අරුණි ශපීරෝ‍ වෙතින්

යහපතට ඉල්ලුමක් නැත්නම්?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 9, 2013

“යහපතට ඉල්ලුමක් නැත්නම් කිසිවෙකුට වැඩි කාලයක් යහපත් බැවින් ඉන්නට බැහැ,” -බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

“යහපත් චරිතයක් යනු, සෑම විටෙකම, පුද්ගලික වෑයමක ඵලදාවයි. එය දෙමව්පියන් වෙතින් දායද වූවක් නොවේ. එය බාහිර වාසි නිසා නිර්මාණය වූවක් නොවේ. උපත්තියෙන්, ධන සම්පත් වලින්, කුසලතාවයෙන් හෝ සමාජ තත්වයෙන් ලැබුණු අතකොළුවක් නොවේ. එය තමන්ගේ ම වූ වෙහෙසකින් -යහපත් මූලධර්ම මත කරන ලද සද්ගුණවත් හා ගෞරවනීය වූ ක්‍රියාවන් වලට ලැබුනා වූ ප්‍රතිඵලයයි.” -ජේ. හාව්ස්

අනිත් හැමෝම පාගා දමමින් ඉහළට නඟින්න හදනා අය පෙන්වා, නැත්නම් යම් වංචා සහගත ගුණ්ඩුවකින් ධනය රැස්කරගත් අයෙක් පෙන්වා එය නිදහස් වෙළඳපොලේ අයහපත් ප්‍රතිඵලයක් යැයි දැක්වීමට බොහෝ අය යුහුසුළු වෙති. එහෙත් නිදහස් වෙළඳපොල යනු රටේ නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ. රටේ නීතිය සැමට එකසේ බලපාන අන්දමින් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ කාර්ය භාරයයි. ආණ්ඩුවක් එය ඉටු කරන්නේ ද එහි වැසියන් අතර නීති විරෝධී ක්‍රියාවන් දකින්නට ලැබීම අවම වේ. යම් ආණ්ඩුවක් ඒ වගකීම පැහැර හැර පිරිසකට වෙනස් ලෙසකින් සලකන්නට පටන් ගන්නේ ද අවනීතිය රජයයි.

යම්කිසි ශ්‍රේණියක දී පෙනී සිටින ශිෂ්‍යත්වය, ඉහළට ඉගෙන ගන්නට හැකියාව ගැන අවසන් තීන්දුව දෙන විභාගය, තම කුසලතාවන් වර්ධනය කරගත හැකි ඉඩ ප්‍රස්ථා පමණක් නොව විදේශ රටකට ගොස් ආදායමක් හොයාගැනීම ගැන පවා රජය යටතේ වැඩියෙන්ම සැලසුම් හදන්නේ රටේ දුප්පත්ම පිරිස වෙනුවෙනි. අනතුරුව රටේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික තත්වය පිරිහිලා යැයි කියන රජය ඒ සඳහා තවත් සැලසුම් සහ තවත් නීති ගෙනෙන්නට අවශ්‍ය බව කියයි.

යහපත් චරිතයක් යනු කුමක් ද? මිනීමැරැම්, අපරාධ, වංචාවන් තමනට සිද්ධ වෙනවා නම් ඊට කැමති මිනිසෙක් ලොව ඉන්නවා ද? යහපත් චරිතයක් යනුවෙන් සැලකෙන්නේ එවැනි ක්‍රියාවන්හි නිරත නොවීම යැයි නොදන්නා අයෙක් ඉන්නවා ද? තම පුද්ගලික වෑයමේ ඵලදාව තක්සේරු කරන්නට නොදන්නා මිනිසා බිහිවෙන්නේ යම් සමාජයක් මිනිසාට නිදහස් කටයුතු කිරීමට සීමා, තහනම් හා බාධක වැඩි වැඩියෙන් පමුණුවන විටයි. එහි දී තම වෑයම අත්හරිමින් අනේක විධ කරුණු අයහපතට හේතු යැයි කියා පාන මිනිසුන් සමාජයේ වැඩිවෙති.

යහපත යන්න කුමක් දැයි නොදන්නා අවුල් සහගත තත්වය සමාජයේ පැතිර යෑමෙන් පෙන්වන්නේ යහපතට ඉල්ලුමක් නැති බවයි. එහි දී ඊට ඉල්ලුමක් යම් කාලයක දී හෝ තිබුණා ද? ඊ ළඟට එසේ තිබුණා නම් ඒ ඉල්ලුම නැති වී ගියේ මන්ද? යනාදිය විමසන්නට අයෙක් වෙහෙස නොගනියි. දක්කාගෙන යන මිනිසුන් ගැලේ ගමන් කරති.

තව තවත් සමාජ සාධාරණත්වය සඳහා නව නීති පනත් ගෙන එන්නට එකඟ වෙන සමාජය එහෙත් සියල්ලන්ටම එක හා සමාන වූ නීති ක්‍රියාත්මක කළ යුතු යැයි ඉල්ලන්නට ඉදිරිපත් නොවෙති.

මිනිසා මුදල් හඹා යන්නේ මන්දැයි නොවිමසා, එයින් පමණක් මිනිස් වෑයමේ සත්‍ය වටිනාකම පෙන්වනවා යන සත්‍යය බාර නොගෙන, අනුන් කියන නිසා මුදල් හඹා යෑම පාපකාරී ලෙස දැකීම නතර නොකරති.

නිමය (barter) නොහොත් තවකෙක් සමඟ කෙළින්ම තමන්ට අයිති භාණ්ඩය හුවමාරුව වෙනුවට මුදල් භාවිතය ඕපපාතිකව ලොව හටගත්තේ නිමයේ වූ ප්‍රධාන අඩුපාඩු තුනක් පියවමිනි.

බණ්ඩක්කා වවන අයෙක් ඒවා හුවමාරුවෙන් මැටියෙන් හදන ලද හට්ටියක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ ද, එයාට මැටි හට්ටි හදන බණ්ඩක්කා උවමනා අයෙක් සොයා ගන්නට සිද්ධ වේ. හුවමාරුවට ඉදිරිපත් කරන භාණ්ඩය පිළිගෙන තමන් ලබාගන්නට කැමති භාණ්ඩය දෙන්නට කැමති අයෙක් සොයා ගැනීමේ ගැටළුව මුදල් භාවිතයෙන් ඉවත් කරගන්නට හැකිවිය. බණ්ඩක්කා ටික ඒවා කන්නට කැමති අයෙකුට විකුණා ලබාගන්නා මුදලින් බණ්ඩක්කා කන්නට අකමැති වූවත් මැටි හට්ටියක් විකුණන්නට කැමැත්තාට දී මැටි හට්ටියක් ලබාගත හැකියි.

අනෙක් ගැටළුව හුවමාරු කරන භාණ්ඩය ඒ ඒ අයට අවශ්‍ය ප්‍රමාණයට බෙදීම ගැන වූවකි. අවශ්‍ය වන්නේ බණ්ඩක්කා කරල් පහක් දහයක් පමණක් නම් ඊට මැටි හට්ටියක් හුවමාරුව අවාසි යැයි සිතුවාට මැටි හට්ටිය කෑලි වලට බෙදා වෙන් කරන්නට නොහැකියි. එහෙත් මුදල් භාවිතය නිසා හුවමාරු භාණ්ඩ වල අගයන් තමන් කැමති ප්‍රමාණයන් වලින් දක්වන්නට හැකියාව ලැබී බෙදන ගැටළුව විසඳා ගත හැකිවිය.

මුදල් භාවිතය පටන් ගැනීමත් සමඟ ඒ ඒ අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉඩම් කුලිය, පොලිය යනාදිය ගැන වෙළඳපොල ගණන් මිනුම් විමසන්නට හැකියාව ලැබීමෙන් ව්‍යවසායකයාට ලාභ හා ආලභ ගණනයට අවස්ථාව පෑදිණ.

මුදල් යනු භාණ්ඩ හුවමාරු කරගන්නට භාවිතා කරන මාධ්‍යයයකි. එය තවකෙකුගේ වෑයමට සත්‍යය වටිනාකමක් දිය හැකි මාධ්‍යයකි. මුදල් යනු තමන්ට අවශ්‍ය දේ පමණක් ලබාගන්නට හැකි මාධ්‍යයකි. මුදල් යනු තමන්ට ලාබ අලාභ සිද්ධ වූවා දැයි දැනගන්නට හැකි මාධ්‍යයකි.

එකිනෙකාගේ වෑයමේ වටිනාකම කුමක් දැයි තීරණය කරන්නේ නිදහස් වෙළඳපොලක භාණ්ඩ හුවමාරුවට වෑයමක් ගන්නා මිනිසුන් විසිනි. භාණ්ඩ හුවමාරුව අඩුවෙන් කර අධ්‍යාත්මික වර්ධනයකට සිත යොමු කරන්නාට එයින් සීමා බාධක වැටෙන්නේ නැත. අල්පේච්ඡතා ජීවිතයක් ප්‍රිය කරන්නාට එයින් සීමා බාධක වැටෙන්නේ නැත. මුදල් එකතු කරමින් වියදම් නොකරන මසුරාට එහි වටිනාකමක් නැතැයි කියා දෙන්නට කිසිවෙක් නොයයි.

සියල්ලන්ම නිදහසේ ගණුදෙනු කරන වෙළඳපොල වැඩි වටිනාකමක් දෙන්නේ කුමන වෙහෙසකට ද යන්න පමණක් පෙන්වයි. වැඩියෙන් වටිනාකමක් ඇති වෑයමේ බහුතරයක් යෙදෙන්නේ ද එයට ඇති සැපයුම වැඩි වී ඉල්ලුම අඩු වෙයි. වෙළඳපොල එහි වෑයම් කරන සියළු මිනිසුන්ට එකම සාධාරණත්වයෙන් සලකයි.

ශ්‍රම විභජනයක් ඇති ගෝලීය සමාජයක ගණුදෙනු කරන්නට කැමති නිදහස් මිනිසුන් අතර යම් පුද්ගලයෙක් වෙහෙසන්නට කැමති ශ්‍රමයේ වටිනාකම දැනගත හැකියාව ලැබෙන්නේ ඔහුගේ වෑයමට කොතරම් මුදලක් ගෙවන්නට තවත් නිදහස් පුද්ගලයෙක් ඉන්නවා ද යන්න මතයි.

ඉතින්, වෙහෙසක නියැළෙන්නා තම වෑයමේ වටිනාකම පෙන්වන එකම මාධ්‍යය මුදල් යැයි පිළිගන්නට අකමැති මන්ද?

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on ඔක්තෝබර් 9, 2013 at 10:00 පෙ.ව.

    යහපතට තරම් ලෝකයේ හැමදා ඉල්ලුම ඇති වෙනත් දෙයක් නොදනිමි. නමුත් මිනිසුන් යහපත අර්ථ දක්වන්නා වූ විදිය අනුවත් එය මුදලින් මනින්නට යාම නිසාත් එහි ඉල්ලුම අඩුවූ බවක් පෙනෙන්නේය. 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2013 at 10:13 පෙ.ව.

      හලෝව් රස්ටා,

      යහපතට ඉල්ලුමක් නැති සමාජයක මුදලින් මනින්නේ යහපත නොව මුදල් සතු පුද්ගලයාට පෙන්වත හැකි බලපුළුවන්කාරකම්. යහපතට ඉල්ලුමක් ඇති සමාජයක මුදලින් මනින්නේ භාණ්ඩ හුවමාරුවට කැමති මිනිසාගේ එකී වෑයම පමණයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: