අරුණි ශපීරෝ‍ වෙතින්

යැපුම් ආර්ථිකය ද? වෙළඳපොල ශ්‍රම විභජන ආර්ථිකය ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 1, 2013

IMG_4961

ගෝලීය වෙළඳපොල සහ ශ්‍රම විභජන ආර්ථිකය නිසා දීර්ඝායුෂ සහ නිරෝගී බවින් සතුට සොයා යන්නට ඉඩකඩ ලැබී ලොව සියල්ලන්ගේම ජීවිත යහපත් අතට හැරී ඇත. දියුණු වෙමින් පවතින රටවල ජනතාව අතර යැපුම් ආර්ථික ක්‍රමයට (subsistence economy) පක්ෂපාතීත්වයක් දක්වන්නා උදාර අයෙක් යැයි සැලකේ. එම පක්ෂපාතීත්වයෙන් නීති පනත් සම්මත කරගනිමින් වෙළඳපොලට මැදිහත්වීම් කරන අය ද උදාර හැටියට සැලකෙන්නෝ වෙති.

ඉතිහාසය පිරික්සා බලද්දී ලොව ප්‍රධාන වශයෙන් පැවතුනේ යැපුම් ආර්ථිකයයි. වෙළඳපොල වෙනුවෙන් ඒකීය පුද්ගලයා සතු සුවිශේෂී ප්‍රාගුණ්‍යයකින්, මුදල් හා භාණ්ඩ හුවමාරුවෙන් වෙළඳපොල ශ්‍රම විභජන ආර්ථිකයට එකතුවෙන පිරිස ක්‍රමයෙන් ලොව වැඩි වුවත්, ඔවුන් එහි නියැළෙමින්, එයින් ඵල නෙළා ගනිමින්, එහෙත් යැපුම් ආර්ථිකයේ අගය කියති. යැපුම් ආර්ථිකය සඳහා නීති පනත් සම්මතයට එකඟ වෙති.

අවවාදයයි!! පසුව එන වගන්ති පිරිමින්ට අපුල විය හැකියි!!!

80 ගණන් මුල දී වුවත් ලංකාවේ කාන්තාවන්ට ඔසප් දිනවලට පාවිච්චි කරන්නට වෙළඳපොලෙන් මිල දී ගතහැකි වූ සනීපාරක්ෂක තුවා සුලබ නොවීය. පාසැල් සමයේ බහුතර දැරියන්ට හැම මාසයකම අඩුම වශයෙන් දිනයක් දෙකක් හෝ පංති මඟහැරුණි. විභාගයක්, ක්‍රීඩා උළෙලක්, නාට්‍ය උළෙලක් යනාදියක දී ඔසප් දිනය වැටීම නිසා ගෙදර නැවතුණු ගැහැණු ළමයි බොහෝය.

The Economist සඟරාවේ පළ වූ සටහනක් අනුව ඉන්දියාවේ 70% ක් කාන්තාවන්ට ඔසප් දිනවල භාවිතා කරන නිෂ්පාදන මිල දී ගන්නට වත්කමක් නැත. වත්කමක් තිබෙන අය පවා පිරිමි සේවය කරන පාමසි වලින් ඒවා මිල දී ගැනීමට අකමැති වෙති.

ගැටවර වියේ ඉන්දීය කෙල්ලන්ට පාසැල් වසරක දින 50 ක් පමණ අහිමි වේ. දවසේ කුලියට වැඩ කරන කාන්තාවන්ට එම හේතුව නිසා පඩි නොමැති වේ. ඉන්දියාවේ කාන්තාවන් කපු රෙදි වලින් නිම කරගත් සනීපාරක්ෂක තුවා වලට අමතරව වියළි කොළ, පිදුරු සහ පුවත්පත් වලින් ගෙවල්වල දී සකසා ගත් ඒවා ද භාවිතා කරන බව එම සටහනෙන් කියැවේ. එහෙත් විවාහ මංගල්‍යයක් වැනි උත්සවයකට යද්දී මහා පරිමාන ආයතන ලේබලයක් යටතේ නිමැවූවක් භාවිතා කරති.

දිල්ලියේ මූලස්ථානය පිහිටන ආකර් ඉනොවේෂන්ස් නම් වූ ව්‍යාපාරය මේ සමාජයට සහ ආර්ථිකයට පාඩුදායක තත්වය වටහා ගෙන ඊට විසඳුමක් ගෙනෙන ලදි. ජනතාවගේ කැමැත්ත හඳුනාගන්නා ඔවුන් කෙසෙල්කොළ, උණබට සහ ජපන් ජබර යනාදී අමුද්‍රව්‍ය වලින් හදන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය පටන් ගෙන ඇත. මහා පරිමාන ආයතන ලේබල් යටතේ විකුණන ඒවාට වඩා 40% කින් අඩු මිලකට වෙළඳපොලට සපයන්නට හැකියාව ඔවුන් නවෝත්පාදනය කරගෙන ඇත. එසේම කාන්තාවන්ට ප්‍රියදායක වූ අලෙවි ක්‍රමයක් හැටියට ඔවුන් ඉන්දියානු රුපියල් දෙලක්ෂ පනස්දාහකට ඒවා හදන මැෂින් කාන්තා එකතුවන්ට විකුණති. ගෙයින් ගෙයට බඩු විකුණන කාන්තාවන්ට සහ කාන්තාවන් විසින් පවත්වාගෙන යන රූපලාවණ්‍ය ස්ථාන හා කාන්තාවන් බඩු විකුණන සිල්ලර කඩවල දී එවිට එම සනීපාරක්ෂක තුවා විකිණීමට හැකියාව පාදාගෙන ඇත.

වෙනත් එවැනි වෑයම් ඊට කළින් තිබුණ ද, ආකර්ගේ නිෂ්පාදනයේ වෙනසක් ඇත. එම වෙනස නම් ඔවුන්ගේ නිෂ්පාදනය ලෝක මට්ටමේ ප්‍රමිතියකින් නිමැවී තිබීමයි. ඒ නිසා ගෝලීය වෙළඳපොලක තරඟයේ යෙදිය හැකියාවක් ඊට ලැබීමයි. රුපියල් බිලියන 13.5 ක වූ ඉන්දියාවේ කාන්තා සනීපාරක්ෂක තුවා කර්මාන්තය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ යැයි සටහන කියයි.

ලංකාවේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය නමින් වූ සංවිධානයක් විසින් සනීපාරක්ෂක තුවා වර්ගයක වඳවෙන තෙලක් ඇතැයි පතුරුවන ලද කතාවක් මෙවසර මුල දී දැක්කෙමි. ඔප්පු කළ නොහැකි දේවල් ඇතැයි කියමින් භාණ්ඩය තහනම් කරන්න යැයි පෙළපාලි යෑම හෝ කඩවල් වලට පහර දීමේ යෙදෙන අය සිටින රටක් බවට වර්තමාන ලංකාව පත්වී ඇත. ඒ අතරම දේශීය භාණ්ඩ වලින් දේශීය වෙළඳපොලේ ඉල්ලුම සපුරාලන්නට නිෂ්පාදනය නොහැකි වී ඇත.

ගමේ ගොවියාව හෝ රටේ කාර්මිකයාව හැමදාම යැපුම් ආර්ථිකයක හිරකර තබනවා ද? නැත්නම් ගෝලීය ලෙසින් තරඟ කළ හැකි ශ්‍රම විභජන ආර්ථිකයට පිවිසෙනවා ද? යන්න රජයේ ප්‍රතිපත්ති හදන අය නොව පරිහරණයට භාණ්ඩයක් ලැබෙන්නේ කෙසේදැයි කල්පනා කරන ඒකීය පුද්ගලයා විසින් සොයා බැලිය යුත්තකි. ගෝලීය වෙළඳපොලක තරඟයෙන් ජයගන්නට අවස්ථාව ලැබෙන්නේ පිටරටින් එන නිෂ්පාදන අවහිර කරන නීති පනත් සම්මත කරගැනීමෙන් නොවේ. රාජ්‍ය මැදිහත්වීම් නොමැතිව ගෝලීය ප්‍රමිතියකින් යුතු භාණ්ඩයක් නිෂ්පාදනයට සමත්වීමෙනි.

* කියවා නැත්නම් කියවිය යුතු සටහනක්: තෙවැනි කැරැල්ල හා කෘෂිකර්මයේ ඵලදායීතාවය – නිශාන්ත කමලදාස

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: