අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිසා අගය කරන්නේ යමක් ද අගයක් ඇත්තේ එහියි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 18, 2013

cellphone

අගය (value) යන්න ආචාර ධාර්මික වූ හොඳ යන්න සමඟ පටලවා ගන්නා අය බොහෝය. ඒ අගය යන්න භාණ්ඩයක නෛසර්ගික වූවක් යැයි සිතන පැරණි විශ්වාසයකින් පැවත එන හුරුවකි. එය එසේ නොවන බව 1891 තරම් අතීතයක දී බොයිම් බැව්රෙක් විසින් පෙන්වා දී තිබුණ ද තවමත් එය පිළිනොගන්නා අය බොහෝය.

“ජනතාව විසින් යමක් අගය කරන්නේ ද, එහි අගයක් ඇත. ජනතාව විසින් යමක් අගය නොකරන්නේ ද, එහි අගයක් නැත. නෛසර්ගික වූ කිසිත් එහි නැත.” -ජේ. ඉනොක් පවල්

අගයක් පවතින්නේ අනනුභූතික (transcendental) වූ ක්ෂේත්‍රයකයි. එය අවකාශයට හා කාලයට ඔබ්බෙන් යුතු වූවකි. අගයන් සමඟ සටන් වදින්නට නොහැකියි. අගයන් විනාශ කර දමන්නට නොහැකියි. අගයන් තීරණය කරන්නේ ඒකීය මිනිසා පමණි.

මස් කෑම සහ මත්පැන් පානය පිළිබඳ නීති පනත් හා දඬුවම් ක්‍රියාත්මක වූවාට ඒවාට අගයක් දෙන මිනිසා සිටින තාක් කල් ඒවාට අගයක් ලැබේ.

එසේම තම ජීවිතයට සහ තම දේපලට මිනිසා අගයක් දෙන තාක් කල්, ඒවාට අගයක් ලැබේ.

නිවාසයක් දිහා අයෙක් බලන්නේ එහි ණය තුරුස්/සමකොටස් අයිතිය දක්වන වටිනාකමක් හෙවත් equity නෛසර්ගික වශයෙන් පවතින ලෙසකිනි.

කර්මාන්තශාලාවක් දිහා අයෙක් බලන්නේ එහි අයෝජන හැකියාවක් නෛසර්ගික වශයෙන්ම අන්තර්ගත ලෙසකිනි.

ඉතින් නිවාසයක් අයිති කරගන්නා හෝ කර්මාන්තයක කොටස් මිල දී ගන්නා අයෙක් එහි නෛසර්ගික වටිනාකමක් ඇතැයි විශ්වාස කරන්නේ ද එයා වැටෙන්නේ ලොකු අමාරුවකටයි. මිචිගන් හි බංකොළොත් ඩීට්‍රොයිට් නගරයේ නිවාසයක් ඩොලරයකටවත් මිල දී ගන්නට මිනිසෙක් අගයක් දෙන්නේ නැත්තේ මන්දැයි එවිට එයාට පැහැදිලි නැත.

පදිංචියට නිවාසයක් මිල දී ගන්නා තමන් ඊට වටිනාකමක් දෙයි. එහෙත් නිවාසය විකුණන්නට යද්දී එය මිල දී ගන්නට වෙනත් කිසිවෙක් ඉදිරිපත් නොවන විට පමණක් එවැන්නක් නොමැති බව වටහා ගනියි. පදිංචියට නිවාසයක් අවශ්‍යයය. එහෙත් වාසස්ථානයක් තිබි පමණින් ජීවන වියදම සොයාගත හැකි ද?

නිවාස උදාහරණය ලංකාවේ අයට එතරම් පැහැදිලි නොවන්නේ ලංකා රජයට රටේ 80% ක් භූමිය හිමිවන නිසයි. යාපනයේ අක්කර හයදාකට අධික පුද්ගලික ඉඩම් ප්‍රමාණයක් මහජන සුබසාධනයේ නාමයෙන් මේ වසරේ දී රජයට පවරාගන්නට කටයුතු කර ඇත. ඉතින් ලංකාවේ පුද්ගලික පරිහරණයට ඇති සීමිත ඉඩකඩම් ප්‍රමාණය සඳහා මිලියන විස්සකට අධික ජනතාවක් තරඟ කරමින් ඊට අගයක් දෙති. ඕනෑම අවස්ථාවකට රජයට පැහැර ගන්නට හැකිවෙද්දී සහ ජීවන වියදම සොයාගන්නට වාසස්ථානයක් තිබි පමණින් නොහැකි වී යද්දී කොච්චර සුළු ප්‍රමාණයක් තිබුනා වුව ද ඒ ඉඩම් අගය බහින්නේ මිල දී ගන්නට නැත්නම් ඊට වටිනාකමක් දෙන්නට අය අඩු වී යද්දී ය.

කොටස් වෙළඳපොලේ කොටස් මිල දී ගන්නට තරඟයේ යෙදෙන අය එහි යම් කර්මාන්තයක නෛසර්ගික වූ වටිනාකමක් ඇතැයි විශ්වාස කරන්නේ ද ඔහු ද වැටෙන්නේ ලොකු අමාරුවකය. කොතරම් රජයේ ප්‍රසාදය දිනාගත්ත ද, කොතරම් විශාල බිල්ඩින් තිබුණ ද, කොතරම් අත්‍යාවශ්‍ය වූ භාණ්ඩයක් වෙළඳපොලට ගෙන ආව ද, අනෙක් මිනිසුන් විසින් එම කර්මාන්තයට වටිනාකමක් නොදෙන්නේ ද ඒ කර්මාන්තයේ කොටස් විකුණා ගත නොහැකි වේ.

මිනිසා විසින් අගයන් තීරණය කිරීම මිනිස් ස්වභාවයයි. එසේ නොකර ඉන්නට යැයි මිනිසාට නීතියක් පනවන්නට හැකි වූ ජගතෙක් ලොව නැත.

වෙළඳපොල ක්‍රමය පෙන්වන්නේ කුමන භාණ්ඩයක් හෝ සේවාවක් කොයිතරම් පිරිසක් විසින් වැඩි අගයක් දී ඇත් ද කියා පමණයි. එය හොඳ ද නරක ද යන ආචාර ධාර්මික වූ අගැයුම කිරීම වෙළඳපොලේ කාර්ය භාරය නොවේ. වෙළඳපොල ක්‍රමයට සීමා බාධා පමුණුවා බලහත්කාරයෙන් ආචාර ධාර්මික වූ යැයි පිරිසක් හිතන උත්සාහයන් ගෙන ඒමට ගන්නා සෑම පියවරක්ම අවසානයේ දී කුසීත, හොර මත්පැනින් මත් වූ, හිඟන ජනතාවක් වැඩිවීම වැනි නොසිතූ ප්‍රතිඵල ගෙන දෙන්නේ මහත් ජනසංඛ්‍යාවක ඒකීය වූ සිතුම් පැතුම් හඳුනාගන්නට සහ හසුරුවන්නට දන්නා ජගතෙක් ලොව නැති නිසයි. එය සිද්ධ කරන්නේ වෙළඳපොලයි. ඇඩම් ස්මිත් කියූ අදිසි හස්තය නම් බඩුවක් මිල දී ගන්නා සෑම පාරිභෝගිකයෙක් විසින්ම හසුරුවන්නට දායක වෙන වෙළඳපොල ක්‍රමයයි. එහි කිසිදු බලවතෙක් නැත. සෑම පාරිභෝගිකයාම තමන් කරන ක්‍රියාවෙන් එහි බලය හසුරුවන්නට දායක වෙයි.

පින්තූරය: ද ඉකොනොමිස්ට් සඟරාවෙනි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. silentsahan said, on ඔක්තෝබර් 18, 2013 at 8:16 පෙ.ව.

    \\\\\\\\යාපනයේ අක්කර හයදාකට අධික පුද්ගලික ඉඩම් ප්‍රමාණයක් මහජන සුබසාධනයේ නාමයෙන් මේ වසරේ දී රජයට පවරාගන්නට කටයුතු කර ඇත. \\\\\\\\\\

    බණ්ඩාරනායකලා කරපු මංකොල්ලය මතක් උනා මට … කොටස් වෙළඳපොළ ගැන කතා කරන්න ගියොත් සෑහෙන සංකීර්ණයි ..ඒත් අරුණි අක්කා කියන මේ කොටසට සම්පූර්ණයෙන්ම එකඟයි …

    \\\\\\\\\\කොතරම් රජයේ ප්‍රසාදය දිනාගත්ත ද, කොතරම් විශාල බිල්ඩින් තිබුණ ද, කොතරම් අත්‍යාවශ්‍ය වූ භාණ්ඩයක් වෙළඳපොලට ගෙන ආව ද, අනෙක් මිනිසුන් විසින් එම කර්මාන්තයට වටිනාකමක් නොදෙන්නේ ද ඒ කර්මාන්තයේ කොටස් විකුණා ගත නොහැකි වේ.\\\\

    ලංකාවේ නම් තියෙන්නේ කොටස් වෙළඳපොළක් නෙවේනේ.. මාළු මාර්කට් එකක් …

    • arunishapiro said, on ඔක්තෝබර් 18, 2013 at 8:24 පෙ.ව.

      silentsahan,

      මෙහෙත් කොටස් වෙළඳපොලේ කුණු මාළු සහ අලුත් මාළු අතර වෙනස හොයාගන්න දුෂ්කර කාලයක්!

      • silentsahan said, on ඔක්තෝබර් 18, 2013 at 9:43 පෙ.ව.

        ඒකට එක හේතුවක් වී ඇත්තේ දැනටම කොටස් මිළ සැබෑ අගයට වඩා appreciate වෙලා තිබීම. නව ආයෝජකයන්ට කොටස් මිළදී ගන්න වෙන්නේ සැබෑ අගය මෙන් කිහිප ගුණයක වටිනාකමක් එකතු වී ඇති අවස්ථාවක. නව ආයෝජකයන්ට ලාබයක් ලබන්න නම් සෑහෙන කලක් යනවා.. එනිසා මිළ දී ගැනීම් අඩුයි …

        වැඩේ කියන්නේ ඒ නිසාම සුප්‍රසිද්ධ ” ඉල්ලුම් සැපයුම් න්‍යාය ” ක්‍රියාත්මක වීමයි.. පැරණි ආයෝජකයන්ටත් appreciate වී ඇති කොටස් වටිනාකම භුක්තිවින්දින්න බැරි වීම.. වන්සේ කබල් ගගා ඉන්නවා විතරයි … ධෛවයේ සරදමක් වගේ… ( හැමතැනටම පොදු නැහැ මම මේ කියපු දේ .. ලංකාවේ ඩේ ට්‍රේඩින්ග් වලින් එක දවසට 30,000 – 40,000 හොයන්න පුළුවන් අදටත් )

        මේකේ කමෙන්ට් දාන්න ඕනේ නිසාම WP ගිණුමකුත් හදන්න උනා… http://silentsahan.wordpress.com යන නමින් වෙබ් අඩවියක් නැහැ… මගේ බ්ලොග් එක http://obeth-mageth-addakeem.blogspot.com පමණයි …

        • arunishapiro said, on ඔක්තෝබර් 18, 2013 at 10:22 පෙ.ව.

          silentsahan,

          ආණ්ඩු මැදිහත්වීම නිසා බහින මුදලේ අගය බේරාගන්න තැන්පතු විදියට දාන්න තැනක් බොහෝ අයට නැතිකම නිසා තමයි මිල සැබෑ අගයට වඩා ඉහළට නැඟලා තියෙන්නෙ. ඇමෙරිකාවේ අයට යාවව රක්ෂණ ඔප්පු ක්‍රමයකින් බැංකු ක්‍රමයේ නියැළිය හැකි විදියක් ගැන සඳහන් කළා. ඒ වගේ දැනගන්න ලැබෙන තව ක්‍රම ගැන මගේ දැනුම වැඩිකරගත්තම ඒවා ගැනත් ලියන්නම්.

          මමත් කමෙන්ට් දාන්න කියලා බ්ලොගර් අඩවියක් හැදුවා. ඒත් කමෙන්ට් දැම්මම විස්තර උස්සලා ඒවා අපහරණය කරන අය යහමින් ඉන්න නිසා දැන් තැන් තැන් වල ගිහින් කමෙන්ට් දාන එක ඉස්සරටත් වඩා 😀 සෑහෙන්න අඩුයි.

      • Uditha Meegahathenna said, on ඔක්තෝබර් 18, 2013 at 9:48 පෙ.ව.

        හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැහැ. අරුණි කියන මේ සරල ප්‍රයෝගික දේ පෙනී පෙනී මහා බුද්ධිමතුන් රැවුල් වවාගෙන ජිවිත කාලයක් ලෝකේ පෙරලගෙන කල්පනාකරලා මතිමතාන්තරයක් හදල ඒක ක්‍රියාත්මක කරන්න මිනී මරල විප්ලව කරලා එයාල තීරණය කරන අගය (value) අනිත් අය මත පටවන්න තාමත් දඟලන පිරිසක් ඉන්නව.ඊයේ පෙරේදා අපේ බ්ලොග් ලියන නොම්මර එකේ වමා කියනවා එයා කියන්නේ දැන් උනත් ජිවත් වෙන්න පුළුවන් සමාජවාදී ජිවන විලාශයක් ගැනලු එකයි ලු එයාගේ සමාජවදේ. වෙන බලය ලබාගෙන කරන කෙහෙල්මලක් නොවෙයිලු. ඉතින් දෙයියනේ ධනවාදය ඇතුලේ එයාට හිඟන්නෙක් වෙලා ඉන්න උනත් අයිතියක් නිදහසක් තියනවනේ කවුද එපා කියන්නේ එයාගේ සමාජවාදී ජීවිතය ගෙනියන්න. වෙලා තියෙන්නේ එයාලගේ සමාජවාදී ජිවන විලාශය බලෙන් අපි මත පටවන්න ඕනෑ උනාම නේ සමාජවාදී විප්ලවය කරලා බලය ගන්න හදන්නේ.
        @silentsahan, //කොටස් වෙළඳපොළ ගැන කතා කරන්න ගියොත් සෑහෙන සංකීර්ණයි//
        ලංකාවේ කොටස් වෙළඳපොල නම් කිසිම විදියකින් සංකිර්ණ නෑ. බඩුත් හමුදුරුවොන්ගේ නඩුත් හමුදුරුවොන්ගේ

        • arunishapiro said, on ඔක්තෝබර් 18, 2013 at 10:25 පෙ.ව.

          Uditha,

          ඒකනෙ, සමාජවාදය ඇතුලෙ හිඟන්නෙක් වෙන්න කිසිම කෙනෙකුට නිදහසක් නැතිබව පිළිගන්නෙ නැති හැටි හරි පුදුමයි. ජීවිතය පරදුවට තබා ඒ රටවල් වලින් පැනලා යද්දී වෙඩි තිබ්බෙ ඇයි කියලා හිතන්නෙත් නැති හැටි!!!

  2. Buddhika Kandepola said, on ඔක්තෝබර් 19, 2013 at 2:47 ප.ව.

    ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: