අරුණි ශපීරෝ‍ වෙතින්

ආර්ථික මාර්ගය සහ දේශපාලන මාර්ගය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 30, 2013

pig-trough-ey

1848 දී ජෝන් ස්ටුවර්ට් මිල් විසින් “දේශපාලන ආර්ථිකයේ සිද්ධාන්ත සහ ඒවායෙන් කිහිපයක් සමාජයීය දර්ශනයට අදාළ වෙන ආකාරය,” නමින් ලියූ කෘතියේ ශ්‍රම විභජනය තුලින් නිෂ්පාදනය සඳහා කරන දැවැන්ත මෙහෙය පෙන්වා දුනි. නිෂ්පාදනයට දෙන සරල සහයෝගය ඕනෑම අයෙකුට පැහැදිලිව දැකිය හැකි බවත්, එහෙත් නිෂ්පාදනයට දෙන සංකීර්ණ සහයෝගය යනු එහි නිරත වෙන බොහෝ දෙනෙකු පවා නොදකින්නක් ලෙසින් මිල් සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදි.

ශ්‍රම විභජනය සිද්ධ වෙන ආකාරය වඩාත්ම මනරම් ආකාරයකින් ලියා ඇත්තේ ලෙනාර්ඩ් ඊ. රීඩ් විසින් “මම පැන්සල” යන කතාවෙනි. එහි තේමාව වනුයේ පැන්සලක් වැනි සුළු ආම්පන්නයක් බිහිවන්නට ද ලෝකය පුරා වාසය කරන මිනිසුන් අතර සහයෝගයෙන් යුතු නිදහස් වෙළඳපොලක අවශ්‍යතාවය සුළුකොට තැකිය නොයුතු බවයි.

කඩ රාක්ක වල තමන් අකමැති භාණ්ඩ තුරන් වී යද්දී සතුටු වෙන්නේ ශ්‍රම විභජනය කුමක්දැයි නිසියාකාරව හඳුනාගත් අය නොවෙති. උවමනාවන් තෘප්තියට ඉඩක් නැති වී යාමෙන් අවශ්‍යතාවන් සපුරාගන්නා හැකියාවත් අහිමි වී යයි.

ශ්‍රම විභජනයෙන් (Division of Labour) සහ තමනට විශේෂිත වූ ප්‍රාගුණ්‍යයෙන් (specialization) හටගත් නිදහස් වෙළඳාම සහ හුවමාරුව කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයයි. එහෙත් එහි ආරම්භය හඳුනාගැනීමටත් පෙරතුව එය කුමක් දැයි අවුල් කරමින් මතවාදයන් බිහි වූ නිසා නිදහස් වෙළඳාම හා හුවමාරුව වෙනුවට උදාර චේතනා පෙරටු කරගත් දේශපාලන මාර්ග ගැන පාරට්ටු බෑම ලොව ප්‍රචලිත විය.

දේශපාලන මාර්ගයෙන් (political means) යුතු ආණ්ඩුවක ප්‍රතිපත්ති වලින් පමණක් යම් සමාජයක පැවැත්ම සහ සමෘද්ධිය සලසා ගැනීමට පුළුවන්කමක් නැතැයි ඉතිහාසය අනේක වතාවක් ඔප්පු කර ඇත. එහෙත් මෑත කාලීන යුරෝපය සහ වර්තමාන ඇමෙරිකාව ද එම උත්සාහයේ යෙදෙමින් ආර්ථිකය එකතැන ලැග සිටින්නේ හා සමෘද්ධියක් නැත්තේ මන්දැයි විමසති.

ආණ්ඩුවක් පවත්වාගත හැකියාව ඇත්තේ ආර්ථික මාර්ග (economic means) මත පදනම් වූ සමාජ ආර්ථිකයකින් නිපැයෙන සම්පත් හා නිෂ්පාදන බලහත්කාරයෙන් උදුරාගැනීමෙන් පමණකි. එහෙත් නිෂ්පාදනයේ යෙදෙන්නෙක් නැත්නම් බලහත්කාරයෙන් උදුරාගන්නට ද දෙයක් නැතිවීමෙන් කොතරම් ආණ්ඩු ප්‍රතිපත්ති ගෙනාව ද ආණ්ඩුවක් පවත්වාගෙන යෑම ද නොහැකි වේ.

පුද්ගලික ආදායමක් නැත්නම්, බදු ගහන්නට වස්තු සම්පත් නැත්නම්, එවිට කොතරම් බදු පනවන බලයක් තිබුණ ද ආණ්ඩුවකට සිය පැවැත්ම ආරක්ෂා කරගත නොහැකියි. කියුබාව වැනි පුද්ගලික ආදායම නැති, බදු නැති රටක් සෝවියට් රුසියාව කඩා වැටුන පසු සහ වෙනෙසියුලාවේ හටගත් අගහිඟකම් හමුවේ මුහුණ දුන්නේ එයටයි. හිඟාකන්නට සහ ණය ඉල්ලා ගන්නට අය අඩු වී යද්දී කියුබාවට සිය වැසියනට පුද්ගලික දේපල අයිතියට අවසර දෙන්නට සිද්ධ විය.

නිෂ්පාදනයක් සඳහා නිදහස් වෙළඳාමට සහ හුවමාරුවට ද ඉඩක් තිබීම නිෂ්පාදනයක් බිහි කිරීම තරම් වැදගත් වූවකි. එහෙත් නිෂ්පාදනයක් බිහි වීමට සුදුසු වාතාවරණයකට ඉඩක් දීමෙන් ආණ්ඩුවකට බලය අල්ලාගෙන සිටිය නොහැකියි. ආණ්ඩුවකට බලය අල්ලාගෙන සිටිය හැක්කේ ආර්ථික මාර්ගය බැහැර ලා එද්දලවාදය දේශපාලන මාර්ගය කරගැනීමෙනි. වර්තමාන ඇමෙරිකාවේ ඩොලර් ලක්ෂයක වාර්ෂික ආදායමක් ඉපැයීම සාමාන්‍යයක් ලෙසින් පවතින්නේ තුන්දහසක් ඉක්මවා පවතින රටේ ගම්සභා අතර (county) 26 ක පමණි. එයින් භාගයක්ම ඇත්තේ සහ ධනවතුන් වැඩියෙන්ම ඉන්නා ගම්සභා හතර පවතින්නේ වොෂිංටන් අගනුවර සමීපයේය. වර්ජීනියාවේ ෆෙයාර්ෆැක්ස් කවුන්ටිය ඇමෙරිකාවේ වැඩියෙන්ම ධනවත් පිරිස ජීවත්වන ප්‍රදේශයයි.

ආර්ථික මාර්ගය බැහැරකට දමා, එසේම එද්දල ධනවාදයක් දකින්නට නොමැති රටවල පවා බදු වලින් උදුරා ගන්නා ආදායම ඉක්මවා සහනාධාර බෙදමින්, තමන්ට බදු නොගෙවා සිටිය හැකි ක්‍රමයන් අනුමත කරගනිමින් පාලන බලයේ සිටීම බහුතර පාලකයන්ගේ හැදියාවක් ලෙස ලොව පැතිර යන ලදි.

එහෙත් ඒ හැදියාව නිසාම අයකරගත හැකි බදු තවත් අඩු වී යද්දී තවත් ඉහළ බදු පැනවීමට බහුතර මුග්ධ ජනතාව රවටා ගන්නට පාලකයන් සමත් වෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙන්නේ තව තවත් අයකරගත හැකි බදු අඩු වී යෑමයි. ඒ බව නොදකින වර්තමාන ආණ්ඩු සිය පැවැත්ම ආරක්ෂා කරගන්නේ මහජන සහ බැංකු වලින් ණය ගැනීම, බැඳුම්කර අලෙවිය, මුදල් අවප්‍රමාණය, සහ මුදල් අච්චුගැසිම (බැංකු වලට අයත් බැඳුම්කරයන් සඳහා වූ රාජ්‍ය හුවමාරුවන් වැඩියෙන් නිකුත් කිරීම නොහොත් වත්කම් හුවමාරුව = assets swap) යනාදියෙනි. මෙම සියළු හැකියාවන් රජයකට බදු ගහන්නට හැකි බලය සමඟ සබැඳියෙන් වූ ඒවා වෙති.

තමනට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා ආර්ථික මාර්ගයක් අවශ්‍ය වේ. එය හැමවිටම දේශපාලන මාර්ගයකට වඩා සුපිරි වූවකි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on ඔක්තෝබර් 1, 2013 at 4:00 පෙ.ව.

    ඕකේ හොඳම වැඩේ උද්ධමන බද්දක් වදින එක.මොකද මුදල් ආදායම ඉහල යද්දි මිල මට්ටමේ ඉහල යාමත් එක්ක එන මූර්ත ආදායමේ අඩු වීම හින්දා හිටියටත් වඩා මනුස්සයෙක් පහලට වැටෙනවා.
    දැන් අන්න කියුබාවේ ක්‍රීඩකයින්ටත් ලීග් ගහන්න දෙන්න යනවා.එහේ ක්‍රිකට් ගැහුවා නම් කට්ටිය අයිපීඑල් විතරක් නෙවෙයි ලංකාවේ අන්තර්සමාජ ගහන්නත් එවයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 1, 2013 at 7:10 පෙ.ව.

      magenama,

      කියුබාවේ අල්පේච්ඡතා ජීවිතවල සුන්දරත්වය අගය කරපු අය දැන් මෙහෙම වෙනස් වෙද්දී කියන්නෙ මෙච්චර කාලයක් ආර්ථිකය ගෙන යෑම වරද්දාගෙන හිටිය එක ගැන නෙමෙයි. සමාජවාදය නිසා ඔන්න කියුබාව දියුණු වෙන හැටි බලන්න කියාවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: