අරුණි ශපීරෝ‍ වෙතින්

අකැමති නිසා තහනම් කරනවා ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 23, 2013

IMG_6636

මිනිසුන් හුවමාරු කරගන්නට කැමති භාණ්ඩ හා සේවා වලට තහනමක් ආණ්ඩුවක් ලවා පැනවීමෙන් සිද්ධ වෙන්නේ ඒ නීති ක්‍රියාත්මක කිරීමට දැඩි වැයක් දරන්නට වීමත් එයින් අදහස් කරන ලද නිෂ්ඨාව ඉටු නොවීමත්ය. ආණ්ඩුව වැයක් දරනවා යනු බදු ගෙවන්නා වැයක් දැරීමයි. එසේම තහනමෙන් නොසිතූ ඵලවිපාක හට ගැනීම නිසා ලැබේ යැයි සිතූ වාසි ද නැතිවේ.

යම් භාණ්ඩයක් හෝ සේවාවක් අයථා පරිහරණයට ලක්වෙන්නේ නම් කළ යුත්තේ නීත්‍යානුකූලව එය පාවිච්චියට අවසර ලබා දීමයි. නිෂ්පාදනයක් මිල දී ගන්නා අයගේ ප්‍රසාදය දිනා ගැනීම අනුව දුවන වෙළඳපොලක ස්වාර්ථය සලසා ගැනීම සහ නීතිය නොකැඩීම අනුව නියාමනය සිද්ධ වෙනු ඇත.

ආගමක් යනු විශ්වයේ අරමුණ, ස්වභාවය ඒ තුල මිනිසාගේ භූමිකාව ගැන වූ යම් විශ්වාස වලින් සකස් කරන ලද මිනිසාගේ ජීවිතය ගෙන යෑමට සදාචාර සංග්‍රහයක් බැතිමත් බවකින් යුතුව සමූහයක් එකතුව පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියකි. එම පිළිවෙත් පිළිපදින අයට උපදෙස් දෙන නායකත්වයක් ඇත. එම පද්ධතියේ දිගුකල් පැවැත්ම සඳහා කැපවීමෙන් කටයුතු කරන අනුගාමිකයන් පිරිසක් සිටිති.

ආගමක් ඇදහීම යනු ඒකීය පුද්ගලයාගේ භක්තිය (faith) මත පදනම් වූවකි.

සයන්ටොලොජි (Scientology) යන ආගම 1952 දී ආරම්භ කරන ලද්දේ විද්‍යා ප්‍රබන්ධ රචක එල්. රොන් හබාඩ් විසිනි. අමරණීය වූ මිනිස්සු තම සත්‍ය ස්වභාවය අමතක වී ගිය බැවින් අතරමං වී සිටින බවක් ඔවුන් උගන්වයි. සූදානම් නැති බැතිමතා එම උසස් රහස් දැන ගැනීමෙන් ඔහුට හානියක් සිද්ධ වේ යන විශ්වාසය නිසා එහි ඉගැන්වීම් ඒකීය පුද්ගලයා අනුව සිද්ධ වෙන්නකි. මේ ආත්මයේ පමණක් නොව මිලියන ගණනාවක් පෙර ආත්මයන් හි විඳින ලද සිත් කම්පනයන්හි විපාක පවා වෙනස් කරන්නට හැකියාව ඇතැයි ඔවුන් කියති. සයන්ටොලොජි අනුගාමිකයෙක් වන්නට නම් ඒ ඒ පාඩම අනුව ගෙවීම් කළ යුතුයි. ටොම් කෲස් ලොව සුප්‍රසිද්ධ සයන්ටොලොජි අනුගාමිකයා වෙයි.

2008 ඇමෙරිකන් ආගමික අනන්‍යතා පරීක්ෂණයක දී ඇමෙරිකාවේ සයන්ටොලොජි බැතිමතුන් 25,000 ක් පමණ සිටින බව සොයා ගැණුනි. 2007 දී සයන්ටොලොජි පල්ලිය එහි බැතිමතුන් මිලියන 3.5 ක් ඉන්නා බව නිල වශයෙන් කියා ඇතත් සත්‍යයෙන් ලෝකයේ එම බැතිමතුන් වැඩිම වුවොත් ලක්ෂ දෙකක සංඛ්‍යාවක් පමණක් සිටිතැයි අනුමාන වෙයි.

ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු සහන ලබාගත් ජේම්ස් පැකර් සයන්ටොලොජි බැතිමතෙක් වූයේ ඔහුගේ පුද්ගලික ජීවිතය සහ ව්‍යාපාර වියවුල්ව තිබි සමයක් වූ 2002 දී ය. එහෙත් සයන්ටොලොජි නිර්මාතෘ එල්. රොන් හබාඩ් “සූදු කෙළින්නට ඇබ්බැහි වූවා යනු මත්පැනට හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූවෙක් වැනි මනෝව්‍යාධිකයෙක්,” යැයි ලියා ඇති නිසා ඇබ්බැහියට අනුබල දෙන කැසිනෝ ව්‍යාපාරය ව්‍යාප්තියේ දී ඔහුට සයන්ටොලොජි බැතිමතෙක් විය නොහැකියි. පැකර් සයන්ටොලොජි වෙතින් ඈත්විය.

පැකර් කුමන ආගමක් අදහන්නේ ද නැද්ද යන්න මට තැකීමක් නැත. පාලන බලය අල්ලා ගන්නට ආගම වෙනස් කළ පාලකයන් එදත් අදත් සිටිය දී, ධන වස්තුව වැඩි කරගැනීම සඳහා ආගම අදහන හෝ සමහර විට ආගම අත්හරින ව්‍යාපාරිකයන් ද අවස්ථාවාදීන් නොවිය හැකියි!!!

සූදු පනත ආචාර ධර්ම කෙළසනවා කියමින් විරෝධය පාන අය නීතිමය තහනමක් නිසා මිනිසාව ඇබ්බැහියකින් ගලවා ගන්නට හැකි වූ උදාහරණයක් ලොව කොතැනකින් වත් සොයාගත නොහැකි බව නොසලකති. එසේම කැසිනෝ වලට යන්නේ සූදු කෙළින අය පමණක් නොවෙති. මම කැසිනෝ පනතේ දී විරුද්ධ වන්නේ රටේ සෙසු අයගේ ආදායම් වලට බදු ගහද්දී ජේම්ස් පැකර්ට බදු සහන ලබා දීම ගැන පමණයි.

රටේ අහිංසකයන් බදු ගෙවද්දී විදේශික ධනවතුන් බදු සහන ලැබීම ගැන නොතකා අයථා හලාල්කරණයට එරෙහිව සටන් වැදීම නිෂ්ඨාව කරගත් බොදු බල සේනා ද තහනම් කළ යුතු නොවේ. ඔවුන් ඒ වෙනුවෙන් ඉල්ලුමක් ඇති සමාජ කොට්ඨාශයක ඕනෑකම් පිරිමසනා අය පමණකි.

ආගම අබින් වගේ ඇබ්බැහියක් යැයි කියන අය රජය ලවා නීති පමුණුවා මිනිස් ස්වභාවය වෙනස් කරත හැකිය යන චින්තනයට ඇබ්බැහි වී සිටිති. ආගමික නිදහසක් ඇති රටක අනේක විධ බැතිමත් උත්සාහයන් දැකිය හැකියි!!!!

The Nation of Yahweh යනු කළු ඇමෙරිකන් ඊශ්‍රායෙල් යුදෙව් ජනකොට්ඨාශයක් යැයි කියාගන්නා අය විසින් අදහන ආගමකි. 1979 දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ දී ආරම්භ වෙන මෙම ආගමේ නායකයා හුලොන් මිචෙල් ජූනියර් නොහොත් යාහ්වෙහ් බෙන් යාහ්වෙහ් නමින් හැඳින්වෙන්නාය. ඊශ්‍රායෙල් වැසියන් ලෙසින් තමනට මූලාරම්භයක් පැවතුනා යැයි කියන ඔවුන්ගේ පරමාර්ථය නැවතත් ඒ සියළු ඊශ්‍රායෙල් යුදෙව් කළු ඇමෙරිකන් අයව ඊශ්‍රායෙලය වෙත ගෙන යෑමයි.

දෙවියන්ගේ පුත්‍රයා යනු යාහ්වෙහ් බෙන් යාහ්වෙහ් යැයි අදහන නිසා ඔවුන් ක්‍රිස්තියානි සහ යුදෙව් ආගම් වලින් සහ වෙනත් කළු යුදෙව් ඊශ්‍රායල බැතිමතුන් ගෙන් (Jews in the African diaspora) වෙනස් වෙති. සුදු යක්කු සියල්ල පළවා හරින්න උත්සාහ කරන වර්ගවාදී කළු supremacist කණ්ඩායමක් හැටියට ඔවුන්ව මයාමි හැරල්ඩ් ප්‍රවෘත්ති පත්‍රය සහ Southern Poverty Law Center හඳුන්වා ඇත.

ඔවුන්ගේ නායකයා 2007 දී මිය ගිය ද, වර්ගවාද අත්හැර ඔහුගේ දුව විසින් ආගම දිගටම පවත්වාගෙන යයි. ඔවුන්ගේ බැතිමතුන් සංඛ්‍යාව කොපමණක් දැයි ඔවුන්ගේ නිල yahwehbenyahwah වෙබ් අඩවියෙන් සොයා ගත නොහැකියි.

තවත් ඇමෙරිකන් ආගමක් නම් The Church of the SubGenius. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙතැනින්. 1953 දී ලෝකයේ හොඳම සේල්ස්මන් හෙවත් ජේ. ආර්. “බොබ්” ඩොබ්ස් ඔවුන්ගේ ආගම ආරම්භ කළ හෙයින් ඔහුව “ලෝක අවතාර්” යන ගෞරවනීය නාමයෙන් සැලකෙයි. ලොව අනෙකුත් ආගම් වලට සරදමක් ලෙසින් නිර්මාණය කර ඇති මෙහි මන්දෝත්සාහී බව අගය කෙරෙයි. ඉතින් වැඩියෙන්ම ඔවුන් ජනප්‍රිය ආගමක් වෙන්නේ විශ්ව විද්‍යාල සිසුවන් අතරයි!!! ආගම හාස්‍යයට ලක් කිරීම, පියාඹන පීරිසි, පොප් සංස්කෘතිය සහ කුමන්ත්‍රණ න්‍යායන් අදහති.

1998 ජූලි 5 වැනිදා ලෝක විනාශය සිද්ධ වෙන X-Day යැයි ඔවුන්ගේ පල්ලියේ අනාවැකි කියූව ද Xists වැසියන් Planet X වලින් එදා පැමිණියේ නැත. නිව් යෝර්ක් හි කෑම්ප් ග්‍රවුන්ඩ් එකකට 400 ක් සාමාජිකයන් රැස් වූ බව කියැවේ. ආගම හාස්‍යයට ලක් කරන ඔවුන්ට අනාවැකිය වැරදීම කිසිත් ගණනක් නැති වුණි. දැන් ඔවුන් එදා පිටසක්වල වැසියන් නොපැමිණීම උත්සවාකාරයෙන් සමරති!!!!!

ඩ්වයිට් යෝර්ක් නැමැත්තා විසින් නිව් යෝර්ක් හි 1967 දී ආරම්භ කරන ලද්දා වූ Nuwaubian Nation කළු මුස්ලිම් පල්ලියකි. 1980 ගණන් වල දී මුස්ලිම් දේවධර්මය ඔවුන් අත්හළ ලද බව කියැවේ. සුදු මිනිසා මවා ඇත්තේ කළු අයගේ වහලෙක් පිණිස යැයි ඔවුන් විශ්වාස කළ කාලයක් ද තිබුණි. අනතුරුව පිට සක්වල ජීවීන් තේමාවකින් පුරාතන ඊජිපත්තුව වැඩියෙන් ප්‍රිය කරන ඔවුන් 1993 දී බෲක්ලින් වලින් ඉවත් වී ජෝර්ජියා ප්‍රාන්තයට තම පල්ලියේ මූලස්ථානය ගෙන ගියහ. එහි දී ඊජිප්තු තේමාවකින් ටාමා-රේ නමින් ආගමික සිද්ධස්ථානයක් ගොඩනඟන ලදි. ළමා අපචාර සහ කළු සල්ලි ජාවාරම් වලට වරදකරු වූ යෝර්ක් වසර 135 ක සිර දඬුවමක් 2004 සිට ෆෙඩරල් සිරගෙයක ගෙවන්නෙකි. ටාමා-රේ ඉඩම රජයට ගෙන විකුණා දමන ලද අතර ගොඩැනඟිල්ල කඩා දමන ලදි. එයත් ද්වේෂය පතුරුවන කණ්ඩායමක් හැටියට Southern Poverty Law Center විසින් හඳුන්වා ඇත.

කැමති අයට ඔවුන්ගේ මුදලින් ඔවුන් කැමැත්තක් කරගන්නට ඉඩ දී ලොව තහනම් විය යුත්තේ කුමන ආකාරයකින් හෝ වෙස්වලා ගෙන එන ප්‍රචණ්ඩත්වය පමණකි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ඔක්තෝබර් 23, 2013 at 8:02 පෙ.ව.

    //ඔවුන් ඒ වෙනුවෙන් ඉල්ලුමක් ඇති සමාජ කොට්ඨාශයක ඕනෑකම් පිරිමසනා අය පමණකි.// මේ කොටස ගොඩක් දේවලට ගැලපෙනවා…

  2. Chatura Wijekoon said, on ඔක්තෝබර් 23, 2013 at 9:38 පෙ.ව.

    නීතිමය තහනමක් නිසා මිනිසාව ඇබ්බැහියකින් සපුරා වළක්වන්නට නොහැකි නමුත් ඇබ්බැහි වන පිරිස සීමා කළ හැක. උදාහරණයක් ලෙස.. අපේ රටේ කසිප්පු තහනම් ය. එහෙත් මිල අඩුය. එහෙත් මම කසිප්පු නොබොමි. ඒ හේතු දෙකක් නිසා ය.
    1. එය තහනම් නිසා
    2. එය ක්‍රමානුකූලව නොපෙරන නිසා (සෞඛ්‍යාරක්ෂිත නොවන නිසා)..
    යම් හෙයකින් කසිප්පු තහනම ඉවත් කළේ නම්..
    1 ප්‍රශ්නය මට නැත. 2 ප්‍රශ්නය ගැන ප්‍රමාණවත් අවදානමක් ගෙන මා කසිප්පු උත්සාහ කරන්නට ඉඩක් ඇත.

    කැසිනෝ වලට ඇබ්බැහි වීම පමණක් නොව ඉඳහිට උවත් කැසිනෝ යන එක හොඳ වැඩක් නොවේ..
    එවැනි මධ්‍යස්ථාන නීත්‍යානුකූල වීම .. සමාජ විනාශය නීතිගත කිරීම හා සමාන යැයි දකිමි.. දැනටත් බොහෝ විෂයයන් කෙරෙහි මෙම තත්වය ක්‍රියාත්මක ය.

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2013 at 10:12 පෙ.ව.

      Chatura Wijekoon,

      ඇබ්බැහි වන පිරිස සීමා කිරීම යමක් නීත්‍යානුකූල කිරීමෙන් වඩා සාර්ථකව සහ අඩු වියදමෙන් කළ හැකි යැයි ඒ සඳහා වූ සියළු උත්සාහයන් ඔප්පු කර ඇත. Mark Thornton ලියූ The Economics of Prohibition (1991) ඒ ගැන සවිස්තරාත්මක පහදා දීමක් ඉදිරිපත් කර ඇත.

      නීති පිළිපදින චතුර කසිප්පු තහනම ඉවත් වූවත් ප්‍රමාණවත් අවදානමක් ගැන සිතන්නෙක් නිසා ඇබ්බැහියක් ඇතිකර නොගනියි. ඇබ්බැහි වෙන්නා කසිප්පු නැත්නම් මත්වෙන්නට වෙන කුමක් හෝ සොයා ගන්නා අයෙක් මිසෙක අවදානමක් ගැන සිතන්නෙක් නොවේ. ඇබ්බැහිය මිනිස් දුර්වලතාවයකි. එයින් ගලවාගත හැක්කේ ඊට උවමනාවක් ඇති අයෙක්ව පමණයි. අපිට කළ හැකි එකම දෙය ඇබ්බැහිය ගැන මිනිසා දැනුවත් කිරීමත්, එයින් ගැලවෙන්නට උවමනා අයට Alcoholics Anonymous වැනි පිළිවෙත් හැදීමත් පමණි.

      සූදු කෙළින මිනිසුන් ලංකාවේ හැමදා සිටියහ. ඉදිරියේ දී ද සිටිනු ඇත. බහුතරයක් ඊට ඇබ්බැහි වූවන් නොවෙති. කැසිනෝ යෑම නිසා පමණින් සූදු කෙළින්නට හිතක් නැත්තාට එහි නියැළෙන්නට සිත් පහළ නොවේ, අත්දුටුවයි!!! නීති පිළිපදින අය ඒවා පිළිපදින්නේ තහනම සහ දඬුවම නිසා නොවේ.

      නීති පැනවීම ගැන මහා වාදයන් ගියාට කිසිත් විටෙක විචාරයට ලක් නොවන්නේ නීති පවතින්නේ ඇයි දැයි ගැන. ලංකාවේ මාර්ග නීති හොඳ උදාහරණයක්. ඉතින් කොතරම් නීති ගෙනාවත් ඒවා ඇත්තේ මොනවාටදැයි නොදන්නා අය නීති කැඩීමේ හැකියාව ජයග්‍රහණයක් සේ දකිති.

  3. Uditha Meegahathenna said, on ඔක්තෝබර් 23, 2013 at 11:36 ප.ව.

    අම්මෝ මම වයස 16 ඉඳන් බොනවා ඒ වගේම පසුගිය අවුරුදු 10 ක් තිස්සේ කැසිනෝ යනවා. තාම බිමට ඇබ්බැහි වෙලත් නැහැ සූදු අන්තුවෙක් වෙලත් නැහැ ඉඳහිට උවත් කැසිනෝ යන එක හොඳ වැඩක් නොවේ කියල චතුර කිව්වට අනේ මට නම් කිසිම නරකක් වෙලා නැහැ හොඳ නම් බොහොමයි. වැඩ අධික සතියකින් පසු ඉඳහිට සිකුරාදා රාත්‍රියට Atlantic City කැසිනෝ නගරයට මිතුරු මිතුරියන් සමග රිය පදවාගෙන ගොස් ගතකරන දිනක විනෝදයෙන් ලැබෙන මානසික සුවය මටනම් මිල කල නොහැකි වටිනාකමක් ඇති දෙයකි. කාටවත් කරදරයක් නැහැනේ අප්පා ඇයි චතුර මේක සමාජ ව්නාශයක් වෙන්නේ කොහොමද,,,????????????? මට නම් තේරෙන්නේ නැහැ.,

    • arunishapiro said, on ඔක්තෝබර් 24, 2013 at 8:49 පෙ.ව.

      Uditha Meegahathenna,

      මිනිසාගේ ස්වභාවික හුරුව තමන් ලබන විදියෙන්ම අනිත් අයත් විනෝදය ලබනවා යැයි සිතන්න. ඉතින් අපි අකමැති විදියකින් විනෝදයක් ලබන අය දැක්කම සිත් ද්වේශයෙන් පිරී යාමෙන් ගැලවීමට නම් ස්වභාවික නොව ඒ ගැන විමසා ලබාගන්නා අවබෝධයකින් සහ දැඩි උත්සාහයකින් වර්ධනය කරගත යුතු හැදියාවක්.

  4. හලෝව් රස්ටා said, on ඔක්තෝබර් 24, 2013 at 4:58 පෙ.ව.

    කැමති නිසා තහනම් නොකරනවාද? වැදගත් වන්නේ කැමැත්තද? සාර අසාර භාවයද? අසාර දෙය සරු ලෙස ගන්නට හදන ප්‍රතිපදාවන්ට වඩා අකමැති වුව, දුෂ්කර වුව සාර ප්‍රතිපදාවන් සරු ලෙසම නොතකන්නේ කුමන ලාබයක් නිසාද? ලාබය යනු මූල්‍ය ලාබය පමණක්ද? එයින් මිනිසා අපේක්ෂිත සංවර්ධිත හෝ තෘප්ත බව වෙත ගෙනයා හැකිද? රටක් වෙනුවෙන් හොද තීරණයක් යනු … වත්ත බදු දීම, බදු නැතිව දීම හැර විකල්ප නොවේද? 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 24, 2013 at 8:52 පෙ.ව.

      හලෝව් රස්ටා,

      සාර අසාර භාවය තීරණය කරන්නේ කවුද? ඕනෑම මිනිසෙක් කටයුතු කරන්නේ තමන්ට ඇති අඩුපාඩුවක් පිරිමසාගන්නට තම ක්‍රියාවෙන් පුළුවන් යැයි දකිනවා නම් පමණයි. මෙය සත්‍යයක් යැයි පිළිගන්නවා නම්, ඒකීය මිනිසා සාර අසාර යැයි සලකන්නේ කුමක් දැයි කියන්නට තවත් මිනිසෙකුට පුළුවන් ද? එය බැරි යැයි පිළිගන්නවා නම්, එවිට සමහරු ආමිශ් ජීවිතය රැක ගන්නට සිර තපින්නට පවා ඉදිරිපත් වෙන අතර තවත් අය වැන්ඩබිල්ට්ලා වෙන්නට උත්සාහ කරන බව දකින්නට පුළුවන්. රටක් වෙනුවෙන් හොඳ වෙන්නේ ඒ සියල්ලන්ටම තම තමන් සාර අසාර යැයි සිතන දේවල් හඹා යන්නට ඉඩක් ඇතිවිට පමණයි යන්නත් ඔප්පු කර ඇත්තේ ලෝක ඉතිහාසයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: