අරුණි ශපීරෝ‍ වෙතින්

භාණ්ඩයක වටිනාකම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 11, 2013

IMG_7767

ඕනෑම භාණ්ඩයකට අගයක්, වටිනාකමක් (value) දෙන්නේ මිනිසෙකි. ඒ ඔහු තමන් සහ එම බඩුව අතර දකින සම්බන්ධතාවය අනුවය. තෝරාගැනීම් අතරින් යමකට මනාපයක් පෙන්වන්නේ එහි ඇති යම් අගයකට ඒ ඒකීය පුද්ගලයාගේ සිත වැඩියෙන් ඇදී යාමෙනි.

අයෙක් දෙන අගැයුම වෙනත් අයගේ ප්‍රසාදය හෝ අප්‍රසාදය ලැබීම හෝ නොලැබීම ගැන වූ ආචාර ධාර්මික වූ හේතුවක් නිසා විය හැකියි.

අයෙක් දෙන අගැයුම ඔහුගේ විශ්වාස, ඇදහිලි මත පදනම් වූ ආගමික හේතුවක් විය හැකියි.

අයෙක් දෙන අගැයුම එහි ඔහු දකින කලාත්මක රසයක් නිසා විය හැකියි.

අයෙක් දෙන අගැයුම ඒ බඩුව හා බැඳුණු අතීත සිද්ධියක් මතකයේ වීම නිසා විය හැකියි.

ආර්ථික අගය යන්න ඉහත සඳහන් ආකාරයෙන් යුතු අගැයුම් රාශියක් තුලින් හැදෙන පද්ධතියක එක වර්ගයක් පමණි. පාන්, සහල්, කිරිපිටි, ඇඳුම්, ගෙවල්, ඉඩකඩම් යනාදියේ වටිනාකමක් දකින්නේ ඒ හා බැඳී පවතින තමන්ට විශේෂිත වූ යම් සම්බන්ධතාවයක් දකින මිනිසාය. ඒ අනුව සලකද්දී කිසිම භාණ්ඩයක නෛසර්ගික ආර්ථික අගයක් නැත. කාලයකට පවතින අගය තවත් කාලයක දී නැති වී යයි. පුද්ගලයා දක්වන ආශාවේ තරම අනුව දක්වන අගය අඩු වැඩි වෙයි.

භාණ්ඩයක වටිනාකම යනු ඒකීය පුද්ගලයෙකුගේ මනාපයක් පෙන්වන්නකි. උවමනාවන් සඳහා පුද්ගලයන් පිරිසක් එක හා සමාන මනාපයක් දක්වන්නේ ඔවුන් අතර පවතින සමාජ සබඳතා වලින් එකිනෙකාගේ අගැයුම් වලට බලපෑම් කරමිනි.

භාණ්ඩයක භෞතික වූ ලක්ෂණ මිනිසාගේ මනාපය තිබුණ ද නැත ද පවතින ඒවාය. ඇපල් ගෙඩියක හැඩය, බර, ඇතුලත ස්වභාවය, පොත්තේ පාට, ඊට විශේෂිත රසය ලබාදෙන රසායනික මූලද්‍රව්‍යයන් යනාදිය එකින් එක ගත්තොත් හෝ සියල්ල එකතුවක් ලෙසින් සැලකුවහොත් එය එහි වටිනාකම ලෙසින් සැලකෙන්නේ නැත. එහෙත් සමාජයක මිනිසුන් විසින් ඒ ඒ කොටස් වලට සහ ඒවායේ එකතුවක් හැටියට සලකා බලමින් එයට වටිනාකමක් අඩු වැඩි වශයෙන් එකතු කරති.

ආර්ථික අගය යනු මිනිසා විවිධ ආර්ථික භාණ්ඩ අතරින් මනාපයක් දක්වන්නට කරන තෝරාගැනීමෙන් බිහිවන්නකි.

මනාපය, වෙනස් වර්ග අතරින් කරන තෝරාගැනීමක් විය හැකියි. ඇපල් එපා දොඩම් මනාපයි කිව හැකියි. නැත්නම් එකම වර්ගයක් අතරින් වෙනස් ගුණයක් ගැන කරන තෝරාගැනීමක් විය හැකියි. වැල් දොඩම් (Passiflora edulis Sims) එපා පැණි දොඩම් (Citrus sinensis) මනාපයි කිව හැකියි.

මනාපය, එහි ආකාරය පිළිබඳව, එනම් දොඩම් පළු නොව දොඩම් යුෂ විය හැකියි. අයෙකුට මහපු ගවුමක් වෙනුවට ලැබෙන ගවුම් මහන රෙද්ද මනාප විය හැකියි.

මනාපය, එය පවතින ප්‍රදේශය පිළිබඳව, එනම් මුලතිව් පැණි දොඩම් වෙනුවට බිබිලේ පැණි දොඩම් විය හැකියි. ගෙදර දී භාවිතයට වඩා යහළුවෙකුගේ ගෙදර දී භාවිතය මනාප විය හැකියි.

මනාපය, බඩ පිරුනාට පසුව වඩා බඩගින්නේ සිටිය දී විය හැකියි. මඟුල් ගෙදරට අළුත් සාරියක් මනාප විය හැකියි.

එහෙමත් නැත්නම් වෙළඳපොලට මැදිහත්වීම් කරද්දී මනාපය, රුපියල් බිලියන හතරක් වැය කරමින් ඇපල් හා මිදි රටකට ගෙන්වන්නේ ඒවා නරක් වෙන්න සෑහෙන්න කල් යන හැටි බලමින් මේ වසවිෂ ඇති පළතුරු කන්නෙ කවුදැයි අහන්නට විය හැකියි. 😀

භාණ්ඩයකට ඇති වෙළඳපොල අගයක් ගැන කියද්දී එය ඒකීය පුද්ගලයෙක් විසින් දෙන අගයක් පමණක් නොව වෙනත් අයෙකුගේ ඇස්තමේන්තුවක්, සමහර විට සංඛ්‍යාලේඛකයෙකු හෝ නැත්නම් රජයේ නිලධාරියෙකු විසින් දෙන අගයක් විය හැකියි. එය පවතින භාණ්ඩ තොගයේ මිල අනුව, රටක හාල් අස්වැන්නේ සම්පූර්ණ අගය යැයි කියමින් ඉදිරිපත් වෙන්නකි. එම අගය හදන්නේ සම්පූර්ණ භාණ්ඩ තොගය ගණන් කර එහි ඒකකයක් හුවමාරුවේ දී ලැබෙන මිල අනුවය. එයින් වෙනත් විය හැකි වාසි සහ අඩුපාඩු එකතු කර අඩු කර හදන්නේ උපකල්පිත මිලකි.

එහෙත් මිල යනු අයෙක් සත්‍යයෙන් ගෙවන ලද මුදල් ප්‍රමාණයයි.

යම් සම්පූර්ණ භාණ්ඩ තොගයක එක ඒකකයක් හුවමාරුවේ දී ලැබෙන මිල දිහා බලා මුළු තොගයටම එම මිල ලැබේවි යැයි අපේක්ෂාවෙන් තොගයේ වටිනාකම හැදීම අඩු වැඩි වශයෙන් සිද්ධ වූවාට එම තොගයේ භාණ්ඩ සියල්ලටම අපේක්ෂා කරන මිල පාරිභෝගිකයා වෙතින් සත්‍යයෙන් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ නිසා එසේ වටිනාකම ගණනය සහ ඒ මිලට බඩු සියල්ල පාරිභෝගිකයන්ට විකුණාගත හැකි යැයි අපේක්ෂාව අතර වෙනසක් ඇතිබව හඳුනාගැනීම වැදගත්ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: