අරුණි ශපීරෝ‍ වෙතින්

විද්‍යාත්මක සත්‍යයක් නිසා නොව මූඪ නීතියක් නිසා මිය යන ලදි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 11, 2013

killed by a bad law

මහා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනයේ දී ඒවායේ ටොක්සින් වඩාත් ඉක්මණින් ඉතාමත් ම අඩු මට්ටම් වලින් පවතිද්දී හඳුනාගන්නා පර්යේෂණ පැවැත්වේ. ලොව මහා පරිමාණ ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින අයට තම රජයෙන් හා ඒවා විකිණෙන රටවල රජයන් වලින් ද ඒ පර්යේෂණ ප්‍රතිඵල සත්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ යැයි සහතික කරන අනුමැතියන් ලබාගත යුතුයි.

විශේෂිත වූ පර්යේෂණගාර වලට තම නිෂ්පාදන එහි විවිධ අවධි වල දී ගෙන යා යුතුය. බිලියන ගණනින් ආදායම් උපයන ආහාර නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන වල ටොක්සින් ඉතාමත් අඩු මට්ටම් වලින් හඳුනාගත හැකියාව සොයා ගැනීමට යා හැකි පර්යේෂණ පවත්වන සුවිශේෂිත විද්‍යාගාර ඇත්තේ ලොව කිහිපයක් පමණි.

එවැනි පර්යේෂණාගාර වල සේවය කරන විද්‍යාඥයන් ආහාර නිෂ්පාදන වල යම් අවදානම් තත්වයක් වඩාත් කළින් හඳුනාගන්නා ක්‍රම සොයා ගැනීමට නිතිපතා වෙහෙසෙති. එහි පර්යේෂණ කටයුතු කරන්නේ ඒ සඳහාම සුවිශේෂී අධ්‍යයන පිළිවෙතක් පශ්චාත් උපාධි මට්ටමෙන් ඉගෙන ගත් අය වෙති. එසේම මේ ක්‍රමවේදය ගැනම වූ ඒ සුවිශේෂී උපාධිය ලැබුව ද, එවැනි පර්යේෂණ නිතිපතා නොකරන අයට නිතර දියුණුවෙන නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් පැමිණි ගැටළු විසඳන දැනුම සහ හැකියාව නොමැත. ඒ නිසා ඩොලර් බිලියන විස්සක වටිනාකම ඇති, මහජන කොටස් වෙළඳපොලක තරඟයේ නැති, පුද්ගලික ව්‍යාපාරයක ආහාර නිෂ්පාදනයේ සම්පූර්ණ වගකීම අතැති මගේ සුදු අප්පුහාමි වැනි අයෙක් වුවත් තම විද්‍යාත්මක දැනුමෙන් පමණක් තීරණ නොගෙන තම කර්මාන්තයේ නිෂ්පාදනයන් එවැනි සුවිශේෂී විද්‍යාගාර වලට යවා පර්යේෂණ ප්‍රතිඵල ලබා ගන්නේ ආණ්ඩුවක් සනසන්නට නොව තම ව්‍යාපාරයේ පැවැත්ම ඒ ප්‍රතිඵල මත රඳන නිසයි.

සුවිශේෂී විද්‍යාගාරයක් පවත්වා ගෙන යන විශ්ව විද්‍යාලයක් ඔහුට බාහිර මහාචාර්යවරයෙක් හැටියට පඩියක් නැති තනතුරක් දී ඇත්තේ ඔහු සතු දැනුම යනු ඒ දැනුම ඇති ලොව ඉහළම පස් දෙනෙක් අතර පමණක් පවතින දැනුමක් බව එම කර්මාන්ත ක්ෂේත්‍රයේ සෙසු විද්‍යාඥයන් සියල්ලන්ම පිළිගෙන ඇති නිසයි. ව්‍යාපාරයක නොව සමස්ත මුළු කර්මාන්තයේම පැවැත්මේ වගකීමක් පැවරෙන එවැනි අයෙක් ගන්නා තීරණ යනු ව්‍යාපාරිකයෙක් හෝ විශ්ව විද්‍යාලයක් හෝ වගකීමක් ඇති ආණ්ඩුවක් ද පටු දේශපාලන වාසි ලබාගන්නට හිතුමතයට තීරණය කරන ඒවා නෙමෙයි.

මහා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනයේ යෙදෙන අය ඉන්නේ ලොව සුලුතරයක් නිසා, ඔවුන් දැනටමත් නියැළෙන එම සුවිශේෂී පර්යේෂණ පැවැත්වීමට අධික වැයක් දැරිය යුතුයි. එය ඔවුන්ගේ නිෂ්පාදන වැයයි. යම් ආණ්ඩුවක් විසින් ලොව ආහාර නිෂ්පාදන තරඟයේ යෙදෙන සෑම අයෙක්ම පිළිගෙන ඇති පර්යේෂණ වලට පිටතින් යන අනවශ්‍ය අමතර පර්යේෂණ ප්‍රතිඵල ඉල්ලා සිටින්නේ ද නිෂ්පාදන වැය ඉහළ යද්දී භාණ්ඩයේ මිල ද ඉහළ යයි. එම වැය තව දුරටත් දරාගත නොහැකි වෙද්දී නිෂ්පාදකයා නිෂ්පාදනයෙන් අයින් වෙයි.

වාමාංශික හිතවාදීන් දරන දුර්මතයක් නම් ලාබයක් නැතිව ව්‍යාපාරයක් හැකියි කියාය.

සමහර මූඪ දේශපාලකයන් මහා පරිමාණ නිෂ්පාදකයන් ලාබ උපයනවාට ඇති වෛරය නිසා ඔවුන්ට එරෙහි වෙති. එහෙත් මහා ජනගහණයකට කන්න බොන්න දෙන්නට නම් ගෙවත්තේ වගා කරගත් දෙයකින් නොහැකි යැයි දන්නේ හිතන්නට හැකි අය පමණි.

මිනිසා විසින් ස්වභාව ධර්මයේ පවතින රසායන හඳුනාගෙන ඇති බැවින් ද, තමන් විසින් හදන රසායන වඩාත් සූක්ෂම සහ ආරක්ෂිත ලෙසින් පරිහරණයට හුරු වීම නිසා ද හේතුවෙන් ලෝකයේ සත්‍යය දත්ත පෙන්වන්නේ මිනිසා සාගත වලින් මිදී ඔහුගේ ආයූෂ දීර්ඝ වී තිබීමයි.

මිනිසා යනු ද රසායන සංයෝගයන් හි එකතුවකි. රසායන නොමැති නම් විශ්වයක් නොමැත. පවතින ඕනෑම පදාර්ථයක් (substance) ටොක්සික් විය හැකියාවෙන් යුතුයි. ජීවිතය ආරක්ෂා කරගන්නට නැතිවම බැරි ඔක්සිජන් වුවද ටොක්සික් විය හැකියි.

ඉතා අඩු ඇබිත්තන් ප්‍රමාණයන් වලින් යුතු වෙද්දී රසායනික ටොක්සික් මට්ටම් වලින් අනතුරක් සිද්ධ නොවේ. එහෙත් එවැනි අවස්ථාවක දී අයෙක් වසවිෂ (poison) කනවා යැයි කීමට හුරු වී සිටීම ලොව දුර්මතයකි. ආහාර සහ වසවිෂ අතර ඇත්තේ පැහැදිලි වෙනසකි. සිරුරකට ආහාර ඇතුල්වීම පෝෂණය ලැබෙන අතර වසවිෂ (poison) ඇතුල්වීමෙන් මරණය ලැබේ.

වසවිෂ (poison) නොවෙන්නේ කුමන මට්ටමක දී කියාත්, ටොක්සින් (toxin) යනු කුමන මට්ටම් වල දී කියාත්, ටොක්සින් බැවින් ද දැකිය නොහැකි (no toxicity) රසායන මට්ටම යනු කුමන පහළ තත්වයක ඇත්දැයි ගැන ඒ නිසා හැම රසායනයක් ගැනම විද්‍යාත්මක වූ කතාබහේ දී විද්‍යාඥයන් විසින් පැහැදිලි කරගන්නකි. ටොක්සිටි තත්වයක් දැකිය නොහැකි අවස්ථාවේ දී රසායනය පැවතීම නිසා කිසිත් හානියක් කිසිවෙකුට සිද්ධ නොවේ.

සෑම ටොක්සික් රසායනයක දී ම, ටොක්සින් බවක් ද දැකිය නොහැකි දේහලිය (threshold) කුමක් දැයි ගැන දැනුම විද්‍යාඥයන් සතු වේ. එහෙත් රට රටවල පවතින ඒ ඒ නීති පද්ධතියන් තුල දී පිළිකා කාරක යැයි හඳුන්වා ඇති රසායන සඳහා ටොක්සින් බවක් ද දැකිය නොහැකි දේහලිය (threshold) ගැන කියමින් මාත්‍රාවන් තීරණය කරන්නට කිසිම විද්‍යාඥයෙකුට අවසරයක් නොලැබේ. එහි දී විද්‍යාව අනුව නොව රටේ දේශපාලකයන් සම්මත කරගන්නා නීතිය අනුව තීරණ ගැනීමට සිද්ධ වේ.*

දාර්ශනික රජෙක් ලෙස ද, මැකියාවෙලියානු දේශපාලනඥයෙක් ලෙස ද, විමතික (dissident) විද්‍යාඥයෙක් ලෙස ද සැලකිල්ලට පාත්‍ර වූ* Thabo Mbeki නෙල්සන් මැන්ඩෙලාට පසුව දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා විය. හේ විද්‍යාත්මක සත්‍යය විභාග නොකර කියා සිටියේ HIV තිබෙන පමණින් ඒඩ්ස් හැදෙන්නේ නැත, ARVs (antiretrovirals) යනු ටොක්සික් කියාය.

ඔහුගේ රජයේ අධිකරණ ඇමතිවරිය ලෙසින් ද, සෞඛ්‍ය ඇමතිවරිය ලෙසින් ද, ජනාධිපති අමාත්‍යාංශයේ ඇමතිවරියක් ලෙසින් ද සේවය කළේ, ඒඩ්ස් වසංගතය ඉතා පහසුවෙන් නවතා ගන්නට මත්පැන් බී, බීට්රූට් හා සුදුළුණු වැනි එළවළු කෑමෙන් පුළුවන් යැයි කියූ, Manto Tshabalala-Msimang නැමැත්තියයි. ඇය සෝවියට් යුනියන් හි පළමු ලෙනින්ග්‍රෑඩ් වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය පුහුණුවක් ලද්දියකි. බෙල්ජියමේ ඇන්ට්වර්ප් විශ්ව විද්‍යාලයෙන් මහජන සෞඛ්‍ය සඳහා පශ්චාත් උපාධියක් ලද්දියකි.

මහා පරිමාණ ආහාර නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයා තීරණ ගන්නේ තම ධනවස්තුව පරදුවට තබා ය. ජනතාවගේ සෙත සලසන නාමයෙන් විසල් ව්‍යාපාර ගැන ඇති වෛරය නිසා තීරණ ගන්නා දේශපාලනඥයන් තීරණ ගන්නේ ජනතාවගේ ජීවිත සහ දේපල පරදුවට තබා ය.

Thabo Mbeki සහ Manto Tshabalala-Msimang දෙදෙනා ප්‍රමුඛ වී මුළු මහත් අප්‍රිකා මහාද්වීපයම ප්‍රගතිය කරා නොව අවිද්‍යාවෙන් ආපස්සට ගෙන යන්නට සමත් වූහ. විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාව පතුරන අය රජ වෙද්දී නිහඬ වී සිටීම යනු කුමන දේශප්‍රේමීත්වයක් ද? රටට හානි කරන අයව වීරයන් විදියට සලකන අයගේ උරුමය කුමක් වේ ද?!!!!!!!!!!

* දිනපතා විද්‍යාවේ මිථ්‍යාවන් 151″ නමින් 2004 දී මහාචාර්ය Arthur Furst ලියූ පොතෙන්. ස්ටැන්ෆර්ඩ් පිළිකා කෙමොතෙරපි විද්‍යාගාරයේ නිර්මාතෘ වන ඔහු රසායන සංයෝග ගැන ඇමෙරිකන් පිළිකා සංවිධානය සහ ජාතික පිළිකා ආයතනය ආරම්භයට පෙර සිට ඒ ගැන පර්යේෂණ වල යෙදෙන ලද පුරෝගාමීයෙකු විය. අනාථ දරුවෙක් ලෙසින් ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දුන් ඔහු ඇමෙරිකාවේ විද්‍යාඥයන් අතර මහත් පිළිගැනීමට පාත්‍ර වූ සුවිශේෂී විද්‍යාඥයෙක් ලෙසින් ටොක්සින් පිළිකා පර්යේෂණ වල යෙදීමට සිය මුළු ජීවිතය කැප කරන ලද්දකි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අගෝස්තු 12, 2013 at 1:59 පෙ.ව.

    කවදත් ඔබතුමියගේ ලිපි සිංහල පාඨකයන්ට වැදගත් දැනුම් සම්භාරයක් දායාද කරනවා. මේ ලිපිය දැනට ලංකාවේ සංවාදයට ලක් වී ඇති තේමාවන්ට අදාලව සිතන්නන්ට විශේෂ වැදගත් කමක් දරනවා. ඔබටත් ඔබේ පවුලේ සියල්ලන්ටත් පින් අරුණි සපීරෝ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: