අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස් වෙළඳපොලක දී භාණ්ඩයක මිල තීරණය වෙන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2013

IMG_7261

“ජන ජීවිතයට අත්‍යාවශ්‍ය යැයි හඳුනාගත් නිශ්චිත භාණ්ඩ වල මිල පිළිබඳව මැදිහත්වීම්” කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියක් නොමැති නිදහස් වෙළඳපොලක දී භාණ්ඩයක මිල තීරණය වෙන්නේ කෙසේදැයි ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයට අනුව විමසා බලමු. මේ සඳහා ඔස්ට්‍රියන් පාසැලේ ඉයුජින් බොයිම්-බැව්රෙක් (Eugen Böem-Bawrek) විසින් බ්‍රිතාන්‍යය සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට විසඳා ගත නොහැකි වූ ගැටළු විසඳන්නට කරන ලද මෙහෙය දැවැන්ත වූවකි.

නිදහස් වෙළඳපොලක් යනු තමන්ට අවශ්‍ය වූ භාණ්ඩය නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදනකරුවන් සහ ඒවා විකුණන විවිධ වෙළඳස්ථාන පවතින වාතාවරණයකි. එහි දී පාරිභෝගිකයා කරන්නේ තමනට අඩුවෙන්ම මුදල් ප්‍රමාණයක් දී වැඩියෙන්ම හොඳ යැයි සිතෙන භාණ්ඩය ලබාගත හැකියාව ඇත්තේ කොතැනින් දැයි සොයා බැලීමයි.

නිදහස් වෙළඳපොල ගණුදෙනුවක දී පාරිභෝගිකයා තමන් වැඩියෙන්ම ගෙවන්න කැමති මුදල කුමක් දැයි අනාවරණය කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ නිසා යම් භාණ්ඩයකට වැඩියෙන්ම ලබාගත හැකි මුදල කුමක් දැයි විකුණන්නාට දැනගන්නට ලැබෙන්නේ ද ඉතා කලාතුරකින් පමණයි.

නමුත් සියළු පාරිභෝගිකයන් නිදහස් වෙළඳපොලේ කරන ගණුදෙනු වලින් භාණ්ඩයකට ලැබෙන ඒ ඒ වටිනාකම් දක්වන මිනුම් දණ්ඩක් (scale) දකින්නට නිෂ්පාදකයන්ට අවස්ථාව ලැබේ. එය නිතර වෙනස්කම් වලට ලක්වෙන්නකි. යම් අධිකාරියකින් මිල තීරණය කරද්දී වෙළඳපොල ඉල්ලුම සැපයුම අනුම මිල ඉහළ පහළ යන ආකාරය නිෂ්පාදකයන්ට හෝ පාරිභෝගිකයන්ට ලැබෙන්නේ නැත. අධිකාරියේ ඉන්නා අය ද නොයෙකුත් ගණන් හදමින් අවසානයේ එළඹෙන්නේ එසේ යැයි සිතන එහෙත් එසේ නොවන ඊනියා මිලක් තීරණයටයි.

භාණ්ඩයකට ඇති ඉල්ලුමක් පෙන්වන්නේ පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් විසින් දෙන අගැයුම් ගණනාවක් කියාපාන මිනුම් දණ්ඩයි. භාණ්ඩයක සැපයුම තීරණය වෙන්නේ පාරිභෝගිකයන් අනාගතයක දී දිය හැකි යැයි හැකි තරම් ස්ථිර බවකින් කියන්නට උත්සාහයක් ගන්නා ව්‍යවසායකයෙක් වෙතින්. ගණුදෙනුවේ දී ඒකීය පාරිභෝගික අගැයුම අනුව ඉල්ලුම හා සැපයුම සකස් වී වෙළඳපොලක විකුණන සියළු භාණ්ඩ හා සේවාවල මිල තීරණය වේ.

බඩුවක මිල යන්න මට උවමනා වූ නිසා වෙනස් වන්නක් හෝ මට එපා වූ නිසා වෙනස් වන්නක් නොවේ. එය මතයක් නොවේ. එය ආණ්ඩුවේ පනතක් මඟින් අනුමත කරත හැකි නොවේ. වෙළඳපොලේ මිනිසුන් එකිනෙකා සමඟ කරන නිදහස් ගණුදෙනු වලින් බිහිවෙන මිල පෙන්වන්නේ සමස්ත පාරිභෝගික ක්‍රියාවන් හි ප්‍රතිඵලයයි. තම තත්වය පවතිනවාට වඩා වෙනස් කරගන්නට කැමති අයට වෙළඳපොල ක්‍රියාවක නිරත වෙද්දී එය මඟපෙන්වන්නක් පමණි. මිනිසා යනු හැකි සෑම අවස්ථාවක දී ම පවතින අකමැති තත්වයන් කැමති තත්වයන්ට හරවා ගන්නට උත්සාහ කරන්නෙකි.

බොයිම්-බැව්රෙක් පෙන්වා දුන්නේ මිනිසුන් භාණ්ඩ භාවිතා කරන්නේ හීනවෙන ආන්තික උපයෝගීතාවයකින් බවයි. යම් භාණ්ඩයකට දෙන පුද්ගලික අගැයුම එය තමන් සතු වීමත් සමඟ අඩු වී යෑම තමයි මේ සිද්ධාන්තයෙන් දැක්වෙන්නෙ. යම් භාණ්ඩයකින් තෘප්තිමත් කරන අවශ්‍යතාවට සහ උවමනාවට දෙන වැදගත්කම අනුව ඒවාට අගැයුම් දීමත්, තෘප්තිමත් වෙද්දී ඒ අගැයුම් හීන වී යෑමත් මිනිස් ස්වභාවයක්. ඒකීය පුද්ගලයන් විසින් තම කැමැත්ත අනුව තීරණය කරද්දී නිදහස් වෙළඳපොලක සෑම මිලක් විසින් ම ගණුදෙනුවේ යෙදෙන අයට වාසියක් ගෙන දෙයි.

බඩු මිල ඉහළ පහළ යන්නේ ඒවාට මිනිසුන් දක්වන කැමැත්ත අනුවයි. නිදහස් වෙළඳපොල ක්‍රියාවලියට ඉඩක් වැඩියෙන් ලැබෙන්නේ ද වැඩියෙන් පිරිසක් කැමැත්ත දක්වන නිසා වැඩි ඉල්ලුමක් ඇති පරිභෝජන භාණ්ඩ මිල පහළ යයි. මන්ද, වැඩියෙන් නිෂ්පාදකයන් එම භාණ්ඩය වෙළඳපොලට සපයන්නට වෙහෙසන නිසයි. මෙහි දී නිදහස් වෙළඳපොල කුමක් දැයි සිතාගනු නොහැකි අය නිෂ්පාදකයා බාල බඩු අඩු මිලට ඉදිරිපත් කර ලාබ සොයාගන්නේ යැයි සිතයි. එහෙත් නිදහස් වෙළඳපොලක් නම් මිල පාලනයක් නැති, අනේක භාණ්ඩ සංඛ්‍යාවක් අතරින් වැඩියෙන්ම අනගි වූව තෝරාගත හැකි නිදහස පවතින වාතාවරණයක් බව එවැනි අය අමතක කරති. එවැනි වාතාවරණයක දී පාරිභෝගිකයාට වැඩියෙන්ම අනගි වූ, අඩුවෙන්ම මිල දක්වන භාණ්ඩය තෝරාගත හැකියාව ලැබන බැවින් නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ අනගි භාණ්ඩයක් අඩු මිලකට ගෙනෙන්නට නිෂ්පාදන ක්‍රියාවලිය සූක්ෂම කිරීමටයි.

නිදහස් වෙළඳපොලට මැදිහත්වීම් වැඩි වෙන්න වැඩි වෙන්න භාණ්ඩයක සත්‍යය මිල හඳුනාගැනීම අපහසු වේ. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම එය බලපෑම් කරයි. මැදිහත්වීම් ඇති වෙළඳපොලේ භාණ්ඩ හිඟය නිතර දකින්නට ලැබේ. මැදිහත්වීම් ඇති වෙළඳපොලේ පාරිභෝගිකයා තමන් වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩ සඳහා දිනෙන් දින ඉහළ යන මිලක් ගෙවයි. මැදිහත්වීම් නැති වෙළඳපොලක උපයන ආදායමෙන් වැඩි කොටස වැඩියෙන්ම ජනතාව පරිහරණය කරන භාණ්ඩ සඳහා වැය වී යන්නේ නැත.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. jagath pathirana said, on ඔක්තෝබර් 11, 2013 at 2:09 පෙ.ව.

    මම ලඟදී දවසක සතොස සිල්ලර කඩයකට ගියා දත් බුරුස්වක් ගන්න
    එතනදී දැක්ක දෙයක් තමා එතන තිබුනු දත් බුරුසු වර්ග 7-8 න්
    හැම එකකම ඔලුව රුවිත (ඩයමන්ඩ්) හැඩයට හෝ ඊට ආසන්න හැඩයකට තනා තැබීම
    දත් බුරුසුවකට රුවිත හැඩයට හිසක් තිබීමෙන් දත්මැදීමට පහසුවක් වෙනබවක් මටනම් පෙනෙන්නේ නෑ
    ඕකෙන් වෙන එකම දෙය ඉක්මනින් කෙඳි නැමීම නිසා බුරුසුව මාරු කරන්න සිදුවීම විතරයි
    ඒක බුරුසු හදන කොම්පැනි වලට වාසියි
    එම නිසා හැමෝම රුවිත හැඩයටම බුරුසු හදන්න පෙලඹිලා තියෙනව
    දැන් මම මේකට විරුද්ධ නිසා රුපියල් කෝටියක් විතර නයක් අරගෙන දත් බුරුසු කොම්පැනියක් පටන් ගත්තා කියල හිතන්න
    එතකොට එතකොට අනිත් සමාගම් ඔක්කොම පරන අච්චුවලින් බුරුසු හදන්න පටන් ගනියි
    එතකොට මගේ කොම්පැනිය වැටිලා මට නය ගෙවාගන්න බැරුව මට වහ බොන්න වෙයි
    ඔය වගේ ගැටලු වලට නිදහස් වෙලඳපෙල තුල තියෙන විසඳුම මොකක්ද?

    • arunishapiro said, on ඔක්තෝබර් 11, 2013 at 8:26 පෙ.ව.

      jagath pathirana,

      නිදහස් වෙළඳපොලක් කියන්නෙ හැමෝම එකම භාණ්ඩයක් එකම විදියට හදන තැනක් නොවේ. නිදහස් වෙළඳපොලක දී කඩ රාක්කයේ තියෙන්නෙ රවුම් බුරුසු, හතරැස් බුරුසු, විදුලි බලයෙන් කෙඳි රෝද තුනක් එක වේලාවටම කැරකැවෙන බුරුසු, ඝන කෙඳි, මුදු කෙඳි, ඝනත් නොවන මුදුත් නොවෙන ගෝල්ඩිලොක්ස් කැමති වෙන කෙඳි!!! යනාදියයි.

      මිනිසාගේ කැමැත්ත එකම විදියක් නොවන බව ව්‍යාපාරිකයන් දන්න නිසාත්, ඔයා වගේ ඔලුව රුවිත දත් බුරුසු හැඩය වෙළඳ ගුණ්ඩුවක් යැයි සිතන තවත් පාරිභෝගිකයන් ඉන්නා නිසාත්, නිදහස් වෙළඳපොලක දී දැනටමත් නා නා ප්‍රකාර අච්චු වලින් හදලා ඒ ඒ අච්චු වලට කැමති අයට නිදහස් තෝරාගැනීමකට ඉඩ තියෙනවා.

      පාරිභෝගික කැමැත්ත වැඩියෙන්ම දක්වන්නේ කුමන හැඩයකට ද? කුමන කෙඳි වර්ගයක ට ද? කුමන මිලක ට ද? යන්න මත ඒ හදන සමාගම වැඩියෙන් බුරුසු විකුණා ගනිද්දී, කවුරුත් වැඩියෙන් කැමති නැති එහෙත් සුළුතරයක් පාවිච්චි කරන්න කැමති කටේ දාගෙන හක්ක හෙළෙව්වම දත් සුද්ද වෙන ගැජට් අඩුවෙන් විකිණෙනවා. නිදහස් වෙළඳපොල හඳුනාගන්නා නිෂ්පාදකයාට හැමෝම වැඩියෙන් කැමති දත් බුරුසු හදලා වැඩියෙන් ප්‍රමාණයක් අඩුවෙන් ඒකකයකට ලැබෙන මිලකට විකුණා ගන්න පුළුවන්. නැත්නම් වැඩියෙන් අය දන්නෙ නැති මේ වගේ ගැජමැටික් එකක් හදලා අඩුවෙන් ප්‍රමාණයක් ඒකකයට ලැබෙන වැඩි මිලකට (ඩොලර් 300) විකුණා ගන්න පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: