අරුණි ශපීරෝ‍ වෙතින්

වර්තමාන ඇමෙරිකාවේ ජීවත්වෙන ආමිශ් සාමූහිකය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 21, 2013

Lancaster_County_Amish_03

තරඟයට අකමැති යැයි කියන අය ලොව බොහොමයකි. එහෙම කියන සමහරු එහෙම නොකියන අයටත් වඩා හති දමමින් තරඟ කරති. තරඟකාරී සමාජයක ජීවත්වෙමින් 1740 දී පටන් අද දක්වාම එම තරඟයෙන් ඉවත් වී වාසය කරන ආමිශ් නම් ජන කොට්ඨාශය ගැනයි මේ සටහන.

ඇමෙරිකාවේ ජීවත්වන ආමිශ් සාමූහිකය 281,700 පමණ ජනසංඛ්‍යාවකින් සමන්විත වූවකි. ඔවුන් අතර වැඩියෙන්ම ඉන්නේ වයස 18 ට අඩු දරුවන් වෙති. ආමිශ් පවුලක දරුවන් පස් හය දෙනෙකු සිටීම සාමාන්‍යයකි.

ආමිශ් සාමූහිකයේ බහුතරයක් (65% ක්) ජීවත්වෙන්නේ පෙන්සිල්වේනියා, ඔහායෝ සහ ඉන්දියෑනා යන ප්‍රාන්ත වල. ආමිශ් අයෙකුගේ ජීවිතය සාමූහිකයක සාමාජිකයෙක් ලෙසත්, ක්‍රිස්තියානි ආගමික ඇදහිලි සඳහා වෙන් වූ ආමිශ් පල්ලියක් මූලික කරගත් වාසයෙනුත් ගෙවෙන්නකි. එවැනි සාමූහිකයක් දළ වශයෙන් 20-40 ත් අතර පවුල් ප්‍රමාණයකින් සමන්විත වෙයි. එවැනි සාමූහික එකක් හෝ කිහිපයකින් හැදෙන භූමි ප්‍රදේශයක් තුල පවතින සාමූහික 100 ක් පමණ තරම් විශාල සංඛ්‍යාවක් ද විය හැකියි. විවිධ ආමිශ් සාමූහික වර්ග 469 ක් පමණ ඇමෙරිකාවේ ප්‍රාන්ත 30 ක සහ කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ ද වාසය කරති.

IMG_9205 IMG_9192

ආමිශ් සාමූහිකයන්ගේ ආරම්භය සිද්ධ වූයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ සිද්ධ වූ 1525 ජර්මනි/ප්‍රංශ/ස්විස් වාසය කළ ස්විට්ස්සර්ලන්තයේ භූමි ප්‍රදේශයක. ඇනබැප්ටිස්ට් (Anabaptist) ව්‍යාපාරය හටගත්තේ එවක ක්‍රිස්තියානි පල්ලියේ අතදරුවන් බව්තීස්ම කරනවාට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට. රජයේ පාලනයෙන් නිදහස් වූ පල්ලියක් හදා වැඩිහිටියෙක් වූ පසු පල්ලියේ බව්තීස්මයට කැමති ද නැද්ද යන තෝරාගැනීම වෙනුවෙන් 1693 දී මේ අය ආමිශ් නමින් ඇනබැප්ටිස්ට් ව්‍යාපාරය සමඟ එක්වූහ.

වර්තමාන ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශයක් වන එවක දී ඇල්සේෂියන් පළාත නමින් හැඳින්වුනු ස්විට්ස්සර්ලන්තයේ ඔවුන්ගේ පළමු නායකයා වූයේ ජේකොබ් අම්මාන් (Jakob Ammann) ය. නායකයාගේ නමින් ඔවුන් ආමිශ් නම ලැබූහ.

වර්තමාන ආමිශ් සාමූහික උතුරු ඇමෙරිකාවේ කොතැනක තිබුණ ද ඔවුන්ගේ ප්‍රධාන භාෂාව පෙන්සිල්වේනියාවේ භාවිතා කරන ජර්මන් උප භාෂාවක් (dialect) වන ‘පෙන්සිල්වේනියා ඩච්’ (ඩච්=ඕලන්ද) ලෙසින් හැඳින්වෙන්නයි. ඉන්දියෑනා ප්‍රාන්තයේ ආමිශ් සාමූහික තුල ස්විස් උප භාෂාවක් භාවිතා වෙනවා දකින්නට හැකියි. පාසැලේ දී දරුවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිති. එය ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස සැලකේ. ආමිශ් සාමූහිකයේ බොහෝ අයට ඉංග්‍රීසි සහ පෙන්සිල්වේනියා ඩච් දෙකටම හොඳ හුරුවක් ඇත.

ආමිශ් නොවන අයව ඉංග්ලිෂ් (English) යැයි හඳුන්වන ඔවුන් සාමූහිකයේ නොවන්නෙක් හා කතාබහට කැමත්තේ ඉංග්‍රීසියෙන් පමණකි.

ආමිශ් සාමූහිකය යනු අනිකුත් අය කුමන විශ්වාස, ඇදහිලි හා ප්‍රතිපත්ති වලින් ජීවත්වෙනවා දැයි ගැන විනිශ්චයක් නොදෙන්නට උවමනාවෙන්ම තමන් වෙනුවෙන් පනවා ගත් රීතියක් අනුගමනය කරන්නෝ වෙති.

ඕනෑම අයෙකුට ආමිශ් සාමූහිකයක සාමාජිකත්වය ලබනු හැකියි. එහෙත් එය ඉතා කලාතුරකින් පමණක් සිද්ධ වෙන්නකි. එක හේතුවක් නම් ඔවුන් ක්‍රිස්තියානි දෙවියන් හා කෙළින්ම ගණුදෙනු කරත හැකි යැයි අදහන අනෙකුත් ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සංවිධාන මෙන් තම පල්ලියට පිටස්තරයන් බඳවා ගන්නා මිෂනාරි මෙහෙයුම්වල නියැළෙන්නේ නැතිකමයි. අනෙක් හේතුව නම් සෙසු ඇමෙරිකාවේ ජීවිත රටාවට වඩා පැහැදිලිවම වෙනස් වූ ආමිශ් සාමූහිකයක ජීවත් වී තමන් සත්‍යය ආමිශ් ජීවිතය අගයන බව කටින් නොව ක්‍රියාවෙන් පෙන්විය යුතු නිසාය. ඉතා සරල දිවි ගෙවන්නට සිද්ධ වීම උපතින් නුහුරු අයට එය ඉතා අසීරුයි.

ජීවිකාව උපයන්නට ඔවුන් කෘෂිකර්මය, සත්ව පාලනය, වඩුවැඩ, ඉවුම් පිහුම් සහ මැහුම් ගෙතුම් සඳහා සුවිශේෂී ප්‍රාගුණ්‍යයක් දක්වති. තම නිෂ්පාදන ආමිශ් අය අතර සහ සෙසු ඉංග්ලිෂ් අය අතර විකුණා ඔවුන් ආදායම් උපයති. ස්වයං ව්‍යාපාරයෙන් ආදයම් උපයන ආමිශ් අයට සමාජ සුබසාධන බද්ද (social security tax) නොගෙවා ඉන්නට නීතිමය අවසර ලැබේ. ඔවුන් රජයෙන් කිසිත් සුබ සාධන ලබා නොගනිති. එහෙත් ඔවුන් ඉඩකඩම් බදු, ප්‍රාන්ත සහ ෆෙඩරල් ආදායම් බදු, අලෙවි බදු යනාදිය ගෙවති. තම පවුල, පල්ලිය සහ සාමූහිකය විසින් ආපදාවක දී තමන් බලාගැනීම මත විශ්වාසය තබන ආමිශ් සාමූහිකය සෞඛ්‍ය සහනාධාර ද ලබා නොගනිති. ඔවුන් තමන් විසින් වැය දරමින් නූතන වෛද්‍ය දැනුම, බෙහෙත් හා සැත්කම් ලබාගනිති.

අශ්ව කරත්තයකින් යා හැකි දුර පමණක් යන්නට හැකියාව තිබීමෙන් සාමූහිකයෙන් බැහැර දුර ගමන් යාමට සිත් පෙළඹවීමක් ඇති නොවන්නේය යන විශ්වාසයෙන් ඔවුන් රථ වාහන සඳහා අයිතිය නොකියති. ඔවුන්ගේ අශ්ව කරත්ත සියල්ලම පාහේ එකම විලාසිතාවකින් නිර්මාණය වන අතර ඒවා කළු පැහැතිය. රථවාහන අයිතියට ඉඩ ලැබීමෙන් තම වත්කම පෙන්වන්නට එය යොදා ගැනේවි යන්න ද ඔවුන් රථවාහන අයිතියට එකඟ නොවූ හේතුවකි. නැව්, දුම්රිය හා රථවාහන වල ගමන් ගත්තාට කිසිවිටෙක ආමිශ් අයෙක් ගුවන් ගමනක යෙදෙනවා දැකිය නොහැකියි.

ආමිශ් නිවසක විදුලි බලය දකින්නට නොමැතියි. 1919 දී ආමිශ් නායකයන් විසින් පල්ලිය හා පවුල මුල්කරගත් සරල ජීවන රටාව විදුලි බලය පරිහරණයෙන් නැති වී යාවි යන අදහසෙන් එකඟ වූ සම්මුතියකි එය. රේඩියෝ, ටෙලිවිෂන්, පරිගණක සහ අන්තර්ජාලය ආමිශ් නිවහනක නැතිකම ඔවුන් පිළිගත් සරල බවයි.

ප්ලේන් නොහොත් චාම් ජනතාව යැයි තමන් හැඳින්වීමට කැමති ඔවුන් අනෙකාට වඩා කැපී පෙනෙන ලෙසින් හැඩ වැඩ දැමූ ඒකීය පුද්ගලත්වයක් දක්වන ඇඳුම් පැළඳීම ප්‍රතික්ෂේප කරති. කාන්තාවන් එකම පාටෙන් (ඔවුන් දීප්තිමත් පාට ප්‍රතික්ෂේප කරති), එකම විලාසිතාවෙන්, එකම රෙදි වර්ගයෙන් මහන ලද ගවුම් සහ තොප්පි පළඳිති. පිරිමින් ද එකම හැඩයෙන් මහන ලද කමිස හා කලිසම් හා තොප්පි පැළඳීම සිද්ධ වේ.

ඔවුන්ගේ කොණ්ඩා සහ රැවුල් ද එකිනෙකාට වෙනස් ලෙසකින් හැඩ කරන්නේ නැත. වැඩිහිටි ආමිශ් මිනිසා විවාහයෙන් පසු රැවුල කපන්නේ නැත. ආමිශ් පිරිමියෙකුට උඩු රුවුලක් නොමැත. උඩු රැවුල් යනු බලය පෙන්වන මිලිටරි ඉතිහාසයක් හා බැඳී පවතින්නක් නිසා එය ආමිශ් පිරිමියාට තහනම් වූවකි.

ඡායාරූප ගැනීම ආමිශ් ජනතාව අතර සිද්ධ නොවේ. ඒ පැතිවල යන සංචාරකයන් ඡායාරූප ගන්නේ නම් ඔවුන්ගේ මුහුණු පැහැදිලිව නොපෙනෙන සේ ගන්න යැයි ඔවුන්ගේ ඉල්ලීමයි.

IMG_9190

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ඔක්තෝබර් 21, 2013 at 11:38 පෙ.ව.

    පරණ වුනාට අළුත් දෙයක්

  2. හලෝව් රස්ටා said, on ඔක්තෝබර් 21, 2013 at 1:40 ප.ව.

    දැන් දැන් එක පිළිවෙතක් වත් නැති මෙහේදී, හිමිකම් තියාගෙන හීන මානයෙන් දුක් විදින මෙහේදී, ඉංගිරිසිය පිටට නොව ඇතුළේ ලොකු කතාවක් බව පෙන්නන්නට තුත්තිරි කරගන්නා මෙහේදී, සාමූහිකව නොවූවත් පුද්ගලබද්ධව වුව හිත ඇත්නම් පත කුඩාද කියා බලන්නට හිතෙන්නක්. ඒ මිනිසුන්ගේ ගුණාගුණ බිදක් වත් නොදන්නා මුත් එක හිත ගොඩනැගීමකට මුල් වෙන බව මෙයින් නොපෙනේද? ප්‍රතිපදාවේ සාර අසාර බව අනුව ඔවුන් විපාක විදින්නට සූදානම් නම් එතැන බොරුකාරයින් හෝ කපටින් සිටීවිද? සපුරා නිදොස් බවක් නොව පිළිවෙලක්, පිළිවෙතක් එහි නැතිද?

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2013 at 6:40 පෙ.ව.

      ප්‍රතිපදාවේ සාර අසාර බව ගැන කල්පනා කරත හැකියාව මිනිසා තුලින් ඉවත් වී ගිහින් යැයි බොහෝ අය සිතනවා. මතවාදයන් නිසා අවුල් වෙලා තිබුණට ඒ හැකියාව තමයි තමන්ට බොරුකාරයන් සහ කපටින් කවුදැයි කියා පෙන්වා දෙන එකම යාන්ත්‍රණය.

  3. Lakmal Kandevidane said, on ඔක්තෝබර් 21, 2013 at 10:57 ප.ව.

    පරිගණක සහ අන්තර්ජාලය ආමිශ් නිවහනක නැතිකම ඔවුන් පිළිගත් සරල බවයි.

  4. Lakmal Kandevidane said, on ඔක්තෝබර් 21, 2013 at 11:01 ප.ව.

    //පරිගණක සහ අන්තර්ජාලය ආමිශ් නිවහනක නැතිකම ඔවුන් පිළිගත් සරල බවයි.//

    නූතනත්වය ප්‍රතික්ෂේප කරන ඔවුන් . මට හිතෙනවා ඇත්තටම සතුටින් ජීවත් වෙනවා කියලා . ආගමික බැදීම නැත්නම් ඔවුන් ඇත්තටම නිදහස් මිනිස්සු

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2013 at 8:07 පෙ.ව.

      Lakmal Kandevidane,

      //ආගමික බැදීම නැත්නම් ඔවුන් ඇත්තටම නිදහස් මිනිස්සු//ඒ ඔයා දකින විදිය. ඔවුන් දකින්නේ එය තමන් කැමති ආගමක් අදහන්නට ඇති අනර්ඝ නිදහසක් හැටියට.

  5. magenama said, on ඔක්තෝබර් 22, 2013 at 1:28 පෙ.ව.

    ඒක එයාලගේ කැමැත්ත කියලා හිතන්න පුලුවන්.මන්දන්නෑ මට නම් ඔහොම ඉන්න බැරියෝ.තරගයෙන් පරදිනවද ජය ගන්නවද කියන එක වෙනම කතාවක්,ඒත් ඒකට තරග කරලා බලනවා.

  6. arunishapiro said, on ඔක්තෝබර් 26, 2013 at 7:44 පෙ.ව.

    ආමිශ් ගැන BBC වාර්තාකරණය:


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: