අරුණි ශපීරෝ‍ වෙතින්

ප්ලේසිබෝ ආටෝපය සහ නෝසිබෝ ප්‍රතිඵලය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 10, 2013
පින්තූරය: ගූගල් ඉමේජස්

පින්තූරය: ගූගල් ඉමේජස්

මහජන උද්ඝෝෂණයක් තිබිය දී විදේශීය හතුරෙක් මවා පා කරන කළබැගෑනියකින් රටේ අර්බූදය යටපත් කරගැනීම දේශපාලන බල අරගලයේ යෙදෙනා අය කරන කූටෝපායකි.

රෝගාතුර වූ අයෙකුට යම් ඖෂධයක් නියම වූ විට, එය කිසිත් ඖෂධයක් නොවුන ද, තමනට එයින් පිහිටක් ලැබෙනවා යැයි විශ්වාස කරන හුරුව නිසා සහ පිටතින් අහිතකර දෙයක් ශරීරගත නොවීමෙන්, රෝගියාගේ තත්වය බොහෝවිට යහපත් අතට හැරේ. එහෙත් එය වෛද්‍යවරුන්ගේ කූටෝපායක් නොවේ. මන්ද වෛද්‍යවරයාගේ අරමුණ ඇත්ත වශයෙන්ම ලෙඩාගේ රෝගය සුව කිරීමයි.

කළබැගෑනියෙන් යටපත් කරන්නට සමත් වූවාට මහජන උද්ඝෝෂණයකට පාදක වූ හේතුව විසඳී නොයයි. එහෙත් ඖෂධයක් මෙන් පෙන්වන ලද්ද නොහොත් ප්ලේසිබෝ නිසා රෝගියෙක් සත්‍යය සුවයක් ලබයි. ඒ රෝගියා තුල හටගන්නා ධනාත්මක චින්තනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඖෂධ යැයි කියා, එහෙත් ප්ලේසිබෝ නොහොත් කිසිම ඖෂධ නොමැත්තක් ගනිද්දී සේ ම, ජීවන රටාවේ වෙනස්කම් වලින් මේ මේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා යැයි කරන විශ්වාසය නිසා ද එම ප්ලේසිබෝ ආටෝපය අයෙකුට අත්දකින්නට ලැබේ. මේ සපත්තු ජාතිය පැළඳගෙන ඇවිද්දාම බර අඩුවෙනවා යැයි කියමනක් විශ්වාස කරන අයෙක්, ඒ සපත්තු පැළඳ ගැනීම නිසා නොව, එහෙත් එය පැළඳීමට පටන් ගැනීමත් සමඟ වෙනත් ආහාර පාන ගන්නා ආකාරයන් යනාදිය ද වෙනස් කිරීම නිසා බර අඩුකරගෙන, එහෙත් හිතන්නේ බර අඩුවුනේ සපත්තු පැළඳගෙන ඇවිදීම නිසා කියාය. එය ද සපත්තු පැළඳීමට පටන් ගත් නිසා හටගත්තා වූ හිතේ උපන් ධනාත්මක විශ්වාසයක ප්‍රතිඵලයයි.

තම දින චර්යාවේ කුඩා වෙනස්කම් ඇති කරද්දී, සවිඥානිකව සහ අවිඥානිකව අයෙක් වෙනත් වෙනස්කම් කරන්නට පටන් ගන්නා බවට සාක්ෂි ඇත. සිරුරේ අනවශ්‍ය බර අඩු කිරීම ගැන වූ එක විද්‍යාත්මක අධ්‍යයනයක දී ඊට සහභාගී වූවන්ට දිනපතා “සතුටින්,” හෝ “කල්පනාවෙන්,” වැනි විශේෂණයක් දී එහි අර්ථයෙන් කියැවෙන්න ගැන දවස පුරාම හිතන්න යැයි කියන ලදි. ආහාර ගැනීමේ ක්‍රියාපටිපාටියක් ඊට ඇතුලත් නොවූව ද, ධනාත්මක වචන ගැන හිතද්දී පර්යේෂණයට සහභාගී වූ අයගේ අනවශ්‍ය බර අඩුවිය. එයින් ඔවුන් පහදා ගත්තේ ප්ලේසිබෝ ආටෝපයෙන් (බෙහෙතක් යැයි කියා එසේ නොවූවක් ද ශරීරගත නොවී) ධනාත්මක චින්තනයක් ඇති කරගන්නා මිනිසා වෙනත් ධනාත්මක වෙනස්කම් ද පටන් ගන්නා බවයි.

යම් විද්‍යාත්මක අධ්‍යයනයක් නිර්මාණයේ දී පර්යේෂණයට ලක්වන කොට්ඨාශයේ වයස, ස්ත්‍රී පුරුෂ භාව යනාදියත් සමඟ අධ්‍යාපනික මට්ටම, සමාජ ආර්ථික තත්වය ද සේ ම ප්ලේසිබෝ ආටෝපයේ අදාලත්වයක් ඇත්දැයි ගැන ද සැලකිල්ලක් දක්වන සේ අධ්‍යයනය සැකසී තිබිය යුතුයි.

එසේම ප්ලේසිබෝ ආටෝපයේ ම තවත් පැතිකඩක් වන නෝසිබෝ ප්‍රතිඵලය ගැන ද අදාලත්වයක් තිබෙනවා ද යන්නට අවධානයක්, යමක පැතිරයාමක් හඳුනාගැනීම සඳහා නිර්මාණය කරන විද්‍යාත්මක අධ්‍යයන් තුලින් දැක්විය යුතුයි.

“ඒක ගත්තම අරයාට මෙහෙම සිද්ධ වුනා කිව්වා,” යැයි තමන් දන්නා හඳුනන අයෙකුගේ සාක්ෂියක් පෙන්වීම හෝ “මෙච්චර දෙනෙක් මෙහෙම කිව්වා,” යැයි සාක්ෂි ඉදිරිපත් කිරීම විද්‍යාත්මක ක්‍රමය නොවේ. “මම වැඩ කරන තැන කෙනෙක් තමයි මට කිව්වෙ,” යනාදී උපාඛ්‍යාත සාක්ෂි (anecdotal evidence) සත්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක ප්‍රතිඵල ඔප්පු කරන්නට යොදා ගන්නා සාක්ෂි නොවෙති.

“අරයාට එහෙම වුනා නම් මටත් එහෙම වේවි,” යැයි සිතීම ස්වභාවික මිනිස් හුරුවකි. ප්ලේසිබෝ ආටෝපයෙන් ඖෂධයක් යැයි වෛද්‍යවරයෙක් කියූ නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් ඇතිවීම සේ ම, නෝසීබෝ ප්‍රතිඵලයේ දී මෙවර ඇතිවන්නේ ඍනාත්මක විශ්වාසයක වර්ධනය හා පැතිර යාමයි. තමන්ට ද ඒ ඇහෙන අමාරු හා වේදනා ඇතැයි සිතන්නට මිනිසා පටන් ගනියි.

ඖෂධයක් නියම කර එහි මෙවැනි, මෙවැනි අනතුරුදායක ප්‍රතිඵල ඇතැයි කියූ විට සමහර අයට ඒ ඖෂධය ගත් සැණින් ඒ ප්‍රතිඵල දැනෙන්නට පටන් ගනියි. ඍනාත්මක චින්තනය නිසා පටන් ගන්නා ඍනාත්මක හැදියාවෙන් අවසානයේ සත්‍යය රෝගී භාවයන් ද දක්වන්නට පටන් ගනියි.

බඩ රිදිල්ලක්, නැහැයෙ කිතිකැවිල්ලක් යනාදිය වෙනදාට ගණන් නොගන්නා අයෙක් එවැන්නක් අතුරු ඵලයක් තමන් ගත් බෙහෙතක් නිසා ඇති වේ යැයි දැනගත්තාම එය වැඩියෙන් හටගෙන සමහර විට එය සැබෑ රෝගී තත්වයක් කරා ද යයි.

පළමු වසරේ වෛද්‍ය සිසුවන් අතර තම අත්පොත් වල ඇති බොහෝ රෝග තමනට ඇතැයි සිතන අය බහුලව සිටිති.

පළාතේ වසංගතයක් පැතිර යනවා යැයි ඇහෙද්දී හෝ කම්හලක අනතුරුදායක ද්‍රව්‍යයක් පැතිර ගියා යැයි ඇහෙද්දී ඒ අවට වාසීන්ට, මෙතෙක් පැහැදිලි කරගන්නට නොහැකි වූ රිදුම් වේදනා සියල්ලේ ප්‍රභවය එම හේතුවෙන් හටගත්තා යැයි හිතෙන්නට පටන් ගනියි.

විද්‍යාත්මක අධ්‍යයනයක දී මේ ප්ලේසිබෝ සහ නොසීබෝ තත්වයන් වලට අවධානයක් දී අධ්‍යයන නිර්මාණය කරන්නේ සත්‍යය විද්‍යාඥයන් ය.

අනිත් අය ඒවා තමනට උවමනා පරිදි ප්‍රයෝජනයට ගෙන විද්‍යාත්මක යැයි ප්‍රතිඵල පෙන්වති.

Sherry Seethaler ලියූ Lies, Damned lies, and Science (2009) පොත ඇසුරෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: