අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් මොන්ග් ජනතාව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2013

601746_411709502279672_497067992_n

ආසියාතික ජන කොට්ඨාශයක් ලෙස මොන්ග් (Hmong) ජනතාව ප්‍රභවය ලැබුවේ චීන කඳුකරයේයි. චීනයේ වසර දෙදහස් ගණනාවක් ජීවත් වූ මොන්ග් ජනතාව චින්ග් (Qing) රාජවංශයේ පීඩනයට ලක් වී 1700 ගණන් වල දී වියට්නාම්, ලාඕස් සහ තායිලන්ත කඳුකර පළාත්වලට සංක්‍රමණය වූහ. තමනට කියා රටක් නැති ලොව තවත් ජන කොට්ඨාශයකි.

පුද්ගලයාගේ අනන්‍යතාවයට අනුව නොව නෑදෑයන් කණ්ඩායමේ (clan) අනන්‍යතාවය අනුව ගෙවන ජීවන රටාවක් ඔවුන් ප්‍රිය කරති. ඔවුන්ගේ වාසගම් උපදින කණ්ඩායම අනුව හැදෙයි. විවාහය සෑම විටෙකම පිට කණ්ඩායමක අයෙක් හා සිද්ධ කිරීම සම්ප්‍රදායයකි.

ඉන්දු චීන යුද්ධයන්හි දී ප්‍රංශයත් අනතුරුව ඇමෙරිකාවත් සමඟ ආක්‍රමණික යුද හමුදාවන්ට එරෙහිව සටන් වදින්නට ඉදිරිපත් වූ දහස් ගණනින් ලාඕසයේ මොන්ග් ජනතාව සහායට බඳවා ගන්නා ලදි. බොහෝ අය ඉතිහාසය දන්නේ ඇමෙරිකාව සඳහන්වන තැන පටන් පමණි. කොමියුනිස්ට් පැතට් ලාඕ ගැන නොදනිති. ලාඕසයේ සිවිල් යුද්ධය ගැන නොදනිති. මොන්ග් නිසා ලාඕස ආණ්ඩු වලින් පීඩනයට තවමත් ඔවුන් ලක්වන බව නොදනිති.

1975 දී වියට්නාම සමාජවාදී ජනරජයේ, සෝවියට් යුනියනයේ, උතුරු කොරියාවේ, කියුබාවේ සහ චීනයේ සහායෙන් කොමියුනිස්ට් ලාඕස ආණ්ඩුව බලයට පත් වූ විට මොන්ග් ජනතාව මරණයටත්, සිර කඳවුරු වලටත් නියම කෙරුණි. ලාඕසයෙන් පිටමං වූ බහුතරය ඇමෙරිකාවට පළා ආහ. ප්‍රංශය, ප්‍රංශ ගයානාව, කැනඩාව සහ දකුණු ඇමෙරිකාවට ද ඔවුන් පළා ගියහ.

මොන්ග් ජනතාව අතර උප ජන කණ්ඩායම් පවති. කඳුකර ජනතාවක් හැටියට ඔවුන් දඩයමේ යෑමත් කෘෂිකර්මයේ නියැළීමත් සමඟින් ස්වභාව ධර්මයා සමඟ ගැටීමට වැඩියෙන් කැමති පිරිසකි.

ලොව මිලියන 2.6 ක් පමණ වාසය කරන මොන්ග් ජනතාව කතා කරන මොන්ග් භාෂාව ප්‍රධාන වශයෙන් Hmoob Dawb නොහොත් සුදු මොන්ග් සහ Moob Leeg/Hmoob Ntsuab නොහොත් කොළ/නිල් මොන්ග් යැයි කොටස් දෙකකි. ඒ මොන්ග් කාන්තාවන් අඳින වස්ත්‍ර පැහැය අනුව බෙදෙන ලද්දකි. 1975 ට පෙර රට රටවල විසිර සිටි මොන්ග් ජනවර්ගයන් හඳුනාගත්තේ ඔවුන්ගේ පාරම්පරික විලාසිතා අනුව අඳින ලද වස්ත්‍ර අනුවයි. වර්තමානයේ දී පාරම්පරික උත්සවයන්ට පමණක් ඒ වර්ණවත් ඇඳුම් සීමා වේ. එසේම ඒවායේ දී තම ජනවර්ගයේ නොවන සාම්ප්‍රදායික වස්ත්‍ර පැළඳීම දැන් ඔවුන් අතර සිද්ධ වේ.

බහුතර මොන්ග් ජනතාව 1950 ගණන් වල දී ඇමෙරිකන් මිෂනාරී වාග්වේදීන් විසින් වර්ධනය කරනු ලැබුවා වූ ලතින් හෝඩියක් තුලින් රෝමානුකරණීය කරන ලද ජනප්‍රිය හෝඩියක් ලිඛිත භාෂාව සඳහා භාවිතා කරති. එතෙක් බහුලව පැවතියේ වාචික මොන්ග් භාෂාවක් පමණයි.

2010 සංඛ්‍යාලේඛන දත්ත අනුව ඇමෙරිකාවේ මොන්ග් ජනගහණය 260,076 කි. ඇමෙරිකන් මොන්ග් බහුතරය වාසය කරන්නේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේයි.

ලාඕසයේ උපන් Mee Moua ඇමෙරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුවකට තේරී පත් වූ ප්‍රථම මොන්ග් ඇමෙරිකන් කාන්තාවයි.

ඇමෙරිකාවේ වාසය කරන මොන්ග් ජනතාව අතර තවමත් පවතින සාම්ප්‍රදායික පිළිවෙත් බොහොමයකි.

කොල්ලෙක්ට විවාහය අවශ්‍ය නම් ඔහු සිය දෙමව්පියන්ට දන්වයි. නෑදෑ කණ්ඩායමේ ප්‍රඥාවන්තයන් යැයි සැලකෙන ඇත්තන්ව දෙමව්පියන් විසින් කැන්දා ගනිති. ඉක්බිතිව ඔවුන් සියල්ලන්ම කෙල්ලගේ නිවහනට ගොස් දොරට තට්ටු කර සාම්ප්‍රදායික සිංදුවක් ගයති.

එම සිංදුවෙන් දක්වන්නේ කෙල්ලගේ අත ගන්නට ගෙවන මිලක් කේවල් කරගන්නට කැමැත්තේය කියායි. දෑවැද්ද පිරිමියාගේ පාර්ශවය ගෙවන්නකි.

ඔවුනට ගෙදරට ඇතුල් විය හැක්කේ සිංදුව ගයා අවසන් වූ පසු පමණයි. ඇතුල්වීම ප්‍රතික්ෂේප කරන්නට කෙල්ලගේ දෙමව්පියන්ට නොහැකියි. ඇතුලට ආ පසු කෙල්ලගේ පවුලට තම කණ්ඩායමේ ප්‍රඥාවන්තයන් කැඳවා ගණුදෙනු ආරම්භ කළ හැකියි. ඔවුන් එළඹෙන මිල දෙපැත්තේම දෙමව්පියන්ට දන්වති. ඔවුනට එකඟතාවයකට එන්නට නොහැකි වූයේ නම්, කොල්ලාගේ පාර්ශවයේ ප්‍රඥාවන්තයන් පිට වී යන්නට ද අකමැති නම්, කෙල්ලගේ පාර්ශවයේ අයට තව දුරටත් කේවල් කිරීම අවශ්‍ය නැතිනම්, කෙල්ල දෙන්න අකමැති යැයි කියන්නට දොර අසලට පුටුවක් ඇද තවත් සාම්ප්‍රදායික සිංදුවක් ගයා පිටවී යන්න යැයි ඉල්ලති.

එවර පිටවී ගිය ද ඔවුනට නැවතත් පැමිණිය හැකියි.

මියගියවුන් වෙතින් ආශීර්වාද ලබා සෞභාග්‍ය උදා කරගැනීමටත් ලෙඩ දුකින් මිදීමටත් හැකියාව ඇතැයි මොන්ග් ජනතාව අතර පවතින විශ්වාසයකි. ඒ සඳහා වූ සාම්ප්‍රදායික උත්සවයක දී පරලොව සිටින අය හා කතාබහ කර කළ යුත්තේ කුමක්දැයි කියා දැනගත හැකියාව ඇති විශේෂ පුද්ගලයන් කැඳවනු ලබයි. එවැනි අවස්ථාවක දී කිසිවෙකුටත් වටහා ගත නොහැකි භාෂාවකින් මියගියවුන් හා කතාබහ කරනවා දැකගත හැකියි. පිදුමක් හැටියට කුකුලෙක්, ඌරෙක් හෝ ගවයෙක් මරා පූජා කරති.

දෙදෙනෙක් දැඩි ආදරයෙන් බැඳී ඉන්නේ ද එකිනෙකාගේ ලේ පානයෙන් සදහටම එකතු වන්නට පොරොන්දු දීමෙන් එය හැකිවේ යැයි ද මොන්ග් විශ්වාසයකි. මගේ මොන්ග් නෑනාගේ නැන්දාට එයා විවාහ වූ මාමා හමුවන්නට පෙර පෙම්වතෙක් සිටියේය. ඒ පෙම්වතාට දෙමව්පියන් කැමති වී නැත. විවාහ වන්නට නොහැකි වූ ඔවුන් දෙදෙනා මතු අත්භවයන්හි ආදරයෙන් යළි එක්වන්නට එකිනෙකාගේ ලේ පානය කර පොරොන්දු දී ඇත. මාමා සමඟ විවාහ වී දරුවන් හය දෙනෙකුගෙන් ද පසුව, මිය යන ලද පෙම්වතා නැන්දා හමුවන්නට නිතර පැමිණෙන ලදි. නැන්දා සියදිවිනසා ගන්නට උත්සාහ කරද්දී ඒ ඇයිදැයි හොයන්නට සාම්ප්‍රදායික උත්සවයක් පවත්වන ලදි. එහි දී ඇය පෙම්වතා සමඟ ලේ පානය කර පොරොන්දුවකට එළඹෙන ලද බවත් ඔහු දැන් ඇය සොයාගෙන පැමිණෙන බවත් සොයා ගන්නා ලදි. ටික කලකට පසුව ඇය දිවිනසා ගත්තාය. ඉන් මාසයකට පසුව ඒ නැන්දා පැමිණ දැන් තමන් සතුටින් සිටින බවත් තමන් ගැන දුක් නොවී ජීවිතය සුවසේ ගෙනියන්න යැයි මාමාට සිහිනයක දී කියා ඇත.

මගේ නෑනා රසම රස ගස්ලබු සලාදයක් හදන්න ගජ හපනියකි. මේ ඒ රෙසිපියයි.
පැහිච්ච (ඉදිච්ච නැති) සිහින් ඉරි සේ තීරු කරගත් ගස්ලබු කෝප්ප දෙකක්
කුඩා චෙරි තක්කාලි පහක්
මාළු සෝස් මේස හැඳි 1 1/2
සුදුළුණු බිකක්
දෙහි ගෙඩියකින් 3/4 ක් පමණ පෙති
සීනි මේස හැඳි 1 1/2
ඉස්සන් පේස්ට් තේ හැඳි 1/4
සියඹලා සෝස් තේ හැඳි 1/4
කැමති නම් ටෝස්ට් කරගත් රටකජු මේස හැඳි දෙකක්

සියල්ල එකතුකර අනාගත් සැනින් අනුභවයට ගන්න. මොන්ග් ජනතාව කෑම කන්නේ චොප්ස් ස්ටික්ස් වලින් නොව හැඳි ගෑරුප්පු වලින්.

පින්තූරය Facebook හි Hmong පිටුවෙනි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 25, 2013 at 11:02 පෙ.ව.

    මේ අපූරු ගස් ලබු සලාදය නම් රස බලන්න හොඳ හිටී කියලා මගේ නෝනාත් කියනවා.

  2. Nandasiri Wanninayaka said, on ඔක්තෝබර් 26, 2013 at 1:12 පෙ.ව.

    බොහොම ස්තුතියි මේ වගේ ලිපි ලියනවාට. ආමිෂ් ජනයා ගැනත් ආශාවෙන් කියෙව්වා. එයාලානම් SEX DRIVE කොමඩි චිත්‍රපටියෙන් දැකලා තියෙනවා. ඒත් තවම documentary එකක් හොයාගන්න බැරි වුණා.

    • arunishapiro said, on ඔක්තෝබර් 26, 2013 at 7:43 පෙ.ව.

      Nandasiri Wanninayaka,

      ආමිශ් ගැන මගේ සටහන එක්ක BBC වාර්තාකරණයක් Facebook යාළුවෙක් අමුණලා share කලා. ඒක මම ආමිශ් සටහනට ප්‍රතිචාරයක් හැටියට අමුණන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: