අරුණි ශපීරෝ‍ වෙතින්

මෙටැලික් මෙටල් පනත: නොදන්න දේවල් ගැන මත ප්‍රකාශය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 17, 2013

800px-Metallica_46

මෙටැලිකා කියන්නෙ ඇමෙරිකාවේ හෙවි මෙටල් වර්ගයේ සංගීත කණ්ඩායමක්. පින්තූරය ඔවුන්ගේ වුවත් එයාල කරන දෙයක් ගැන නම් නෙමෙයි මෙම සටහන. මේ සටහන මෙටැලික් මෙටල් පනත ගැන කරන ලද පර්යේෂණයක් පිළිබඳව.

මෙටැලික් මෙටල් පනත ගැන පර්යේෂණය පැවැත්වූයේ 1947 දී ෂර්මන් සහ මාකෙට් යන දැන්වීම් ආයතනයේ පර්යේෂණ (research) අධ්‍යක්ෂකවරයෙකු වූ සෑම් හිල් විසිනි. එය සමාජයේ සැලකිල්ලට ලක් වී තිබෙන, කොංග්‍රසයේ සලකා බැලීම සඳහා යෝජනා වූ නීති පනතක් යැයි කිව්ව ද, කිසිවෙක් විසින් යෝජනා නොකරන ලද්දකි. එහෙම පනතක් නොතිබිණ.

ඔහු දුරකතනයෙන් සිය පර්යේෂණයට සහභාගී වන අයව අමතයි.

මම කතා කරන්නේ ෂර්මන් සහ මාකෙට් ඒජන්සියෙන්. අපේ පර්යේෂණය සඳහා මම දැනගන්න කැමතියි මෙටැලික් මෙටල් පනත ගැන පහත අදහස් හතරෙන් කොයි එක ද ඔබ දරන මතයට වැඩියෙන් ම ළඟින් යන්නෙ කියලා.
(1) මේක ඇමෙරිකාව ගෙනෙන හොඳ පනතක්
(2) මේක හොඳයි ඒත් ඒ ඒ ප්‍රාන්ත වලට ඒ මෙහෙයුම බාර දිය යුතුයි
(3) මේක විදේශීය රටවල් කළාට කමක් නැහැ, ඒත් මෙහෙ කරන්න අවශ්‍ය නැහැ
(4) කිසිම ඵලක් නැති වැඩක්

මෙහි දී ඔහු සොයාගත් තොරතුරු රැල්ල නොහොත් ටයිඩ් (Tide) නමෙන් වූ වෙළඳ දැන්වීම් පිළිබඳ සඟරාවක පළ කරන ලදි.

ප්‍රශ්නයට මුහුණ දුන් අයගෙන් 70% ක් මතයක් ප්‍රකාශ කරන ලදහ. ටයිඩ් සඟරාව එම පර්යේෂණයට සහභාගී වූයේ කොතරම් සංඛ්‍යාවක් දැයි අනාවරණය නොකළහ. දැන්වීම් ආයතනය ඒ සංඛ්‍යාව සඳහන් කළා දැයි අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි විය. මේ ගැන මම උගත් මනෝවිද්‍යා ගුරුපොත මා ළඟ දැන් නැත.

එම පර්යේෂණයට පිළිතුරු දුන් අයගෙන්, 58.6% ක් ප්‍රාන්ත වලට ඒ මෙහෙයුම බාර දිය යුතු යැයි මත ප්‍රකාශ කළහ. 21.4% ක් මතය දැක්වූයේ එය ඇමෙරිකාව කළ යුතු හොඳ වැඩක් කියාය. 15.7% ක් ඔවුන්ගේ මතය දන්වා සිටියේ විදෙස් රටවල් කළාට කමක් නැහැ ඇමෙරිකාවට අවශ්‍ය නැති බව සහ 4.3% ක් එහි කිසිත් ඵලක් නැති බව තම මතය යැයි කියූහ.

මෙටැලික් මෙටල් පනත නමින් පනතක් නොමැති වුවත් නොමැති දෙයක් ගැන මත ප්‍රකාශ කරන්නට එසේ මිනිසුන් ඉදිරිපත් වූහ.

එම පර්යේෂණයෙන් සෑම් ගිල් පෙන්වා සිටියේ ඇමෙරිකන් සමාජයේ සාමාන්‍ය මිනිසා ලෝකයේ ලොකුම බොරුකාරයා නොවුන ද, යම් විෂයයක් ගැන දන්නවා ද නැද්ද ගැන තකන්නේ නැතිව ඔහු “මතයක්” ප්‍රකාශ කරන්නට නොපැකිළෙන බවයි.

සෑම් ගිල් කළ මෙම පර්යේෂණය මනෝවිද්‍යාව හදාරන සහ විද්‍යාත්මක ක්‍රමවේදයන් හදාරන අයගේ ගුරුපොත් වලට ද එකතු වෙන්නට සමත් විය.

යම් අර්ථයක් ඇතැයි (sensible) මතුපිටින් හැඟෙන යමක් ගැන ඔබ අයෙක් වෙතින් ප්‍රශ්න කරන්නේ ද, එවිට එයා ඔබ කතා කරන්නේ කුමක් ගැන ද යන්න දැන සිටියත් නොදැන සිටියත් ඔබට උත්තරයක් දෙන්නට පෙළඹෙනු ඇත.

මෙය සිද්ධ වන්නට හේතු කිහිපයකි.

පළමුවැන්න අයෙක් යමක් විමසුවාම කුමන හෝ උත්තරයක් දිය යුතු යැයි සිතීමයි.

සමහර විට, ඒ ගැන දන්නේ නැතැයි කියන්නට ඇති ලැජ්ජාව නිසා විය හැකියි.

තවත් සමහර විට, ඒ හා සමාන වූ තවත් ප්‍රශ්නයකට දුන් යුක්ති සහගත වූ පිළිතුරක් සමඟ මෙය ද පටලවා ගැනීම නිසා විය හැකියි.

පසු කාලයක දී වෙනත් පර්යේෂකයන් පෙන්වා දුන්නේ එවැනි මත විමසුම් වල දී “කිසිත් මතයක් නැහැ,” හෝ “දන්නේ නැහැ,” යන තෝරාගැනීම් ඉදිරිපත් කරද්දී පවා නිරර්ථක (nonsense) උත්තර සැපයීම අඩු වූවාට මිනිසුන් සම්පූර්ණයෙන් එයින් වැළකී සිටියේ නැති බවයි.

සමහර මිනිස්සු තම මතය ප්‍රකාශ කරන්නට කැමතියි. දන්න නොදන්නා ඕනෑම දෙයක් ගැන ඔවුන්ට මතයක් ඇත!!!!

සෑම් ගිල් කළ පර්යේෂණය පසු කාලයේ දී “ප්‍රපංචයක් ගැන දැනුමක් නැතිවත් මතයක් ඇති” නොහොත් uninformed opinion phenomenon නමින් අධ්‍යයනය කරන සමාජයීය පර්යේෂණ ක්‍රමවේදයන් හි හදාරන සංකල්පයක් බවට පත්විය. මහජන මත විමසුම් කරන සමාජයීය පර්යේෂණ වල දී ගොතන ලද ප්‍රශ්න තුලින් නිරර්ථක ප්‍රතිචාර දෙන්නට පොළඹවන හැදියාව එහි අධ්‍යයනයට ලක්වේ.

බොරු ප්‍රචාරයන් වලට අහුවෙන අය බොරු වංචාවන් වලට ද පහසුවෙන් හසුවෙති.

2006 දී එක්සත් රාජධානියේ Office of Fair Trading (OFT) නම් ආණ්ඩුවේ ආයතනයක් එරටේ පාරිභෝගිකයන් බොරු වංචාවන්ට (scam) හසුවීම ගැන සොයා බැලූහ. වංචාව ගැන මනෝවිද්‍යාව: වැරදි තීරණ ගැනීමට පොළඹවීම සහ බඳවා ගැනීම The Psychology of Scams: Provoking and committing errors of judgment නම් අධ්‍යයනයෙන් ඔවුන් විමසුවේ බ්‍රිතාන්‍ය වැඩිහිටියන් අතර මිලියන 3.2 ක පිරිසක් වාර්ෂිකව පවුම් බිලියන 3.5 ක් (ඩොලර් බිලියන 5.4 ක්) වංචාකරුවන්ට පූජා කරන්නේ මන්දැයි කියාය.

තමන් වංචාවකට හසුවුන බව පවුලේ අයගෙන් සහ ඥාතීන් වෙතින් සඟවා තබාගන්නා අය බහුල වශයෙන් සිටින බව පර්යේෂකයන්ට දැන ගන්නට ලැබිණ. හරියට තමන්ගේ මනසේ කොහේදෝ තැනක තමන් නියැළෙන ක්‍රියාව අඥාන වූවක් යැයි ඔවුන් දැන සිටිය දී අයෙක් හා එය පැවසුවේ නම් ඔවුන් එය තහවුරු කරන්නට හැකියාව තිබුණ නිසාය. යම් ප්‍රමාණයකට ඔවුන් තමන්ගේම යථාර්ථවාදී (rational) බවෙන් ද එය සඟවන ලදි.

සාමාන්‍යයෙන් නොදකින ලද තවත් පැත්තක් වූයේ, මේ හොර බොරු වංචා වලට හසු වූ උපහටයන් (victims) ඒ වංචාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් සාමාන්‍ය අයෙකුට වඩා වැඩියෙන් පසුබිම් දැනුමකින් ද යුතු වූ බවයි. කොටස් වෙළඳපොලේ සෙල්ලම් කරන්න තමන් දන්නවා යැයි හිතන, ඒ ගැන දැනුමක් ඇති අය අතර වැඩියෙන් ම එහි දී වංචාවන්ට හසුවෙන අය සිටිති!!!!!

එසේම, වැඩියෙන් උපලබ්ධි උත්සාහයක් (cognitive effort) යොදා ඒ ගැන විශ්ලේශණය කරන්නට හැකියාව, වංචාවන්ට හසු නොවන ලද අයට වඩා වංචාවන්ට හසු වූ උපහටයන් තුලින් දැකගන්නට ලැබීම ඔවුන් අපේක්ෂා කරන ලද්දක් නොවීය.

සමහර උපහටයන් වංචාව දිහා බැලුවේ වැඩි-හව්මාවක් (long-odds) ලැබෙන සූදුවක් හැටියට ය. එම වාසිය ලැබෙනවා කියන ක්‍රමයේ කුමක් හෝ වරදක් ඇතැයි ඔවුන්ට හැඟීමක් තිබුණ ද, වාසියේ මහත් විශාලත්වය නිසා අත්හරින්නට වෙන සොච්චම ගැන නොසලකා හැර ඔවුන් එය බාරගන්නට පෙළඹුනහ.

ඒත් ඉතින් රටේ වැසියන් රවටන දේශපාලනඥයන් නිසා වාර්ෂිකව කොච්චර මුදලක් රටේ වැසියන් පූජා කරනවා දැයි හොයන අධ්‍යයන නම් කිසිම රටක ආණ්ඩුවේ ආයතනයකින් සිද්ධ නොවේවි!!!!!!!!!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Yasiru said, on අගෝස්තු 18, 2013 at 1:11 පෙ.ව.

    niyamai aruni shapiro


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: