අරුණි ශපීරෝ‍ වෙතින්

නිව්ටන් හෝ ගැලලෙයෝ වෙන්නට නම් නිවැරදි ද විය යුතුයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 28, 2013

95g27/bean/1161/116a4

විද්‍යාව ගැන මහත් දැනුමක් නොව මහජනතාවට වැඩියෙන් අවශ්‍ය වන්නේ විද්‍යාත්මක ලෝකය ගැන දැක්මකි. එනම් අපි ජීවත්වන විශ්වයේ යම් අනුපිළිවෙලක් ඇති බව වටහා ගැනීම අවශ්‍යයයි. කොච්චර ශ්‍රද්ධාවක් තිබුණත් හෝ කොච්චර දක්ෂයෙක් වුවත් මේ විශ්වයේ භෞතික රීති වලට වංචා කරන්නට කිසිවෙකුට හැකියාවක් නැත යන අවබෝධය අවශ්‍යයයි.

ප්ලේස්ටොසීන යුගය වනාහී වර්තමාන මිනිසාගේ මොළයේ පරිනාමය සිද්ධ වූ කාලය සේ සැලකෙන්නයි. සත්වයන්ගේ ගොදුරැ බවට පත් නොවී ප්ලේස්ටොසීන වනාන්තර වල ආහාර සොයන්නට හැඩ ගැසුනු මොළය කවි පදවැල් හදන්නටත්, ගණිත ගැටළු විසඳන්නටත් සමත් වී වර්තමානයේ දී පරිගණක කෝඩ් ලිවීම දක්වා දියුණු වී ඇත.

එසේ මිනිස් මොළය හැඩ ගැසුනේ ඉතා පහසුවෙන් රටාවන් හැඳිනගත හැකි ලක්ෂණය ඊට ස්වභාවයෙන් ම හිමි වූ නිසයි.

අනෙක් සත්වයන්ට වඩා අපූරු ලෙසකින් තමන් අවට සිද්ධ වෙන රටාවන් හැඳින ගැනීම තුලින් තම ජීවිත ආරක්ෂාවත්, තමන් ඉන්නා පරිසරයට හැඩගැසෙන්නට හැකියාවත්, මිනිස් මොළයේ ස්වභාවිකව පිහිටයි. තමන් යන ඕනෑම නුහුරු පරිසරයක දී එහි රටාවන් හනිකට දකින්නටත් මිනිසාට පුළුවනි.

මිනිසාට වඩා ඉතා කුඩා වූ මොළ ඇති සත්වයන් ද රටාවන් හඳුනාගැනීමෙන් ජීවිතය ආරක්ෂා කරගන්නට සමත් වෙති. උදාහරණයක් වශයෙන් සහරා කාන්තාර කූඹියා (Cataglyphis bicolor) කිසිත් පැහැදිලි ලක්ෂණ නොමැති භූමියක එහා මෙහා යමින් ආහාර සොයයි. සුළඟට ගසා ආ බීජයක් සොයාගත් සැනින් මේ කූඹියා එක එල්ලේම ඍජු ඉරක ගමන් කර නිවහන බලා යයි. සූර්යයා වළාකුළු වලින් වැසී තිබිය ද, ධ්‍රැවායිත එළිය (polarized light) අනුව උන්ට පාර සොයාගත හැකියාව ඇත. එහෙත් මෙසේ සුවිශේෂී ලෙසකින් රටාවන් හඳුනාගත හැකියාව සහරා වනාන්තර කූඹියාට ඇත්තේ අහස පෙනෙන ස්ථාන වල දී පමණි. ගස් ගල් හා වෙනත් බොහෝ හඳුනාගත හැකි භූමි ලක්ෂණ ගහණ වනාන්තර බිමක දී අහස නොපෙනෙන්නේ ද මේ කූඹීන් අතරමං වෙති.

මිනිසාට රටාවන් හඳුනාගත හැකියාව ඕනෑම නුහුරු පරිසරයක දී වුව ද පුදුම සහගත ලෙසින් හැම මනුෂ්‍යයාටම එක සේ පිහිටා ඇත. අපිව ස්වභාවයෙන් යොමු කරන්නේ අපේ සංවේදන වලට හසු වී ප්‍රතිචාර දක්වන සියල්ලේ ම ඇති රටාවන් හඳුනාගැනීම සඳහා ය.

වඩාත්ම බලගතු පරිගණකයටත් වඩා හොඳින් මිනිසාට රටාවන් හඳුනාගත හැකියාවක් ඇත.

රටාවක් හඳුනාගැනීමෙන් මිනිසා දැඩි ප්‍රීතියක් ලබයි.

සංගීතය, ගද්‍ය, චෙස් ක්‍රීඩාව යනාදියෙන් ලබන්නා වූ කලාත්මක සුන්දර බව මිනිසා විඳින්නේ රටාවන් හඳුනාගැනීමට සමත් වීමෙනි. මිනිසා විදග්ධ වන්නට වන්නට ඔහු වැඩි වැඩියෙන් සියුම් රටාවන් හඳුනාගැනීමට උත්සාහයේ යෙදෙයි.

එහෙත් අවුල් සහගත තත්වය පැන නඟින්නේ මෙන්න මෙතැන දී ය.

රටාවන් හොයන හුරුව පෙරදැරි කරගත් මිනිසා කිසිත් රටාවක් නොමැති තැනක දී ද එවැන්නක් දැක්කා යැයි කියා සිටීමයි. මිනිසා සතු සසම්භාවීත්වය (randomness) දකින ස්වභාවික හැකියාව ඉතා දුර්වල ය. ඔය සබැඳියෙන් මිනිසා රටාවන් දකින්නට ඇති කැමැත්ත හා හුරුව නිසා සසම්භාවිත්වය නොදකින හුරුව ගැන සිංහලට පරිවර්තනය කරන ලද ලිපිය කියවත හැකියි.

රටාවන් දකින සේ හැඩ ගැසී ඇති ස්වභාවික මිනිස් මොළයෙන් රටාවන් දකිත හැකියාව සූක්ෂම කර ගැනීමට භාෂාවෙන් ලැබුණ සහයෝගය අතිමහත්ය. එය ආධාරයෙන් මිහිකත එකිනෙකා තව තවත් තමන් දකින රටාවන් පැහැදිලි කරගන්නා නිරීක්ෂණ එකතු කරගනිද්දී දැඩි උත්සාහයක් ගත යුත්තේ ලොව පවතින සසම්භාවිත්වය මඟ හැරෙන්නට ඉඩ නොදෙන්නට ය.

විද්‍යාව යනු මෝඩයන් නොවෙන්නට අපි ඉගෙන ගැනීමයි –රිචඩ් ෆෙයින්මන්

විද්‍යාවෙන් කරත නොහැකි දෙයක් විද්‍යාවෙන් අපේක්ෂා කිරීම බොහෝ අයගේ හුරුවක් වී ඇත. පුරාතන ආගමික විශ්වාස වලින් ඈත්වෙන මිනිසා, අව්ව වැස්ස තීරණය කරන්නේ දෙවියන් නොවේ නම් එය සිද්ධ වෙන ආකාරය දන්නා විද්‍යාඥයා විසින් උදේට පායනවා ද නැත්නම් හවසට වහිනවා ද යන්න දවස් පහකට කළින් අනාවැකි කියනු ඇතැයි අපේක්ෂා කරන්නට හුරු වී සිටියි. එහෙත් සිදුවීම් බොහොමයක් මත රඳා පවතින්නක් ගැන නිශ්චිතවම අනාවැකි කියන්නට නොහැකි බව පිළිගන්නට බහුතරයා අකමැති වෙති.

නිශ්චිත බවක් විද්‍යාවෙන් සෙවීමට උවමනාවක් ඇත්තේ විද්‍යාව ගැන ඇති ගෞරවය නිසාය!!!!

එහෙත් එසේම, මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය නිසා විද්‍යාවට කරත නොහැකි දෙය ඉදිරියේ දී, එය කළ හැකි යැයි කොටසක් කියද්දී, තවත් කොටසක් විසින් පැහැදිලිව ඔප්පු කරගත්, නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵල කියත හැකි විද්‍යාව පවා ප්‍රතික්ෂේප කිරීම දැකිය හැකියි!!!!!

Robert Park ලියූ Voodoo Science, The Road from Foolishness to Fraud (2000) පොත ඇසුරින් මේ සටහන ලියුවෙමි. මේ පොතේ පාර්ක් විසින් අරමුණු දෙකක් ඉටු කිරීම ඉලක්ක කරගනියි. පළමුවැන්න විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාවන් පතුරවා සාමාන්‍ය ජනතාව නොමඟ යවන අන්දම පැහැදිලි කිරීමයි. අනෙක් අරමුණ නම් විද්‍යාඥයන් සහ විද්‍යාඥයන් නොවන අය අතර සමාජයීය හා ආර්ථික වූ සබඳතා ගැන පැහැදිලි කිරීමයි.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් වෙන පාර්ක් අයිති වෙන්නේ ද රිචඩ් ඩාව්කින්ස්, ස්ටීවන් ජේ ගුල්ඩ් යනාදී ජනප්‍රිය විද්‍යා රචක කල්ලියට!!! මේ පොත ලියන්නට පෙර විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට ඔබ්බෙන් ගිය ඔහුගේ වේදිකාව වූයේ ද පත්තර වලින්, රූපවාහිනියෙන් සහ රේඩියෝ වැඩසටහන් වලින් මූලික භෞතික විද්‍යා නීතින් පැහැදිලි කිරීමෙන් දුර්මතයන්ට පහර දීමයි.

පාර්ක් පෙන්වා දෙන අන්දමට විද්‍යාව නොවන විජ්ජාවන් හඳුනාගන්නේ මෙසේය -Seven Warning Signs of Bogus Science:
1. සෙසු විද්‍යාඥයන්ට ඉදිරිපත් නොකර කෙළින්ම ජනප්‍රිය මාධ්‍යයන් මඟින් විද්‍යාත්මක සොයා ගැනීම හෙළිදරව්ව.
2. සොයා ගැනීමට ඉඩක් නොදීමට වෙහෙසන යම් කුමන්ත්‍රණයක් (කොන්ස්පිරසියක්) උත්සාහ කරනවා යැයි සොයාගත්තවුන් විසින් කීම.
3. දැවැන්ත ප්‍රචාරයේ හඬ මහත් වුව ද කියා පාන ප්‍රතිඵලයක් දකින්නට නොහැකි වීම.
4. සත්‍යය සාක්ෂි වෙනුවට උපාඛ්‍යාත සාක්ෂි ලොවට හඬ ගා කියන සොයාගැනීම තහවුරු කිරීම සඳහා යොදාගෙන තිබීම.
5. අළුත් දේ තහවුරු කරන්නට සත්‍ය විශ්වාසය වෙනුවෙන් යැයි කියමින් පෙනී සිටින අය (නාථ දෙයියෝ වැනි) පැරණි සම්ප්‍රදායන් ගෙනහැර පෑම.
6. ප්‍රධාන විද්‍යාත්මක ආයතන වලින් බැහැරව හුදකලාව සොයා ගැනීමේ යෙදීම.
7. සොයා ගැනීම සත්‍යය යැයි කියා, එහෙත් එවිට ඒ සඳහා මෙතෙක් වටහා ගත් පරිද්දෙන් පවතින මූලික ස්වභාවික නීති වෙනස් කළ යුතු වීම.

ආයතනික කෙනෙහිලිකම් ඉදිරියේ තමන් නිව්ටන් මෙන් යැයි හෝ ගැලලෙයෝ මෙන් යැයි කියාගන්නා විද්‍යාඥයන් නොවන විජ්ජාකරුවන්ට පාර්ක් දෙන උත්තරය මෙයයි: “තමා ගැලෙලෙයෝ මෙන් යැයි කියාගන්නට නම් අනුකම්පා විරහිත ආයතනයක වධහිංසා වලට ලක් වූවාට මදි, ඔබ නිවැරදි විය ද යුතුයි.”

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on ජූලි 28, 2013 at 11:19 ප.ව.

    හොඳ වෙලාවට මේ වගේ Bogus Science වැඩ ලංකාවෙ සිද්ධ වෙන්නෙ නැත්තෙ 😛
    ඔය හත එකටම වෙච්චි එකම තැන කියලා හඳුන්වන්න පුළුවන් එකම සිද්ධිය වුනේ නාථ දෙයියො ආසනික් සොයා ගැනීම කියලයි මට නම් මතක…
    තව තව ඒඩ්ස් වලටයි ඩෙංගු වලටයිත් බෙහෙත් හොයා ගන්නවා මෙහේ…

    • arunishapiro said, on ජූලි 29, 2013 at 7:02 පෙ.ව.

      Alchemiya,

      😀

      මාධ්‍යය සහ රජය පිස්සු කෙළින විට ඉතින් ඔයාලට අපිට තමයි ඉතින් කළ යුතු වැඩ ගොඩක බර පැටවෙන්නෙ. සිරුරේ බර ප්‍රමාණයෙන් 50% ක් පමණ බර උස්සාගෙන යන්න පුළුවන් කූඹින්ට ඒත් ඕවත් බාධක ද කියලා අපි හිතමු ඇල්කෙමියා මල්ලි.

  2. Maathalan said, on ජූලි 29, 2013 at 4:44 පෙ.ව.

    විද්‍යාවත් සාපෙක්ෂයි නේද? කාළගුණ අනාවැකි ගැන බලාපොරොත්තු තබා ගැනීම අප වැනි රටක නම් අනුවන ක්‍රියාවක් වූවද. ඔබත් ගෙවල් දොරවල් වසා දමා ගියේ. ඔබම කියනා නිශ්චිතව කිව නොහැකි අනාවැකි හේතුවෙන් නේද?

    • arunishapiro said, on ජූලි 29, 2013 at 7:33 පෙ.ව.

      Maathalan,

      //විද්‍යාවත් සාපෙක්ෂයි නේද?//
      ඕං කිව්වා කතාවක් .. විද්‍යාව කොහොම ද සාපේක්ෂ වෙන්නෙ? ලිට්මස් පාට වෙනස් කරන්නෙ දේශපාලන පක්ෂය අනුව ද?!!! මාතලන්ගෙ පෝස්ට් එකට දාලා තිබ්බ කාටූන් එක ඒ සටහනේ අදහස් වලට කිසිම විදියකින් ගැලපෙන්නෙ නැති වගේ ම කතාවක්. NRA නොහොත් ජාතික රයිෆල් ඇසෝසියේෂන් එක පමණයි වර්තමාන ඇමෙරිකාවේ සියළු දෙනාගේ ම ව්‍යවස්ථාදායක අයිතීන් වෙනුවෙන් නොබියව කැප වී සිටින එකම සංවිධානය. ඕක තේරුම් බේරුම් කරගන්න මාතලන් වගේ අයටත් බැරි නම් ඉතින් සෙසු සමාජයට නාථ දෙයියන්ගෙම පිහිට තමා.

      දවස් පහක five day forecast කාලගුණ අනාවැකි ගැන කිසිම අයෙක්ට බලාපොරොත්තු තබා ගැනීමට නොහැකියාව යනු විද්‍යාව සාපේක්ෂ වූවක් නිසා සිද්ධ වන්නක් නෙමෙයි. විද්‍යාව නොදන්නා කමෙන් විද්‍යාවට කළ නොහැකි වූවක් එයින් ඉල්ලා සිටීමයි.

      ගෙවල් දොරවල් වසා දමා ගියා නෙමෙයි ගෙදරක කෙසේ වෙතත් දොරක තියා ජනේලයක අයිතියක් වත් අවංක මහන්සියෙන් ලබාගන්න කවදා පුළුවන් වේවිද යන සැකය නිසයි රට හැර ගියේ. 😀 අවංක මහන්සියට කොච්චර ඉඩක් තිබුණත් අනාවැකි කියන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. නිශ්චිතව කිව හැකි අනාවැකි සොයන්නා යනු මංමුලා වූවෙක්. අවංක මහන්සියට ඉඩක් තිබීම යනු එහි නියැළෙන්නට හැකියාව ඇති පමණින් මේ දැන් සතුට ලැබෙන්නක්.

      ඊයේ BBC වලින් ඇහුණ 4600 ගානක් මිනිස්සු ලංකාවෙන් බෝට්ටු වලින් පැනලා ගියා කියල … එදා සෝවියට් රටවල් වගේ අද ලංකාව රටෙන් පැනලා යන්නත් තහනම් කරලාලු!!!!

  3. Maathalan said, on ජූලි 29, 2013 at 8:48 පෙ.ව.

    ඔයා එහෙම කිව්වට NRA එකට වැඩි පිරිසක් විරුද්ධයි නේද? ඔක්කෝම අවි දරන්න ගත්තොත් නියමෙට තියෙයි. ආයෙත් ගල් යුගයට ගමන් කිරීමක් නොවෙද එය.

    • arunishapiro said, on ජූලි 29, 2013 at 9:01 පෙ.ව.

      Maathalan,

      වැඩි පිරිසක් කැමති වූ නිසා යමක් නිවැරදි ද? වහල් ක්‍රමයට පුරාතනයේ ලොව වැඩි පිරිසක් කැමති වූවා නේද? ලංකාවේ වැඩිපුර දෙනෙක් තවමත් “වහල් ක්‍රමයට” කැමතියි නේද?!!!!

      රටේ මිලියන පහකට අධික සංඛ්‍යාවක් කැමැත්තෙන් සාමාජිකත්වය (ඩොලර් දාහක් විතර) ගත් සංවිධානයක් තමයි NRA කියන්නෙ. වැඩි පිරිසක් විරුද්ධයි කියද්දී එහෙම කියන්නෙ කවුද කියලා හොයලා බලන්න … ඊ ළඟට ඔක්කොටම අවි දරන්න උවමනාවක් ඇතැයි හිතන්නෙ ඇයි? අවියක් ළඟ තියාගන්න අයිතියක් ලැබීම පමණින් අවියෙන් මිනිසෙක් මරණවා යන නිගමනයට එන්නේ ඇයි? ගල් යුගයෙන් නම් නෙමෙයි ඒත් වැඩවසම් දේශපාලනයෙන් නොහොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා වෙතින් ඇමෙරිකාව ගැලවෙන්නේ අවිගෙන පීඩාකාරී ආණ්ඩුව වුවත් වෙනස් කරන්න හැකියාව ඇතැයි ඇමෙරිකාවේ ආදීපීතෘවරුන් විශ්වාස කළ නිසයි. ඒ සඳහා තමයි අයිතීන් පනතේ දෙවැනි සංශෝධනය සිවිල් අයිතියක් හැටියට ලියැවෙන්නෙ. “අවියක් ළඟ තබා ගැනීම” සහ “අවියකින් මිනීමැරුම” අතර වෙනස කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව තමයි ගල් යුගයෙන් ගොඩ එන්නට හැකි ප්‍රඥාව.

      • Maathalan said, on ජූලි 29, 2013 at 9:10 පෙ.ව.

        අවියක් ලඟ තබා ගන්නේ කුරුල්ලන්ට වෙඩි තියන්න නෙමෙයිනේ. කොක්කු වෙඩි තියන්නත් නෙමෙයි. ඔන්න පිහියක් නම් එක්ස්කියුස් එකක් තියෙනවා. හදිසියටක පාන් කපලා සැන්විච් එකක් හදාගන්න පුළුවන්නේ. ඒ මානසිකත්ව මටනම් තේරුම් ගන්න අමාරුයි. ඒකෙන් කියන්නේ. අනිත් එකා ෂුවර් නෑ කියන් එකනේ. ඔහේ ඉල්ලනවා වෙපන්ස් අරගෙන යන අයිතිය. පැරා ඉල්ලනවා ගෝනී බිල්ලෝ වගේ යන්න පුළුවන් අයිතිය. කාර් වලට නම්බර් ප්ලේට් ඕන නැතිලු, ආන්ඩු ඕන නැතිලු. පාලකයෝ ඕන නැතිලු. ඒ ඉතින් මොහන්දාරෝ හරප්පා තමයි. හැබයි ඒවලත් පාලකයෝ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඊටත් එහා යුගේ.

        එවා කෙසේ වෙතත්. මම ඉතින් ඔහේ වගේම පැරත් කියවනවා. මොකෝ දෙන්නම අහිංසක මිනිස්සු. පෘතග්ජන මිනිස්සු. තමන්ගේ කුටුම්බයට පන වගේ ආදරය කරන මිනිස්සු. ඒ කියන්නේ ලියන්නේ මොනවා උනත් මේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ නිස්ස ලියන දේවල් වලින් ගන්න පුළුවන් දේ ගන්නවා. අනික්වා නම් වෙන ග්‍රහළෝකයක් ගැන ලියන ඒවා කියලා හිත ගදා ගන්නවා.

        • Maathalan said, on ජූලි 29, 2013 at 9:11 පෙ.ව.

          කොක්කට නොවේ ආදරයෙනි… හික්ස්…

        • arunishapiro said, on ජූලි 29, 2013 at 9:55 පෙ.ව.

          Maathalan,

          අවියක් ළඟ තබා ගන්නා හේතු බොහොමයකි. සත්තුන්ට වෙඩි තැබීම වගේම ටාගට් ප්‍රැක්ටිස් ද එහි හේතු අතර වෙති. ඒවා විනෝදාංශයන්ය. හේමන්තයේ හිමෙන් පස වැසී තිබෙන කාලයේ සමහරැ (ඇලස්කාව) සත්තුන්ට වෙඩි තබන්නේ ආහාර පිණිස ය. පෙන්සිල්වේනියාවේ මිලියන ගණනක මුවන්ට වෙඩි තියන්නේ අනික් මුවන් හාමතයෙන් ගලවා ගන්නට ය. සමහරැ සත්තුන්ට වෙඩි තබන්නේ උන්ගෙන් ආරක්ෂා වීම සඳහා ය. ඇමෙරිකාවේ හැම තැනක්ම නිව් යෝර්ක් හි මෑන්හැටන් වගේ නෙමෙයි. අපේ වත්ත මැද්දෙන් ද වරක් කළු වලසෙක් ගිය අවස්ථාවක් ඇත. ඒ වගේ ම තමන්ට වඩා ශාරීරික ශක්තියෙන් යුතු වූ පුද්ගලයන් වෙතින් තමන්ගේ ආරක්ෂාව සඳහා ද තුවක්කුවක් තියෙන නිසා පමණින් ගැලවෙන ලද අවස්ථා ඕනෑ තරම් දත්ත දක්වන්නට පුළුවන්. මේක තමයි ඇමෙරිකාවේ සහ වෙනත් බොහෝ රටවල් අතර කිසිවෙක් නොපෙන්වන්න. අනෙක් යුරෝපීය රටවල් සමඟ පවා සසඳන විට ඇමෙරිකාවේ බරපතල අපරාධ එන්න එන්නම අඩු වී ඇත්තා වගේ ම බොහෝ රටවලට වඩා සුළු අපරාධ ද ඉතාමත් සැලකිය යුතු ලෙසින් අඩුයි. ඒත් ඇමෙරිකාවේ 22 මැරුවාම ලෝකෙම දැනගත්තාට අනෙක් රටවල ලොක්කන්ගේ අනුමැතිය ඇතිව මැරෙන හැටි ගැන ලියන්නෙ මාතලන් වගේ ටික දෙනයි!!!

          බහුතර ලෝකයට ට්‍රෙවෝන් මාටින් මරණය වටහා ගත නොහැකි වුවත් ඇමෙරිකාවේ බහුතරයට එය පහදා ගත හැකි වූවා කොතරම් පැතිවාදී ජනමාධ්‍ය හා ජාතිවාදී දේශපාලන සංවිධාන වලින් ජනතාව කුලප්පු කරන්න උත්සාහයක් ගත්තත්. ඇසින් දුටු සාක්ෂි, forensic සාක්ෂි වලින් මරණය විමර්ශනය කළ පොලීසියත් ජූරියත් දෙකම පිළිගත්තේ එය ස්වයං ආරක්ෂාව සඳහා කරන ලද වෙඩි තැබීමක් බවයි. පැතිවාදී දේශපාලන සංවිධාන වලින් තීන්දුව දුන් පසු ද “අරක්කු බෝතලෙයි රුපියල් දෙදාස් පන්සීයයි දීලා” යළි පෙළපාලි යවන්නට උත්සාහ ගත්තත් එය සාර්ථක වූයේ නැහැ. අඩුම ගානේ චිකාගෝ නගරයේ එක මැරතන් රේස් එකකට ආපු සෙනඟ එකතු කරගන්න ඔවුනට බැරි වුනා.

          දැඩි ශක්තිමත් දේහ කායක් ඇති මැරවරයාට අහිංසකයෙක්ට තළා පෙලා මරා දමත හැකියාව කුමන සමානාත්මතාවයක් ද? සියළු මිනිසුන්ට එක හා සමාන බලයක් දෙන එකම විජට්ටුව තමයි තුවක්කුව. මේක වටහා ගැනීම නිදහස යනු කුමක් දැයි වටහා ගැනීමට ඉතා දැඩි ලෙසින් අවශ්‍ය වූවකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: