අරුණි ශපීරෝ‍ වෙතින්

ආතර් කොනන් ඩොයිල්ව රවට්ටපු කොටින්ග්ලි කෙල්ලන්ගේ සුරංගනාවියන්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 1, 2013

Sherlock Holmes

ස්වභාවික (natural) යන්න ලේබලයේ ගසා තිබීම නිසා එය නෛසර්ගික වශයෙන් සද්ගුණවත් වූවක් යන්න කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි යන තරමින් ම ලෝකයේ කිඳා බැසගත් දුර්මතයකි.

ඇමෙරිකාවේ organic යන වචනය ලේබලයක ගසන්නට අවසරය ලැබෙන්නේ නිෂ්පාදකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පිළිවෙත අනුගමනය කරන්නේ නම් පමණි. එහෙත් ස්වභාවික යන ලේබලය සඳහා විශේෂිත වූ රෙගුලාසි පිළිවෙතක් නැත. ඒ නිසා ස්වභාවික යැයි හැඳින්වෙන ලේබලයක් සහිත වූවක් කෙසේ වගා කළා ද, කෙසේ පිළියෙල කළා දැයි දැනගත හැකියාවක් නැත.

ස්වභාවයෙන් ලැබෙන නිසා පමණින් දුම්කොළ හොඳ යැයි පිළිනොගන්නා අය පවා ස්වභාවික යන්න නිතැතින් ම සද්ගුණවත් සේ සලකන්නේ මොහොතක් නැවතී කල්පනා කරන්නට උත්සාහයක් ගන්නේ නැති නිසයි.

රසායන නොමැති (chemical free) යන්න තවත් නොමඟ යවන ලේබලයකි. එයින් මාධ්‍යවේදීන් මෙන් ම මහජනතාව ද හුරු වී සිටින්නේ රසායන යනු නිතැතයෙන් ම අහිතකර වූවක් ලෙසින් සලකන්නට ය. සූර්යයාලෝකයෙන් පතිත වන අහිතකර UVA සහ UVB කිරණ පරාවර්තනය කරන ඛනිජයක් වූ ටයිටේනියම් ඩයොක්සයිඩ් ඇති සන්ස්ක්‍රීන් ආලේපයක් රසායන නොමැති නව නිෂ්පාදනයක් ලෙසින් ඇමෙරිකන් පුවත්පතක හැඳින්වුණි. ඛනිජ යනු ද රසායනයක් බව එය ලියූ අය අමතක කර ඇත. එක පැත්තකින් ආණ්ඩුව ජනතාව රවටති. අනෙක් පැත්තෙන් වෙළන්ඳා බඩු විකුණාගන්නට ජනතාව නොමඟ යවති.

රසායන යනු ලොව හැම තැනකම පවතින්නකි. විද්‍යාගාරයක හැදූ පමණින් රසායන අහිතකර නොවේ.

පිටස්තරයාගේ අඩවියේ අතිශය මරණීය top 10 සිරස්තලයෙන් මානව ඉතිහාසයේ මිනිස්සු මරන්න වැඩියෙන් අරන් තියෙන සංයෝග/මූලද්‍රව්‍ය 10 ගැන කියවන්න මෙතැනින් යන්න.

ලොව වඩාත් ම අහිතකර වූ රසායනය ලෙස සැලකෙන “මිනිසා විසින් හදන ලද ඩයොක්සින්” යනු ස්වභාවයෙන් පවතින බොටුලිනම් ටොක්සින් ඒ රසායනයට වඩා මිලියන ගණනකින් වසවිෂ අඩු වූවකි. මෙය සොසෙජ් වල වර්ධනය වෙද්දී සොයාගත්තක් නිසා ලතින් බසින් බොටුලස් නොහොත් සොසෙජ් යන නම වැටුණි. බොටුලිනම් තේ හැන්දකින් ලෝක ජනගහණයෙන් කාලක් පමණ මරා දමන්නට හැකියාව තිබේ. එහෙත් සමහර මිනිස්සු බොටොක්ස් යන වෙළඳනාමයෙන් එය තාවකාලිකව හමේ රැළි වැටීම මඟ හරවා ගන්නට මිල දී කැමැත්තෙන් ම භාවිතා කරති.

වර්තමානයේ දී මිනිසා විසින් හදන ලද සංයෝගයන් වල දී ඒවා ස්වභාවයෙන් ලැබෙන සංයෝගය හා එක සමාන ලෙසකින් නිර්මාණයට හැකියාව ඇත. පැලෑටියකින් ගන්නවාට වඩා එය මිනිසා විසින් හැදීම අඩු වැයකින් කරන්නට හැකියාව ඇත. එසේම ස්වභාව ධර්මයා විසින් හදන ලද්දේ මිනිසාට අනවශ්‍ය වූ හෝ අහිතකර වූ කොටස් ඉවත් කර වඩාත් කාර්යක්ෂම ලෙසින් හදා ගන්නට ද දැනුම ඇත.

මැලේරියා මර්ධනයට Artemisia annua පැලෑටියේ පොතු වල සාරය වසර එක්දහස් පන්සියයකට පෙර සිට භාවිතා කර ඇත්තේ චීන වෛද්‍ය විද්‍යාවේ ය. වර්තමානයේ දී එය රුධිර පද්ධතියට අහිතකර නොවන ලෙසකින් සකස් කර, එතරම් වතාවක් ඇතුල් නොකරන්නට සිද්ධ වෙන ලෙසින් මිනිසා විසින් හදන රසායනයක් බවට පත් වී ඇත.

මෙහි දී මිනිසා විසින් හදන ලද රසායන යන්න නිතැතයෙන් ම සද්ගුණවත් යැයි කියන බවක් ද වරදවා වටහා නොගන්න!!!!!!!

අබ ඇට වල තිබෙන Allyl isothiocyanate ගැන අපි දෙපාරක් නොසිතා අබ ඇට ආහාර රස කරන්නට යොදා ගන්නෙමු. එහෙත් මිනිසා හදන එම රසායනය කෘමිනාශක වලින් ඉදිරිපත් වේ.

වසවිෂක් වෙන්නේ කෙසේ ද ආහාරයක් වෙන්නේ කෙසේදැයි පැහැදිලි නොකර ස්වභාවික වූ හෝ මිනිසා විසින් හදන ලද වූ හෝ කියා ද, රසායනයක් ඇතැයි හැඳින්වීම නිසා නිතැතින්ම යමක් අහිතකර වේ යැයි පවසන අවිද්‍යාත්මක යුගයෙන් ඉවත් වෙන්නට දැන් කාලය පැමිණ ඇත.

බොරැ කියන අයට සහ වංචාකාරයන්ට ගවේෂණය හුරු අයව පවා රවටත හැකියි. යූරි ගෙලර් 1970 ගණන් වල දී මනසීභූත බලයන් ඇතැයි ලොව රවටන ලදි. ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ රසල් ටාග් සහ හැරල්ඩ් ඊ. පුතෝෆ් යන විද්‍යාඥයන් දෙදෙනා යුරී ගෙලර්ගේ හැකියාවන් පර්යේෂණයෙන් නිගමනය කළේ සත්‍යයෙන් ම ඔහුට මනසීභූත බලයක් ඇතැයි කියාය. පසු කාලයක දී ජේම්ස් රැන්ඩි නම් මැජික්කරුවා ගෙලර්ගේ විජ්ජාවන් හෙළිකරන ලදි. විද්‍යාඥයන්ට වැරදුන තැන නම් ගෙලර් එසේ කිසිත් පැකිලීමක් නැතිව ලෝකයා රවටනු ඇතැයි අවිශ්වාස කරන්නට නොහැකි වීම බව පහදා දෙන්නේ පීටර් නෝර්විග් විසිනි.

ගෝලීය උණුසුම ගැන Inconvenient Truth (2006) නමින් බිය උපදවන වාර්තා චිත්‍රපටියක් හදා හිස්ටීරියාවක් ඇති කරපු නොබෙල් ත්‍යාගයක් හිමි ඇල් ගෝර් The Day After Tomorrow (2004) ප්‍රබන්ධයක් වූ චිත්‍රපටියේ රූප රාමු යොදා ගැනීම NBC නිව්ස් විසින් 2008 දී හෙළි කරන ලදි. Our Choice (2009) නමින් ඊ ළඟට එන පොතෙන් ඉදිරිපත් කරන්නේ දේශගුණික අර්බූදය විසඳන සැලසුමයි. මහාචාර්ය රෝයි ස්පෙන්සර් පෙන්වා දුන්නේ ගෝලීය උණුසුම ගැන බිය උපදවන පොතක් ලියූ ගෝර් විසින් එහි ඡායාරූප තමනට උවමනා පරිදි වෙනස් කරගෙන ඇති ආකාරයයි. නාසා ආයතනයේ පින්තූර වලින් ගෝර් දක්වන පින්තූර සසඳන ඔහු පෙන්වා දෙන්නේ ගෝර් දමා ඇති චණ්ඩ මාරුත හතර සත්‍යයෙන් නොතිබි බවයි. පුවත්පත් වාර්තාවේ පින්තූර සමඟ මෙතැනින් දැක්වෙන පරිදි ෆ්ලෝරිඩාවට කිට්ටුවෙන් ඇති චණ්ඩ මාරුතය වැරදි පැත්තට කරකැවෙන බවයි. දකුණු ඇමෙරිකාව පැත්තෙන් යන චණ්ඩ මාරුතය සමකය මතින් දිස්වෙන ආකාරයයි: සමකය මත චණ්ඩ මාරුත (hurricane) ඇති වීමක් සිද්ධ නොවේ. ඇලස්කාව හා කැනඩාව පුරා පැතිර ඇති හිම එසේම තිබෙන්නට හැරිය ද, ආක්ටික් සාගරයේ මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති ආකාරයයි. ගෝර් ගේ පින්තූරයේ කියුබාව සම්පූර්ණයෙන් වතුරෙන් යට වී ඇත. එය සිද්ධ වන්නට නම් මුහුදු මට්ටම අඩි හයදාහක් ඉහළ යා යුතු යැයි පෙන්වා දෙන ස්පෙන්සර් කියන්නේ එහෙනම් ඩෙන්වර් නගරයත් වතුරෙන් යට වී තිබිය යුතු යැයි කියාය. ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු බාගයක් දිය වී ඇත්තේ එහි ඝනම කොටස වූ මැද්දෙන් යැයි දිස් වෙයි: එහෙත් එය මුලින් ම දිය වී යා යුත්තේ අගිසි වලින් විය යුතු බව මේ වෙනස්කම් හැදූ අයට අමතක වී ගිහින්.

සුප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ලියූ ආතර් කොනන් ඩොයිල් රවටන ලද්දේ ඇඩොබෙ ෆොටොෂොප් නොමැති වූ 1917 එංගලන්තයේ දී එල්සි රයිට් නම් වූ 16 හැවිරිදි කෙල්ල සහ ඇයගේ ෆ්‍රාන්සස් ග්‍රිෆිත්ස් නම් වූ 9 හැවිරිදි ඥාති සහෝදරියයි. ඔවුන් දෙදෙනා සුරංගනාවියන්ගේ පින්තූර කපා අලවා ඡායාරුප හැදුවා යැයි හෙළිකරන්නේ 1980 මුල ගණන් වල දී යි.

Cottingley Fairies

සුද්දන් රවට්ටන්න හැකි වුනාට කාලාමයන්ට බුදුන් දුන් උපදෙස දන්නා සිංහලයන් ඒ රැවටෙන්න එපා යැයි කියා ඇති සියල්ලෙන් ම යළි යළිත් රැවටෙනවා නම් ඔවුන්ට සමාවක් දිය හැකිද?!!!!! 😀

මේ සටහන් පෙළ ම ලියැවෙන්නේ මෙහි සබැඳි හා නම් සපයන පොත පත හා සබැඳියන් මෙන් ම Sherry Seethaler ලියූ Lies, Damned lies, and Science (2009) පොත ඇසුරෙනි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on අගෝස්තු 2, 2013 at 12:26 පෙ.ව.

    We are still believing those “Damned lies”

  2. තිළිණ මධුශංඛ said, on අගෝස්තු 3, 2013 at 10:47 පෙ.ව.

    මේ මගේ දෙවෙනි කොමන්ටුව. හැබැයි, මම මේ ලිපි ටික කාලෙක ඉඳන් කියවනවා. මුල ඉඳන් අගට වෙනකම් හැම ලිපියකම නොදන්න දේ වගෙම, හිතන්න දේ බොහෝමයි. මම අලුතින් පළවන ලිපි වගේම පරණ ඒවත් කියවන්න පටන් ගත්තා.

    මම දර්ශනය (Philosophy) ගැන තරමක උනන්දුවක් තියෙන කොලු ගැටයෙක් :D. ඒ සම්බන්ධව ඔබතුමියට හොඳ දැනුමක් තිබෙන බව ලිපි කියවන විට තේරෙන නිසා මේ අහන්නේ. විදිමත්ව යම් තැනකින් විෂය හදාරන්නට පෙර, ආධුනිකයෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්, ඔබතුමිය දන්න පොත්, සඟරා (ඉංග්‍රීසි හෝ පරිවර්තිත), හොඳ අන්තර්ජාල මූලාශ්‍ර පිලිබඳව දැන ගන්න කැමතියි. (උනන්දුව හරුණු විට විෂායානුබද්ධ මෙලෝදෙයක් ගැන හසරක් නොදන්නා බව සලකන්න. :D)

    දිගටම ලියමු. ජය!

    • arunishapiro said, on අගෝස්තු 3, 2013 at 11:08 පෙ.ව.

      තිළිණ මධුශංඛ,

      වසර හතරක් තිස්සේ ලියාගෙන ආපු මේ සටහන් මුල සිට කියවා ගෙන එන්න පුළුවන් නම් හොඳ දාර්ශනික පසුබිමක් ලැබේවි. ඒ ඒ සටහන් වල දී අමුණා ඇති සබැඳියන් සහ ඒවායේ ප්‍රතිචාර වල දී මම අමුණන සබැඳියන් ඔස්සේ ගියාමත් සෑහෙන තොරතුරු කන්දරාවක් එකතු කරගන්නට ලැබේවි. ඒවා සියල්ල යළි මෙතැන අමුණන එක අසීරු කාර්යයක්.

      දර්ශනය, මනෝවිද්‍යාව හා තර්ක ශාස්ත්‍රය ගැන තව ඉදිරියේ තව ගැඹුරින් ලියන්නට අදහස් කරනවා. බලමු කොහොම ඉඩ ලැබේවි ද කියා.

      ඔබේ ප්‍රතිචාරය ගොඩක් ස්තූතියි.

  3. […] ආතර් කොනන් ඩොයිල්ව රවට්ටපු කොටින්ග්ල…. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: