අරුණි ශපීරෝ‍ වෙතින්

සිතිවිලි පර්යේෂණයක් කරපු භෞතික විද්‍යාඥයෙක්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 19, 2013

Erwin's 126th birthday google doodle

සමහර අයට පෙට්ටියෙන් බැහැරව හිතන්න බැහැ. ඒත් හිතන්න පුළුවන් ශ්‍රේෂ්ඨයෙක් පෙට්ටියෙන් බැහැරව හිතලා පෙට්ටියක් ඇතුලට පූසෙක් දැම්මා!!!!

ඒක සිතිවිලි පර්යේෂණයක් නොහොත් මානසික ආභාසයක් නොහොත් හිතෙන් ගවේෂණය කරන්නක්. පින්තූරය ගූගල් අඩවිය විසින් ඒ ශ්‍රේෂ්ඨයාගේ 126 වැනි ජන්ම දිනය සමරන්නට දාපු ඩූඩල් එක.

විසිවැනි සියවසේ භෞතික විද්‍යාඥයන්ට එතෙක් හඳුනා නොගත් විරුද්ධාභාසයක් දකින්නට හැකිවිණ. ලයිට් ෆොටොන්, එය පර්යේෂණයේ දී නිරීක්ෂණය කරන ආකාරය අනුව සමහර විට එක දිගට කෙළින් ගහපු ඉරක් හැටියටත් (අණුවක් -particle- එකක් විදියට) තවත් සමහර විට එය තරංග ආකාරයකින් (ද්යෝලන ලතාවකට -oscillating pattern) ගමන් කරන බව ඔවුන්ට දැනගන්නට ලැබුණි.

භෞතික විද්‍යාඥයන් මුහුණ දුන්නෙ යමක් එක අවස්ථාවක දී ම තරංගයක් සහ අණුවක් යන දෙකම වෙන්නෙ කොහොම ද යැයි විරුද්ධාභාසයට (paradox).

1935 දී ඔස්ට්‍රියන් භෞතික විද්‍යාඥයෙක් වූ අර්වින් ශ්‍රෝඩින්ගර් හිතන පර්යේෂණයක් ඉදිරිපත් කළේය. තමා සිතුවිලි පර්යේෂණ පිළිබඳ පරිණත පුද්ගලයෙක් බව අර්වින් ශ්‍රෝඩින්ගර් පෙන්වූයේ පෙට්ටියට බැහැරව සහ විරුද්ධාභාසය ඇතුලත හිතන්නට සමත් වීමෙන්.

ශ්රොඩින්ගර් පූසා ගැන මම ලියූ සටහන මෙතැන. එහි මම ලියලා තියෙන මුල්ම වාක්‍යය දැක්කම නම් මට හිනා ගියා!!!! 😀

ඒක සිතුවිලි පර්යේෂණයක් (thought experiment) වුනාට ඒක කරන්න 1938 දී උත්සාහ කරපු අයෙක් තමයි Ettore Majorana.

එත්තොරේ මායෝරානා* කියන්නෙ අනික් මිනිසුන්ව ආශ්‍රය කරන්න වැඩිය කැමති නැති කෙනෙක්. හුදකලා විද්‍යාඥයා යන හැඳින්වීමට කදිමට ගැලපෙන අයෙක්.

1938 මාර්තු 25 වැනි දා ඔහු වයස 31 දී ඉතාලියේ පලේමෝ සිට නේප්ල්ස් නගරය දක්වා යන බත්තලකට (ferry) නඟිනවා. එයා ඒකෙන් බහින්නෙ නැහැ. කවදාවත් කාටවත් සොයාගන්න බැරිවෙන්න ඔහු අතුරුදහන් වෙනවා.

ඔහු ගුරු තනතුරක් දැරූ නේපල්ස් හි භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා වූ ඇන්ටෝනියෝ කරෙලිට ලියුම් සහ ටෙලිග්‍රෑම් යවන්නෙ ගමන යන්න කළින්.

මුලින් යවන්නෙ ලියුමක්. එහි ඔහු කියා සිටින්නේ වැළැක්විය නොහැකි වූ තීරණයක් අනුව තමන් අතුරුදහන් වෙන්න අදහස් කරල තියෙන බව. මේ නිසා සිද්ධ වෙන කරදරය ගැන සමාව අයදින බවත් එහි සඳහන්.

එහෙත් ඒකට පස්සෙ, හිත වෙනස් කරගෙන වගේ, ඒ අධ්‍යක්ෂකවරයා වෙත ඔහු මෙවර ටෙලිග්‍රෑම් එකක් එවනවා. එහි කියන්නෙ පළමු ලිපිය නොසලකා හරින්න කියා.

ඊ ළඟට ඔහු තවත් ලියුමක් යවනවා. එහි කියන්නෙ: “ප්‍රිය කරෙලි, ඔබට මම එවපු ලියුමත් ටෙලිග්‍රෑම් එකත් දෙකම එකවර ලැබෙන්න ඇති. මුහුද මාව ප්‍රතික්ෂේප කළා. මම හෙට ආපහු එනවා බොලොනා හෝටලයට, සමහර විට මේ ලියුමත් අරන්.”

ලියුම් සහ ටෙලිග්‍රෑම් ලැබුණට ඔහු පැමිණියේ නැහැ. දවස්, සති, මාස, අවුරුදු ගෙවිලා ගිහින් අවසානයේ තරුණ භෞතික විද්‍යාඥයා මුහුදට පැනලා දිවිනසා ගත්තා කියන එක බහුතර මතය බවට පත්වුනා.

ඒත් ඔහු මුහුදට පනිනවා කිසිවෙක් දැකලා නැහැ. ඔහුගේ මළකඳ කිසිවෙකුට හමුවූයේ නැහැ. ඔහු ජීවත්ව සිටිනවා යැයි කිසිවෙක් සොයාගත්තේ ද නැහැ.

සමහරු කිව්වෙ ඔහුව නාට්සි මරලා දාන්න ඇති කියල. සමහරු කිව්වෙ ඔහු වනගත ආශ්‍රමයකට ගිහින් කියල. තවත් සමහරු කිව්වෙ ඔහු ආර්ජන්ටීනාවේ ජීවත්වෙන්න ගියා කියල.

2006 දී භෞතික න්‍යාය හදාරන Oleg Zaslavskii තමයි මායොරානාගේ අතුරුදහන් වීම සහ ශ්‍රෝඩින්ගර් පූසා චින්තන පර්යේෂණය අතර සම්බන්ධයක් හොයා ගන්නෙ.

මායොරානාගේ මරණය ගැන හොයන අයට ඇත්තේ තෝරාගැනීම් දෙකක්: එක්කො ඔහු මුහුදට පැනලා මැරුණ, නැත්නම් ඔහු නේපල්ස්වල දී බත්තලෙන් බැහලා කොහේ හරි තැනක හැංගිලා ජීවිතය ගෙවන්න ගියා. තවත් විදියකට කිව්වොත් මේක හරියට ලයිට් ෆොටොන් එකකට තත්වයන් දෙකක් තියෙන්න හැකියාව වගෙයි. එක්කො මායොරානා මුහුදෙ රැල්ලට වැටුන, නැත්නම් ඔහු කෙළින් ඉරක ගෙදර ගියා.

මේක ගැන පහදන සැස්ලැව්ස්කි මායොරානා යැවූ ලියුම් සහ ටෙලිග්‍රෑම් සලකා බලන්නට යැයි ආරාධනා කරනවා. මුලින්ම මායොරානා ලියුමක් යවන්නෙ එයා අතුරුදහන් වෙන්න තීරණය කළා කියල. ඊට පස්සෙ හිත වෙනස් කළා කියන ටෙලිග්‍රෑම් එක යවනවා. අන්තිම ලියුමේ එයා බලාපොරොත්තු වෙන්නෙ භෞතික විද්‍යාඥයෙක් වූ කැරලි විසින් අවස්ථා දෙකම එක විටම විය හැකි යැයි අවබෝධ කරගත්තාය යන්නයි. සැස්ලැව්ස්කි පෙන්වන්නේ විය හැකි අවස්ථාවන් දෙකක් එකවර පෙන්වීමෙන් අධ්‍යක්ෂකවරයාට ප්‍රතිවිරුද්ධ විකල්පයන් දෙකක් එකවර දෙන්නට මායොරානා සමත් වූ බවයි.

ඉතින් ශ්‍රෝඩින්ගර් පූසා ලෙසින්, මයෝරානා ද තමන්ව ගෙන ගියේ එකවරම එක්කෝ මිය යන ලද නැත්නම් ජීවත්වෙන යන දෙකම විය හැකි සුපිරි තත්වයකටයි.

ඒත් බොහෝ අයට අමතක වෙන්නෙ මේ දෙකම සිතුවිලි පර්යේෂණ බව!!!!!

අපි කොහොම ද දැනගන්නෙ යන්න විභාග වෙන්නෙ දාර්ශනික ක්ෂේත්‍රයක් වූ ඥානවිභාගය කියන පරිශ්‍රය ඇතුලේ. The Magic of Reality: How We Know What’s Really True කියන රිචඩ් ඩාව්කින්ස් ලියූ “ඇත්තක අරුමය,” නමින් සිංහලට පරිවර්තන වූ පොතේ “සත්‍යය කුමක්දැයි ඇත්තටම අපි දැනගන්නේ කොහොම ද?” යන්න දාර්ශනිකයන්ගේ ඥානවිභාගය නොහොත් epistemology = Theory of Knowledge ක්ෂේත්‍රයේ කාර්ය භාරයයි.

නොදන්න දේවල් ගැන කතා කරන අය බොහොමයක් ඉන්න ලෝකයක, මේ කාලේ තමන් නොදන්න දෙයක් තියෙනවා නම් (රසායන සහ කිරිපිටි ගැන වගේ) අන්තර්ජාලයෙන් හොයාගෙන එන්නත් පුළුවන්කම තියෙද්දී, ඩාව්කින්ස් නම් විශ්ව විද්‍යාල ගණනාවකින් ගෞරවනීය උපාධි සම්භාරයක් පුදනු ලැබූ මහත් ලෝක ජනතාවක් ආගම් අදහන්නට එපා යැයි රවටන්නට සමත් වූ වෘත්තියෙන් පරිනාමවාදී විද්‍යාඥයා ඥානවිභාග ක්ෂේත්‍රය ගැන පැහැදිලි කරන්නට යන්නේ ඥානවිභාගය ගැන නොදැන.

සිතිවිලි පර්යේෂණ වල යෙදීමට ශ්‍රෝඩින්ගර් වැන්නෙක් සමත් වූවාට සෑම විද්‍යාඥයෙක්ටම ලෙහෙසි පහසු වූවක් නෙමෙයි. ඒකටයි දාර්ශනිකයන් ඉන්නෙ. 😀

ඇත්තක අරුමය විමසන්නට පටන් ගත් ගමනේ ඉතිරිය ඉදිරි සටහන් වලින්.

*Alex Boese ලියූ Electrified Sheep (2011) පොත ඇසුරිනි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on අගෝස්තු 19, 2013 at 10:55 පෙ.ව.

    පෙට්ටියෙන් බැහැරව පෙට්ටිය දෙස බැලීම, මගෙන් බැහැරව මම දෙස බැලීම – සිතිවිලි පර්යේෂණ- මම හදාගත්තු පෙට්ටිය, මම කියලා හදුන්වන මගෙන් බැහැර වීම – දෙකම එකක් ලෙස මම දකින්නේ. අවසානෙ මමත් නැහැ කියන්නා වගේ පෙට්ටියකුත් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් අපි කාටත් මම නැහැ, කියාගෙන ප්‍රත්‍යක්ෂයක ඉන්න පුළුවන් වෙන්නෙත් නැහැ. අනෙක මම ඉන්න පෙට්ටියෙන් මම බැහැර වෙන්නෙ උඩින් යටින් හෝ පැත්තකින් වෙන්නත් පුළුවන්. ඒ බැහැර වීමත් එක්ක පෙට්ටිය පෙනෙන්නෙත් උඩින් යටින් හරහින් වෙන්නත් පුළුවන්. අනුන්ගේ පෙට්ටි වට පිට දකින අතරේ මගේ පෙට්ටගමේ හතර අත ගැන ඒ අනුසාරයෙනුත් අවබෝධයක් ගන්න එක පෙට්ටි කඩා බිද ගෙන එළියට යන්න පළමුව තේරුම් ගන්න එක වටිනව කියල මට හිතෙන්නේ.. 🙂 සමහරු පෙට්ටි කඩා ගන්නව, නමුත් පෙට්ටිය ගැනවත් කඩා ගෙන බැහැරට යාමේවත් ඵලයක් අත්විදින්න තරමේ සංයමයක්, ඉවසීමක් නැහැ. මම හිතන්නේ පෙට්ටියෙන් බැහැරව හිතන්නත් යම් සංයමයක් අවශ්‍යයි. ඵලක් නැති පර්යේෂණ මොකටද? හිතිවිලි පර්යේෂණය තියරිමය නොවන සාමාන්‍ය විග්‍රහයේ මා දකින්නේ ඒ විදිහටයි

  2. hallow rusta said, on අගෝස්තු 21, 2013 at 10:17 පෙ.ව.

    -මනෝ පුබ්බංගමා ධම්මා…- හොදට නරකට මෙන්ම පැවැත්මටත් සිත..මම නොසිතත් නම් මම නොපවතිත්ද? පැවැත්ම මෙන්ම නැවැත්මත් සිත සතු නොවෙද. ඒ අරුතින්ම මම සිතන නිසා පැවතීම යනු මගේ පෙට්ටිය නොවේද?

    • arunishapiro said, on අගෝස්තු 21, 2013 at 11:21 පෙ.ව.

      hallow rusta,

      ඔව්!

      සිතන්නෙ නැතිව ඉන්න ට්‍රයි කරලා තියෙනවා ද?!!! මම හරියට උත්සාහ කරලා තියෙනවා .. ඒත් එකම එක අවස්ථාවක දී හිතන සිතුවිලි මොනවාදැයි නොදන්නා අවස්ථාවක් මට අත්දකින්න ලැබුණා. ඒ පැය එකහමාරක් දෙකක් විතර ගෙවිච්ච ඉතාමත් තියුණු ටෙනිස් තරඟයක දී. ඒ තත්වයට මෙහෙ කියන්නෙ in the zone කියලා .. ඒ අදහස දැනගෙන හිටියට ඒ කුමක් දැයි එතෙක් අත්විඳලා තිබ්බෙ නැහැ. තරඟය තව තවත් තියුණු වෙද්දී දිනුම ලබාගන්න බෝලයට ගහන්නේ කොහොමදැයි සිතන එක නවත්තලා පුහුණුවට සම්පූර්ණයෙන් වැඩ බාර දීලා හිත අයින් වුනේ මටත් නොකියාම වගේ මොකද එය ‘මම’ උවමනාවකින් ගත්තු තීරණයක් නෙමෙයි. එහෙම තරඟ කරන බව වැටහිච්ච අවස්ථාවේ දී එය සම්පූර්ණයෙන් රසවිඳින්න මතකයේ රඳවා ගත්තා. තරඟය දිනුම්! හැබැයි දිනුමට වඩා සතුටක් ලැබෙන්නේ අර සිතුවිලි වලින් තොර වූ කෙටි කාලයේ අත්දැකීම මතක් කරන කරන හැම අවස්ථාවක දී ම. එදායින් පස්සෙ අද වෙනතුරු තාම එය නැවත අත්විඳින්න ලැබිලා නැහැ.

  3. hallow rusta said, on අගෝස්තු 21, 2013 at 1:22 ප.ව.

    මම සිතන නිසා මම පවතිනවා වගේම මම නොසිතුවත් හේතු-ඵල සබදතාව පවතින බැවින් අලුතෙන් සිතිවිලි උපදවා නොගන්නා අවස්ථාවක උපරිම මානසික ඒකාග්‍රථාවයක් පවතින්නේ නම් ඒ ඒකාග්‍ර බව දිශාගතවූ අරමුණෙහි හේතු-ළුල සබදතාව තුළ අපි පැහැදිලිව ජීවත් වන බව දැනීමක් නොවෙද එය. මට සිතෙන්නේ එලෙසයි,  ඔබදු අද්දැකීම් අප කාටත් ජීවිතයේ ලැබී තිබෙනවා වුවත් එය පැහැදිලි අවබෝධයකින් මනසේ රැදෙන්නේ හා විග්‍රහකොට ගන්නේ කලාතුරකින් අවස්ථාවක එහෙමත් කෙනෙකු නිසා අපිට පෙට්ටියෙන් මිදී හැමදා ඉන්න ලැබෙන්නේ නැහැ නිතැතින්.‍ නමුත් මටත් හොරෙන් මගේ සිතෙන් මම පෙට්ටිය හැර යනවා විටින් විට, එය දැනගෙන කරන්න පුළුවන් නම්, අවබෝධයෙන් කරන්න පුලුවන් නම්, නිවැරදි දිශාවකට නිවැරදි අරමුණක් ඇතිව කරන්න පුළුවන් නම්,, අභ්‍යාසයකින් ශරීරය වගේම මනස හදා ගන්නත් (මනසේ හැසිරවීම) පුළුවන් නේද? පෙට්ටියෙන් බැහැර වෙන්න කලින් හදාරන්නත් , විමසා බලන්නත් දේවල් බොහොමයක් ඇති බවයි මගේ හැගීම, එහෙම නොවෙන විලසින් පෙට්ටියෙන් බැහැරව සිතීම යනු වඩා‍ ලොකු පෙට්ටියකට ගොඩ වීමක් පමණක් වනවා නොවෙද..එය මරණය සතියකින් කල් දමා ගැනීමක් මිස පෙට්ටියෙන් බැහැර වීමක් නම් නොවෙනවාමය- ඒ මගේ අදහසයි, තවදුරටත්.. 🙂

    • arunishapiro said, on අගෝස්තු 22, 2013 at 7:50 පෙ.ව.

      hallow rusta,

      //නිවැරදි දිශාවකට නිවැරදි අරමුණක් ඇතිව කරන්න පුළුවන් නම්,, අභ්‍යාසයකින් ශරීරය වගේම මනස හදා ගන්නත් (මනසේ හැසිරවීම) පුළුවන් නේද? //

      ඔව්. මෙය නේද මිනිසාට අත්‍යාවශ්‍ය වූව තිරිසන් සතුන් මෙන් සිට මිය යෑම වෙනුවට මිනිසෙක් ලෙසට ජීවිතය ගෙවීමට? මරණය කල් දැමීමට විද්‍යාවේ දියුණුව නිසා හැකි වුවාට මිනිසා ජීවත්වෙන කාලයේ අනගිත්වය තීරණය කරන හැකියාව ඇත්තේ ඒ ජීවත්වෙන ඒකීය මිනිසාට පමණයි. ඒත් පුරාතනයේ සිට පැවත එන බහුතරයක හැදියාව අනුන්ගේ ජීවිත වල අනගිත්වය තීරණයට යෑමයි. අන්න ඒ පෙට්ටියෙන් තමයි අපි ඉවත්වෙලා මිනිස්සුන්ට නිදහසක් ලබා දෙන්නට ඕනෑ.

      රිචඩ් ඩාව්කින්ස් පරිනාමය වී නැතැයි මා කියන්නේ ඔහු ද විද්‍යාවේ අනගිත්වය පහදා දෙමින් මිනිසාගේ අනගිත්වය ඔවුන් වෙනුවෙන් තීරණය කරන්නට දන්නවා යැයි සිතීම නිසයි.

  4. සමන් said, on අගෝස්තු 23, 2013 at 7:29 පෙ.ව.

    //ඉතින් ශ්‍රෝඩින්ගර් පූසා ලෙසින්, මයෝරානා ද තමන්ව ගෙන ගියේ එකවරම එක්කෝ මිය යන ලද නැත්නම් ජීවත්වෙන යන දෙකම විය හැකි සුපිරි තත්වයකටයි.//
    සුපිරි තත්වය නැතිවන්නේ- ඔහු ගේ මල සිරුර හෝ ඔහු සැබවින්ම නැවත ආ දවසටයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: