අරුණි ශපීරෝ‍ වෙතින්

සම්මත වේලාව

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 4, 2013

Central Pacific Railroad Photographic History Museum

එන්න පරක්කු වෙන්නේ පුද්ගලයෙකි. කාලය වේලාව යනු අයෙක් සැලකිල්ලක් දැක්වූවත් නැතත් උදා වී අහවර වී යන්නකි. පසුගිය සෙනසුරාදා සමහර ඇමෙරිකන් වැසියන් සිය ඔරලෝසු පැයකින් ආපස්සට දැම්මහ. එය අමතක වූ අයට ඉරිදා නිවාඩු දින කටයුතු සඳහා පැයක් කළින් පැමිණ ඇතැයි දකිද්දී වෙනස් කරගත හැකියාව නිසා සඳුදා රාජකාරී කටයුතු නිසි වේලාවට කරගත හැකි යැයි අපේක්ෂා වේ.

සූර්යාලෝකය පවතින කාලය තුල දී දවසේ කටයුතු වැඩියෙන් කරගැනීම සඳහා Daylight Saving Time (DST) යනුවෙන් පැයක් ආපස්සට දැමීම මුලින්ම යෝජනා කර ඇත්තේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසිනි. ඒ ඉටිපන්දම් වලින් රාත්‍රියේ එළිය ලබාගත් කාලයකයි. ඔහු 1784 දී පැරිසියට ගිය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැටියට ඒ අදහස ඉදිරිපත් කරන ලදි.

එහෙත් පළමු ලෝක යුද්ධය තෙක් ඒ අදහසට වැඩි අවධානයක් නොලැබුණි. ඉන්ධන භාවිතය අඩු කරගන්නට යැයි 1916 මැයි 1 වැනිදා මුලින්ම DST පටන් ගත්තේ ජර්මනියයි. ඇමෙරිකාවේ පටන් ගැනුනේ 1918 දී ය. එහෙත් ඒකීය ප්‍රාන්ත විසින් DST අනුගමනය කරනවා ද නැද්ද යන්නත්, එය කවදා පටන් ගන්නවා ද යන්නත් තනි තනිවම තීරණය කළහ.

1986 දී කොංග්‍රසයේ සම්මතයක් අනුව DST අප්‍රේල් මාසයේ පළමු ඉරිදා දිනයේ පටන් ගෙන ඔක්තෝබර් මාසයේ පළමු ඉරිදා දිනයේ අවසන් වේ යන්න තීරණය වුණි. 2007 දී කොංග්‍රසය විසින් එය අවසන් වන දිනය නොවැම්බර් මාසයේ පළමු ඉරිදාව යැයි තීරණය කළහ. ඒ හැලොවීන් දිනයේ trick or treat සඳහා ගෙදරින් ගෙදරට යන දරුවන්ට වැඩි ආලෝකයක් ලැබේවි යන මතයකින් වුවත් දරුවන් එය පටන් ගන්නේ අඳුර පහත් වූ පසු බව කොංග්‍රසය සැලකුවේ නැත. එසේම රෑ පහන් වෙනතුරා දැන් ඉන්ධන භාවිත කළ හැකි ක්‍රම දකින්නේ නම් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වුවත් DST අනවශ්‍ය යැයි කියනු ඇත.

වර්තමානයේ දී ඇමෙරිකාවේ සම්මත වේලාව, නැගෙනහිර (Eastern), මධ්‍යම (Central), කඳුකර (Mountain), සහ ශාන්තිකර (Pacific) යනුවෙන් හතරකට බෙදා ඇත.

1883 ට පෙර වේලාව තීරණය කිරීම ආසන්න නගරයක් හෝ ටවුමක් අනුව සිද්ධ වූවකි. ඉර මුදුන් වේලාව මධ්‍යාහ්නය යැයි පැවසීම ඒ ඒ පළාත අනුව සිද්ධ වූවකි. මිචිගන් ප්‍රාන්තයේ පමණක් පළාත් අනුව දක්වන වේලාවන් 27 ක් විය. ඉන්දියෑනා ප්‍රාන්තයේ විවිධ වේලාවන් 23 ක් ද, විස්කොන්සින් හි 38 ක් ද විය.

එක එක නගර එක එක වේලාවන් දක්වන සිරිත ගැන කුමක් හෝ කළ යුතු යැයි 1860 දී මුලින්ම අදහසක් ගෙනහැර පා ඇත්තේ නිව්යෝර්ක් හි මහාචාර්ය Charles. F. Dowd නම් වූ සම-විදුහල්පතිවරයායි. එහෙත් ඔහු මුළු ලෝකයටම එවැන්නක් නිර්දේශ කළේ නැත.

1869 මැයි 10 වැනිදා මධ්‍යහ්නයේ ආණ්ඩුවේ නිලධාරීන්, රේල්පාරවල් හදන කම්කරුවන් සහ ඉංජිනේරුවන් යුනියන් පැසිෆික් සහ සෙන්ට්‍රල් පැසිෆික් රේල් මාර්ග යා කරන උත්සවයකට රත්තරන් කූඤ්ඤයක් තබන උත්සවයකට සහභාගී වූහ. ටෙලිග්‍රාෆ් මාර්ගයෙන් උත්සවය මුළු රටට එසැණින් දැන්වීමට පුවත්පත් 20 ක වාර්තාවකරුවන් ද රැස්ව සිටියහ. රේල් මාර්ග දෙක එකතු කරන්නට රිදී මිටියකින් රත්තරන් කූඤ්ඤයට ගැසීම මිනිත්තු 45 කින් ප්‍රමාද විය. Promontory Point හෙවත් එම ස්ථානයේ දී වේලාව 12:45 යැයි සඳහන් වුවත් පුවත්පත් වාර්තා වල, උදාහරණ වශයෙන් වොෂිංටන් ඩී.සී. හි පස්වරු 2:47 ලෙසත්, සැන් ෆ්‍රැන්සිස්කෝ හි උදේ 11:46 ලෙසත්, ඒ ඒ පළාත් හි වේලාවන් අනුව එය සිද්ධ වූ වේලාව සටහන් විය.

රේල්පාරවල් දෙක යා වී බිහිවන ට්‍රාන්ස්කොන්ටිනෙන්ටල් මාර්ගයේ සැතපුම් 53,000 තුල පිහිටි ටවුන් 8,000 ක් තම ටවුමේ වේලාව භාවිතය නිසා time keepers ලා මහත් අපහසුතාවයන්ට මුහුණ පාන්නට පටන් ගත්හ.

1869 දී චාල්ස් ඩවුඩ් රේල්ලුව සඳහා Railway Time ප්‍රමිතියක් ලියුවේය. 1878 දී Sanford Fleming නම් වූ ඉංජිනේරුවා Terrestrial Time යනුවෙන් කුඩා පොත් පිංචක් නිර්මාණය කළේය.

දුම්රිය සේවයෙන් මගීන් හා බඩු ප්‍රවාහනයේ දී මෙන්ම රස්සාවට එන දුම්රිය සේවකයන්ගේ පහසුව පිණිසත් සම්මත වේලාවන් රට තුල පැවතිය යුතු යැයි අනතුරුව යෝජනා කරන ලද්දේ William Fredrick Allen නැමැති දුම්රියසේවා ඉංජිනේරුවෙකි. ඔහු Official Guide to the Railways ලියුවේය.

1883 ඔක්තෝබරයේ දී ඇලන්ගේ සැලැස්ම රේල් මාර්ග නිලධාරීන්ගේ සමුළුවක දී පිළිගැනීමට පාත්‍ර විය. පුරවැසියන් තුලින් හටගත්තා වූ වෑයමකින් සම්මත වේලාව දක්වන කලාපයන් හතරකට බෙදා කාලය පිළිගැනීම එකිනෙකාගේ පහසුව පිණිස ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව සිද්ධ වූවකි. 1883 නොවැම්බර් 18 වැනි දා සිට රටේ හැම රේල් පාරකම එසේ වේලාව දැක්වීම පටන් ගැනීමට ඔවුන් සම්මත කර ගත්හ.

එතැන් පටන් ‘රේල්පාරේ වේලාව’ අනුව පළාතේ වේලාව කීම ඇමෙරිකාව පුරා මිනිසුන්ගේ හැදියාව බවට පත්වුණි. රටේ බහුතරය ඉතා ඉක්මණින් මේ නව වේලාව කියන ක්‍රමයට පිවිසෙද්දී ෆෙඩරල් ආණ්ඩුව සූර්යයාගේ ආධිපත්‍යයට එරෙහිව මිනිසා විසින් හදන ලදැයි කියා මේ වේලාවට අභියෝග කරන ලදි. 1883 දී සිට රටේ බහුතරයක් අනුගමනයට පටන් ගත්ත වේලාව පවසන මේ ක්‍රමය නිල ලෙසකින් සම්මත කරගන්නට කොංග්‍රසයට තවත් වසර 35 ක් ගතවිය. පුද්ගලික වෑයම් වලින් මිනිසුන් පවත්වාගෙන යන ලද්දට වොෂිංටනයේ කැමැත්ත ලැබෙන්නේ 1918 මාර්තු මාසයේ දී ය. එසේම ඔවුන් මිචිගන් සහ බටහිර ඔහායෝ පෙදෙස මධ්‍යම වේලාවෙන් ඉවත් කර නැගෙනහිර වේලාවේ තැබූහ.

ජාත්‍යන්තර වශයෙන් වේලාව ගැන සම්මුතියක් සඳහා International Meridian Conference පැවැත්වෙන්නේ 1884 අග දී ය. රටවල් 25 ක ආණ්ඩු නියෝජිතයන් ගෝලීය වශයෙන් සම්මත වේලාවක් පිළිගන්නට අවශ්‍ය බවට එකඟ වුවත් පටන් ගන්නා ප්‍රධාන මධ්‍යාහ්න රේඛාව (prime meridian) කොතැනක පිහිටිය යුතු ද යන්නට එකඟත්වය සම්මත කරගැනීම එදා දුෂ්කර වූවකි. බ්‍රිතාන්‍ය නාවුක බලය නිසා එය Greenwich Observatory තුලින් පටන් ගත යුතු යන්නට සෙසු රටවල වැඩි කැමැත්ත ලැබුණි. ඊ ළඟට නාවුක බලයක් තිබි ප්‍රංශයට එය පැරිසියේ තියා ගන්නට අවශ්‍ය වුවත් බ්‍රිතාන්‍යයන් හා ඇමෙරිකන්කාරයන් මෙට්‍රික් ක්‍රමයට යන්නේ නම් ග්‍රිනිච් වේලාව පිළිගන්නට කැමැති යැයි ප්‍රංශය කීහ. එහෙත් සමුළුව ග්‍රිනිච් වේලාව අනුමත කර මෙට්‍රික් කොන්දේසිය අත්හළහ. ප්‍රංශය 1911 තෙක් ප්‍රධාන මධ්‍යාහ්න රේඛාව පිළිනොගත්හ.

එකිනෙකාට යහපතක් ලැබෙන දෙපැත්තම දිනන ගණුදෙනු පහසුව පිණිස ගැටළුවක් ඇතැයි දකිද්දී එය පහසුවෙන් විසඳාගන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් විසිනි. ලෝක ආණ්ඩු යනු ඕනෑම ගැටළුවක් දේශපාලනීය කරමින් ඊට අනවශ්‍ය කාලයක් හා ධනයක් වැය කරමින් එක ගැටළුවක් විසඳන්නට කියා තවත් ගැටළු කන්දරාවක් බිහි කරන පද්ධතියකි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on නොවැම්බර් 5, 2013 at 12:09 පෙ.ව.

    හරි ලස්සන වැඩක් මෙහෙ වෙනවා.අර රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු පැමිනීමේ ක්‍රමය දැම්මට පස්සේ කට්ටිය හරි වෙලාව යනු මොකක්ද කියලා HR එකත් එක්ක රණ්ඩු.තමන්ගේ ඔරලෝසුවේ වෙලාව අර යන්තරේ වෙලාවට වැඩි නම් උදේට මොකුත් කියන්නේ නෑ.හවසට කතා කෝටියයි.

    • arunishapiro said, on නොවැම්බර් 6, 2013 at 8:36 පෙ.ව.

      magenama,

      🙂 නිෂ්පාදනයක නොයෙදී බිහිවෙන නිෂ්පාදන වලට බාධා පනවන රෙගුලාසිකරණයේ යෙදෙන නිසා ඔය වගේ දේවල් ගැන රණ්ඩු කරමින් ඉන්න ඔවුන්ට පුළුවන්.

  2. Pradeep Jayatunga said, on නොවැම්බර් 5, 2013 at 1:41 පෙ.ව.

    “රේල්පාරවල් දෙක යා වී බිහිවන ට්‍රාන්ස්කොන්ටිනෙන්ටල් මාර්ගයේ සැතපුම් 53,000 තුල පිහිටි ටවුන් 8,000 ක් තම ටවුමේ වේලාව භාවිතය නිසා time keepers ලා මහත් අපහසුතාවයන්ට මුහුණ පාන්නට පටන් ගත්හ.”
    In the past US railways had trouble with the towns/people keeping their own times. In SL people have trouble because the trains have their own times!

    • arunishapiro said, on නොවැම්බර් 6, 2013 at 8:51 පෙ.ව.

      Pradeep Jayatunga,

      ලංකාවේ ඇතුලත යන දුම්රිය විතරක් නෙමෙයි ලංකාවෙන් පිටට යන ගුවන් සේවය ද එවැනිමයි. Air Lanka වලට වැටිච්ච නම Always Late යැයි අහලා නැද්ද? ලංකාවේ ජනාධිපතිගේ පුත්‍ර රත්නයක් ඔහුගේ යෙහෙළියකට යුරෝපීය රටක් බලා යන ගුවන්යානයේ පිටත්වෙන වේලාව එන තෙක් ලංකාවට යන ගුවන්යානය මැද පෙරදිග ගුවන්තොටුපලක දී රඳවා ගෙන සිටිය හැටි ගැන අහලා නැද්ද? සමහරු කියයි ඉතින් එයාර් ලංකා ගුවන් සේවය ලංකාවේ රාජ්‍ය සේවයට අයිති නැහැනෙ කියල. 50% ක් ආණ්ඩුවට අයිති ශ්‍රී ලංකා ටෙලිකොම් ද රාජ්‍ය සේවාවක් විදියට නොදකින අයත් රටේ ඉන්නවානේ. මගේ යෙහෙළියක් කිව්වා අයෙක් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ රැකියාව කිරීම යනු එය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ රැකියාවක් නෙමෙයිලු. ඔය අවුල් ලිහාගන්න ඔයාලටම බාර කරන්නම්!!!!

  3. දේශක යා said, on නොවැම්බර් 5, 2013 at 7:24 පෙ.ව.

    පුදුමාකාර පුරස්න නේ ඇති වෙන්නේ… තොරතුරු ටිකනං පංතාදුයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: