අරුණි ශපීරෝ‍ වෙතින්

විශ්වයේ නිර්මාණකරුවා ගැන රිචඩ් ඩාව්කින්ස් විමසුම

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 20, 2013

ප්‍රබුද්ධ විද්‍යාඥයෙක් ලෙසින් නම් දරන රිචඩ් ඩාව්කින්ස් යනු විද්‍යාවේ නාමයෙන් නොකළ යුතු බොහොමයක් කරන ලද්දෙකි. කළින් සටහනක දී කියූ පරිදි විද්‍යාඥයා යනු පවතින සංකල්පයක් තමනට උවමනා හැටියට නිර්වචනය කර නොගනියි. සමාජයට ලැජ්ජා උපදවන ආකාරයකින් අවංක නොවන හැසිරීමකින් යුතු නොවෙයි. දන්නා දේවල් සඟවන්නේ නැත. දැන සිටිය යුතු දේවල් නොදැන ඉන්නේ ද නැත. එසේම සත්‍යයෙන් පවතින තත්වයක් තමනට පෙන්වන්නට උවමනා පරිදි වරදවා විස්තර කරන්නේ ද නැත.

රිචඩ් ඩාව්කින්ස් විසින් ලොවට දායාද කළ වැදගත් ජීව, සත්ව, සහ පරිනාම විද්‍යාත්මක තොරතුරු ගැන නොව, මේ නිර්මාණාත්මක ගුණදොස් පෙන්වන සෙසු විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් වෙහෙස වන්නේ ඔහු දන්න විද්‍යාව බැහැර දා එතැනින් එපිටතකින් වූ නොදන්නා දේ ගැන, නැතහොත් ආගම කතා කිරීමට යෑමේ දී කරන ලද වැරදි ගැන පහදන්නයි.

දෙවියන්ගේ මුලාව පොත ලියමින් තමන් ගෙනෙන ප්‍රධාන තර්කය යැයි ඔහු ඉදිරිපත් කරන ලද්ද තර්කානුකූල සත්‍යයක් නොවේ යැයි පෙන්වා දෙන්නේ විලියම් ලේන් ක්‍රෙග් (William Lane Craig) විසින් මේ ආකාරයටයි.

ඩාව්කින්ස්ගේ තර්කය ඔහු මෙසේ ගොඩනඟයි:
1. මිනිස් බුද්ධියට ඇති වැදගත්ම අභියෝග අතරින් එකක් වනුයේ විශ්වයේ නිර්මාණයක් සේ පෙනෙන සංකීර්ණ, අසම්භාවී (improbable) තත්වය හටගත්තේ කෙසේදැයි විස්තර කිරීමයි.
2. ස්වභාවික ප්‍රලෝහනය (temptation) වනුයේ මේ විශ්වයේ නිර්මාණයක් සේ පෙනෙන්න පවතින එවැන්නකට ආරෝපණය කිරීමයි.
3. මේ ප්‍රලෝහනය යනු අසත්‍යය වූවකි. මන්ද නිර්මාණ උපන්‍යාසය නිසා හටගන්නා විශාල ගැටළුව නම් නිර්මාණය කළේ කවුද යන්නයි.
4. වඩාත්ම විචක්ෂණ ලෙසින් සහ බලවත් ලෙසින්, ඩාවින් විසින් ස්වභාවික වරණයෙන් පරිනාමය පැහැදිලි කරන ලදි.
5. අපිට භෞතික විද්‍යාවෙන් ඒ හා සමාන පැහැදිලි කිරීමක් ලැබී නැත.
6. ජීවවිද්‍යාවේ ඩාවින්වාදය සේ බලවත් වූවක්, එයට වඩා හොඳ පැහැදිලි කිරීමක් භෞතික විද්‍යාවෙන් නොලැබේය යන බලාපොරොත්තුව අප අත්හැර නොගත යුතුය.
ඉතින් ඒ නිසා, දෙවියන් බොහෝ දුරට පැහැදිලිවම පවතින්නේ නැත.

මුල් වාක්‍යය හයෙන් අවසාන නිගමනයට පිවිස නැති බව වටහා ගන්නට අයෙක් දාර්ශනිකයෙකු විය යුතු නොවන බව ක්‍රෙග් විසින් පෙන්වා දෙයි. තර්ක ශාස්ත්‍රයේ කිසිම අනුමේයය රීති පද්ධතියකින් ඉහත වාක්‍යය හයෙන් ඒ නිගමනයට එන්නට හැකියාවක් නැත.

ඩාව්කින්ස්ට අනුකම්පා කරමින්, ඒ හය ප්‍රස්තුත (premises) හැටියට නොගෙන වාක්‍යයන් (statements) හැටියට ගත්ත ද, ඒ එක එක වාක්‍යය සත්‍යය සහ යුක්ති සහගත වූයේ යැයි ගෙන සලකා බැලුව ද, නිගමනය ලැබී ඇත්තේ හෝ තවත් විදියකින් කිව්වොත් ඩාව්කින්ස් නිගමනය කරා එළඹ ඇත්තේ ඔහු ගෙනෙන තර්කවේදයට අනුව නොව ඒ වාක්‍ය/ප්‍රස්තුත වලට සම්පූර්ණයෙන් පරිබාහිරවයි.

විශ්වයේ සැලැස්මක් ඇතැයි පෙනෙන නිසා පමණින් අපිට දෙවියන්ගේ පැවැත්මක් අනුමාන කරන්නට නොහැකියි යන්න ඩාව්කින්ස් ගෙනෙන තර්කය සේ ඒ වාක්‍යයන් හයෙන් පෙන්වා දිය හැකියි. එහෙත් ක්‍රෙග් පෙන්වා දෙන්නේ දෙවියන් ඉන්නවා යැයි මතයක් දරන අය අතර ඒ අදහස දැනටමත් පිළිගෙන තිබෙන්නක් බවයි. එතැන නොගැලපීමක් නැත. යමක් පෙනෙන පමණින් එහි පැවැත්මක් ඇතැයි අනුමාන කරන්නට නොහැකියි. ආගමික ධර්මය හදාරන ක්‍රිස්තියානුවන් අතර දෙවියන්ගේ පැවැත්ම වෙනුවෙන් ගෙනෙන තර්ක ප්‍රතික්ෂේප කරන ලද අය සිටිය ද ඔවුන් අදේවවාදීන් වී නැතැයි ක්‍රෙග් සඳහන් කරයි.

ඩාව්කින්ස්ගේ තෙවැනි පියවර කියන්නේ, විශ්වයේ සංකීර්ණ පද්ධතිය (complex order of the universe) යනු නිර්මාණය කරන ලද්දක් යන්න හොඳම පැහැදිලි කිරීම වෙද්දී නව ගැටළුව නම් කවුද නිර්මාණය නිර්මාණය කළේ යන්නයි. එහි දුර්වලතා දෙකක් ක්‍රෙග් මෙසේ පෙන්වා දෙයි.

පළමුවැන්න නම්, යම් පැහැදිලි කිරීමක් හොඳ යැයි පිළිගන්නට පැහැදිලි කිරීම ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බවයි.

විද්‍යාවේ දර්ශනය හැදැරීමේ දී අනුමේයය ගැන මූලික වූ කරුණකි. උදාහරණයක් හැටියට, පුරාවිද්‍යාඥයන් පොළවේ කැනීම් කරද්දී හමුවෙන ඊතල තුඩු සහ කැති පොරවා වැනි ආම්පන්න ඉදිරියේ දී, ඒවා මණ්ඩි බැස්මක (sedimentation) හෝ විපරිතතාවයක (metamorphosis) ප්‍රතිඵලයක් නොව, ඒ මිනිස්සු කවුදැයි හෝ කොහෙන් ආවා දැයි පැහැදිලි කිරීම් නොමැතිව තිබිය දී, ඒවා හඳුනා නොගත් මිනිස් කණ්ඩායමක් විසින් කරන ලද නිෂ්පාදන බව අනුමේයය කරනු ලබයි. එසේම, හඳට යන ගගනගාමීන්ට එහි ඔවුන් නොගිය පැත්තේ යම් යාන්ත්‍රික උපකරණ තිබෙනවා දකින්නට ලැබුනොත් ඒවා යම් බුද්ධිමත් පිටසක්වල වැසියන් විසින් ගෙනැත් දමන ලද දේවල් බව අනුමේයය කරනු ඇත. එහි දී ඒ පිටසක්වල වැසියන් කවුද යන්න සහ ඔවුන් හඳට ආවේ කෙසේද යන්න ගැන කිසිත් අදහසක් නැතිවූවාට ඒ අනුමේයය කරත හැකියි.

එම උදාහරණ වලින් ක්‍රෙග් පෙන්වා දෙන්නේ පැහැදිලි කිරීමක් හොඳින් වටහා ගන්නට අයෙක් පැහැදිලි කිරීම පැහැදිලි කරන්නට අවශ්‍ය නැති බවයි. එහෙම අවශ්‍යතාවයක් වූයේ නම් සිද්ධ වන්නේ පැහැදිලි කිරිම් තුලින් අනන්තයක් කරා දිව ගොස්, අවසානයේ කිසිවක් පැහැදිලි කරගන්නට බැරිව විද්‍යාව විනාශ වන බව ක්‍රෙග් පෙන්වයි.

දෙවැනි කරුණක් පැහැදිලි කරන ක්‍රෙග්, විශ්වයේ සැලසුම නිර්මාණයට සමත් වූ දිව්‍යමය නිර්මාණකරුවා එයින් පැහැදිලි කෙරෙන නිර්මාණය තරම්ම සංකීර්ණ වූ නිසා පැහැදිලි කිරීම් වල ප්‍රගතියක් සිද්ධ වූයේ නැතැයි ඩාව්කින්ස් හිතන බව කියයි. ඒ නිසා ඩාව්කින්ස් මූලික වැරද්ද කරන ලද්දේ දේවමය නිර්මාණකරුවා යනු විශ්වයේ සංකීර්ණත්වය සමඟ සම්පූර්ණයෙන්ම සසඳන්නට හැකිවූවෙක් යැයි අභ්‍යුපගමනය කිරීම නිසා යැයි ක්‍රෙග් කියයි. මනසේ ඇතිවන අදහස් සංකීර්ණ වුවත් මනස යනු ඉතා සරල වූ භාවයක් බව පැහැදිලි කරන ක්‍රෙග් මනස සහ මනසේ සිතුවිලි යන සංදර්භයන් දෙක ඩාව්කින්ස් විසින් පටලවා ගෙන ඇතැයි පෙන්වයි.

සංකීර්ණ පද්ධති ගැන විද්‍යාත්මක විවරණයක් ඇති විඩියෝවක් පහත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: