අරුණි ශපීරෝ‍ වෙතින්

පාන් නැත්නම් කේක් සහ එළකිරි නැත්නම් එළුකිරි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 22, 2013

IMG_0313

ඇමෙරිකාවේ එළකිරි පිටිකිරි විතරක් නෙමෙයි එළුකිරි පිටිකිරි ද වෙළඳසැලෙන් ගන්න හැකියි. මේ පින්තූරේ තියන්නෙ කඩේ විකුණන එළුකිරි පිටිකිරි ටින් එකක්. මගෙ තුච්ඡ දිවට දැනෙන රහෙන් කියන්න පුළුවන් එළුදෙනක් දුන්න කිරි තමයි මේ එළදෙනක් දුන්න කිරි නොවන බව. සමහර අයට එහෙම වෙනසක් දැනෙන්නෙ නැතිලු. ඒත් පොල්කිරි හිතට හරි ගියේ නැති මට ඒකත් ඇල්ලුවේ නැහැ. මගේ දිවට දැනෙන විදිය මට සත්‍යයක් වෙනවා වගේ ම අනික් අයට එයාලගෙ දිවට දැනෙන ආකාරය ඒ අයටත් සත්‍යයක්.

නමුත් සමහර සත්‍යයන් ගත්තම, මට හා වෙන අයෙකුට එකම අවස්ථාවක දී, එවැන්නක් සත්‍යයක් හා අසත්‍යයක් විය හැකියාවක් නැහැ.

ඩෙලවෙයාර් වල දී වගේ ම ලන්ඩන්, පැරිස්, බෙයිජින් හෝ කොළඹ දී මැනිය හැකි ඉලෙක්ට්‍රොන් එකක චාර්ජ් එකක් එක හා සමානයි. ඒත් මේ නිසා රිචඩ් ඩාව්කින්ස් වැනි ප්‍රබුද්ධ විද්‍යාඥයන් කියන්න හදන්නෙ විද්‍යාවේ ඒ අභිසාරි (convergent) හැදියාව නිසා අනෙත් හැම දෙයක් ගැනමත් ඔවුන්ට පැහැදිලි කරන්නට පුළුවන් කියල. ආගමක් අවශ්‍ය නැහැ, සංශයවාදී ගෑණුන්ට තමන්ගෙ හිත රිදෙනවා ද නැද්ද තමන් තීරණය කරන්න ඕනෑ නැහැ ඒ ඔක්කොම විද්‍යාවට තීරණය කරන්න පුළුවන් කියල.

ඒත් අර විවිධ රටවල දකින ඉලෙක්ට්‍රොන් චාර්ජ් එකක් එකිනෙක හා සමානයි යන්න අපිට දැනගන්න ලැබුනේ කොහොම ද කියලා අයෙක් විමසා බලන්නට පොඩි වෑයමක් ගත්තොත්, එවිට පැහැදිලි වෙන්නේ ඊට හැකියාව ලැබුනෙ දේශපාලන, සමාජයීය, ආර්ථික හා සංස්කෘතික යන ප්‍රවාහයන් සියල්ලේ ම එකතුවක් නිසා ඊට ඉඩක් පෑදුන බවයි.

විද්‍යාත්මක සත්‍යය යන්න අපිට මිනිස් ස්වභාවයේ සහ ලෝක ස්වභාවයේ වැදගත් සත්‍යයන් පහදා ගන්න උදව් කරද්දී, දෙවැන්න, අපිට ඥානයේ ඇති භිදුර (fragile) බව මතක් කර දෙනව. දේශපාලන, සමාජයීය, ආර්ථික, සංස්කෘතික යනාදී ප්‍රවාහයන් සියල්ලේ ම අභිසාරි බවක් නැත්නම් අනාගත පරම්පරාවට අතීතයේ ලද ජයග්‍රහණයන් වටහා ගන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ.

සත්‍යය ගවේෂණයක යෙදෙන්නාට ඒ නිසා විනිශ්චයක බර පැටවෙනවා. ඵෛතිහාසික සිද්ධියක් පරිවර්තනය කළ යුත්තේ කෙසේදැයි බුද්ධිමත්ව සිතා බැලීම වගකීමක්. ඇකඩමියාවේ ඉන්න අයගේ භාරදූර කාර්යයක් වෙන්නේ ඒ නිසා පවතින ජයග්‍රහණයන් ද අතු ගෑවිලා නැතිවෙලා යන්නට ඉඩ නොදී ආරක්ෂා කරගන්නට, වගකීමෙන් යුතුව සත්‍යය පිළිබඳ විනිශ්චයක බර ඉසිලීමයි.

“රටවල් සහ ජාතීන් යනු විශාල වශයෙන් ඔවුන් තමන්ට පොවන කතන්දර වලින් හැදෙන්නෙ. තමන්ට බොරු කියාගත්තොත්, එතකොට අනාගතයේ ඒ බොරුවල ඵලවිපාක තමයි ඔවුන්ට අත්විඳින්න වෙන්නෙ. ඒ අය තමන්ට තමන් දකින සත්‍යයන් පිළිබඳ කතන්දර කියාගත්තොත්, අනාගතයේ මල් ඵල දරන්න ඔවුන්ට අතීතයෙන් ගැලවෙන්න හැකියි.” –Ben Okri

ඒත් පාන් නැත්නම් කේක් කාපල්ලා යන්නේ සත්‍යය අසත්‍යය දැන දැනත් වර්තමානයේ දී ඒ ගැන කළින් හිතාගෙන හිටපු විදියටම කියමින් ඉන්නට කැමති අය ඉන්නවා.

මේ සටහන් ලියන්නෙ එහෙම හැමදාම එක තැන ලැග ඉන්නට කැමති සහ සීඝ්‍රගාමී වේගයෙන් අපේ ආච්චීලා සීයලා හිටියටත් වඩා ආපස්සට යන්න කැමති අයට නෙමෙයි. මේවා ලියන්නෙ “අපේ අනාගතය අපේ අතීතයට වඩා ශ්‍රේෂ්ඨයි,” -බෙන් ඔක්රි කියන විදියට හිතන්න කැමති අයට. එහෙම හිතන්න හරි පුළුවන් නම් විතරයි එහෙම ශ්‍රේෂ්ඨ වෙන්නත් පුළුවන්.

ඒත් එහෙම හිතලා නිකම් හිටියට ඵලක් නැහැ. තමා විසින් ඥාන විභාගයක නිරත වෙන්නත් ඕනෑ. එහෙම නිරත වෙන්න නම් ඥාන විභාගය කුමක් දැයි දැන සිටිය යුතුයි.

අපි ඥානය (knowledge) යැයි අදහස් කරන්නේ කුමක් ද යන්නට මුලින්ම අර්ථ කථනයක් දුන්න අය හැටියට සැලකෙන්නේ ප්ලේටෝ.

1. ඔබ යමක් සත්‍යයක් යැයි පිළිගෙන සිටිද්දී, 2. එය සත්‍යයක් නම් සහ 3. එය සත්‍යයක් යැයි පිළිගැනීම යුක්ති සහගත වූවක් නම්, ඔබ යමක් දන්නවා යැයි ප්ලේටෝ පැහැදිලි කරන ලද්දේ ය. මෙතැන කොන්දේසි තුනක් ඇත. ඇයි තුන්වැනි කොන්දේසිය? ඇයි ප්ලේටෝ කිව්වෙ නැත්තෙ, ඔබ යමක් සත්‍යයක් යැයි පිළිගෙන සිටිද්දී, එය සත්‍යයක් නම් සහ එය සත්‍යයක් යැයි පිළිගැනීම ඔබේ අයිතියක් වූවක් නම්, කියා?!!!!!

මොන කොමියුනිස්ට්වාදී අදහස් තිබුණත් ප්ලේටෝ ‘අයිතියක්’ ගැන නොකිව්වෙ ඥානවිභාගය ගැන පදනමක් එහෙම ගොඩනඟන්නට නොහැකි යැයි ඔහු අවබෝධ කරගත් නිසයි. මොකද, අයෙක් සත්‍යයක් යැයි සත්‍යයක් දැකීමත් සමහර විට ආකස්මිකයක් නිසා නැත්නම් වාසනාව නිසා සිද්ධ වෙන්නත් පුළුවන් වූවක්. ඉතින් එය පමණක් ඥානයක් වීමේ කොන්දේසියක් හැටියට ප්‍රමාණවත් නැහැ.

කවුරු හරි අහන්න පුළුවන් දැන්, එහෙනම් මම වාසනාව (luck) නිසා හෝ ආකස්මිකයක් (chance) නිසා හෝ යමක් දැන ගැනීම ඥානයක් නොවේ ද කියා. පැහැදිලිවම ඔව්. එය ඥානයක් තමයි. අහම්බෙන් යම් තැනක හිටපු නිසා නොසොයා ගිය ඥානය ලැබුනම එය ද ඥානයක්. නමුත් ඥානය පාදා ගන්නට වෑයමක් ගන්නට මිනිසාට හැකියාව ඇත්නම් ඇයි වාසනාව හෝ ආකස්මිකයක් වෙන තෙක් බලා සිටිය යුත්තේ?!!!!!

ඥාන විභාගය ගැන පැහැදිලි කරද්දී වගකීමෙන් යුතුව කටයුතු කළ ප්ලේටෝ ඔහු මනෝරාජ්‍යය ලියද්දී තම වගකීම පැහැර හැරියා ද? අයෙකුට පෙන්වන්න පුළුවන් ඥානයේ ඇති භිදුර බව ගැන සොක්‍රටීස් නොපැකිළව දැක්වූ අදහස් ප්ලේටෝ නොසලකා හැරියාය කියා. ඒත් තව අයෙකුට පෙන්වන්න පුළුවන්, සමාජ අර්බූදයක් තුලින් උපදින ප්ලේටෝගේ දේශපාලන දර්ශනය සහ බුද්ධියෙන් වටහා ගත හැකි ලෝකය සත්‍යය ලෝකය ලෙස පැහැදිලි කරමින් ගෙනෙන ලද ඥාන විභාගය එවක පැවති දේශපාලන, සමාජයීය, ආර්ථික, සංස්කෘතික යනාදී සියල්ලේ ම අභිසාරි බවක් නිසා ඉපදුන බවත්. පසු කාලයේ දී මිනිස් අයිතීන් යනු මොනවා දැයි හඳුනාගැනීමත් සමඟ පැහැදිලිව පෙනී ගියේ ඥානයේ ඇති භිදුර බවට සොක්‍රටීස් තරම් වැදගත්කමක් නොදීම ප්ලේටෝගේ දේශපාලන දර්ශනයේ දුර්වලතාවය වූ බවයි.

ප්ලේටෝගේ අදහසේ වැදගත් වූ නිවැරදි කොටස තමයි, අයෙක් යමක් ගැන අනුමාන (guess) කරනවාට වැඩියෙන් ඥානයක් යමක් ගැන දැන සිටීමේ (aware) හැකියාවෙන් ලැබීම. දිවට දැනෙන රහ එළකිරි ද සහ එළුකිරි ද යන්නේ වෙනසක් ඇතැයි නැතැයි කිව්වාම ඊට එකඟ වෙන්න දෙදෙනාටම පුළුවන්කම. එහෙත් එය එළකිරි සහ එළුකිරි යන දෙවර්ගයක් මිස එකක් යැයි කීමට එකඟ නොවෙන්න සියල්ලන්ටම පුළුවන්කම.

ඊ ළඟට, තමන් විසින් ගවේෂණයක යෙදී හොයාගත්තා ද නැත්නම් අහල පහලකින් යද්දී දැනගන්නට ලැබී වටහා ගත්තා ද යන්න ඥානය පෑදීමට වෙනසක් සිදු නොකරන බව. අවසානයේ දී කොපමණ දේශපාලන, සමාජයීය, ආර්ථික, සංස්කෘතික වෙනස්කම් තිබුණ ද විවිධ රටවල දකින ඉලෙක්ට්‍රොන් චාර්ජ් එකක් එකිනෙක හා සමානයි යන්න කිසිම රටක දී වෙනස් නොවෙන බව.

එවක සමාජ ප්‍රවාහය අනුව ප්ලේටෝ පිළිගන්නට අසමත් වුනේ ඕනෑම මිනිසෙකුට පවතින තත්වය ගැන දැනුමක් (awareness) ලබාදීමට හැකියාව ඇතැයි කියන එක. රිචඩ් ඩාව්කින්ස් පිළිගන්නට අසමත් වෙන්නෙ විද්‍යාවේ අභිසාරී බව පමණක් ඇත්තක අරුමය දකින්නට ප්‍රමාණවත් නැති බවයි.

තමන්ට පොවා ගන්න කතන්දර වලින් තමන්ට බොරු කියාගන්නා සමාජයකට වාසනාව (luck) නිසා හෝ ආකස්මිකයක් (chance) නිසා හෝ ඥානයක් ලැබුණත් එය වටහා ගැනීමේ නොහැකියාව ඥානය යන්නෙහි භිදුර බවයි. නැතිව ඥානය පාදාගන්නට මිනිසාට හැකියාවක් නැතිකම නොවේ.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: