අරුණි ශපීරෝ‍ වෙතින්

සත්‍යය කුමක්දැයි ඇත්තටම දැනගැනීම

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 24, 2013

IMG_9237

‘ඇත්තක අරුමය’ (The Magic of Reality) පොතේ උප සිරස්තලය ‘සත්‍යය කුමක්දැයි ඇත්තටම අපි දැනගන්නේ කොහොම ද’ (how we know what’s really true) යන්නයි. කළින් සටහනකින් කියූ ලෙස ඒ උප සිරස්තලය ඥාන විභාගය ගැන වූවකි. මෙම පොත දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූවකි. අනගි චිත්‍ර වලින් යුතුය. එහි සත්‍යය විද්‍යාත්මක තොරතුරු හා පරිසිද්ධි කියවන්නාගේ සිත් ඇදගන්නා ලෙසකින් සරල හා පැහැදිලි ලෙසින් ලියා ඇත.

මේ විචාරය අනගි ලෙසින් ලියාගෙන යන විද්‍යාවෙන් බැහැර වී ඩාව්කින්ස් එයින් පිරිනමන දාර්ශනික මතවාදය ගැනයි. පින්තූරය මේ සටහනේ කතාබහට ලක්වන පිටු දෙකයි. එකක මිනිස් මොළයක් දක්වා ඇත. සෑම් හැරිස් වැන්නවුන් මනස නොසලකා හැර මොළය කතාබහට පිවිසුනේ මේ ඉන්ද්‍රියානුභූතිවාදය අනුවයි.

සිංහලට පරිවර්තනය කළ ඇත්තක අරුමය පොත මම කියවා නැත. ඩාව්කින්ස් ලියූ ඉංග්‍රීසි පොතේ ඇති වචන එහි සිංහලෙන් ලියා ඇත්තේ කෙසේදැයි ඒ නිසා නොදනිමි.

මැජික් යන වචනයේ අර්ථ තුනක් පහදන ඩාව්කින්ස් මුලින්ම ගෙනහැර පාන අද්භූත මැජික් යන්නට මිථ්‍යා ප්‍රබන්ධ හා සුරංගනා කතා සහ වරහන් තුල පොතේ අවසන් පරිච්ඡේදයෙන් කතාබහ කරන හාස්කම් (miracles) යන්න අඩංගු කරයි. වේදිකා මැජික් යන දෙවැනි අර්ථයෙන් ඇති දෙයක් සේ මවාපාන විජ්ජාවන් ගැන දක්වයි. සිරස්තලයේ එන අරුමය (magic) යන වචනයෙන් තමන් අදහස් කරනුයේ ඇඟේ හිරිගඩු පිපෙන සේ දකින සෞන්දර්යය සහ හද පිනා යන සංගීතයක් ඇහෙද්දී අපි ජීවතුන්-අතර-සිටීම-හොඳයි කියන කාව්‍යමය මැජික් (poetic magic) ගැන යැයි හේ ලියයි. නගරයේ ලයිට් නොමැති, හඳක් නොමැති අඳුරු රැයක අහසේ දිළෙන තරු දැක්කාම දැනෙන හද උතුරා යන ප්‍රීතිය එවැනි අවස්ථාවක් යැයි හේ උදාහරණයකින් පෙන්වා දෙයි.

අපි දැනගන්නේ කෙසේද යන්න විද්‍යාත්මක ප්‍රශ්නයක් නොව ඥාන විභාගාත්මක (epistemological) ප්‍රශ්නයකි. ඥාන විභාගය දර්ශනයේ අංශයක් මිස විද්‍යාවේ අංශයක් නොවේ. ඥාන විභාගයක් නොමැතිව විද්‍යාව කරගෙන යන්නට බැරි වූවාට විද්‍යාව නොමැතිව දර්ශනය කරගෙන යා හැකියි. ඥාන විභාගය අධ්‍යයනය කරන්නේ ඥානය නිර්වචන කරන ආකාරය, අපි දන්නේ මොනවා ද, ඒවා අපි දැනගන්නේ කෙසේද යනාදියයි.

මෙම පොතේ ඥාන විභාගාත්මක පදනම සේ කටයුතු කරන දැනුම (knowledge) යනු කුමක් දැයි පැහැදිලි කිරීමක් ඩාව්කින්ස් විසින් මුල් ම පරිච්ඡේදයෙන් අපට ලබාදෙයි.

“අපි ඇත්ත (real) යනු කුමක්දැයි දැනගන්නේ ආකාරයන් තුනකින්. 1. අපේ සංවේදන ඉන්ද්‍රීයයන් පහෙන් අපිට එය ඍජුවම හඳුනාගන්න පුළුවන්. 2. දුරදක්න සහ අන්වීක්ෂ ආධාරයෙන් අපට වක්‍ර ආකාරයෙන් හඳුනාගන්නට පුළුවන්. 3. ඇත්ත විය හැක්කේ කුමක් දැයි හිතා ඒ අනුසාරයෙන් වූ අකෘතියක් හදා උපකරණ භාවිතයෙන් හෝ නැතිව එම ආකෘති විභාගයෙන් හඳුනාගන්නට පුළුවන්. අවසානයේ දී, එය හැම විටම එක ක්‍රමයකින් හෝ වෙනත් ක්‍රමයකින් දැනගන්නේ අපේ සංවේදන පද්ධතිය (five senses) තුලින්.”

ඩාව්කින්ස්ට අනුව සියළු ඥානය ලැබෙන්නේ සංවේදන ඉන්ද්‍රියයන් පහෙන්: ඇස්, කන්, නැහැය, දිව සහ ස්පර්ශයෙන් බැරි නම් යමක් දැනගන්න බැහැ. පංචේන්ද්‍රියයන් සහාය නැතිව මනසේ වෑයමක්/හැකියාවක් නිසාම පහළ වූ එකම ඥානයක් එකම අවස්ථාවක දී මිනිසුන් දෙදෙනෙකු අතර අත්විඳින්නට හැකි වූ අවස්ථාවක දැනෙන ඇඟේ හිරිගඩු උපදවත හැකි රසය ද කවදාවත් ඩාව්කින්ස් අත්විඳලා නැතිව ඇති.

ඥාන විභාගය ගැන හදාරා ඇති අය දන්නවා ස්ව-නිශ්ප්‍රභාව (self-refutation*) යන සංකල්පය. යම් වාක්‍යයක් හෝ දර්ශනයක් ස්ව-නිශ්ප්‍රභා වෙන්නෙ එහි ඇති ප්‍රමිතියට, සද්භාවයේ උපමානයන්ට සහ විචාරාත්මක පිළිගත හැකියාවට අනුචිත නොවෙද්දී. උදාහරණයක් හැටියට “සත්‍යයක් නැහැ,” (truth does not exist) යන කියමන ස්ව-නිශ්ප්‍රභා වූවක් වෙන්නෙ එය කියද්දීම මන්ද එම වාක්‍යය එවිට සත්‍යයක් ලෙස කියන්නක් ද?!!!!

තවත් ස්ව-නිශ්ප්‍රභා වාක්‍යයන්:
“මම මුකුත් කිව්වෙ නැහැ,” කියද්දී එහෙම කිව්වෙ කවුද?
“මට සිංහල වචනයක් වත් කතා කරන්න බැහැ,” යැයි සිංහලෙන් කීම.
“කිසිම දෙයක් පරම නැහැ,” මෙය පරම සත්‍යයක් ද?
“මම නොපවතිමි,” (I do not exist) එහෙනම් එය කිව්වෙ/හිතුවේ කවුද?
“සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෑ පමණයි ලොව පවතින්නේ,” එය සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ඔප්පු කරන්න පුළුවන් ද?!!!!

ඇත්ත ගැන සියළු දැනුම සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ලබාගන්නකි යන කියමන සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ලබාගත්තක් නොවේ. සියළු දැනුම ලැබෙන්නේ සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් යැයි නිගමනය ඇස්, කන්, නාසය, හම හා දිවෙන් ලැබුනේ කෙසේද?

“සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෑ පමණයි ලොව පවතින්නේ,” යන්න දාර්ශනික කියමනකි. එය විද්‍යාත්මක කියමනක් නොවේ. එසේම එම කියමන සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් සනාථ කරගන්නට කරගත හැකි නොවේ. ඒ නිසා එය විද්‍යාත්මක පදනමක් සේ පෙන්විය ද නොහැකියි.

ඉතින් ආරම්භයේ දී ම ඩාව්කින්ස් තමාව ඥාන විභාගාත්මක උභතෝකෝටියකට හසුකරගෙන ඇත. එක්කෝ සත්‍යය ගැන සියළු දැනුම සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ලැබෙන ඒවා විය යුතුය නැත්නම් එසේ නොවිය යුතුය. ඇත්ත ගැන සියළු දැනුම සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් නොලැබෙන්නේ නම් එවිට ඩාව්කින්ස් දැනුම ලැබෙන ආකාරය යැයි ඉදිරිපත් කර ඇත්තේ වැරදි අදහසකි. එහෙත්, ඇත්ත ගැන සියළු දැනුම ලැබෙන්නේ සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් නම්, එම විශ්වාසය වූ “ඇත්ත ගැන සියළු දැනුම ලැබෙන්නේ සංවේදන ඉන්ද්‍රියයන් පහෙන්,” යන්න දැනගන්නට හැකියාවක් නැත. මන්ද, විශ්වාසයක් (belief) යනු සංවේදන ඉන්ද්‍රියයන් පහෙන් ලැබෙන්නක් නොවන නිසාය. ඉතින් එහි දී ද අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඩාව්කින්ස් වැරදි අදහසක් ඉදිරිපත් කර ඇති බවයි. තවත් විදියකින් කිව්වොත්, ඩාව්කින්ස් වැරදි වෙද්දී වැරදි වෙනවා වගේ ම, ඔහු හරි වෙද්දී ද වැරදි වෙයි; ස්ව-නිශ්ප්‍රභාවෙන් ඥාන විභාගය කරත නොහැකි බව ඔහු විමර්ශනය නොකරන ලදි.

බහුල වශයෙන් ඇහෙන තවත් ස්ව-නිශ්ප්‍රභා වාක්‍යයක්: “මාව විනිශ්චය කරන්න එපා, මොකද අනුන්ව විනිශ්චය කරන එක වැරදියි.” (Don’t judge me, it’s wrong to judge others) “මාව විනිශ්චය කරන්න එපා,” යැයි කියද්දීම එයා ඔහුව අනෙකා විසින් විනිශ්චය කළා යැයි විනිශ්චයක් කර ඇත!!! ඉතින් අනෙක් අය විනිශ්චය කිරීම වැරදි නම් ඇයි එයා අනෙකාව විනිශ්චය කර ඇත්තේ?!!!!!!

*Self-Refutation -A Formal Analysis, J. L. Mackie, The Philosophical Quarterly, Vol. 14. No. 56 (JSTOR.org වලින් නොමිලේ කියැවිය හැකියි.)

Aaron Brake ලියූ Richard Dawkins: The Untutored Philosopher ඇසුරිනි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on අගෝස්තු 24, 2013 at 11:01 ප.ව.

    එක් පසෙකින් වචන අනෙක් පසින් සංඛ්‍යා තවත් පසෙකින් සිතිවිලි අනෙක් පසින් සංකල්ප මේ අතරමැද -අවබෝධය- ඒ කිසිවක් මතම පවතින්නක් නොව සියල්ලෙහි මිශ්‍රණයෙන් බිහිවන වෙනස්ම ඵලයක් නොවේද? ප්‍රත්‍යක්ෂ ඥානය යනු මේ සියල්ලට පසු ඔබ්බෙහි ඇති යථාර්තය නොසිතා දැකිය හැකිවීම නොවන්නේද? අනෙක් පසින් අකුණු සරින් බිහිවන අලෝකයත් හඩත් මෙන් වෙනස් වේග හා වෙනස් ස්වරූපයෙන් එකම තැනකින් එන අවබෝධයත් ප්‍රත්‍යක්ෂයත් යනු පෙට්ටයත් ඉන් බැහැරත් යන දෙක පැහැදිලිව වෙන් කොට දැකීම හෙවත් යථාර්තයට එළැඹුම යයි රස්තියාදුව ශුද්ධ කොට සත්‍ය සොයන තැන දකිමි. පංච ඉන්ද්‍රියන් පොදුවේ සමාන වූවාට ඒවායේ ප්‍රබලතාවන්ම එකිනෙකාට සුවි‍ශේෂ වන අවස්ථාවන් පවතිද්දී ඒ ඉන්ද්‍රිය වල සුවිශේෂී මට්ටමේ අවස්ථාවන් මෙන්ම එවැනි ඉන්ද්‍රියන්ගේ සාමුහීකත්වයේ ප්‍රබලතාවන් පුද්ගලයින් තුළ කෙලෙසක ඉස්මතුවනවාද යනු සරලව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය යනුවෙන් කෙලෙස විග්‍රහ කරමුද? එලෙසම ඉන්ද්‍රිය දියුණු කර ගත නොහැකිද? වඩා සංවේදී ඉන්ද්‍රිය පද්ධතියකින් බිහිවන සාමුහිත්ව ඵලය මෙන්ම ඒ දියුණු කරගන්නා ඉසව්ව සත්‍යය සෙවීම පදනම් වීමේදී කෙලෙස වන්නේද? එහි සීමාව කොතැනකද? එබදු විටෙක පැවතිය හැක්කේ අප සරලව ඉන්ද්‍රිය ගෝචර බව යනුවෙන් අදහස් කරන ස්වභාවයමද ? මෙහි කොතරම් නම් වෙනස් තල තිබිය හැකිද?

    • arunishapiro said, on අගෝස්තු 26, 2013 at 12:20 ප.ව.

      hallow rusta,

      //සියල්ලෙහි මිශ්‍රණයෙන් බිහිවන වෙනස්ම ඵලයක් නොවේද?// ඔව්. මෙය තමයි දැනට පැහැදිලි වූව.

      ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යයන් සේ ඔප්පු නොකරන ලද අදහස් ගෙනැල්ලා මිථ්‍යා විශ්වාසයන්ට පහර දෙනවා කියල කියන අය ගැන කියන්න ඇත්තේ ඔච්චරයි. අපි කළ යුත්තේ කිසිවෙක් තාම හරියට පැහැදිලි කර නොගත්තු දේවල් ගැන ඔබ නඟනා සේ ප්‍රශ්න ඇසීම පමණයි.

  2. A.Fernando said, on අගෝස්තු 25, 2013 at 7:12 පෙ.ව.

    //ඩාව්කින්ස්ට අනුව සියළු ඥානය ලැබෙන්නේ සංවේදන ඉන්ද්‍රියයන් පහෙන්: ඇස්, කන්, නැහැය, දිව සහ ස්පර්ශයෙන් බැරි නම් යමක් දැනගන්න බැහැ.//
    එයින් ඔබ අදහස් කරන්නෙ ඇස්, කන්, නැහැය, දිව සහ ස්පර්ශයෙන් තොරව දැනුම ලබාගත හැකි බවද?
    එසේනම් ඇස්, කන්,නාසය,දිව නැති හා ස්පර්ශය නොදැනෙන අයකු ඇතැයි උපකල්පනය කලොත්, ඔහුට ලබාගත හැකි දැනුම පිළිබඳව එක උදාහරණයක් දක්වන්න.

    • arunishapiro said, on අගෝස්තු 26, 2013 at 12:17 ප.ව.

      A.Fernando,

      බුදු හාමුදුරුවෝ චතුරාර්ය සත්‍යය නම් දැනුම ලබාගත්ත විදියෙන්.

      ඒත් කොච්චර ඇස් වලින් බලලා කියෙව්වත් දැනුම ලබාගන්න බැරි අයට ඕවා අවබෝධ වෙන්නෙ නැහැ. ආගම් මිථ්‍යාවක් යැයි කියන ඩාව්කින්ස් බුද්ධාගම සලකන්නේ ආචාර ධර්ම පද්ධතියක් හැටියට පමණයි. දෙවියන්ගේ මුලාව පොතේ පිටු 37 සහ 38: I Shall not be concerned at all with other religions such as Buddhism or Confucianism. Indeed, there is something to be said for treating these not as religions at all but as ethical systems or philosophies of life. ඒත් චතුරාර්ය සත්‍යය යනු ආචාර ධර්ම පද්ධතියකට ඔබ්බෙන් යන්නා වූ දැනුමක්.

      විද්‍යාත්මක පරිසිද්ධි ගැන දැනුම ලබාගන්නේ පංචේන්ද්‍රියයන් වලින් නොව ගණිත න්‍යායයන් තුලින්. 2 කියන අංකය මනසක් නැතිව අවබෝධ කරගන්න බැරි සංකල්පයක්. වස්තූන් දෙකක් හැප්පෙනවා අහන්න, දකින්න, අතගාන්න, ඉඹින්න, රස බලන්න නැති වූවාට 2 යන සංකල්පය ලොව නොමැති වූවක් නෙමෙයි. Sphere යන සංකල්පය ස්වභාවයේ පවතින්නක් ද නැත්නම් ගණිතමය මෙවලමක් දැයි කියන එක ගණිතඥයන් පවා කියන්න දන්නෙ නැහැ.

  3. A.Fernando said, on අගෝස්තු 26, 2013 at 2:17 ප.ව.

    මා ඇසුව පැනයට ඔබ දුන් පිළිතුර(උදාහරණය) නොගැලපෙන බැවින් හැකි නම් වෙනත් උදාහරණයක් දෙන්න. මට නම් හිතෙන්නෙ ඔහුට කිසිම දැනුමක් ලබාගත නොහැකියි.

    • arunishapiro said, on අගෝස්තු 27, 2013 at 1:18 ප.ව.

      A.Fernando,

      පිළිතුර වූ දර්ශනය, ගණිතය හා විද්‍යාත්මක සිද්ධාන්තයන් මනස මඟින් උපදවන දැනුමෙන් විය යුතු යැයි කීම නොගැලපේය යැයි කියද්දී ඉතින් තව කොපමණ උදාහරණ පෙන්වූව ද ඔබට ඒවා ද නොගැලපේය කියනු හැකි නිසා පිළිතුරු දීමෙන් ඵලක් නැත. අරුණිට පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්න ඇහුවා කියන සමාජයට ගිහින් එකතු වීම ඔබට ඇති විකල්පයන් අතරින් එකකි!!!!!!

      • සමන් said, on සැප්තැම්බර් 2, 2013 at 5:12 පෙ.ව.

        අරුණි,
        මනස තවත් ඉන්ද්‍රියක් සේ තමා බුදුදහමේ සැලකෙන්නේ. පන්චේන්ද්‍රිය නැති තැන, මනස නැතිද ? යන්න තමා ප්‍රනාන්දු මහතාගේ පැනය වන්නේ?දැනුම මනස මූලික කරගෙන පහල වෙන්නක් වෙන්න පුලුවන්. නමුත්, මනස මුලිකවම සකස් වන්නේ පන්චේන්ද්‍රිය මූලික කොට නෙමෙ ද? සිතුවිලි පර්යේෂනයක් ( අර ඔස්ට්‍රියන් පූසා වගේ ) . යම් කෙනෙක් යම් ජානමය විකෘතියක් නිසා, ඇස් පෙන්නෙ නැතිව, කන් ඇහෙන්නෙ නැතිව., සමේ ස්පර්ශ ස්නායු නැතිව, රස දැනෙන්නෙ නැතිව, ගද සුවද දැනෙන්නෙ නැතිව ඉපදුනොත් , එයාට ” කිසිම “දැනුම ලබා ගන්න බැරිද?

        • arunishapiro said, on සැප්තැම්බර් 6, 2013 at 8:23 පෙ.ව.

          සමන්,

          බුදුදහමේ එහෙම තිබුණට ඩාව්කින්ස්ට අනුව මනස යනු පංචේන්ද්‍රියයන් ගෙන් වෙනස් වූ ඉන්ද්‍රියයක් නෙමෙයි. ඩාව්කින්ස්ට අනුව බුදු දහම යනු ආගමක් ද නොව ආචාර ධර්ම පද්ධතියක් පමණි.

          //පන්චේන්ද්‍රිය නැති තැන, මනස නැතිද ?// පැනය මෙය නම් උත්තරය ඒ ගැන දැනට කිසිවෙක් නිශ්චිතවම කියන්නට දන්නේ නැත යන්නයි. එක හේතුවක් අපට ඒ ගැන දැනුම දැනට ලැබෙන්නෙ, වෛද්‍යවරු මිය ගියා යැයි තීරණය කරන ලද අයෙක් නැවත වෛද්‍යවරු පණ ඇතැයි කිව්වාට පසු ඔහු තමන් මියගිය සොච්චම් කාලයේ සිද්ධ වූ අත්දැකීම් කියද්දී නිසා එවැනි ඒකීය පුද්ගල අත්දැකීම් විභාගයට වෙනත් කිසිවෙකුට හැකියාවක් නැතිකම.

          ඇස් පේන්නේ නැති අයට දැන් දිවෙන් ලොව දකින මිනිසා වැනි දිවෙන් දකින හැකියාවන් ලැබී තිබෙනවා. එහි දී වැඩ නොකරන පංචේන්ද්‍රියයක් වෙනුවට වැඩ කරන පංචේන්ද්‍රියයකින් එයට මෙතෙක් නොහැකි යැයි අප සිතා සිටි කර්තව්‍යයක් කරගන්නට විද්‍යාව සමත් වී තියෙන්නේ මොළයේ ආධාරයෙන්.

          අද අපි ඉන්නෙ මෙන්ටල් ටෙලිග්‍රෑම් යවත හැකි යුගයක. මෙතැනින් කියවන්න පුළුවන් First Brain to Brain Control Interface ප්‍රවෘත්තිය. සිරස්තලයේ Brain Control කිව්වත් ඒත් එය මනස පාලනයක් නෙමෙයි. එහි පරීක්ෂකමාන්‍යයා අකමැති ලෙසින් ඔහුගේ කැමැත්ත (will) වෙනස් කරන්න බැහැ. දෙදෙනාටම අනෙකාගේ සිතුවිලි කියවන්නත් බැහැ.

          මොළයකින් මොළයකට දැනුමක් ලබා දෙන්න හැකියාව දැනටමත් තියෙන තවත් උත්සාහයක්: කියවන්න රෝමෝද්ගම ප්‍රවෘත්තියක්!!

          මොළය ගැන දැනුම වැඩිවෙද්දී සිතුවිලි උපදින්නේ කෙසේද, ඒකීය පුද්ගල වූ ස්මරණයන් කෙබඳු ද, නිදහස් කැමැත්ත (free will) හි ප්‍රභවය කොතැන ද, යනාදිය ගැන අපිට අනාගතයේ දී තව තවත් වැඩියෙන් දැනගන්න හැකිවේවි ද නැද්ද යන්න ගැන ද දැනගන්නට ලැබේවි. එතෙක් දෙවියන් ගැන ආගම් වල ඇති අදහස් විද්‍යාවෙන් නිශ්ප්‍රභා කළ ලෙසින් අපිට කතා කළ නොහැකියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: