අරුණි ශපීරෝ‍ වෙතින්

හිඟාකෑම, ණයට ගැනීම නැත්නම් කොල්ලකෑම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 27, 2013

IMG_5622

තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගෙන සමාජයක මිනිසෙක් ජීවත්වෙන්නේ කෙසේද? රටට ලෝකයට සුදුසු ආර්ථික පද්ධති මොනවාදැයි කතාබහ කරන බොහෝ දෙනෙක් මේ සරල ප්‍රශ්නය ගැන යථාර්ථවාදී ලෙසින් කල්පනා කර බලා නැත.

හුදකලා දූපතක තනිවම වාසය කරන්නෙක්ට ස්වභාව ධර්මයේ ඵලදාවෙන් තම නිෂ්පාදන වෑයමෙන් පමණක් ජීවත්විය හැකියි. ස්වභාව ධර්මයාගෙන් ගතහැකි උපරිම ප්‍රයෝජන සඳහා එයාගේ දැනුම සහ කුසලකාවය යොදාගත් විට ලබත හැකි දැයට එවැන්නාගේ වස්තු සම්පත් සීමා වේ. තම ශක්තිය මත මිසෙක හිඟාකන්නට, ණයට ගන්නට නැත්නම් කොල්ලකෑමට හැකි වෙනත් අයෙක් හුදකලා දූපතක වාසය කරන්නෙකුට නැත.

මුලින් තමන් වාසය කරන හුදකලා දූපතේ සියළු ස්වභාවික සම්පත් පරිභෝජනයට එයා වෙහෙස යොදවයි. කෙමෙන් ඒවා හිඟ වී යද්දී අළුත් සම්පත් පවතින ස්ථානයන් සොයා යෑමට සිද්ධ වෙයි. එහෙම නැත්නම් හිඟ වී යන සම්පත් වෙනුවෙන් වගා කිරීමෙන්, කෘතිම ලෙසින් නිර්මාණය කිරීමෙන් භාණ්ඩ නිපදවන්නට සිද්ධ වේ. අහුලා ගෙන, දඩයම් කරගෙන සහ ගොවිතැන් කරගෙන තනි පුද්ගලයෙකුට ජීවිතය ගෙනයන හැකියාව ඇත්තේ තම ශ්‍රමය සහ තම උත්සාහය අනුව පමණි.

හුදකලා දූපත් වල තනිවම ජීවත්නොවන, සමාජයක සාමාජිකත්වයක් තිබෙන පුද්ගලයා, එකිනෙකා සමඟ සහයෝගයෙන් නිෂ්පාදනයේ සහ වෙළඳාමේ යෙදෙති. එහි දී අයෙක් තමන්ට අවශ්‍ය භාණ්ඩයක් ලබාගන්නේ කෙසේද?

තමන්ට වැඩියෙන් ප්‍රාගුණ්‍යය (specialize) කරත හැකි තම කුසලතාවය කුමක්දැයි හඳුනාගන්නා පුද්ගලයා එවිට වැඩියෙන් කාලයක් ගොවියෙක්, වඩුවෙක්, වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, කොම්පියුටර් ප්‍රොගැමර් කෙනෙක් යනාදී යම් යම් වෘත්තියක් සඳහා යොදවයි. අනුන්ගේ නිෂ්පාදන ලබාගැනීමට ඉඩකඩක් සමාජයේ වාසය නිසා පෑදීමෙන් හුදකලා දූපතක තනිවම ජීවත්වූවාට වඩා ජීවිතය සරැසාර හා දීර්ඝ වෙනවා යැයි එවිට අවබෝධ වෙයි.

එසේම හුදකලා වාසය නොව සමාජයක වාසයේ දී හදිසියකට හිඟමින්, ණය ඉල්ලා ගනිමින්, තවත් සමහරු අනික් අයගෙන් හොරකම් කරමින් ද ජීවත්වෙන හැටි ඔහු දකියි. එහි දී භාණ්ඩ පරිහරණයට තමන් විසින් වෙහෙසී නිෂ්පාදනයක් බිහි කළ යුතුම නොවේ යැයි ද ඔහු වැරදියට හිතයි.

ඇයි ඒ සිතුවිල්ල වැරදි?

ඇයි හිඟාකමින්, ණයට ගනිමින් සහ කොල්ලාකමින් හැමෝටම ජීවත්වෙන්න බැරි?

මේවාත් බොහෝ අය වැඩිය කල්පනා කර නැති ප්‍රශ්න වෙති.

ඕනෑම සමාජයක සමස්තයක් ලෙසින් එහි වාසය කරන සෑම අයෙකුටම හිඟාකමින්, ණයට ගනිමින් සහ කොල්ලාකමින් ජීවත්වෙන්න බැරි ඇයි?

හැමෝම කොල්ලකනවා නම් කවුද නිෂ්පාදනය කරන්නෙ? නිෂ්පාදනයක් නැත්නම් හිඟාකන්නෙ, ණයට ගන්නෙ, කොල්ලකන්නේ මොනවා ද?

කවුරු හරි පිරිසක් භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙ නැත්නම් වෙන කිසිම කෙනෙකුට ඒවා හිඟාකන්න, ණයට ගන්න, කොල්ලකන්න බැරි බව නොදකින අය ද ලොව බහුතරයකි. තවත් විදියකට කිව්වොත් නිෂ්පාදනයේ යෙදෙන්නෙක් නැත්නම් මංකොල්ලයේ යෙදෙන හොරෙකුට අනාගතයක් නැහැ.

යම් සමාජයක සාමාජිකයන් කොච්චරක් නිෂ්පාදනය කරනවා ද යන්න මත තමයි තමයි යම් සමාජයකට තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්නට හැකිවෙනවා දැයි තීරණය වෙන්නෙ. ලංකාවේ අයට පිටරට ගිහින් නිෂ්පාදනයට අවස්ථාව ලැබෙද්දී ලංකාවේ වෙළඳපොලේ භාණ්ඩ ලබාගත හැකියාව වැඩි වී ගියා.

තවත් සමහරැ හිතනවා හොරකම් කිරීමත් ශ්‍රමය වෙහෙසීමක් කියල. ඒත් එයා දකින්නෙ නැති කාරණය තමයි සොරා යනු ආර්ථික භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නෙක් නොවන වග. හොරෙක් යනු වෙන අයෙක් නිර්මාණය කරන ලද භාණ්ඩ සොරකමයි. ලෝකයේ හැමෝම හොර සල්ලි අච්චු ගහලා වැඩක් නැහැ ඒ සල්ලි වලින් ගන්න භාණ්ඩ නිෂ්පාදනයක් කරන අයෙක් නැත්නම්.

තම ශ්‍රමය සොරකම් කරනවාට අකමැති අය අතර, අනුන්ගේ නිෂ්පාදන තමන් හොරෙන් රසවිඳිනවා විතරක් නෙමෙයි වෙබ් අඩවි වලින් හොරකම් කරපුවා අනිත් අයටත් බෙදලා දෙන අයත් ඉන්නවා කිසි ලැජ්ජාවක් නැතිව. ඒ අය හොරකම් කරන්නේ තමන් වැනිම ශ්‍රමය විකුණා ජීවත්වෙන අයගෙ නිෂ්පාදන නේද කියා හිතන්නෙ නැහැ.

තම කුසලතාවය ප්‍රාගුණ්‍යයට එක රටක දී නොහැකි වෙද්දී පුද්ගලයා වෙන රටකට යයි. තමන් වාසය කරන සමාජයේ සාමාජිකයන්වම කොල්ලකමින්, ඔවුන්ගෙන් හා පිටරටින් හිඟාකමින් සහ ණයට ගනිමින් අනික් අය තමන්ව කොල්ල කනවා යැයි බැන බැන සිටින මුලාවෙන් අවදි වීමෙන් සහ තමන් විසින් නිෂ්පාදනයේ යෙදිය යුතුයි යන්නට වටහා ගැනීමෙන් පමණක් තමන්ට අවශ්‍ය භාණ්ඩ ලැබෙන සමාජයක වාසයට මිනිසාට හැකියාව ලැබේ.

Foundations of The Market-Price System (1974) ලියා ඇත්තේ Milton M. Shapiro විසිනි. මෙතැනින් පටන් ගන්නා ඊ ළඟ සටහන් කිහිපය එම පොත ඇසුරිනි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on සැප්තැම්බර් 27, 2013 at 10:25 ප.ව.

    Beg, Borrow, Steel, කියන කරුණු තුන හමුදා පුහුනුවේදීත් කියලා දෙනවා. යම් අරමුණක් ඉටුකරගැනීම සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ලෙසයි ඒවා හඳුන්වන්නේ. කෙටි කාලීන යුද අරමුණු සඳහා ඒ ක්‍රමය ප්‍රායෝගික වුනත් රාජ්‍ය පාලනය සඳහානම් ප්‍රායෝගික නොවන බවයි මමත් හිතන්නේ.

    • arunishapiro said, on සැප්තැම්බර් 28, 2013 at 7:16 පෙ.ව.

      විචාරක,

      ඔව්, යුද්ධයක් ජයගත හැකි වුවත් ඊට පස්සෙ සමාජයක ආරක්ෂණය සහ පෝෂණය කරන්න මෙම ක්‍රමයෙන් බැහැ. 1600 දී ඊස්ට් ඉන්දියා කොම්පැණිය ද බ්‍රිතාන්‍ය යටත්විජිත වල ගෙනගියේ එහෙම ප්‍රතිපත්තියක් නිසා අවසානයේ එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කඩාවැටීමට හේතු පාදක වූවා යැයි සමහර ඉතිහාසඥයන්ගේ මතයයි. අද රජයේ අනුග්‍රහය ලබන පුද්ගලික කොම්පැණි වලට මොනොපොලියන් පවරා දෙන තත්වයක් ඇතිවෙද්දී සිද්ධ වෙන්නේ ද මෙයම තමයි.

  2. Chamara Liyanage said, on සැප්තැම්බර් 28, 2013 at 1:02 පෙ.ව.

    මා ප්‍රථමයෙන් ඹබගේ අදහසට ගරු කරමි මක්නිසාද යත් තමන් වෙනුවෙන් තමන්ට කලහැකි දේ තිබියදීත් අනුන් හට පමනක්ම වැරදි පටවමින් සිටින බහුතරයක් දෙනාට මෙම ලිපිය යම් හැරවුම් ලක්ෂයක් පෙන්වාදෙන නිසාවෙනි. එහෙත් දූපතක හුදෙකලාව ජීවත් වන අයෙකුගේ මුලික ආහාර අවශ්‍යතා වලට වඩා ඉතා සංකීර්න අවශ්‍යතා 21 වන සියවසෙහි දියුනු මානව ජනපදයක වෙසෙන අයෙකුට ඇති අතර සමාජීය අවශ්‍යතා සහ තරගකාරී ජීවන තත්වයද බැහැර කල නෙහැකි සංකල්ප වේ. ඒනිසාවෙන් මේ දෙක සමාන කිරීමට උත්සාහ දැරීම කොතෙක් කාලෝචිතද යන්න ගැටලුවකි. ඹබ මට එකග නොවේනම් වැඩිදුර පැහැදිලි කිරීමට කැමති අතර මෙය යම් විචාරශීලි සම්පුර්න කිරීමක් මිස සම්පුර්න ලිපිය වැරදියැයි කීමට මා කිසිවිටෙකත් උත්සාහ නොකරමි. ස්තුතියි තව ලියන්න.

    • arunishapiro said, on සැප්තැම්බර් 28, 2013 at 7:42 පෙ.ව.

      Chamara Liyanage,

      හුදකලා දූපතක තනිවම ගෙවන ජීවිතය සමඟ සමාජයක සාමාජිකයෙක් ලෙසින් ගෙවන ජීවිතය හා සමාන කර නැහැ.

      ආර්ථිකයක් වැඩ කරන හැටි නැත්නම් නිෂ්පාදනයක් හටගන්නා හැටි: ඉතිරි කිරීම, ප්‍රාග්ධන භාණ්ඩය, නව තාක්ෂණය, ඵලදායීත්වය යනාදිය හුදකලා දූපතක තනිවම ජීවත්වන පුද්ගලයා තුලින් වුවත් අධ්‍යයන කරන්න පුළුවන්. ඒකීය මිනිසා කරන ක්‍රියාවන් තුලින් තමයි වර්තමානයේ දී ද ආර්ථිකයක් හැඩගැසෙන්නෙ. මූලික පදනම වටහා ගැනීම අවශ්‍යයයි සංකීර්ණ ලෝකය දිහා බලන්න කළින්.

      තරඟකාරී ජීවිතය කියන එක මිනිසාගේ තෝරාගැනීමක්. අයෙකුට සමාජයේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොවී තම ශ්‍රමයෙන් පමණක් සපුරාගත හැකි අවශ්‍යතාවයන් සහ උවමනාවන් පිරිමසාගෙන ජීවත්වෙන්නට ඉඩක් නැත්තේ වර්තමාන සමහර යුරෝපීය රටවල් වල පුරවැසියන්ට පමණයි බොහෝ දුරට. අනෙක් බොහෝ රටවල තමන්ගේ වෑයමේ ඵලදාවෙන් පමණක් ජීවත්වෙන්න නොහැකි නීතිමය බාධක තත්වයක් නැහැ. සංකීර්ණ අවශ්‍යතා යැයි කියද්දී පරිගණක සහ නූතන ඖෂධ යනාදිය මිනිසාට කළ හැකි තෝරාගැනීමක් බවත් ඒවා නොමැතිව ජීවත්වීම තෝරාගත් අය වර්තමාන දියුණු ලෝකයේ ද ඉන්නවා. ඒ කියන්නේ තරඟකාරී ජීවිතය තෝරා නොගත් අය ද ඉන්නවා. ඒ අය ගැන සටහනක් ලියා තියෙනවා. ඒක ඉක්මණින් දාන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: