අරුණි ශපීරෝ‍ වෙතින්

ෆොන්ටෙරා කිරිපිටි තහනම සහ විද්‍යාත්මක වාර්තාකරණය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 5, 2013

ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි. ලෝකයේ කිරි ආහාර ආනයනයේ 30% ක වගකීම දරන මෙය නවසීලන්තයේ විශාලතම කොම්පැණිය වෙන අතර නවසීලන්ත ඩොලර් බිලියන 20 ක පමණ ආදායමක් (ලාබයක් නොවේ) සොයන්නකි.

නවසීලන්තයේ කිරිපිටි සහ බටර් කර්මාන්තය එරටේ commodity exports විදේශ ආදායමෙන් 25% ක් උපයන්නකි. බොරු කියා ඒ ආදායම උපයන්නට නොහැකි බව වෙන කිසිවෙකුටත් වඩා හොඳින් දන්නේ නවසීලන්තයේ ආණ්ඩුව සහ එහි ව්‍යාපාරිකයන් වෙති. ෆොන්ටෙරා සමාගමට තම කිරිපිටි අලෙවියට ලැබෙන විශාලතම වූ වෙළඳපොල ඇත්තේ චීනයේය. චීනයේ භාණ්ඩ අලෙවියේ දී එහි භූමියේ සමාගමක් පිහිටුවීම හෝ එහි පවතින සමාගමක් සමඟ සබැඳියෙන් කටයුතු කිරීම චීන කොමියුනිස්ට් ආණ්ඩුවේ නියමයකි.

2008 දී ෆොන්ටෙරා විසින් 43% ක අයිතියක් කියූ චීන කිරි ආහාර නිෂ්පාදනය කළ චීන රජයට අයිති Sanlu Group කොම්පැණිය මෙලාමින් හෝඩුවාවන් ඇති කිරිපිටි චීන වෙළඳපොලේ විකුණන ලදි. දරුවන් 6 ක් මිය ගිය අතර ලක්ෂ තුනකට සමීප සංඛ්‍යාවක් එයින් පීඩා වින්ඳහ. චීන කොම්පැණිය කිරිපිටි නිෂ්පාදනය නවත්වන ලද්දේ ෆොන්ටෙරා විසින් විසිල් ගැසීමෙන් පසුව පමණයි. චීන සමාගම බංකොළොත් බවට උසාවිය තීන්දු කළ අතර එහි ඉහළ කළමනාකරුවන්ට දීර්ඝ බන්ධනාගාර දඬුවම් නියම වූහ.

ෆොන්ටෙරා හි DCD (ඩයිසයින්ඩයිමයිඩ්) ගැන වාර්තා ඇහෙන්නට පටන් ගැනෙන්නේ පසුගිය සැප්තැම්බරයේ දී ය. යළි ඒ ගැන අපිට දැනගන්නට ලැබෙන්නේ ඒ චීන අධිකාරියන් විසින් පසුගිය මාසයේ කිරි ආහාර කර්මාන්තය ගැන කරන පුළුල් විමර්ශනයක කොටසක් හැටියට ෆොන්ටෙරා විමර්ශනය කරද්දී ය. බොන්නට වසවිෂක් වූ DCD ඇතැයි විදේශීය ෆොන්ටෙරා හා දේශීය කිරිපිටි අතර තරඟයේ සිටින නොයෙක් රටවල් වලින් කියද්දී ඒ කිසිම වාර්තාවකින් තිබුණ ප්‍රමාණය කුමක් දැයි දැනගන්නට නොහැකි විය.

දැන් අර්බූදය DCD ගැන නොව නවසීලන්තයේ Hautapu කම්හලේ නිසි ලෙස පිරිසිදු නොකරන ලද පයිප්පයකින් WPC80 නමින් හදන whey protein තොග තුනක බොචුලිසම් වලට හේතු පාදක වන බැක්ටීරියාව වූ ක්ලොස්ට්‍රීඩියම් බොචුලිනම් තිබිය හැකි යැයි අනාවරණය වී තිබීම ගැනයි. එම තොග තුනේ ටොන් 38 ක් විකුණා ඇති අතර මේ දිනවල පර්යේෂණ පැවැත්වීම සඳහා ඒ සියල්ල ආපහු ගෙන්වා ගන්නට ෆොන්ටෙරා සමාගම කටයුතු කරමින් සිටියි. මේ වසවිෂ ඇතැයි අනුමාන කෙරෙන නිෂ්පාදන තොග විකුණා ඇත්තේ බීම හදන කොම්පැණි දෙකකට සහ සත්ව ආහාර හදන කොම්පැණි තුනකට ය.

අර්බූදය සමඟ සියළු රටවල ෆොන්ටෙරා නිෂ්පාදන අලෙවිය පහත බසින ලදි. නවසීලන්ත ඩොලරය ද ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව ඊයේ 2.4% කින් පහළ යන ලදි. ෆොන්ටෙරා කොටස් 8.7% කින් පහළ ගියේය. කොකා කෝලා ඇතුළු බහුජාතික සමාගම් ෆොන්ටෙරා කිරි ආහාර මිල දී ගැනීම තාවකාලිකව නවතා ඇත.

අනාගත දිනයෙක 2012 සැප්තැම්බරයේ දී DCD අනතුර ගැන ෆොන්ටෙරා කටයුතු කළ ආකාරයට ලැබුණ පැසසුම් යළිත් මෙයට ද ෆොන්ටෙරා සමාගමට හිමි වේවි ද?

එහෙත් ඒ වෙද්දී ෆොන්ටෙරා හි වෙළඳපොල බලය හා නවසීලන්ත ඩොලරයේ අගය කොතරම් පහළ බැස තිබේවි ද?!!!!

ෆොන්ටෙරා හා තරඟ කරන දේශීය කිරිපිටි සමාගම් ඒ ඒ රටවල වෙළඳපොල කොතරම් ප්‍රමාණයක් අල්ලා ගෙන තිබේවි ද?

මෙලාමින් හෝඩුවාවන් ඇති කිරිපිටි හැදුවේ චීන සමාගමක් විසින් යැයි ද එහි කොටස්කරුවෙකු වූ ෆොන්ටෙරා සමාගම ඒ ගැන ලෝකයාගේ අවධානය යොමු කළා යැයි ද දන්නේ කීයෙන් කී දෙනා ද?

DCD ගැන පැතිර ගිය ආන්දෝලනය තරම් ප්‍රසිද්ධියක් DCD නැතැයි වාර්තාවට ද, ඒ ගැන ෆොන්ටෙරා සමාගම ක්‍රියා කළ ආකාරය ගැන පැසසුම් ලද බව කොතරම් වාර්තා වූවා ද?

මෙවර බොචුලිනම් අවදානම ගැන ප්‍රසිද්ධ කරමින් එය වාර්තා කරන අය එම පර්යේෂණ අවසානයේ දී ප්‍රතිඵල වලට කොතරම් ප්‍රමාණයකින් අවධානයක් ලබා දෙනු ඇත් ද?

කිරිපිටි වල වසවිෂ ඇතැයි බිය නොහොත් contamination scare හේතුවෙන් චීන කිරිපිටි හා කිරි ආහාර තරඟකරුවන්ගේ අලෙවිය සහ කොම්පැණි කොටස් ඉහළ ගියේය.

ලංකාව සියළු කිරි ආහාර වලින් ස්වයංපෝෂිත යැයි ද අපනයන සඳහා ද අතිරික්ත ඇතැයි ද කියන ආරියශීල වික්‍රමණායක මහතා DCD ඇතැයි විද්‍යාත්මකව තහවුරු වී තිබිය දී ත් එම ආනයනික කිරිපිටි සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නේ නැත්තේ මන්දැයි ප්‍රශ්න කරයි.

ඔහුගේ එම ප්‍රශ්නය ඉතා වැදගත් වූවකි. සත්‍යයෙන් ම DCD ඇතැයි විද්‍යාත්මකව තහවුරු වී තිබේ නම් තම රටේ ජනතාවට වස බොන්නට ඉඩ හැර රජයක් බලා සිටින්නේ මන්ද?!!!!

එහෙත් මෙම වාර්තාවේ ද DCD ප්‍රමාණය කොතරම් දැයි සඳහනක් ඔහු ද නොකරයි. එසේම DCD යාන්තමෙන් හෝඩුවාවක් ඇත්නම් හෝ වසවිෂක් වෙනවා ද නැත්නම් යම් ප්‍රමාණයකින් පමණක් වෙද්දී වසවිෂක් වෙනවා දැයි ද ෆොන්ටෙරා ගැන වූ සෑම විද්‍යාත්මක වාර්තාකරණයක යෙදෙන්නෙක් වෙතින් ද දැනගන්නට නොහැකි වූවකි.

මේ ගැන ලියන මාධ්‍යවේදීන් ඒ ගැන අහන්නට නොදන්නේ ද?

නැත්නම් යාන්තමෙන් හෝ රසායනය මුසු වී ඇත්නම් පරිහරණය නුසුදුසු යැයි හිතන හුරුව නිසා ඒ ගැන කතාබහට කිසිවෙක් නොයන්නේ ද?

පැලවත්ත කිරිපිටි ලොව දැවැන්තයෙක් නොවන්නේ මන්ද? ඒ කිරිපිටි කිලෝව අලෙවි වන මිල වූ රුපියල් 740 න් රුපියල් 540 ක් ම කිරි ගොවියාට දෙන නිසා බව වික්‍රමණායක මහතා කියා ඇත. ආනයනික කිරිපිටි වලින් රුපියල් 150 ක කොමිස් සොයාගන්නට හැකි නිසා කොතරම් වසවිෂ තිබ්බත් ඒවා විකුණන්නට වෙළෙන්ඳු පියවර ගන්නවා යැයි ද ඔහු කියයි.

එහි දී ද මේ අවලාද කරන වසවිෂ මොනවා ද කොතරම් ප්‍රමාණයන් තිබෙන්නේ දැයි ඔහු නොකියයි.

මුළු ලෝකය පුරා පිරිසිදු කිරිපිටි වැඩියෙන් ප්‍රමාණයක් අලෙවියට හැකියාවක් ලැබෙනවා නම් ලංකාවේ කිරි ගොවියන් රුපියල් 150 ක කොමිස් මුදල තමන්ගේ රුපියල් 540 න් අඩුවෙනවාට අකමැති ද?!!!!

ඔව් පැහැදිලිවම පිටරටකින් ගෙනෙන දෙයක් පරිහරණය නිසා මුදල් යන්නේ ඒ රටටයි.

එසේම, දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන අතර කරන තෝරාගැනීමක් පාරිභෝගිකයාට නොලැබෙන්නේ ද, තවත් විදියකින් කිව්වොත් වෙළඳපොල තරඟයක් දකින්නට නැත්නම්, දේශීය නිෂ්පාදන කොතරම් වගකීමකින් සිදු වේවි ද? දේශීය නිෂ්පාදන පමණක් සමූපාකාරයේ තිබුණු යුගය මතක කාට ද?!!!!

අවිනිශ්චිත ලෝකයක කිසිත් අවදානමක් නැතිව යමක් නිෂ්පාදනයට හැකි යැයි අයෙක් සිතන්නේ නම් ඔහු මුලා වූවෙකි. අපි කන බොන කිරි, මස් හා එළවළු යනාදී සියල්ල ලෝක ස්වභාවයෙන් ද මිනිස් ස්වභාවයෙන් ද අනතුරු උපදින හැකියාව සහමුලින් තුරන් කරන්නට සමත් වු ජගතෙක් ඉතිහාසේ ද වර්තමානයේ ද නොසිටියි.

ලෝකයේ නොයෙක් රටවල නිෂ්පාදනය වූ ආහාර වලට වසවිෂ කලවම් වූ සිද්ධීන් ලැයිස්තුවක් මෙතැනින්.

විද්‍යාත්මක වාර්තාකරණයක් ගැන කියවද්දී එය කොතරම් විද්‍යාත්මක දැයි කොතරම් බිය උපදවන සුළු දැයි තෝරා බේරා ගැනීම කියවන්නාගේ වගකීමයි.

DCD නැතැයි එක් ආයතනයක් කියද්දී තවත් ආයතනයක් එය ඇතැයි කියන වාතාවරණයක, නිෂ්පාදකයා විසින් ම DCD නොව බොටුලිනම් පරීක්ෂාවට ඔවුන් අලෙවි කරන ලද තොග නැවත කැඳවා තිබිය දී, ඔව් පැහැදිලිව ම පාරිභෝගිකයා පෙළඹෙන්නේ කිසිත් රසායන නැතැයි කියන කිරිපිටි වර්ගය මිල දී ගන්නට යි.

Advertisements

44 Responses

Subscribe to comments with RSS.

  1. හෙනහුරා said, on අගෝස්තු 5, 2013 at 8:45 පෙ.ව.

    සියළු සමාගම් සද්භාවයෙන් යුක්තව කටයුතු කරනවාද?
    බිස්නස් එතික්ස් නොසළකන ව්‍යාපාර ලෝකයේ නැතිද?
    වස විස නැති ආහාර සොයාගන්නට හෝ නිපදවාගන්නට උත්සාහ කළ හැකිනම් වස විස තිබෙන ඒවායේ ප්‍රතිශතය හා හානිදායකත්වය ගැන සොයන්නට වෙහෙසිය යුතුද?

    • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 10:36 පෙ.ව.

      හෙනහුරා,

      සියළු ආණ්ඩු සහ සියළු මිනිසුන් සද්භාවයෙන් යුක්තව කටයුතු කරනවා ද?
      ආචාර ධාර්මිකව නොහැසිරෙන මිනිස්සු ලෝකයේ නැති ද?
      ගෝලීය වශයෙන් මිනිසාගේ ආයුෂ වර්තමානයේ දී දීර්ඝ වී ඇත්තේ වසවිෂ තියෙන ආහාර කන නිසාද?

  2. Nandasiri Wanninayaka said, on අගෝස්තු 5, 2013 at 8:59 පෙ.ව.

    සත්‍ය පැහැදිලි කළ ලිපියට ස්තුතියි. බහුජාතික සමාගම්වලට තදින් විරුද්ධ වීම අපේ සිරිතක්. ඔවුන් ලෝක ආර්ථිකයට කරන මෙහෙය බොහෝ දෙනා පහසුවෙන් අමතක කරනවා. ඔවුන් ආයෝජනය කරන මුදලට සහ ව්‍යවසායකත්වයට හරියන්නට ලාභ ලබාගැනීම කළ යුතුමයි.

    • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 10:39 පෙ.ව.

      Nandasiri Wanninayaka,

      තරඟය හා ලාබය යන සංකල්ප ගැන ජනතාව මුලාකර ඇති අදහස්වල සත්‍ය අසත්‍යය පහදා දෙන අය අඩු නිසා මෙහෙම අවුල් වලින් නොමඟ යවන්නත් පහසුයි.

  3. mppgunasinghe said, on අගෝස්තු 5, 2013 at 9:11 පෙ.ව.

    ලංකාවේ ජාතික මාධ්‍යයන් තව කොපමණ තරමකින් දියුණු වියයුතු ද යන්න කල්පනා කරන්නට යොමු කරවන ලිපියක් බඳුය. සිංහලයන්ගේ කල්පනා ලෝකය පුබුදවන්නට සමත් ඔබට නැවතනැවතත් සුබපැතුම් !

    • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 10:41 පෙ.ව.

      ස්තූතියි 🙂 ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල ජනමාධ්‍යයන් හි තත්වය මෙයයි. නොමිලේ දෙන අධ්‍යාපනය නිසා මිනිසාට හිතන්න පුළුවන් හැකියාව සැඟවිලා.

  4. දුලාගේ අඩවියේ දුලා said, on අගෝස්තු 5, 2013 at 10:58 පෙ.ව.

    ලංකාවේ රත්තී හා ඇන්කර් යන වෙළඳ නාම දෙකෙන්ම කිරිපිටි අලෙවි කරන්නේ ඔය ෆොන්ටෙරා සමාගමයි.අපි වැඩි දෙනා බොන්නේත් ඔය වර්ග දෙකයි.ඉතින් ඒවා ගැන සත්‍යය පැහැදිලි කලාට ස්තූතියි.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 12:11 ප.ව.

      දුලා,

      මා ලියා ඇත්තේ ෆොන්ටෙරා අර්බූදයේ වාර්තාකරණය ගැන මිසෙක ලංකාවේ අලෙවි වන කිරිපිටි ගුණ අගුණ ගැන නෙමෙයි යැයි පැහැදිලි ඇතැයි සිතමි 😀

  5. Jayasekara Liyanage said, on අගෝස්තු 5, 2013 at 11:46 පෙ.ව.

    Very important article. Thanks very much

  6. chalanka said, on අගෝස්තු 5, 2013 at 12:02 ප.ව.

    fonterra aken keeyak gaththada?

  7. මාතලන් said, on අගෝස්තු 5, 2013 at 12:55 ප.ව.

    ලංකාවේ එස් එල් එස් කියලා ආයතනයක් තියෙනවා නේද? ඒ ඇරුනම වරායෙත් විද්‍යාඥයෝ සහ රසායනාගාර තියෙනවා නේද?

    එතකොට දැන් විකුණන ඒවලත් වස තියෙනවද? මේ දවස්වල ඇන්කර් අඩුවට දෙන්නේ ඇයි? මේවාට පිළිතුරු දෙන්නේ කවුද?

    • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 1:00 ප.ව.

      මාතලන්,

      😀 කෝ අපිට විසඳුම් දියව් කියලා පාරට බහින අය?!!!

      • මාතලන් said, on අගෝස්තු 5, 2013 at 1:33 ප.ව.

        බෑනේ… ටී 56 යෙන් සංග්‍රහා කරන්නේ..

        • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 2:08 ප.ව.

          මාතලන්,

          මාරාන්තික උපවාස වල යෙදෙන අය T56 වලට බය ද?!!!!!

          • මාතලන් said, on අගෝස්තු 5, 2013 at 2:22 ප.ව.

            ඒ මිනිස්සු මාරාන්තික උපවාසයක යෙදුනේ නෑ.. සාමකාමි උද්ඝෝෂණයක යෙදුනේ…

            මාරාන්තික උපවාසේ කරපු එකා නපුංසකයෙක් බව ඔප්පුවී හමාරයි…

            • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 2:28 ප.ව.

              මාතලන්,

              ඔබාමාගෙන් අහලා යවන්නයි වෙන්නෙ, ඔක්කොම දන්නෙ එයානේ …

              කොහෙද දැක්කා රතුපස්වල සම්බුද්ධ ජයන්ති විහාරයේ දී තෙරිපැහැ සිරිධම්ම හිමියන් වින්ග්‍රෝ අපජලය ගැන මාරාන්තික උපවාසයක යෙදුනැයි කියල. දැන් ඒක නවත්තලා නිසා කිරිපිටි ගැන උපවාසයක් පටන් ගන්න බැරි ඇයි?

              අනික එතකොට හැමදාම විදේශීය කුමන්ත්‍රණ හෙළිකරන විමල් වීරවංශ ඇමතිතුමා මේ වසවිෂ පිරි පිටිකිරි ගැන මුකුත් උපවාසයක් කරන්නෙ නැද්ද?

              • මාතලන් said, on අගෝස්තු 6, 2013 at 12:34 පෙ.ව.

                ඒ හාමුදුරුවන්ට තමයි ජනතාව දැන් නපුංසකයයි කියන්නේ. මරණ තර්ජන වලට බයේ කතාව කන පිට හරවලා.. දැන්ම නිවන් යන්න අකමැති ඇති. අනික උපවාසයක යෙදුනා මිසක් ඒක මාරාන්තික එකක් නෙමෙයි.

  8. wicharaka විචාරක said, on අගෝස්තු 5, 2013 at 1:04 ප.ව.

    කාලාම සූත්‍රයේ තියනවා වගේ අරයා කිව්වාට මෙයා කිව්වාට ඒ පමණින් විශ්වාස නොකර විචාර බුද්ධියෙන් සොයාබලා තමන්ට හරි යයි වැටහෙන දේ ගැනීමයි වඩා හොඳ. ඔබ කියනතුරු මේ චීනය සහ ෆොන්ටෙරා අතර සෙල්ලම දැන සිටියේ නැත. බොහොම වැදගත් ලිපියක්. ස්තුතියි.

  9. Alchemiya said, on අගෝස්තු 5, 2013 at 1:27 ප.ව.

    අපි කිරි බොන්නේ නැත…
    උදේට බොන්නේ උණුකර නිවා පෙරාගත් වතුරය, ඉන්පසු නිවසේම තනාගත් එළවලු හෝ පළතුරු යුෂ කෝප්පයකි.
    කිරි නැතිව අපට නම් ජීවත් විය හැකිය…
    රසායන ද්‍රව්‍ය සහ ආහාරවල ආදීනව හොඳින් දන්නා බැවින් වැඩියෙන්ම පරිස්සම් වීමට අප වග බලා ගනිමු…

    • arunishapiro said, on අගෝස්තු 5, 2013 at 2:07 ප.ව.

      Alchemiya,

      මල්ලි හරි ආත්මාර්ථකාමියෙක්නෙ, තමන් ගැන විතරයි හිතන්නෙ 😀 වතුර උණුකර නිවා පෙරාගත්තාට තියනවා කියන ආසනික් නැතිවෙලා යන්නෙ නැහැනෙ!!! නාථ දෙයියන්ගෙන් තමයි අහන්න වෙන්නෙ!!!

      • නවීන් said, on අගෝස්තු 6, 2013 at 4:01 පෙ.ව.

        ජපනුන් කිරි බොන්නේ නැති නිසා පිලිකා අඩුයි කියන එකේ ඇත්තක් තියෙනවද?

        • arunishapiro said, on අගෝස්තු 6, 2013 at 7:26 පෙ.ව.

          නවීන්,

          අධ්‍යයන හෝ ඒ ගැන වාර්තා මොනවා දැයි නොදැන මෙහෙම සාමාන්‍ය කියමනක් ගැන කිසිවක් කියන්න බැහැ.

          අඩු මොන පිළිකා ද? සමස්ත සියළු පිළිකා ද? නැත්නම් විශේෂිත වූ පිළිකාවන් ද?

          මේ ආමාශ පිළිකා ගැන වාර්තාවේ කියැවෙන්නේ ජපානයේ ආමාශ පිළිකා අනෙක් සියළු රටවල් වලට වඩා ඉතා වැඩි යැයි ද පසුගිය වසර 20 ඇතුලත විශාල අඩුවීමක් දකින්නට ඇතැයි ද කියා. ජපානයේ ඉන්න ජපනුන්ට වඩා තුනෙන් එකක් අඩුවෙන් තමයි හවායි වල වාසය කරන ජපන් අය අතර ද පිළිකා දකින්නට ලැබෙන්නේ යැයි කියා. ජපන් ආහාර වල ඇති ඉහළ ලුණු ප්‍රමාණය තමයි හේතුව හැටියට දැක්වෙන්නේ.

  10. dash said, on අගෝස්තු 5, 2013 at 8:17 ප.ව.

    Cow milk is not an essencial comodity, its nutritious value is very less for humens, if we promote milk it should be liquid milk consumption not podered (skim) milk.

  11. samarasekara said, on අගෝස්තු 5, 2013 at 9:48 ප.ව.

    ප්‍රශ්නය තියෙන්නේ නවසීලන්තයේ උවත් අපිත් කිරි බොන හින්දා එක අපිටත් බලපානවා.අපේ රටේ කිරි සම්බන්දව තියෙන්නේ මුලික ගැටළු දෙකක් විතරයි.

    1. අපි දියර කිරි නොබී පිටි කිරි වලටම ඇබ්බැහිවීම (ලොව හැම රටක්ම පාහේ බොන්නේ දියර කිරිය)

    2. කිරි හා සම්බන්ද අලවිකරණ ගැටළු

    වික්‍රමශිල මහතාගේ දේශීය කිරි හොඳ ඇති. නමුත් ඒවා මිලදී ගන්න තැනක් නැත.

    කිරි කල් තබා ගන්නා ආකාරයට පමණක් සකස් කොට (අන් කිසිදු වෙනස් කිරිමකට භාජනය නොකොට) පරිභෝජකයන් අතරට ලෙහෙසියෙන් යැවිය හැකි උවත් ඒගැන කල්පනා කරන අයෙක් නැත.

    1954දි හංවැල්ල අලුත්කුරු කෝරලේ කිරි නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමය සාර්ථකව දියර කිරි අලවිකරණයක් කළා.මෙය හොඳින් කිරීමට තමයි ඒ සමුපකාරයේ වත්කම් පවරාගෙන කිරි මණ්ඩලය කියන සංස්ථාව ආරම්භ කලේ. පස්සේ කාලේ ඒක කිරියා සමාගම උනා. දැන් මිල්කෝ වෙලා. නමුත් ජනතාවට දැනෙන සේවයක් කෙරෙන්නේ නැහැ. කිරි නිෂ්පාදනය කරන ගොවීන්ගේ සමුපකාර සමිති වලින් තමයි මේ අය කිරි ගන්නේ. මේ කිරි ටිකෙන් යෝගට්,බටර්,අයිස්ක්‍රීම්,මුදවාපු කිරි හදනවා වෙනුවට දෛනිකවම බොන කිරි මහජනතාවට දීමටත් ජනතාවට ලෙහෙසියෙන් ලංවිය හැකි අලවි ජාලයක් ඇති වෙන්නේ කවදාද?

    • arunishapiro said, on අගෝස්තු 6, 2013 at 7:18 පෙ.ව.

      samarasekara,

      //වික්‍රමශිල මහතාගේ දේශීය කිරි හොඳ ඇති. නමුත් ඒවා මිලදී ගන්න තැනක් නැත.//

      ආරියශීල වික්‍රමණායක .. මිල දී ගන්න පහසුවෙන් දකින්නට නැත්තේ වෙළන්ඳන්ට කොමිස් අඩු නිසා නම් ඒ සඳහා කිරිගොවීන්ට කවුරු හරි දැනුමක් ලබා දෙන්න ඕනෑ low margin තියාගෙන වැඩියෙන් ප්‍රමාණයක් අලෙවියට ලැබුණාම වැඩියෙන් ලාබ උපයන්න හැකියාව ලැබෙන හැටි ගැන.

      සීතකරණ පහසුකම් ලැබෙන්නේ ද, වායූ සමීකරණ පහසුකම් ලැබෙන්නේ ද, සමාජයක පෝෂණයේ සහ සෞඛ්‍යයයේ යන දෙකේම ප්‍රගතියක් ඇති වේ. ඒත් ඒවා දේශපාලනීකරණය වී බදු හා ආනයන නීති මත තීරණය වෙන ඒවා මිසෙක නිදහස් වෙළඳපොලක ජනතා කැමැත්ත අනුව තීරණය වෙන දේවල් නෙමෙයි.

  12. රූ said, on අගෝස්තු 6, 2013 at 3:31 පෙ.ව.

    //මේ ගැන ලියන මාධ්‍යවේදීන් ඒ ගැන අහන්නට නොදන්නේ ද?//
    මාධ්‍යෙවේදීන් ලියන්නේ තමන්ගේ පාඨකයාගේ දැනුම් තේරුම් මට්ටමට බව විතරක් කිව හැකියි..මෙය විශම චක්‍රයකට වැටීමෙන් පසු මාධ්‍ය වේදියාද පාඨකයාද එකම (නො)දැනුම් මට්ටමක සිටිති.

    • arunishapiro said, on අගෝස්තු 6, 2013 at 7:29 පෙ.ව.

      රූ,

      අනගි ප්‍රතිචාරයක්.

      ජීවවෛද්‍යවිද්‍යා ආචාර ධර්ම හදාරන්නට 1989 ගණන් වල දී මම පටන් ගත්තාම දැනගත්තේ වෛද්‍යවරුන්ට කරන ලද දෝෂාරෝපණයක් ගැන; එනම්, රෝගියා යනු දැනුම් තේරුම් හැකියාවක් නොමැති වූවෙක් නොවන බවයි. තමාට ඇති රෝගය ගැන වෛද්‍යවරයා දන්නා ලෙසින් නොදත්තාට, වෛද්‍යවරයා නොදන්නා තරම් මහත් දැනුමක් රෝගය හා තම ශරීරය ගැන රෝගියාට ඇත!!!! ඉතින් උවමනා වෙන්නේ වෛද්‍යවරයා තම දැනුමෙන් ටිකක් බෙදා ගැනීම සහ රෝගියා තම දැනුමෙන් ටිකක් බෙදාගෙන ගැටළුව විසඳා ගැනීමයි.

  13. udara said, on අගෝස්තු 6, 2013 at 5:56 පෙ.ව.

    නෝන මහත්තයා, ඕක ඔයා ඉන්න ඇමරිකාවේ සුද්දන්ට ම ලියුවා නම් හොඳයි නේද? ෆොන්ටෙරාට ඔහොම හරි කෙළ වෙලා අපේ රටේ දෙයක් හැදුනොත් (පැල්වත්ත හරි අඹේවල හරි) සල්ලි, කිරි සියල්ල ඉතිරි වන්නේ ලංකාවටම නේද? පැල්වත්තට හරි ගියොත් ආරියශීල වික්‍රමනායක වත් දියුණුවෙයි. මම දන්න විදිහට මිනිහට ඇමරිකන් පුරවැසිභාවය නැහැ.
    වතුර ලිටරයක් කිරි ලිටරයකට වඩා ගණන් රටේ මෙහෙම හරි හරියක එකට පිට රටට ගිහින් මෙහාට බණ කියන සමහරු කැමති නෑනේ නොනේ.බටහිර හොද දේත් ගමු. අපේ දේවලුත් හදා ගමු.

    • arunishapiro said, on අගෝස්තු 6, 2013 at 7:39 පෙ.ව.

      udara,

      අර්ථ ශාස්ත්‍ර දැනුම ඉතා මඳ නිසා ඔබ එසේ සිතයි. වෙනත් රටකින් ගෙනෙන ආනයන නැවතුන හොත් පමණක් තම රටේ නිෂ්පාදන වලට තැනක් ලැබේ යැයි සිතීමේ දුර්මතය ගැන කදිම පැහැදිලි කිරීමක් ලොවට ලැබී ඇත්තේ 1845 දී ෆෙඩරික් බැස්ටියාට් ගෙන්. ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සමෙන් ඔහොම හිතන හුරුව ගැන irony විලාසයෙන් ලියන බැස්ටියාට් ප්‍රංශයේ ජූලි රාජාණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ නිෂ්පාදන වලට සිද්ධ වෙන අසාධාරණ තරඟය ඉවත් කරන්නට සූර්යයා වසා දමන්නට කියාය!!!!

      • udara said, on අගෝස්තු 7, 2013 at 12:11 පෙ.ව.

        අර්ථ ශාස්ත්‍ර දැනීම ගැන ගැටළුවක් නම් මට නැහැ. ඇත්තේ ප්‍රායෝගික බව ගැටළුවක්. මොකද අපේ රටේ ඇන්කර් විකිණෙන්නේ හොඳට දියවෙනවා කියාලා. රත්තී මොලේ තියෙන අය ගන්නවා කියන්නේ අඩු පිටි ප්‍රමාණයකින් වැඩි කෝප්ප හදන්න පුළුවන් කියාලා. මේ දෙකේම නිෂ්පාදකයා ෆොන්ටෙරා තමයි. ඊයේ දවස තුල සුපිරි වෙළද සැල් බොහොමයක හයිලන්ඩ් නැහැ. නමුත් ඇන්කර් රත්තී තියෙනවා. මැලිබනුත් රු 10ක් අඩුකරලා. කිරිපිටි ගණන් ගියොත් සාමාන්‍ය කිරිගොවියාටවත් යම් යහපතක් වෙයි. නමුත් කිරිපිටි බිම අත්‍යාවශ්‍ය නැති බව ඇල්කෙමියාත් කියලා තියෙනවානේ. ඔබ දැකලා තියෙනවාද උදේට මරදාන දුමරිය පොල ඉදිරිපිට තියෙන කිරිහලෙන් කොච්චර කිරි බොනවා ද කියා. නමුත් UHT ගහපුවා බහුතරයක තියෙන්නේ පිටරට කිරිපිටි ලන්කාවේදී දියකරලා හදපුවා.හයිලන්ඩ් . පැල්වත්ත දෙකම ප්‍රමිති ගත ආයතන නම් ගුණාත්මක තත්වය ගැන වාදයක් නැහැ.
        අපි ඉන්නේ 2014 මිස 1845 නෙමේ. සුද්ද අපේ රට අල්ලන්න කලින් හිටපු සිංහල මිනිහෙක් වත් ප්‍රංශ කාරයෝ තරම් මෝඩ කථා කියයි කියා හිතන්න බැහැ.මෙහෙට නෙමෙයි ඔයාගේ අදහස් සුද්දගේ බාසාවෙන් සුද්දටම ලියන්න තේරුම් ගන්න. මොකද හද වැටෙයි කියලා හදට පොලු ගහපු උන්ට නම් අපේ රටේ මිනිස්සු කිව්වේ උපන් ගෙයි මොඩයො කියලා.

        • arunishapiro said, on අගෝස්තු 7, 2013 at 6:29 පෙ.ව.

          udara,

          //කිරිපිටි ගණන් ගියොත් සාමාන්‍ය කිරිගොවියාටවත් යම් යහපතක් වෙයි.// මෙය වැරදි අදහසක්, විශේෂයෙන් ම ප්‍රායෝගික අතින් තමයි. මෙම වැරදි විශ්වාසය තමයි බැස්ටියාට් විසින් “ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සමෙන්” පෙන්වා දෙන්නෙ. විදේශ භාණ්ඩ තහනම් කිරීම මඟින් ප්‍රංශයේ දේශීය නිෂ්පාදකයාට යහපතක් සිද්ධ වෙනවා යන්න සත්‍යයක් නම් සූර්යයා වසා දැමුවොත් සූර්යයාලෝකය දහවල් කාලයේ පවතින නිසා ආලෝකය ලබාදෙන්නට සූර්යයා හා තරඟයට මුහුණ දෙන ඉටිපන්දම් හදනා අයට යහපතක් වෙනවා යැයි ද සත්‍යයක් වෙනවා දැයි විමසීම. බාගයකින් වාසියක් ඇත්නම් සම්පූර්ණයෙන් වැඩි වාසියක් ලැබෙනවා නේද යැයි බැස්ටියාට් ප්‍රශ්න කරන්නේ මෙම වැරදි අදහසේ නිරර්ථකත්වය (absurdity) පෙන්වා දෙන්නටයි.

          ප්‍රංශ ජාතික බැස්ටියාට් 1845 දී එසේ කියා ඇත්තේ ලොව බොහොම රටවල් තවමත් හැමෝම එහෙම හිතන නිසා විශ්වාස කරන වැරදි අදහසක් ගැන සත්‍යයක් පෙන්වා දීමටයි. එය මෝඩ කතාවක් නෙමෙයි.

          ඇමෙරිකාවේ ඉන්නෙ සුද්දො විතරක් නෙමෙයි. ඇමෙරිකාවේ සිංහලෙන් කියවන අය ද ඉන්නවා.

          හඳ වට්ටන්න පොලු ගහන්නේ කවුදැයි කියා සොයා නොබලා “හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටවල” මිනිස්සු නොදන්නාකමේ ගිලී ඉන්නට ඔය තරම් කැමති ඇයි?

  14. සමීර said, on අගෝස්තු 6, 2013 at 6:24 පෙ.ව.

    සාමාන්‍යයෙන් දියුණු රට වලදී බහු ජාතික සමාගම් කිරියාත්මක වෙන විදිහට හාත්පසින්ම වෙනස් උපක්‍රම තමයි අපි වගේ දියුණු වෙම්න් පවතින රට වලට පාවිචිචි කරන්නේ . හොදම නිදසුන ඇස්ට්‍රා වලට දුන් අදිකරණ නියෝගයවත් ක්‍රියාත්මක නොවීම .අඩුම ගානේ ඒ අදිකරණ නියෝගයවත් කිසිම පුවත්පතක පල කරන්ඩ යුනි ලිවර් ස ඉඩ දුන්නේ නෑ ….
    ෆොන්ටෙරා කිරි නිෂ්පාදන වල ගුණ අගුණ දන්නේ ඒ සමාගමේ ලොක්කොයි උඩ ඉන්න දෙයියෝයි විතරයි …..අපි එතකං මිනරල් වෝටර් සමග දියකරපු H2SO4 ගහන්ඩ යි හිතන් ඉන්නේ ….. එව්වා ඔය නවසිලන්තේ එල දෙන්නුගේ කිරිවලට වඩා ඉගෙන ගන්න ළමයි ගේ වර්දනයට හොදයි කියලා අපේ ආදරණිය සංවේදීය නායකයා ඊයේ පෙරේදා කියලා දුන්නා ……………..

    • arunishapiro said, on අගෝස්තු 6, 2013 at 7:41 පෙ.ව.

      සමීර,

      😀 දැනුම ලොව තිබිය දී එය තමනට ලැබෙන්නේ නැත්තේ කෙසේදැයි සොයා බලනවා වෙනුවට සිත කුල්මත් කරන දුර්මතයන් වලම ලැග සිටීම ආශ්චර්යයක් නොවේද!!!!

      • සමීර said, on අගෝස්තු 6, 2013 at 12:57 ප.ව.

        සුට්ටි අවුලක් තියනවා මං නව්සිලන්ත් හෝ වෙනත් රටක කිරි නිෂ්පාදන නරකයි කියන්නේ නෑ නමුත් ගැටලුව මෙම සංගම් අඩු ආදයම් සහිත රටවල් වෙනුවෙන් කරන නිෂ්පාදන වල ගුණාත්මක භාවය . ෆොන්ටෙරා මව් සමාගමේ මහත්මා ගති ගුණ ලංකාවේ නියෝජිතයාගෙන් බලපොරොත්තු වීම මෝඩ කමක් ..මොකද මෙහේ නියෝජිතයෝ කියන්නේ රුසියාවට චියනයට . මැලේසියාවට , තායිලන්තයට යවපු තරම් සවුත්තු නිෂ්පාදන ලංකාවේ වෙළද පොළ සදහා ආනයනය නොකළ බවයි … ඒ කියන්නේ ඒ ගොල්ලන්ට වඩා කොලිටි බදු අපිට හම්බුවෙන්නේ …. කාටද ආඩම්බර ..

        • arunishapiro said, on අගෝස්තු 6, 2013 at 2:03 ප.ව.

          සමීර,

          “වසවිෂ” හා “රසායන” යන වචන වලට වැඩි අවධානය ගෙන යෑමෙන් බිය උපදවන එක වාර්තාකරුවන්ගේ හැදියාව නිසා මෙහි සිද්ධිය හා වාර්තාකරණය සම්පූර්ණ අවුලක් බවට හැරිලා.

          මුල් වරට 2008 දී චීනයේ Sanlu Group හදපු කිරිපිටි වල මෙලමින් තිබුණ බව හෙළි කරන ලද්දේ එහි 43% ක කොටස් අයිතියක් තිබූ නවසීලන්තයේ ෆොන්ටෙරා කොම්පැණිය ප්‍රමුඛත්වයෙන්. රටවල් 11 ක් විසින් චීන කිරි ආහාර ආනයනය නැවැත්තුවා. මියගිය හා රෝගී වූ දරුවන් ගැන විස්තර මම ඉහළ සටහනේ දාලා තියෙනවා. ඒ නඩුවෙන් පසුව චීනයේ දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා. අයෙක්ට මරණ දඬුවම ලැබුනට එය ක්‍රියාත්මක කරන ලද්දේ නැහැ. තිදෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියා. දෙදෙනෙක් වසර 15 කට සිරගත වූවා. පළාත් ආණ්ඩු නිලධාරීන්, ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසකගේ රැකියාවන් අහිමි වූවා හෝ ඉල්ලා අස්වෙන්නට සිද්ධ වූවා. 2012 නොවැම්බරයේ දී චීන සමාගමේ මෙලමින් ගැන විසිල් ගැසූ Jiang Weisuo පිහි පාරවල් දෙකක් කෑම නිසා ජීවිතක්ෂයට පත් වූවා.

          දැන් ඒ සිද්ධිය මතකයේ තියාගෙන 2013 සිද්ධිය ගැන විමසමු.

          2013 දී චීනයයි කියන්නෙ නවසීලන්ත ෆොන්ටෙරා කිරිපිටි වල වසවිෂ තියනවා කියල.

          චීනය තමයි නවසීලන්ත ෆොන්ටෙරා වල විශාලතම වෙළඳපොල.

          නවසීලන්තය සොයා බලද්දී ඔවුන් හඳුනාගන්නේ ආහාර විෂ කරත හැකි බැක්ටීරියා (it found bacteria that could cause food poisoning in some products) සමහර නිෂ්පාදන වල තියෙනවා කියල. මේ හරියට පිරිසිදු නොකරන ලද පයිප්පයක් හේතුවෙන් විෂ කලවම් වී ඇතැයි සිතන whey protein concentrate විකුණ ලද්දේ මොන ව්‍යාපාර වලට දැයි ඔවුන් දන්නවා. විකුණන ලද රටවල් මොනවා දැයි ද ඔවුන් දන්නවා: ඒ ලැයිස්තුව තමයි චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, සහ සවුදි අරාබිය. ඒත් රුසියාව සහ ලංකාව ආනයනය නැවැත්තුවාට ඒවාට මේ සැක කෙරෙන තොග පැමිණ නැහැ. අනික ලංකාවේ අය කිව්වේ DCD තියෙනවා කියල. //ෆොන්ටෙරා මව් සමාගමේ මහත්මා ගති ගුණ ලංකාවේ නියෝජිතයාගෙන් බලපොරොත්තු වීම මෝඩ කමක්// ඒත්, ෆොන්ටෙරා සමාගම නිහඬ වෙයි ද? තම නම ගෑවිච්ච චීනයේ කිරිපිටි වලට සත්‍යයෙන් වසවිෂ කලවම් වුනාම ඔවුන් නිහඬ ව නොසිට ඒ ගැන චීන ආණ්ඩුව එක්ක හැප්පිච්ච හැටි කතාව ඉහළින් දැම්මේ ඒකයි. ලංකාවටත් හැකිනම් දැනට තිබෙන ෆොන්ටෙරා කිරිපිටි වල වසවිෂ සත්‍යයෙන්ම ඇතැයි ඔප්පු කරන්නට එහෙනම් මව් සමාගමෙන් වන්දි ලබාගත හැකියි.

          ඊ ළඟට ෆොන්ටෙරා කරන්නේ එම වසවිෂ එකතු වුනා යැයි සැක කරන පයිප්පය ඇති කම්හලේ නිපදවන ලද කලවම් වූ කිරිපිටි තොග සියල්ල යළි ගෙන්වන්නට (recall) කටයුතු කිරීමයි.

          ඒවා පර්යේෂණයකට ලක් කළාම තමයි ෆොන්ටෙරා සමාගමට ඒවායේ නිශ්චිතවම වසවිෂ මුසු වූ බැක්ටීරියා ඇත්දැයි දැනගන්නට ලැබෙන්නේ.

          ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් යන රසායනය පරිසරයේ ස්වභාවයෙන් පවතින බැක්ටීරියාවක්. ආහාර වලින් හැදෙන ඒක බැක්ටීරියාවක් යැයි හඳුනාගත්ත අය සොසෙජ් වලට කියන ලතින් නම එයට දැම්මෙ එය cured ham වල තිබිලා isolate කරගත්තාම. ලෝකය කියන්නෙ එකම රසායනාගාරයක් නිසා මෙම බැක්ටීරියාව පරිසරයේ පවතින අතර විනාශ කිරීම අපහසු වූවක්. මුහුදු මට්ටමේ තියෙද්දී, වතුර නටන උෂ්ණත්වයේ දී එය විනාශ වෙන්නේ නැහැ. පස්වල හා වාතයේ ද තියෙන බොටුලිනම් විෂ යනු බැක්ටීරියාවක් වගේ ම ගෙයක් ඇතුලෙ, කාපට් වල සහ පිරිසිදු කරන ලද counter top එකක වුනත් තියෙන්න පුළුවන්. මී පැණි වලින් ද ලැබෙන නිසා සාමාන්‍යයෙන් වයස අවුරුද්දක් නැති දරුවන්ට මී පැණි දෙන්න එපා කියනවා.

          එහෙත් එහෙම නිශ්චිතවම ඒ කිරිපිටි තොග වල බොටුලිනම් විසවිෂ ඇත්දැයි දැනගන්න කළියෙන් ඔවුන් දැනටමත් කර ඇත්තේ “කිරිපිටි විෂ වී ඇතැයි බියගැන්වීම,” (milk powder contamination scare) ගැන සමාව ඇයදීමයි.

  15. ishani said, on අගෝස්තු 10, 2013 at 12:40 පෙ.ව.

    DCD ගැන පැතිර ගිය ආන්දෝලනය තරම් ප්‍රසිද්ධියක් DCD නැතැයි වාර්තාවට ද, ඒ ගැන ෆොන්ටෙරා සමාගම ක්‍රියා කළ ආකාරය ගැන පැසසුම් ලද බව කොතරම් වාර්තා වූවා ද? i guess ur talking about their stake holder management, yeah it should be commended if one’s doing a case study on how fonterra covered up the story bt frm the consumers point of view why should we commend the very people who knowingly issued dcd mixed milk power which could ultimately result we getting sick and them getting rich
    නැත්නම් යාන්තමෙන් හෝ රසායනය මුසු වී ඇත්නම් පරිහරණය නුසුදුසු යැයි හිතන හුරුව නිසා ඒ ගැන කතාබහට කිසිවෙක් නොයන්නේ ද? does this mean if DCD is mixed milk power is hamless cz of less concentration we need to consume that,
    ස්තූතියි ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල ජනමාධ්‍යයන් හි තත්වය මෙයයි. නොමිලේ දෙන අධ්‍යාපනය නිසා මිනිසාට හිතන්න පුළුවන් හැකියාව සැඟවිලා. why is free education responsible for peoples inabilty to think, is it becoz its free and free makes low in quality , i havent paid much for my education and would like to know where i could pay and buy thinkin power, ( incase u think i dnt hv it)

    Candle makers petition – this is a outdated concept, why Highland can not win over Anchor in sl milk powder market can be easily explained using michael porters five forces theory.the NZ dairy farmers you praise very much the same sort of conditions bastiat mentioned, ex- they have economies of scare no one else in the market has, brand name ,loyalty and less threat of new entrants. just like sun being blocked to give an edge to candle makers.

    • arunishapiro said, on අගෝස්තු 10, 2013 at 11:28 පෙ.ව.

      ishani,

      විචාරය නුහුරු ඔබ එය නොමැතිව හදාගත් මතයක එල්බ සිටියි. එහෙයින් විචාරයෙන් ගොඩ නැඟෙන මතයකින් ඔබට වැටහීමක් ලබාදෙන්නට කිසිවෙකුට නොහැකියි.

      නැහැ, මම කතා කරන්නේ නවසීලන්ත ආණ්ඩුවේ Ministry of Primary Industries ඒ ගැන කියන ලද වාර්තාව ගැනයි.

      රසායන විද්‍යාව යනු ලොව පිළිගත් ක්‍රමවේදයකි. එය තමන් කැමති විදියට පර්යේෂණ පවත්වා ප්‍රතිඵල පෙන්වා ඒවා සත්‍ය ප්‍රතිඵල යැයි කියන්නට නොහැකි වූ ක්ෂේත්‍රයකි.

      ආයෙත්, පාසැල් අධ්‍යාපන තුලින් විචාරය කුමක් දැයි ඉගෙන නැති අයට එයින් සත්‍යය අසත්‍යය පහදා ගන්නා හැටි කියා දෙන්නේ කෙසේද?!!!!!

      ලංකාවේ යුද අපරාධ කිසිවක් සිද්ධ නොවී යුද්ධයක් අවසන් කරන්නට සමත් වූවා යැයි කියන අයට යුද අපරාධ තිබුණා යැයි දෝෂාරෝපණයක් එල්ල වෙද්දී ඒ ගැන පැහැදිලි කරනවා වෙනුවට හාපෝයි අන්න ඇමෙරිකාවේ යුද අපරාධ වූවා යැයි පෙන්වති. ඒ අය ඉල්ලා සිටින්නේ වෙන රටක් යුද අපරාධ කළා නම් තමන්ට ද කරන්නට අවසරයක් ද? එහෙත් ඇමෙරිකාවේ යුද අපරාධ කරන ලද අයට දඬුවම් ලැබුණු බවත්, හොඳ විකල්පයක් නැති වුවත් ඊට ඇඟිල්ල දික් වූ ජනාධිපති ගෙදර යැව්ව බවත් නොසලකා හරිති.

      ආරක්ෂණවාදයට වඩා නිදහස් වෙළඳාම ආර්ථිකය සරුසාර කරනවා කියමින් බැස්ටියාට් පෙන්වා දුන් ආර්ථික සත්‍යය යනු ලොව සෑම අර්ථ ශාස්ත්‍රඥයෙක්ම පාහේ අසත්‍යයක් යැයි ඔප්පු කර නැති වූ සිද්ධාන්තයකි. දේශපාලනයෙන් බලතණ්හාධිකයන්ට රටේ බලය අල්ලා ගන්නට පොදු න්‍යායයක් ලියා පහසු පාරක් හදා දුන් ජෝන් මෙනාඩ් කේන්ස් පවා එය නොසලකා හරින්නට මාර්ගයක් හදා ගත්තේ එහි අර්ථ ශාස්ත්‍ර අසත්‍යයක් යැයි කියා නොව එය දේශපාලන වශයෙන් නුසුදුසු යැයි කියාය.

      ධනවත් රටවල් ද දුප්පත් වෙන්නේ අසත්‍යයට කැමති වුනාට, අසත්‍යයක් මත විද්‍යාවේ අවිද්‍යාව යොදාගෙන නීති හැදුවත්, විද්‍යාත්මක සත්‍යයයන් වෙනස් කරන්න බැරි නිසා බව නොදැක තමන් කැමති අසත්‍යයේ කැමති විදියට ලැග ඉන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: