අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳපොල ආර්ථිකය නැත්නම් නිදහස් ව්‍යවසාය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 26, 2013

lulu-bag

වෙළඳපොල යනු කල්ලියක් වැනි අදහසකි. එයට ස්වාධීන මනසක් නැත. වෙළඳපොල හෝ වෙළඳපොල ආර්ථිකය යනු ඒකීය පුද්ගලයන් විසින් තම පුද්ගලික දේපල වලින් කරන ගණුදෙනු පිළිබිඹු කරන්නයි. මැදිහත්වීම් අඩු වෙළඳපොලක භාණ්ඩයේ මිල තීරණය කරන්නේ පාරිභෝගිකයාය.

“මේ ඔක්කොම ව්‍යසන නිදහස් වෙළඳපොල නිසා,” යැයි අයෙක් කියයි. එහෙත් එයා කරන පුද්ගලික ගණුදෙනු වලින් තමයි වෙළඳපොල හැදෙන්නේ කියා එයා නොදකියි. මැදිහත්වීම් නැති වෙළඳපොලක භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නේ පරිභෝජනය කරන අය වෙනුවෙන් පමණකි.

මැදිහත්වීම් අඩු වෙළඳපොලක අවශ්‍යතාවයන් පිරිමසා ගන්නා භාණ්ඩ බහුතරයක් විසින් පාවිච්චි කරන හෙයින් ඒවායේ මිල ගණන් අඩුයි. එහෙත් උවමනාවන් විවිධ වූ නිසා ඒ ඒ උවමනාව පිරිමසන භාණ්ඩ වල මිල අධික වෙයි. උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ ආහාර මිල කාලාන්තරයක් තිස්සේ එතරම් ඉහළ ගොස් නැති බව The Food Timeline – historic food prices අඩවියේ දත්ත වලින් අයෙකුට දැකිය හැකියි. අද හවස 6 ට නිව් යෝර්ක් නගරයේ පවත්වන අයින් රූන්ඩ් උත්සවයේ ටිකට් එකක මිල ඩොලර් දාහකි. අයෙක් සිතන්නට පුළුවන් එය ධනවතුන් පමණක් සහභාගී වෙන එකක් නිසා එසේ මිල ඉහළ අන්දමින් ඔවුන් තීරණය කර ඇතැයි කියා. එහෙත් අයින් රෑන්ඩ් උත්සවයක් යනු ද ස්වල්පයක් විසින් දැඩි අගයක් ලබාදෙන්නක් මිස බහුතරයක් විසින් සොයා යන්නක් නොවන නිසා මිල එසේ ඉහළින් තීරණය වෙයි.

“වෙළඳපොල ඉල්ලුම නිසා විද්‍යා ගුරුවරුන්ගේ අවශ්‍යතාවය දැන් වැඩියි,” යැයි තවකෙක් කියද්දී එයින් දැක්වෙන්නේ පුද්ගලික දේපල අයිතියෙන් යුතු ඒකීය පුද්ගලයන් විද්‍යා ගුරුවරුන් වීමට වඩා වැඩියෙන් අභිමතයක් දක්වා ඇත්තේ වෙනත් රස්සාවල් සොයාගන්නට; ඒ පඩියට කුසලතා වර්ධනය කරගන්නට වෙහෙසක් යෙදවීමට අකමැත්ත; ගුරු රස්සාව නොකර ඉන්නට කැමති බවයි.

“කලා උපාධි තියෙන අයට වෙළඳපොල ඉල්ලුමක් නැහැ,” යන්න කාලාන්තරයක් තිස්සේ අසමු. එහෙත් එම දැනුමෙන් යුතු අය කරන නිෂ්පාදනයන් මිල දී ගන්නට පාරිභෝගිකයන් අඩු බව පිළිගන්නා අය තවමත් අඩුයි.

වැඩවසම් යුගයේ දී පුද්ගලයාගේ වෘත්තිය දැඩි රෙගුලාසිකරණයෙන් තීරණය වූයේ ශිල්ප ශ්‍රේණි ආයතන (guilds) මඟිනි. තමන් අනෙකුත් අයට වඩා හොඳ සන්නාලියෙක් හෝ හොඳ සපතේරුවෙක් යැයි කියමින් අනෙකුත් සන්නාලියන් හෝ සපතේරුවන් සමඟ තරඟ කරන්නට ඉඩකඩක් නොතිබුණි. පුහුණුවකින් ජීවිකාව පටන්ගෙන මිය යන තුරා එම වෘත්තියේ යෙදීම එවක සිරිතයි.

ඒ හෙයින් දුප්පත්ව ඉපදුනු අය දුප්පත්ව මිය ගියහ.

වෙළඳපොල ක්‍රමය නොහොත් ධනවාදී ආර්ථික ක්‍රමයේ දී ඒකීය පුද්ගලයන්ට තමන් කැමති රස්සාවක් ඕනෑම අවස්ථාවක දී තෝරාගත හැකියාව ලැබිණ. වෙළඳපොල ක්‍රමයේ දී සිද්ධ වෙන්නේ තමන්ගේ අයිතිය සහ හැකියාව පිළිගත් අනෙක් පුද්ගලික දේපල අයිතිකරුවන් සමඟ කැමැත්තෙන් කරන හුවමාරුවකි. එයට තමන් දක්ෂයෙක් නම් එයින් වැඩියෙන් ඵලදායීත්වය ද අදක්ෂයෙක් නම් අඩුවෙන් හෝ කිසිත් දක්ෂකමක් නැත්නම් එහි නියැළීම නිසා හාමතේ ඉන්නට සිදුවිය හැකියි. ඒ නිසා මැදිහත්වීම් නැති හැම අවස්ථාවක දී ම තමනට දක්ෂකමක් ඇති වෘත්තියක නියැළෙන්නට පුද්ගලයා පෙළඹෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ සම්පත් දක්ෂකම් ඇති අයගේ සකසුරුවම අනුව යොදා ගැනීමෙන් නිකරුනේ විනාශයට පත් නොවේ.

වෙළඳපොල ක්‍රමයට ඉඩක් ලැබෙද්දී වෙළඳපොල ව්‍යවසායකයන් වූ එහෙත් ධනවත් පවුල් වල උපන් අය නොවූ කොරනේලියස් වැන්ඩබිල්ට්, තෙල් මිල බැස්සූ ජෝන් ඩී. රොකෆෙලර්, අත්පිට මුදල් ගෙවමින් ඇමෙරිකාව පුරා රේල් මාර්ග හැදූ ජේම්ස් ජේ. හිල්, යනාදීන් තම ජීවිත කාලය තුල මහත් වස්තු සම්පත් රැස් කරගෙන අනුන්ට ද ධනවත් විය හැකි මාර්ගයන් සලසා දී මිය ගියහ.

දේපල යන්නේ වැදගත්ම අංගය බුද්ධිය සහ කායික ශක්තිය දෙකම අඩංගු පුද්ගලයාගේ සිරුරයි. වහල් ක්‍රමය යනු අනුන්ගේ සිරුරට හා කායික ශක්තියට තවකෙක් නීතිමය අයිතියක් කීමයි. වෙළඳපොල ක්‍රමයේ දී වහල් ක්‍රමයට ඉඩක් නැත. වෙළඳපොල ක්‍රමයකට ඉඩ ලැබෙන විට වහල් ක්‍රමය නිතැතින්ම තුරන් වී යන්නකි. වහලා ගෙන් බලහත්කාරයෙන් ගන්නා ශ්‍රමයට වඩා, තම දක්ෂතාවය අනුව කැමැත්තෙන් වැඩ කළ හැකි කායික හා මානසික නිරෝගී ශක්තිමත් නිදහස් මිනිසා වැඩි ඵලදායීත්වයෙන් යුතුය. එසේම වහලෙක් නඩත්තුවට වඩා අඩු වැයෙන් යුතුය. වහල් ක්‍රමය ලොවෙන් තුරන් වූයේ ඒ සත්‍යය නිසා මිසෙක නීති පැනවූ නිසා නොවේ.

වැඩි ඵලදායීත්වයෙන් වෙහෙසෙන්නේ තම තත්වය අදට වඩා හෙට දියුණු කරගන්නට හැකියාවක් ඇතැයි දකින මිනිසාය. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල රස්සාව ලැබූ දා පටන් විශ්‍රාම යන දා තෙක් එකම ආකාරයේ සේවයක් සපයමින් වැඩියෙන් වෙහෙස නිසා වේතනයේ වෙනසක් හෝ කීර්තිනාමයක් නොලැබ ඉන්නට සිද්ධ වූ බහුතරය වැඩි ඵලදායීත්වයකින් වෙහෙසෙන්නට අවශ්‍යතාවයක් නොදැකීම මිනිස් ස්වභාවයයි. එය පවතින ආණ්ඩුවක පරිපාලන වැරැද්දක් නොව පුද්ගලික සමාගමක් ලෙසින් කටයුතු කරන්නට රජයේ දෙපාර්තමේන්තු වලට නොහැකියාවයි.

පින්තූරය: ලංකාවේ ඇඟළුම් නිමිකරන කැනඩාවේ ප්‍රභවය ඇති පුද්ගලික සමාගමක් වූ ලූලුලෙමන් කොම්පැණියේ නිෂ්පාදනයක්.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on සැප්තැම්බර් 27, 2013 at 3:09 පෙ.ව.

    පුංචි දෙයක් එකතු කරමින්ම යමක් කියන්නම්.ලංකාවේ කලා උපාධිධාරීන්ට ‍රැකියා හිඟ වෙන්නේ ඔවුන්ගේ ඒ කලාව මුල් කරගත් ශ්‍රමයට කළ හැකි නිෂ්පාදනය කුමක්ද කියන ගැටලුව නිසා.උදාහරණයකට සිංහල,බෞද්ධ ශිෂ්ටාචාරය,ඉතිහාසය වගේ විෂයන් කරලා ඒ අංශයෙන් ‍රැකියාවක් කරන්න ටිකක් අමාරුයි.නමුත් පිටපත් රචකයෙකුට ලොකු ඉල්ලුමක් තියෙනවා.සරල කිව්වොත් පොල් ලෙලි වලට වඩා පොල් කොහු වලට ඉල්ලුමක් තියෙනවා.

    • arunishapiro said, on සැප්තැම්බර් 27, 2013 at 8:01 පෙ.ව.

      magenama,

      හොඳ උදාහරණයක්. “ලිබරල් අධ්‍යාපනය” ආරක්ෂා කරන්න කියලා කාලාන්තරයක් තිස්සේ උගන්වපු විදියටම තවත් කාලාන්තරයක් තිස්සේ උගන්වන්න ඕනෑ යැයි ඒ වෘත්තීය සමිති උද්ඝෝෂණ කරන්නේ වෙළඳපොල හඳුනා නොගෙන. ඒත් වෙළඳපොල එහෙම නැත්නම් පාරිභෝගිකයන් ඉල්ලන දේ සඳහා සැපයුමක් නිෂ්පාදනයට එහි නියැළෙන අය උත්සුක වෙන්නෙ නිදහස් වෙළඳපොල වාතාවරණයක් තියෙනවා නම්. එහෙම වාතාවරණයක් මැදිහත් වූ වෙළඳපොලක නැතිවුනාම, උපාධියක් නැති පිටපත් රචකයා දක්ෂයෙක් නම් ඔහුට වැඩියෙන් ඉල්ලුමක් තියෙනවා දැකලා උපාධිධාරීන් රජය ලවා තමන්ට රස්සාවල් ලබාගන්නට උද්ඝෝෂණ කරමින් කියන්නේ තමන්ට රජය දෙන රස්සාවෙන් නිෂ්පාදනයක් බිහිවෙනවා යැයි කියන බොරුව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: