇනයක් ආමාශයේ වෙන කිසිත් කරදරයක් නොකර දියවෙන තෙක් එක තැනක ඉඳීවි යැයි අදහස් වෙනවා!!!!

ආමාශයේ පවතින්නෙ pH of 2 වෙද්දී කොකා කෝලා ක්ලැසික් (අම්ල අධික වූ කොකා කෝලා නිෂ්පාදනය) හි තියෙන්නෙ pH of 2.5. අනෙත් පාන වල pH ගැන ඔය සෝඩා පාන විරෝධී සබැඳියෙන් කියවන්න.

කොකා කෝලා වල ඇති කාබොනික් අම්ල යනු ද ඉතා දුර්වල වූවක්. කාබනේටඩ් වතුර පානයන් ගැන කිසිත් නොකියන අය කොකා කෝලා හි එය දැකීමෙන් සිත් කරදරයට පත් වෙන්නෙ මොකද දන්නෑ!!!!

අනික තමයි කොකා කෝලා වල තියෙන සීනි නොහොත් high fructose corn syrup. කොකා කෝලා වල සීනි තියෙනවා කියමින් ඒක නොබී යහමින් සීනි දැමූ තේ කෝප්ප තුන හතරක් බොන අයත් ඉන්නවා.

ලියුකේමියා සහ ඇනීමියා ප්‍රතිකාර වලට ආසනික් යොදා ගන්නවා වගේ ආමාශ ශෝධනයක් (ගබ්සා සඳහා නෙමෙයි) ලෙසින් ද කොකා කෝලා යොදා ගැනෙනවා. වසර 10 ක් පුරා කරන ලද පර්යේෂණයකින් කොකා කෝලා වලට එය 90% ක් අවස්ථා වල දී කරන්නට හැකිවූවා යැයි කියද්දී 46 දෙනෙකුට එයින් සහනයත් 4 දෙනෙකුට පමණක් සැත්කම් වලින් අවහිරය ඉවත් කරගන්නට සිද්ධ වූ බවත් ලියැවෙන්නෙ මෙම විද්‍යාත්මක පර්යේෂණ සඟරාවේ.

ඒත් ආහාර සහ වසවිෂ අතර කොම්ප්‍රොමයිස් ගහන්න බැරි කොතැන දැයි සොයාගන්න නොදන්න අය හිතන්නෙ ආණ්ඩුවට හෝ රසායන විද්‍යාඥයන්ට සෑම පුද්ගලයෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම ක්‍රියාත්මක කළ හැකි ආහාර පාන පිළිබඳ නීති මාලාවක් සකස් කරන්නට හැකියාව ඇතැයි නිසා ඊට නොමඳ උත්සාහයන් පුරාතනයේ සිට වර්තමානය දක්වා දකින්නට ලැබේ.

Advertisements

31 Responses

Subscribe to comments with RSS.

  1. sarath perera said, on ජූලි 24, 2013 at 8:58 පෙ.ව.

    A highly informative article. Thank you.

  2. wicharaka විචාරක said, on ජූලි 24, 2013 at 12:41 ප.ව.

    මෙච්චර අනුකරණ හදන ලෝකේ මොකද තවම බැරි වුනේ කොකාකෝලා වට්ටෝරුව කොපි කරන්න?

  3. අටම්පහුර said, on ජූලි 24, 2013 at 12:54 ප.ව.

    අගනා ලිපියක් නොදත් කාරනා කිහිපයක් දැන ගත්තා

  4. තිසර said, on ජූලි 24, 2013 at 10:47 ප.ව.

    ආහාර සහ වසවිෂ යන දෙක අතර සිද්ධ වෙන්නා වූ ඕනෑම කොම්ප්‍රොමයිස් එකක දී දිනුම ලැබෙන්නේ මරණයට පමණි!

  5. muthunayake said, on ජූලි 25, 2013 at 4:56 පෙ.ව.

    අරුණි ගොඩක් දන්නැති විස්තර වලට ස්තුතියි. මම දැන් අවුරුදු 15 ක විතර ඉදල මම ඔය බිම එක බොන්නැ. මට කියවන විදිහට නම් හිතෙන්නේ ඔබ ගොඩක් මෙක බොන සහ බාල පරම්පරාවට බිමට අනුමත කරනව කියල. මෙකෙ ප්‍රශ්නය තියෙන්නේ මට හිතෙන විඩිහට මෙකයි. වතුර බෝතලයක් අපි කියමු $1 කියල ඉතින් ඉතින් ඇමරිකානුවෝ ඇතුලු බොහෝ දෙනෙක් $1 කිට්‍ටු ගානකට වතුර වෙනුවට මේවම බොනව. ඉතින් විජලනේ මට හිතෙන්නේ කට්ටිය වතුර වෙනුවට බොන නිසා තමා මේ තරම් සල්ලි කන්දරාවක් හම්බු කරන්නේ. මගේ මතය වතුරට අදේකයක් නැ. මගේ හිතලුවක් නෙවෙයි මේක, මම මැදපෙරදිග ඉද්දී මිනිස්සු 2000 ක් විතර හිටිය අපේ සයිට් එකේ (වෙබ් නෙවේ) බොහෝ අය බොන්නේ මෙක නිසා.හැබැයි චින්නු , ජපන්නු බොනව අඩුයි. අනික මෙක බිව්වහම එක කැම වෙලක් මගහැරල සල්ලි ඉතුරු කරන අය ඉන්නව. සිං කාරයෝ බොන්නේ කිරි විතරයි. මමනම් හිතන්නේ මේ කෘතිම බිම බොනවට වඩා පලතුරු, තැබිලි, තේ , වතුර , කිරි කවලමට බොන එක සරීර සෞක්‍යට හොද වෙන සම්බාවිතාව වැඩියි!

    • arunishapiro said, on ජූලි 26, 2013 at 8:54 පෙ.ව.

      muthunayake,

      මම යමක් අනුමත කළ නිසා එය අනුන් ලවා කරවන්න හැකි නම් මම තරම් බලවතෙක් ලොව නැහැ. මට එහෙම හැකියාවක් ඇත්නම් මේ දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් වෙළඳපොල ධනවාදය සියළු රටවල ආර්ථික ක්‍රමය ලෙසත්, ලිබටේරියන්වාදය සියළු රටවල දේශපාලන ක්‍රමය ලෙසත්, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය සෑම පාසැල් සිසුවෙක්ම ඉගෙන ගන්නා අනිවාර්ය පාඨමාලාවක් ලෙසත් අනුමත කරනවා!!!!!

      පුරාතන යුරෝපයේ පරම්පරාවෙන් රදළයන් වූ නිසා ධනවතුන් වූ අය වතුර බිව්වෙ නැහැ. මන්ද ස්වභාවයෙන් ලැබෙන වතුර බොන්න කළින් පිරිසිදු කරන ක්‍රම ඔවුන් දැන සිටියේ නොමැතිකම. වයින්, බියර් වගේ දේවල් එදා ඔවුන් බිව්වෙ දුප්පතුන් වගේ වතුර බීලා ලෙඩ දුකින් මැරෙන්න අකමැති නිසා. වතුර වලට ක්ලෝරීන් එකතු කරලා පිරිසිදු කරගන්න ඉතිහාසය 1800 ගණන් වල මැද පටන් ගත්තක්.

      තවමත් වතුර පිරිසිදු කරන්න ක්ලෝරීන් දාන්න අකමැති අය ලෝකයේ ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේ ම, අනුරාධපුරේ පොළොන්නරුවේ පැත්තෙ ළිඳකින් අරන් දුන්නත් උණු කරන ලද වතුර බොනවාට වඩා මම නම් ඒ පැත්තෙ ගියාම කොකා කෝලා කෑන් එකක් කඩලා බොන්නෙ ආසනික් සහ වෙනත් අහිතකර රසායන ස්වභාවිකව පොළවෙන් වතුර සමඟ එකතු වී ඇත්දැයි පර්යේෂණයක් කරන්න වේලාවක් සහ හැකියාවක් නැති නිසා.

      වතුර වල මිල හා සමාන නිසා ඇමෙරිකන්කාරයා කොකා කෝලා බොනවා යැයි කියන්නට ද බැරි හේතුව ඒ දෙක බොන හේතු ඉතාමත් වෙනස් නිසා. කොකා කෝලා අවුන්ස අටකින් ලැබෙන ජවය වතුර අවුන්ස අටකින් කොහෙත්ම ලැබෙන්නෙ නැහැ!!!

      ජපන් soft drinks වෙළඳපොල කොටස් වලින් වැඩිම කොටස අයිති කොකා කෝලා කොම්පැණියට.

      කෑම වේලක් මඟහැරලා කොකා කෝලා බොනවා කියද්දී මම ඇතුළු කැම්පස් ළමයි කොච්චර දෙනෙක් සීනි දාපු තේ කහට කෝප්පයකින් කෑම වේලක් පිරිමසා ගෙන තියනවා ද?!!! ඒත් වතුර උණු කරාට ආසනික් වැනි අහිතකර අනෙකුත් රසායන වතුර වලින් ඉවත් නොකරපු තේ දිග කාලයක් පුරා බිව්වා නම්? අයියෝ අක්මාව!!!!!

      කෘතීම රසායන හා ස්වභාවික රසායන යන දෙකම රසායන බවත්, හරියට කෘතීම බීම සහ ස්වභාවික බීම වගේ ම, ඒවායෙන් අහිතකර සහ හිතකර යන්න තෝරා ගැනීම ඉතා සරල වූවත් නොදන්නාකම නිසා එය ඉතා සංකීර්ණ කරගත්තක් බවත් කියන්නටයි සටහන ලිව්වෙ.

      • මිගාර said, on ජූලි 27, 2013 at 8:05 පෙ.ව.

        කොකා කෝලා බීම කොහොමවත් වෛද්‍ය විද්‍යාත්මක අතින් අනුමත කරන දෙයක් නොවේ. පොෂ්‍ය පදාර්ථ වලින් ශක්තිය ලැබීම එකකි. එය පමණක් සෑහේ නම් සියළුම පෝෂ්‍ය පදාර්ථ පෙති කිහිපයක් ලෙස ගැනීමට හැකියාව ඇත. නමුත් එසේ නොවන්නේ මිනිස් සිරුරට අවශ්‍ය වෙනත් තන්තු වැනි දේ අවශ්‍ය නිසා. මේ අවශ්‍ය සියළුම දේ තවම විද්‍යාවෙන් සොයා ගෙන නැහැ. ඒ සියල්ල සොයා ගන්න තුරු අපි ස්වභාවික ආහාර වලට යොමු වෙමු.

        • arunishapiro said, on ජූලි 27, 2013 at 9:11 පෙ.ව.

          මිගාර,

          //කොකා කෝලා බීම කොහොමවත් වෛද්‍ය විද්‍යාත්මක අතින් අනුමත කරන දෙයක් නොවේ.// මොන වෛද්‍ය විද්‍යාව ගැන ද මිගාර කියන්නෙ? කොකා කෝලා අනුමත නොකරන වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක් පෙන්වන්න. අනුමත කරන අවස්ථාවක් අභිබවා ගිහින් වෛද්‍ය ප්‍රතිකාරයක් ද ලෙසින් කොකා කෝලා සාර්ථකව නිර්දේශ කරන ලද අවස්ථාවක් ගැනත් මේ සටහනට මා අමුණා ඇත.

          //එය පමණක් සෑහේ නම් ….// එහෙම හැකියාව ඇති යම් එක ආහාරයක් ලොව ඇත් ද? මා සටහනේ කියන ලද්දක් හෝ අදහස් කරන ලද්දක් ද නොවන්නක් ඔබ විසින් සඳහන් කරයි.

          //…සියළුම පෝෂ්‍ය පදාර්ථ පෙති කිහිපයක් ලෙස ගැනීමට හැකියාව ඇත.// පෙති විදියට නොවුනත් ජීවිතය බේරාගන්නට, රකින්නට හා වර්ධනයට හැකි ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රෙට්, මේද, ඛනිජ, ඉලෙක්ට්‍රොලයිට්ස්, විටමින් යනාදී පෝෂ්‍ය PN -parenteral nutrition මඟින් බටයකින් සියළු වයස් වල අයට දෙන්නට විද්‍යාත්මක දැනුම වර්තමානයේ පවතී.

          කොකා කෝලා වීදුරුවක් පානය යනු විස පානයක් යැයි දකින දුර්මතය ගැන ලිව්වාම එය ආහාරයක් ලෙසින් ගත යුත්තක් යැයි වරදවා වටහා ගන්න එපා!!!

          බඩවැල් වල ආසාදනයක් තියෙන අයෙක් බේරාගන්න මාස හය හතක් බටවලින් පෝෂ්‍යදායක ආහාර දිය හැකියි කිව්වාම එයත් ආහාර මුඛයෙන් අනුභව කරනවාට වඩා ප්‍රියදායක ක්‍රමයක් යැයි වරදවා වටහා ගන්න ද එපා!!!

          තන්තු (fiber) ද පෙති වලින් නිර්මාණය වී තියෙනවා. උදාහරණ: inulin සහ oligofructose -ප්‍රිබයොටික් වලින් ආමාශයේ හැදෙන්නෙ නැති බැක්ටීරියා වර්ධනයටත්, ප්‍රතිශක්තිය හා ජඨර ආන්ත්‍රික (gastrointestinal) සෞඛ්‍ය වැඩියෙන් යහපත් කරවීම කරනවා, psyllium -මලබද්ධය සහ irritable bowel syndrome සමනය කරනවා. තවත් guar gum, pectin, fructooligosaccharides සහ acacia තන්තු යනාදී තවත් බොහෝ තන්තු ද අද ලොව ස්වභාවික ආහාර වලින් නොවෙන මාර්ග වලින් ගත හැකියාව පවතිනවා.

          සාමාන්‍යයෙන් පැහැදිලිවම පළතුරු, එළවළු, ඇට වර්ග හා කජු වර්ග වලින් ලබා ගන්න එක හොඳයි සහ දිවටත් රහයි .. ඒත් සමහර නිරෝගී අයටත් ඒවා ස්වභාවික ආහාර වලින් උකහා ගත නොහැකි තත්වයන් ස්වභාවයෙන් ම පවතිනවා. එසේම සමහර අයට අසාත්මිකතා හා නොයෙකුත් වෙනත් අජීර්ණ නිසා ස්වභාවයෙන් ලැබෙන මාර්ග වලින් දිරවා ගත ද නොහැකියි. ඒ අවස්ථා වල දී පැලෑටි හා සත්වයන් වෙතින් අරගෙන මනුෂ්‍යයාට සරිලන පරිදි විකා කන පෙති, ගිලින කැප්සියුල්, කටේ දියවෙන wafers හා කුඩු හෝ තෙල් වශයෙන් සකස් කර ඇති රසායනික ක්‍රියාවලියෙන් ඉදිරිපත් කරන ලද්ද අනුභවය වැඩියෙන් හොඳයි.

          දිනපතා සාමාන්‍ය වැඩිහිටි මිනිස් සිරුරකට අවශ්‍ය තන්තු ග්‍රෑම් 25 (ගෑණු), 38 (පිරිමි) ප්‍රමාණය ගන්නවා දැයි ඔබම සොයා බලන්න. ඉතින් එහෙම කරන්නට හැකියාවක් ඇති අය තන්තු වෙන ඌනපුරණ මාර්ග වලින් නොගත්තාට කමක් නැතැයි කියද්දී එහෙම ගැනීම නිසා අවශ්‍ය සියළු ම දේ ලැබෙන්නෙ නැහැයි කීම අවිද්‍යාත්මකයි.

          • මිගාර said, on ජූලි 28, 2013 at 9:32 පෙ.ව.

            //මොන වෛද්‍ය විද්‍යාව ගැන ද මිගාර කියන්නෙ? කොකා කෝලා අනුමත නොකරන වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක් පෙන්වන්න. අනුමත කරන අවස්ථාවක් අභිබවා ගිහින් වෛද්‍ය ප්‍රතිකාරයක් ද ලෙසින් කොකා කෝලා සාර්ථකව නිර්දේශ කරන ලද අවස්ථාවක් ගැනත් මේ සටහනට මා අමුණා ඇත.

            කොකා කෝලා බීම ප්‍රතිකාර ලෙස අනුමත කරන එක් අවස්ථාවක් පමණක් ඔබ පෙන්වා ඇත. නමුත් මෙබඳු බීම අහිතකර බව පෙන්වන වෛද්‍ය වාර්තා 500+ ප්‍රමාණයක් පහත යොමුවෙන් ඔබට සොයා ගත හැකිය.

            http://www.ncbi.nlm.nih.gov/pubmed/?term=soft+drinks+obesity

            කොකා කෝලා සහ පිළිකා සහ වෙනත් රෝග කිහිපයක් අතර සම්බන්ධතාවය පහතින් දැක්වේ.

            http://www.ncbi.nlm.nih.gov/pubmed/?term=coca+cola+cancer

            සීනි සහිත බෙවරේගෙස් මගින් හෘද රෝග වැඩිකරන බව

            Conclusion: Increased SSB intake may be an important predictor of cardiometabolic risk in young people, independent of weight status.

            //කොකා කෝලා වීදුරුවක් පානය යනු විස පානයක් යැයි දකින දුර්මතය ගැන ලිව්වාම එය ආහාරයක් ලෙසින් ගත යුත්තක් යැයි වරදවා වටහා ගන්න එපා!!!

            එලෙස කිසිවෙක් ගන්නේ නැත. එසේ ගනිත් නම් ඔවුහු අන්තවාදීහුය. එසේම ෆයිටොබෙසෝර් දිය කරන නිසා කොකා කෝලා බීම කළ යුතු යයි කියන්නේ නම් එම අන්තවාදය කලින් එකට දෙවෙනි වන්නේද නැත.

            //තන්තු (fiber) ද පෙති වලින් නිර්මාණය වී තියෙනවා. උදාහරණ: inulin සහ oligofructose -ප්‍රිබයොටික් වලින් ආමාශයේ හැදෙන්නෙ නැති බැක්ටීරියා වර්ධනයටත්, ප්‍රතිශක්තිය හා ජඨර ආන්ත්‍රික (gastrointestinal) සෞඛ්‍ය වැඩියෙන් යහපත් කරවීම කරනවා, psyllium -මලබද්ධය සහ irritable bowel syndrome සමනය කරනවා. තවත් guar gum, pectin, fructooligosaccharides සහ acacia තන්තු යනාදී තවත් බොහෝ තන්තු ද අද ලොව ස්වභාවික ආහාර වලින් නොවෙන මාර්ග වලින් ගත හැකියාව පවතිනවා.

            මේ සියල්ලම නිරමාණය වී ඇත්තේ ස්වභාවික තන්තු ආහාර නොගන්නා අයට complementary ලෙස මිස ආදේශක ලෙස නොවේ. අනික් අතට ඔය සියළුම වර්ග එකට ගත්තත් එයින් ස්වභාවික තන්තු වල පූර්ණ ආවලිය (spectrum) ආවරණය වන්නේද නැත. එනිසා කෘතිම තන්තු ස්වභාවික තන්තු වලට ආදේශකයකැයි ඔබ කියන්නට උත්සාහ කරන්නේ නම් ඔබ යන්නේ වැරදි පාරේ බව මගේ හැඟීමයි.

            //දිනපතා සාමාන්‍ය වැඩිහිටි මිනිස් සිරුරකට අවශ්‍ය තන්තු ග්‍රෑම් 25 (ගෑණු), 38 (පිරිමි) ප්‍රමාණය ගන්නවා දැයි ඔබම සොයා බලන්න. ඉතින් එහෙම කරන්නට හැකියාවක් ඇති අය තන්තු වෙන ඌනපුරණ මාර්ග වලින් නොගත්තාට කමක් නැතැයි කියද්දී එහෙම ගැනීම නිසා අවශ්‍ය සියළු ම දේ ලැබෙන්නෙ නැහැයි කීම අවිද්‍යාත්මකයි.

            මේ ප්‍රමාණය ගන්නට සි‍යලුම දෙනාට හැකියි. එලෙස නොහැකියාවක් ඇත්නම් ඒ රෝගී සුළුතරයකට මිස නිරෝගී පුද්ගලයන්ට නොවේ. නිරෝගී පුද්ගලයකු තන්තු අවශ්‍ය ප්‍රමාණය නොගැනීමට කිස්ම හේතුවක් නොමැත. එනිසා නිරෝගී පුද්ගලයකුට අහාර වලින් සපයා ගන්නා පෝෂ්‍ය පදාර්ථ වලට අමතරව වෙනත් කිසිම අමතර ආහාරයක් අවශ්‍ය නොවේ.

            නමුත් සමාජමය හේතු සහ ආස්වාදය උදෙසා වෙනත් ආහාර වර්ග සහ සිරුරට අනවශ්‍ය දේ ගැනීමට අපි පුරුදු වී සිටිමු. මේවායේ හොඳ නරක තීරණය වන්නේ අදාල දෙය නොගැනීමෙන් මානසික අතිවන තත්වය සහ එය ගැනීමෙන් ශාරීරිකව ඇතිවන තත්ව වල risk vs benefit assessment එකට අනුවය.

            • arunishapiro said, on ජූලි 28, 2013 at 10:06 පෙ.ව.

              මිගාර,

              දැනුමේ වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වනාහි මුග්ධත්වයයි, ඩේවිඩ් ග්‍රොස් The most important product of knowledge is ignorance -David Gross

              විද්‍යාත්මක පර්යේෂණ ගැන වාර්තා තුලින් සමබර දැක්ම ලබාගන්නේ කෙසේදැයි සටහනක් වෙනම ලියන්න අදහස් කරන නිසා දැනට මේ ඔබ අමුණා ඇති පළමු සබැඳියේ මුල් ම අධ්‍යයනය ආශ්‍රයෙන්: එහි පරීක්ෂකමාන්‍යයන් වෙතින් අසා දැනගත්තක් නොහොත් Questionnaire මතයි ඔවුන්ගේ soft drink භාවිතාව ගැන වූ ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල රඳන්නේ. එසේම ඉතා වැදගත් වූව “frequent consumption of soft drinks may be associated” යන්න ඉතා වැදගත්. අන්තිම වාක්‍යය ද මේ අළුත් සොයාගැනීම් ගැන තවත් replications අධ්‍යයන අවශ්‍යයි යන්නත් ඉතා වැදගත්.

              Conclusion: Increased SSB intake may be an important predictor of cardiometabolic risk in young people, independent of weight status. “විය හැකියි” යන්න ඔප්පු කරන ලද සත්‍යයක් වූයේ කවදා ද?!!!!!

              //රෝගී සුළුතරයකට// ඔබ දන්නේ කොහොම ද ඔවුන් සුළුතරයක් ද කියා? එසේම ඔවුන් අනෙක් අයට වඩා වෙනස් වූ නිසා පමණින් ඔවුන්ට ඇත්තේ රෝගී තත්වයක් යැයි කියා?

              • මිගාර said, on ජූලි 29, 2013 at 7:52 පෙ.ව.

                //දැනුමේ වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වනාහි මුග්ධත්වයයි, ඩේවිඩ් ග්‍රොස් The most important product of knowledge is ignorance -David Gross

                පැහැදිලියි!

                //විද්‍යාත්මක පර්යේෂණ ගැන වාර්තා තුලින් සමබර දැක්ම ලබාගන්නේ කෙසේදැයි සටහනක් වෙනම ලියන්න අදහස් කරන නිසා

                අගෙයි!

                //Conclusion: Increased SSB intake may be an important predictor of cardiometabolic risk in young people, independent of weight status. “විය හැකියි” යන්න ඔප්පු කරන ලද සත්‍යයක් වූයේ කවදා ද?!!!!!

                විද්‍යාත්මක පර්යේෂණ ගැන වාර්තා තුලින් සමබර දැක්ම ලබාගන්නේ කෙසේදැයි සටහනක් වෙනම ලියන්න අදහස් කරන ඔබට ඒ ගැන ඇති දැනුම හොඳින්ම විදහා පෙන්වන උදාහරණයකි මෙය. පළමුවෙන්ම උගෙන ගත යුත්තේ conclusion යනු පර්යේෂණයේ ප්‍රතිඵල වල සංක්ෂිප්තයක් බවයි. දෙවැන්න නම් පර්යේෂ්ණයක ප්‍රතිඵල දැන ගැන්මට Abstract නොව මුළු ලිපියම කියවිය යුතු බවයි. මේ කොටස් උපුටා ගත්තේ එම ලිපියේම පූර්ණ ලිපියෙනි (Full text article).

                1. Results of the multivariate prospective analyses are shown in Tables 3 and 4. Girls who moved into the highest tertile of SSB consumption (>1.3 servings/d) between 14 and 17 y of age had a 4.8-times greater odds of overweight or obesity (95% CI: 2.1, 11.4; P-trend < 0.0001) than did girls who remained in the lowest SSB tertile (Table 3). The OR remained high after adjustment for the Western and healthy dietary patterns (OR: 3.8, 95% CI: 1.5, 9.3; P-trend = 0.005).

                2. Compared with staying in the lowest SSB tertile, moving into the highest tertile of SSB intake between 14 and 17 y of age was associated with average increases in BMI of 3.8% (95% CI: 1.8%, 5.7%; P-trend < 0.001) in girls,

                3. There was an increasing trend in fasting triglycerides with higher SSB intakes in boys and girls (P-trend ≤ 0.003). Moving into the highest tertile of SSB intake was associated with increases in triglycerides of 10.8% (95% CI: 4.2%, 17.3%; P-trend = 0.001) in girls and 10.4% (95% CI: 3.4%, 17.5%; P-trend = 0.003) in boys

                4. HDL cholesterol concentrations decreased with greater SSB intakes in boys and girls (P-trend ≤ 0.02).

                5. Girls who moved into the highest tertile of SSB consumption showed average increases in SBP of 1.7% (P = 0.02) or ∼1.9 mm Hg (95% CI: 0.3, 3.5 mm Hg).

                සංඛ්‍යානය ගැන අලුක්කාලක දැනුමක් ඇතොත් ඉහත දවා ඇත්තේ කුමක්දැයි වැටහී යා යුතුමය.. එනිසා ඔබේ විද්‍යාත්මක ලිපි ගැන ලියවෙන ලිපිය කියවා දැනුම ලබන්නන්ට දෙවියන්ගේම පිහිට බව් අමතක් කර දෙනු ඛැමැත්තෙමි.

                ඉන් පසුව, මවිසින් දක්වන ලද 500ක් පමණ වූ සබැඳි එකක්වත් නොකියවා, conclusion එක පමණක් දුන් එක ගැන තර්ක කරනුයේ නැවතත් විද්‍යාත්මක දැනුම ගැන ඔබේ වූ මහාර්ඝ හැකියාව නිසා යයි සිතමි.

                ඔබ සමග තර්ක කිරීමෙන් පලක් නොවේ යයි මට සිතයි. මෙය මගේ අවසාන ප්‍රතිහාරයද වේ. ඔබ ඔබේ විඩ්ජ්‍යාත්මක ක්‍රමය ගන ලිපිය ලියන දාක නැවත එක වෙන්නම්. ජය!

                • arunishapiro said, on ජූලි 29, 2013 at 8:26 පෙ.ව.

                  මිගාර,

                  අනුමිතිය හෙවත් conclusion සහ සංක්ෂිප්තයක් හෙවත් brief අතර වෙනස වටහා නොගෙන ඔබ විද්‍යාව ගැන කතා කරන්නේ කෙසේද?

                  දත්ත සමූහයක් ගෙනහැර පා විජ්ජාවක් පෙන්වන්නට හදන ඒ පර්යේෂකයන් මෙන් ම ඔබ ද දත්ත එකතු කරන ලද්දේ ප්‍රශ්නාවලියකින් බව සැලකිල්ලට නොගැනීම විද්‍යාවක් වන්නේ කෙසේ ද?

                  සබැඳියෙන් පළමු වැන්න සම්පූර්ණයෙන් කියැවූ බව ලියා, එහි දැකි ලොකුම සහ වැදගත්ම අඩුපාඩුව වූ පර්යේෂකමාන්‍යයන් වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලියකින් ඔවුන්ගේ කොකා කෝලා පානය ගැන දත්ත ලබාගත් හැටි ගැන වූයේ එහි අනුමිතියේ නොවන බවත් මම ලියූ උත්තරයේ දී ඔබ කියවා නැත.

  6. මිගාර said, on ජූලි 27, 2013 at 8:09 පෙ.ව.

    //පැලෑටි සහ සත්වයන් වෙතින් ලැබෙන රසායන හැම විටම “හොඳ” යැයි ද මිනිසා නිර්මාණය කරන ලද රසායන හැම විටම “නරක” යැයි ද සිතීම දුර්මතයකි

    දුර්මතය වන්නේ පැලෑටි සහ සතුන් ගෙන් ලබා ගන්න සියළුම “රසායන” වල සංයුතිය අපි 100% ම දන්බේයයි මිත්‍යාවේ එල්බ ගැනීමයි. යම් සංයෝගයක් පැලෑටි වලින් ගත් විට අදාල සක්‍රියතාව දැක්වීමත්, එය සංෂ්ලේෂණය කලවිට අක්‍රිය වීමත් දකින්නට ලැබෙන දෙයක්. මෙය සිදු වන්නේ සක්‍රියතාවය ඇති වනුයේ පැලෑටියේ ඉතාම කුඩා ප්‍රමාණැ වලින් අඩංගු රසායන ද්‍රව්‍යයක් උක්ත සක්‍රිය ද්‍රව්‍යය වීම නිසාය. එනිසා “රසායන” යන්න තේරුම් බේරුම් කර ගත යුතු පදයකි.

    • arunishapiro said, on ජූලි 27, 2013 at 9:20 පෙ.ව.

      මිගාර,

      ඔයා “රසායන” යන්න කුමක් දැයි තේරැම් බේරැම් කරගත්තාම ආයේ මේ පැත්තෙ එන්න.

      • muthunayake said, on ජූලි 29, 2013 at 1:18 පෙ.ව.

        වතුර වල ප්‍රමිතියට වඩා අනික් රට වල ප්‍රමිතිය අඩුයි. නමුත් අපි තුන්වෙනි ලොකේ නිසා ප්‍රශ්නයක් නැ. කොකා කොල නෙවේ මොන කොල වලටත් බොතල් වතුර තරම් පිරිසිදු වතුරගන්නැ.

        ඔය ඇමරිකාව විද්යාත්මක සොයා ගැනීම් මාකට් කරනව. අරුණිට ලිපියක් ලියන්න පුලුවන් මේ ගැන. ඔය රේඩියම් හොයාගත්ත කාලේ ලිෆ්ටික්, පව්ඩර් වගේ ඒව හැදුව , ඔර්ලොසු වලට තාමත් එනව ගොඩක් අය පිලිකා වලින් මැරුන.බොරුනම් හොයල බලන්න.

        තව එකක් ඇමරිකාව 60 දශකයේ විතර ඉදන් මහා ටින් කැම සංගාමයක් තිබුන. ඔය කොකා කොලත් එකේ ආපු පැටියෙක්. අන්තිමට දැන් වෙබ් සයිට් එකක් ගානේ කියන ඔර්ගනික් කැම කන්න කියල. මස් ටින් කාල දැන් බාබකිය කනව. මම ලගදි දෙක්ක ඒකත් දර වලින් කන්න කියල.

        අපි පොඩිකලේ ඉතින් දඩමස් කැවේ ඔහොම තමා. දැන් බලන්න ඇමරිකාවේ කුකුලු බිත්තර වර්ග හැටහුට හමාරක් තියෙනව . අර 70 දශකයේ පාම් එව ගාන අඩුයි, මහ කිකිලි මරන්නැති ඒව. අර අපි කැව ගම්බිත්තර වලට කිට්‍ටු එක ගාන වැඩිම. අපි ඉතින් දැනුත් කන්නේ ඔක තමා.

        ඔය කොකා කොලත් බොන්න එපා තැබිලි හොදයි කියල සෙල්ලමක් නුදුරෙදී ඔය කට්ටියම කියනව.

        මට පේන විදිහට ඔය තාක්ශනික මෙවලම් හැරුනම . මනුශික සියලු ක්‍රියාකාරකම් යනව අවුරුදු 500 ක් විතර පස්සට මෙන්න මම දැකපු දේ

        ඩිජිටල් ඔර්ලොසු , වහන ස්පිඩ් මිටර් වෙනුවට ක‍ටු තියෙන පරන වයින් කරන ඒව මාකට්
        පාස්ටික් පෙනුමට වඩා ලී පෙනුමට කැමති
        තනි සහකරු වඩා හවුල් සේවන සදහා Facebook සැරිසැරීම
        කොටන් ඇදුම් මාකට් වැඩියි
        ජිම් යන්නැතුව පයින් යනව
        තිම් පාක් නැතුව ඉකො ‍ටුවර්
        හදට යනවට වඩා මේලොකේ දන්නැති දේවල් වැඩියි කියල පිලි අරගෙන
        හිපොප් වලට වගේම භාවනාවත් අගයනව
        සතුන්ගෙන් වගේ වැඩගන්න මැනේජ්මට තියරි වෙනුවට තමන්ට කැමති තැනක කැමති වෙලාවක කරන්න ඉඩ දෙනව

        කොකා කොල වෙනුවට වතුර බොන්න කියල යන්තම් පටන් ගන්නව

        • arunishapiro said, on ජූලි 29, 2013 at 8:12 පෙ.ව.

          muthunayake,

          වතුර ප්‍රමිතියක් ආණ්ඩුව හදා දෙන තුරු බලා සිටීමෙන් ණය වෙන්නෙ දැන් ජීවත්වෙලා ඉන්න සහ අනාගතයේ උපදින්න ඉන්න හැමෝම. ඔබ ජීවත්වෙන පළාත අනුව වතුර ප්‍රමිතිය සොයා බැලීම සහ ඒ ගැන යමක් කිරීම ඔබේ වගකීම යැයි දැකිය යුතුයි.

          // කොකා කොල නෙවේ මොන කොල වලටත් බොතල් වතුර තරම් පිරිසිදු වතුරගන්නැ.// ඔබ දිගින් දිගටම අවිද්‍යාත්මක අදහස් ලියනවා … බෝතල් කරපු පමණින් වතුර පිරිසිදු වෙන්නෙ කොහොම ද?!!!!!

          ඔව් සැබැවින්ම ඇමෙරිකාව විද්‍යාත්මක සොයා ගැනීම් මාකට් කරනවා .. එහෙම නැහැයි කියා ඇත්තේ කොතැනක ද? ඒත් ඒ වගේ ම හෙපටයිටිස් බී එන්නත නම් මාකට් නොකර නිකම් දුන්න බවත් අමතක කරන්න එපා. පෝලියෝ එන්නත නිසා ලෝකයෙන් එය තුරන් කරන්නට හැකියාව ඇති බවත් අමතක නොකරන්න. ඔයාල අද සෙල් ෆෝන් වලින් කතා කරන්නෙ සහ මෙහෙම අන්තර්ජාලයෙන් සිංහලෙන් ලියන්නෙ ඇමෙරිකාව විද්‍යාත්මක සොයා ගැනීම් ලෝකෙට මාකට් කරපු නිසා නොවේ ද?!!!!

          • muthunayake said, on ජූලි 31, 2013 at 6:43 පෙ.ව.

            කෙනෙකුගේ මතයක් අවිද්‍යාත්මක භාවය සාපේකෂයි තවකෙනෙකුට. විද්යාව කියන එක විකාශනය බලපුවහම පිස්සෙක් කියපු හේලි පසුව විරයෙක් වෙනව. නිව්ටන් අර්ධ බොරුකාරයෙක් අයින්ස්ට්යින් ඉදිරියේ. ගැලිලියෝ පචයෙක් පල්ලිය ඉදිරියේ ඕව ඔහොම තමා.

            අරුනි වගේ බලවත් ජාතියක් සමග ජිවත් වන කෙනෙක් මං වගේ තුන්වෙනි ලොකයේ රටක ජලය සම්බන්දව සහ ජල ජටිතල පහසුකම් ඉංජිනේරුවෙක් විදිහට අවුරුදු 12 ක් හැකියාව තිබියදී වගේ රටින් පනින්නැතුව බහුජාතික සමාගම් කරන මේ විනාශයට විරුද්ද වීම ගැන // ඔබ දිගින් දිගටම අවිද්‍යාත්මක අදහස් ලියනවා …// කිම ගැන මට පුදුම නැත.

            මේ ලොකයේ ප්‍රධාන මුදල් වර්ග ලෙස $ හදුන්වදී අති විශල මංකොල්ලයක් කරනව ඇමරිකාව. ඒ මංකොල්ලකන ධනය රිසිසේ වියදම් කර R&D කරනව.

            ඒත් දියවැඩියාව, ඒඩ්ස්, තිරසාර බලශක්ති අර්බුදයට විසදුම ඇමරිකානුවන්ට හොයාගන්න බැ. ජපනය ඉට ඉදිරියෙන් ඉන්න්වා.
            ඔබ කියන ආකාරයට ජපානයේ ලොකු කොටසක් කොකා ට ඇති ඒත් මට හම්බ්බවුන එක ජපනෙක් වත් , ස්විඩ්න් කාරයෙක් වත් කොකා බොන්නැ.

            ලංකාවේ දී නම් බොතල් වතුර කිව්වහම මගේ ඔලුවට එන්නේ , SLS සහතිකය අනිවර්යකරපු බොන්න පුලුවන්. බයනැතුවබොන්න පුලුවන් ecoil නැති වතුර ටිකක්. 100% හොදම ඒව කියන්න බැ.

            ගොඩක් හොද වැඩ කලාට සමාජය අපිට එක නරක වැඩක්වත් කරන්න ඉඩ දෙන්නැ.

            ගැනු ලමයෙක් හදල වඩල රේප් කරන්න තාත්තට ඉඩ දෙන්නැ අඩුම ගානේ බදින්නවත්

            මොන සමාජය විසින් එමනිසා ඔය උත්තරිතර ඇමරිකාවට හොද කලාට ඒ මත තක්කඩි වැඩ කරන්න පුලුවන් සීමාවක් තියෙනව.

            ඇමරි කාව. හොයාගත්තේ මොකද? කියල අහනකොට රෙඩ් ඉන්දියන් එකෙකුට මොනවගේ විද්්‍යාත්මක සිතුවිලි පහල වෙනවා ඇතිද?

            මම ඇමරිකන් විරෝදියෙක් නෙවෙයි ! හැබැයි හින් නුලෙන් blood money හොයනවට විරුද්ධයි.

            • arunishapiro said, on ජූලි 31, 2013 at 8:18 පෙ.ව.

              muthunayake,

              මතයක් සාපේක්ෂ වූවාට විද්‍යාව සාපේක්ෂ වූවක් නෙමෙයි. මතයක් කියන්නෙ තවත් මතයකට සාපේක්ෂව පවතින්නක්. සාපේක්ෂ යන වචනය යොදා ගනිද්දී එයින් කියැවෙන්නෙ තවත් දෙයකට අනුව තීරණය වෙන්නක් බව. යමක විශේෂ ස්වභාවය, එහි ප්‍රමාණය යනාදීන් වල පැවැත්ම වෙනත් බාහිර තත්වයන් මත රඳා පවතිනවා යන්නයි සාපේක්ෂ කියන්නෙ. ඒ ඒ රසායන සංයෝග වෙනත් රසායන සංයෝග සමඟ සාපේක්ෂ වූවාට මූලද්‍රව්‍ය සහ පරමාණු සාපේක්ෂ නැහැ. විද්‍යාත්මක මතයක් සාපේක්ෂ වූවාට අපණ්ණ නැත්නම් පරම (absolute) වූ විද්‍යාව සාපේක්ෂ නැහැ. කියවන්න: ඕනෑම මගෝඩියක යෙදෙන්නට අවසර ලැබෙන සාපේක්ෂතාවාදය

              // විද්යාව කියන එක විකාශනය බලපුවහම….// කියවන්න: ඇයි විද්‍යාඥයන් එකිනෙකා සමඟ එකඟ නොවෙන්නෙ?

              //රටක ජලය සම්බන්දව සහ ජල ජටිතල පහසුකම් ඉංජිනේරුවෙක් විදිහට අවුරුදු 12 ක් හැකියාව තිබියදී වගේ රටින් පනින්නැතුව බහුජාතික සමාගම් කරන මේ විනාශයට විරුද්ද වීම ගැන// බහුජාතික සමාගම් කරන මේ විනාශය යැයි කිව්වාට මදි, එය විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි නම්, කියවන්න‍: විද්‍යාවෙන් බියගන්වා අවිද්‍යාත්මක විසඳුම් ගෙනෙන හැටි

              //මේ ලොකයේ ප්‍රධාන මුදල් වර්ග ලෙස $ හදුන්වදී// ඇමෙරිකන් ඩොලරය ලොවට හඳුන්වා දුන්නක් නොව ඕපපාතිකව බිහි වී පැතිර ගිය එකකි. වෙහෙස වෙන මගෙන් බදු මුදල් උදුරා ගෙන ණය ආධාර හැටියට පිටරටවල් වලට යවන එකට මාත් එරෙහියි, ඒත් මංකොල්ලය සිද්ධ වෙන්නේ කෙසේදැයි නොදන්නා අයට පේන්නේ වෙන එකක්. කියවන්න: ඇමෙරිකාව (විශේෂ අවධානය එහි මා දමා ඇති ප්‍රතිචාර වලට යොමු කරන්න)

              //ඒත් දියවැඩියාව, ඒඩ්ස්, තිරසාර බලශක්ති අර්බුදයට විසදුම ඇමරිකානුවන්ට හොයාගන්න බැ. ජපනය ඉට ඉදිරියෙන් ඉන්න්වා.// 😦 ඇමෙරිකාවේ ජොස්ලින් ඩයබිටීස් සෙන්ටර් එකේ දොස්තර රොබට් ස්ටැන්ටන් අලුත් සොයාගැනීමක් ඉදිරිපත් කළා. ඒ ඉන්සියුලින් නිෂ්පාදනය කරන බේටා සෙල් විනාශ කරන සුවිශේෂි එන්සයිමය හදුනාගන්නට ලැබීම. කියවන්න: දියවැඩියාව ඒඩ්ස් ගැන කියවන්න: ඉන්දියාවේ කොන්ඩොම් සහ ඒඩ්ස් සඳහා නව බෙහෙත්) සහ Fracking ගැන මම ලියලා නැහැ ඒත් විද්‍යාත්මක දැනුම ඔය තරම් පටු ලෙසින් ඇත්තේ ඔබ ලංකාවට වෙලා හිටපු නිසාදැයි හිතෙනවා!!!!!

              //ඔබ කියන ආකාරයට ජපානයේ ලොකු කොටසක් කොකා ට ඇති ඒත් මට හම්බ්බවුන එක ජපනෙක් වත් , ස්විඩ්න් කාරයෙක් වත් කොකා බොන්නැ.// ???? මෙහෙම විද්‍යාත්මක අධ්‍යයනයන් ද ඔබ කරන්නේ?!!!!

              //ගොඩක් හොද වැඩ කලාට සමාජය අපිට එක නරක වැඩක්වත් කරන්න ඉඩ දෙන්නැ. ගැනු ලමයෙක් හදල වඩල රේප් කරන්න තාත්තට ඉඩ දෙන්නැ අඩුම ගානේ බදින්නවත්// පාසැල් වයසේ දැරියක් දූෂණය කරපු, වෙඩි තියල මිනිහෙක් මරපු අයෙක් පාර්ලිමේන්තුවේ පඩියක් ලබමින් සිටිද්දී ඇයි මෙහෙම බොරු කියන්නෙ? ඔයා වගේ මමත් ලෝකෙ අනිත් පැත්තෙ වෙන දේවල් දන්නෙ නැහැයි කියලා හිතන නිසා ද?!!!!

              //ඇමරි කාව. හොයාගත්තේ මොකද? කියල අහනකොට රෙඩ් ඉන්දියන් එකෙකුට මොනවගේ විද්්‍යාත්මක සිතුවිලි පහල වෙනවා ඇතිද?// ස්වදේශී ඇමෙරිකන්කාරයෙක් වන න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ Fred Begay නොහොත් දක්ෂ හිවලා ගෙන් නැත්නම් අහලා බලන්න American Indian Science and Engineering Society එකේ කාගෙන් හරි!!!! මේවා අහද්දී ලංකාවේ වැද්දන්ට මොන විද්‍යාත්මක සිතුවිලි පහල වෙනවා ඇති ද?!!!!!!!

              //මම ඇමරිකන් විරෝදියෙක් නෙවෙයි ! // හැබෑටම!!!!!?????

              //හැබැයි හින් නුලෙන් blood money හොයනවට විරුද්ධයි.// ඉස්සරවෙලා එහෙම කරනවා කියල ඔප්පු කරලා ඊට පස්සෙ අවලාද කියන්න ලංකාවේ ඇමතිවරුන්ටත් බැරි කොට ඔයාට දොස් කියන්නෙ කොහොම ද?!!!!!

  7. deshakaya said, on අගෝස්තු 2, 2013 at 12:38 පෙ.ව.

    වසවිස සහ ජලය මරණයයි..

  8. tax said, on අගෝස්තු 12, 2013 at 6:39 පෙ.ව.

    අරුණි ,
    කොකා කෝලා වල ඇබ්බැහිවෙන ගතියක් තියෙනවා. ඒ රස පුරුදු වුන කෙනෙක් වෙන දෙයක් බොන්නේ නෑ. කාලයක් එකම දෙයක් බොන කොට හැදෙන ලෙඩ ඒ බීම පිටින් යන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳව කොකා කෝලා මුකුත් කියනවා මම දැකලා නම් නැහැ.

  9. tax said, on අගෝස්තු 13, 2013 at 12:32 පෙ.ව.

    මම කියන්නේ බෝතලේ බෝඩ් ගහන්න නෙවෙයි. කොකා කෝල කොම්පැනිය මේ ඇබ්බැහිවෙන එක ගැන කිසිම ප්‍රකාශයක් කරලා තියෙනවා දැක්කේ නැහැ කියලයි. සිගරට්, අරක්කු, හෙරොයින් වගේ කොකා කෝලා වලත් ඇබ්බැහිවෙන ගතියක් තියෙනවා. මේක කොකා කෝලාවල තියෙන රසායනිකයක් හින්දා ඇතිවෙන දෙයක් කියල මට හිතෙන්නේ. (මම තේ වලට ඇබ්බැහිවෙලා ඉන්නවා වගේ. එකත් නරක ඇති.)

    ගූගල් වල “addicted to coca cola” type කරලා බලන්න.

    1. http://www.dailymail.co.uk/femail/article-2213349/The-woman-addicted-Coca-Cola-Health-care-assistant-drinks-SIX-LITRES-day.html

    2. http://jcnn.com.au/people/coke-addicts/

    • arunishapiro said, on අගෝස්තු 13, 2013 at 5:58 පෙ.ව.

      tax,

      මේ කාලේ පැතිරෙන වසංගතයක් ද මන්දා, හැමෝටම පොයින්ට් එක මිස් වෙනවා!!!

      යමකට ඇබ්බැහි වෙන ගතිය මිනිස් ජීවිතයක දී කොයි තරම් දේවල් වලින් දකින්න පුළුවන් ද? ඇබ්බැහිය කියන ස්වභාවයෙන් පවතින අපූරු මිනිස් ස්වභාවය ඒ ඒ මිනිසාව ඒ ඒ දේවල් වලට ඇබ්බැහි කරනවා.

      ඒත් වසවිෂ නැතැයි ඔප්පු කරලා තියෙන දෙයකට ඇබ්බැහි වෙනවා ද නැත්නම් ලෝකෙ කිසිම කැමති දේකට ඇබ්බැහි නොවී සිටිනවා ද යන්න කාගේ තෝරා ගැනීමක් ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: