අරුණි ශපීරෝ‍ වෙතින්

පෙට්ටියෙන් බැහැර වී සිතීම

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 16, 2013

Think outside the box

අපේ මොළ හැඩගැසී ඇත්තේ සුවිශේෂී තාර්කික හැකියාවක් ඇතිව. අවට පරිසරයේ සද්ද බද්ද වල පවතින අවැදගත් හඬවල් නොතකා සංවාදයක් ගෙන යා හැකියාව මිනිසාට ඇත. එසේම ගමනක් යද්දී අතරමඟ දර්ශන පථයට හසුවන සෑම දෙයකටම අවධානය යොමු නොකර ගමන යා හැකියාවෙන් ද යුතුයි. මිනිසා අවධානය විශේෂයෙන් යොමු කරන්නේ ඔහුගේ ආරක්ෂාව සලසාගත යුතු දේවල් වලටයි.

ඒත් හිතන්න ගියාම, සරල බවක් සොයන්නට උත්සාහ කරන මොළය අමුතු තාර්කික ගති විලාසයක් දක්වයි.

Think outside the box යන්න බොහෝ අය දන්නා පද වහරකි. හැමදාම හිතන විදියට නැතිව වෙනස් විදියකට හිතන්න යැයි එහි අර්ථය බවත් බොහෝ අය දන්නා වූවකි.

ඒත් වෙනස් විදිය යනු කුමක් ද?!!!!

මෙහි දී වෙනස් යන්නෙන් අදහස් වෙන්නේ නිර්මාණශීලී සහ අලුත් දැක්මකින් යුතු බවකි.

තිත් නමයේ ප්‍රහේලිකාව යනු මේ “පෙට්ටියෙන් බැහැර හිතන්න,” යන්න පහදා දීමට යොදාගත්තකි. එය 1969 දී John Adair විසින් හඳුන්වා දෙන ලද්දක් යැයි සැලකේ. ඉහත පින්තූරයේ පරිදි අඳින ලද තිත් නමයක් පෙන්වා ප්‍රහේලිකාව විසඳන්නට එන අයට පැන්සල උස්සන්නේ නැතිව කෙළින් ඉරි හතරක් ගසමින් තිත් නමය යා කරන්න යැයි අභියෝගය විය.

තරඟයේ නීති වලින් පිට නොයා මේ තේරවිල්ල ඉතා පහසුවෙන් විසඳිය හැකියාව ඇත්තේ තිත් මත පමණක් ඉරි අඳින්නට හිතන්නේ නැතිව ඒවාට ඔබ්බෙන් ඈතක සිට දිවෙන ඉරි ඇඳීමෙනි.

මෙන්න එක විසඳුමක්!
Think outside the box

පෙට්ටියෙන් බැහැර වී සිතීම නොයෙක් ආකර වලින් මනෝවිද්‍යා පර්යේෂණයන් වලට ලක්වෙයි. එක් පර්යේෂණයක දී කුඩා පෙට්ටියක්, උපන්දින කේක් ගෙඩියකට ගහන ඉටිපන්දමක්, ඇඟිල්ලෙන් තද කරත හැකි ඇන, සහ වෙනත් පුංචි අඩුම කුඩුම කිහිපයක් දී ඒවායේ සහායෙන් බිත්තියක ඉටිපන්දම රඳවන්නට ක්‍රමයක් සොයන්න යැයි කියන ලදි.

හිස් පෙට්ටිය සමඟ ඉටිපන්දම සහ අනෙක් අඩුම කුඩුම සියල්ල ලැබුන අය උත්සාහ කළේ පෙට්ටියෙන් රාක්කයක් හදන ආකාරයයි. එහෙත් පෙට්ටිය ඇතුලට සියල්ල දමා දුන් විට ඒ පිරිස විසඳුමක් සොයා ගන්නට වැඩි කාලයක් ගත්හ.

එක සංදර්භයකින් අපට පිරිනමන යමක් තවත් සංදර්භයකින් දැකීම මිනිසාට ස්වභාවයෙන් නුහුරු වූවකි.

අවදානම් ඇතැයි පැතිරෙන බිය නිසා නොව අයෙක් සත්‍යයෙන්ම යම් අවදානම් තත්වයකට පත් වූ විට හෝ තමා අවට අනතුරු වලට ලක්වෙන අය දකිද්දී මිනිසාගේ තවත් ස්වභාවයක් ඉස්මතු වේ. එය මිනිස් උපලබ්ධියේ (human cognition) ස්වභාවික ලක්ෂණයක් යැයි අපිට පෙන්වා දෙන්නේ ඒ ගැන විශේෂයෙන් හදාරා ඇති Peter Suedfeld විසිනි.

ඔහු පරතෙරට හදාරන ලද ක්‍රමවේදයක් වූයේ Restricted Environmental Stimulation Technique (REST) යන්නයි. අයෙක් ඉන්නා පරිසරය වෙනස් කරමින්, ලයිට් හෝ පිටතින් ආලෝකයක් නැතිව, පිටතින් කිසිත් ඇහෙන්නෙ හෝ දකින්නට ලැබෙන නැතිව සකස් කරගන්නා ස්ථානයක මිනිසුන් රඳවා ඔවුන් ලවා ප්‍රහේලිකා විසඳීමට හැකියාව මැන බැලීමයි. එහි දී ඔහුට දැන ගන්නට ලැබුනේ මිනිස්සු පිස්සු කෙළිනවා වෙනුවට වඩා නිර්මාණශීලී වූ බවයි.

ටොගල් ස්විච් එක සහ ඔටෝමැටික් පයිලට් ගැන කියූ විස්තර අමතක නම් මෙතැනින් නැවතත් කියැවිය හැකියි.

නිකම් බයිසිකලෙන් වැටිලා දණහිසක් සිරීමට වඩා බලවත් හදිසි අනතුරකට මුහුණ දුන් අයෙක් අත්දැකලා ඇති ටොගල් ස්විච් එක වැඩ කරන හැටි. එවැනි අවස්ථාවක තර්ක කර කර ඉන්න දෙන්නෙ නැතිව මොළය විසින් පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න ඉබේම වැඩ කරන හැටි. තමා අවට සිද්ධ වෙන දේවල් ගැන වැඩියෙන් අවධානයක් තමන්ට ලැබෙන හැටි.

ඒ වේලාවේ දී අර ස්වභාවික මිනිස් හැදියාව වූ පරිසරයේ කන්දොස්කිරියාව පැත්තකට දාලා වැඩ කරගෙන ගතියෙන් මෑත්වෙලා මොළය වටපිටාව ගැන වැඩියෙන් දැනීමක් ඉක්මණින් ඇති කරනවා.

තර්ක කරන හැකියාව ස්වභාවයෙන් තියන නිසා ඔටෝමැටික් පයිලට් හැම තිස්සෙම වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා හැම තිස්සෙම තමන්ව බේරාගන්න මොළය තීක්ෂණ කරන ටොගල් ස්විච් එකක් ද නැහැ.

ඒත් ජීවිතය හා මරණය අතර අවදානම් තත්වයක් හැදෙන තුරු බලාගෙන සිටිය යුත්තේ මන්ද? ඊට කළින් ගැටළු විසඳාගන්න හැකියාවෙන් යුතු මොළයකට හිමිකම් කියන්නේ නම් එයින් වැඩක් නොගන්නේ මන්ද? තම මොළයේ පරිනාමයට ඉඩක් නොදෙන මිනිසා, අර්බූදය උත්සන්න වී වාසනාව අවාසනාව මත අහිංසකයන් මරණයට ලක්වෙන හැටි බලා හිඳිති.

තොරතුරු බහුල යුගයක සත්‍ය අසත්‍ය පැහැදිලි කරන ඉංග්‍රීසියෙන් හදා ඇති අඩවි කිහිපයකට මේ සබැඳි වලින් යා හැකියි:

Sense about Science

Improving Medical Statistics

The Skeptical Inquirer

Snopes

Urban Legends

Break the Chain

Necrometrics

සිංහලෙන් එහෙම එකක් තිබ්බා නම් ඒකත් දාන්න තිබුණා!!!!!!!!!!!!!! 😀

Advertisements

34 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on අගෝස්තු 16, 2013 at 8:38 පෙ.ව.

    උතුරේ විසදුමක් නැත, දකුනේ එක නැවක් නැත, නැගෙනහිර සැළසුමක් නැත, බටහිර සැනසුමක් නැත, ඉතිං අපි කොහොමද පෙට්ටියෙන් බැහැරට යන්නේ.. හැම පැත්තෙන්ම පෙට්ටිය ඇතුළටම හිර කරනවා මිසක, ඇතුළට හිර වෙන්න අකමැති අය ප්ලේන් එ‍කක නැගිලා සිරස් දිශාවෙන් පලා යනවා 😀 කිසිම දෙයක් හිතන්න කරන්න මෙහේ උදවිය බහුතරයකට සන්සුන් මනසක් දැන් නැහැ. ඒකට විකල්පය එක එක පටු තියරි තුළ යාන්ත්‍රීකරණය වෙන්න හදන එක. ඒක හරියට කලුවා මාරපන ගියාට දෙවැනි නැහැ.

  2. maathalan said, on අගෝස්තු 16, 2013 at 9:10 පෙ.ව.

    පෙට්ටියෙන් පිට හිතන්න යන උන්ට ඒ තරම් සුභ රටක් නෙමෙයි අපේ රට. එහෙම හිතන එකාට තැනකුත් නෑ. මුකුත් හිතන්න පතන්න බැරි හැඟිම් දැණීම් නැති පිරිසක් ලෙස ජීවත් වෙන්න තමයි බොහෝ දෙනෙක් කැමති. අපි උනත් යම් කිසි සීමවක් තුල ඉඳගෙන තමයි අවුට් ඔෆ් බොක්ස් හිතන්නේ. හිතෙන ඔක්කෝම ලිව්වා නම්. මේ වෙනකොට මාතලන් නෑ….

    • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 9:14 පෙ.ව.

      maathalan,

      මරණ බියෙන් හෝ ජීවිකාවට කැපිලි සිද්ධ වියහැකි නිසා නිහඬ අයට යම් තරමකට හෝ ගරු කරමි. එහෙත් බොරු පතුරැවා හරින්නට සහාය වෙන මාතලන්ට කිසිදා කමා නොකරමි. තරහක් නැහැ. තරහා වෙන්න අපි යාළු වෙලා හිටියෙත් නැහැනේ!!!! 😀

      • maathalan said, on අගෝස්තු 16, 2013 at 10:52 පෙ.ව.

        බොරු කියන්නේ ඔයාද මමද…? මම දැක්කා රාවයෙත් පචේට පබ්ලිසිටි එකක් දීලා තියෙනවා. අද ගම්පහ උසාවියෙන් ෆොන්ටෙරා ආයතනයේ සියළුම නිශ්පාදන වෙළඳ පොළෙන් ඉවත් කර ගන්න කියලා නියෝග කළා. ඔයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑ අඩුගානේ ෆොන්ටෙරා දන්නෙත් නෑ විශබීජ තියෙනවද නැද්ද කියලා. පර්යේෂණ වල ප්‍රතිපල එනකම් ඉන්න කළබල වෙන්නෙ නැතුව.. මම කියන්නේ ඔඋයයි බොරු කියන්නේ කියලා.. ඒ ආතල් එකට නෙමෙයි.. ලංකාවේ අද තියෙන ඇත්ත…

        • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 12:28 ප.ව.

          maathalan,

          //රාවයෙත් පචේට පබ්ලිසිටි// කට බොරු කිව්වත් ටයිප් කරන ඇඟිලි බොරු කියන්නේ ද නැතිවා වගෙයි!!!!

          අවුට් ඔෆ් බොක්ස් හිතන්න හැකියාවක් තියෙනවා යැයි කියන මාතලන් ඉන්නෙ පුංචිම පුංචි ගිනිකූරු පෙට්ටියක් ඇතුලෙ!!!

          මෙන්න කසුන් පුස්සවෙල ඒ ගැන රාවයට ලියා ඇති හැටි.

          • maathalan said, on අගෝස්තු 16, 2013 at 9:26 ප.ව.

            පෙට්ටියක හිරවෙලා මිනීමරුවන්ට කඩේ යන්නේ මම නෙමෙයි ඔබයි. මේ පෙට්ටි ගැන ලියන්නත් ඇත්තේ. ජනතාවට මිනී පෙට්ටි ලෑස්ති කර ගන්න වෙන්න ඇති.

            • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 10:53 ප.ව.

              maathalan,

              මිනීමරුවන් කවුදැයි ලෝකය දන්නවා ලංකාවේ ඇමතිවරුන්ටයි අනික් සමහර අයටයි ලෝකෙ සිද්ධ වෙන දේවල් කියවන්න බැරිවුනාට. ඒ දරුවන් මරපු කිරිපිටි හදපු මිනීමරුවන් යනු චීනයේ රාජ්‍ය අයිතිය තිබුණ සන්ලූ සමාගමයි.

              • maathalan said, on අගෝස්තු 16, 2013 at 10:57 ප.ව.

                වත්මනෙහි ෆොන්ටෙරා සමාගම. ෂෙයාස් කීයක් විතර තියෙනවද?.. ඉක්මනට විකුණලා දාන්න. තවත් බහීවී..

                • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 11:01 ප.ව.

                  maathalan,

                  ඔහොම රටවල් වල වෙළඳාම් කරන සමාගම් වල කොටස් ගන්න තරම් අපි මෝඩයෝ කියලා හිතුවා ද? බලාගෙන ඉන්න, තව ටික දවසක් යද්දී විකුණන්න බැංකුත් නැතිවේවි.

                  • Uditha Meegahathenna (@UdithaMe) said, on අගෝස්තු 17, 2013 at 11:29 ප.ව.

                    අරුණි costco එකේ අර ලොකුම ලොකු නෙස්ලේ පිටි කිරි ටින් තියනවා දන්නවද මෙහේ ඉන්න ලංකාවේ අය ඒවා අරගෙන බඩු පෙට්ටි වල දාල ලංකාවට යවනවා ගෙවල් වල අයට පිටි නෑ තහනම් කියල, මම ඇහුවා ඕව ලංකාවේ තහනම් නම් කස්ටම් එකෙන් එලියට ගන්න පුලුවන්ද කියල….. මෙහේ නෑ නේ ලංකාවේ වගේ මොළ කාරයෝ මේ විෂ ටින් ටික costco එකෙන් අයින් කරන්න, මාතලන් ගැන නම් මට දුකයි ආවේග වලින් තනිකරම වැඩ කරන්නේ.

                    • arunishapiro said, on අගෝස්තු 18, 2013 at 8:50 පෙ.ව.

                      Uditha,

                      ලංකාවේ හැමදාම දරුණු බෙහෙත් හිඟයක්. අපිට කිරි දීලා ඊට පස්සෙ ඒවායෙන් හැදෙන ලෙඩ සුව කරන්න බෙහෙත් හදනවා කියමින් දැන් බටහිර රටවල් ගැන උපන් දා සිට ඇතුල් කරලා තියෙන ක්‍රෝධය අවුස්සන නිසා මිනිස්සු රැවටිලා බාල බෙහෙත් බොනවා ඒත් අඩු මිලකටත් නෙමෙයි.

                      හැබැයි දුප්පත් මහජනතාව තමයි හැමදාම අසරණ. ලොක්කො බටහිරට බැන බැන තම ළමයින්ව එහෙ අධ්‍යාපනයටත්, තම මුදල් එහි බැංකු වලටත්, තම සුපිරි පරිභෝජන භාණ්ඩ ඒ රටවල් වලින් ද ගෙන්වා ගන්නවා. රුසියාවේ වුවත්, නැගෙනහිර ජර්මනියේ වුවත් ලංකාවේ වුවත් එය එයැමයි.

                      ඔය අවුල් බේරාගන්න බැරිව රටක් කොහාට ද යන්නෙ?!!!!!!

                      ෆිඩෙල් කැස්ත්‍රෝ කියුබාවේ අනගි වෛද්‍ය සේවය ලෝකෙට ගෙනියන්න හදපු වෑයමේ දී, බොලිවියාවට යවපු 719 න් 30 ක් කියුබන් වෛද්‍යවරු defect වෙලා කියන්නෙ බොලිවියාවේ මාධ්‍යය. වෙනෙසියුලාවේ 15,000 න් 4,000 ක් පැනලා ගියා කියන්නෙ යුනියන් රේඩියෝව. ඒ තම පැන යෑමෙන් තම පවුල් වලට වෙන දුක් කරදර හොඳට දැන දැනත් පැනලා ගිය මිනිස්සු. මේ විස්තර කියෙව්වෙ National Center for Policy Analysis වෙබ් අඩවියෙන්. දැන් කියුබාව කළා වගේම ලංකාවේ ද පැනලා යන මිනිස්සුන්ටත් සිර දඬුවම්.

                      ඔය අවුල් බේරාගන්න බැරිව රටක් කොහාට ද යන්නෙ?!!!!!

                      ඉතින්, මේ ෆොන්ටෙරා ගජබින්නයෙන් ගෙනා කිරිපිටි තහනම විතරක් නෙමෙයි, හැමදාම අක්‍රමික ප්‍රතිපත්ති නිසා පවතින බෙහෙත් හිඟය සහ වෛද්‍ය විද්‍යාව මත නොව ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවන්ගේ ආකල්ප මත හැදෙන ප්‍රතිපත්ති නිසා ඇත්ත නැත්ත දන්න වෛද්‍යවරුන් ලංකාව දාලා යාවි. දැනටමත් වෛද්‍ය විද්‍යාලයෙන් අස්වෙන අය ඇවිත් මෙහෙ විභාගෙ පාස්වෙලා ඇමෙරිකාවේ රස්සාව ලබා ගන්න සමත්. ලංකාවේ දේශපාලනඥයන් රුසියාව එක්ක යාළු වුනාට ලංකාවේ වෛද්‍යවරු රුසියන් වෛද්‍ය විභාගෙ පාස් අයට රටේ සේවයට ඉඩ දෙන්නෙ නැහැ.

                      ඔය අවුල් බේරාගන්න බැරිව රටක් කොහාට ද යන්නෙ?!!!!!!

                      ඒ අස්සෙ මැෂින් අළුත්වැඩියා කරන (එම වෘත්තිය ද ලෝකෙට අවශ්‍ය යැයි ද, එය වෙනත් වෘත්තියකට වඩා අඩු හෝ වැඩි නොවන බව මම තරයේ කියමි) අපේ අටම්පහුර මලයා පශු වෛද්‍යවරයා තමන්ව ඩොක්ටර් යැයි හඳුන්වා ගත්තැයි කියා හිනා වෙනවා!!!!!! ලංකාවේ ඉතින් මොරටුව ඉංජිනේරු පීඨයේ විප්ලව කරමින් ඉඳලා විභාග පාස් වෙච්ච අයෙක් රසායන විද්‍යාව කියද්දී එයා ජාතියේ පියෙක්. ඒත් ලොව පිළිගත් වෘත්තීමය අවසන් වෛද්‍ය උපාධියක් වූ පශු වෛද්‍යවරයාට දැන් ඩොක්ටර් යැයි තමන්ව හඳුනාගන්නත් බැහැ කියන එක ජනමතය වෙලා.

                      ඔය අවුල් බේරාගන්න බැරිව රටක් කොහාට ද යන්නෙ?!!!!!!

                      මාතලන්? ඒ කවුද? 😀  (I have bigger fish to fry!!!)

  3. Gold fish said, on අගෝස්තු 16, 2013 at 11:02 පෙ.ව.

    සිංහලෙන් තියෙන්නේ ඕනේ තරම්. ගොසිප් සයිට්…. ඒවැ තියෙන්නේ ඔය වගේ ඒවනේ…

    • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 12:26 ප.ව.

      Gold fish,

      🙂 කෝකා කෝලා, කිරිපිටි යනාදියේ වසවිෂ කියමින් ගොසිප් සයිට් වල නිව්ස් වලින්, නිව්ස් සයිට් වල ගොසිප් වලින් මිනිස්සු කැමැත්තෙන් බොරු ගිලිනවා.

  4. Sameera said, on අගෝස්තු 16, 2013 at 11:09 පෙ.ව.

    මම ඇවිත් බලලා ගියාට හැමදාම කමෙන්ට් එකක් දාන්න කියලා හිතුවට දාන්නේ නැහැ කවදාවත්ම මම. හේතුව කියන්න නම් දන්නේ නෑ. එත් දාලා තියෙන එක දැක්කම හිතුනා braingames.nationalgeographic.com මේක පෙන්නන්න ඕනේ කියලා. ගිහින්ම බලන්න. මට හිතුන විදියට නම් එක ගොඩක් හොද වැඩසටහනක්.

    • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 12:20 ප.ව.

      Sameera,

      එකතු කළාට ස්තූතියි.

      මේ සටහනේ මම අමුණපු සබැඳි වල තියෙන ඒවා සත්‍ය ලෝකයේ තොරතුරු යැයි හිතාගෙන සිටින මිනිසුන් තුල පවතින නොදන්නාකම පැහැදිලි කිරීමයි.

      ඔයා එකතු කරන සබැඳිය සහ එහි කියන “මොළ ක්‍රීඩා” ගැන ආශ්‍රයෙන් ලියූ මගේ සටහනක්: බොරු කියන්නා හඳුනාගන්න

  5. Alchemiya said, on අගෝස්තු 16, 2013 at 11:22 ප.ව.

    ඔය තිත් නවය ඉරි තුනකින් යා කරන්නෙ කොහොමද ?

  6. amalpasanna said, on අගෝස්තු 17, 2013 at 2:36 පෙ.ව.

    *මේවගේ ‍වැදගත් දෙවල් ගැන සිංහලෙන් ලියල අමතර දැනුම ගන්න තවත් තැන් පෙන්වා දෙනවට බොහෝම ස්තූතියි.

    *ලංකාවෙ අපි පෙට්ටියෙන් බැහැර වෙන්නෙ තවත් පෙට්ටියකට.

    *//බලාගෙන ඉන්න, තව ටික දවසක් යද්දී විකුණන්න බැංකුත් නැතිවේවි// මේක කියුවෙ ලංකාවටද?

    *//දරුවන් මරපු කිරිපිටි// ඔබ හිතන්නෙ චීනය විතරද දරුවන් මැරුවෙ කියල? ඇමරිකාව නියමුවත් රහිත යානාවලින් දරුවන් මැරුව. දැනුත් මරනව. කවුද හොද කවුද නරක කියන්න නෙවේ මට ඕන. චීනෙත් එකයි ඇමරිකාවත් එකයි. මොකද මොන රටේ දරුවොත් දරුවො.

    *//ලංකාවේ ඇමතිවරු// අමතක කරන්න එපා ලංකාවෙ ආර්ථික ඇමතියි ආරක්ෂක ලේකම් දෙන්නම ඇමරිකන් පුරරවැසියො.

    • arunishapiro said, on අගෝස්තු 17, 2013 at 8:10 පෙ.ව.

      amalpasanna,

      //*//බලාගෙන ඉන්න, තව ටික දවසක් යද්දී විකුණන්න බැංකුත් නැතිවේවි// මේක කියුවෙ ලංකාවටද?//
      ඔව්, රටේ ඉඩම් චීන්නුන්ට විකුණලා දැන් මේ තියෙන්නෙ “ආණ්ඩුව කිරි එළදෙන විකිනීමට සැරසේ.”

      //*//දරුවන් මරපු කිරිපිටි// ඔබ හිතන්නෙ චීනය විතරද දරුවන් මැරුවෙ කියල? ඇමරිකාව නියමුවත් රහිත යානාවලින් දරුවන් මැරුව. දැනුත් මරනව. කවුද හොද කවුද නරක කියන්න නෙවේ මට ඕන. චීනෙත් එකයි ඇමරිකාවත් එකයි. මොකද මොන රටේ දරුවොත් දරුවො.// යුද්ධයක් සහ ආහාර නිෂ්පාදනයක් අතර ඇත්තේ එකම පරමාර්ථ නොවන බව වටහා ගැනීමට බැරිවීම ලංකාවේ ත්‍රිපෝෂ සහ අදිහැස බිස්කට් කා හැදුන වැඩුන අයට ද නොහැකි වීම පුදුමයක් නොවේ.

      //*//ලංකාවේ ඇමතිවරු// අමතක කරන්න එපා ලංකාවෙ ආර්ථික ඇමතියි ආරක්ෂක ලේකම් දෙන්නම ඇමරිකන් පුරරවැසියො.// ඒ කියන්නෙ ඉරාකයට, ඇෆගනිස්ථානයට දැන් ඔන්න යෙමෙන් වලටත් පහර දෙන්නෙ ඔය ලංකාවේ ඇමතිලා දෙන්නා කියන එක ද?!!!! 😀

  7. dayal bathee said, on අගෝස්තු 17, 2013 at 2:42 පෙ.ව.

    අපි ඔක්කොම දැනගෙන ඉන්නවයි කියන අපිට
    පෙට්ටිටිය ඇතුලෙ වැජබෙන්න වත් හැංගී සිටින්නටවත් බෑ
    ඔබ වැනි අය ඉන්නකම්;
    සෑමට විටම ඔබ ලියුම් කවරය ට ලොකු ලියුමක් මයි ඔබන්නේ.
    ස්තුතියි
    න්‍යායික හා තොරතුරු බිත්තර කටුව කඩල දාල අපිව එලියට ගන්නවට.

    • arunishapiro said, on අගෝස්තු 17, 2013 at 8:18 පෙ.ව.

      dayal bathee,

      ස්තූතිය සාදරයෙන් පිළිගනිමි!!!

      නොදන්න දේවල් හොයාගෙන දැනුම වැඩි කර ගනිමු හැමදාම තිරිසන් සත්තු වගේ ඉඳලා මැරිලා යන්නෙ නැතිව.

  8. amalpasanna said, on අගෝස්තු 18, 2013 at 8:39 පෙ.ව.

    //ඉරාකයට, ඇෆගනිස්ථානයට දැන් ඔන්න යෙමෙන් වලටත් පහර දෙන්නෙ ඔය ලංකාවේ ඇමතිලා දෙන්නා කියන එක ද?//
    ඒ කියන්නෙ ඔබ පිලිගන්නව ඇමරිකානුවන් කරන දේවල්?
    මොන පරමාර්ථයෙන් කරත් මිනී මැරීම මිනී මැරීමම තමයි කියල ඔබට තේරුම් ගන්න බැරි මොනව කාලද කියල මට කියනවද?

  9. amalpasanna said, on අගෝස්තු 18, 2013 at 10:24 පෙ.ව.

    //කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි//
    අන්න ඔබට මම කියනදේ තේරුන ‘අළු’ පාට තමයි කොහෙත් තියෙන්නෙ.

    ඔබ හිතනවද මම ලංකාවට කඩේ යනව කියල? ඒකනම් ලොකු වැරදීමක්. මම කියන්න උත්සහ කරන්නෙ මේ ලෝකයේ හැම තැනම වෙන්නෙ බලවතා පොඩි එකාව යටත් කර ගැනීම බවයි. වැලිවේරියෙ,කටුනායක,ඉරාකෙ, ඇෆගනිස්ථානෙ උනෙත් දැන් ඔන්න යෙමෙන් වලත් වෙන්න යන්නෙ ඒක.

  10. amalpasanna said, on අගෝස්තු 19, 2013 at 2:52 පෙ.ව.

    එ‍‍නෙම් ඔ‍බේ අදහස ‍‍

    *ලෝකේ කවුරුත් සර්ව සාධාරණ නැහැ’; ‍’
    *ලෝකෙ කවුරුත් සම්පූර්ණයෙන් නිවැරදි නැහැ’; ‘
    *කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා’

    ‍මේව නිකම්ම වැඩක් නැති වචන කියලද?

    “අවංක වැරදීමක්” කලාම නීතියෙන් දඩුවම් නොදී ඉන්නව කියලද?

    • arunishapiro said, on අගෝස්තු 19, 2013 at 7:19 පෙ.ව.

      amalpasanna,

      ඉංග්‍රීසි කියමනක් තියෙනවා, අභ්‍යුපගමනය නොහොත් assume යන වචනය ගැන. When you assume, you make an ass out of u and me. ඒක සිංහලෙන් කියද්දී ඒ තරම් ගැම්මක් නැහැ මොකද පද පෙරලිය එහි නැතිවෙන නිසා. අභ්‍යුපගමනය කිරීමෙන් අපි දෙන්නම මෝඩයෝ වෙනවා කියන්න පුළුවන්.

      තමන් කුඩා පෙට්ටියක හිරවෙලා ඉන්න ගමන් මගේ අදහස කුමක් දැයි අභ්‍යුපගමනය කරන්න උත්සාහ කරන්න යෑමෙන් කිසිම ඵලක් ඔයාට ලැබෙන්නෙ නැහැ.

      මගේ අදහස කුමක් දැයි හොයන්න කාලේ නාස්ති කරන්න එපා. මේ සටහන් වල ලියලා තියෙන ඒවායෙන් ඔයා දරන අදහස් ගැන මෙතෙක් කාලයක් හිතාගෙන හිටිය විදිය අත්හැරලා වෙනත් අළුත් විදියකට හිතන්න පුළුවන් වේ දැයි සොයා බලන්න.

  11. amalpasanna said, on අගෝස්තු 19, 2013 at 10:52 පෙ.ව.

    ඔබේ අදහස් වලින් තමන් කුඩා පෙට්ටියක හිරවෙලා නැහැ කියල හිතනවද?
    උත්තරය නැහැ නම්.
    මම කුඩා පෙට්ටියක හිරවෙලා ඉන්නව කියල ඔබට කියන්න බැහැ මොකද ඔබගේ බ්ලොග් එකේ තියන බොහෝ අදහස් මගේ අදහස් වලට එකඟයි.
    ඒත් මේ ‍වගේ දෙවල්

    *ලෝකේ කවුරුත් සර්ව සාධාරණ නැහැ’; ‍’
    *ලෝකෙ කවුරුත් සම්පූර්ණයෙන් නිවැරදි නැහැ’; ‘

    පිලිනොගැනීම නම් මට එකඟ වෙන්න බැරි දෙවල්. එහෙත් ඔබට ඒවට එකඟ වන ලෙස මම නොකියමි.

  12. Beetle said, on අගෝස්තු 20, 2013 at 2:42 පෙ.ව.

    මේක කියවද්දී කාලෙකට කලින් කියවපු තින්ක් අවුට් ඔෆ් ද බොක්ස් කතාදෙකක් මතක් වුනා.. එකක් කවුරුත් දන්න අභ්‍යාවකාශයේදි ලියන්න පුළුවන් පෑනක් හදන්න උත්සාහාකරද්දී පැන්සල් පාවිච්චි කරන්න කියපු කතාව… අනික වැඩිය ප්‍රසිද්ධ නැති නිසා ලියන්නම්.. මේක ඇත්ත කතාවක්ද දන්නේ නෑ සමහරවිට නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන්…

    එක්තරා සබන් ඇසුරුම් යන්ත්‍රයක ගැටළුවක් තිබිලා තියෙනවා ඇසුරුම අහවරවෙලා බෙල්ට් එක දිගේ එන සමහර සබන්පෙට්ටි වල මේ යන්ත්‍රයේ දෝශයක් හින්දා ඇතුලේ සබන් කැටය නැතුවයි එන්නේ… මේවා ස්වයංක්‍රීයව විශාල ප්‍රවාහන ඇසුරුම් වලට ගබඩාවෙන නිසා ඊට කලින් මේ හිස් පෙට්ටි අදුනගෙන ඒවා බෙල්ට් එකෙන් ඉවත්කරන්න අවශ්‍යවෙලා තියෙනවා… ඉංජිනේරුවන් මේ සඳහා සබන් පෙට්ටියේ ඇතුල නිරීක්ශණය කලහැකි තරංග නිකුත් කරන උපකරණයක් සැලසුම් කරද්දී සාමාන්ය කාර්මික ශිල්පියෙක් විසඳුම විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ බෙල්ට් එක ඉස්සරහින් ෆෑන් එකක් තියන එකයි…

    • arunishapiro said, on අගෝස්තු 21, 2013 at 8:08 පෙ.ව.

      Beetle,

      ජපන් කම්හලක දී ඇහුන කතාවක් හැටියට තමයි සබන් කැට පෙට්ටි කතාව යන්නෙ. ඒත් මූලාශ්‍රයක් කොතැනකවත් හොයාගන්න බැරි නිසා එය කළමනාකරණ පංති වලට උපකාර කරගත් ප්‍රබන්ධයක් ද විය හැකියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: