අරුණි ශපීරෝ‍ වෙතින්

මිල වෙනස්කම්වල සාමාන්‍ය ස්වභාවය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 15, 2013

marx-popeye

සියළු මිල ගණන් තීරණය වන්නේ කෙසේද සහ මිල ඉහළ පහළ යෑමේ සාමාන්‍ය ස්වභාවය නොදන්නා බොහොමයක් දෙනා මුදල් වලින් කරන ගණුදෙනු වල නියැළෙති.

ඉල්ලුම යන්නෙන් දැක්වෙන එක් කොටසක් නම් ගණුදෙනුවක නියැළෙන්නෙක් යමක් ලබාගැනීමට අත්හරින්නට කැමති මිල ප්‍රමාණයයි. අනෙක් කොටස නම් එහි දී තමන් ඒ මිලට ලබාගැනීමට කැමති භාණ්ඩ ප්‍රමාණයයි.

යමකට ආශාවක් තිබි පමණින් එය ඉල්ලුමක් නොවේ. ලංකාවේ හොලිවුඩ් චිත්‍රපටි වලට වෙළඳපොල එතරම් ඉල්ලුමක් නැත. හොරෙන් බාගෙන නරඹන මහත් සංඛ්‍යාවක් වාසය කරන ලංකාවේ ඇත්තේ ඒවාට වෙළඳපොල ඉල්ලුමක් නොව මංකොල්ලයට ලැජ්ජාවක් නැතිකමයි. වෙළඳපොල ඉල්ලුමක් යනු යම් භාණ්ඩයක් යම් මිලකට ගෙවා මිල දී ගන්නට ඇති උවමනාවයි. භාණ්ඩයකට ඇති සත්‍යය ඉල්ලුමක් යනු එක පැත්තකින් මුදල් ද අනෙක් පැත්තෙන් භාණ්ඩය ද සමඟින් සිද්ධ වන වෙළඳ හුවමාරුවයි. ඉල්ලුම කාර්යසාධක (effective) වන්නේ යම් ආශාවක් සපුරාගන්නට හැකියාව ඇති දැයක් අත්හරින්නට එහි අයිතිය ඇති අය එකඟ වෙන යම් මිලක් එය මිල දී ගන්නා විසින් ප්‍රදානය කරන්නට ඉදිරිපත් වූ අවස්ථාවේ දී පමණි.

කුසගින්නේ පසුවන හිඟන දරුවා පාන්කඩේ රාක්ක මත ගොඩගසා ඇති පාන් දිහා බලන්නේ ආශාවෙනි. ඔහු තුල පාන් සඳහා ඉල්ලුමක් ඇතැයි සිතීම වෙළඳපොල ඉල්ලුම හා සැපයුම වරදවා වටහා ගැනීමකි. අහලින් ගිය කරුණාවන්ත කාන්තාවක් දරුවා අත මුදල් නෝට්ටුවක් තබන්නේ ද එයින් පාන් ගෙඩියක් මිල දී ගැනීමට හැකි ඉල්ලුමක් දරුවා තුල ඇතිවේ. හිඟන දරුවාව දකින පාන්කඩේ අයිතිකරුවා ඔහුට පාන් කෑල්ලක් තෑගි දීම සැපයුමක් නොවේ. එහෙත් මුදල් හිඟාගත් දරුවා අත්හරින්නට කැමති මිල ප්‍රමාණයට ඔහුට පාන් කෑල්ලක් දෙන්නට එකඟවීම සැපයුමකි.

ඉල්ලුමක් යනු සැබැවින් පවතින්නක් වන්නේ යම් මිල ප්‍රමාණයකට සාපේක්ෂව පමණි. සපයන්නා යම් මිලකට අත්හරින්නට කැමති යම් භාණ්ඩ ප්‍රමාණයකට සාපේක්ෂ්ව පමණි. නිමය (barter) නොවන වෙළඳපොල ගණුදෙනුවක දී මුදල් එක පැත්තක ද භාණ්ඩය අනෙක් පැත්තේ ද හැම විටම පවතී.

සැපයුම යනු විකුණන්නා විසින් යම් අවස්ථාවක දී යම් මිලකට අත්හරින්නට එකඟ වෙන භාණ්ඩ ප්‍රමාණයයි. අරක හා මේක වෙළඳපොලේ නැහැ ඒවායේ සැපයුමක් නැහැයි අවලාද කියන බොහොමයක් නොදකින කාරණය නම්, පාරිභෝගිකයා කැමති මිලට හෝ යම් මිල පාලන අධිකාරියක් විසින් තීරණය කරන ලද මිලකට ඒ භාණ්ඩය අත්හරින්නට කැමැත්තක් නිෂ්පාදකයන් තුල නැතිකමයි.

තවත් විදියකින් කිව්වොත්, නොමිලේ බාගන්නට ලැජ්ජාවක් නැති සමාජයක මිල දී ගත හැකි හොලිවුඩ් හෝ විදේශ චිත්‍රපටි වලට යම් මිලක් ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙනවා දකින්නට නොහැකියි.

එසේම, දේපල අයිතිය උදුරා ගන්නට ලැජ්ජාවක් නැති සමාජයක, වටිනාකම අනුව මිල දී ගත හැකි ස්වයං නිර්මාණ, පරිවර්තන හා අනුවාද පොත් පාඨකයන්ගේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙනවා දකින්නට නොහැකියි.

සැපයුම පෙන්වන්නේ නිෂ්පාදකයන් තුල පවතින්නා වූ ආශාවකි. සැපයුම මඟින් පෙන්වන්නේ යම් මිලකට ඉදිරිපත් කරන භාණ්ඩ ප්‍රමාණයකට, යම් හුවමාරු අනුපාතයක් අනුව, භාණ්ඩ විකිණීමට ඇති ආශාවයි.

මැදිහත්වීම් අවම සමාජයක අයට, නීත්‍යානුකූලව නොමිලයේ බාගෙන නරඹන්නට හැකි චිත්‍රපටි මෙන්ම අඩු මිලකට පැරණි චිත්‍රපටි ද, වැඩි මිලකට නව සහ ජනප්‍රිය චිත්‍රපටි ද යනාදී වශයෙන් වෙළඳපොල ඉල්ලුම හා සැපයුම අනුව වෙළඳ ගණුදෙනුවක යෙදෙන්නට හැකියාව ඇත.

සැපයුම යනු නිෂ්පාදකයා සතු සමස්ත භාණ්ඩ තොගය නෙවෙයි. වෙළඳපොලක සැපයුමක ඇති තොගය යනු මුදල් අත්හැර ලබාගන්නට කැමති ජනකායක් සිටින තොගය පමණි.

හොලිවුඩ් සහ විදේශ චිත්‍රපටි තොග සඳහා ලංකාවේ ජනතාව වෙළඳපොල ඉල්ලුමක් දක්වන්නේ නැත. ගණුදෙනු සඳහා ඉදිරිපත් කරන යම් මිලකට ඒවා මිල දී ගැනීම අඩු සේ ම, අත්හරින්නට කැමති මිලට (නොමිලේ!!) සපයන්නට ඇති කැමැත්ත ද නොමැතිකමෙන් පෙනී යන්නේ වෙළඳ ගණුදෙනුවක් සඳහා ඉදිරිපත් වන හොලිවුඩ් හා විදේශ චිත්‍රපටි තොගය ඉතා ස්වල්පයක් බවයි.

සත්‍ය වෙළඳාමක් යනු විකුණන්නා සහ මිල දී ගන්නා යන දෙදෙනාගේ කැමැත්තෙන් කරන වෙළඳාමක් පමණි. එය තෑගි වලින් වෙනස් වෙයි. එය මංකොල්ලයෙන් වෙනස් වෙයි. එය බලහත්කාරයෙන් උදුරා ගැනීමෙන් වෙනස් වෙයි. එය බදු වලින් වෙනස් වෙයි.

ඉල්ලුම හා සැපයුම මිල ගණන් වෙනස්වීම අනුව විසදෘශ වෙති. මිල අඩුවෙද්දී ඉල්ලුම ඉහළ යයි. මිල ඉහළ යද්දී සැපයුම වැඩිවේ.

සත්‍ය වෙළඳාමක් යනු ගණුදෙනුවක දෙපැත්තේම ඉන්නා අය එකිනෙකාට වාසියක් සිද්ධ වූවා යැයි ඒ අවස්ථාවේ දී සලකන්නකි. ආශාවක් සපුරාගැනීමට පවතින තත්වයට වඩා භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගැනීමෙන් ඊට වඩා වැඩියෙන් ආශාව සපුරාගැනීමට ලැබෙනවාය යන තෝරාගැනීමෙන් නියැළෙන ක්‍රියාවකි. භාණ්ඩයක් මිල දී ගැනීමෙන් පෙන්වන්නේ මිනිසාගේ වෑයමට පුද්ගලික අයිතියක් ඔහුට ඇතැයි යන්නයි. තම දේපල අයිතිය ආරක්ෂා විය යුතු යැයි සිතන බොහොමයක් අය අනුන්ට ඒ අයිතිය ඇතැයි පිළිගන්නට මැළියි.

ජනතාවට පහදා ගැනීමට අසීරු වූ තවත් කරුණක් නම් වෙළඳ ගණුදෙනුවක දී අයෙක් දිනුම් ලබා අනෙකා පැරදුනා යන අදහසයි. මේ අදහස පවතින්නේ වටිනාකම යනු භාණ්ඩයක නෛසර්ගික වූ, වෙනස් කළ නොහැකිව පවතින අගයක් ඇතැයි යන පාරම්පරික චින්තනය නිසයි. ඒ අනුව මිල පාලනය කරන වෑයම් පවතින නිසයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: