අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනස, කාලය සහ අවිනිශ්චිත බව

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 23, 2013

Time

ක්‍රියාකරන මිනිසා යනු යමක නියැළෙන්නට පෙර කාලය, යමක නියැළෙද්දී ගෙවී යන කාලය සහ කටයුත්ත ඉවර වූවාට පසුව එළඹෙන කාලය යනාදී වෙනස හඳුනාගන්නට සමත් වූවෙකි. ගෙවී යන කාලය ගැන අපක්ෂපාතී ලෙසින් සිටින්නට මිනිසාට නොහැකියි.

කාලය යන්නේ ප්‍රවාහමය ලක්ෂණයක් ඇති බව මිනිසාට දැනගන්නට හැකියාව ලැබෙන්නේ මිනිසාට ක්‍රියාවක් කරන්නට හැකියාව තිබීම නිසයි. ඕනෑම ක්‍රියාවක් අනාගතය ඉලක්ක කරගත්තකි; ප්‍රධාන ලෙසින් සහ අත්‍යාවශ්‍ය වූ ලෙසින් වැඩියෙන් හොඳ අනාගතයක් වෙනුවෙන් සැලසුමක් සහ ක්‍රියාවක් ඉලක්ක කරගත්තකි. ක්‍රියාවක් නොකර සිටිය දී පැවතේ යැයි හිතන අනාගත තත්වය, ක්‍රියාවක් කරන ලද නිසා තිබුනාට වඩා වැඩියෙන් හොඳ යහපත් තත්වයක් බවට හරවා ගතහැකි යැයි සිතන කොන්දේසිය ඉලක්ක කරගත්තකි.

සීමිත කාලය සම්බන්ධයෙන් මිනිසාට තමන් කරන ක්‍රියාවන් ගැන ඉක්මණින් (sooner) හා පසුවී යන (later) ගැන වූ කාල සංජානනය පවතී. අනාගතය ගැන වූ අවිනිශ්චිත බව මිනිසාගේ ක්‍රියාව යන්නේ ඇතුලත්ය. එහෙත් යම් පුද්ගලයෙක් කොයිතරම් ඉක්මණින් හෝ කොයිතරම් පසුවී යම් ක්‍රියාවක් කරන්නේ දැයි තිතට කියන්නට දන්නා වෙනත් අයෙක් ලොව නැත.

දැනට දැනෙන අතෘප්තියක් අනාගතයේ දී තෘප්තිමත් බවකට හරවා ගන්නට ඇති උවමනාව නිසා එයට හැකියාව මේ මාර්ගයෙන් ලැබේවි යැයි මිනිසෙක් නොසිතන්නේ ද, එවැනි විශ්වාසයක් ඇතිකර ගන්නට මිනිසාට නොහැකි වෙන්නේ ද, එවැනි මිනිසෙක් වෙනසක් ඇතිකරගන්නා ක්‍රියාවක නියැළෙන්නට උත්සාහයක් නොගනියි.

ඕනෑම මිනිස් ක්‍රියාවක් සඳහා අතෘප්තියක් මුල්වෙයි. අයෙක් පවතින තත්වයක් ගැන පරිපූර්ණ ලෙසින් තෘප්තිමත් වී සිටිනවා නම් එවිට ක්‍රියාවක නියැළෙන්නට ඔහුට අභිප්‍රේරණයක් නැත. කරන ඕනෑම ක්‍රියාවකින් එවිට ලැබෙන්නේ පවතින තෘප්තියේ අඩුවීමකි. එහෙත් යම් ඉතා සුළු අතෘප්තිමත් දැයක් දකින්නේ ද, වහාම එය තෘප්තිමත් කරගන්නට අයෙක් යුහුසුළු වෙයි.

එහි දී තෝරාගැනීමක් මිනිසා ඉදිරියේ පවතී. තමන් වටේ කරකැවෙමින් විදින්නට ලැහැස්ති වෙන මදුරුවෙක් සිටීම යනු අතෘප්තිමත් තත්වයකි. එහෙත් මදුරුවා එළවන්නට නම් කරන දේ නවතා (එය මුකුත් නොකර හාන්සි වී සිටීමක් ද විය හැකියි) ඌ ගැන සොයා බැලිය යුතුයි. එහි දී වැය යනු කරන දේ නවතා මදුරුවා ගැන සෙවීමයි. මදුරුවා එළවා හරින්නට හැකිවූයේ නම් එහි දී වැයට වඩා වාසියක් ලැබී ඒ ක්‍රියාව ලාබයක් වී ඇත.

ගුණධර්ම පාවා දී ලෝකය ජයගෙන ඵලක් ඇත්දැයි අයෙක් විමසද්දී, නැතහොත් ලාබය යනු මුදල්වාසි හෝ කීර්තිය යැයි තවකෙක් සලකද්දී, ඒ දෙදෙනාම අවසාන ප්‍රතිඵලයේ ලාබය ගැන සිතනා අය වෙති. දුප්පත්කමෙන් ගෙවන සැදැහැවත් ජීවිතයක් තෝරාගත් අය වෙහෙස භාණ්ඩ හා මුදල් එකතු කරනවාට යෙදීමට වඩා වැඩියෙන් අගයක් සැදැහැවත් ජීවිතයකට දී එය තමන් සොයන ලාබය යැයි සිතනා අයෙකි.

තමන්ට රිසි අන්තය කරා යන මාර්ගයන් අතරින් කුමක් තෝරාගන්නේ ද යන්න ඉදිරියේ තමනට රිසි වූවට තමනට හැකියාවක් ඇත්දැයි ක්‍රියාකාරී මිනිසා සොයා බලයි. කිසිම අවශ්‍යතාවයක් සහ කිසිම උවමනාවක් අයෙක් පැතූ පමණින් සපුරා ගන්නට හැකියාව ලැබෙන්නේ නැත. සාක්ෂාත් කරගැනීම සඳහා කාලයක් සහ වෑයමක් තමන් යෙදවිය යුතුයි. එහෙත් කාලයක් හා වෑයමක් යෙදුව ද තමන්ට රිසි වූව තමන්ට ලැබෙන්නේ නැතැයි දකින මිනිසා (ඒ දැක්ම වැරදි හෝ නිවැරදි විය හැකියි, ඒත් දකින්නාට අනුව එය හැමවිටම නිවැරදියි) ඊට තම වෙහෙස යොදවන්නේ නැති අයෙක් වෙයි.

මිනිසා යනු මෙලොව ජීවිතයේ සීමාවක් පවතින බව දන්නා අයෙකි. එකක් කරද්දී තවෙකක් කරන්නට නොහැකි හිඟයක් පවතින නිසා ජීවිත කාලය යන සීමාව තුල කාලය සහ වෑයම යොදවන්නේ කුමකට දැයි තමන් තෝරාගත යුතු බව දන්නා අයෙකි. සමහරු මේ ජීවිතයේ නොහැකි දේවල් ඊ ළඟ ආත්මයක දී ලබාගන්නට හැකි යැයි සිතමින් ඊට දැන් හැකි වූ පෙරුම් පුරති.

ක්‍රියාවන් බලපෑම් එල්ල කරන්නේ අනාගතයට පමණි. හැම මිලිතත්පරයක දී ම කරන ක්‍රියාව ඊ ළඟ මිලිතත්පරයේ දී අතීතයට එකතු වී ඇති නිසා වර්තමානයට බලපෑමක් කිසිම ක්‍රියාවකින් බලාපොරොත්තු විය නොහැකියි. දැන් පවතින අතෘප්තිමත් වූ තත්වයක් ඊට වඩා තෘප්තියක් ගෙන දෙන අනාගත තත්වයකට ගෙන යන්නට උත්සාහ කරද්දී මිනිසාට කාලය ගැන හැඟීමක් නිරන්තරයෙන් ඇත.

සැනෙකින් ගෙවී යන වර්තමානය යනු අතීතයෙන් අනාගතය වෙන්කරන කල්පිත මායිම් සීමාවක් පමණක් වුවත් අර්ථ ශාස්ත්‍රයේ දී ක්‍රියාව යන්න සත්‍ය වූ වර්තමාන පැවැත්මකින් යුතු වූවකි. මන්ද එය ක්ෂණයක් යන්න භාවිතයට ගෙන සත්‍යතාවයක් විදහා පාන්නකි. විවිධ තෝරාගැනීම් ඉදිරියේ එක ක්‍රියාවක නියැළීමෙන් අනෙක් අවස්ථාවන් තව දුරටත් තෝරාගත නොහැකියි යන්න පෙන්වන්නේ අතීතයේ තෝරාගැනීම් තව දුරටත් ඔබ ඉදිරියේ නැත කියාය. අනාගතයේ දී කරත හැකි ක්‍රියාවන් ගැන තෝරාගැනීමේ අවස්ථාව ඔබ ඉදිරියට තවම ලැබී නැත. වර්තමානය හමුවේ දී පමණක් ඔබට ක්‍රියාවක නියැළෙන්නට අවස්ථාව ඇත.

පැවැත්මක් ඇතිවීමෙන්, වර්ධනයෙන්, වයසට යෑමෙන් හා මරණයට මුහුණ දීමෙන් කියැවෙන්නේ මිනිසා යනු කාලයට භාජනය වූවෙක් බවයි. ඔහුගේ කාලය සීමාසහිතය. අනෙකුත් සාධක අරපිරිමසා ගන්නා ලෙසින් මිනිසා කාලය ද අරපිරිමැස්මෙන් පරිභෝජනය කළ යුතු දෙයකි.

මිනිස් විචාරයට කාලයක් නැති පැවැත්මක් හෝ කාලයක් නැති ක්‍රියාවක් ගැන සිතුවිලි කිසිවක් උත්පාදනය නොහැකියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: