අරුණි ශපීරෝ‍ වෙතින්

පඩි වැඩි කරන්න යැයි උද්ඝෝෂණ පවත්වන්න සිද්ධ වෙන්නේ ඇයි?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 17, 2013

IMG_7459

ගණන් කළ නොහැකි මිනිසුන් සංඛ්‍යාවක් විසින් වෙළඳපොල ගණුදෙනු කරමින් දක්වන මිල නිසා ඕනෑම ව්‍යවසායකයෙකුට තමන් නිෂ්පාදනය කරන්න ගැන ආර්ථික ගණනයක් කිරීමට අවස්ථාව පෑදේ. ඒත් ඒකීය මිනිසා නිෂ්පාදකයෙක් හැටියට ද වැඩියෙන් හුරු වී සිටින්නේ තම නිෂ්පාදනය හෝ සපයන සේවාව තම ශ්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට පමණක් දකින්නට ය.

වේතන සඳහා ශ්‍රමය වෙහෙසන්නෙක් තම “ජීවන වියදම” පියවා ගන්නට පඩි වැඩි කරන්න යැයි උද්ඝෝෂණ පවත්වයි. සහල් පොල් විකුණන්නෙක් නම් තම නිෂ්පාදන වැය පියවා ගැනීමට හැකි තරමින් ඉහළ වූ මිලක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලයි. ආණ්ඩුවේ මැදිහත්වීම යටතේ මොනොපොලියක් ලෙසට පවත්වා ගෙන යන තැපැල් සේවාවක් හෝ බස් සේවාවක් සපයන්නෙක් නම් ඔහු තැපැල් ගාස්තු හෝ බස් ගාස්තු ඉහළ යවන්න යැයි ඉල්ලා සිටියි. වෙළඳපොල ක්‍රමයෙන් පමණක් සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් වෙන බව අනේක වතාවක් ඔප්පු කර ඇතත්, ශ්‍රමය වෙහෙසන මිනිසා හුරු වී ඉන්නේ තමනට වාසියක් ලබාගනු සඳහා සූර්යයා වසා දමන්නට යැයි රජයෙන් ඉල්ලන්ටයි.

භාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත් කරන වෙළඳපොල ක්‍රමය නොදන්නා අයගේ නැඹුරුව, තම වැයට වඩා ඉහළ වූ “සාධාරණ” මිලක් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඉල්ලමින්, ඉල්ලුම හා සැපයුම යන අපූරු බලවේගයෙන් සිද්ධ වෙන අකරතැබ්බ වලින් ගැලවීමක් ලබා ගැනීමයි. එවැන්නා ඉල්ලා සිටින්නේ සහතික ලෙසින්ම තම භාණ්ඩය හෝ සේවාව මිල දී ගන්නා පාරිභෝගිකයෙකි. පාරිභෝගිකයන් වෙළඳපොල තරඟයේ දී ඔහුගේ භාණ්ඩය හෝ සේවාව කැමැත්තෙන් නොගන්නා අවස්ථාවක දී ඔහු ඉල්ලා සිටින්නේ තම නිෂ්පාදන වැය ගෙවන්නට බදු ගෙවන ජනතාව වෙතින් ගන්න බදු වැඩිකරන්නට කියායි.

මැදිහත්වීම් පවතින ආර්ථිකයක කැමැත්තෙන් මිනිසුන් එකිනෙකා හා ගණුදෙනු කරද්දී ලැබෙන වෙළඳපොල මිල ගණන් දැනගන්නට ඉඩ නොලැබේ. ඒ නිසාම හිඟ සම්පත් සකසුරුවම් ලෙසින් යොදාගත යුත්තේ කෙසේද යන්න ව්‍යවසායකයන්ට දැනගන්නට අවස්ථාවක් නොලැබේ. නිෂ්පාදනය සඳහා සම්පත් හිතුමතයේ ප්‍රයෝජනයට ගැනේ. නාස්තිය කොපමණක් දැයි ගණනයට ද ඉඩක් නැත. කාර්යක්ෂම ද නාස්තිය ද නොතකා ආණ්ඩුවේ බලය යොදා ගැනෙන්නේ නිෂ්පාදනයේ සියළු වියදම් බදු ගෙවන ජනතාව වෙතින් පියවා ගන්නටයි.

කාර්යක්ෂම වෙළඳපොල ක්‍රමය තහනම් නිසා ආණ්ඩුවක කිහිප දෙනෙක් තීරණය කරන මිල ගණන්, ආණ්ඩු කොන්ත්‍රාත්තු, සියළු සහනාධාර යනාදිය “වැයට එකතු කර” යන පදනමකින් හැම විටෙකම සැකසෙයි. සම්පත් හිඟය කෙසේ පරිහරණය කරනවා දැයි පාරිභෝගිකයාට දැනගත හැකියාවක් නොමැත. කුමන වැයක් ගිය ද නිෂ්පාදකයාට සිය වැය පියවා ගැනීමට සහතිකයක් ආණ්ඩුවෙන් ලැබෙයි. එවැනි අවුලක දී සාර්ථක අසාර්ථක ව්‍යවසායකත්වය ගැන හෝ ලාබ අලාබ ගැන හෝ අරපිරිමැස්ම හා නාස්තිය ගැන දැනගැනීමට හැකියාව සියළු දෙනාටම නැති වී යයි.

ඒ හෙයින් වෙළඳපොල ක්‍රමයට ඉඩක් නැති සෑම ගණුදෙනුවක දී ම, වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යටතේ, එනම් වැය ගැන පමණක් සලකමින් ව්‍යවසායකයන් සහ පාරිභෝගිකයන් කටයුතු කරති.

භාණ්ඩ සහ සේවාවන් දිහා බලන්නේ ඒවා ශ්‍රමයෙන් නිර්මාණය වූවක් හෝ නිෂ්පාදන වැයේ එකතුවක් යැයි ලෙසකින් පමණක් වේ නම්, එවිට සහනාධාර, ණය ආධාර, වරප්‍රසාද, සහතික කරන අලෙවි මිල ගණන් යනාදිය ආණ්ඩුවෙන් ලබාගන්නට නිෂ්පාදකයන්ට සිද්ධ වේ. මෙසේ දිගින් දිගටම නියැළෙන්නේ ද, එවිට විවෘත වෙළඳපොලක දී නිෂ්පාදන ලාභයක් සඳහා වෙළඳ ගණුදෙනු වල යෙදෙන හැකියාව තව දුරටත් අහිමි වෙයි.

සම්පත් නාස්තියක් සිද්ධ නොවන්නේ ඒවායේ අයිතිකරුවන් ඉන්නා සිටින විට සහ ඒවා නිදහස් වෙළඳපොලක දී අවදානමකට ලක් කර ලාබයක් හෝ අලාබයක් විඳින්නට ව්‍යවසායකයන්ට ඉඩක් ලැබෙන විට පමණි. ලාබ හොයන්නට දන්නා සාර්ථක ව්‍යවසයකයා අතින් සම්පත් අරපිරිමැස්මෙන් සිද්ධ වේ. අලාබ උපයන අසාර්ථක ව්‍යවසායකයන් වෙළඳපොලෙන් අයින් වෙති.

හිඟ සම්පත් අතර මිනිසා ද සිටින බව බොහෝ අය අමතක කරති. ඒ ඔහු පාරිභෝගිකයෙක් ලෙසින් යැයි සමහරු හිතුව ද, ඊට වඩා වැදගත් වූ මෙහෙයක් මිනිසා ඉටු කරයි. ඒ මෙහෙය නම් ව්‍යවසායකත්වයට නිදහස් ඉඩක් ලැබෙද්දී නිෂ්පාදන බලයෙන් තමන්ට උපයද්දී අනෙකුත් අයට වාසි ගෙනෙන්නට හා සම්පත් නාස්තිය නොකරන්නට හැකියාව ඇත්තෙක් ලෙසටයි. එවැනි වෙළඳපොලක පඩි වැඩි කරන්න යැයි උද්ඝෝෂණ පවත්වන්න අවශ්‍ය නැත. දක්ෂයන්ට නිසි වේතන දීම ව්‍යවසායකයා නොකරන්නේ ද ඔහුගේ අඩුවෙන ලාබය එය ඔහුට දැනුම් දෙයි. ව්‍යවසායකයා දක්ෂයාට වැඩි පඩියක් දෙන්නේ ඔහු ගැන ඇති ආදරයකින් හෝ අනුකම්පාවකින් නොවේ. වෙළඳපොල ක්‍රමයේ දී ශ්‍රමිකයා දක්වන හැකියාව තම නිෂ්පාදනය සඳහා තබාගැනීමට අවශ්‍ය තරඟකාරී වේතනය ව්‍යවසායකයාට පැහැදිලිව දැනගත හැකියාව ඇති බැවිනි.

වෙළඳපොල ක්‍රමයේ දී ව්‍යවසායකයාගේ ලාබය අලාබය පෙන්වන්නේ ඔහුගේ කාර්යක්ෂම බවයි. සාර්ථක ව්‍යවසායකයා නිෂ්පාදනයන් බිහි කරන්නේ අනෙකුත් තරඟකරුවන්ට වඩා අනගි ලෙසින් සහ අඩු වැයකිනි. එහි දී ඔහු ලබන සාර්ථකත්වය පෙන්වන්නේ හිඟ සම්පත්වල ආරක්ෂාවයි. නාස්තිය නොමැති බවයි. ශ්‍රමිකයන්ට තරඟකාරී වේතන ගෙවන බවයි.

ආණ්ඩු මැදිහත්වීම් වල දී පරදුවට තබන්නේ බලයේ ඉන්නා අයගේ පුද්ගලික වත්කම් නොවන නිසා ලාබ අලාබ ගැන තැකීමක් නැත. චන්දය දිනා බලයේ සිටීම වෙළඳපොලට මැදිහත්වීම් කරන අයගේ අරමුණයි. ඉතින් ආණ්ඩු විසින් සාධාරණත්වය සලසනවා යැයි පොරොන්දු දෙමින් හැමෝම මංකොල්ලකෑමේ තව දුරටත් යෙදෙති. ජනතාවගේ බදු බර වැඩිකරමින්, ජනතාව ණයගැතියන් කරමින් ජනතාවගේ වෙළඳපොල බලය තමන් අතට ගත්තවුන් පරදුවට තබන්නේ මහජනතාවගේ පුද්ගලික වත්කම් වෙති.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. A. Fernando said, on ඔක්තෝබර් 18, 2013 at 3:52 පෙ.ව.

    .// ව්‍යවසායකයා දක්ෂයාට වැඩි පඩියක් දෙන්නේ ඔහු ගැන ඇති ආදරයකින් හෝ අනුකම්පාවකින් නොවේ. වෙළඳපොල ක්‍රමයේ දී ශ්‍රමිකයා දක්වන හැකියාව තම නිෂ්පාදනය සඳහා තබාගැනීමට අවශ්‍ය තරඟකාරී වේතනය ව්‍යවසායකයාට පැහැදිලිව දැනගත හැකියාව ඇති බැවිනි.//
    ඔබ පවසන දෙය යුරොපයටත්, USA වලටත් අදට එතරම් වලංගු නැහැ නේද?
    එක් දක්ෂයෙක් වෙනුවට ‍රැකියා විරහිත තව පස් දෙනෙක්වත් පිටත සිටින බව ව්‍යවසායකයා දනි. දක්ෂයාද එය දනි. එමනිසා ඔහු අඩු වැ‍ටුපකට වුවද වැඩ කරන්නෙ රකියාවක් සොයා ගැනිමට ඇති අපහසුව නිසාය.
    A. Fernando

    • arunishapiro said, on ඔක්තෝබර් 18, 2013 at 8:11 පෙ.ව.

      A. Fernando,

      වර්තමාන යුරෝපයේ සහ ඇමෙරිකාවේ වුව ද දක්ෂයා කිසිම විටෙක විරැකියාවට මුහුණ නොදේ. දක්ෂයාට වැඩියෙන් පඩි හා වැඩියෙන් ප්‍රතිලාභ දෙමින් තම ආයතනයට බඳවා ගන්න පුද්ගලික ව්‍යාපාර නිති තරඟයක යෙදෙති. තමන් දක්ෂයෙක් දැයි තීරණය කරන්නේ තමන් නොව වෙළඳපොල ක්‍රමයයි.

      දක්ෂයා යනුවෙන් හඳුන්වන්නේ කවුරුන් දැයි විමසා බලමු.

      තමන් දක්ෂයෙක් දැයි තීරණය කරන්නේ තමන් නොව වෙළඳපොලයි. වෙළඳපොල තුලින් සොයාගත හැකි තමන්ගේ දක්ෂතාවය කුමක් දැයි විමසන්නේ නැත්තා කිසිම දිනෙක එය දැනගන්නේ ද නැත. අනුන් තක්සේරු කරන තම දක්ෂකමට ලැබෙන වටිනාකම ගැන ද ඒ ගැන විමසන්නේ නැත්තා නොදනී.

      වෙළඳපොල ක්‍රමයේ දී දක්ෂයා යනු විභාග සහතිකයක් ඇති අයෙක් යැයි සැලකෙන්නේ නැත. දක්ෂයා යනු අහවල් අයගේ අහවල් කෙනා යැයි සැලකෙන්නේ නැත. වෙළඳපොල ක්‍රමයේ දී දක්ෂයා යනු යම් ව්‍යාපාරයකට වඩාත්ම ගැලපෙන පුද්ගලයාය. ව්‍යාපාරයේ අරමුණ වැඩියෙන්ම කාර්යක්ෂම ලෙසින් ඉෂ්ට කරදෙන්නට සමත් වේ යැයි සිතන පුද්ගලයා දිහා ව්‍යාපාරය බලන්නේ දක්ෂයෙක් දිහා බලන ලෙසකටයි. ඔහු ව්‍යාපාරයට ගැලපෙන ගණකාධිකාරී විය හැකියි. ඉංජිනේරුවා විය හැකියි. වැඩියෙන්ම හොඳින් කාර්යාලය පිරිසිදු කරන්නට දන්නා අය විය හැකියි. ඒ අයව දිගින් දිගටම සේවයේ තබා ගන්නට ඕනෑම ව්‍යාපාරයක් විසින් වෙළඳපොලේ එවැනි සේවකයන්ට ඇති ඉල්ලුම දිහා බලා තම ආයතනය අත්හැර නොයන තරමින් වේතනයක් හා ප්‍රතිලාභ ගෙවයි.

      වෙළඳපොල ක්‍රමය ක්‍රියාත්මක නොවෙන උපාධි සහතික පත් සහ හමේ පාට යනාදිය සලකන ප්‍රතිපත්ති වලින් බඳවා ගන්නා රස්සාවල් සඳහා දක්ෂයන් සෙවීමක් දකින්නට නොලැබේ.

      • Sajeewa Wickremasinghe said, on ඔක්තෝබර් 18, 2013 at 10:29 පෙ.ව.

        Yep, youre exact right. In Sri Lanka (SL) still the old method of “looking at face” or “looking at relationship” can see when goes for an interview. Even some organizations boasted about their very modern systems of Human Resources managing’s, when you look into very closely they are nothing but the same old buck. In my idea this may be the main reason in SL to fail modern / successful systems of other countries….mainly in EU / US. And after all of all, political wind is highly change the independant grounds. If this goes like same way, well SL going to became another unsuccessful country. We have a lot bright stars in here for business management….but they travel outwards of our boundaries. Same way very intelligent mind-sets to develop our business systems. Yet they have no opportunities. .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: