අරුණි ශපීරෝ‍ වෙතින්

ඇනබැප්ටිස්ට් ව්‍යාපාරයේ අනෙකුත් බැතිමත් කණ්ඩායම්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 22, 2013

Anabaptist_Groups

ඇනබැප්ටිස්ට් ව්‍යාපාරයෙන් මෙනොනයිට් (Mennonite) නම් කණ්ඩායමක් ද ලොව බිහිවිය. ඒ මෙන්නෝ සිමන්ස් (Menno Simons 1496-1561) නමින් වූ නායකයා සමඟ එකතු වූ පිරිසයි. මෙනනයිට් ජනතාව මුළු ලෝකයේ මිලියන 1.7 ක් ලෙසින් විකිපීඩියාව දක්වයි. ඔවුන් අතර වැඩියෙන්ම පිරිසක් වාසය කරන්නේ ඉන්දියාව, ඉතියෝපියාව, කැනඩාව, කොන්ගෝ සහ ඇමෙරිකාවේ වුවත් තවත් රටවල් 82 ක සහ මෙන්නෝ සිමන්ස් උපයන් නෙදර්ලන්තයේ ද කුඩා මෙනනයිට් සාමූහිකයක් ඇතැයි විකිපීඩියාව දක්වයි.

තම වත්පිළිවෙත් එයාකාරයෙන්ම අදහන්නේ නැති අයව ඇනබැප්ටිස්ට් ව්‍යාපාරයේ පරණ ආමිශ් සාමූහිකයේ සාමාජිකත්වයෙන් නෙරපා දැමීම ඔවුන් අතර සිද්ධ වීම එහි මූලාරම්භයේ පටන් සිද්ධ වූවකි. වත්පිළිවෙත් කඩන්නෙක් සමඟ කුමන ආකාරයකින් හෝ නැවත සබඳතා පැවැත්වීම සහමුලින් නතර කිරීමට සිද්ධ වෙන දැඩි පිළිවෙත් සේ ම, බෙදී වෙන් වී ගිය සමහර කණ්ඩායම් අතර එකට ආහාර පානාදිය නොගෙන හා එකට යාඥා කිරීමට නොහැකියාව පමණක් පැවතිය දී එකිනෙකො හමුවීමට පමණක් සීමිත අවසර ලැබීමත් දකින්නට ලැබේ. තවත් විප්ලවකාරී කණ්ඩායම් අතර ඒවාට ද අවසර ලැබේ.

ඇනබැප්ටිස්ට් ව්‍යාපාරයේ සියල්ලන්ම පාහේ හමුදාවකට බැඳීම සහ යුද්ධයට යාම ප්‍රතික්ෂේප කරති.

1768 රුසියාවේ මහා කැතරීන් පාලන සමයේ දී ඔටෝමාන් අධිරාජ්‍යය සමඟ යුද වැදීමෙන් පසුව රුසියාව වර්තමාන යුක්රේන් හි ඉඩම් විශාල ප්‍රමාණයක් අල්ලා ගති. පෲසියාවේ (ජර්මන් අධිරාජ්‍යය) ජීවත් වූ මෙනොනයිට් භක්තිකයන් ආගමික නිදහස සහ හමුදා සේවය ප්‍රතික්ෂේප කරමින් ජීවත්වීමට තැන් සොයද්දී ඔවුන්ට යුක්රේනිය ස්ටෙප්ස් තණ බිම් වල කෘෂිකර්මයේ නියැළෙන්නට අවසර ලැබුණි. ඔවුන් ඉතා සාර්ථක ගොවියන් වූහ. 1917 රැසියන් විප්ලවයත්, 1917-1921 සිවිල් යුද්ධයත්, බොල්ශෙවික් අරගලයත් පසුව පිහිටුවන සෝවියට් ආණ්ඩුවත් සමඟින් ඔවුන්ගේ ඉඩකඩම් රජයට පවරා ගන්නා ලදි. ඔවුන් මරා දැමිණ. සිරගත කරන ලදි. ඇමෙරිකාවට, කැනඩාවට සහ පැරගුවේ යනාදී රටවල් වලට ඔවුන් පළා ගියහ. එහෙත් ඇමෙරිකාවට වැඩියෙන්ම ගොඩවැදුනේ 17 සහ 18 වැනි සියවස්හි ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් පළා ආ මෙනනයිට් අයයි. ඔවුන් ද බහුතර වශයෙන් පදිංචිය කරගත්තේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයයි.

ක්‍රිස්තු පල්ලියේ සහෝදරයන් (Brethren in Christ Church) යනු ඇනබැප්ටිස් ව්‍යාපාරයේ තවත් ජන කණ්ඩායමකි. ගංඟා සහෝදරයන් සහ ගංඟා මෙනනයිට් යනාදී නම් වලින් ද ඔවුන් හැඳින්වී ඇත.

එය ද 1778 ගණන් වල දී පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ආරම්භ වූවකි. ක්‍රිස්තියානි දහම අනුව ශ්‍රද්ධාවන්ත වූ අල්පේච්ඡතා දිවියක් අරමුණු කරගන්නා ජීවිතයක් ගෙවන්නට කැප වූ බයිබලයේ සඳහන් අවවාද ඒ ලෙසින්ම පිළිපදින්නට කැපවූ අයයි. ජේකොබ් එන්ගල් (Jacob Engle 1753-1854) නැමැත්තා මෙහි නිර්මාතෘ ලෙස Old Order River Brethren සලකති.

2001 දී ඇමෙරිකාවේ ක්‍රිස්තු පල්ලියේ සහෝදරයන්ගේ පල්ලි 232 ක් තිබුණ බවත්, සාමාජිකයන් 20,739 ක් සිටි බවත් විකිපීඩියාව දක්වයි. ලෝක සමාජිකත්වය අසූදාහක් පමණ යැයි දක්වන එය රටවල් 23 ක 1,100 ක් පල්ලි ඇතැයි සඳහන් කරයි.

ආමිශ් සහ මෙනනයිට් අතරින් ද වෙන් වී ගිය නවීකරණය වූ කොටසකි බීචීස් (Beachy) නමින් හැඳින්වෙන්නේ. මෝසස් බීචී නැමැත්තා 1920 කාලයේ දී පෙන්සිල්වේනියාවේ සමර්සෙට් කවුන්ටියේ ආමිශ් සාමූහිකයක පල්ලියේ බිශොප්වරයාව සිටියේය. ඔහු සමඟ වෙන් වී ආ කණ්ඩයාම බීචීස් නමින් හැඳින්වෙන ලදි.

ආමිශ් සාමූහිකය අශ්ව කරත්තයෙන් ගමන් බිමන් යන වැනි පරණ සම්ප්‍රදායන් අනුගමනය කරද්දී බීචීස් වාහන අයිතිය වැනි නූතන පහසුකම් සියල්ල භාවිතා කරති. එසේම ආගම පතුරුවන මිෂනාරී කටයුතු වල නියැළෙති. මෙනොනයිට්වරු සමඟ බොහෝ විට එකතු වී ආගමික සහ සංස්කෘතික කටයුතු වලට සහභාගී වීමක් බීචීස් තුලින් දැකිය හැකියි.

හටරයිට්ස් (Hutterites) නමින් හැඳින්වෙන්නේ ඇමෙරිකාවේ වයඹ තැනිතලා පෙදෙස් හි තැන් තැන් වල විසිර ජීවත්වන ඇනබැප්ටිස්ට් ව්‍යාපාරයේ සාමූහිකයකි. හටරයිට් කොලනියක පවුල් 15 ක් පමණ එකට ජීවත්වෙති. ඔවුන්ගේ නම ජේකොබ් හටර් (Jakob Hutter) නැමැති ආගම ඇදහීම නිසා කණුවක බැඳ ගිනි තබා මරණයට පත් කරන ලද නායකයා වෙතින් ලැබෙන්නකි. රජය නිර්දේශ කරන ආගමට පටහැනි වූවක් ඇදහීම මරණයට සහ සිරබන්ධනයට හේතු වූ මධ්‍යතන යුරෝපයෙන් ඔවුන් ද පණ බේරාගෙන පළා ආ අයයි.

18 සහ 19 වැනි සියවස් හි සහමුලින් තුරන් වී යා හැකි ජන කණ්ඩායමක් ලෙසින් සැලකෙන ලද ඔවුන් උතුරු ඇමෙරිකාව සිය වාසස්ථානය කරගත්හ. වසර 125 ඇතුලත දී 400 ක ජනගහණය 42,000 ක් වැඩි වූ බව විකිපීඩියාව දක්වයි.

ඇඳුම් පැළඳුම් වලින් සහ හැසිරීම් වලින් බහුතර දෙනෙක් ඇනබැප්ටිස්ට් කණ්ඩායම් සියල්ල එකම කණ්ඩායමක් ලෙසින් දැකීම සාමාන්‍යයකි.

අගයන සිරිත් විරිත් තබා ගනිමින් සහ එකඟත්වයෙන් සමහර සිරිත් විරිත් අත්හරිමින් නව කණ්ඩායම් හදමින් ඉතිහාසයේ සිට ඔවුන් වෙනස්වීම් වලට ලක් වූ ජනකොට්ඨාශයකි.එහෙත් වසර සිය ගණනක ඉතිහාසය පුරා මූලික වශයෙන් සරල ජීවිත ගෙවන්නට සහ පවුල හා සාමූහිකය සමඟ වාසයට කැප වී සිටීම ඔව්හු අත්නොහැරි බව පෙනෙයි.

ඇමෙරිකන් ව්‍යවස්ථාව ගැන මෙම අඩවියේ තැනින් තැන මම සටහන් ලියා ඇත්තෙමි. පුද්ගල නිදහස, ආගමික නිදහස, අදහස් ප්‍රකාශයට නිදහස සහ තම ජීවිතය සහ දේපල ආරක්ෂාවට මෙන්ම පීඩාකාරී රජයකට විරුද්ධ වීමට ද තුවක්කුවක් ළඟ තබාගත හැකියාව පවා අයිතියක් සේ දක්වන ලොව එකම අනර්ඝ ඇමෙරිකන් ව්‍යවස්ථාව වෙනස් කරන්නට ගත් උත්සාහයන් රට ආරම්භයේ පටන් අද දක්වාම තවම පැවත එයි.

ආගමික නිදහස ඉල්ලා සිටින ඇනබැප්ටිස්ට් ව්‍යාපාරයේ සියළු කණ්ඩායම් ජනගහණය, වත්කම, දේශපාලන බලය යනාදිය සලකන විට කිසිසේත්ම බලවත් ජනකොට්ඨාශයක් නොවෙති. 1950 ගණන් වල දී ආමිශ් සාමූහිකයේ දරුවන් මහජන පාසැල් වලට යැවිය යුතු යැයි ද, ඔවුන් 8 පංතිය ඉක්මවා අධ්‍යාපනය ලැබිය යුතු යැයි ද නීතියක් පනවන ලදි. තම ජීවන රටාව සඳහා අටේ පංතියට වඩා වැඩි අධ්‍යාපනයක් අවශ්‍ය නොවන්නේ යැයි කියමින් ඊට විරෝධය පෑ ආමිශ් දෙමව්පියන් සිර දඬුවම් ලැබූහ. 1972 සුපිරි උසාවියේ තීරණයක් අනුව (Wisconsin vs Yoder) ඔවුන්ගේ ආගමික නිදහසට ඇති අයිතිය ප්‍රාන්ත ආණ්ඩුවක් විසින් ප්‍රාන්තයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඇති අයිතියට වඩා ඉහළින් වූවක් බව පිළිගැනිණ.

එසේම නව ඔබාමා සෞඛ්‍ය පනතෙන් රටේ අනෙකුත් සියළු ආදායම් උපයන අයට සෞඛ්‍ය ආරක්ෂණය ලබන්නට සිද්ධ වෙද්දී සමාජ සුබසාධනයට (social security) බදු ගෙවීමෙන් දැනටමත් අයින් වී සිටිනා ආමිශ් වැසියන්ව නිදහස් වේ. සියල්ලන්ටම සුදුසු යැයි කියන සෞඛ්‍ය රක්ෂණයෙන් ඇමෙරිකන් පාලන තුන්කට්ටුව ද ඔවුන්ව නිදහස් කරගෙන ඇති නිසා ඔවුන් ආමිශ් අයට සෞඛ්‍ය රක්ෂණය මිල දී ගන්නට යැයි බලහත්කාරකමක් කරන කලබලයක් නොකරනු ඇත.

ඇමෙරිකන් ව්‍යවස්ථාව නිර්මාණය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකින් පාලන බලය අල්ලා ගන්නා අයට රිසි සේ පිරිසකට වාසි ලැබෙන පරිදි නීති වෙනස් කළ හැකියාව ලබාදෙන පදනමකින් නොවේ. එය ව්‍යවස්ථාදායක ජනරජයක පදනමකින් වූවකි. සියල්ලන්ටම සාධාරණය ඉෂ්ට වෙන සේ ලියා ඇති ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝණය වෙමින් පවතින අවස්ථා බොහොමයක් වුවත් තවමත් සමාජයේ යම් බලවත් නොවූ කොට්ඨාශයක් පාගා දැමීමට නොහැකි බව ඔප්පු කරන අවස්ථා දකින්නට හැකිවීම ව්‍යවස්ථාව හඳුනන අයගේ අතිශය සතුටට කාරණයකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: