අරුණි ශපීරෝ‍ වෙතින්

හැමෝම එසේ හිතනවා නිසා එය නිවැරදි ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 7, 2013

විදේශිකයන් බොරු කියමින් අපිට වසවිෂ විකුණනවා යැයි විශ්වාස කරන ශ්‍රී ලංකා ජනතාව අද සතුටට පත්වී සිටිති. ජාතිමාමක දේශපාලනය නිසා බලය අහිමි වූ අයටත්, එයින් බලය දිනූ අයටත් යන දෙගොල්ලන්ට ම ‘හැමෝම එසේ හිතන නිසා එය නිවැරදි’ යන චින්තනයෙන් ලැබී ඇත්තේ සිංහල ජාතියේ අභිවෘද්ධියක් දැයි විමසන හැකියාව අහිමි වී ගිහින් ද?!!!!

විදේශීය සමාගම් වලට ලංකාවේ ආයෝජනය කරන්න එන්න යැයි මහා බැංකුවේ ආණ්ඩුකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රකාශය ඊයේ පළවෙන්නේ චීනයේ පත්තර වලයි.

හැමෝම එසේ හිතන පමණින් එය නිවැරදි වේ යැයි කීම argumentum ad populum නමින් හැඳින්වෙන තාර්කික න්‍යායයේ දුර්මතයකි. අදහසක් ජනප්‍රිය වීම නිසා ඊට එකඟ විය යුතුයි කියද්දී, ජනප්‍රිය අදහසක් වූ පමණින් එය විද්‍යාත්මක සත්‍යයක් නොවේ යන්න අමතක වී ඇත.

පෝෂණය ගැන වෙබ් අඩවියක් කරගෙන යන ඇමෙරිකන් වෛද්‍යවරයෙක් කිරි බිව්වාම සෙම හැදෙනවා ද යන්න ගැන විඩියෝවක් හදා අන්තර්ජාලයට එකතු කළේය. වෙබ් අඩවියක් පවත්වා ගෙන යන ඔහු රෝගීන්ට වෙදකම් කරන වෛද්‍යවරයෙක් පමණක් නොව ග්‍රන්ථ කර්තෘවරයෙක් සහ දේශන පවත්වන්නෙක් ද වෙයි.

මේ ඔහු හැදූ විඩියෝවයි.

සෙසු විද්‍යාඥයන් වෙත විද්‍යාත්මක සම්මන්ත්‍රණ වල දී සහ විද්‍යාත්මක සඟරා වලින් තතු බෙදාගන්නා විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන්නේ තම දැනුම් මට්ටමේ වූවන් වෙතින් නිර්මාණාත්මක ගුණදොස් විචාරයකි. ඒවායෙන් නව සොයාගැනීම් ලොවට හෙළි කරන්නටත් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නටත් හැකියාව ලැබේ.

මහජනතාවට නව විද්‍යාත්මක සොයාගැනීම් ගැන දැනගන්නට ලැබෙන්නේ ජනමාධ්‍ය තුලින් ඒවා ගැන වාර්තා කරද්දීය.

ඉහත විඩියෝවේ මයිකල් ග්‍රෙගර් වෛද්‍යවරයා මහජනතාවට කියන විස්තරය අසාගෙන සිටි බහුතරයක් අය තම හුරුව නිසා වටහා ගත්තේ එහි කියන දේවල් වල විද්‍යාත්මක බව තහවුරු කිරීමක් එහි ගෙනහැර පාන ලද review සඳහා ඉදිරිපත් කරන නවතම විද්‍යාත්මක ලිපියකින් සිද්ධ වූවා කියාය.

එහෙත් ප්‍රතිචාර දැමූ අය අතර සිටි ජීවරසායන PhD උපාධියට හැදෑරූ සිසුවෙක් මේ වෛද්‍යවරයාගේ විස්තරය රූකඩයෙක් ලෙසින් පිළිගත්තේ නැතිව ඒ ගැන ප්‍රතිචාරයක් එකතු කළේය.

විශ්වාසී බව අවශ්‍ය තනතුරක් හොබවන ඔබ, ඔබේ විඩියෝවේ කියන වගන්ති ගැන විචාරා බැලුවොත් හොඳ නැද්ද යැයි සිසුවා වෛද්‍යවරයා වෙතින් අසයි.

වෛද්‍යවරයා තම මතය ඔප්පු කරන්නට සහාය කරගත් මූලාශ්‍රය ගැන සිසුවා ප්‍රශ්න කරයි. එය review එකක් යැයි ඔබ දැනගත්තේ කෙසේදැයි සිසුවා විමසයි. සඟරාවේ සිරස්තලය වූ “වෛද්‍ය උපන්‍යාසයක්,” යන්න ද, නැත්නම් එහි අවසානයේ දී ඇති දීර්ඝ ආශ්‍රේයයන් ලැයිස්තුවෙන් දැයි සිසුවා අසයි.

දෙවැනියට, ලිපියේ කියන්න පරිසිද්ධියක් (fact) යැයි ඔබ සිතන්නේ කුමක් නිසාදැයි සිසුවා වෛද්‍යවරයාගෙන් විමසයි. ලිපියේ කිසිත් තැනක මෙය එසේ සිද්ධ වෙනවා යැයි කියා නැති බව සිසුවා පෙන්වා දෙයි. සමහර විට මට ඒ කොටස අතපසු වෙන්න ඇතැයි කියන ඔහු එය හොඳින් වටහා ගැනීමට නැවත කියාදෙන්න පුළුවන් දැයි අසයි.

වෛද්‍යවරයා කියන්නේ “මෙය සිද්ධ වෙන්නෙ මෙහෙමයි,” කියද්දී, ඔහු පෙන්වන ලිපිවල ඇත්තේ (it appears to be) “මෙය නිසා එහෙම සිද්ධ වෙන්න පුළුවන්,” (this may affect that) සහ “මෙය එහි හේතුවක් වෙන්න පුළුවන්,” (this may cause that) යනාදී වදන් නිසා, එවැනි අවිනිශ්චිත තත්වයන් මූලාශ්‍ර කරගෙන ප්‍රතිඵලය සහතික වශයෙන් ම සිද්ධ වෙන්නක් සේ කියා පෑමට පටහැනි නොවේ දැයි සිසුවා විමසයි.

අනෙක් හැම විසල් කර්මාන්තයක් සේ ම කිරි කර්මාන්තය ද ඔවුනට එරෙහි කටකතා හා මිථ්‍යා මත ඔවුන්ගේ පැත්තට හරවා ගෙන ප්‍රකාශ කිරීම ගැන තමනට සැකයක් නැති වුවත්, සැලකිය හැකි අක්ත පත්‍ර (credentials) ඇති අයෙක් උපන්‍යාසයක් වූවක් මහජනතාවට සත්‍යයක් ලෙසින් පෙන්වන්නට යෑම ගැන තමා දැඩි පිළිකුලක් දක්වනවා යැයි සිසුවා සටහන් තබයි.

මෙලෙසින් එදිරිවාදී ස්වරයකින් ලිවීම ගැන ද සිසුවා කමාව ඉල්ලයි.

වෛද්‍යවරයා තම වරද පිළිගනියි. විචාරයක් (review) යන්න ව්‍යවහාරයේ එන ලෙසින් සලකා technical පදයක් ලෙසින් කරන ලද භාවිතය ඔහු අතින් වූ වැරද්දක් යැයි ඔහු ද එකඟ වෙයි. මෙය මේ සම්බන්ධයෙන් වූ “නවතම ලිපිය” යැයි පමණක් කියත යුතු යැයි හේ ලියයි. විඩියෝව නැවතත් හදා එය ඉතා පැහැදිලි ලෙසින් කියත යුතු යැයි ද වෛද්‍යවරයා ලියයි. [ඉහත විඩියෝවේ ඔහු “පෙනී යන්නේ,” (it appears to be) යැයි විඩියෝව වෙනස් කර ඇත.]

සිසුවා පෙන්වා දුන්නේ එළකිරි සහ සෙම අතර සම්බන්ධයක් ගැන වැඩියෙන් වාර්තා කරන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි ඉන්නා අය බවයි. වෛද්‍යවරු අතර p(H|E) සමඟ (P|H) පටලවා ගැනීම ගැන සිංහලට පරිවර්තනය කළ මෙම ලිපියෙන් නිවැරදි පිළිතුර දන්නේ වෛද්‍යවරුන් අතර 15% ක් පමණක් බව පෙන්වා දෙන හැටි කියවන්න.

කිරි සහ සෙම අතර සම්බන්ධය ගැන වාර්තා වසර 30 ක් තිස්සේ සිද්ධ වෙන බවත්, ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් එහි සම්බන්ධකමක් ඇතැයි දකිනවා යැයි සඳහන් කරන ඉහත වෛද්‍යවරයා අසාත්මිකතාවය නිසා පමණික් එතරම් පැතිර යෑම විස්තර කළ නොහැකියි කියා මේ ලිපියේ අසාත්මික-නොවන පැහැදිලි කිරීම ඉතා සිත්ගන්නා වූවක් යැයි කියයි.

සිත් ගන්නා වූවක් පමණින් යමක් විද්‍යාත්මක වූවක් නොවේ.

එසේ යැයි පෙනී යන පමණින් යමක් විද්‍යාත්මක වූවක් නොවේ.

වෛද්‍යවරයා සපයන සබැඳියන් විචාරයට ලක් කරන සිසුවා මෙසේ පෙන්වා දෙයි.

එළකිරි සහ සෝයා කිරි පානයට ලබා දී කරන ලද double blind study නොහොත් පර්යේෂකයා හා පර්යේෂණයට පාත්‍රවෙන්නා යන දෙදෙනාම බොන්නේ කුමක් දැයි නොදැන කරන පර්යේෂණයක දී කිරි පානයෙන් පසු ඔවුන් වෙතින් විමසුවාම දැනගන්නට ලැබුනේ ද සෙම ගතියක් පානය අවසානයේ දී ඇතිවන බවයි. කිරි හා සෙම අතර සම්බන්ධයක් ඇතැයි හා නැතැයි විශ්වාස කරන ලද දෙපිරිස වෙතින්ම දැනගන්නට ලැබෙන්නේ පානයෙන් පසු ගිලින්නට දුෂ්කර වූ බවක් දක්වන උගුර, කෙළ වැඩියෙන් ඉනීම හා සෙම වල ඝන ගතියක් දකින්නට ලැබීමයි. එහෙත් වැඩිපුර ප්‍රමාණයක සෙම නිෂ්පාදනයක් දැකගත නොහැකි විය. කිරි හා සෙම අතර සම්බන්ධයක් ඇතැයි විශ්වාස කරන අය අඩුවෙන් කිරි හා කිරි ආහාර ගෙන වැඩියෙන් ශ්වසන රෝග ලක්ෂණ ගැන කියා සිටියහ.

ඔවුන් කරන ලද තවත් අධ්‍යයනයක නිගමනය වූයේ එවැනි පාන වලින් සෙම දැනෙන ගතියක් ඇති වූවා මිසෙක එළකිරි නිසා සෙම තත්වය වැඩිවීමක් සිද්ධ නොවූ බවයි.

විවිධ ජනවර්ග කොට්ඨාශයන් අතර මේ විශ්වාසය දරන අය එක හා සමාන ලෙසින් පැතිර සිටිති.

විද්‍යාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙසින් පෙන්වන්නක්, එහි නියැළෙන පර්යේෂකයන්ට සහ වෙනත් ඕනෑම අයෙකුට නැවත නැවත ඒ විදියට කර ඒ ප්‍රතිඵලයම පෙන්විය හැකිවිය යුතුයි. “එහෙම සිද්ධ වෙන්නේ මෙයින් විය හැකියි,” යන්න ඔප්පු කරන ලද විද්‍යාත්මක ප්‍රතිඵලයක් නොව ඒ විදියට කරන ලද අධ්‍යයනයේ අනුමිතිය පමණි.

එළකිරි බීම නිසා සෙම වැඩිවෙනවා යන්න විද්‍යාත්මකව තහවුරු කරන්නට කිසිවෙක් දැනට සමත් වී නැති වුවත් එය ඔප්පු කරන්නට හැකියාවක් ලැබෙන තුරු බොහෝ අය විශ්වාස කරන නිසා තමන් ද පිළිගන්නා දුර්මතයේ මෙම වෛද්‍යවරයා ද එල්බ සිටින්නේ යැයි සිසුවා පෙන්වා දෙයි.

විශාල ජන සංඛ්‍යාවකට ක්ෂණයෙන් බොරු පතුරුවා හැරීමට හැකියාව වර්තමානයේ දී අන්තර්ජාලය නිසා බොහෝ දෙනෙකු සතු වූවකි.

පිළිකා රෝග පර්යේෂණ හා ප්‍රතිකාර රෝහලක් හැටියට ලොව ප්‍රමුඛස්ථානයක් ගත් ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් යැයි කියමින් බොරු පතුරුවා හැරීම ගැන ඔවුන් නිතර ජනතාව දැනුවත් කරති. සත්‍යය ගවේෂණය කරන්නා තම මොළයෙන් මුලාශ්‍ර සොයා බැලිය යුතුයි.

*** මෙය එළකිරි සහ සෙම අතර සම්බන්ධයක් ඇතැයි ද නැතැයි ද යන්න ගැන සටහනක් නොව විද්‍යාත්මක ලෙසින් විද්‍යාත්මක නොවූවක් ඉදිරිපත් කරන ලද්දක් ගැන පැහැදිලි කරන්නට ලියූ සටහනකි.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on අගෝස්තු 7, 2013 at 6:40 පෙ.ව.

    හොඳ මිනිස්සු ඉන්නව, නරක මිනිස්සු ඉන්නව, හොඳ කොම්පැණි වගේම මිනිස්සුන්ට වස කවන නරක කොම්පැණි තියනව. හැමෝම හොඳ-නරක රේඛාවේ යම්කිසි තැනක ඉන්නව.

    යමක් හොඳද නරකද කියල තෝරගන්න පුළුවන් තැන් තියනව, එහෙම බැරි තැනුත් තියනව. මිනිස්සුන්ට හොඳ නරක තෝරා දෙන්න පත්වෙලා ඉන්න හොඳ-නරක මිනිස්සු-ආයතන තියනව. මේව බල බල ප්‍රශංසා කරමින්-විවේචනය කරමින් අපි ඉන්නව.
    ලෝකය කියන්නෙ එකම අච්චාරුවක්.
    🙂

  2. රූ said, on අගෝස්තු 7, 2013 at 7:28 පෙ.ව.

    //විශාල ජන සංඛ්‍යාවකට ක්ෂණයෙන් බොරු පතුරුවා හැරීමට හැකියාව වර්තමානයේ දී අන්තර්ජාලය නිසා බොහෝ දෙනෙකු සතු වූවකි. //
    අන්තර්ජාලයේ තොරතුරු බෝම්බයේ නරක පැත්ත මෙයයි. සුපිරි විෂය දැනුමක් සහිතව වුවද එකනෙකට පරස්පර තොරතුරු රාශියක් ලැබීම නිසා අපේ නිගමනවල ලොකු ප්‍රගමනයක් නැහැ. පොත්වලින් සඟරාවලනි අවැසි තොරතුරු සොයා ගත් නිගමන සාධාරණ යැයි අවම වශයෙන් තමාටවත් ඒත්තු ගන්වා ගන්නට හැකිව තිබුණි..

    //ජාතිමාමක දේශපාලනය නිසා බලය අහිමි වූ අයටත්, එයින් බලය දිනූ අයටත් යන දෙගොල්ලන්ට ම ‘හැමෝම එසේ හිතන නිසා එය නිවැරදි’ යන චින්තනයෙන් ලැබී ඇත්තේ සිංහල ජාතියේ අභිවෘද්ධියක් දැයි විමසන හැකියාව අහිමි වී ගිහින් ද?!!!!//
    මට දැනෙන ආකාරයට මෙය විමසීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. බොහෝ විට හැමෝම හිතන විදිහට අප අනුගත වන්නේ පවතින ප්‍රවාහට එරෙහිව හඬ නගන්නට ඇති නොකැමැත්ත බිය (ඉල්ලන් පරිප්පු කන්නට අකමැත්ත) නිසාය..

    • arunishapiro said, on අගෝස්තු 7, 2013 at 7:45 පෙ.ව.

      රූ,

      සොයන්නාට සම්බ වේ; අද අන්තර්ජාලයෙන් ද අවැසි තොරතුරු සොයන්නාට ඒවා ඉක්මණින් හා පහසුවෙන් සොයාගත හැකියාවත් ලැබී තියෙනවා නේද?

      වැඩේ මේකනෙ, ඉල්ලන් පරිප්පු කන්නට සිද්ධ වේය යන නොකමැත්ත නිසා බලෙන් බෙදන පරිප්පු කන්නට සිද්ධ වී තිබීමයි!!!! 😀

      සත්‍යය කුමක් දැයි පහදාගත්තාම, එය ඔප්පු කර පෙන්වන්නට සාධක නැති වුනත්, අනෙක් බහුතරයක් විසින් එය සත්‍යයක් නොවේ මෙයා බොරු කියනවා යැයි කියද්දී පවා නොසැලී සිටි ඇල්ෆ්‍රඩ් වෙගෙනර් ගැන ලියමින් තමයි මේ නොමඟ යවන විද්‍යාවේ අවිද්‍යාව ගැන සටහන් ලියන්නට පටන් ගත්තේ.

      පැහැදිලි කිරීම් වඩාත් හොඳින් වැටහෙන්නට ඇමෙරිකාවෙන් නොගෙන ලංකාවෙන් නිදසුන් හොයද්දී තමයි ‘ප්‍රවාහය’ දැක්කේ: පාඨලී චම්පික රණවක ඇමතිතුමා වේලාව බලලා වගේ කෘෂිරසායන ගැන ලිපියක් පත්තරේ දාලා තිබ්බා!!! ඊට පස්සෙ මෙන්න ලංකාවේ ෆොන්ටෙරා හුටපටයක් ආවා!!!

      පසු එකතු කිරීමක්: විද්වත් සොයිසා ගැනත් මා ලිව්වේ නිදසුන් සොයද්දී පත්තරේ කාලීන පුවතක් හමුවුන නිසා මිසෙක මහාචාර්යවරයා කවුදැයි දැන සිටි නිසා නොවේ. ඔහු දේශපාලන විද්‍යාව සඳහා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හැදූ අයෙක් සහ යූඑන්පී පක්ෂයේ (දැනට ඉන්නවා දැයි නොදනිමි) සිටි අයෙක් යැයි දැනගන්නට ලැබුනේ මගේ සටහන දැම්මාට පසුව. එහෙත් ඒ කරුණු දැනගත් නිසා යැයි සටහනේ වෙනසක් කරන්නට මට සිද්ධ නොවේ!!!!

      ඔප්පු කරන ලද විද්‍යාව සහ විද්‍යාවෙන් නොමඟ යවන උත්සාහ ගැන පෙන්වන කදිම උදාහරණ. බෙදන පරිප්පු කන්න සිද්ධ වෙලා ඉන්න ජනතාවක් පැහැදිලි කිරීම වටහා ගෙන නිහඬව ඉන්නවා නම් ඒ ගැන මට දැනෙන්නේ සතුටක්. ඒ කියන්නෙ තේරීමක් කරන්නට අවස්ථාවක් ලැබුණාම ඔවුන් වඩා සුදුසු තෝරාගැනීම කරාවි.

      • රූ said, on අගෝස්තු 8, 2013 at 2:06 පෙ.ව.

        අරුණි,
        ස්තුතියි දීර්ඝ පිළිතුරුට..
        ඇල්ෆ්‍රඩ් වෙග්නර් වැන්නවුන් බිහිවන්නේ කලාතුරකින්..අපි වගේ සංස්කෘතියක එවැන්නවුන් බිහිවේ යැයි සිතන්නටත් අමාරුයි..

        //බෙදන පරිප්පු කන්න සිද්ධ වෙලා ඉන්න ජනතාවක් පැහැදිලි කිරීම වටහා ගෙන නිහඬව ඉන්නවා නම් ඒ ගැන මට දැනෙන්නේ සතුටක්. ඒ කියන්නෙ තේරීමක් කරන්නට අවස්ථාවක් ලැබුණාම ඔවුන් වඩා සුදුසු තෝරාගැනීම කරාවි.//

        මේ ගැන නම් මට තියෙන්නේ තවමත් අවිශ්වාසයක්..
        ඒ නිහඬව සිටින ජනතාව කරන සුදුසුම තේරීම ගැන නොවේ..අපිට කවදා ඔය කියන නිවැරදි තේරීම කරන්න තේරුම් -Options ලැබේද කියන එකයි..තොරතුරු වලින් ගත්තත් අන්තිමට අපට එන්නේ පෙරී සුද්ද වී ගිය තවකෙකුගේ මතයක් පමණයි. නිවැරදි වරණය තෝරන්නට නම් සුදුසු තේරීම් තිබිය යුතුයි..

        මේ විදිහට ගියොත් හැමදාම බෙදන පරිප්පු කකා ඉන්නට සිදුවීම ගැන නම් මට තියෙන්නේ ලොකු දුකක්..

        • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 7:25 පෙ.ව.

          රූ,

          ජනතාව ගැන විශ්වාසය අත් නොහරින්න. මිනිසුන්ට හිතන්න මොළ තියෙනවා, ඔවුන්ට නැත්තේ සත්‍යය තොරතුරු ලැබෙන මාර්ගය පමණයි. මැරවර දේශපාලනයේ යෙදෙන ලැජ්ජාවක්, හිරිකිතයක් නැතිව මහා පරිසරවේදියෙක් ලෙසින් හා දැයට පියෙක් ලෙසින් සිටින ඇමතිවරයෙක් තමයි ජනතාවගේ නාමයෙන් කියා අද ලාංකික ජනතාව රවටා ඇත්තේ. ඒ අසත්‍යය කුමක් දැයි හෙළිකරාම, එය අවබෝධ කරගන්නා ජනතාව නිහඬව සිටියත් ඔවුන් තව දුරටත් සත්‍යය නොදන්නා අය නෙමෙයි. අසත්‍යයෙන් භීතිය වපුරන්නට උඩගෙඩි දෙන ආචාර ධර්මයක් නැති සහ බියගුළු මාධ්‍යවේදීන් සැමදා ලොව සිටියා. අපි ජනතාව අපිට හැකි වෙනත් මාර්ග වලින් දැනුවත් කරන්න නම් අපි ඔවුන්ට වඩා ශිෂ්ඨ සම්පන්න විය යුතුයි. අපි ඔවුන්ට වඩා දැනුම එකතු කරගත යුතුයි.

          සටනක් අත්හැර දැමුවොත් එය ජයග්‍රහණය කරන්න බැහැ. අසත්‍යයට විරුද්ධව ගෙන යන සටන සදා දිනේවා!!!!

  3. maathalan said, on අගෝස්තු 7, 2013 at 7:29 පෙ.ව.

    එක සමාගමක “අත් වැරදීමක්” නිසා. (එම සමාගම පවසන පරිදී) බහු ජාතික සමාගම ගැන වැරදි චිත්‍රයක් මවා ගත යුතු නැත. නමුත් එම සමාගම පිලිගන්නා දේ පිලිනොගෙන. තමන්ගේ හිතු මතය පරිදි තවත් තර්කයන් ගෙන ඒම නම් සිනහවට කරුණක් මිස වෙන කිසිවකටවත් හේතූ නොවේ. ෆොන්ටෙරා ආයතනයේ සිඳුවූ වැරද්ද වසා දමා. තමන් උපන් රට, එහි දේශපාළණ ක්‍රමයන්, හා ජනතාව සමග එල්ලීම ඔබට තරම් සුදුසු නොවේ නෝනේ…

    කරුණාකර ජාත්‍යන්තර රූපවාහිනි ප්‍රවෘත්ති ජාලයක් නරඹන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    • arunishapiro said, on අගෝස්තු 7, 2013 at 7:56 පෙ.ව.

      maathalan,

      issue එක මොකක් ද කියා ඔබට තවමත් වැටහී නොයාම, මෙය ඉංග්‍රීසියෙන් කිව්ව ද සිංහලෙන් කිව්ව ද එය ඔබට වටහා ගත හැකි සේ මීට වඩා පැහැදිලි කරන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි වීම මගේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්.

      මාතලන්ගේ සටහනේ “වස විස පිරී නවසීලන්ත කිරි” කියමින් සහ “දැණුවත්වන්න … කියවන්න… ” කියමින් ලියද්දී, ලංකාවේ තහනම සහ ෆොන්ටෙරා ආයතනය සමාව ගත්තේ කුමකට ද යන්න පහදා නොගැනීම නිසා, මාතලන් සිරස්තල වලින් නෙමෙයි අන්තර්ගතයෙන් ද කර ඇත්තේ සම්පූර්ණ මුලාවක්.

      • maathalan said, on අගෝස්තු 7, 2013 at 8:07 පෙ.ව.

        එය ඔබට මුලාවක් වූවාට, රටටත් ළෝකයටත් මුලාවක් නොවේ නෝනේ..

        • arunishapiro said, on අගෝස්තු 7, 2013 at 8:29 පෙ.ව.

          maathalan,

          පරිසරයේ හැම තැනක පවතින රසායනයක් අපිරිසිදු පයිප්පයකින් අහිතකර යැයි නොසැලෙකන ප්‍රමාණයක් මිශ්‍ර වී ඇතැයි සැක කෙරෙන තොග තමන්ට ලැබී ඇතැයි සැක කරන අවංක මිනිස්සු ඒ තොග ඉවත් කරන්නේ “වස විසි පිරි නවසීලන්ත කිරි” කියා නොවේ: “ෆොන්ටෙරා බොටුලිසම් බියක් පැතිරීම” නිසා කියාය. http://www.beveragedaily.com/Regulation-Safety/Coke-recalls-Minute-Maid-in-China-after-Fonterra-botulism-scare

          එම තොග තම රටට පැමිණ නැතැයි දන්නා අවංක මිනිසුන් ඒ ගැන ජනතාව දැනුවත් කරන්නේ “විෂ කලවම් වූ” ෆොන්ටෙරා නිෂ්පාදන පිලිපීනයේ නැතැයි කියමින් පිලිපීන රජයේ ආහාර හා ඖෂධ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයක් කරමිනි. http://www.gmanetwork.com/news/story/320900/news/nation/no-contaminated-fonterra-product-in-phl-local-fda

          2013 අගෝස්තු මස 3 දා ප්‍රකාශයට පත්කළ මතභේදයකට තුඩු දුන් තත්වයට අදාළ කිසිදු අනාරක්ෂිත පාරිභෝගික නිෂ්පාදනයක් ෆොන්ටෙරා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සිය පාරිභෝගිකයන්ට නිකුත් නොකරයි. http://www.divaina.com/2013/08/07/news03.html

          • dash said, on අගෝස්තු 8, 2013 at 10:13 පෙ.ව.

            shame on you Aruni …

            • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 10:17 පෙ.ව.

              dash,

              shame is on you, sad that dash can’t see it.

              • dash said, on අගෝස්තු 8, 2013 at 9:02 ප.ව.

                සිදුවිය යුත්තේ සැමවිටම අප දේශීය දේ වලට ප්‍රමුකත්වය දීමය් , නැතිම නම් පිටරට දෙයක් පරිභෝජනය කරාට වරදක් නැත , නමුත් අල්පමාත්‍රයක් වත් අවදානමක් ගෙන අයි අප විදේශීය දේ මිලදීගත් යුත්තේ අපේ දේ හොද නම් ? (
                ඉහත ලින්කුව බලන්න).

                • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 12:41 පෙ.ව.

                  dash,

                  ඔයාට දේශීය දේ වලට ප්‍රමුඛත්වයක් දෙන්න තහනමක් තිබුනේ කවදා ද?

                  අල්පමාත්‍රයක් වත් අවදානමක් ඇතිවන්නේ කිලෝග්‍රෑම් එකක කිරිපිටි පෙට්ටි හැටකට වඩා ප්‍රමාණයක් දිනකට බොනවා නම් පමණයි කියද්දී තවමත් තමන් හදා ගත්තු බොරු ප්‍රෝඩාවක් පෙන්න පෙන්නා ඔච්චර සතුටුවෙන්නේ ඇයි?

  4. wicharaka විචාරක said, on අගෝස්තු 7, 2013 at 9:14 පෙ.ව.

    හැබැයි මෙහෙම දේකුත් තියනවා අරුණි, අපේ ක්‍රීඩකයකුගේ චූ ටිකවත් හරියට පරීක්ෂා කරගන්න 100% ක් විශ්වාසවන්ත රසායනාගාරයක් නැති අපේ රටේ, අපිට යැපෙන්න වෙන්නේ, ලෝකයේ කොහේ හෝ රටක තියන රසායනාගාරයකින්. ඒකෙ අනික් පැත්ත සිද්ධිය මෙහෙමයි. මුරලිදරන් පන්දුව දමාගහන්නේ නැතිබව ඔප්පු කරන්නත් ලංකාවේ අදටත් පහසුකම් නැහැ. මුරලි ඒ චෝදනාවෙන් දිනුවේ පිටරට ක්‍රීඩා වෛද්‍ය ආයතනයකට පිං සිද්ධවෙන්නයි. අපි දන්නවනේ බහුජාතික සමාගම් කියන ඒවා දුප්පත් රටවලට කොකා පෙන්වන සහ ගිලගන්න හැටි. (Union Carbide – Bhopal) ඉතින් අර අවිශ්වාසය නැති කරගන්න නම් ෆොන්ටෙරා කලයුතු හොඳම දේ තමයි ජාත්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයකට තමන්ගේ රටට ඇවිත් නිදහස් හා ස්වාධීන පරීක්ෂණය කරන්න කියලා කියන එක.

    හැබැයි අපි කොටියා වෙනුවට මිනිස්සු මරුවා කියලා ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන එකෙක්වත් මේ වගේ පරීක්ෂණ ඉල්ලන්නේවත් ඒවාට සහභාගී වෙන්නෙවත් නැහැ. ඒකයි දුක. අසරණ අපි වගේ දුප්පත් රටවලට මෙහෙම වෙන එකයි මට දුක.

    මම අද මෙරටේ ජනාධිපතිනම් කරන්නේ මෙන්න මේකයි.

    1. සර්වබලධාරී ජනාධිපති බලතල පාවිච්චි කරලා වහාම ගව ඝාතනය තහනම් කිරීම.

    2. වසර පහක් යනතුරු ඉතා සීමාසහිතව ළදරු කිරිපිටි පමණක් ගෙන්වීම.

    3. වසර පහක් අවසන් වනවිට වර්ධනය වන ගව සම්පතෙන් දියර කිරි සහ අවශ්‍යනම් පමණක් කිරිපිටි නිපදවා රටතුල බෙදා හැරීමට දේශීය විදේශීය සමාගම් වලට අවශ්‍ය පහසුකම් ලබාදීම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: