අරුණි ශපීරෝ‍ වෙතින්

මිල ගැටළුව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 14, 2013

IMG_4957

නොවැම්බර් 1 දා සිට ලංකාවේ ඉහළ දමන ලද බස් ගාස්තු තවත් වැඩි කරන්න උසාවි යන්න ඕනෑ යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති කියයි. මෙහෙ අය වැඩියෙන් ම කතාබහ වෙන්නෙ අනිවාර්යෙන් මිල දී ගත යුතු සෞඛ්‍ය රක්ෂණයට ගෙවන්න වෙලා තියෙන මිල ගණන් ගැනයි.

චීනය සහ ඉන්දියාව පහුගිය මාසයන් හි දී ඉහළ යන ආහාර මිලට මුහුණ පාන්නට පටන් ගත්ත. ඉන්දියාවේ මධ්‍යා ප්‍රදේශ් හි දූර්ගා දේවමතාවට උපහාර පවත්වන උත්සවයකට සහභාගී වෙන්න ඉරිදා ගිය බැතිමතුන් 115 ක් ජීවිතක්ෂයට පත්වූයේ 2006 දී ත් එවැනිම පෑගීමකට ලක් වී 50 ක් මිනිසුන් මිය ගිය ස්ථානයක දී. වැඩියෙන්ම මිය යන්නෙ කාන්තාවන් සහ දරුවන්. පාලමේ යන සෙනඟ වැඩි නිසා පාලම කැඩෙනවා යැයි කටකතාවක් පැතිර යාමෙන් සමහරු ගඟට පැනලා. ඒත් පාලම කැඩුනේ නැහැ. මෝඩකම නිසා මරණය කැඳවා ගත් ඛේදවාචකයක්.

ලංකාවේත් මෝඩකම නිසා මරණය කැඳවා ගත් බෝට්ටුවකින් මුහුදු සංචාරයක ගිය පිරිසක් ගැන අහන්න ලැබුණ. ලයිෆ් ජැකට් සහිත, බෝට්ටුව අවදානමකට ලක් නොකර යා හැකි සංඛ්‍යාවක් සමඟින් යෑමට සාමාන්‍ය ලාංකිකයා වැඩි මිලක් ගෙවන්න අකමැති ද? තම ජීවිතයට වටිනාකමක් දෙන සෙනඟක් ඉන්නවා ද සොයන්න බෝට්ටු සංචාරක ගමන් සපයන අය වෑයමක් නොගන්නේ රජයේ නාවුක හමුදාව සපයන සේවය සමඟ තරඟ කරන්නට ඇති අකමැත්ත නිසා ද?

මිල යනු වැඩියෙන්ම මිනිසුන් අතර කතාබහට ලක්වෙන මාතෘකාවක්. භාණ්ඩයකට හෝ සේවාවකට ගෙවන මිල තීරණය වෙන්නේ කොහොම ද? බඩුවක මිල ඉහළ යන්නේ සහ පහළ යන්නේ කොහොම ද? ගොඩක් අය නොදැක්කාට වර්තමානයේ දී ගුවන්ගමන් ටිකට් මිල ඉතාමත්ම අඩු කාලයක්. ඒ ගුවන්යානා නියාමන බොහොමයක් සැහැල්ලු වූ හේතුවෙන් ඇතිවූ තත්වයක් බව දකින්නෙ අල්පයක් දෙනා පමණයි.

භාණ්ඩයක හෝ සේවාවක ඇති වටිනාකම තීරණය කරන්නේ මිනිසා. ඒ නිසාම එහි මිල තීරණය කරන්නේ ද මිනිසා විසින්. ඒත් රාජ්‍ය මැදිහත්වීම් වැඩි අවුල් ආර්ථික ක්‍රමයක දී භාණ්ඩයක් හෝ සේවාවක් නිසා තමනට ලැබෙන වටිනාකම අනුව මිල තීරණය කරන්නට මිනිසාට ඇති හැකියාව ද අහිමි වෙනවා.

සාමාන්‍යයෙන් බහුල ලෙසින් හැම අත තියෙන භාණ්ඩ සහ සේවාවල මිල අඩුයි. හිඟයක් වැඩිපුර තියෙන දේවල මිල වැඩියි. තියෙන හිඟයටත් වඩා යමක් තවත් හිඟ වෙද්දී තවත් මිල ඉහළ යනවා.

ගෙදර ළිඳේ වතුර යහමින් තිබුනට වැඩක් නැහැ දුර ගමනක් යද්දී ළිඳ අරන් යන්න බැහැනෙ. ඉතින් එහෙම දුර ගමනක් යන කෙනා හිතන්නෙ ළිඳේ වතුර නිකම් ලැබෙනවා වගේ දුර ගමනේ දී ද තමන්ට නොමිලේ වතුර ලැබෙන්න ඕනෑයි කියල. නමුත් වතුර ලබාගත නොහැකි දුෂ්කර පළාතක දී වතුරට වැඩි ඉල්ලුමක් පවතිනවා සේම අඩු සැපයුමක් පැවතීම නිසා ඒ අනුවයි මිලක් තීරණය වෙන්නෙ.

පිපාසයෙන් ඉන්න අයෙක් ළිඳක් හොයන්නෙ නැහැ. එයා හොයන්නෙ වතුර වීදුරුවක්. එයාට තියෙන්නෙ ළිඳකට ඉල්ලුමක් නෙමෙයි. වතුර වීදුරුවකට ඇති ඉල්ලුමක්. වතුර වීදුරුවක් දෙකක් බිව්වම එයාගෙ පිපාසය නිවිලා ගියාම ඉල්ලුමත් නැති වෙලා යනවා ටික කාලයකට.

යම් ගණුදෙනුවක නියැළෙන මිනිසා නිශ්චිත ප්‍රමාණයන් වලින් යුතු භාණ්ඩ හා සේවා අතර තෝරාගැනීමක් කරන්නෙක්. මහා ජනසංඛ්‍යාවක් එකතුව යන දූර්ගා වන්දනාවට යන්නට තීරණය කරන්නේ තම ජීවිතය පෑගිලා අත්විය හැකි මරණයට වැඩියෙන් ඒ වන්දනාවෙන් ලැබෙන කුසලයන් වැඩි යැයි සලකන නිසා නම් එය ඒ මිනිසා විසින් කරන ලද තෝරාගැනීමක්. අබලන් හෝ අබලන් නැති බෝට්ටුවක් ද? පිහිනන්න දන්නවා වුවත් ලයිෆ් ජැකට් නැත්නම් මුහුදු ගමන් යනවා ද? යනාදියත් තෝරාගත් අය එයට දෙන ලද වටිනාකමෙන් පෙන්වන්නේ ඔවුන් තමන්ට එය කොතරම් ප්‍රයෝජනවත්දැයි ඒ තෝරාගැනීම කරන ලද අවස්ථාවේ තීරණය කරන ලද බවයි.

වතුර කියන්නෙ ජීවත්වෙන්න නැතිවම බැරි දෙයක්. මිනිස්සු වතුරට දෙන අගය අඩුවෙද්දී දියමන්ති වලට දෙන අගය වැඩි මන්දැයි සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් කාලයක් තිස්සෙ විසඳාගන්නට උත්සාහ කළ දෙයක්. දියමන්ති-වතුර විරුද්ධාභාසය කියවන්න.

භාණ්ඩයක අගයක් නෛසර්ගික වූවක් නොවේ. මිනිසා සිය උවමනාවන් තෘප්තිමත් කරගන්නට භාණ්ඩයන්ට හා සේවාවන්ට වටිනාකමක් දෙන ආකාරය අනුව තමයි ඒවායේ මිල තීරණය වෙන්නෙ.

පුද්ගලික පරිගණක සහ වයර්ලස් දුරකතන වලට වටිනාකමක් දෙන සෑහෙන පිරිසක් ධනවත් රටවල සිටින නිසා ඒවායේ අනගිත්වය වැඩිවෙමින් මිල තවමත් අඩු වෙමින් පවතිනවා. මහත් ජනසංඛ්‍යාවක් වැඩියෙන් වටිනාකමක් දෙන භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නට වැඩියෙන් නිෂ්පාදක පිරිසක් වෑයමට එකතු වීමේ ප්‍රතිඵලයයි ඒ.

භාණ්ඩයක වටිනාකම තීරණය කරන්නේ මිල දී ගන්නා පාරිභෝගිකයායි. තමන් දෙන වටිනාකමට සරිලන භාණ්ඩයක් සහ සේවාවක් පමණයි තමන්ට බලාපොරොත්තු විය හැකියාව ඇත්තේ.

මැදිහත්වීම් අවම වෙළඳපොලක, අනුන් ගත යුත්ත කුමක් දැයි තමන් තීරණය කරන්න නොයන සමාජයක, ඩොලර් 499 කට ගන්න හතු වගේ ම ඩොලර් තුනකට ගන්න හතුත් වෙළඳපොලේ දකින්න පුළුවන්. ඩොලරයකට ගන්න හැකි දත්බුරුසු වගේ ම ඩොලර් තුන්සියයක විතර දත් මදින උපකරණ ද දකින්න පුළුවන්.

හැමෝටම සමානාත්මතාවය සලසන නාමයෙන් නීති පනවන සමාජයක දී දකින්න ලැබෙන්නෙ දුප්පත්ම අයට දැරිය හැකි මිලෙන් යුත්ත හැමෝටම සුදුසු යැයි තීරණය කිරීමයි. දුප්පතා එතැනින් ඉහළට නොයන අයෙක් ලෙස කළින්ම තීරණය කර තිබීමයි. එවැනි නීති පනවන අය තමන්ට පමණක් විශේෂ වරප්‍රසාද වලින් ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ හා සේවා සුදුසු යැයි සිතති. සෝවියට් දේශයේ, නැගෙනහිර ජර්මනියේ, මාඕංගේ චීනයේ, ෆිඩෙල්ගේ කියුබාවේ සිද්ධ වූයේ එයයි. ඔබාමා සෞඛ්‍ය පනතත් සියල්ලන්ටම සෞඛ්‍ය ආරක්ෂණයට ගෙවීම නියමිත කළත් කොංග්‍රසයේ අයව එයින් මුදාහැර තිබෙනවා.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on ඔක්තෝබර් 15, 2013 at 12:40 පෙ.ව.

    අද නං තේරුනා. 😛

  2. magenama said, on ඔක්තෝබර් 15, 2013 at 1:04 පෙ.ව.

    ඔතන වෙන්නේ ඇත්තටම යමක් කරන්න ඕන කම නෙවෙයි,තමං මොකක් හෝ කළා කියලා(වැඩේ කන්න හරි) ජන මතයක් නිර්මානය කරන්න.දැං ජීවිතාරක්ෂක කබා අනිවාර්ය කරන්න, හොයලා බලන්න කැක්කුමක් තිබ්බා නම් ඔයිට කලින් කරන්න තිබුනනෙ.හරියටම මොකක් හරි ගැටලුවක් වුනාට පස්සේ දුම්මල වරම අතේ අරන් කෑගැහුවාම එතන තියෙන කේන්ද්‍රීය ගැටලුව යටපත් කරන්න පුලුවන්නේ.

    • arunishapiro said, on ඔක්තෝබර් 15, 2013 at 8:03 පෙ.ව.

      magenama,

      තම නායකයන් වෙතින් ජනතාව ඉල්ලන්නේ ද මොකක් හරි කරන්න කියා පමණයි. ආණ්ඩුව ජනතාව සනසමින් කරන්න බැරි දේවල් සඳහා පොරොන්දු නොදුන්නොත්/දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකළොත් ඒ ආණ්ඩුව පෙරළලා පොරොන්දු දෙන්න හැකි ආණ්ඩුවක් පත් කරගන්නවා. ඕනෑම ආණ්ඩුවකට කරන්න පුළුවන් සහ කරන්න බැරි දේවල් මොනවා දැයි ජනතාව වටහා ගන්නේ ද, එවිට ආණ්ඩුව යනු සීමිත බලතල වලින් යුතු වූ, රෙගුලාසිකරණයෙන් අයින් වූ, නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කරන සුළු ආයතනයක් බවට පත්වේ.

      කියවන්න: ෆ්‍රෙඩරික් බැස්ටියාට් ලියූ ආණ්ඩුව (නම් මහ ප්‍රෝඩාව)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: