අරුණි ශපීරෝ‍ වෙතින්

ක්‍රියාවක නියැළෙන්නේ ඒකීය පුද්ගලයෙක් පමණි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 13, 2013

IMG_9220

මේ ජීවිතය ජයගන්න අවශ්‍ය ආර්ථික දැනුම මිසෙක විභාගයකින් සමත්වන්නට අවශ්‍ය ආර්ථික දැනුම නොවන බව කරුණාවෙන් සලකන්න. මේ සටහන් වල අරමුණ පාඨකයාව හිතන්නට පොළඹවීමයි. තම තෝරාගැනීම් වල දී ඒවා තමන්ගේ ආර්ථිකයට බලපාන හැටි පිළිබඳ දැනුවත්කමින් ද නැත්නම් නොදැනුවත්කමින් දැයි තමන්ට පහදා ගැනීමට හැකියාව ලබාදීමටයි.

අර්ථ ශාස්ත්‍රය සලකා බලන්නේ සත්‍ය මිනිසුන්ගේ සත්‍ය ක්‍රියාකාරකම් ගැනයි. පරමාදර්ශී හෝ පරිපූර්ණ මිනිසෙක් ගැන අර්ථ ශාස්ත්‍රය සැලකිල්ලට ගන්නේ නැත. අනගි ආර්ථික මිනිසෙක් ගැන (homo oeconomicus) වූ මායාවක් අර්ථ ශාස්ත්‍රයෙන් හඹා යන්නේ ද නැත. එසේම සංඛ්‍යානමය ලෙසකින් සාමාන්‍ය මිනිසා (homme moyen) කවරෙක් ද යන්නත් අර්ථ ශාස්ත්‍රය සොයන්නක් නොවේ. සෑම මනුෂ්‍යයා ගැනම, ඔහු තම සියළු දුර්වලතා සහ සීමාවන් සමඟින් දිනපතා ජීවත්වෙන්නේ කෙසේද සහ කටයුතු කරන්නේ කෙසේද යන්න අර්ථ ශාස්ත්‍රයේ සැලකිල්ලට ගැනෙන විෂය මාතෘකාවයි. මිනිසාගේ ක්‍රියාකාරකම් නම් වූ විෂය මාතෘකාව තුලින් ඔහු වෙළඳපොලක ගණුදෙනු තීරණය කරනුයේ කෙසේද යන්න අර්ථ ශාස්ත්‍රයෙන් විමර්ශනය වේ.*

පරමාදර්ශයන් හි කියැවෙන මත්පැන් නොබොන හා මස් නොකන මිනිස්සු ගැන විමර්ශනය කරන්නේ දර්ශනයයි. මිනිස් ස්වභාවය ගැන විමර්ශනය කරන්නේ මනෝවිද්‍යාවයි. සමාජ අධ්‍යයන විෂයයක් වුවත් දර්ශනය කරන ලෙසකින් නොව, මනෝවිද්‍යාව කරන ලෙසකින් නොව අර්ථ ශාස්ත්‍රය විමර්ශනය කරන්නේ මිනිසා විසින් සත්‍යයෙන් කරන ලද කටයුත්තක් පමණි.

ලොව ජීවත්වන සත්‍ය මිනිස්සු එදිනෙදා තෝරාගැනීම් (choices) වලට මුහුණ දෙති. මස් මාළු නොකා ඉන්නවා ද, මත්පැනක් නොබී ඉන්නවා ද යන්න ඒකීය මිනිසාගේ තෝරාගැනීමකි. සතුන් මැරීම පව් යැයි පිළිගන්නා අය ද තම කැමැත්තෙන්ම මස් කෑම තෝරා ගනිමින් මස් නිෂ්පාදනයේ යෙදෙන අය පව්කාරයන් යැයි කියති. අර්ථ ශාස්ත්‍රයට මිනිසෙකුගේ පරමාර්ථය කුමක්දැයි දැන ගැනීමෙන් ඵලක් නැත. ඒකීය පුද්ගලයාගේ ආර්ථිකයට සහ ඒකීය පුද්ගලයන් විසින් හැදෙන රටක ආර්ථිකයට ද බලපාන්නේ මිනිසාගේ පරමාර්ථයන් නොව සත්‍යයෙන් මිනිසා නියැළෙන ක්‍රියාවන් පමණි.

තෝරාගැනීම් කළ යුත්තේ ලොව හිඟයක් පවතින හෙයිනි. යම් තෝරාගැනීමක් සඳහා මුදල් වලින් හිඟයක් නැත්තාට වුවත් කාලය හිඟයක් තිබිය හැකියි. එකම අවස්ථාවක දී සතුට උපදවන තැන් දෙකක සිටින්නට නොහැකි නිසා ඒ දෙකටම මුදල් ගෙවන හැකියාව තිබුණ ද එක අවස්ථාවක් තෝරාගන්නට සිද්ධ වේ. හිඟය යන්න ලෝක ස්වභාවයකි. ඒ නිසා තෝරාගැනීම් නොකර ජීවත්වන්නට කිසිවෙකුට නොහැකියි.

ඒකීය පුද්ගලයාට තම ආශාවන් සපුරා ගැනීමට හැකි සම්පත් සීමිත බව නිසා ඇතිවන හිඟය යනු ලෝක ස්වභාවයකි. ඒ නිසා මිනිසාට අනෙකුත් මිනිසුන් සමඟ හුවමාරු කරන්නට සිද්ධ වේ. හිඟය නිසා උපදින අවසනාවන්ත හේතුවක් නම් එක තෝරාගැනීමක් කරද්දී අනෙක් තෝරාගැනීම් අහිමි වී යෑමයි.

ඒකීය මිනිසා තෝරාගන්නේ තමාට වැඩියෙන් සෙත සැලසෙන තෝරාගැනීමයි. කිසිම කෙනෙක් තමන් අකමැති දෙයක නිරත වීම කැමැත්තෙන් තෝරාගන්නේ නැත. ටික කලක් අකමැති දෙයක් කරන්නෙක් එසේ කරන්නේ ද එයින් පසු කැමති දෙයක් කරන්නට අවස්ථාවක් පාදාගන්නට හැකි යැයි සිතන නිසයි.

උදාහරණයක් ලෙසින් අයෙක් ඇමෙරිකාවට පැමිණ ඉගෙන ගන්නේ සහ එහි කාලයක් පුරා රස්සාවක් කරන්නේ අධ්‍යාපනය, පුහුණුව ලබාගෙන ආපසු තමන් උපන් රටට යන්නට විය හැකියි. රටක් තවත් රටක මිනිසුන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබා දුන්නාට, තම හමුදාවට බැඳී රට ආරක්ෂා කරන්න යැයි නොකියන්නේ, අනික් රටේ මිනිසුන්ට ඇති ආදරයක් නිසා නොවේ. ඔවුන් මෙරටට නැතිවම බැරි නිසා ද නොවේ.

විදේශික සිසුන් සහ විදේශික සේවකයන්ට ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, මහා බ්‍රිතාන්‍යයේ අවස්ථාව පෑදී ඇත්තේ ඒ අඩු වේතන වලට වෙහෙසෙන්නට රටේ වාසය කරන ජනතාව අකමැති නිසයි. ආණ්ඩුවක ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ සමාගම් වලට අඩු වැයට සේවකයන් බඳවා ගන්නට පහසු ලෙසින් නම් සමාගම් අයිතිකරුවන් තම රටේ අයට වැඩි වේතන ගෙවන්නට කැමැත්තෙන් ඉදිරිපත් නොවෙති. ආණ්ඩුවේ එවැනි ප්‍රතිපත්තියක් නිසා හටගන්නා නොසිතූ ප්‍රතිඵලය නම් රටේ සියල්ලන්ගේම වේතන අඩුවීමයි. එහි දී තම රට බලා ආපහු යන්නට ඉන්නා අයට සුළු කාලයක දී තම රටේ දී ලබාගත හැකි ආර්ථිකයට වඩා හොඳ ආර්ථික මට්ටමකට එන්නට හැකියාව ලැබේ. එම අවස්ථාව පාදා දුන් රටවල් වලට එයින් කෙටි කාලීන වාසියකට සහ දීර්ඝ කාලීන අවාසියකට මුහුණ දෙන්නට සිද්ධ වෙයි.

සංක්‍රමණියන්ට රටට එන්නට ඉඩදෙනවා යැයි තමන් සිතන දේශපාලන පක්ෂයට, එය සාමාන්‍යයෙන් වාමාංශික නැඹුරුව ඇති පක්ෂය යැයි සංක්‍රමණිකයන් සිතන නිසා ඒ පක්ෂයට සංක්‍රමණිකයන් චන්දය දෙන නිසා ඒ පැත්තේ අයත්, සමාගම් වලට අඩු වැයෙන් ශ්‍රමිකයන් ලබාගැනීමට හැකියාවෙන් දක්ෂිණාංශ නැඹුරුව ඇති පක්ෂය ද යන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඇමෙරිකාවට සංක්‍රමණිකයන් එනවාට කැමති වෙති.

ප්‍රතිපත්ති සම්පාදනය ආණ්ඩුවේ නිලධාරීන් කළ ද, යම් ක්‍රියාවක නියැළීම තෝරාගන්නේ තමන් විසිනි. කරුණු කාරණා අවබෝධ වෙද්දී තම හෘදය සාක්ෂියක් තමන් තෝරාගන්නා ක්‍රියාව සද්ගුණවත් ද නැද්ද කිව්වත් යම් ක්‍රියාවක සද්ගුණවත් බව ගැන අර්ථ ශාස්ත්‍රය සලකා බලන්නේ නැත. මැදිහත්වීම් අවම නිදහස් වෙළඳපොල වඩාත්ම සාධාරණ සහ සද්ගුණවත් ලෙසින් කටයුතු කරන අසහාය යාන්ත්‍රණයකි. සමාජ සාධාරණත්වය සලසනවා යැයි කරන සෑම රාජ්‍යය මැදිහත්වීමක දී ම නොසිතූ ප්‍රතිඵල හටගනියි.

සල්ලි වලට කෑදර මිනිස්සු සහ මිනිස්කම හඳුනන යන කල්ලි දෙකකට බෙදීමට බහුතරයක් ඉතා යුහුසුළු වෙති. එහි දී ක්‍රියාවක නියැළෙන්නේ ඒකීය පුද්ගලයෙක් පමණක් යන්න අවබෝධයෙන් තොර නිසා සල්ලි වලට වහල් වෙච්ච සමාජයක් මත වරද පටවන්නට ද නොපැකිළෙති. කල්ලිය කෙසේ වුවත් ක්‍රියාව තමන්ගේම පමණක් බව වටහා ගැනීමට හැකියාව පුද්ගලයෙක් තුල හටගන්නා තෙක් හොඳ ක්‍රියාව සහ නරක ක්‍රියාව අතර වෙනස වටහා ගැනීමට ද හැකියාවක් නොලැබේ. එහෙත් එය පහදා දීම දර්ශනයයේ කාර්යයයි. අර්ථ ශාස්ත්‍රයේ කාර්යයක් නොවේ. අර්ථ ශාස්ත්‍රය පෙන්නුම් කරන්නේ මිනිසුන් හොඳ සහ නරක අතර වෙනසක් නොදැක ඒකීය ක්‍රියාවන්හි යෙදෙන විට ඇතිවන ඵලවිපාකයන් පමණි.

ලාබ ශ්‍රමය සැමවිටම සොයන ලොව සමාගම් වැඩි මිලක් ශ්‍රමයට ගෙවන්නට කැමැත්තෙන් ඉදිරිපත් නොවේ යන්න අවබෝධ කරගන්නා ශ්‍රමිකයා තම ආර්ථික මට්ටම ඉහළ යවා ගන්නට උවමනා නම් කළ යුත්තේ තම ශ්‍රමයේ අගය වැඩි කරගන්නේ කෙසේදැයි නිතර සොයා බැලීමයි. රටක නීති වෙනස් කිරීමෙන් ලෝක ස්වභාවය වෙනස් කළ නොහැකියි.

* 1998 දී ලුඩ්විග් වොන් මීසස් ලියන ලද Human Action -මිනිස් ක්‍රියාකාරකම්-, පිටු 651

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on සැප්තැම්බර් 24, 2013 at 8:47 පෙ.ව.

    පවතින රජයේ දේශපාලනයට ගැති වන ප්‍රමාණය මත රජයේ සේවය උදෙසා දායක වන ශ්‍රමිකයාගේ ශ්‍රමයේ අගය නම් වැඩිවේ. ක්‍රියාව සැළකීමේදී මී කුණෙන්ද ධනවතකු විය හැකියි. 🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2013 at 6:34 පෙ.ව.

      හලෝව් රස්ටා,

      නිදහස් වෙළඳපොලක දී මී කුණකට ඉල්ලුමක් ඇත්නම් පමණක් එයින් ධනවත් විය හැකියි. චුල්ලසෙට්ඨි ජාතකයේ මී කුණෙන් ද ධනවත් වෙච්ච හැටි අහලා තියෙනවා ද? 🙂

      නමුත් රජය මැදිහත්වන ක්‍රමයක දී, ශ්‍රමිකයා ඉල්ලුමක් නිසා නොව ගැතිවන ප්‍රමාණය මත තමන්ගේ වැඩි වූ ශ්‍රමයේ අගයෙන් ලබන වාසි තම රටේ ආයෝජනය නොකර වෙන රටවල් වලයි තැන්පත් කරන්නෙ. වෙන රටවල් වලයි වියදම් කරන්නෙ. ඔහු ධනවත් කරන්නේ ඒ රටවල් … අධිරාජ්‍යවාදීන්ට බැන බැන!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: