අරුණි ශපීරෝ‍ වෙතින්

විද්‍යාව පැත්තකට දාන මැරවර පංතියේ දේශපාලනය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 2, 2013

black flag

සුපර් මාකට් වල රාක්ක පිරෙන්නට බඩු ඇති කාලයක දී “කිරි බී නැසෙමු ද,” යන්න වාද විෂයකි. සුපර් මාකට් නොතිබි, සමූපාකාරයේ රාක්ක වැඩිපුර හිස් වී තිබුණු කාලයේ ගම්මිරිස් වලට ගස්ලබු ඇට, මිරිස් වලට ගඩොල් කුඩු සහ හාල් පරිප්පු වලට ගල් එකතු කරමින් විකුණුවේ විදේශිකයන් නොවේ. අද විදෙස් ණය වලින් බඩකට පුරවා ගෙන විදෙස් ආනයන වල අනතුරුදායක බව ගැන වාද කරමින් මිනිසුන් තමන් ගිලින ප්‍රමාණය ගැන වැඩි අවධානයක් නොදක්වති. පුරාතන ලෝකයේ බඩගිනි නිවාගන්නට පවා හැකියාව තිබුනේ අතලොස්සකට ය.

සාගත ලොව කොපමණක් තිබුණා දැයි කිවහොත් පැරණි ඉතිහාසයේ ලියැවෙන්නේ ඒවායෙන් දරුණුතම වූ ඒවා ගැන පමණි.

ක්‍රි. පූ. 436 දී දහස් ගණනින් මිනිස්සු ටයිබර් ගඟට පැන දිවිනසා ගැනීම ලොව වාර්තාගත මුල් ම සාගතයේ දී සිද්ධ වූවකි. 11 වැනි සහ 12 වැනි සියවස් හි සෑම වසර 14 ක් පාසාම එංගලන්තයේ සාගත පැවතිණ. 1235 දී සාගතයක් හා වසංගතයක් නිසා එංගලන්තයේ විසිදාහක් මිය යති, අශ්ව මස් සහ ගස්වල පොතු හා තණකොළ පවා මිනිසුන් බුදිති.*

1148-59 දක්වා වසර 11 ක් පුරා ඉන්දියාවේ සාගතයක් විය. 1396-1407 දක්වා වසර 12 ක් පුරා දූර්ගා දේවි නමින් ඉන්දියාවේ සාගතයක් විය. 1769-70 බෙංගාලයේ පැවති සාගතයකින් මිලියන 10 ක් (ජනගහණයෙන් තුනෙන් එකක්) මිය ගියහ. 1790-92 කාලයේ දී ඉන්දීය මීනිඔළු සාගතය නම් වූවට ඒ නම වැටුනේ මියගියවුන් කොපමණක් වූවා දැයි ගණනයට පවා නොහැකි වූ නිසයි.

කාර්මික විප්ලවයෙන් පසුව ස්වභාවික ව්‍යසනයන් නිසා ඇති වූ සාගත සංවර්ධිත ලෝකයෙන් තුරන් වෙයි. අයර්ලන්තයේ අර්තාපල් සාගතය ව්‍යතිරේකයක් යැයි සමහරු පෙන්වා දුන්න ද එදා එක බෝග වගාවක යෙදුණු අයර්ලන්තය තුලට කාර්මික විප්ලවය ගොඩ වැදී තිබුණා දැයි සැකයකි. කාර්මික විප්ලවයෙන් පසු සාගත යනු ස්වභාව ධර්මයාගේ බලපෑම් වලට මුහුණ දෙන්න නොදන්නාකම නිසා ඇති වූ ඒවා නොව පුරවැසියන්ට මහා පරිමාන සැලසුම් හදන දේශපාලන මැදිහත්වීම් නිසා සිද්ධ වෙන ලද ඒවායි.

ආසියාව සාගතයෙන් බේරාගත් කොළ විප්ලවයේ පියා නෝර්මන් බොර්ලාවූග් ගැන මෙතැනින් කියැවිය හැකියි.

ලංකාවේ පැවති අහේනියට 70-77 දී මුහුණ දුන් හැටි මතක අය අද වැඩිහිටියන් වෙති. ඉඩෝරයක්, ගංවතුරක් හෝ සුනාමියක් නිසා නොව එය වෙළඳපොලට මැදිහත් වූ දේශපාලනය නිසා හටගත් අහේනියකි. ඒ කාලයේ දී වැඩියෙන් ම ලංකාවට ආධාර ලැබුනේ ලංකාව එවක වැඩියෙන් ම බැනපු රට වූ ඇමෙරිකාවෙන් යැයි බහුතරය නොදනිති.*!!!!!

කාර්මික විප්ලවයෙන් බඩගින්න නිවාගන්නට ලැබුණු ජනතාවක් ජීවත්වෙන්නට ද වරම් ලැබූහ. 18 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ජනගහණය 40% ක් ඉහළ ගියේය. 19 වැනි සියවසේ පළමු දශක තුනේ දී තවත් 50% කින් ජනගහණය ඉහළ යන ලදි. මෙය දරු උපත් මට්ටම් වැඩි වූ නිසා නොව මිය යන මිනිසුන් අඩු වූ නිසා බව දකින්නේ පසු කාලයක දී ය.

විද්‍යාව නිසා මිනිස් ආයුෂ කාලය දීර්ඝ වී තිබීමත්, සාගත වලින් මිය යෑම මඟ හරවා ගන්නට හැකිවී තිබීමත්, නොදකින අය ලොව බොහොමයකි. වර්තමානයේ දී සාගත ගැන අහන්නට නොලැබුණ ද තම ආණ්ඩුව වැය කරන මුදල් හා ලබාගන්නා විදෙස් ණය කොතරම් දැයි නොදැන ජීවත්වන මිනිස්සු දිනෙන් දින ඉහළ යන බදු හා බඩු මිල දිහා බලමින් සුසුම් හෙළති.

විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාත්මක අදහස් මත පදනම් වී මැර බලයෙන් හදන රාජ්‍ය ප්‍රතිපත්ති වලට ගෙවන්නේ පාරිභෝගිකයාය. ආණ්ඩුවේ අයත්, පුද්ගලික අංශයේ අයත්, සාමාන්‍ය රටවැසියාත් සියල්ලන්ම පාරිභෝගිකයන් වුව ද, ආණ්ඩුවේ අය පමණක් සෙසු අයට යහපත සලසන නාමයෙන් ගන්නා තීරණ වලින් වියදම් කරන්නේ ජනතාව හම්බ කරන මුදල් සහ ජනතාව ණයගැති කරවමිනි.

නිෂ්පාදනයක් නැතිව පරිභෝජනය නොහැකියි. තමා කැමති වූවක් නිෂ්පාදනය කළාට එය මිල දී ගන්නා කෙනෙක් නැත්නම් එය විකුණා ගත නොහැක. කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ ගාල්ල පිහිටි වරායන් දැන් Free Ports ලෙසින් නම් කර ඇත. වෙළඳාමේ යෙදෙන අයට බදු සහන දුන්නත් ඒවායෙන් රටට එන සහ ඒවායෙන් රටෙන් යන බඩු නැත්නම් එම වර්ගීකරණයෙන් ද ඵලක් නොවේ.

රටට එන භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් ඇත්දැයි සහ රටේ නිෂ්පාදනය වන භාණ්ඩ නිසා පරිසරයට හානි සිද්ධ වෙනවා දැයි (රතුපස්වල වින්ග්‍රෝ කම්හල වැනි) සොයා බැලීමට හැකියාව හඳට යන තාක්ෂණය හෝ අපූරු හාස්කමක් නොවේ. ඒවා ගැන හොර බොරු සහ වංචා නොකරන ලද රටවල් දියුණු වූහ. ඒවා ගැන හොර බොරු සහ වංචා කරන්නේ ද දියුණු රටක් වුවත් බංකොළොත් වෙයි.

සාගත ජයගත්තේ මිනිස් මොළයකිනි. තමන් නියැළෙන ක්‍රියාවකින් රෝගාතුර වී මැරෙනවා ද නැද්ද යන්න ගැන සොයා ගැනීමට ඒ මිනිස් මොළයට හැකියාවක් ඇත. හොර බොරු වංචා වලින් දියුණුවක් කරා යන්නට නොහැකි බව ද පහදා ගන්නට මිනිස් මොළයට හැකියාවක් ඇත. එහෙත් විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාව පිළිගන්නට හුරු, මොළය පාවිච්චිය නුහුරු මිනිසා පිරිසිදු වතුර ඉල්ලා වෙඩි කා මැරෙන්නට සිද්ධ වන තත්වයකට අද පත් වී සිටිති.

මෙය ධනවත් වෙළඳ පංතිය හා දුප්පත් අහිංසක වැඩ කරන පංතිය අතර ගැටුමක් යැයි වරදවා සිතන අය හිටිය ද, සැබැවින් ම මෙතැන ඇත්තේ මැරවර දේශපාලන පංතිය සහ මිනිස් පංතිය අතර ගැටුමකි!!!!

* The Famines of the World, ගැන ලියන්නේ Cornelius Ward විසින් Journal of the Royal Statistical Society, March 19, 1878, Vol. 41, p. 433 හි ය.
** Paradise Poisoned, Learning about Conflict, Terrorism and Development from Sri Lanka’s Civil Wars (2005) පිටු 323, 324 ලියා ඇත්තේ John Richardson විසිනි.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on අගෝස්තු 2, 2013 at 7:42 පෙ.ව.

    අවශ්‍ය වන්නේ අවංක කමයි. ගාල්ල පැත්තේ ඩී එස් අයි රබර් කම්මලෙන් පිටවෙන විස පරික්ෂාව ඒකේ ලොක්කෝ ෆුල් බකප් එක දෙනවා..

    • arunishapiro said, on අගෝස්තු 2, 2013 at 7:49 පෙ.ව.

      deshakaya,

      ආණ්ඩුවක් සහනාධාර හා ණය හෝ මැරවර බලයෙන් රටේ පවතින නීති කඩන්නට එක ව්‍යාපාරික කල්ලියකට දෙනකොට සිද්ධ වෙන්නෙ සාර්ථක ව්‍යාපාරිකයන්ට පයින් ගහලා අසාර්ථක ව්‍යාපාර වලට මුක්කු ගහලා තියා ගැනීම. ඊට පස්සෙ එය ධනපති ව්‍යාපාරික පංතියට එරෙහි සටනක් යැයි ජනතාව මුලා කරන්න හදනවා!!!!

  2. maathalan said, on අගෝස්තු 2, 2013 at 8:30 පෙ.ව.

    ආයේ ඉතින් වෙන මොකක්ද.. මැර දේශපාළණය. ඒ වගේම 56 බූරූ පුත්තු කළ එළි බැසීම.

    • arunishapiro said, on අගෝස්තු 2, 2013 at 11:14 පෙ.ව.

      මැජික් බලයක් ඇත්නම් මට උවමනා පුරවැසියාට සත්‍යය දකින්නට හැකියාව පාදන්නටයි. එනම් බදු යනු මංකොල්ලයක් යැයි ද, දේශපාලනඥයන් යනු මංකොල්ලකරුවන් යැයි ද, සම්පූර්ණ ආණ්ඩු යාන්ත්‍රණය සහ නිලධාරිවාදය යනු නීති කඩමින් පාදු සපයන කූටෝපාවේ යෙදෙන මාෆියාවකටත් වඩා විසල් හා අනතුරුදායක වූවක් යැයි ද යන සත්‍යය පාදන්නටයි. කෙටියෙන් කිව්වොත් මට අවශ්‍ය පුරවැසියාට ආණ්ඩුව එපා කරවීමට ය.

      ඒත් සමහර අය “නිදහස” කියලා ඉල්ලන්නේ ද එයයි කියා මාතලන් ආයෙත් පටලවා ගනීවි යැයි හිතෙන නිසා හොප් කියපු මේ ටිකත් එකතු කරනවා: මුහුණ දෙන අත්දැකීම් වලින් මිනිසෙකුගේ චරිතයක් ගොඩ නැඟෙන්නෙ හැකියාවන් තුනක් එකතු වුනාම: සත්‍යය, යුක්තිය හා සුන්දරත්වය හඳුනාගන්නා හැකියාවන් තුලින්. අපිට සත්‍යය සහ අසත්‍යය අතර, වරද සහ නිරවද්‍ය අතර සහ සුන්දර (පරිපූර්ණ) සහ කැත (අපරිපූර්ණ) යනාදීන් අතර වෙනස හඳුනාගන්න පුළුවන්. මේ තුන් දැයම ගැන කතාබස් කරන්න සහ කල්පනා කර බලන්න පුළුවන්. සම්පූර්ණ සහ පරිපූර්ණ මිනිස් ජීවිතයක්, එවිට, අවංක සහ යුක්ති සගහත විය යුතු වූවා පමණක් නොව, එය හොඳ ජීවිතයක් ද විය යුතුයි. සුන්දර සහ පරිපූර්ණ විය නොහැකි වූවත් සුන්දර හා පරිපූර්ණත්වයට දැඩි උත්සාහයක් ගන්නා ජීවිතයක් විය යුතුයි. මෙය තමයි හැමට නිදහස ඉල්ලන පිස්සා සහ සෝවියට්-යථාර්ථවාදය-ප්‍රියකරන්නාට නැති වූව.

      ඉහත ටික හාන්ස් හර්මන් හොප් කියූ විදිය මෙතැනින් ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

  3. Mahason Pilliya said, on අගෝස්තු 2, 2013 at 7:27 ප.ව.

    Agreed!. With out any buts and ifs.

  4. Bindi said, on අගෝස්තු 2, 2013 at 11:14 ප.ව.

    හරියට Waste water treatment කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද . සියට සියක් පරිසරයත් රැකගෙන මේ ජනගහනෙට කන්න අඳින්න දෙන්න ලෝකෙට බැරි බව ඇත්ත . දියුණු රටවල් තමන්ගේ අපද්‍රව්‍ය තුවෙනි ලෝකෙට අත අරින එකත් රහසක් නෙමේ . ඉන්දුනීසියාවේ සුමාත්‍රා ගිනි තියන කොට ඇදුම වැඩිවෙන්නේ මැලේසියාවට සහ සිංගප්පුරුවට .

    . අරුණි බලන්න ඇතිනේ A Thirsty World ” කියන වාර්තා චිත්‍රපටය

    අඩු ගානේ මුලික සම්මුතීන්ට යටත්ව කම්හල් පවත්වාගන යාම අවශ්‍යයි නේද .. වැරද්දක් වුනානම් නිවැරදි කරන්න කම්හල වගේම පරිසර අධිකාරියත් කටයුතු කලානම් මෙච්චර ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ නැහැ නේද .

    • arunishapiro said, on අගෝස්තු 3, 2013 at 8:39 පෙ.ව.

      Bindi,

      ඔව්, තාක්ෂණය නැතිකම නිසා නෙමෙයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නෙ. පැහැදිලිවම, 100% ක් පරිසරය රැකගෙන (ස්වභාව ධර්මය විසින් 100% ක් පරිසරය රකින අන්දමෙන්ම :D) මේ ජනගහණෙට කන්න අඳින්න දෙන්න හැකි තාක්ෂණය අද ලොව තියෙනවා. දේශපාලන හේතු නිසා ඒවාට ඉඩ නොලැබීම වෙනත් කතාවක්.

      ඒ වගේම දියුණු රටවල් තම අපද්‍රව්‍ය තුන්වෙනි ලෝකෙට අත අරින බවත් දුර්මතයක්. වර්තමානයේ දී වැඩියෙන් ම අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්නේ දියුණු වෙන රටවල්. එකක් නොදන්නාකම, අනෙක අප්‍රද්‍රව්‍යයන් පරිසරයට හානියක් නොවෙන ලෙසින් මුදා හැරීමට යන වැය දරත නොහැකියාව. මැලේසියාව සහ සිංගප්පූරුව එක්ක බලද්දී ඉන්දුනීසියාව දියුණු යැයි කියන්න බැහැනෙ බින්දි නංගි. ඒ නිසා ඒක පැත්තකින් තියමුකෝ. නවීන තාක්ෂණයේ වැය දරන්න නොහැකි නිසා අඩු වැයෙන් පාම් ඔයිල් කර්මාන්තය සඳහා සුමාත්‍රාවේ වනාන්තර ගිනි තැබීම එපා කියන්නෙ කොහොම ද ඒ මිනිස්සුත් කන්න අඳින්න ජීවත්වෙන්න අවශ්‍ය නිසා.

      කලාපීය වශයෙන් පරිසරයට සිද්ධ වෙන හානිය වළක්වා ගන්නට සහායට නෝර්වේ රජය ඩොලර් බිලියනයක් වෙන් කරන්නෙ දියුණු වෙන රටවල් වල දර කපන එක නවත්වන්නට. ඒ වගේ ම, REDD (Reduced Emissions from Deforestation and forest Degradation) යටතේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ වනාන්තරයේ සිංගප්පූරුව තරම් විශාල භූමි ප්‍රදේශයක් Rimba Raya (අනන්ත වනය) palm oil වගා සඳහා යොදා ගැනීමෙන් වැළකෙනවාට. ඊට සහාය දෙන රුසියාවේ ගෑස්ප්‍රොම් නම් දැවැන්තම ඛනිජ තෙල් නිෂ්පාදකයා සහ ජර්මනියේ ඇලියාන්ස් නම් ෆිනෑන්ස් කොම්පැණියත් ඔවුන් වසර 30 ක් පුරා දෙන මුදල් වලට කාබන් ක්‍රෙඩිට් තම රටවල් වලට ලබාගන්න ව්‍යාපෘතියක ඉන්නෙ. එයින් ඉන්දුනීසියාවේ කාබන් විසුරුවා හැරීම මඟ හැරවීම මඟින් ඩොලර් මිලියන 500 ක් පමණ ඒ සල්ලි ඔවුන් නැවතත් ඉන්දුනීසියාවේ පිරිසිදු වතුර, සෞඛ්‍ය සහ eco-tourism වැනි දේවල් සඳහා ආධාර ලෙසින් දෙනවා.

      නමුත් දූෂණ වංචා හොර බොරු පටන් ගැනෙන්නේ ද මෙතැන දී. ලෝකයේ හැම රටක් ම පාහේ ගත්විට, (ඇමෙරිකාවත් දැන් එවැනි උත්සාහයක ඉන්නෙ) රටේ වැඩි භූමි පෙදෙසක් අයිති ආණ්ඩුවට. ලංකාවේ භූමියෙන් 90% ගණනක් ආසන්නව අයිතිය ඇත්තේ ලංකාවේ රජයටයි. දියුණු රටවල් වලින් පරිසරය රකින්න නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න කියා වුවත් ආධාර, සහනාධාර හා ණය මුදල් ලැබෙද්දී ඒ මුදල් කොච්චරක් ඒ සඳහා වියදම් වෙනවා ද, කොච්චරක් පාලන බලයේ ඉන්නා අයගේ පොකැට්ටුවල නවතිනවා ද සහ කොච්චරක් නාස්ති වෙනවා ද යන්න දැනගැනීමට නොහැකියාවයි.

      මැරවර දේශපාලනය නිසා අන්තිමේ පරිසරය ගැන පාරට්ටු බාන අය විටින් විට කාව හරි අල්ලා බිල්ලට දී තම කූටෝපායන් වලින් පරිසරයට හානි කරමින් සිටිනවා.

      සමහර සංවිධාන තමන්ගේ පැවැත්ම සාධනීය කරගන්නට කළේ නැති වැරදි වලටත් ව්‍යාපාරිකයන් උසාවි ගෙන ගිය අවස්ථා තියෙනවා. මේරිලන්ඩ් හඩ්සන් පවුලට ආධාර පිණිස චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග් කෑවෙමි යන මගේ කළින් දැමූ සටහනක් මෙතැනින්. මෙහි දී සිද්ධ වූයේ ව්‍යාපාරිකයන් ගෙවන බදු වලින් පෝෂණය වෙන විශ්ව විද්‍යාලය නීතිමය සහාය දෙන්නෙ දේශපාලනමය වාසි පිණිස මේ ව්‍යාපාරිකයන්ට විරුද්ධව බොරු නඩුවක් ගෙතූ පරිසර සංවිධානයකට. පුරා වසරක් තුල විභාග වූ නඩුවේ දී සාක්ෂි සියල්ල පෙන්නුම් කරන්නේ අපජලය විසුරුවා හැර තිබුනේ නගර සභාව විසින් මිසෙක මේ හඩ්සන් පවුල නොවන බව. ආණ්ඩුවේ පරිසර ආරක්ෂක ආයතනයට විරුද්ධව ගිය නඩුවේ මේ පවුලට දරන්න වූ වැය මිලියන තුනකට අධික වූවා. ඒත් ඒ පවුලේ වාසනාවට අපි වැනි අය රට පුරා වෙනත් ප්‍රාන්ත වලින් ද එකතු වී පුද්ගලික පවුලේ ව්‍යාපාරයක් ආරක්ෂා කරගන්නට මුදල් ආධාර එකතු කරමින් සහාය දුන්නා. පවුල තමන් නිර්දෝෂී යැයි කියා පෙන්වන්නට සමත් වී නඩුව ජයගත් බව කියන්නේ සතුටින්. පසුගිය දා ඒ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ලොක්කා ඉල්ලා අස් වූ බවත් දැනගන්නට ලැබුණු බව කියන්නේ ඉතා සතුටින්.

      වාර්තා යැයි කියන documentary වල ඇති බිය උපදවන shockumentary උත්සාහ වල බොරු හෙළි කරන්න වෙනම වෙබ් සයිට් පටන් ගන්න වෙනවා; එහෙම පටන් ගත්ත අය වෙනත් භාෂා වලින් නම් එමට, සිංහලෙන් තවම නැති වුනාට.

      වර්තමාන ලෝකයේ ගැටළුව වී ඇත්තේ, පුද්ගලික ව්‍යාපාරයන්හි යෙදෙන කම්හල් වලට පරිසර ආරක්ෂා කරන දැනුම සහ ඒ සඳහා පවතින නීති නැතිකම නෙමෙයි. ඒවායෙන් දේශපාලන වාසි සඳහා පිරිසකට නීති කඩමින් ගැලවෙන්නටත් තවත් පිරිසකට පමණක් (සමහර විට වැරදි නොකරන ලද අයට පවා) දඬුවම් දෙන්නටත් විද්‍යාවේ නාමයෙන්, පරිසරය රකින නාමයෙන් සහ මහජනතාව ආරක්ෂා කරන මුලාවෙන් මැරවර දේශපාලනය ඉදිරිපත් වී සිටීමයි.

  5. arugeadaviya said, on අගෝස්තු 3, 2013 at 5:42 පෙ.ව.

    පුරවැසියාට ආණ්ඩු(තෝරා පත් කරගන්නා ලද මංකොල්ලකරුවන්) එපා කරවීම තුලින් මතුවන රික්තකය පුරවන්නේ කොහොමද?නැවත අහම්බ මංකොල්ලකරුවන් පිරිසක් අතට හැසිරවීමේ යාන්ත්‍රනය ලබාදීමෙන්ද?සෝවියට් රුසියාවේ පෙරෙස්ත්‍රොයිකා පරිවාස යුගයේ මෙන්.
    අරුණි…මම දේශපාලණය විෂයක් ලෙස හදාරා නොමැති බව සලකන්න.

    • arunishapiro said, on අගෝස්තු 3, 2013 at 8:48 පෙ.ව.

      arugeadaviya,

      තෝමස් හොබ්ස් බලතණ්හාධික පාලකයන්ට අවියක් විදියට පිරිනමන ලද සංකල්පය තමයි මිනිස් සමාජයක් කියන්නෙ ලෙවියතන් රාක්ෂයෙක් අවශ්‍ය වූවක් යන්න. ලෝකයේ මරණ වැඩි සංඛ්‍යාවක් සිද්ධ වූයේ බලතණ්හාධික දේශපාලනඥයන් රටේ පුරවැසියන්ට සෙත සලසන නාමයෙන් ආණ්ඩුවේ බලය වැඩි කරගැනීම නිසයි.

      ආණ්ඩුවක බලය අඩු කිරීම සහ සීමා කිරීම තුලින් ආණ්ඩුවක් ලෙවියතන් රාක්ෂයෙක් වීම මර්ධනය කරගත හැකියි. එවිට රටක සාමය හා සංවර්ධනය පැහැදිලිව සාක්ෂාත් කරගන්න පුළුවන් යැයි ඉතිහාසය බොහෝ අවස්ථා වල දී ඔප්පු කරන ලද සත්‍යයක්. යාන්තමෙන් හෝ ආණ්ඩු බලය අඩු වෙද්දී හා සීමා වෙද්දී ලැබෙන සාමය හා සංවර්ධනය ආණ්ඩු බලය වැඩි වෙන්න වැඩි වෙන්න හැම විටෙකම ගෙනෙන ලද්දේ යුද්ධ සහ ආර්ථික බංකොළොත්බවයි.

      ඉතින් ලොව සෑම ලොකු කුඩා රටකටම සාමය සහ සංවර්ධනය ලබාගත හැකිවෙන, පැහැදිලිව ඔප්පු කර ඇති යාන්ත්‍රණයක් ලොව තිබෙනවා. එනම් නිදහස් වෙළඳපොලට ඉඩකඩක් ලබා දීම මඟින් සෑම පාරිභෝගිකයෙකු අතටම තීරණය ගැනීමේ බලය විසුරුවා හැරීම.

  6. Ravi said, on අගෝස්තු 3, 2013 at 8:19 පෙ.ව.

    / ඒ කාලයේ දී වැඩියෙන් ම ලංකාවට ආධාර ලැබුනේ ලංකාව එවක වැඩියෙන් ම බැනපු රට වූ ඇමෙරිකාවෙන් යැයි /

    70 දශකයෙ ඉස්කෝල වල විවේක කාලයට කලින් කාල පරිච්ඡයෙදි විස්කෝතු 5 ක් දුන්න හැමෝටම. කාර්යාලයට ගිහිල්ල නාම ලේඛනය ඉදිරිපත් කරල එදා පන්තියෙ ළමයි ගානට ප්‍රමාණවත් විස්කෝතු අරන් එන එක පංතියෙ ශිෂ්‍ය නායකයගෙ වගකීමක්.දීර්ඝ කාලයක් මම ඔය තනතුර දරපු නිසා දන්නව ඒ විස්කෝතු ලැබුනෙ ඇමරිකානු රජයෙ පරිත්‍යාගයක් හැටියට කියල. ඇදිහැස කියල ලොකුවට ලියල තිබුණ ඒ විස්කෝතු පෙට්ටිවල.ඒ එක්කම අතට අත දෙන ලාංඡනයක් තිබුන එක අතක තිබ්බෙ ඇමරිකන් කොඩිය. ඇදිහැස කියන නම කොහොම හැදුනද කියල නම් මතක නෑ.ඉංග්‍රීසියෙන් කිව්වෙ නම් Care Biscuits කියල.

    • arunishapiro said, on අගෝස්තු 3, 2013 at 8:54 පෙ.ව.

      Ravi,

      ඔව් ඔව් ඒ ගැන කලින් තව අයත් මේ අඩවියේ දී මතක් කරලා දීලා තියෙනවා රවී. නම හැදිච්ච හැටි කවුරුත් කිව්වෙ නැහැ.

      ඒ කාලේ සුදු අප්පුහාමි ලංකාවේ හැම පාසැල් දරුවෙකුටම දවල් ආහාරයට බිත්තරයක් නොමිලේ දෙන ව්‍යාපෘතියක් ගැන ලංකාවේ ව්‍යාපාරිකයෙක් සමඟ කතාබස් කළ හැටි මා සමඟ කිව්වා. මේ ලාංකික ව්‍යාපාරිකයාගේ බිරිඳ ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායකගේ නංගි කෙනෙක් මම දන්න තරමින්. ව්‍යාපෘතිය ඉෂ්ට නොවුනේ ඒ කාලේ බොදු බල සේනාවක් ඇවිත් ළමයින්ට බිත්තර බෙදන්න එපා කිව්ව නිසා නම් නෙමෙයි!!! බිස්කට් වගේ ද බිත්තරයක් බෙදුවොත් ඒවායෙන් අමතර ආදායම් උපයාගන්න අයට එකතු කරන්න හෝ අඩු කරන්න දේවල් නැති නිසා යැයි ලාංකික ව්‍යාපාරිකයා සුදු අප්පුහාමිට තතු පහදලා දීලා තියෙන්නෙ. 😀

      • arunishapiro said, on අගෝස්තු 3, 2013 at 10:59 පෙ.ව.

        නිකමට හොයලා බැලුවා මේ බිස්කට් වල ඉතිහාසය. නම වැටුනේ කොහොමදැයි ඒත් දැනගන්න ලැබුනෙ නැහැ. නම දැම්මේ මිනේකා වික්‍රමසිංහ ද?

        අද සිලෝන් බිස්කට් ලිමිටඩ් නම් වූ ව්‍යාපාරය අතින් බිස්කට් හදපු විලියම් බිස්කට් ෆැක්ටරිය නමින් වූ ලංකාවේ ප්‍රථම බිස්කට් කම්හල. එහි අයිතිය මිස්ටර් විලියම් ගෙන් සයිමන් ආතර් වික්‍රමසිංහ ලබාගන්නේ 1939 දී. සේවකයන් 10 දෙනෙකු ගෙන් යුතුව ඔවුන් Williams Confectionery පටන් ගන්නවා. 1957 දී බ්‍රිතාන්‍යයේ Baker Perkins වල සහායෙන් එය යාන්ත්‍රීකරණය වෙනවා. 1960 ගණන් වල දී ලංකා ආණ්ඩුව, ඇමෙරිකන් CARE සංවිධානය එක්ක එකතු වෙන ‘විලියම්ස්’ තමයි මිනේකා වික්‍රමසිංහ ගේ යෝජනාවක් අනුව බිස්කට් හදන්නට පටන් ගන්නෙ. 1968 දී පන්නිපිටියේ රබර් වතු අක්කර අටක තමයි ඒ සඳහා වූ කම්හල ඉදිවෙන්නේ.

        ඇමෙරිකාවේ බටහිර කලාපීය පර්යේෂණ විද්‍යාගාරයක wheat protein සමඟ එකතු වී හැදෙන මෙය wheat-soy blend (WSB) බවට හැරෙනවා. ඇමෙරිකාවේ CARE සංවිධානයෙන් ලංකාවේ ළමයින්ට බෙදන බනිස් වර්ගයක් හැදෙන්නේ ඒ WSB සහ සෝයා පිටි වලින්. පාසැල් බිස්කට් බෙදා හරින එක විශාලතම වූ ව්‍යාපෘතිය හැටියට මේ වාර්තාවේ හැඳින්වෙන්නෙ. ඊ ළඟට පාසැල් යන්නට පෙර දරුවන් සඳහා ත්‍රිපෝෂ ව්‍යාපෘතිය. මේ වාර්තාවේ ද කියැවෙන්නෙ CARE වැඩසටහන වෙනුවෙන් ත්‍රිපෝෂ හදන ලද්දේ ද සිලෝන් බිස්කට් කොම්පැණිය බවයි.

        ඒ වගේම බිස්කට් හදන්න ද ඒවා පටන් ගත් කාලයේ දී මැෂින් නොතිබිච්ච නිසා පමණක් නෙමෙයි කොළඹ දී (ඉහත කියූ පන්නිපිටියේ තැන ද දන්නෑ) මේ බිස්කට් බෙදා හැරීම සඳහා හදපු බේකරියක bowls or dough troughs වැනි භාජන ද නොතිබුණු නිසා මේසයක් මත දමා අතින් කළවම් කරපු හැටි ගැන කියැවෙනවා. පාසැල් ළමුන් 800,000 කට බිස්කට් බෙදා දුන්නා යැයි කියැවෙන්නෙ. (මම ඒ ත්‍රිපෝෂ, බිස්කට් හෝ බනිස් කාලා නැහැ. මම ගිය පාසැල් වලට බෙදුවේ නැති නිසා වෙන්නැති.) ග්‍රෑම් හයක බරකින් යුතු බිස්කට් එකක ඇති ප්‍රෝටීන් ග්‍රෑම් එකකට වඩා පොඩ්ඩක් අඩුයි. බොහෝ ළමයින්ට බිස්කට් 6 ක් බෙදුවාලු; එය ඊ ළඟ වසරේ බිස්කට් 8 දක්වා වැඩි කරන්න අදහස් වුනාලු. දැඩි මන්දපෝෂණයෙන් වූ අයට බිස්කට් 9 ක් සහ ත්‍රිපෝෂ බෑග් දෙකක් ලැබුනාලු. බිස්කට් බෙදා හැරීම දුම්රියෙන් සිද්ධ වූ නිසා මිලියනයක් බෙදන්න අවශ්‍ය වූවත් එය කරන්නට නොහැකි වීමේ ප්‍රධාන බාධකය ප්‍රවාහන පහසුකම් නොතිබීම කියායි කියැවෙන්නෙ. අනික් බාධක හැටියට බිස්කට් පෙට්ටි හදන්න ප්ලාස්ටික් ඇසුරුම් හදන්න ගිය වැය.

        විස්තරය මෙතැනින්.

      • Ravi said, on අගෝස්තු 3, 2013 at 11:30 පෙ.ව.

        / මේ ලාංකික ව්‍යාපාරිකයාගේ බිරිඳ ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායකගේ නංගි කෙනෙක් මම දන්න තරමින්. /

        මේ බිත්තර සැපයීමේ කතාවට බොහෝ විට අදාල ඇති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සතුව ඒ කාලෙ ලංකාවෙ ලොකුම කුකුළු ගොවිපොළ තිබුණයි කියන කතාව. නයිවල ෆාම් කියලයි ඒක හැඳින්වුනෙ.1977 මැතිවරණය කලෙ එක්සත් ජාතික පක්ෂයෙන් බෙදාහැරිය සත්වසක ශාපය කියල ප්‍රචාරක පත්‍රිකාවක්. ඒකෙ තිබුණෙ සිරිමා රජය උපහාසයට ලක් කරන කාටුන්. ඒකෙ මට මතකයි එක කාටූන් එකක් තිබුණ….පොඩි ළමයි බඩගින්නෙ අඬද්දි ෆීලික්ස් තමන්ගෙ ෆාම් එකේ කුකුලන්ට කිරි පිටි කන්න දානව.. 🙂

        • arunishapiro said, on අගෝස්තු 3, 2013 at 1:34 ප.ව.

          Ravi,

          ඒ අය බලයේ සිටිය දී මේ අයගෙ වැරදි කියනවා, මේ අය බලයේ සිටිය දී ඒ අයගේ වැරදි කියනවා. රටේ නීති තියෙද්දී, ඒවා කඩ කරනවා නම් දඬුවම් දිය හැකියාව තියෙද්දී, අහිංසක ගොවි පවුලට රසායන වත් කරන විදේශිකයන් පිළිබිඹු කරන කාටූන් සහ ළමයි බඩගින්නෙ අඬද්දී කුකුලන්ට කිරිපිටි දෙන කාටූන් තමයි මහජනතාවට දකින්න ලැබෙන්නෙ. ඒවායෙන් රවටන්නේ මහජනතාව. ඒවායෙන් පසුම්බි තරවෙන්නේ ඒ ඒ කාලයට බලයේ ඉන්න පැත්තට හේත්තු වෙච්ච අයගේ. ලංකාවේ පාලන බලයක් ලැබිච්ච නැති අපේ රතු සහෝදරයන් ඉතින් මේ ඔක්කොම ලාබ හොයන ධනවාදයේ වැරද්ද යැයි කියනවා. ලාබ හොයන්නෙ නැතිව ව්‍යාපාර කරන්නත් බැහැ, කෘමිරසායනික පාවිච්චිය නැතිව රටකට කන්න දෙන්න බැහැ, කුකුලන්ට කිරිපිටි දීලා හදන කුකුල් මස් වලින් ලාබ හොයන්න හැකියාවක් ඇමෙරිකාවටත් නැහැයි කියලා දැනගන්න හැකි නොමිලේ දුන්නු අධ්‍යාපනෙයන් ලැබිච්ච ආර්ථික දැනුමක් නැති රටේ මිනිස්සු හැමදාම බඩු මිල ඉහළ යනවා බදු ඉහළ යනවා කිය කියා ඉන්නවා. ඒ මදිවට රටෙන් පැනලා යන්නත් තහනම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: