අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රම විභජන ආර්ථිකයේ පැවැත්මට හේතුව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 2, 2013

IMG_4959

ඕනෑම අවස්ථාවක දී පවතින සම්පත් ප්‍රමාණවත් නොවීම හෝ අසම්පූර්ණ ලෙසකින් තිබීම විනා හිඟය යන්න පරම වූවක් නොවේ. පහන් පත්තු කරගන්නට තල්මස් තෙල් යොදාගත් කාලයේ දී පෙට්‍රෝලියම් ගැන මිනිසා නොදත්තේය. අශ්ව කරත්ත වලින් ගමන් බිමන් යද්දී මිනිසා දහන එන්ජිම ගැන නොදත්තේය. හිඟය යන්න උවමනා සමඟ සාපේක්ෂ වූවකි.

නොවැලැක්විය හැකි ලෙසකින් හිඟයට මුහුණ දෙන මිනිසා එක්කෝ තමන් හමුවේ පවතින සීමිත සම්පත් අනුව ජීවත්වෙන්නට උත්සාහ කළ යුතුයි. නැත්නම් යම් මාර්ගයකින් ඒ සම්පත් වැඩි කරගත යුතුයි. එහෙමත් නැත්නම්, මේ දෙකෙන්ම යුතු මාර්ගයක් යොදාගත යුතුයි.

ඉතිහාසය අපිට පෙන්වන්නේ අවශ්‍යතාවන් හෝ උවමනාවන් සීමිත කරගන්නවාට වඩා නිෂ්පාදන මාර්ගයෙන් සම්පත් ප්‍රමාණය, අනගිත්වය හා කාර්යක්ෂම බව වැඩි කරගැනීමට බහුතර නිදහස් මිනිසුන් උත්සාහ ගත් බවයි. ඉහළ ජීවන මට්ටමක් සොයන මිනිසාට සුවිශේෂී ප්‍රාගුණ්‍යයෙන්, එකිනෙකා සමඟ හුවමාරුවෙන් සහ නිෂ්පාදනය වැඩිකරගැනීමෙන් සාගත වලින් ගැලවී ආයූෂ දීර්ඝ කරගන්නට හැකියාව ලැබුනේ ශ්‍රම විභජන ආර්ථිකයෙනි.

ඉතින් ශ්‍රම විභජන ආර්ථිකයේ පැවත්මට හේතුව කුමක්දැයි විමසීම වැදගත්ය. වර්තමාන ඔබාමා රජය ඇතුළු ලෝකයේ බොහෝ දේශපාලන නායකයන් අවධානය වැඩියෙන් යොමු කරන්නේ නිෂ්පාදනයෙන් පසු සමානාත්මතාවයකින් හැමටම අවශ්‍ය සහ උවමනා භාණ්ඩ බෙදා දෙන ආකාරය ගැනයි. ලොව නිෂ්පාදනයන් ඇතිවෙන්නේ කෙසේදැයි කියා කතාබස් කරන අය ඉතා අඩුයි. එමනිසා බහුතරයක් සිතන්නේ යම් කර්මාන්තයකට ප්‍රතිපාදන ලබාදුන්නාම එයින් හැමටම බෙදා දිය හැකි පරිදි නිෂ්පාදන නිසැකයෙන් බිහිවෙන බවයි.

හැකියාවන් සහ කුසලතාවන් සියළු දෙනාටම එක හා සමාන ලෙසින් පිහිටා නැත. එසේම ලෝකයේ පවතින ස්වභාවික සම්පත් අයිතිය ද එක හා සමාන ලෙසකින් බෙදී යන පරිදි පිහිටා නැත. ඒවා එසේ පිහිටන ලද්දේ නම් එකිනෙකා සමඟ හුවමාරුවක් හෝ වෙළඳාමක යෙදෙන අවශ්‍යතාවයක් හටගන්නේ නැත. තම තමන්ගේ අවශ්‍යතාවන් සහ උවමනාවන් තෘප්තිමත් කරගන්නට තම හැකියාවෙන් පුළුවන්කමක් ඇත්නම්, තම ගමේ රටේ පිහිටා ඇති සම්පත් වලින් පමණක් හැකියාවක් ඇත්නම් ඕනෑම අයෙකුට වෙනත් අය හා ගණුදෙනු හුවමාරු කරන අවශ්‍යතාවය ද නැති වී යයි.

එකිනෙකා සමඟ සමාජ-ආර්ථික ගණුදෙනු කරන මිනිස් අවශ්‍යතාවයේ මූලාරම්භය නම් මිනිසුන් අතර අසමානතා පැවතීමයි. පුද්ගලයන් අතර පවතින අසමානතා වලින් ඒ ඒ අයට ඇති නැති හැකියාවන් අතර විවිධත්වය පිළිබිඹු කරයි. එසේම භූමි කලාපයන් අතර ඇති අසමානතා වලින් ඒවා අතර විවිධත්වය දැක්වෙයි.

අසමානතා පවතින නිසා මිනිසා තමනට නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ හා සේවා ලබාගනු පිණිස ඒවා නිෂ්පාදනයට කුසලතාවයක් ඇති අය වෙත යති. අනුන්ට නැති එහෙත් ඔවුන්ට උවමනා කරන දැයක් හදන්නට දන්නා අයෙක් හදන්නට නොදන්නා අනිකාට සපයයි. පුද්ගලයන් අතර පවතින අසමාන සහ අසම්පූර්ණ බව එක අතකින් සාපේක්ෂ අවාසියක් වෙද්දී ඒකීය පුද්ගලයා සතු සුවිශේෂී ප්‍රාගුණ්‍යය නම් වූව සාපේක්ෂ වාසියක් වෙයි. මිනිස් ස්වභාවය මෙසේ නිසා කිනම් හෝ අවස්ථාවක දී මිනිසාට අන්‍යෝන්‍ය යහපත සලසා ගැනීමට තවත් අයෙකුගේ සහාය පතන්නට සිද්ධ වේ. එක්කෝ තමන් තනිවම නිෂ්පාදනය කළ භාණ්ඩ එකිනෙකා සමඟ හුවමාරුවෙන් එය සාක්ෂාත් කරගත හැකියි. නැත්නම් දෙදෙනාටම එකතු වී සහබද්ධ වෑයමකින් වෙළඳපොලට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරත හැකියි.

තමන් වැඩියෙන්ම සුදුසු වන්නේ කුමකට ද කියා ප්‍රාගුණ්‍යයක් වර්ධනයට මූලික වන්නේ මිනිසා විසින් තමන්ගේ වැඩි වාසිය (advantage) කුමක් දැයි හැඳිනගැනීමයි. ශ්‍රම විභජන ආර්ථිකයේ සාර්ථකත්වය ඒ ඒ පුද්ගලයාට ඔහු සතු වූ වැඩි වාසියේ නියැළෙන්නට ලැබෙන නිදහස මත රඳා පවතින්නකි.

තම තමන් වාසය කරන භූමි කලාපයන් අනුව පවතින පරිස්ථානීය දැනුම නිසා වැඩි වාසියක් ඇති පුද්ගලයා ඒ අනුව තම සුවිශේෂී ප්‍රාගුණ්‍ය වර්ධනය කරගනියි. මිනිසා තම හැකියාවන් සහ කුසලතාවන් මොනවා දැයි හඳුනාගන්නට සමත් වෙන්නා සේ ම, කෘෂිකාර්මික කටයුතු, රන් මිනිරන්, මැණික් පතල් කැනීම සහ සංචාරක කර්මාන්තය ද දියුණු කළ යුත්තේ ඒවා පිහිටා ඇති ආකාරයෙන් වැඩි වාසි ලැබෙන ආකාරයටයි.

නැවතත් මතක් කරන්නම්: මේ සටහන් Milton M. Shapiro ලියූ Foundations of The Market-Price System (1974) පොත ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: