අරුණි ශපීරෝ‍ වෙතින්

ඇත්ත සුනිලා අබේසේකර කවුදැයි අමතක නොකරමු

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 11, 2013
පින්තූරය: බීබීසී සිංහල වෙබ් අඩවියෙන්

පින්තූරය: බීබීසී සිංහල වෙබ් අඩවියෙන්

අයෙක් මිය ගිය පසු එයා ගැන කිසිත් වරදක් කියනවාට බහුතරයක් අකමැති වෙති. සත්‍යය සොයා යන ජීවිත ගමනේ දී බහුතරයක් අකමැති දේවල් හෙළිදරව්/මතක් කරන්නට මට පැකිළීමක් නැත. පසුගිය දින කිහිපයේ සුනිලා අබේසේකර ගැන පළ වූ එක පැත්තක් පමණක් කියන අතීත ආවර්ජනා කියවද්දී නළියන මගේ සිත දමනය කරගැනීම බෙහෙවින් අපහසු බව අවසානයේ දී මට පසක් විය.

මිය යෑම නිසා පමණින් අයෙක් කරන ලද ප්‍රෝඩාවන් සියල්ලෙන් එයාට ගැලවෙන්නට නොහැකියි. ඒ නිසා ආර්ථිකය වැඩ කරන්නේ කෙසේදැයි ලියාගෙන යන සටහන් අතරමඟ දී මෙය පළ කරන්නට ඕනෑ ඕනෑමයි කියා මසිත හඬගා කියද්දී මම ඊට අවනත වුනෙමි. සමාජ සාධාරණත්වයේ නාමයෙන් කියමින් තම ආර්ථිකය හා තම කීර්තිය හඹා යන ප්‍රෝඩාකාරයන්ට රැවටෙන අය තවත් කාලයක් පුරා ඔබ කැමති දෙයක් පමණක් ඔබට විකුණන පුද්ගලික සමාගම් දූෂිත ක්‍රියාකලාපයේ යෙදෙති යැයි කියන්නට ද රැවටී සිටිනු ඇත.

“ශ්‍රී ලංකාවේ ප්‍රවීනතම මානව හිමිකම් ක්‍රියාධරිනියක්”, “යහපත් දෑ නිර්මාණයට වෙහෙසුන දිරිය මවක්”, “සමාජ සාධාරණත්වය”, “මානව නිදහස නම් සදාතනික අරගලය වෙනුවෙන් ජීවිතය කැප කළ,” යනාදී වදන් සේ ම “ශ්‍රී ලාංකේය ස්ත්‍රීවාදී කතිකාව දාර්ශනික තලයට ඔසවා තැබීමේ ප්‍රමුඛ ස්ත්‍රීවාදිනියක්” ලෙසින් ඇය ගැන කවිපද ලියැවෙද්දී එහි පසුබිම් කතාව සිංහලෙන් කියවන්නා අමතක කළ යුතු නොවේ.

ලංකාවේ ආණ්ඩු විසින් ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් කප්පාදුව පටන් ගන්නේ ඈත අතීතයක සිට. අනගාරික ධර්මපාල කාලයේ පටන් දේශප්‍රේමිත්වයේ නාමයෙන් සිංහල ජාතියට බොරු පොවා ඔවුන් ද්වේශයෙන් පුරවා තබා සියළු පුරවැසියන්ට අහිතකර ප්‍රතිපත්ති තවමත් නොකඩවා කරගෙන යන රටකි ලංකාව. එහෙත් ජාතියේ වීරයන් ලෙසින් අනගාරික ධර්මපාල සලකන අය මෙන්ම ජාතියේ වීරවරියක් ලෙසින් සුනිලා අබේසේකර සලකන අය ද සිටීම රටේ අභාග්‍යයයි.

යම් මතවාදයකට අයෙක් පෙනී සිටීමේ වරදක් මා දකින්නේ නැත. එහෙත් මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ එයින් තමනට ලැබෙන කාසිවාසි මත නම්? එවිට අයෙක් වීරයෙක් යැයි කියන්නට පුළුවන් ද? එයට මුලින්ම එරෙහි විය යුත්තේ අති උදාර චේතනා වෙනුවෙන් නිතිපතා පාරට්ටු බාන වාමාංශිකයන්ම නොවේද?

2012 මාර්තු මාසයේ දී සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු, පකියසෝති සරවනමුත්තු, සුනන්ද දේශප්‍රිය යන අය ජීනිවා මානව හිමිකම් සමුළුවේ දී ලංකාවේ කිළුටු රෙදි හෝදන්නට උපකාර කරගත්තේ අසත්‍යය වූ සිද්ධියකි. රටේ කිසිම නීතියක් නැහැ යැයි කියන්නට කොළඹ පහේ මහ දවල් මිනිහෙක් පුළුස්සා දැමූ සිද්ධිය ඉදිරිපත් කරද්දී ඒ තැනැත්තා සියදිවිනසාගත්තෙක් යන්න හෙළිකරන ලද්දේ සිළුමිණ ප්‍රවෘත්තියකිනි.

ශ්‍රී ලංකා හමුදාවේ සෙබලෙක් යාපනයේ දී 13 හැවිරිදි දැරියක් දූෂණය කළ බව සුනිලා අබේසේකර හෙළිදරව් කරන්නේ ත්‍රස්තවාදී හිතවාදීන් සමඟය.

ලංකාවේ වාසය කරන බහුතරය දන්නා කරුණු අතර යුද්ධයෙන් පසු කටුනායක වෙළඳ කලාපයේ සිට රතුපස්වල දක්වා උද්ඝෝෂකයන්ට වෙඩි තබා මරුමුවට පත් කිරීම නිසා මානව හිමිකම් උල්ලංඝණය වීම තවමත් සිද්ධ වේ. ලංකාවේ මිනිසුන් තමනටම ගසා ගැනීම, තමන්ම පැහැරගෙන යෑම දකිද්දී තමන් විසින්ම පුළුස්සා ගත්තා යැයි ද කීමත් අසත්‍යයක් නොවෙනු ඇත!!!! යුද්ධය පැවති කාලයේ ලංකා හමුදාවේ සෙබළුන් නොව වර්තමාන ලංකාවේ පිරිමින් ද ස්ත්‍රීන් දූෂණය කරන රටක් හැටියට වාර්තා ලංකාවේ පුවත්පත් හි පළවේ. එහෙත් ජාත්‍යන්තර සභාවක දී ඒවා ගැන කියන තම පැත්තේ අය පමණක් වීරයන් වෙති. ඔවුනට ලැබෙන සම්මාන ජාත්‍යන්තර කීර්තියක් වෙති. ඔවුන් මිය ගිය විට ප්‍රශස්ති කවිපද ලියති.

සුනිලා අබේසේකර යනු රාජ්‍ය නොවන සංවිධාන වලින් තමනට ලැබෙන රට සල්ලි අනුව කටයුතු කරන ලද රූකඩයකි. 60 ගණන් වල දී පටන්ගත්ත ද 80 ගණන් වල දී ඇමෙරිකාවේ ලෙස්බිනියන් සඳහා වූ ව්‍යාපාරයන් වලින් මුදල් ලැබෙද්දී සුනිලාගේ මානව හිතවාදය ඒ පැත්තෙන් මුදල් ලබාගන්නට හැකිදැයි විමසන්නට යොමුවිණ. ඇය වරක් ගම්මානයක දී තනපට ගලවන්නට ගියේ කාන්තා නිදහස් අයිතීන් වෙනුවෙනි!!! ඇය ඇතුළු කොළඹින් ගිය කාන්තා නායිකාවන්ව ගමෙන් පන්නා දැමුවේ ගමේ ගෑණුයි. මෙය දිවයිනේ එවක පළවූ ප්‍රවෘත්තියකි.

දකුණේ Mother’s Front සංවිධානය තුලට කඩාවැදී එය රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ගරන හා ලෝක සම්මාන දිනන තම අභිප්‍රායන් වෙනුවෙන් යොදා ගන්නා සුනිලා ද්‍රවිඩ කාන්තා සංවිධානයන් ද එසේ තම උවමනාවන් පිණිස යොදාගන්නා ලද්දියකි. තම පුතුන් අහිමි වූ මව්වරුන්ගේ මුහුණු නොව ලොව ප්‍රසිද්ධියට පත්වෙන්නේ ඇයගේ මුහුණයි.

ලංකාවේ උපන් නිව්යෝර්ක් හි වාසය කරන මාධ්‍යවේදිනියක් එක්සත් ජාතීන් වෙතින් මානව අයිතීන් සඳහා සම්මානය ලත් සුනිලා අබේසේකර ගෙන් සම්මුඛ සාකච්ඡාවක දී ඇසුවේ එය ඇයට ලැබුනේ කෙසේදැයි කියාය. දුරකතන ඇමතුම ලැබෙන තෙක් තමා ඒ ගැන දැන සිටියේ නැතැයි සුනිලා විසින් කියන ලදි. එහෙත් සත්‍යය නම් ඒ සම්මානය සඳහා අන්තර්ජාලයෙන් බාගන්නා ඉල්ලුම්පතක් පුරවා යැවිය යුතුයි. අනතුරුව තමන් කොතරම් දක්ෂ ක්‍රියාවේදිනියක් (activist) දැයි කියන්නට මණ්ඩලය ඉදිරියට යන්නට පවා සෑහෙන සභාකක්ෂයක් (lobby) තමන් විසින් කරත යුතුයි. අනතුරුව ඒ මණ්ඩලය ඉදිරියේ දී තමන් ශ්‍රේෂ්ඨ ක්‍රියාවේදිනියක් වන්නේ මන්දැයි කියන්නට තමන්වම ප්‍රමෝට් කරන්නට ද අවශ්‍යයයි!!!!!

සැබෑ වීරයන් වීරවරියන් හඳුනාගන්න, බොරු ප්‍රෝඩාකාරයන්ට ප්‍රෝඩාකාරියන්ට රැවටීමෙන් වැළකෙන්න.

Advertisements

66 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on සැප්තැම්බර් 11, 2013 at 8:50 පෙ.ව.

    Activist කියන එක සම්පුරුණයෙන්ම අමතක උනාද?? මට හිතෙන්නේ මට නං එහෙමයි. කලාව ගැන විතරයි මතක් උනේ

  2. Naleen Dilruksha said, on සැප්තැම්බර් 11, 2013 at 9:09 පෙ.ව.

    අද දවසට සුනිලා ගැන ලිපි කීපයක්ම කියෙව්වා. දයානන්ද ගේ ලිපියේ මා කමෙන්ට් එක විදියට දැම්මෙත් ඇය දක්ෂයි එනමුත් ඇගේ දහමට මා අකමැතියි කියලයි. ඒ අකමැත්ත ඔබ මැනවින් සවිස්තරව සටහන් කොට තිබෙනවා. ස්තුතියි අරුණි.

  3. rasika said, on සැප්තැම්බර් 11, 2013 at 9:16 පෙ.ව.

    ඔබත් නිවැරදිව තොරා ගෙන ඇත වීරවරියන්.

  4. marayagehorawa said, on සැප්තැම්බර් 11, 2013 at 9:18 පෙ.ව.

    ප්‍රතිචාර බැලිය යුතු ලිපියකි…

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2013 at 9:19 පෙ.ව.

      marayagehorawa,

      මාරයා මල්ලි බරක් ඔබාමා වගේ වෙන්න එපා, ලැබෙන ප්‍රතිචාර කෙසේදැයි නොසොයා තමන්ගේ හෘදය සාක්ෂිය කියන්නේ කුමක් දැයි විමසන්න 😀

      • marayagehorawa said, on සැප්තැම්බර් 11, 2013 at 9:25 පෙ.ව.

        හපොයි.. ඕක අහන්නත් දෙයක්ද… මං බොහෝම කැමති හඩක් තිබුන කෙනෙක් මෙයා.. ඒත් අනිත් කාරණා වලදී නම් කිසිම ප්‍රියත්වයක් නැති චරිතයක්.. ඒත් ඉතිං තව මෙයා ගැන දැනගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ලිපි වලිනුත්.. ඒවායේ පල වෙන කොමෙන්ට් වලිනුත් තමා… ඒකයි බලන්නේ…

        • සජීව said, on සැප්තැම්බර් 12, 2013 at 2:59 පෙ.ව.

          ආණ්ඩුවට අනියමින් හරි වාසියක් වන මතවාදයක් පතුරන ලිපියක් කොතැනද, අශූචි ගොඩක් සොයා යන නිලමැස්සෙකු මෙන් මාරයාද එතනය.

          • arunishapiro said, on සැප්තැම්බර් 12, 2013 at 7:07 පෙ.ව.

            සජීව,

            😀

            • marayagehorawa said, on සැප්තැම්බර් 12, 2013 at 12:28 ප.ව.

              හිතවත් සජීවයෙනි..ඔබගේ ප්‍රකාශයෙහි නිවැරදි විය යුතු කාරණාවක් ඇත.. එනම් මා කඩේ යන්නේ සමස්ථ ආණ්ඩුවටම නොව මහින්ද රාජපක්ෂයන්ට පමණක්ය යන බවයි.. ඒ හැර සමස්ථ ශ්‍රීලංකා/යූ ඇන් පී/ජේවීපී/හෙල උරුම/මුස්ලිම් කොන්ග්‍රස්/හා තවත් ද්‍රවිඩ කොටස් හා නාමික සමාජවාදී පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ආණ්ඩුවට නොවන බවයි.. 😀

              එහෙත් මෙවැනි තැන්වලදී මා නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂයන්ව නොව “අපේ රට“ කියන කොටස බවත් කරුණාවෙන් දැනුම් දී සිටිමීට කැමැත්තෙමි.. ස්තූතියි.. ඈ…

              • සජීව said, on සැප්තැම්බර් 13, 2013 at 1:14 පෙ.ව.

                මාරයා…

                සමස්ථ ආණ්ඩුවම යනු මහින්ද රාජපක්ෂම පමණක් බව නොතේරෙන්නේ ඇයි?
                ඔය “අපේ රට“ ඇතුලේ ඉන්න අනෙකුත් ජාතීන්ට (ඇත්තෙන්ම ඔබ දරන ආණ්ඩුව හොදා..යි මතය හැර අනෙකුත් මතවාද දරන්නන්ට එම රට පිළිබදව හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතාකිරීමට අයිතියක් ඇත්තේම නැද්ද?

                ඔයාටත් ස්තූතියි ඈ….(නැවත නැවතත් මාරයා යනු කවරෙක්දැයි ඔප්පු කලාට)

        • swarna said, on සැප්තැම්බර් 14, 2013 at 3:51 පෙ.ව.

          Yes,her voice is sweet. Agree, we don’t know who really she is… “Handunagaththoth oba ma…” it is her voice…

  5. Wanninayake said, on සැප්තැම්බර් 11, 2013 at 9:25 පෙ.ව.

    ආන්ඩුවට ගැති වෙමින් එහෙත් ව්‍යාජ ‘ලිබරල් හිතවාදයක්’ මවාපාන අරුනි සැෆිරෝ (හෝ ඒ නමින් පෙනීසිටින්නාගේ) සැබෑ නිරුවත පෙන්වූවාට ස්තූතියි…

    • Janaka Priyadarshana said, on සැප්තැම්බර් 12, 2013 at 1:26 පෙ.ව.

      මට හිතෙන්නෙ ඔප්පු නොකල හැකි පුවත්පත් වාර්තාවන්ට අනුව සැකසුන ලිපියකි….අරුණිට අනුව ඇයගේ මුලු ලිපියම එකම තැනකින් අල්ලා ඉරා දැමිය හැක ..ඒ තැන මුලු ලියුමේම අර්ථය එකම තැනකට කර අරුණිගේ නිරුවත පෙන්වයි…අරුණි මෙසේ කියයි…>>>>ශ්‍රී ලංකා හමුදාවේ සෙබලෙක් යාපනයේ දී 13 හැවිරිදි දැරියක් දූෂණය කළ බව සුනිලා අබේසේකර හෙළිදරව් කරන්නේ ත්‍රස්තවාදී හිතවාදීන් සමඟය.<<<<<<. තමුන් හරි සාධාරණ දෙයක් කතාකිරීමට අවශ්‍ය තැනක ත්‍රස්ථවාදියෙකුත් එයම කියනවා නම් තමන් එය නැතැයි කියන්නද ශපීරෝගේ ප්‍රතිපත්තිය.. හඩ්ඩා, මහින්ද අබේසුන්දර වසන්තප්‍රිය රාමනායක වැනි වර්ගයේ උන් ගේ තත්වයේ ද්වේශ සහගත ඉදිරිපත්කිරීමක් හැර වෙන අමුතුයමක් මේ ලිපියේ නැත… සම්මාන ගැන කියනවා නම් ඒවා වටින්නේ මෙවන් සාමාජ ක්‍රියාකාරිනියන්ටය එයින් ඇය නගන හඬ අලංකාර වේ….

  6. සාතන් said, on සැප්තැම්බර් 11, 2013 at 9:45 පෙ.ව.

    මේ දවස් ටිකේ මේ මනුස්සය ගැන ප්‍රශස්ති දැකල “අනේ…” කියල හිතල තිබුනෙ.. (ප්‍රශස්ති ගයන උන් ගැන)

  7. ඉන්දික උපශාන්ත said, on සැප්තැම්බර් 11, 2013 at 10:39 පෙ.ව.

    “ශ්‍රී ලංකා හමුදාවේ සෙබලෙක් යාපනයේ දී 13 හැවිරිදි දැරියක් දූෂණය කළ බව සුනිලා අබේසේකර හෙළිදරව් කරන්නේ ත්‍රස්තවාදී හිතවාදීන් සමඟය.”

    මේ කියන්නේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිද්ධිය ගැන නම්, මොන යකා සමඟ එකතු වී හෝ අපරාධයක් හෙළිදැක්විම්ම වරදකද?

    යුද්ධය පැවති කාලයේ ලංකා හමුදාවේ සෙබළුන් නොව වර්තමාන ලංකාවේ පිරිමින් ද ස්ත්‍රීන් දූෂණය කරන රටක් හැටියට වාර්තා ලංකාවේ පුවත්පත් හි පළවේ. එහෙත් ජාත්‍යන්තර සභාවක දී ඒවා ගැන කියන තම පැත්තේ අය පමණක් වීරයන් වෙති. ඔවුනට ලැබෙන සම්මාන ජාත්‍යන්තර කීර්තියක් වෙති. ඔවුන් මිය ගිය විට ප්‍රශස්ති කවිපද ලියති.

    එවිට මහින්ද රාජපක්ෂ අසූ නමයේදී වාසු සමඟ ගොස් මානව හිමිකම් කොමිසමට පැමිණිලිකිරීමත් වරදක්ද?

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2013 at 11:50 පෙ.ව.

      ඉන්දික උපශාන්ත,

      වැඩේ හැම තිස්සෙම ලංකාවේ බහුතරය එකතු වෙන්නෙ හානිකර පැත්තක ඉන්න යක්කු එක්ක පමණක් වීමයි!!!!!

      “පිළිකා සාදවා මිනී මරන මඟක්,” දිවයිනෙන් හෙළි කරපු වෛද්‍ය වසන්ත දිසානායක විසින් “ඇමෙරිකානු විරෝධී රාජ්‍ය නායකයන්ට සූක්ෂම අන්දමින් පිළිකා රෝගය වැළඳවීමේ අති බියකරු තත්වයක් තියෙනවා,” යැයි කියද්දී සිංහලෙන් කියවන කාට ද ඉතින් මතක් වෙන්න පූටින් අකමැති වූ තැඹිලි විප්ලවයේ වික්ටර් යුෂ්චෙන්කෝ!!!!!

      මානව හිමිකම් කොමිසම් වලට පැමිණිලි කිරීම හොඳ ද නරක ද ගැන කතාබස් කිරීම නොව සටහනේ අරමුණ වූයේ දුප්පත් පලස්තීන වැසියන් කරමතින් බිලියන ගණනක පුද්ගලික වත්කමක් එකතු කරගත් යසර් අරෆාට් නොබෙල් සාම තෑග්ග දිනාගත්තා සේ අසරණ වූ කාන්තාවන් කරමතින් ගොස් පුද්ගලික මුදල් වාසි ලබා මානව හිමිකම් තෑග්ගක් දිනාගත් අයෙක් රටේ වීරවරියක් වෙනවා ද යන්නයි.

      • ඉන්දික උපශාන්ත said, on සැප්තැම්බර් 12, 2013 at 5:10 පෙ.ව.

        ඔබ මා ඇසූ පැණයට පිළිතුරු දී නැත. මා ඇසුයේ ඇය වරද හෙලිකල එක වැරදිවන්නේ කෙසේද යන්නයි. එහිදී බහුතරය ඉන්නේ කොතැන්ද යන්න අදාල නොවේ.

        සුනිලා රටෙහි වීරවරියක් නොවේ. ඇය වීරවරියක් වන්නේ ඇගේ ක්ෂේත්‍රයේ අයට පමණි. එය පළවී ඇති ලිපි නිරීක්ෂනයෙන් පැහැදිලිවනු ඇත. බහුතරයකට සුනිලා යනු සොඳුරු හඬ ඇති ගායිකාවක් පමණි. එබැවින් ඔබේ නිගමනය අසාධාරණ එකකි.

        • arunishapiro said, on සැප්තැම්බර් 12, 2013 at 7:24 පෙ.ව.

          ඉන්දික උපශාන්ත,

          මා ඔබ ඇසූ පැනයට පිළිතුරු දී ඇත. එනම් වරද හෙළිකිරීම හරි ද වැරදි ද ගැන නොව මගේ සටහනේ අරමුණ වූයේ ඇය පුද්ගලික කීර්තිය සහ මුදල් වාසි වෙනුවෙන් මානව හිතවාදියෙක් වෙද්දී ඇය වීරවරියක් ලෙසින් සැලකෙනවා ද යන්නයි. බහුතරයකට ඇය සොඳුරු කටහඬක් ඇති ගායිකාවක් යන්න ගැන කිසිම අවුලක් නැත. මේ සටහන ඇය වීරවරියක් සේ සලකන අය වැරදි මන්දැයි කියන්නට ලියැවුන does the end justify the means යන්න විමර්ශනයකි. අන්තය හොඳ නම් කුමන මාර්ගයකින් හෝ එයට පිවිසුනාට කමක් නැද්ද? අයෙක් CIA වලින් මුදල් ගෙන ලංකාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කළාට කම් නැත් ද? විසල් සමාගම් වලින් මුදල් හා සංචාරයන් සඳහා තෑගි ලබමින් මිනිසුන්ගේ ලෙඩ සුව කරන බෙහෙත් හෝ වසවිෂ නැති කිරිපිටි මේ මේ ඒවා යැයි තීරණය කළාට කම් නැත් ද?!!!! රටේ දියුණුව හා සාමය වෙනුවෙන් සියළු විරෝධවාදීන්, උපදින්නට ඉන්නා දරුවන් පවා ඝාතනය කර දැමුවාට කම් නැත් ද?

  8. Gokula said, on සැප්තැම්බර් 11, 2013 at 11:07 පෙ.ව.

    සුනිලාගෙ පලමු විවාහය ඩබ්ලිව්.ජයසිරි නලුවා . ඔහු ගුවන් විඩුලියෙ සේවය කරනව්ට බෑන්ඩේ.

  9. Shanthi Chandrasekera said, on සැප්තැම්බර් 11, 2013 at 1:50 ප.ව.

    Thanks Aruni me helidarawwata. math oya gana tikak danagena hitiya. .

  10. ishara said, on සැප්තැම්බර් 11, 2013 at 2:30 ප.ව.

    මේ රටේ බිස්නස් කාරයෝ CEO ලා කරන මගෝඩි දැක්කාම සුනිලා අහිංසකයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2013 at 4:21 ප.ව.

      ishara,

      //ඔබ කැමති දෙයක් පමණක් ඔබට විකුණන පුද්ගලික සමාගම්// කියන්නේ එහෙම ඒවාට මිසක් සමාගම්වාදයෙන් දුවන රටක බිස්නස්කාරයෝ CEO ලා මගෝඩි නොකරන සුදනන් යැයි කියනවා නොවන බව කරුණාවෙන් සලකන්න.

      ඔවුන් අතර වෙනස දකින්නට පවා නොහැකි වූ කල සියළු බිස්නස්කාරයන් එක ගණයේ ලා සැලකිල්ලට ගැනීම වැන්නක් තමයි සුනිලා අහිංසකයි යන්නේ දී ද වෙන්නෙ. රටේ අක්‍රමිකතා වෙනුවෙන් පෙනී සිටින, ඒවා ජාත්‍යන්තරයට ගෙන යන අය අතර එහෙත් තමන් හඬ ගාමින් එරෙහි වෙනවා කියන කීර්තිය වෙනුවෙන් මුදල් වෙනුවෙන් කරන පටු චේතනා හි ඇය ද නියැළී සිටි බව නොදකින එක තමයි වැරැද්ද.

  11. Ravi said, on සැප්තැම්බර් 11, 2013 at 3:26 ප.ව.

    / මෙහෙම දෙපැත්තක ඉඳන් අරයා බොරු කියනවා කියද්දී, මම ගෙනයන පුද්ගලික ප්‍රතිපත්තිය මෙයයි: බොරු කියා හෙළි වූ ඉතිහාසය වැඩියෙන් තියෙන්නේ කාට දැයි කල්පනා කිරිම … නවසීලන්ත ආණ්ඩුවට ද? ලංකාවේ ආණ්ඩුවට ද?!!!! /

    / රටේ කිසිම නීතියක් නැහැ යැයි කියන්නට කොළඹ පහේ මහ දවල් මිනිහෙක් පුළුස්සා දැමූ සිද්ධිය ඉදිරිපත් කරද්දී ඒ තැනැත්තා සියදිවිනසාගත්තෙක් යන්න හෙළිකරන ලද්දේ සිළුමිණ ප්‍රවෘත්තියකිනි. /

    දැන් මේ පළමු ප්‍රකාශය අනුව කියවෙන ඔබගේ පුද්ගලික ප්‍රතිපත්තිය දෙවන ප්‍රකාශයට ආදේශ කලාම සිළුමිණට සත්‍යය ප්‍රකාශ කිරීම ගැන තියෙන කීර්තිනාමය ( Reputation එක ) මොන වගෙ වගේ එකක් කියලද අරුණි හිතන්නෙ?

    / ශ්‍රී ලංකා හමුදාවේ සෙබලෙක් යාපනයේ දී 13 හැවිරිදි දැරියක් දූෂණය කළ බව සුනිලා අබේසේකර හෙළිදරව් කරන්නේ ත්‍රස්තවාදී හිතවාදීන් සමඟය. /

    ඉතිං මොකද?…සුනිලා හිටගෙන ඉන්නෙ කවුරුඑක්කද කියලද හොයල බලන්න ඕනෙ නැත්තං සුනිලා කියන්නෙ ඇත්තද කියලද?

    / යුද්ධය පැවති කාලයේ ලංකා හමුදාවේ සෙබළුන් නොව වර්තමාන ලංකාවේ පිරිමින් ද ස්ත්‍රීන් දූෂණය කරන රටක් හැටියට වාර්තා ලංකාවේ පුවත්පත් හි පළවේ. /

    මට තේරෙන්නෙ නෑ අරුණි මේ අවස්ථාවන් දෙකේ වෙනස වටහාගන්නට අසමත්ද නැත්තං හිතා මතාම නොතේරෙනව වගෙ කතා කරනවද කියල

    ස්ත්‍රී දූෂණ ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් ඉස්සරත් සිද්ද උනා, අදත් සිද්ද වෙනව..හෙටත් සිද්ද වෙයි..ඒත් මේ කතා කරන්නෙ එක ජන කොටසකට විරුද්ධව කෙරෙන යුද්ධයකදි ආක්‍රමණික පාර්ශ්වයෙ සෙබළුන් අතින් සිදුවන මහා පරිමාණ දූෂණ ගැන…පරමාර්ථය අතින් ගත්තොත් ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් අරුණි, සම්පූර්ණයෙන්ම වෙනස්…දිනපතා සිදුවන දූෂණ කරන්නෙ විකෘති කාමාශා සහිත හෝ වෙනත් විදිහකට ඒ උවමනාවන් පිරිමසාගැන්මේ හැකියාවක් නැති අය…යුද්ධයක් වෙලාවෙදි සිදුවන සමූහ දූෂණ කොහෙත්ම ඊට සමාන කරන්න බෑ.

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2013 at 4:38 ප.ව.

      Ravi,

      ලංකාවේ ඕනෑම සිංහල පත්තරයකින් වගේම සිංහලෙන් පමණක් ලියන අය වෙතින් ද සත්‍යය ප්‍රකාශ කිරීමක් සිද්ධ වේ යැයි නිතැතයෙන්ම බලාපොරොත්තු වෙන අයෙක් නෙමෙයි මම. කියවන අය බහුතරය වෙතින් ද සත්‍යය හඳුනාගැනීමක් සිද්ධ වේ යැයි ද මම බලාපොරොත්තු වෙන්නේ නැහැ!!!! කිරිපිටි අවුලේ දී එය ඉතා පැහැදිලි වුනා.

      සුනිලා හිටගෙන ඉන්නේ කවුරුන් ද සමඟ ද කියා නෙමෙයි මම විමසන්නේ. ඇත්ත කියන්නට කා එක්ක හිටගත්තාම ද වැඩියෙන් සල්ලි ලැබෙන්නෙ කියන එක සොයා බලා ඇය ඒ පැත්තේ හිටගත්තාය කියන එකයි. වාමාංශිකයෙක් මුදල් වලට යට වුනාම කවුරුත් ඒ ගැන ඇත්ත කියනවාට ඔය තරම් අකමැති ඇයි?

      යාපනේ පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද සේ ම, යුද්ධයේ දී සිද්ධ කරන ලද දූෂණයන් සේ ම, යුද්ධය අවසන දී සිද්ධ වූවා යැයි කියන මිනිස් ඝාතන සේ ම, කිරිපිටි අවුල සේ ම, සත්‍යය සිද්ධිය කුමක් දැයි කියා කැමති අය කැමති විදියට සිතා ගැනීම තවත් කාලයක් පුරා සිද්ධ වේවි. ඒත් ඒ ගැන නෙමෙයි මේ සටහන. මෙය මිය ගිය අයෙක් ගැන ප්‍රශස්ත කවි ලියමින් හඬා වැටෙන ජනතාවක් ඒ ප්‍රශස්ත ගීත ලියන්නේ තමන් විසින් ම හෙළා දකින කීර්තිය හා මුදල් පිණිස කටයුතු කළ අයෙක් වෙනුවෙන් බව නොපිළිගැනීම ගැනයි.

      • Sujeewa said, on සැප්තැම්බර් 12, 2013 at 8:30 පෙ.ව.

        රවී සාධනීය ලෙස කතා කරන කෙනෙකු නිසාත් අරුනිට ෆස්ට් හෑන්ඩ් දත්ත නැති නිසාත් සුනිලා ගැන මම ටිකක් ලියන්නම් රවී. මොකද අරුනිට වඩා අපි සුනිළාව දැක්ක නිසා.

        සුනිලා 2001-2004 සමයේ තරම් ප්‍රසිද්ධ මාධ්‍ය තුල කවදාවත් පෙනී සිට නැහැ. සුනිලා ඇතුළු කිහිප දෙනෙක් “දිවි හිමියෙන්” කොටි සංවිධානයට සුදුහුණු ගෑවේ ඔය කාලේ.

        මායිම් ගම්මාන වල සිංහල ජනතාව කොටි සංවිධානයෙන් මරා දැමෙන කොට: “ඇයි ඔයාලගේ සිංහල හමුදාවට වගේම එයාලගේ දෙමල හමුදාවටත් මිනිස්සු මරන්නපුළුවන්. ඒ දෙමල හමුදාවේ අය එල්ල කරන ප්‍රහාර වලින් ඔය මිනිස්සු මිය යනවා ඇති”

        මේ කියන්නේ ක්‍රොස් ෆයර් වලින් මැරෙන අය ගැනවත් නොවේ. කදු අරගෙන ගම්වලට වැදිලා බඩදරු අම්මලාගේ බඩ දෙකට පලාපු සුනිලාගේ “දෙමල හමුදාව” ගැන [දමිල කෙනෙක් මෙය දැක අමනාප නොවන්න. කොටි සංවිධානය “දමිලයින්ගේ නියෝජනයක් ලෙස අපි දකින්නේ නැහැ. සුනිලා තමා “දෙමල හමුදාව” කියන වචනය කියා දුන්නෙත්]

        මේ සරල සිද්ධිය තුල අරුණි පෙන්නන දෙපිටකාට්ටු හැසිරීම අඩුවක් නැතුව තියෙනවා. නිකමට හිතන්න මානව හිමිකම් ක්‍රියාකාරිනියක්, සම්මාන ලබාපු, ජාත්‍යන්තරයේ මානව අයිතිවාසිකම් වල ලොකු කුට්ටියක් ;ලංකාවේ නියෝජනය කරන කෙනෙක් මෙහෙම කියන ඒක කෙතරම් අවුල්ද කියලා.

        සුනිලලා කලේ මානව හිමිකම් භාවිතා කරන දේශපාලනයක් ඒ තුල සුනිලලා කලේ තමන්ගේ හිතවත් පාර්ශ්වය වෙනුවෙන් නියෝජනයක්. ඒ සඳහා සල්ලි ලැබෙන්න ඇති. නොඑසේ නම් සල්ලි ලැබෙන පිල නියෝජනය කරන්න ඇති. එහෙත් මේ මානව හිමිකම් ක්‍රිය්යාකාරිත්වයක් නොවේ.

        සුනිලා කල වැදගත්ම මෙහෙය තමා මේ කයිවාරු හරහා රටේ බහුතර අපිට ඔප්පුකරපු ඒක ඔය සාමය කියලා ලංකාවේ කරපු වැඩේ පොට්ට දේශපාලන මගඩියක් විනා ඕකෙන් ගෙනෙන සාමයක් නැති බව. ඒ මතවාදී විකර්ෂණය යුද ජයට බලපෑවා. අදටත් මාමව හිමිකම් ගැන ලංකාවේ සන්දර්භයේ කතා කරන්න අවකාශයක් නැත්තේ මෙයාලා නිසා තමයි.

        සුනිල්ගේ සින්දු නම් සිරා. එපමණයි.

        • arunishapiro said, on සැප්තැම්බර් 12, 2013 at 8:36 පෙ.ව.

          Sujeewa,

          ඇයට මානව හිමිකම් සඳහා සම්මානය ලැබුනේ කෙසේදැයි ඇය දන්නෙ නැහැ යන සුනිලාගේ කටහඬ ෆස්ට් හෑන්ඩ් දත්තයක් නොවේ ද?

          • එස්. පියසේන said, on සැප්තැම්බර් 14, 2013 at 4:23 පෙ.ව.

            ලෝකයෙන් සල්ලි අරගෙන ආයුධ අරගෙන ආණ්ඩුව දෙමළ මිනිස්සු මරද්දී සුජීව වගේ ‍ගම් බයියන්ට ඒක මාර දේශප්‍රේමී වැඩකි. ඒ ලෝකයෙන්ම සුනිලා සල්ලි අරගෙන මානව හිමිකම් ගැන කථා කරද්දී ඒක මාර අප්සෙට් වැඩකි. සුජීවයි මහින්දයි සුනිලයි මේ ලියන මායි – අපි හැමෝම යැපෙන්නේ බටහිර ලෝකයේ මිනිස්සු වැඩ කරලා නිපදනවන අතිරික්තයෙන් එන ආධාර උඩ. ආණ්ඩුව යුද්ධ කලෙත් ඒ සල්ලි වලින්. සුනිලා මානව හිමිකම් කථා කරෙත් ඒ සල්ලි වලින්. දෙමළාගේ මානව හිමිකම් අමු අමුවේ බුල්‍ඩෝසර් වෙනකොට ඒකට හුරේ දාපු මේ වගේ අපතයෝ අද ලංකාවේ මානව හිමිකම් නැතෝ කියා මොර දෙද්දී ඒක පට්ට කුහකකමකි.

  12. Sam said, on සැප්තැම්බර් 11, 2013 at 7:27 ප.ව.

    ඔබට මරාගෙන් කීයක් ලැබුනද මේ වගේ මඩ බ්ලොග් ලියනවාට? ලැජ්ජයි අරුනි මැරිච්ච මනුස්සයින්ටත් මඩ ගහන තමුසෙල වගේ නිවට කාන්තාවොත් ඉන්නවානෙ. ආණ්ඩුවේ වන්දිබට්ටකම කළාට අපිට කමක් නෑ ඒත් රෙදි ඇඳන් බ්ලොග් ලියන්න හිතන්න එපා. මේ බ්ලොග් ස්පේස් එකේ මරාගෙ කක්කි පැත්ත හෝදන ඔබ වගේ උන්ට අපි ඉඩ තියන්නෙ නෑ. කාන්තාවන් වෙනුවෙන් දිවි පුදපු මේ වගේ උතුම් වීරවරියකට තුට්ටු දෙකේ මඩ ගහන ඔබ වැනි කාන්තාවන්ට සාප වේවා!

  13. aruge adaviya said, on සැප්තැම්බර් 11, 2013 at 7:30 ප.ව.

    සුනිලා වාඩිවෙලා උන්නේ ඇඳේ වම් පැත්තෙද , දකුණු පැත්තේද කියන එකනම් මට අදාල නැහැ. සුනිලා එදා ජවිපේ ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වීමෙන් පසුව උනත් සමාජ ක්‍රියාකාරකම් වලදී නිවැරදිව ස්ථාන ගත උනා. සුනිලාට බොහෝවිට රටින් පිටවී හෝ දේශපාලණ කටයුතු වලින් බැහැරව වෙනත් කටයුතු කිරීමට පවා ශක්තියක් අවබෝධයක් තිබුන බව මගේ හැඟීමයි. කන්න ඕන වුනාම කබරයොත් තලගොයි වෙන සමාජ ක්‍රියාකාරීන් අතරේ සුනිලා, රිචඩ් සොයිසා ඊට වඩා ගොඩක් වෙනස්.

    • Sonya said, on සැප්තැම්බර් 12, 2013 at 1:57 පෙ.ව.

      කසිප්පු කාරයෙක් උනත් , හරක් හොරෙක් උනත් මළාට පස්සෙ අපේ රටේ හඳුන්වන්නේ සත් ගුණවත් උපාසක කියල. ඒ මැරුණ කෙනෙකුට අපහාස නොකරන නිසා. ඇත්ත ඇති සැටියේ දකින කෙනෙක් විදිහට සුනිලා අබේසේකර ගැන , විශේෂයෙන්ම ඇය වාගෙ දක්ෂ කලාකාරිනියකට අපහාස කරන එක හොඳ නැහැ අරුණි . ඒ වගේම කාන්තාවක් තවත් කාන්තාවකට අපහාස කරන එකත් එච්චර හොඳ ගතිගුණයක් නෙවෙයි.

  14. maathalan said, on සැප්තැම්බර් 11, 2013 at 11:57 ප.ව.

    මේකේ තියෙන ගොඩාක් කරුණු ඔහේටත් අදාලයි.. ලැජ්ජයි…

  15. රාජ් said, on සැප්තැම්බර් 12, 2013 at 12:22 පෙ.ව.

    “අනෙක් පැත්ත පෙන්නීම වෙනුවෙන්” ලිපියක් ලිවීම ගැන ස්තුතියි. මෙවන් ලිපියක කිසිදු වරදක් මම නං දකින්නෙ නෑ. සත්‍ය පිලිගන්න කැමති උදවියට අන්තිමට කියල තියන මේ ටික ඇති කියලයි මට හිතෙන්නෙ.

    //දුරකතන ඇමතුම ලැබෙන තෙක් තමා ඒ ගැන දැන සිටියේ නැතැයි සුනිලා විසින් කියන ලදි. එහෙත් සත්‍යය නම් ඒ සම්මානය සඳහා අන්තර්ජාලයෙන් බාගන්නා ඉල්ලුම්පතක් පුරවා යැවිය යුතුයි. අනතුරුව තමන් කොතරම් දක්ෂ ක්‍රියාවේදිනියක් (activist) දැයි කියන්නට මණ්ඩලය ඉදිරියට යන්නට පවා සෑහෙන සභාකක්ෂයක් (lobby) තමන් විසින් කරත යුතුයි. අනතුරුව ඒ මණ්ඩලය ඉදිරියේ දී තමන් ශ්‍රේෂ්ඨ ක්‍රියාවේදිනියක් වන්නේ මන්දැයි කියන්නට තමන්වම ප්‍රමෝට් කරන්නට ද අවශ්‍යයයි!!!!! //

    🙂

  16. Bhakthi said, on සැප්තැම්බර් 12, 2013 at 12:40 පෙ.ව.

    අනගාරික ධර්මපාල තුමා ජාතික වීරයෙක් නොවෙන්නෙ ඇයි කියලයි, ලංකාවෙ ජාතික වීරයො ඉන්නවනම් ඒ කවුද? ඒ අය ජාතික වීරයො වෙන්නෙ කුමන නිර්නායක මතද කියන දේ පැහැදිලි කරන්න පුලුවන්ද

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2013 at 6:59 පෙ.ව.

      Bhakthi,

      බුද්ධාගම වෙනුවෙන් සර් හෙන්රි ඔල්කොට් වැනි අය හා එකතු වී අනගාරික ධර්මපාලයන් කළ මෙහෙය සම්පූර්ණයෙන් කැන්සල් වෙලා යන විදියට ඔහු සිය ජීවිත කාලයේ ඊ ළඟට නිරත වූයේ බුද්ධාගමට පටහැනි අදහස් වලින් බෞද්ධ ජනතාවගේ සිත් පිරවීමයි. ලංකාවේ බෞද්ධයන් අදටත් ඒ විශබීජය ශරීරගත කරගෙන ඉන්නෙ. කියවන්න: සෞන්දර්ය ඉසව්වක සිට නිදහස නැවත කියවමු

      වීරයෙක් හෝ වීරවරියක් යනු නිර්භීතකම දක්වමින් අසාමාන්‍ය දස්කම් පාන ලද උදාර ගතිගුණ ඇති අයෙක්. තමන්ට මුදල් වැඩියෙන්ම ලැබෙන්නෙ කොයි පැත්තෙන් ද කියලා හොයලා බලලා ඒ අනුව මානව දයාව වෙනුවෙන් වෙහෙසෙන අයෙක් වීරයෙක් හෝ වීරවරියක් වෙන්නෙ නැහැ.

      වීරයන් හා වීරවරියන් ගැන ඕනෑ තරම් මේ අඩවියේ ලියා තියෙනවා. වාමාංශික වූ ද, කාන්තාවක් වූ ද, කලාකාරියක් වූ ද වීරවරියක් ගැන මම මෙසේ ලියා ඇත, කියවන්න: බෙයර්බෙල් බොහ්ලෙ -බර්ලින් තාප්පය ගැලවූ කාන්තාව

      • Bhakthi said, on සැප්තැම්බර් 12, 2013 at 8:50 පෙ.ව.

        මහා ධනයකට හිමිකම් කියූ ධර්මපාල තුමා ඒ සියල්ල අතහැර ජාතිය ආගම වෙනුවෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීම වරදිද? තනි පුද්ගලයෙකු වශයෙන් සමස්ත ඉන්දියාව සමග සටන්කොට බුද්ධගයාව ඇතුලු බොහෝ බෞද්ධ සිද්ධස්තන නිදහස් කර ගැනීම සුපිරි වීරයෙකු හැර වෙන කාටනම් කල හැකිද?

        • arunishapiro said, on සැප්තැම්බර් 12, 2013 at 1:11 ප.ව.

          Bhakthi,

          ඉතිහාසය ගැන කතා කරනවා නම් එහි තමන් කැමති කොටස් පමණක් තෝරා බේරා පරිහරණය නොකර සම්පූර්ණ ඉතිහාසය දැනගන්නට වෑයමක් කරන්න.

          පරමවිඥාන සංගමය නොහොත් The Theosophical Society යන්න ආරම්භ කරන්නේ රුසියාවේ උපන් ඇමෙරිකාවේ පදිංචියට ගිය හෙලේනා පෙට්‍රොව්නා බ්ලැවට්ස්කි යන කාන්තාව සහ කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කොට් යන දෙදෙනා වෙතින්. 1879 දී ඔවුන් දෙදෙනා තමයි ඉන්දියාවේ පදිංචියට ගිහින් බුද්ධාගම පුනරුත්පානය සඳහා උත්සාහයක් පටන් ගන්නේ. ඔල්කොට් ඉන්දියාවේ සිට ලංකාවට ඇවිත් ඉන්පසු තමයි අනගාරික ධර්මපාල ඒ උත්සාහයට එකතු වෙන්නෙ.

          කියවන්න: සිංහලයා බනින පරසුද්දා මෙයාකාරය

  17. අමල් ප්‍රසන්න said, on සැප්තැම්බර් 12, 2013 at 2:01 පෙ.ව.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සහ හැට හුටා මාරක් තියන මානව හිමිකම් සංවිධානත් කරන්නෙ තමන්ට මුදල් දෙන රජයන් හා පුද්ගලයන්ට අවශ්‍ය දේවල්නෙ. එහෙවු එකේ තනි පුද්ගලයෙක් ගැන මොන කතාද?

  18. අමල් ප්‍රසන්න said, on සැප්තැම්බර් 12, 2013 at 2:21 පෙ.ව.

    දැරියක් ,ස්ත්‍රීන් දූෂණය කිරීම ලෝකෙ මොන රටෙත් වෙන දෙයක්.

    //2012 මාර්තු මාසයේ දී සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු, පකියසෝති සරවනමුත්තු, සුනන්ද දේශප්‍රිය යන අය ජීනිවා මානව හිමිකම් සමුළුවේ දී ලංකාවේ කිළුටු රෙදි හෝදන්නට//
    මේ අය ලංකාවේ රෙද්දෙ මඩ ගාපු අය නේද?

  19. අමල් ප්‍රසන්න said, on සැප්තැම්බර් 12, 2013 at 2:34 පෙ.ව.

    යසර් අරෆාට්ට නොබෙල් සාම තෑග්ග දුන්නද? හත්වලාමයි තව ටිකක් කල් ගයානම් පුභාකරන්ටත් දෙනව හොද වෙලාවල ඒ ලොක්ක මැරුවෙ. ලාඩන් ලොක්ක මරන එක වගේ ඒව සජීවීව නරඹපු ඔබාමාට දීපු එකේ ඕව සිම්පල්.

  20. Nadeesha Chandrasena said, on සැප්තැම්බර් 12, 2013 at 4:27 පෙ.ව.

    මේ කතා එක්ක එකඟයි. ඒත් මම මේවා අදම ඇහුවා, අදම අමතක කළා…තව දුරටත් මම මතක තියාගන්නේ සුනිලා ගේ ගායනයන් විතරයි.

  21. Lalith said, on සැප්තැම්බර් 12, 2013 at 4:42 පෙ.ව.

    Shame on you! What evidence you have to degrade the service she has done? And who are you to make this statement and what you have given to society in return with compared to Sunila’s service?

  22. පොඩ්ඩි said, on සැප්තැම්බර් 12, 2013 at 6:23 පෙ.ව.

    ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා.

    // පසුගිය දින කිහිපයේ සුනිලා අබේසේකර ගැන පළ වූ එක පැත්තක් පමණක් කියන අතීත ආවර්ජනා කියවද්දී නළියන මගේ සිත දමනය කරගැනීම බෙහෙවින් අපහසු බව අවසානයේ දී මට පසක් විය.//

    ඒත් මේ කතාවෙන් කියන්නේ, සුනිලා අබේසේකරගේ හොඳ නොකියවුනාම්, අරුණි මේ වගේ පෝස්ට් එකක් දාන්නේ නෑ කියලද?

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2013 at 7:30 පෙ.ව.

      පොඩ්ඩි,

      ඇය මානව දයාවේ වීරවරියක් යැයි හඳුන්වා දෙනවිට ඇය ඒ වෙහෙස යෙදවූයේ වැඩියෙන්ම මුදල් ලැබෙන තැන් බලා ඒවාට හේත්තු වෙලා බව එක සටහනක් හෝ ගියා නම් මම මේ සටහන ලියන්නේ නැහැ. හරියට කිරිපිටි අවුල වගේම තමයි. තවමත් මගේ සටහන විතරයි කතාවේ අනිත් පැත්ත ගැන පළවී ඇති එකම සටහන. ඒ වසවිෂ ඇති තහනම් කරපු කිරිපිටි ආයෙත් කඩ රාක්ක වල තියෙනවාලු. ලංකාවේ අයට පිටින් එන වසවිෂ ඇති ආහාර නවත්තාගන්න බැරි හේතුව සමහර විට නවසීලන්තය මේ දවස්වල අපි නොදැනම ලංකාව ආක්‍රමණය කරලා නිසාද?!!!!

  23. silentsahan said, on සැප්තැම්බර් 12, 2013 at 2:10 ප.ව.

    මේකේ කමෙන්ට් බැලුවම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දෙබිඩි කම අරුණි අක්කේ.. කොටින්ට බනිද්දි දැන් වැඩියෙන්ම කේන්ති යන්නේ අපේ සිංහලුන්ටනේ.. කාගේ උනත් වැරැද්ද වැරැද්ද.. ඒක පෙන්නලා දුන්නට ස්තූතියි.

  24. Dulan A Dalugama said, on සැප්තැම්බර් 13, 2013 at 12:34 පෙ.ව.

    ඇත්තටම මෙයාගෙන් රටට වැඩක් කියා දෙයක් වුනේ ම නැද්ද?

    • arunishapiro said, on සැප්තැම්බර් 13, 2013 at 8:16 පෙ.ව.

      Dulan A Dalugama,

      අනගාරික ධර්මපාල ගැන ඉහත අයෙක් කියා ඇත්තේ මෙහෙම: //මහා ධනයකට හිමිකම් කියූ ධර්මපාල තුමා ඒ සියල්ල අතහැර ජාතිය ආගම වෙනුවෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීම වරදිද?//

      බුද්ධාගම පරිහානියට පත් වී ගිය කලෙක එය නඟාලන්නට සේවයක් කළ අනගාරික ධර්මපාල පසුව නිරත වූයේ සම්පූර්ණයෙන්ම බුද්ධාගමට පටහැනි වූ ක්‍රියාකලාපයක වේ නම් එවිට ඔහුගෙන් රටට වැඩක් කියා දෙයක් වුනේම නැද්ද? යැයි ඇසීමෙන් ඵලක් වේ ද?

      අනගාරික ධර්මපාල අවධානය යොමු කරන ලද 1) බුද්ධාගම සහ සිංහල සංස්කෘතිය පැසසීම, 2) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට හා කිතුණුවන්ට දෝෂාරෝපණය, 3) බුද්ධාගමට තර්ජනයක් ඇතැයි සහ බුද්ධාගම ලංකාවෙන් තුරන් වේ යැයි භීතියක් වැපිරවීම, 4) සිංහල බුද්ධාගම්කාරයන්ට රටේ ඉහළ තලයක් ලැබිය යුතු යැයි කියා සිටීම සමඟ ඔහු සිංහලයන් පිවිතුරු ආර්ය ජාතියක් යැයි ද සුළු ජාතීන් සමඟ දැමුසු (mischling) විය නොයුතු යැයි ද කියන ලද්දෙක්. ඒ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය අවසානයේ සිද්ධ වූයේ 1915 සිංහලයන් විසින් මුස්ලිම් ජනතාවට පහර දෙන කෝලාහලයක් රටපුරා පැතිර ගිහින් මරණ, තුවාල, නිවාස හා ව්‍යාපාර, මුස්ලිම් පල්ලි ගිනි තැබීම, මුස්ලිම්-දෙමළ අසමගියක් පටන් ගැනීම යනාදියයි.

      එහි දී බ්‍රිතාන්‍ය පාලනයේ උදහසට හසු වූ එහි නියැළුන නායකයන් වීරයන් වී පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වුණා.

      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවෙන්නට එකතු වී කටයුතු කළ ලාංකික ජනතාව මෙම පුනර්ජීවන වෑයමෙන් පසුව කැඩී බිඳී තවත් කාලයක් පුරා අහිතකර නීති ගෙනෙමින් සිවිල් යුද්ධයක් කරා ගිය රටක් බවට පත්වුණා.

      ත්‍රස්තවාදීන් සහ දෙමළ ජනතාව යන දෙක අතර වෙනස හඳුනාගන්නට නොහැකි අය, මුස්ලිම් සහ මුස්ලිම් ත්‍රස්තවාදීන් අතර ද වෙනස හඳුනාගන්නට නොහැකි වී ඇත්තේ අර ඉහත ලියූ අනගාරික ධර්මපාල අවධානය යොමු කරන ලද හතරේ එල්ලෙන්නට නැවතත් පිවිසිලා. එහි දී සුජීව පෙන්වා දෙන ලෙසින් සුනිලා කර ඇත්තේ ‘දෙමළ හමුදාව’ සහ සිංහල හමුදාව අතර සටනක් ගැන ජාත්‍යන්තර වේදිකාවක කතාබහෙන් ත්‍රස්තවාදය යන්නට මානව හිමිකම් වල දී කතාබහට ඉඩ අහිමි කිරීමයි. යුද්ධය ඉවර වුනත් මානව හිමිකම් ගැන විසඳුමක් කරා යන්නට තවමත් ලංකාවට නොහැකි, තමන් උගත් පාඩම් කිසිවක් නොලැබෙන්නේ ද, ජනතාවට හිතන්නට පවා නොහැකියාව ලෙස මාතෘකාව අවුල් සහගත කර ඇති නිසයි.

      අනගාරික ධර්මපාලගේ ඒ ක්‍රියාවන් බුදු දහමට පටහැනි වූ බවක් දකින්නට හැකි නම් පමණක් අපිට මානව හිතවාදී යැයි කියාගත් සුනිලා ලංකාවේ එක පැත්තකට පමණක් බර මානව හිතවාදයක් දැක්වූ අයෙක් බව ද දකින්නට හැකියි.

      ඉතින් ඇත්තටම මෙයාගෙන් රටට වැඩක් වුනේ නැද්ද නැතහොත් ඇත්තටම මෙයාගෙන් රටට වැඩියෙන් හානියක් සිද්ධ වූවා ද යන්න ඔබේ තීරණයක්. සිද්ධ වූ දේ වෙලා ඉවරයි. අනිත් අය කියන නිසා නොව තම වැටහීමෙන් ඇය රටට කරන ලද්දේ යහපත් වැඩක් ද නැත්නම් මහත් හානියක් ද යන්න ගැන වෙනස වටහා ගන්නේ නැත්නම් රටේ ඔඩු දුවා ගිය ප්‍රශ්නය කිසිදා විසඳා ගන්නට ලැබෙන්නේ නැහැ.

  25. Ano said, on සැප්තැම්බර් 13, 2013 at 9:13 ප.ව.

    සමා වෙන්න ඇනෝ ආවට. මම කැමති නැහැ, මේ බක පණ්ඩිත එවුන් එක්ක පැටලෙන්න මම කැමති නැහැ.

    සාමාන්‍යයෙන් අරුණි අක්කගේ ලිපි වල විවාද සම්පන්න තැන් තියෙනවා මට. ඒත් මේ ලිපියේ දී එහෙම දෙයක් නෑ. සහමුලින්ම එකඟයි.

    මම කෙටියෙන්ම අහන්නම්. සුනිලා කොතනදී හෝ කතා කරලා තියෙනවාද කොටි ත්‍රස්තවාදය නිසා දුකට කරදරයට පත් වූ අය ගැන … තර්ජිතව තිබු ගම්මාන වල හිටපු මිනිස්සු ගැන. කොටි ගම් වලට පැනලා කැති ගාන කොට. සිවිල් බස් වලට බෝම්බ ගහන කොට. ශ්‍රී මහා බෝධියට , දළදා මාලිගාවට ගහන කොට (බෞද්ධයන්ගේ පුජ්‍ය ස්ථාන කියා නොසලකා හරින්නේ නැතිව පොදුවේ කියමු ආගමික ස්ථාන කියලා), පල්ලි වලට පැනල මිනිස්සු මරණ කොට, දෙමළ අහිංසකයින්ගේ ළමයින් කොටින් පැහැර ගෙන යන කොට, කොටින්ට විරුද්ධ සිවිල් දෙමළ මිනිසුන්, දේශපාලකයින් මරා දමන විට, වද දුන් විට, රජයේ හිපාටුවෝ වුනත් නීත්‍යානුකුලව පත් වුනු ජනතා නියෝජිතයින්, රාජ්‍ය නායකයින් මහ මග මරා දමන විට උල්ලංඝණය වුනු මානව අයිතිවාසිකම් ගැන සුනිලා කතා කලාද ? නිමල්කා, සුනන්ද ආදී එකී මෙකී නොකී එන්.ජී.ඕ. ක්‍රියා කාරීන් කතා කරනවාද ..

    අරුණිගේ පුකත්වයක් ගැන කතා කරන කතා කරන කතන්දරලා ඩෝං ගිහින් ඉන්න මාතලන්ලා මේවා නොදන්නවා නොවෙයි.

    ඔය ඔක්කොම ඊනියා ප්‍රබුද්ධ සුචරිතවාදීන් හැටියට පෙනී ඉන්න එලියට දාන පඬි වඳන්.

    ඇත්ත ඇති සැටියෙන් කතා කරපු අරුණි අක්කාට ආචාරය.

  26. Bud said, on සැප්තැම්බර් 14, 2013 at 5:47 පෙ.ව.

    ඇමෙරිකාවට වෙලා මේ වගේ බ්ලොග් ලියමින් සිටින අරුණි ෂපිරෝලට වඩා තමන් අදහන මතවාදයක් වෙනුවෙන් ලංකාවේ පොලවේ පයගසා සටන්කළ සුනිලා අබේසේකර අපට වීරවරියකි.

  27. w.m.k.Samarasekara said, on සැප්තැම්බර් 14, 2013 at 9:24 පෙ.ව.

    ලංකාවේ ආණ්ඩු විසින් ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් කප්පාදුව පටන් ගන්නේ ඈත අතීතයක සිට. අනගාරික ධර්මපාල කාලයේ පටන් දේශප්‍රේමිත්වයේ නාමයෙන් සිංහල ජාතියට බොරු පොවා ඔවුන් ද්වේශයෙන් පුරවා තබා සියළු පුරවැසියන්ට අහිතකර ප්‍රතිපත්ති තවමත් නොකඩවා කරගෙන යන රටකි ලංකාව. එහෙත් ජාතියේ වීරයන් ලෙසින් අනගාරික ධර්මපාල සලකන අය මෙන්ම ජාතියේ වීරවරියක් ලෙසින් සුනිලා අබේසේකර සලකන අය ද සිටීම රටේ අභාග්‍යයයි.
    ————————
    ඔබේ ලිපියේ අනාගරිකා ධර්මපාල තුමා ගැන කියා ඇති ඉහත සඳහන් කොටසට හැර අන් සියලුම කරනු වලට මා 100% ක්ම එකඟයි. එහෙත් ඔබට එවැනි ඍන අදහසක් දැරීමේ අයිතිය මා පිලිගන්නවා.මට හිතෙන අන්දමට අනගාරික ධර්මපාල තුමා, සහ එතුමාගේ කාර්යභාරය ගැන වැඩි පුරම අද දවසේ කථා කලයුතු මාතෘකාවක්. ඇයි එතුමා ගැන ඇති ඔබේ ඍන අදහස ගැන වෙනමම ලිපියක් නොලියන්නෙ.එතකොට එක පුළුල්ව සාකච්චා කරන්න පුළුවන්.
    එසේම සුනිලා අබේසේකර,ජයලත් ජයර්ධන ආදීන් වීරයන් කොට සළකන්නන් මේ රටේ ඉපදීම රටේම අවාසනාවක්.

    • arunishapiro said, on සැප්තැම්බර් 22, 2013 at 7:52 පෙ.ව.

      ආගමික පුනර්ජීවන ව්‍යාපාරය (ගුරුගෙදර වෙබ් අඩවියට උසස් පෙළ දේශපාලන විද්‍යා විෂයය වෙනුවෙන් ලියන ලද සටහනකි.)

      19 වැනි සියවස අග භාගයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවති ලංකාවේ අධිරාජ්‍ය විරෝධී උත්සාහයක් ලෙසින් හටගන්නකි බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය. 19 වැනි සියවසේ අග භාගය වෙද්දී ලංකා සිවිල් සේවය, නීති පද්ධතිය සහ වෛද්‍ය වෘත්තීන් වලට ජාතිය සහ කුලය අනුව නොව ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් බිහිවුන නව සමාජ පංතියක් එකතුවෙමින් පැවතිණ. විවිධ ජනවාර්ගික නියෝජිතයන් විසින් තම ජන වර්ගය නියෝජනය කරමින් ‘සිලෝන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ’ සේවය කළහ. ක්‍රිස්තියානි මිෂනාරී කටයුතු වලට එරෙහිව බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ආගමික පුනර්ජීවනයන් බිහිවුනහ.

      බෞද්ධ භික්ෂූන්ට ධර්මානුකූල අධ්‍යාපනයක් ලබා දීම සඳහා පිරිවෙන් නඟාලන්නට වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා හිමියන් වාලන පානදුරේ සිද්ධත්තරාම පංසලේ දී දෙසන ලද බණ දේශනා අසන්නට පැමිණි දොන් ප්‍රෝලිස් ලේකම් අප්පුහාමි, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පාහුමි සහ ජයසූරිය ආරච්චිලාගේ තෙදෝනිස් පෙරේරා අප්පුහාමි වැනි අය වෙතින් දායකත්වය ලබාගෙන 1841 දී පරම ධර්ම චේතිය පිරිවෙන පිහිටුවන ලදි. එහි ඉගෙන ගන්නට පැමිණි තරුණ භික්ෂුවක් වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ය.

      හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් බැද්දේගම පංසලක සිටිය දී ක්‍රිස්තියානි පූජකවරයෙක් සමඟ වාදයක් පවත්වන ලදි. එතැන් පටන් ගෙන පසුකාලයක දී පානදුරාවාදය නමින් සුප්‍රසිද්ධ ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික වාදයන් සිද්ධ වන්නේ පත්‍රිකා හා පොත් වලිනි. වෙස්ලියන් මිෂනාරිවරයෙක් වූ ඩී. ජේ. ගොගර්ලි පූජකවරයා 1849 දී ක්‍රිස්තියානි ප්‍රඥානපති නමින් ආගමික පොත් පිංචක් මුද්‍රණය කරන ලදි. ඊට පිළිතුරු වශයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් දුර්ලබ්ධි විනෝදිනි නමින් බෞද්ධයන් සඳහා 1862 දී ප්‍රකාශයක් නිකුත් කරන ලදි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ක්‍රිස්තියානි වැඩ මර්ධනය සහ සම්‍යක් දර්ශනය නමින් නිර්මාණ දෙකක් 1862-1863 කාලය අතර දී ප්‍රකාශයට පත් කරන ලදි. බුලත්ගම ධම්මාලංකාර, ශ්‍රී සුමනතිස්ස, කහවේ ඥානානන්ද, වැලිගම ශ්‍රී සුමංගල, පොතුවිල ගුණරතන යනාදී හිමිවරුන් රාශියක් එහි දී වාදයේ ලියකියැවිලි වලට සහභාගී වූහ.

      බැද්දේගමින් පටන් ගෙන, වරාගොඩ, උඩන්විට, ලියනගේමුල්ල හා ගම්පොළ වාදයන් වලින් අනතුරුව ඔවුන් පානදුර වාදයට පිවිසෙති. සිලොන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ වූ ජෝන් කූපර් විසින් පානදුරාවාදයේ සම්පිණ්ඩනයක් සිය පුවත්පතේ පළ කර දහස් ගණනින් පිටපත් අලෙවි කරන ලදි. එසේම පානදුරාවාදය ජේ. එම්. පීබල්ස් විසින් 1878 දී ‘බෞද්ධාගම සහ ක්‍රිස්තියානි දහම මුහුණට මුහුණ ලා’ යන නමින් පොතක් ලෙසින් ද පළ කරන ලදි.

      පරම විඥානාර්ථ සංගමය පිහිටුවන ලද්දේ රුසියාවේ උපත ලබා ඇමෙරිකාවේ පදිංචියට ගිය හෙලේනා පෙට්‍රොව්නා බ්ලැවට්ස්කි සහ කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කොට් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් 1875 දී නිව් යෝර්ක් නගරයේ දී ය. කර්නල් හෙන්රි ඔල්කොට් විසින් ජේ. එම්. පීබල්ස් විසින් පළ කරන ලද පානදුරාවාදය පොත කියවා ලංකාවට එන්නට අදහස් කළේය. 1879 දී ඔවුන් දෙදෙන ඉන්දියාවේ පදිංචියට ගියහ. එහි දී ඔවුන් පරම විඥානාර්ථ සංගමයේ ජාත්‍යන්තර මූලස්ථානය ඉන්දියාවේ වර්තමාන චෙන්නායි පෙදෙසේ වූ අධ්‍යාර් නගරයේ පිහිටුවා ගත්හ.

      නිර්මල බුදු දහම කුමක් දැයි ගවේෂණය පිණිස ලංකාව බලා එන්නට ඔවුන් දෙදෙන තීරණය කළහ. 1880 මැයි 16 වැනිදා ඔවුන් දෙදෙන තවත් පිරිසක් සමඟ ලංකාවට පිවිසුනහ. මැයි 25 වැනිදා ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද පිරිවෙනේ දී අක්මීමන ධර්මාමරාම හිමියන් වෙතින් පංචශීලය අනුමෝදන් වී බෞද්ධයන් වූ ප්‍රථම යුරෝපීය ජාතිකයන් හැටියට සැලකේ. බුද්ධාගම වැළඳ ගත්ත ද ඔල්කොට් විසින් “බොරු” බුද්ධාගම හෙළා දකිමින් සත්‍ය බුද්ධාගම ලෙසින් පුරාතන, නිකායික නොවන, ආධානග්‍රාහී නොවන බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටියෙකි.

      ලංකා සංචාරයේ දී ඔල්කොට් විසින් බෞද්ධ පරමවිඥාන සංගමයේ ගිහියන් උදෙසා ශාඛාවන් හතක් ද පූජ්‍ය පක්ෂය වෙනුවෙන් එක් ආශ්‍රමයක් ද පිහිටුවන ලදි. ක්‍රිස්තියානි ආගමේ සංවිධාන ඔවුන්ගේ දැනුම බෙදාහරින ලෙසින් බුද්ධාගමේ සංවිධාන බුද්ධාගම පිළිබඳව දැනුම බෙදා හැරිය යුතු යැයි ඔහුගේ අදහස විය. ක්‍රිස්තියානි ආකෘතියෙන් ඔහු බෞද්ධ ඉරිදා පංති සහ ද්වීතියික අධ්‍යාපන ආයතන ආරම්භ කළේය. වර්තමානයේ ආනන්ද විද්‍යාලය නමින් පැවතෙන්නේ එදා පිටකොටුවේ ගොඩනැඟිල්ලක දී ශිෂ්‍යයන් තිස් ගණනකින් ඔල්කොට් විසින් ආරම්භයට දායක වූ බෞද්ධ පාසැලයි.

      ඩේවිඩ් හේවාවිතාරණ නම් සිංහල තරුණයා ඔල්කොට් රට පුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංග්‍රීසි කතා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යය භාරව සිටියේය. අනගාරික ධර්මපාල නමින් බ්‍රහ්මචාරීව බුදු දහම වෙනුවෙන් ජීවිතය කැප කරන්නට ඔහු තෝරා ගත්තේ හිස මුඩු නොකර සාම්ප්‍රදායික භික්ෂූන් අඳින නොලද සිවුරක් පැළඳීමෙනි.

      කර්නල් හෙන්රි ඔල්කොට් 1881 දී යළි ලංකාවට පැමිණියේය. සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය අරඹන ලද මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සමඟින් ඔහු බටහිර පළාතේ මාස අටක කාලයක් සැරිසැරුවේ බක්කි කරත්තයකිනි. 1882 දී හේ යළිත් ලංකාවට පැමිණි කල බෞද්ධ පරම විඥානාර්ථ සංගමය හෝදා පාළුවට ලක් වී ඇතැයි දැකීය. එහි දී හාස්කම් බලයෙන් යැයි කියමින් ජර්මන් වෛද්‍යවරයෙක් කියා දුන් ලෙසකට යැයි පුද්ගලිකව පිළිගනිමින් ලෙඩුන් සුව කර මුදල් තෑගි ලබා සංගමය යළි ගොඩනැඟීමට කර්නල් හෙන්රි ඔල්කොට් කටයුතු කළේය.

      1883 මැයි 25 වැනිදා කොටහේන කතෝලික පල්ලියක් අසලින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ දීපදුත්තම විහාරය වෙත පෙරහැරක් වැඩම කරද්දී පල්ලියේ ඝංඨාරය නාද වීමත් අවට පල්ලි කිහිපයකින් ඝංඨාර නාද වීමත් සමඟ දහසක් මිනිසුන් කඩු මුගුරු ගල් වලින් ගසමින් ආරවුලක් පටන් ගත්හ. එක මිනිසෙක් මිය ගිය අතර හතළිස් දෙනෙක් තුවාල ලැබූහ.

      බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වෙතින් මූලාරම්භ වී අනගාරික ධර්මපාල වෙතින් මුදුන් තත්වයකට පත්වුනා මිසෙක තමන් එහි සංවිධාකයා සහ උදීරකයා පමණක් වූවා යැයි ඔල්කොට් සඳහන් කරයි.

      හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, කර්නල් හෙන්රි ඔල්කොට් සහ අනගාරික ධර්මපාල යනාදීන් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කැපී පෙනෙන මුල් කාලීන නායකයන් සේ හැඳින්වේ.

      ඉන්දියාවේ බෞද්ධ පුනරුත්ථාපන උත්සාහයන් වී නිරත වී, ජපානය ඇතුළු ආසියාතික රටවල හා ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සංචාරය කරන ලද අනගාරික ධර්මපාලව 1915 දී කල්කටා නගරයේ උද්ඝෝෂණ පවත්වමින් සිටිය දී සිරභාරයට ගන්නා ලදි. 1922 දී යළි ලංකාවට එන ඔහු සිංහල බෞද්ධයා නමින් 1906 දී ඇරඹී නැවතී තිබුණ පුවත්පත යළි පටන් ගන්නා ලදි. ඔහුගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ මහජනතාවගේ අවධානය වැදගත් කරුණු හතරක් සඳහා යොමු කරවන ලදි.
      1) බෞද්ධාගම සහ සිංහල සංස්කෘතිය පැසසීම
      2) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහ ඊට සේවය කළ කිතුණුවන්ට දෝෂාරෝපණය එල්ල කිරීම
      3) ලංකාවේ බුද්ධාගමට තර්ජනයක් ඇතැයි ද බුද්ධාගම ලංකාවෙන් තුරන් වී යා හැකි යැයි බිය පැතිරවීම
      4) පුනර්ජීවනයක් ලබා සිංහල බුද්ධාගම්කාරයන් සමාජයේ ඉහළ තලයකට නැඟ ඒමේ බලාපොරොත්තුව පැතිරවීම
      වෙළඳාමේ යෙදෙන සිංහල මුස්ලිම් ජනතාවට එරෙහි වූ ජනඝෝෂණයක් 1915 දී පටන් ගන්නා අනගාරික ධර්මපාල ඔවුන් අන්‍ය ජාතික ආක්‍රමණිකයන් යැයි හඳුන්වයි. එසේම මස් පිණිස ගවයන් මැරීමට සහ මත්පැන් පානයට එරෙහි ව්‍යාපාරයන් හි නිරත වූයේය.

      අනගාරික ධර්මපාල විශ්වාස කළේ සිංහලයන් පිවිතුරු ආර්ය ජාතියක් කියාය. සිංහල කාන්තාවන් ලංකාවේ සුළු ජාතීන් සමඟ දැමුසු (mischling) විය නොයුතු යැයි හේ කියා සිටියේය.

      බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය එසේ වර්ධනය වෙද්දී ද්‍රවිඩ ශාස්ත්‍රවේදියෙක් වූ ආරුමුග නාවලර් විසින් හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ නායකත්වය ගත්තේය. ඔහුගේ උත්සාහයන් වලින් ද්‍රවිඩ සාහිත්‍ය ප්‍රබෝධයක් දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්ත විය. යාපන අර්ධ ද්වීපය තුල හින්දු ආගමික පසුබිමක් සහිතව ඉංග්‍රීසි ආධ්‍යාපනය ලබා දීමට පාසැල් ඉදිකිරීමට ද ඔහු මූලික වූයේය. යාපනය හින්දු විද්‍යාලය එම උත්සාහයේ ප්‍රතිඵලයකි.

      1891 දී එම්. සී. සිද්ධි ලෙබ්බෙ නම් නීතිවේදියා විසින් මරදාන මුස්ලිම් පල්ලියේ දී පවත්වන ලද කතාවකින් මුස්ලිම් අය අතර ද ආගමික ප්‍රබෝධයක් හටගෙන තිබිණ. එහි දී ඔවුන් ද ඉංග්‍රීසි පාසැල් මුස්ලිම් ආගමික පසුබිමකින් ඉදිරිපත් කිරීමට වෙහෙසෙන ලදි. මරදානේ සහිරා විද්‍යාලය 1892 දී බිහිවෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විරෝධී කැරැල්ලකට සහභාගී වීම හේතුවෙන් පිටුවහල් කරන ලද අහමඩ් ඔරාබි පාෂා නම් වූ ඊජිපත්තු නායකයා ද සහිරා විද්‍යාලයේ ආරම්භයටත් උදව් දුන් මුස්ලිම් ආගමික පුනර්ජීවන උත්සාහයේ පුරෝගාමියෙක් වූයේය.

      දේශීය සංස්කෘතිය සහ සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අනගාරික ධර්මපාල සහ වලිසිංහ හර්ස්චන්ද්‍ර යනාදීන් පුළුල් සමාජ උද්ඝෝෂණ ආරම්භ කිරීමත් සමඟින් ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට හැරී ඇතැයි චෝදනාවන් එල්ල විය. 1910 දුම්රිය කම්කරු වැඩ වර්ජනයක දී බෞද්ධ ක්‍රියාකාරීන්ගේ සහාය ලැබුණා යන්න එවැනි චෝදනාවකි. එසේම 1912 වෙද්දී ආණ්ඩුවේ සුරාබදු ප්‍රතිපත්තියට එරෙහිව අමද්‍යප ව්‍යාපාරයක් ද නැඟී තිබුණි.

      1915 දී මුස්ලිම් කෝලාහලය සමඟින් ප්‍රථම වරට ලංකාවේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයක් හට ගැණින. 1915 මැයි 29 වැනිදා මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලියක් අසල බෞද්ධ පෙරහැරක් පැවැත්වීමට විරුද්ධවය. පළාතේ මුස්ලිම් පල්ලි අළුත්වැඩියා කිරීමට හෝ වෙනත් පල්ලියක් හදා දීමට බෞද්ධ අකමැත්තක් පැවතිණ. හිමිදිරි පාන්දරක සිංහල කල්ලියක් මුස්ලිම් පල්ලියට ගිනි තබා මුස්ලිම් නිවාස සහ මුස්ලිම් වෙළඳස්ථාන වලට පහර දුන්හ. දින නවයක් තිස්සේ මධ්‍යම, ඊසාන, බටහිර, දකුණු හා සබරගමුව පළාත් වල ප්‍රචණ්ඩත්වයන් පැතිර ගියේය. ජූනි 2 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියාවන් 116 ක් වාර්තා වී ඇත. මාතලේ, වත්තේගම, කඩුගන්නාව, ගම්පොළ, රඹුක්කන, පානදුර, ගොඩපිටිය සහ අකුරුස්ස යන පෙදෙස් වලින් දහස් ගණනින් කල්ලි වැදී මුස්ලිම් ජනතාවට පහර දුන්හ. පහර දීම් වලට වැඩියෙන් ඉලක්ක වූයේ මුස්ලිම් ජනතාව වුවත් අවිගත් මුස්ලිම් කල්ලි කිහිපයක් ද සිංහලයන්ට උවදුරු කරන ලදි.

      ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විසින් කෝලාහලයේ දී සිංහලයන්ගේ පැත්ත ගත් නිසා ද්‍රවිඩ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාව ඒ ගැන උරණ වී දෙමළ අයට ද පහර එල්ල කළහ.

      25 දෙනෙක් මිය යන ලදි. 189 තුවාල ලද්දහ. ස්ත්‍රීන් 4 ක් දූෂණයට ලක්වූහ. නිවාස සහ කඩ 4075 ක් කොල්ල කන ලදි. නිවාස 250 ක් පුළුස්සා දමන ලදි. මුස්ලිම් පල්ලි 17 ක් පුළුස්සා දමන ලදි. මුස්ලිම් පල්ලි 86 කට අලාභ හානි පමුණුවන ලදි. මෙය ලංකාවේ මුස්ලිම් හා දෙමළ ජාතීන් අතර දීර්ඝ කාලීන අවිශ්වාසයක් ආරම්භ වූ අවස්ථාව ලෙසින් සැලකේ. තම ආරක්ෂාව සඳහා මුස්ලිම් ඉන්පසු සිංහලයන් හා එකතු වෙති. රට ස්වාධීන වීමෙන් පසු මුස්ලිම්-දෙමළ දෙකොට්ඨාශය අතර අනතුරව කෝලාහල හටගනී.

      ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ සර් රොබට් චාමර්ස් විසින් හදිසි නීතිය ප්‍රකාශ කර විභාගයක් නොකර කොල්ලාකෑමේ යෙදෙන උද්ඝෝෂණයේ යෙදෙන ඕනෑම කෙනෙකුට වෙඩි තබා මරන්නට පොලීසියට සහ හමුදාවට බලය නිකුත් කරන ලදි. යටත්විජිත ආණ්ඩුව විසින් සිංහල දේශපාලන සහ පුනර්ජීවන ව්‍යාපාරයන් හි නායකයන්ගේ නිවෙස් පිරික්සා බැලූහ. අත්අඩංගුවට ගන්නා ලද අය අතර ඩී. සී. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක. ඩබ්ලිව්. ඒ. සිල්වා, එෆ්. ආර්. ඩයස් බණ්ඩාරනායක, ඊ. ටී. ද සිල්වා, දොස්තර කැසියස් ෆෙරෙයිරා, සී. බටුවන්තුඩාවේ, ඩී. පී. ඒ. විජේවර්ධන, ජෝන් ද සිල්වා, ඩබ්ලිව්. එච්. ඩබ්ලිව්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ යනාදීන් වූහ. බ්‍රිතාන්‍ය පාලකයන් කෝලාහල වලින් සිද්ධ වූ වියදම් ඔවුන්ට තර්ජනය කළ ලබාගන්නා ලදි.

      මෙයින් අනතුරුව ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සමාජ උත්සාහයන් පොදු බිඳ වැටීමකට ලක් වූහ.

      බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ දෙවැනි අදියර සේ සැලකෙන්නේ 1912 දී පටන් ගත් අමද්‍යප ව්‍යාපාරයේ සිංහල බෞද්ධ නායකයන් වූ ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ඒ. ඊ. ගුණසිංහ යනාදීන් 1931 දී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වීමයි.

      https://www.facebook.com/notes/aruni-shapiro/ඉතිහාසයෙන්-බිඳක්-/10151870970945851

  28. David Hoelscher said, on සැප්තැම්බර් 15, 2013 at 12:31 ප.ව.

    I cannot agree with this

  29. ineshwickramaraja said, on සැප්තැම්බර් 16, 2013 at 7:03 පෙ.ව.

    සමාජ සාධාරණත්වය උදෙසා කියමින් තම ආර්ථිකය හෝ තම කීර්තිය,කීර්තියටත් වඩා පොරත්වය හඹා යන ප්‍රෝඩාකාරයන් ඔබෙ ලිපියෙන් ඇවිස්සී ඇත..බ්ලොග් කරුවන්ද කිහිපයක් එ ගොඩෙ සිටිනු දැක සිනා ගියෙමි.

  30. tax said, on සැප්තැම්බර් 23, 2013 at 2:48 පෙ.ව.

    සුනිලා මැරෙන්න කලින් මේ ලිපිය ඔයාගේ BLOG එකේ දැම්මනම් ගොඩක් වටිනවා. හැබැයි අරුණි අක්කා, අවස්ථාව ලැබෙන වැඩි දෙනා මෙහෙම තමා. අන්තර්ජාතික සම්බන්දතා තියෙන IPL අය , මද්යවෙදියෝ , නළු නිලියෝ සහ doctors ලා ,engineers ලා වගේ ඉගේනගත් අය එදා ඉදන්ම මේවගේ හම්බ කරනවා. දේශපාලකයෝ නම් රටම කාලා ලෝකයමත් කනවා. හැබැයි ලංකාවේ අපි දන්නේ නෑ. දැනගන්න විදියකුත් නෑ. ඉතින් මුන් මැරෙන්න කලින් ලෝකයට හෙළිදරව් කරන්න පුලුවන්නම් වටිනවා.

    • arunishapiro said, on සැප්තැම්බර් 23, 2013 at 7:10 පෙ.ව.

      tax,

      ඇය එක්සත් ජාතීන් හමුවට ගිය කාලයේ සිට මානව හිමිකම් තෑග්ග දිනාගත් හා ඊට පසුකාලය දක්වා ඇයව විවෙච්න කරන ලද අවස්ථා ඕනෑ තරම් විවිධ පුවත්පත් හා අන්තර්ජාල අඩවියන්වල පළවුනා. මම සටහන ලිව්වේ වීරවරියක් යැයි වැළපෙන බහුතරය අතර එහෙම යැයි සිතා වැළපෙන්නේ නැති අය ද ඉන්නා බව පෙන්වීම සඳහා පමණයි.

      ලෝකයේ සිද්ධ වෙන මම අකමැති හැම අකටයුත්තක්ම හෙළිදරව් කිරීම මගේ වෑයම නොවෙයි. අපේ ජීවිතයට දැඩි සේ වැදගත් හනිකට පහදාගත යුතු දේවල් බොහොමයි. විශේෂයෙන්ම මුත්තලා, සීයලා, තාත්තලා කාලයේ සිට කරපින්නා ගෙන එන මිථ්‍යාමතයන් හා අවුල්කර පොවන ලද මතවාදයන් තමන්ගෙ එදිනෙදා ජීවිතයට දැඩි සේ බලපානවා. ඒ දේවල් ගැන කුමක් හෝ කරත හැකියාවක් ලැබෙන්නෙ ඒවායේ අවුල් තෝරා බේරා ගන්නට දැනුමක් ලැබෙද්දී.

      //දේශපාලකයෝ නම් රටම කාලා ලෝකයමත් කනවා.// සැබැවින්ම. එහෙත් එය ඔවුන්ට කරන්නට ඉඩ දී ඇත්තේ කවුද? ඒ මන්ද? යන්න තමයි අපි විමසා බැලිය යුත්තේ. මගේ දැඩි උත්සාහය එයටයි.

      වර්තමාන ක්‍රියාකරුවන් අතර ඇතුලේ ඉන්නා එක අයෙක් ගැන හෙළිකරනවාට වඩා සමස්ත ආර්ථික පද්ධතියේ ඇති අඩුපාඩු වටහා ගන්න හැකි දැනුමක් අපිට මුලින්ම අවශ්‍යයයි.

      ඇමෙරිකාවේ තියෙන http://www.opensecrets.org අඩවිය මෙහෙ දේශපාලනයේ නියුතු ඒ ඒ අය ගැන හෙළිකරන අඩවියක්. මෙහෙ ඉන්න බහුතරයක් වාමාංශික අදහස් ඇති ජනතාව කෝක් සහෝදරයන්ට විරුද්ධව පෙළපාලි පවා යන අය. ඒත් ඔවුන් තතු සොයන්නට උත්සාහයක් ගන්නේ නම් ඔවුන්ට දැනගන්නට ලැබෙනුයේ දේශපාලන වෙනසක් සඳහා මුදල් වැය කිරීමේ දී 2001 සිට 2010 දක්වා කාලය තුල දී කෝක් සහෝදරයන්ගේ මිලියන 1.5 ට ජෝර්ජ් සොරෝස් මිලියන 32.5 ක් යොදවා ඇති බවයි. මේක මේ ළඟක දී කෝක් සහෝදරයන් දේශපාලනයට ඇඟිලි ගහනවා යැයි කියූ තතු සොයන හිතවතෙක් සමඟ කතා කරද්දී කිව්වට එයා විශ්වාස කරන්නට අදිමදි කළා. සොයා යෑම කරන්නේ සත්‍යය දැනගන්නට කැමති ඉතාමත් අල්පයක්. අනිත් බොහොමය කොච්චර විස්තර පෙන්වා දුන්නත් හැමදාම තමන් කැමති මුලාවේ ලැග සිටිමින්, තමන්ට ලැබෙනවා යැයි සිතන වාසි භුක්ති විඳිමින් ඉන්නට ඉතා ආසයි. අන්තිමේ සෝවියට් දේශය ගියා වගේ, කොමියුනිස්ට් චීනය ගියා වගේ, මියන්මාරය ගියා වගේ, උතුරු කොරියාව, කියුබාව, වෙනෙසියුලාව දැන් ඉන්නවා වගේ තමන්ට ලැබෙනවා යැයි සිතූ වාසි දිගටම ලැබෙන්නේ නැත්තේ විතරක් නෙමෙයි මිනිස් ජීවිත ගණනාවක් අහිමි වූයේ මන්දැයි කියා පවා පහදා ගන්නට බැරිව ඉන්නවා.

  31. tax said, on සැප්තැම්බර් 26, 2013 at 7:33 පෙ.ව.

    1.දැන් කොලඹට හිටියට අපි අනුරාධපුරේ හද්දා පිටිසර මිනිස්සු. මේ සුනිලාගේ වැඩ ගැන අපේ ගමේ කට්ටිය තාම දන්නේ නෑ හැබැයි සුනිලා අපේ ගමේ අයව පෙන්න පෙන්න පිටරට වලින් සල්ලි එකතු කරනවා. ගමට වැඩක් වෙන්නේ නෑ . . අනේ මන්ද,

    2. .මමත් මේ රටින් ගියදාක open secres සයිට් එකක් හදනවා. දැන් නම් බෑ . සුදු වෑන් වලට බයයි

    • arunishapiro said, on සැප්තැම්බර් 27, 2013 at 7:48 පෙ.ව.

      tax,

      ලෝකේ ගොඩක් අය ඇමෙරිකාවට ඉරිසියා කරන්නෙ මෙහෙ අයට open secret වැනි වෑයම් රට ඇතුලෙ ඉඳන්ම එළිපිටම කරන්න තියෙන නිදහස ගැන තමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: