අරුණි ශපීරෝ‍ වෙතින්

පානීය ජලයට මුල් ම බෝම්බය හෙලුවේ පරිසරවේදියෙකි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 9, 2013

රසායනයක් කියූ පමණින් ස්වභාවයෙන් වෙනස් වූවක් යැයි බිය උපදවන අදහස් පැතිර යන ලෝකයක ජීවත්වෙන අනුවණ මිනිසා තම ජීවිතය ආරක්ෂා වී, දීර්ඝ වී සහ ඵලදායක වී තිබෙන්නේ රසායන හඳුනාගන්නට මිනිසා සමත් වීම නිසා බව නොදනියි.

රසායන යනුවෙන් හැඳින්වෙද්දී ඒවාට ස්වභාව ධර්මයේ ස්වභාවයෙන් ම පැවතෙන ඒවා ද අයත් වෙයි. එහෙත් රසායන යනු මිනිසා හදන ලද ඒවා හැටියට පමණක් යැයි බියගන්වා ඇත. ඒ අනුව ස්වභාවයෙන් ලැබෙන්නක් යනු නෛසර්ගික වශයෙන් අනතුරුදායක නොවේ යැයි හිතන්නට මිනිසාව හුරු කර ඇත.

රසායනයක් (chemical) වූ නිසා හෝ ස්වභාවික ද්‍රව්‍යයක් (natural material) වූ නිසා හෝ ස්වභාවයේ පවතින (in nature) නිසා පමණින් යමක් හිතකර හෝ අහිතකර වන්නේ නැත.

මිනිසාගේ ආමාශයේ පවතින ග්‍රෑස්ට්‍රික් අම්ලයේ pH මට්ටම 1.35 ක සිට 3.5 දක්වා ඇතැයි කියද්දී එය මිනිසාට ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වූවක් මිස සිරුරට අහිතකර වූවක් නොවේ. ග්‍රෑස්ට්‍රික් අම්ලයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCI) තිබෙන පමණින් එය ආමාශයේ පවතින වසවිෂක් (poison) යැයි සැලකෙන්නේ නැත. ලොව බිලියන 7 කට අධික ජනගහණයක ආමාශ තුල ග්‍රෑස්ට්‍රික් අම්ලයේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය ස්වභාවයෙන් පවතී. වාර්ෂිකව ලොව කම්හල් ඇතුලේ දී හයිඩ්‍රොක්ලෝරික් අම්ල ටොන් විස්සක් නිෂ්පාදනය වෙයි.

යමක් රසායනයක් ලෙස තිබෙන පමණින් හෝ රසායනික ක්‍රියාවලියක් තුලින් හදාගත් පමණින් නොව එය ප්‍රාණයක් ඇති සිරුරකට හෝ පැලෑටියකට ඇතුල් වූ පසු සිද්ධ වෙන ක්‍රියාවලිය අනුව එය ප්‍රාණියාට ආහාරයක් වෙනවා ද නැත්නම් වසවිෂක් වෙනවා ද යන්න තීරණය වෙයි.

මිනිසාට එහි දී, ඇතුල්වෙන රසායන ප්‍රමාණය, පුද්ගලයාගේ බර ප්‍රමාණය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අසාත්මිකතා, ප්ලේසිබෝ ආටෝපය, නෝසිබෝ ප්‍රතිඵලය යනාදිය මෙන්ම මීටර් 2,243 (අඩි 7,359) ක් උසැති ශ්‍රීපාද කන්ද මුදුනේ දී රසායන ක්‍රියාකරන ආකාරයට එය ගල්කිස්ස වෙරළේ දී ක්‍රියා නොකරන යනාදී තවත් පරිසිද්ධි ගණනාවකින් බලපෑම් ඇති කරයි.

ගෝලීය රසායන කර්මාන්තය එහි මුල් යුගයේ සිට මිලියන ගණනින් මහජනතාව දරීද්‍රතාවයෙන්, ආහාර හිඟයෙන්, වසංගත රෝග පැතිර යාමෙන් ගලවා ගන්නට උපකාර විය. එහෙත් අනුන්ගේ බලයෙන් පසුම්බි තර කරගන්නා අය තවමත් ගෝලීය රසායන කර්මාන්තය නොසැලකිලිමත් අන්දමින් කටයුතු කරනවා කියමින් ඔවුන් දමනයට යැයි ජනප්‍රසාදය දිනාගෙන තමන්ගේ බලය වැඩිකර ගන්නට වෙහෙසෙති.

මැල්තීසියන් අනාවැකිකරුවන් මුලාවෙන් මිනිසුන් රැවටීමට සැමදා උත්සාහ කරන ලදහ. එහෙත් සත්‍යය විද්‍යාඥයන්ට ගෝලීය ආරක්ෂාවත් මිනිසාගේ ආරක්ෂාවත් සලසන මාර්ගයක, තම වත්කම සහ තම කීර්තිනාමය පරදුවට තබා අවදානම් ගනිමින් සාර්ථක ප්‍රතිඵල ගන්නට සහාය දුන්නේ අනෙකුත් සත්‍යය විද්‍යාඥයන් විසිනි. එයින් අවසන් යහපත් ප්‍රතිඵල බෙදාගත්තේ ලෝකවාසී මහජනතාවයි.

පානීය ජලය ගැන නොදැනුවත්කම නිසා තවමත් අනවශ්‍ය අන්දමින් මිනිසුන් මිය යෑම සැබැවින්ම ඛේදවාචකයකි. බලතණ්හාධිකයන් වපුරන අසත්‍යය, දුර්මත සහ ඔවුන් ගෙනෙන නීති වලින් සිද්ධ වෙන හානිය සඟවමින් කරන පරිසර දූෂණය ඉදිරියේ මිනිසා මුහුණ දෙන රෝග වලට හේතුපාදක වූ ද්‍රෝහියන් යනු රසායන සහ විසල් කර්මාන්ත යැයි ජනතාව රවටන්නට තවත් ඉඩ දී බලා සිටින හැදියාව ලොව අවසන් කළ යුතු කාලය එළඹී ඇත.

පානීය ජලයෙන් මිනිසා විඳින දුකට ප්‍රධාන හේතූන් වී ඇත්තේ වතුර පිරිසිදු කරන භාස්මික ක්ලෝරීන්කරණ තාක්ෂණය පාවිච්චියෙන් තොරවීම, මහජන ජලනල මාර්ග ගැන රජයන් දක්වන නොසැලකිල්ල හා මංකොල්ලය නීත්‍යානුකූල කර පිරිසකට බෙදමින් අනුන්ට නීති හා දඬුවම් කරන හැදියාවයි.

“බොන්නේ වස දියයි,” කියද්දී මහජන මතය “අපි ළිඳෙන් වතුර ඇදගෙන බීපු මිනිස්‌සු. අපිට ඔය ක්‌ලෝරීන් වතුර බීලා පුරුදු නැහැ,” යන්නයි. මෙහෙම කියන්නේ ස්වභාවික ජලයේ වසවිෂ නැතැයි සිතීම දුර්මතයක් බව නොදන්නා නිසාය. එහි දී සිතන්නේ ස්වභාවික ජලයේ වසවිෂක් ඇත්නම් එය නිතැතයෙන් ම රසායන පිටකරන කම්හලකින් ලැබුනා කියාය. මේ කම්හල අමතක කරන්නට වෙන කම්හලක් පෙන්වා මංකොල්ලයේ යෙදෙන අය සැඟවෙති.

මෙවැනි අවුල් නිසා ඇත්තෙන්ම පරිසර ආරක්ෂාව පිණිස පවතින නීති කඩකරන්නේ කවුද, ඒවාට පෙනී සිටිනවා යැයි කියමින් පරිසරය විනාශ කරන්නේ කවුදැයි දැනගන්නට මහජනතාවට අපහසුයි.

පානීය ජලයට 1991 ජනවාරි පළමු වැනිදා මුල්ම බෝම්බය හෙලුවේ ග්‍රීන්පීස් සංවිධානයේ ජෝ තෝර්න්ටන් විසිනි. ක්ලෝරීන් යනු වසවිෂකි යැයි කියන කුඩා පොතක් The Product is the poison: The case for a chlorine phase-out: a Greenpeace report (1991) ලියන ඔහු “ක්ලෝරීන් භාවිතයේ දී පවතින කිසිම ආරක්ෂිත වූ මට්ටමක් ඇතැයි අපි පිළිනොගනිමු,” යැයි කීය.

ඊ ළඟට වොෂිංටනයෙන් එන්නේ ක්ලෝරීන් නිෂ්පාදනය, අලෙවිය හා පාවිච්චිය නීති මාර්ගයෙන් නවතා දමන වෑයමයි.

විද්‍යා සහ සෞඛ්‍ය සඳහා වූ ඇමෙරිකන් කවුන්සිලය වෙත ඩාට්මත් විද්‍යාලයේ රසායන මහාචාර්යවරයෙක් ඇතුළු තවත් සිය නම් ගම් තනතුරු වලින් පෙනී සිටින උගතුන් පිරිසක් ක්ලෝරීන් තහනමේ සූදානම ගැන තම විරෝධතාවය මෙසේ ප්‍රකාශ කරන ලදි.

“ජීවත්වන සියළු ප්‍රාණීන් තුල බහුල ලෙසින් දකින්නට හැකි මූලධාතු (elements) විස්සෙන් එකක් වන ක්ලෝරීන්, අද පහර දීමකට ලක් වී සිටියි. පරිසරවාදීන් මිනිසා විසින් හදන ලද ක්ලෝරීන් නිෂ්පාදනයන් අනතුරුදායකයි කියා අත්හැරිය (condemn) යුතු යැයි කියමින්, එය තහනම් කරන්න යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එහෙත් ක්ලෝරීන් ලැබෙන්නේ මිනිසා හදන නිෂ්පාදන වලින් පමණක් නොවේ. එය එම සංයෝග වලින් ම ස්වභාව ධර්මයේ ද බහුල ලෙසින් දකින්නට ලැබෙන්නකි. එය තහනම් කිරීමට හැකියාවක් නොලැබෙන්නේ, සූර්යයා හෝ පුස් වලින් හැදෙන ස්වභාවික පිළිකා කාරක ද්‍රව්‍යයක් හැටියට සැලකෙන වසවිෂක් වූ aflatoxin තහනම් කිරීමට නොහැකියාව සේ ය.”

මිනිස් ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් ඉතා ඇබිත්තක් (minute) ප්‍රමාණයකින් හයිපොක්ලෝරයිට් නිෂ්පාදනය කර රෝගකාරක විෂබීජයන් විනාශ කරද්දී එය ක්ලෝරීන් අඩංගු රසායනයකි. අපේ ආමාශයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ද ක්ලෝරීන් අඩංගු රසායනයකි. අපි කන ආහාර වලට දමා ගන්නා ලුණු නොහොත් සෝඩියම් ක්ලෝරයිඩ් ද ක්ලෝරීන් අඩංගු රසායනයකි.

එහෙත් වතුරට කළවම් කරන අදෘශ්‍යමාන රසායනයක් වූ ක්ලෝරීන් කියන්නෙ කෝප්පයකට වතුර පුරවලා පොඩ්ඩක් තිබ්බම වාෂ්ප බවට හැරෙන්නක් මිසක හමට ඇතුල් වෙන්නක් නොවේ යැයි කියන අය අවිද්‍යාත්මක යැයි ප්‍රෝඩාකාරයන් සිතති.

වතුර ක්ලෝරීන්කරණය නිසා කොළරාව, ටයිෆොයිඩ් උණ, අතීසාරය වැනි වසංගත පැතිර යා නොදී වාර්ෂිකව මිය ගිය මහත් ජන සංඛ්‍යාවක් ගලවා ගන්නට හැකියාව ලැබුණි. ළිං වලට, වතුර ටැංකි වලට සහ වෙනත් ජලනල මාර්ග වලට ක්ලෝරීන් දානකොට ඒවයෙ තියන වෙනත් රසායන එක්ක ප්‍රතික්‍රියා කරද්දී ඇතිවෙන අනෙකුත් තත්වයන් නිසා ක්ලෝරීන් ගැන බියවීම වෙනුවට කළ යුත්තේ ඒවා ගැන මුසාවාද දොඩන්නෙ නැතිව නිසි පරිදි සොයා බලන්නට ලොව පවතින තාක්ෂණය භාවිතයට ගැනීමයි.

පරිසරයේ නාමයෙන් කියා සටන පටන් ගත්තු රේචල් කාසන් එයාගෙ නිහඬ වසන්තය (1962) පොතෙන් කියන්නේ “කූට විද්‍යාගාරයන් තුල අණු මැනිපියුලේට් කරලා හදන” ක්ලෝරීන් යනු “මාරාන්තික වූ රසවත් පානයක්” (elixirs of death) හැටියට.

ග්‍රීන්පීස් පරිසරවේදීන් ඇමෙරිකන් ආණ්ඩුව ලවා ක්ලෝරීන් නිපැදවීම නවත්වන උත්සාහයේ නියැළෙද්දී, ඊට විරෝධ වූ මහාචාර්යවරුන් තමන්ගෙ ලිපි වලින් ඒ අධ්‍යයනවල දෝෂ පෙන්වා දෙමින් සෑහෙන හුටපටයක් යන අස්සෙ, පෙරූ රටේ 1991 ජනවාරි මාසයේ පටන් ගෙන කොළරා වසංගතයක් ලතින් ඇමෙරිකාවේ පැතිර යනවා. ඇමෙරිකන් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය නිලධාරීන් පෙරූ ආණ්ඩුවට බනින්නෙ වතුර සැපයුම ක්ලෝරීණකරණය කළේ නැහැයි කියල.

ලීමා නුවර ජලසම්පත් ප්‍රජා නිලධාරීන් පෙන්වා දෙන්නෙ, ඇමෙරිකාවේ පරිසර ආරක්ෂක ඒජන්සියේ ක්ලෝරීන් තහනම් කරන මෙහෙයුම ගැන. පරිසරවේදීන්ගේ අධ්‍යයනයන් වලින් පිළිකා හැදෙන අවදානම් කියා පෑව නිසා ඔවුන් ළිං වලට ක්ලෝරීන් දැමීම නැවැත්තුවා කියල. 😦 ක්ලෝරීන් නිෂ්පාදනය නවත්තන සටනේ යෙදුණු ඇමෙරිකන් පරිසර ඒජන්සියේ අධ්‍යයනය ප්‍රතිඵල පෙන්වලා තිබුනෙ පර්යේෂණය කරපු සත්වයන්ගේ ජීවිත කාලය පුරාම අධි මාත්‍රා වලින් දීපු ක්ලෝරීන් මැනලා; ඒත් බොරු බිය පතුරුවන අධ්‍යයන මැනිපියුලේට් කරන අය තමන්ගෙ මට්ටමෙන් සත්‍ය විද්‍යාඥයන් මනිනවා!!!!

ඛේදවාචකය වූයේ, 1991 දී පමණක් ලතින් ඇමෙරිකාවේ රටවල් 19 ක පැතිර ගිය ඒ කොළරා වසංගතයෙන් ජීවිත 4700 ක් අහිමි වීමයි.

රේචල් කාසන් ලස්සන වචන දාගෙන කෙප්ප ලිව්ව නිසා, ග්‍රීන්ප්‍රීස් පර සුද්දන් විද්‍යාවේ අවිද්‍යාවෙන් බොරු ප්‍රෝඩාවක් කළාට, ප්‍රෝඩාව යන්න මුසාවාදා වේරමණී සරණං ගච්ඡාමි කියන බුදු දහම දන්නා බෞද්ධයන්ගේ හෙළ උරුමයක් කරන්නට ඉඩ දී බලා සිටින්නේ කවුද?!!!!

අනිත් මිනිස්සු වගේ නෙමෙයි වසවිස කමින් බොමින් නැතිව එක ලාංකිකයෙක් වසර පහක් නොකා නොබී හුළං වලින් ජීවත්වුනාලු! 😀

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අගෝස්තු 9, 2013 at 2:13 පෙ.ව.

    ක්ලෝරීන් වෙනුවට තව තව හෙළ ඖෂධ දාලා තියෙනවලු. ඒවා ලිං වලට දාලා අනා ගත්ත අයත් ඉන්නවලු.

    • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 2:16 පෙ.ව.

      Gold fish,

      ඇමෙරිකාවටත් මේ කාලේ කරන මෝඩ වැඩ වසන් කරගෙන ඉන්න බෑ කියලා මේ මිනිස්සුන්ට වැටහෙන්නෙ නැද්ද මන්ද? 😀

      දුක ඉතින් අහිංසක මිනිස්සු මැරිලා ගියාට පස්සෙ කියන පච ඔක්කොම හෙළිවෙන එකයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: