අරුණි ශපීරෝ‍ වෙතින්

නිෂ්පාදනයක් හටගන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 16, 2013

190760_10150150853680851_7876043_n

සෑම රටකම පාහේ දේශපාලනඥයන් වෙතින් මැතිවරණ කාලයේ දී අහන්නට ලැබෙන්නේ ඔවුන් බලය ලැබුවාම රස්සාවල් නිර්මාණය කරන්නේ කෙසේද කොපමණක් ද යන්න ගැනයි. අවම පඩිය ඉහළ යවන ආකාරය ගැනයි. ඉහළ පඩි ලැබෙන සේ ආර්ථිකය නංවාලන හැටි ගැනයි.

රස්සාවල් සහ වේතන හටගන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ඇත්නම් පමණක් ශ්‍රමිකයන්ගේ වැටුප්, ආර්ථිකය සහ ජීවන මට්ටම ඉහළ යන්නේ කෙසේදැයි අවබෝධයක් ද ලැබේ.

නිෂ්පාදනය හටගන්නේ කෙසේදැයි පැහැදිලි කරන උදාහරණයක් ලෙසට හුදකලා දූපතකට ඔබ පිවිසුනා යැයි කියමු. එහි දී ජීවිතය පවත්වාගෙන යන්නට නම් ඔබට පොල් අහුලා ගෙන කන්නට සිද්ධ වේ යැයි සිතමු. දවසක දී පොල් ගෙඩි පහක් අහුලාගෙන ඒවා අතින් සුද්ද කර ගලක ගසා පලා ඇතුලත අනුභවයෙන් ඔබ දිනපතා කුසගිනි පුරවා ගන්නවා යැයි සිතමු.

දිනපතා පැය ගණනක් වෙහෙසී එදාට එදාට කුසගිනි සපුරා ගන්නට ඔබ හැමදාම පුළුවන් ද? ලෙඩක් දුකක් හැදුනොත් කුසගිනි පුරවා ගන්නේ කෙසේද? වැටෙන පොල් කා ඉවර වුනාට පසුව ගස් යන්නට ඉගෙන ගන්නවා ද? වෙනත් අනතුරකින්/රෝගයකින් මිය නොගියහොත් ගස් නඟින්නට බැරි වයසේ දී එවිට හාමතෙන් මැරෙනවා ද?

මෙසේ සිතන ඔබට පොල් කඩන්නට රිටක් හා එහි අග පිහියක් තිබුණා නම් වැටෙන පොල් පමණක් නොව ගහෙන් පොල් කඩාගත හැකි යැයි ද අදහසක් පහළ වේ. එහෙත් රිටක් හා පිහියක් හදාගන්නට යම් කාලයක් වැය වේ. ඒ කාලය තුල දී ඔබට පොල් අහුලන ක්‍රියාවේ නියැළෙන්නට නොහැකියි.

දූපත පුරා සැරිසරා රිටක් හදන්නට ශක්තිමත් දිග ලීයක් සොයා ගන්නට සහ එහි අගට පිහියක් හදාගන්නට ගෙවී ගිය කාලයේ දී ඔබට පොල් අහුලන්නට සහ සුද්ද කරගන්නට කාලයක් නැති නිසා බඩගින්නේ ඉන්නට සිද්ධ විය හැකියි. නැත්නම් එක පොල් ගෙඩියකින් හෝ දෙකකින් පමණක් දිනකට සප්පායම් විය හැකි නිසා කුස සම්පූර්ණයෙන් නොපිරුණ බඩගින්නක දවසක් හෝ දවස් කිහිපයක් ඉන්නට සිද්ධ විය හැකියි.

රිට හා පිහිය හදාගත් පසු ඔබට වැටුන පොල් අහුලා අතින් සුද්ද කරනවා වෙනුවට පනහක් හැටක් වුවත් දිනපතා කඩා ගන්නට හැකියාව ලැබේ. පිහියේ උපකාරයෙන් වෙනදාට වඩා පහසුවෙන් හා ඉක්මණින් පොල් ගෙඩියක් සුද්ද කරන්නටත් හැකියාව ලැබීමෙන් දැන් ඔබට ඔබේ වෙනත් උවමනාවන් සපුරා ගැනීම ගැන සිතන්නට කාලයක් ඉතිරි වේ.

ඉහත උදාහරණයෙන් අර්ථ ශාස්ත්‍රයේ මූලික අංගයන් විස්තර කරනු ලබයි.*

ඉතිරි කිරීම: අද පරිභෝජනය අඩුකර අනාගතයේ පරිභෝජනයට මාර්ගයක් හදා ගැනීම
ප්‍රාග්ධන භාණ්ඩයක්: පොල් කඩන්නට රිටක් හා පිහියක් හදාගැනීමට ඔබට හැකියාව ලැබීම
නව තාක්ෂණය: පොල් කඩන රිට හා පොල් සුද්ද කරන පිහිය බිහිවීම
ඵලදායීත්වය: දිනපතා කුසගිනි පුරවා ගැනීමට හැකියාව වැඩිවීම

එදාවේල පිරිමසා ගන්නට හැකියාව පහසුවෙන් හා අඩු කාලයකින් ලැබෙද්දී ඔබේ ශ්‍රමයෙන් වෙනත් දේවල් කරන්නට හැකියාව ද ලැබේ. එනම් ඵලදායීත්වය දැන් ඉහළ ගිහින් ඇත. පොල් අහුලන හා සුද්ද කරන කාලය අඩු වීම නිසා දැන් ඔබට මුහුදේ නාන්න යන්න කාලයක් ලැබේ. අව්වෙන් වැස්සෙන් බේරෙන්නට නිවහනක්, විලිවසා ගන්නට ඇඳුමක් නැත්නම් සමහර විට හුදකලා දූපතෙන් පිටමං වෙන්නට බෝට්ටුවක් හදාගන්නට ද කාලයක් මිඩංගු කරත හැකියාව ලැබේ.

ඒත් ඒවා සඳහා කාලය හා ශ්‍රමය පමණක් නොව තවත් උපකරණ නොහොත් ප්‍රාග්ධන භාණ්ඩයන් ඔබ විසින් නිර්මාණය කළ යුතුයි.

ජීවත් වෙන්නට හැකි පමණින් කුස පුරවා ගත හැකි මිනිසාට ඔහුගේ අනෙකුත් කැමැත්තන් ඉෂ්ට කරගන්නට නම් තවත් කාලය, යෙදවිය හැකි ශ්‍රමය පමණක් තිබුණාට මදි. තම ජීවන මට්ටම වැඩි දියුණු කරගන්නට නම් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය කරගන්නට ද අවශ්‍ය වේ.

පොල් අහුලා සුද්ද කරමින් කුස පිරෙන්නට කමින් ජීවත් වූවාට වඩා අඩුවෙන් පොල් අහුලා සුද්ද කරගෙන කුස මඳක් පමණක් පුරවා ගෙන රිට හා පිහිය හදන්නට ගත් වෑයමෙන් (තම දවසේ ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරමින්) අනාගත ආදායම වැඩි කරගන්නට ඔබට හැකි වී තිබේ. එසේ නිර්මාණය කරගත් ප්‍රාග්ධන භාණ්ඩය යනු ආයෝජනයකි. එයින් ඔබේ ශ්‍රම ඵලදායීත්වය වැඩි වී යන ලදි.

රිට හා පිහිය හදාගත් පසුව, ඔබට ශුද්ධ ආදායම පමණක් දිනපතා පරිභෝජනයට ගත හැකි විය. රිට දිරාපත් වෙද්දී සහ පිහියේ මුවහත නැතිව යද්දී නොහොත් ප්‍රාග්ධන භාණ්ඩයන්හි අගයන් ක්ෂය වෙද්දී දැන් ඒවා සකස් කරගැනීමට හැකි කාලයක් ද ඔබට ලැබීමෙන් ඔබ සතු ශුද්ධ ආදායම සහ දළ ආදායම තුලනය කරගන්නට ද හැකියාව ලැබී ඇත.

තමන් විසින් නිෂ්පාදනයේ යෙදෙන විට තමනට පඩි ගෙවන්නට අවශ්‍ය නැති නිසා මෙසේ ජීවිකාව ඉපැයීමේ දී එයට වේතන කියා නොව අර්ථ ශාස්ත්‍රයේ දී කියන්නේ ලාබයක් කියාය.

ලාබයක් නොසොයා නිෂ්පාදනයේ යෙදීමට නොහැක්කේ එවිට ජීවිතය පවත්වාගෙන යන්නට ද නොහැකි නිසාය.

* රොබින්සන් කෲසෝ අර්ථ ශාස්ත්‍රයෙන් නිෂ්පාදනය මෙසේ පැහැදිලි කිරීම ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලෙන් ලොවට දායද වූවකි.

සෝවියට් රුසියාවේ වුවත්, ඔබාමා ඇමෙරිකාවේ වුවත් පාරට්ටු බෑමෙන් නිෂ්පාදනයන් බිහි නොවේ. නිෂ්පාදනයක් බිහිවෙන්නට නම් යමෙක් ඒ සඳහා වූ ක්‍රියාවක් කළ යුතුය. කළමනාකරණය සිංහලෙන් අඩවියේ පළ වූ කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි යන සටහන කියවන්න.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on සැප්තැම්බර් 21, 2013 at 4:51 පෙ.ව.

    මෙහේ ගැටලුව වී ඇත්තේ ලාභය/ප්‍රතිලාභය වෙනුවෙන් නිෂ්පාදනය නොව නිෂ්පාදනය කර රජයට මිලදී ගැනීමට බල කිරීමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: