අරුණි ශපීරෝ‍ වෙතින්

ඩාව්කින්ස්ගේ මුලාවේ අවිචාරය සහ ඇමෙරිකන් ආදී පීතෘවරුන්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 28, 2013

IMG_9240

තම නිර්මාණයෙන් බැහැරක සිට, නීති පනවමින්, පව්කාරයන්ට දඬුවම් දෙමින්, හතුරන් වෙතින් පළිගනිමින්, යුද්ධයකින් කවුද දිනන්නේ යැයි තීරණය කරන සමාගමක CEO වැනි දෙවියන්වහන්සේ කෙනෙක් ඉන්නවා යන සංකල්පය පිළිනොගන්නා අයෙක් අදේවවාදියෙක් ලෙසින් සැලකේ. මෙය ලොව පිළිගත් නිර්වචනයයි.

එවැනි දෙවියන් පවතින්නේය සංකල්පය ප්‍රතික්ෂේප කළ අය රිචඩ් ඩාව්කින්ස්ට කළියෙන් ලොව සිටියහ. ෆ්‍රැන්සුවා රාබෙලේ (François Rabelais), මොලියේර් (Molière), වෝල්ටෙයාර්, තෝමස් පේන් යනාදීන් මෙන්ම 1758 දී දුප්පත් රිචඩ්ගේ ලිතේ “ශ්‍රද්ධාව දැකිය හැක්කේ විචාරයේ ඇස වසා ගැනීමෙන් පමණක්,” යැයි කියූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ද වෙයි. තෝමස් ජෙෆර්සන් එවැනි දෙවියන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්න කර බයිබලය කපා කොටා වෙනස් කළේය.

ඇමෙරිකන් ආදී පීතෘවරු තමන් කැමති ආගමක් අදහන්නට ද කිසිම ආගමක් ඇදහීමෙන් තොරව ඉන්නට ද අයිතිය රටේ ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ආරක්ෂා කරමින් ඒ බලය ඒකීය පුද්ගලයා සතු කළහ. තම කැමත්තේ නියැළෙන්නට ඉඩක් නීතියෙන් සලසා දුන් ඔවුන් ආගම අදහන අයට අවමාන කරන්නටත් අපහාස කරන්නටත් කියා කිසිවෙකු උසිගැන්වූයේ ද නැත.

‘දෙවියන්ගේ මුලාව’ ලියූ රිචඩ් ඩාව්කින්ස් අනුගමනය කරමින් අදේවවාදී නව පරිනාමවාදී රැල්ලක් ලොව බිහිවුණි. ‘දෙවියන් ශ්‍රේෂ්ඨ නැහැ’ (God Is Not Great) ලියූ ක්‍රිස්ටෝෆර් හිචින්ස්, ‘යථාර්ථයට යන්නට අදේවවාදීන්ට මාර්ගෝපදේශකයක්’ ලියූ ඇලෙක්ස් රෝසන්බර්ග්, ආචාර ධර්ම භූදර්ශනයක්’ (The Moral Landscape) ලියූ සෑම් හැරිස් සහ ආගම සහ මූඪ යන වචන දෙක එකතු කර Religulous නමින් විස්තරාත්මක චිත්‍රපටියක් හැදූ බිල් මේහර් යනාදීන් වර්තමානයේ නිරත වෙන්නේ මෙතෙක් ඉතිහාසයේ පැවත එන ආගම/ශ්‍රද්ධාව/විචාරය/නිර්මාණය/පරිනාමය යනාදියේ අවුල් සියල්ල විද්‍යාවට විසඳන්නට හැකියි කියා තමන් ඒවා විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වූවා යැයි කියන අවිචාර හැදියාවකිනි.

එය විචාරයේ නාමයෙන් කළා යැයි ද, විද්‍යාත්මකව ඔප්පු කරන ලද්දක් සේ ද, පෙන්වන ඔවුන් අවිචාරී වංචාකරුවන් වුවත්, හැමදාම තමන් විශ්වාස කරන්නට කැමති මුලාවන්ට හසුවෙන ලොව බහුතරයක් ඒ මුලාවට ද හසු වූහ.

අයින් රූන්ඩ් දෙවියන් නැතැයි කියුවේ නැති දෙයක් ඇතැයි ඔප්පු කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කියමිනි. ඒත් නැති දේවල් ඇතැයි ඔප්පු කරන්නට හදන උත්සාහයන් ලොව අපමණය. ඔවුන් සියල්ලෝම ක්‍රිස්තියානි දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කරන අය නොවෙති!!!! එසේම ධනවාදය වෙනුවෙන් පෙනී සිටින අයෙක් අදේවවාදියෙක් වූවාට ආගම අබිං යැයි කියූ කාල් මාක්ස් අදහන අය ඒ අදේවවාදියාව නොසලකා හරිති!!!!!

විශ්වය නිර්මාණය වූයේ කෙසේදැයි සොයන්නට කාලය නාස්ති නොකර (විලියම් ලේන් ක්‍රෙග් පෙන්වන පරිදි පැහැදිලි කිරිම් තුලින් අනන්තයක් කරා දිව ගොස්, අවසානයේ කිසිවක් පැහැදිලි කරන්නට බැරි හේතුව දුටු නිසා වෙන්නැති) ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය හඳුනාගන්නට අප්‍රමාද වන්න යැයි කියන ලද්දේ ගෞතම බුදුන් විසිනි. ඒත් ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය හඳුනාගන්නට උත්සාහ කරන්නෝ ලොව ඉතාමත් දුර්ලබ කොට්ඨාශයයි!!!!! ඩාව්කින්ස් ඇතුළු විද්‍යාවාදීන් එයට හැකියාවක් විද්‍යාවට ඇතැයි දැනට ඔප්පු වී නැති වුවද එය දැනටමත් විද්‍යාවෙන් පැහැදිලි කරත හැකි වූවක් යැයි විද්‍යාවෙන් ඔප්පු කරගත් ලෙසින් ලොවට පිරිනමති.

විචාරයේ සහායෙන් තමන් අදේවවාදීන් යැයි කියාගන්නා අවංක අය තම ප්‍රස්තුත වල සීමාවන් දනිති. තමනට සත්‍යයක් සේ කිව නොහැකි වූව කියන්නට තරම් ඔවුන් අහංකාර නැත. එහෙත් වංචාකරුවන් දෙවියන්ගේ මුලාවෙන් ආගම් තුලින් නූගත් ජනතාව රවටනවා යැයි කියමින් දෙවියන් නැතැයි විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වත හැකි යැයි කියමින් මුග්ධයන් රවටති.

විචාරයේ වන්දනාවක් (Cult of Reason) ලෙසින් මෙවැනි අවිචාර උත්සාහයක් මීට කළින් දකින්නට ලැබෙන්නේ ප්‍රංශ විප්ලවයේ දී ය. Jacques Hébert, Pierre Gaspard Chaumette යන අයගේ අනුගාමිකයන් වෙතින් හැදෙන එයට අවිචාරමත් නැවතිල්ලක් දැමුවේ Cult of the Supreme Being ස්ථාපිතයට ගෙනා මැක්සිමිලියින් රොබෙස්පියෙර් විසිනි. එදා මේ කල්ලිවල ප්‍රභවය හටගත්තේ එවක ක්‍රිස්තියානි ආගමට පහර දීමේ ප්‍රතිඵලයක් හැටියටය. එහි අවසානය අවිචාරමත් වූ භීෂණ සමයකි.

මහායාන සම්ප්‍රදායේ හෘදය සූත්‍රයේ සහ ප්‍රඥා පාරමිතා අටුවා ටීකාවන් හි ආචාර ධර්ම සහ පාරභෞතික විද්‍යාව සම්බන්ධයෙන් දැක්වෙන අදහස් බටහිර දාර්ශනිකයන් අතර කතාබහට ලක්වූයේ බුද්ධි යුගය නැතහොත් විචාර සමය පටන් ගත් 17 වැනි සියවසේ බරූහ්ක් ස්පිනෝසා (Baruch Spinoza) තරම් පසුකාලයක දී ය. අද ක්‍රිස්තියානි ආගම් හදාරන අය බුද්ධාගම විචාරය කරති. එහෙත් වර්තමානයේ දී බුද්ධාගමේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූවන් යැයි කියා ගන්නා අය මිථ්‍යා ඇදහිලි ලෝකයකට පිවිස සිටිති.

විචාරය අවිචාරයක් වූ කලී විද්‍යාවේ නාමයෙන් අවිද්‍යාව පතුරවන්නට හැකියාව ලැබේ.

ඇමෙරිකන් උත්කෘෂ්ටය නම් මිනිසාට තෝරාගැනීමට නිදහසක් දීමයි. සමාජයේ යහපත වෙනුවෙන් කියා පුද්ගල කැමැත්තට ඉඩක් නොලැබුණු ලොව ඵෛතිහාසික උත්සාහයන් සියල්ල අවසන් වූයේ පුද්ගලයාටත් සමාජයටත් අසාර්ථක ඵලවිපාක අත්විඳින්නට ලැබීමෙනි. පුද්ගලයාගේ කැමත්ත කුමක්දැයි තීරණය කිරීමට විද්‍යාවට නොහැකියි. තම කැමැත්ත කුමක්දැයි කියන්නට හැකියාවක් ඇත්තේ තමන්ට පමණි. මිනිස් වෑයම විය යුත්තේ අනෙකාගේ තෝරාගැනීමකට ප්‍රචණ්ඩත්වයක් නොවන ලෙසින් තම තෝරාගැනීම කරත හැක්කේ කෙසේදැයි විමර්ශනයයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. amalpasanna said, on අගෝස්තු 30, 2013 at 2:31 පෙ.ව.

    //ඇමෙරිකන් උත්කෘෂ්ටය නම් මිනිසාට තෝරාගැනීමට නිදහසක් දීමයි//
    මේ කියන ඇමෙරිකන් උත්කෘෂ්ට නිදහස ඇයි ඇමෙරිකාව තුල දීල අනෙක් රටවල මිනිසුන්ට ඒ ඇමෙරිකවම නිදහස නො‍දෙන්නෙ?
    ඔවුන් ඇමෙරිකානු මිනිසුන් නොවන නිසාද?

    • arunishapiro said, on සැප්තැම්බර් 6, 2013 at 7:37 පෙ.ව.

      amalpasanna,

      ඒ ඔයාට කියා දීලා තියෙන හැටි. ඒත් මෙතෙක් කාලයක් පැවතිච්ච “ඔයා එහෙම දකින උත්සාහයන්” සිද්ධ වූයේ ඇමෙරිකන් ජනතාවගේ නිදහස කප්පාදුවෙන්. ඒ කියන්නේ ඇමෙරිකන්කාරයන්ගේ පුද්ගලික දේපල වූ ඔවුන් උපයා ගන්නා මුදල් බදු මඟින් මංකොල්ල කන ආණ්ඩුව විසින් සිද්ධ කරලා තියෙන්නෙ අනික් රටවල නිදහස ඉල්ලන මිනිස්සු ගලවා ගන්නට යැයි කියමින් ඇමෙරිකන් ජනතාවගේ නිදහසට බාධක පැටවීමයි. සමහර ඇමෙරිකන්කාරයන් ඉන්නවා තමන්ගෙ බදු බර වැඩි වුනත් කමක් නෑ ලෝකේ අහිසංකයන් ගලවා ගන්නට කැමති අය. ඒත් යුදකාමී ජෝන් මැකේන් සහ බලකාමී බරක් ඔබාමා වැනි පාලකයන් එක්කත් ඒ අය පටලවා ගන්නත් එපා.

      අවුල තියෙන්නෙ මෙතනයි: ඇමෙරිකාව අනික් රටවල අහිංසක මිනිස්සු මැරෙද්දී ඔවුන් බේරාගන්න යුද්ධ කරන්න යනවාට අකමැති බහුතරය, ඇමෙරිකාව විසින් එහි ආදායම් උපයන අයගෙන් බදු අය කරගන්නවාට අකමැති නැහැ. ඒත් බදු වලින් පිරෙන භාණ්ඩාගාරයක් නැත්නම් එහෙම යුද්ධ වලට යන්න රටට වත්කමක් ද නැතිවන බව දකින්නට ද කැමති නැහැ.

  2. hallow rusta said, on අගෝස්තු 30, 2013 at 1:36 ප.ව.

    -තම කැමැත්ත කුමක්දැයි කියන්නට හැකියාවක් ඇත්තේ තමන්ට පමණි- 🙂 😀 එබැවින් එය හොද වෙළද අවස්ථාවකි, තරගයකි, ඛේදයකි. එබැවින් ප්‍රචණ්ඩත්මයෙන් තොරවී තම කැමැත්ත හඹායාමට පළමුව අනෙකාගේ කැමැත්ත ඉවසීමට පුහුනු කිරීම කෙබදුද?

    • arunishapiro said, on සැප්තැම්බර් 6, 2013 at 7:41 පෙ.ව.

      hallow rusta,

      //එබැවින් ප්‍රචණ්ඩත්මයෙන් තොරවී තම කැමැත්ත හඹායාමට පළමුව අනෙකාගේ කැමැත්ත ඉවසීමට පුහුනු කිරීම කෙබදුද?// වඩා යුක්ති සහගත වූව, කාර්යක්ෂම වූව මෙන්ම වඩා ඵලදායක වූව ද වන්නේ මේ ක්‍රමය නිසාම පමණි යන්න අවබෝධයක් ලැබූ දාට ආයේ අලි ඇතුන් දාලා වත් ඊට කැමති සිත අයෙකු වෙතින් ඉවත් කරන්න බැහැ. පුහුණු වෙන්න දෙයක් නෙමෙයි, අවබෝධයක් පමණක් අවශ්‍ය වූවක් හැටියටයි මම දකින්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: