අරුණි ශපීරෝ‍ වෙතින්

විද්‍යාත්මක පර්යේෂණ ගැන වූ ප්‍රවෘත්ති වාර්තා කියවන හැටි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2013

මම අතීතයක කැළණිය කැම්පස් හි සමාජ අධ්‍යයන පීඨයේ ඉගෙනුම ලබද්දී මට වෙනත් විෂයයන් අධ්‍යයනය කළ යහළු යෙහෙළියන් බොහොමයක් සිටියහ. ඔවුන් හා ගැවසෙද්දී වරෙක ඉඳහිට අයෙක් දෙන්නෙක් මගේ නෝට් පොතක නම කියවා විමතියට පත් වී පොත හැර බලයි. කැම්පස් ගියත් මා සටහන් ලියා ගත්තේ හාෆ් ෂීට් වල නොව ඇක්සයිස් පොත්වලයි.

මොකක් ද හලෝ මේ පාරභෞතික විද්‍යාව (metaphysics) කියන්නෙ? භෞතික විද්‍යාව අධ්‍යයනය කරන අයෙක් අසයි!!!

මොකක් ද අනේ මේ ඥානවිභාගය (epistemology) කියන්නෙ? ඇයි අපි කැම්පස් ඇවිත් විභාග කරන්නෙ ඥානය නෙමෙයි ද?!!!

තර්ක ශාස්ත්‍ර විෂයේ කොටසක් වූ සංකේත තර්ක ශාස්ත්‍රයේ “x” is bound by “(x)” in “(y)[(Ay By) (x)Cx]” and “(x)(Ax·(x)Bx)” වැන්නක් දැක පුදුම වී කලාව කරන අය මේවා ඉගෙන ගන්නවා ද?!!! තව සමහරු අසති. විද්‍යා විෂයයන් ඉගෙන ගත් සමහරු සෙසු සියළු විෂයයන් දැක්කේ කලාව හැටියටය!!!!

තවත් හිතවතෙක් කොළඹ උසස් පාසැලකින් පැමිණිය ද ඉංග්‍රීසි දැනුමේ සුළු මදිපාඩුකම් නිසා මට ලෙහෙසියෙන් කියවන පොතපත තමනට කිහිප වරක් කියවා වටහා ගන්නට සිද්ධ වෙන හැටි ගැන මා හා කීය. ඒ ‘තෙල් බෙදන්න එන්නෙ නැහැ හැම තිස්සෙම පොත් අස්සෙ ඔළුව දාගෙන සිටිනවා,’ යැයි මම ඔහුට විහිළු කරද්දී ය.

දර්ශනය යනු හිතන්න උගන්වන්න විෂයයකි. පසුකාලයක දී ඇමෙරිකාව මගේ දර්ශනය හා ගැලපෙන බව දැක්කා සේ එවක දී දර්ශනය යනු මගේ හිතන්න කැමති හැදියාවට ගැලපෙන විෂයයක් බව හඳුනා ගතිමි.

ඇමෙරිකාව මම හඳුනාගනිද්දී එහි වූවන් බොහොමයක් මංමුලා වී ඇතැයි දකින්නට ලැබුණි. දර්ශනයට ඇල්මෙන් වැඩිදුර අකුරු උගනිද්දී බොහොමයක් ගුරුවරු දාර්ශනික රූකඩයන් වී සිටින ආකාරය දකින්නට ලැබුණි.

විභාග සමත් වෙන්නට පමණක් දැනුම බෙදන්නට හැඩ ගැසී ඇති වෘත්තීය සමිති පුරෝගාමීත්වයෙන් සැකසුන නොමිලේ බෙදන පාසැල් සහ උසස් අධ්‍යාපනයෙන් ලොව බොහොමයක් ජනතාව අද මුලා වී සිටිති. ජනමාධ්‍යයන් සේ ම ගුරුවරයන් ද පැත්තක් අල්ලාගෙන ඒ පැත්ත නිවැරදි යැයි කියමින් හා සිතමින් සිටින නිසා ඇත්ත නැත්ත සොයන උත්සාහය ඔවුන් නවතා දමා ඇත.

විද්‍යාව කෙළසන හැදියාව විද්‍යාවේ ප්‍රගතිය උදෙසා පෙනී සිටින අයගේ හුරුව වී ඇත. තමනට උවමනා විදියට පවතින සංකල්ප විවේචනය කරමින් පටන් ගන්නා ඔවුන් අවංක නොවීම, දන්නා දේ සැඟවීම, දැන සිටිය යුතු දේ නොදැන සිටීම යනාදියෙන් වරදේ නියැළෙති.

පසුගිය සටහනෙහි රූ අනගි ප්‍රතිචාරයක් දමා ඇත. අද ජනමාධ්‍යවේදීන් වගකීමකින් කටයුතු කරනවා වෙනුවට සාමූහික චින්තනය මෙයැයි සිතා ඊට අනුග්‍රාහය දක්වති. ගුරුවරුන්ට රිසි පරිදි නොව වෘත්තීය සමිති වලට උවමනා පරිදි (ඇමෙරිකාවේ ගුරුවරැ වෘත්තීය සමිති තමයි වාමාංශික දේශපාලනයට වැඩිපුරම මැතිවරණ මුදල් දෙන්නේ) පාඨමාලා හැඩගැසේ. ජනතාව ඉල්ලන්නේ මෙයැයි කියමින්, පිරිසක් කොල්ලකමින් තවත් පිරිසකට ටිකක් බෙදමින් දේශපාලනඥයන් තම තමන්ගේ පසුම්බි විසල් කර ගනිති.

අද ජනමාධ්‍යවේදීන්ව ජනතාවට එතරම් ප්‍රිය වූවන් නොවෙති. අද ගුරුවරුන් ද ජනතාවට එතරම් ප්‍රිය වූවන් නොවෙමින් පවතී. දේශපාලනඥයන් නම් කිසිදාක ජනතාවට ප්‍රියවූවන් නොවූහ, ඒ හොර මදාවියාට වඩා මේ හොර මදාවියා හොඳ යැයි තෝරාගත්තා පමණකි!!!!

පිරිසක් ආගම මුලාවක් යැයි කියති. පිරිසක් විද්‍යාව මුලාවක් යැයි කියති. නන්නත්තාර වූ මිනිසා ආගමෙන් කරන මුලාව පැහැදිලි කරගන්නට ද විද්‍යාවෙන් කරන මුලාව පැහැදිලි කරගන්නට ද නොදන්නා අවුලක පැටලී සිටියි.

ඉතින්, විද්‍යාත්මක යැයි කියාගන්නා අධ්‍යයන තුලින් ජනතාවක් රවටන්නට අවශ්‍ය කාට දැයි සොයා බලද්දී එය විද්‍යාඥයන් යැයි කියාගත් වංචාකාර විජ්ජාකරුවන්ගේ කටයුත්තක් පමණක් නොවන බව අවබෝධ වේ.

හිතන්න හැකි මොළයෙන් ඵලක් නොගෙන, නොයෙක් ආකාර වලින් මේ පැතිර පවතින මේ මෝහන්ධකාරයේ තව කොපමණ කාලයක් පුරා අපි හවුල්කරුවන් වී සිටිමු ද?

මංකොල්ලයේ යෙදෙන හුරුවෙන් වූ හිතන්න බැරි අයට මෙවැනි බ්ලොග් එකක් කියවද්දී හිතෙන්නේ ද මේකත් කාගේ හරි උසිගැන්වීමක් යටතේ කොහෙන් හෝ ලැබෙන ගතමන්ට් එකක් නිසා ලියන හෑල්ලක් කියාය!!!!!!

ජනතාවගේ හිතසුව පිණිස යැයි කියමින් බොරු කියනා අය වැඩිවෙද්දී කිසිවක් බලාපොරොත්තු නොවී සත්‍යයෙන්ම ජනතා හිතසුවය සඳහා කටයුතු කරනා අයෙක් ලොව ඇතැයි සිතීම නුහුරු වූ ලෝකයට අද අපි පිවිස සිටිමු!!!!!!!

මතභේද අර්බූදයක දී පරදු දරන අය (stakeholders) කවුදැයි සොයාගත යුතු යැයි මෙම සටහන් ආරම්භයේ දී කීවෙමි.

විද්‍යාත්මක අධ්‍යයනයන්හි යෙදෙනා අය දැනුවත්ව හා නොදැනුවත්ව කරන දෝෂ ගැන දීර්ඝ පරිවර්තන ලිපියේ කොටස් 1, 2, 3, 4 සඳහා ඒ ඒ අංකයෙන් යා හැකියි. විද්‍යාත්මක වචන හා විද්‍යාත්මක පැහැදිලි කිරීම් සාමාන්‍ය ජනතාවට නුහුරු කර ඇත්තේ පරදු දරන අය විසින් ජනතාව දක්කා ගෙන යාම පිණිසයි.

මේ කෙටි ජීවිතය ඔබගේ ය. එහි ආරක්ෂාව කැමති නම් දැනුමැතියෙක් වීම වෙන අයෙකුට හෝ සාමුහික මොළයකට පැවරිය හැකි වගකීමක් නොවේ.

විලියම් ශේක්ස්පියර් ගේ As You Like It, Act II, Scene vii හි Amiens ගයන්නේ මෙසේය: “හමන්න හමන්න, හේමන්තයේ සුළඟ වූ ඔබ, මිනිසාගේ ගුණමකුකම තරම් ඔබ අකාරුණික නැත … මිදෙන්න, මිදෙන්න, කටුක අහස වූ ඔබ, වාසි අමතක වූ මිනිසා තරම් ඔබ හපාකන්නෙක් නොවේ.”

එක පැත්තකින් විද්‍යාවෙන් මිනිසා ලබා ඇති (විශේෂයෙන් ම රසායන දැනුම නිසා ලබා ඇති) ප්‍රගතිය හෑල්ලුවට ලක් කරන, අනෙක් පැත්තෙන් විද්‍යාවෙන් කළ නොහැකි දේවල් මවා පාන, ගුණමකු බව තරම් සහ හපාකන හැදියාව තරම් පසුගාමීත්වයක් මිනිසාට ගෙනෙන්නක් වෙනත් නොවේ.

විද්‍යාත්මක අධ්‍යයනයක් ගැන ප්‍රවෘත්ති වාර්තාවක් කියවද්දී …
1. ප්‍රස්ථාර ඇත්නම්, ඒවායේ ප්‍රභවය කොතැන දැයි කියා නැත්නම් පිළිනොගන්න.
2. අධ්‍යයනයේ margin of error කුමක් දැයි කියා නැත්නම් වාර්තාව තව දුරටත් කියැවීම අනවශ්‍යයයි.
3. පර්යේෂණයට ලක් වූ සාම්පලය කොතරම් දැයි කියා නැත්නම් කිසිම විටෙක එහි ප්‍රමාණය දැන ගන්නට නොහැකි නිසා එය ද ඵලරහිත වූවකි.
4. සියයට ගණනින් ප්‍රතිඵල දක්වන වාර්තා සත්‍යය සඟවන උත්සාහයේ ඒවාය.
5. මිනිස් ආවේගයන් උපදවන වාර්තා විද්‍යාත්මක නිගමනයන්ට එළඹුනේ නැති ඒවාය.
6. අවිනිශ්චිත වචන වූ “විය හැකියි,” “සම්බන්ධය මෙයින් යැයි අනුමාන වේ,” වගේ ම, ඒ අය කවුරුන් දැයි නම් වශයෙන් නොකියා “දොස්තරුවරන් කියන්නේ,” හෝ “විද්‍යාඥයන් දැන් විශ්වාස කරන්නේ,” යනාදිය නොමඟ යවන්නට ලියැවෙන වාර්තා වෙති.

විද්‍යාඥයා සේ ම, ජනමාධ්‍ය වාර්තාකරුවා ද, දැන සිටිය යුත්තක් නොදැන සිටීම යනු දන්නා දෙයක් සැඟවීම වැනි තරම් බරපතල වූ දුරාචාර ක්‍රියාවක නියැළෙන්නකි.

යමක් ගැන නොදන්නේ ද, ඒ ගැන සොයා බලා දැනගන්නා තෙක් ඒ ගැන ජනතාව අතරට පණිවුඩයක් ගෙන යා නොයුතුයි. නොදන්නා දෙයක් දැනගත් විට වහාම එයින් සිද්ධ වී ඇති වරද ගැන අන් අය ද දැනුවත් කළ යුතුයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. මාතලන් said, on අගෝස්තු 6, 2013 at 7:37 පෙ.ව.

    සම්පූර්ණ ඇත්ත.. හැබයි ඉතින් අරුණිත් ඔය දැණුම ලබා ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නේද..?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: