අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් සිවිල් යුද්ධයේ බිරින්ඳෑවරුන් දෙදෙනෙක්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 7, 2013

IMG_9784

අල්ලපු ගමේ, එනම් බෙතනි බීච් හි සංස්කෘතික හා ඵෛතිහාසික කටයුතු කමිටුවේ දායකත්වයෙන් අපූරු දේශනයක් පසුගිය දිනෙක පැවැත්වුණි. ඒ “ජූලියා සහ මේරි: ජෙනරල් යුලිසීස් එස්. ග්‍රෑන්ට් සහ ජෙනරල් රොබට් ඊ. ලී ගේ භාර්යාවන්” යන මාතෘකාවෙනි. ඇතුල්වීම නොමිලේ වූ අතර තේ, කෝපි සහ රසකැවිලි සංග්‍රහයක් ද පැවැත්වුණි.

දේශකයා ඉතිහාසය මහාචාර්ය උපාධියක් ඇති සහ යුද හමුදාවේ 35 වසරක සේවයක් කරන ලද ටොම් රයන් නම් වූ ග්‍රන්ථ කර්තෘවරයෙක් සහ පුවත්පත් ලිපි සපයන්නෙකි.

පළමුවෙන්ම රොබට් ඊ. ලී ගේ භාර්යාව ලෙස සැරසී ගත් කාන්තාවක් මුලාසනයට පැමිණ ලී විසින් ඇයට එවන ලද ලිපියක් කියැවීය. ඊ ළඟට දේශකයා ඇය ගැන විස්තර අපට කියා දුන්නේය.

රොබට් ඊ. ලී සිවිල් යුද්ධයේ කොන්ෆෙඩරට් හමුදාව නොහොත් දකුණු හමුදාවේ හමුදාපතිවරයාය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් යුනියන් හමුදාවේ නෙහොත් උතුරු හමුදාවේ හමුදාපතිකමට ඒ වන විටත් ඔහුට ඇරයුම් කර තිබුණි. එහෙත් වර්ජීනියාව යුනියනයෙන් අයින් වෙන්නට තීරණය කිරීමත් සමඟ ලී දකුණේ හමුදාව සමඟ සටන් වදින්නට එකතු විය.

ජෝර්ජ් වොෂිංටන් විවාහ වූ මාර්තා නම් වැන්දඹුවට ජෝන් පාර්ක් කස්ටිස් නම් පුතෙක් සිටියේය. ජෝර්ජ් වොෂිංටන් මුනුපුරෙක් ලෙසින් හදාගත් මේ කස්ටිස්ගේ පුතාගේ නම් ජෝර්ජ් වොෂිංටන් පාර්ක් කස්ටිස්. ඔහුගේ දරුවන් අතර ජීවත් වන්නට වරම් ලද එකම දරුවා මේරි ඇනා කස්ටිස් වූවාය.

රොබට් ඊ. ලී නම් සොල්දාදුවා ඇයගේ ඥාති සහෝදරයෙකි. ළාබාල කාලයේ සිටම ඔවුන් එකිනෙකා හඳුනන අය වූහ. ඔවුන් දෙදෙනා සිවිල් යුද්ධයක් මැද දී එකිනෙකාට ලියූ ලිපි අද කියවන්නට* ලැබෙද්දී ඒ කාලයේ විකිලීක්ස් හෝ එඩ්වර්ඩ් ස්නෝඩන්ලා අවශ්‍යතාවයක් නොවුනේ මන්දැයි සිතාගත හැකියි. මේරි ලී රට දෙකට කඩනවාට අකමැති වූ අයෙකි. එහෙත් උතුරෙන් ආ ප්‍රචණ්ඩත්වයට (දකුණේ අය සිවිල් යුද්ධයට කියූ නම) ද අකමැති වූවාය. ඇය වහල් ක්‍රමයට ද අකමැති ඇය එසේම වහල් ක්‍රමය බලහත්කාරයෙන් අලෝපනය කරන අයට ද අකමැති වූවාය. ඇය Rheumatoid arthritis රෝගයෙන් පීඩා විඳි අයෙකි.

ඇය කුඩා කාලයේ සිට ජීවත් වූ අක්කර 1,100 ක ඉඩමක පිහිටි සුවිසල් නිවහන සිවිල් යුද්ධයේ දී උතුරේ ආණ්ඩුව යටතට පත්විය. වොෂිංටන් අගනුවර අසල ඇති එය ජාතික සූසාන භූමියක් සඳහා වෙන් වූයේ රොබට් ඊ. ලී ට ආපසු ඒමට නොහැකි වනු පිණිසයි. ඇය තැන් තැන්වල හිතවත් අය සමඟ වාසය කළාය. සිවිල් යුද්ධය අවසානයේ දී ආණ්ඩුවේ නිල තනතුරක් ප්‍රදානය වුව ද රොබට් ඊ. ලී එය භාර ගත්තේ නැත. වර්ජීනියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක සභාපති තනතුරක් බාරගත් රොබට් ඊ. ලී සමඟ මේරි ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් ලැබුණ නිල නිවහනේ ඉතිරි කාලය වාසය කළාය.

අද ආර්ලින්ටන් ජාතික සූසාන භූමිය නමින් හැඳින්වෙන මෙහි පැත්තක රොබට් ඊ. ලී අනුස්මරණය ලෙසින් ඔවුන් වාසය කළ ඒ නිවහන සංචාරකයන් වෙනුවෙන් විවෘත වූවකි.

මුල් දේශනය අවසානයේ දී අපේ ගම් පළාතේ වැසියන් අනතුරුව එකිනෙකා සමඟ තමන් සංචාරයේ දී දැකි ඒ නිවහනේ තොරතුරු සහ තවත් මේරි ගැන ඔවුන් කියැවූ තතු බෙදා ගත්හ.

IMG_9782සභාවට දුර්ලභ කොන්ෆෙඩරෙට් කොඩියක් ගෙනහැර පෑවේ දකුණේ හමුදා භටයෙක් මෙන් හැඳ පැළැඳගත් අයෙකි. සාමාන්‍යයෙන් තරු 13 ක් තියෙද්දී මෙහි තරු 15 ක් තිබීම නිසා එහි අද වටිනාකම ඩොලර් 75,000 පමණ වේ යැයි ඔහු කීවේය.

ඊ ළඟට සභාව ඉදිරියට පැමිණ ඇයගේ කතන්දරය අප හමුවේ තැබුවේ උතුරු හමුදා නායකයා වූ යුලිසීස් එස්. ග්‍රෑන්ට්ගේ බිරින්දෑ වූ ජූලියා ලෙසින් හැඳ පැළඳගත් කාන්තාවකි.

ජූලියාට උප්පතියෙන් වපර බවක් තිබිණ. ඒ නිසා ඇය සෑම ඡායාරූපයකටම පෙනී සිට ඇත්තේ මුහුණ පැත්තකට හරවා ගෙනයි.

ජූලියාගේ සහෝදරයෙක් සමඟ නිවහනට පැමිණෙන තරුණ ග්‍රෑන්ට් ඇය හා ආදරයෙන් වෙළී ඇයට කිහිප වරක්ම යෝජනා කළාට පසුව ඇය ඒ යෝජනාව පිළිගන්නීය. ඇයගේ පියා අකමැති වූයේ ඔහු වෘත්තියෙන් සොල්දාදුවෙකු වූ නිසා ආර්ථිකය වැඩි දියුණුවක් කර නොගන්නේය කියාය. ඔහුගේ පියා ද ඒ විවාහයට අකමැති වූයේ ඇයගේ පවුලේ අයට වහලුන් සිටි නිසාය.

ග්‍රෑන්ට් මත්පැනට ලොල් වීම ජුලියාගේ සිත් කරදරයට පත් කරන ලද්දකි. යුද හමුදාව පිටුපසින් ඇදෙන ගැල් කණ්ඩායම් සමඟින් යුද හමුදාවට ආහාර උයන, ඇඳුම් හෝදන යනාදීන්ට ඇය ද එකතු වූවාය. එසේම ඔහුව යවන ලද දුෂ්කර පළාත් හි කඳවුරු වාසයට ඇය ද එකතු වූවාය. කැලිෆෝර්නියාවට ඔහු පිටත් කර යැවූ විට දරුවන් ළාබාල නිසා එහි යන්නට ඇයට නොහැකි වුණි. ඇයගේ රැකවරණය නැති නිසා මත්පැනට යළිත් වැටෙන බව දැක ඔහු හමුදා සේවයෙන් අස් වී ගෙදර පැමිණියේය.

යුලිසීස් ග්‍රෑන්ට් ගොවිතැන් හෝ ව්‍යාපාර කරන්නට සමතෙක් නොවීය. ගොවිතැන් අසාර්ථක වී ව්‍යාපාරික ආයෝජන වලින් ද ඔහුට අලාභ විය. ගෙයින් ගෙයට දර විකුණා දවසේ වියදම සොයාගත්, අතේ බැඳි ඔරලෝසුව විකුණා නත්තලට දරුවන්ට තෑගි අරන් ගෙදර ගිය සමයක දී ඔහුව සිවිල් යුද්ධයට කැඳවන ලදි. මුළු යුද්ධය පැවති කාලය පුරාම තම සැමියාට පුළුවන් තරම් ළඟින් ඉන්නට ජූලියා වග බලා ගත්තාය.

IMG_9778යුලීසිස් ග්‍රෑන්ට් ඇමෙරිකාවේ ජනාධිපති වූවාම වැඩියෙන්ම සතුටු වී ඇත්තේ ජූලියාය. වයිට් හවුස් හි ගෙවූ කාලය තම ජීවිතයේ සතුටුම කාලය ලෙස සැමටම කියූ ඇය වසර අටකින් පසු එයින් පිට වී ගිය දා කඳුළු පෙරමින් හැඬූ බව කිසිවකුටත් වසන් නොකළාය.

ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යද්දී ඔවුනට ඉන්නට නිවහනක් නොතිබි නිසා විදේශ ඇරයුම් බාර ගනිමින් ඔවුන් ලොව පුරා සංචාරයේ ගියහ. ව්‍යාපාරික අවදානමක් යළිත් අසාර්ථක වූයෙන් ග්‍රෑන්ට් පවුලට සියළු වත්කම් අහිමි තත්වයක් යළි උදාවිය. තමන් පිළිකාවකින් පෙළෙන බව දැනගත් ග්‍රෑන්ට් තම භාර්යාවට ජීවත්වෙන්නට වත්කමක් උපයනු පිණිස මැරෙන්නට පෙර තම මතක සටහන්** ලියා තැබුවේය. එය මුද්‍රණය කර බිරින්ඳෑට මුදල් දුන්නේ ඔහුගේ හිතවතෙක් වූ සුප්‍රසිද්ධ ගත්කරු මාක් ට්වෙන් විසිනි.

ජූලියා ද තම මතක සටහන් ලියමින්*** එවැන්නක් කළ ප්‍රථම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව වූවත් එය පළ වෙන්නේ ඇය මියගොස් වසර 75 කට පසුවයි.

ග්‍රෑන්ට් වෙනුවෙන් නිව් යෝර්ක් නගරයේ ඉදිකර ඇති සොහොනේ ඔවුන් දෙදෙනාම මිහිදන් වුවත් එහි සඳහන් වන්නේ ඔහුගේ නම පමණි. මතක සටහන් ඇය අවසන් කරන්නේ “ඔහුගේ කීර්ති නාමයේ ආලෝකයෙන් මට රස්නය ලැබෙනු ඇතැයි,” කියමනකිනි.

අවසානයේ දී තමන් දන්නා තතු සභාවේ සිටියවුන් බෙදා ගත්හ. ජපානයේ සංචාරයට ගිය වයසක අයෙක් එහි රාජකීය උද්‍යානයක දී ජපන් එම්ප්‍රදෝරුවා සහ යුලිසීස් එස්. ග්‍රෑන්ට් පමණක් ගමන් කර ඇති අලංකාරයට හදන ලද කුඩා පාලමක් ඇතැයි ද එහි වෙනත් කිසිවෙකුට යෑමට අවසර නැතැයි කියා පුවරැවක් ගසා ඇතැයි ද අප හා කීවේය.

* Recollections and Letters of General Robert E. Lee (1904) සම්පාදනය කර ඇත්තේ කැප්ටන් රොබට් ඊ. ලී, ජූනියර් නම් වූ ඔහුගේ පුතා විසින්.

**Personal Memoirs of Ulysses S. Grant

*** The Personal Memoirs of Julia Dent Grant -Mrs. Ulysses S. Grant (1975)

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Pradeep Jayatunga said, on නොවැම්බර් 8, 2013 at 12:53 පෙ.ව.

    ඇය වහල් ක්‍රමයට ද අකමැති ඇය එසේම වහල් ක්‍රමය බලහත්කාරයෙන් අලෝපනය කරන අයට ද අකමැති වූවාය.
    There were quite a few like this right? Weren’t there states without slavery but fighting on the Confederate side against the central control represented by the Union? On a lighter note, have you read J.T. Edson westerns? He is very pro-south and has slaves fighting to protect their masters from the “liberating’ Yankees.
    BTW, I’m sorry for commenting on a Sinhala post in English. It just so happens that TYPING English characters is far easier. I (as Pra Jay) have taken a lot of flack in some other blogs for this crime. Hope you don’t mind.

    • arunishapiro said, on නොවැම්බර් 8, 2013 at 7:59 පෙ.ව.

      Pradeep Jayatunga,

      ඔව් මෙවැනි අය බොහොමයක් හිටියා. අද මම ජීවත්වෙන ඩෙලවෙයාර් ප්‍රාන්තය වහල් අය හිටිය ප්‍රාන්තයක් ඒත් යුනියනයෙන් අයින් නොවෙන්න එහි වැසියන් චන්දය ප්‍රකාශ කරපු ප්‍රාන්තයක්. මේක ව්‍යවස්ථාව අපරානුමතයේ දී මුලින්ම ඊට අත්සන් තැබූ ප්‍රාන්තය නිසා දැන් හැඳින්වෙන්නේ First State කියල. එදා ඩෙලවෙයාර් ආණ්ඩුකාරයා කිව්වාලු කවදා හරි යුනියනයෙන් අයින් වෙනවා නම් මේ ප්‍රාන්තය එයින් අයින් වෙන අවසාන ප්‍රාන්තය වෙයි කියලත්. ඉතින් මේ නිසා, ඩෙලවෙයාර් ප්‍රාන්තයේ වැසියන් දෙපැත්තේම සටන් වැදිලා තියෙනවා. පවුලක සහෝදරයන් එසේ දෙපැත්තේ සටන් වැදීම ගැන ඵෛතිහාසික තොරතුරු බොහොමයි.

      අනික් වැදගත්ම දේ තමයි ඩෙලවෙයාර් ප්‍රාන්තය කිසි දවසක නිල වශයෙන් වහල් ක්‍රමය අහෝසි කරලා නැතිවීම. එහෙත් වහලුන් අයිති වූ බහුතර වහල් හිමියන් කැමැත්තෙන්ම ඔවුන්ව නිදහස් කර යැව්ව බව. නිල වශයෙන් වහල් ක්‍රමය අවසන් වෙන්නේ 1865 දී.

      ඇමෙරිකාවේ තිබ්බ වහල් ක්‍රමය ගැන ලියූ ප්‍රබන්ධ සාක්ෂි හැටියට ඉදිරිපත් කරමින් කතා කරන බොහොමයක් අය අද ලෝකයේ පවතින සත්‍ය වහල් ක්‍රමය කුමක් දැයි දන්නේ නෑ. ඊ ළඟටThe Global Slavery Index 2013 ගැන පවා සිංහල පත්තර වල තතු පළවූවා දැයි සැකයි. ඒවා වෙනුවට සිංහලෙන් වැඩියෙන් කතා කරන්නේ ආහාර අධිරාජ්‍යවාදයක් ගැනයි. හරියට නවසීලන්තයේ අගමැතිට ඇත්තටම ලංකාවේ මිනිස්සු උදේට කන්නෙ මොනවාදැයි තීරණය කරන්න පුළුවන් වගේ මිථ්‍යා මත වෛද්‍යවරුන් වෙතින් පවා සමාජයට බෙදෙන කොට ඉතින් මිනිසාට හිතන්න හැකි මොළය කොහේට දාලා ද කියල තමයි අහන්න වෙන්නෙ?

      J. T. Edson ගෙ පොත් හොයාගෙන කියවන්න ඕනෑ. ස්තූතියි.

      ඔබ ඉංග්‍රීසියෙන් ලිව්වාට කමක් නැහැ, මම සිංහලෙන් උත්තර දුන්නාට කමක් නැත්නම්!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: