අරුණි ශපීරෝ‍ වෙතින්

ඩෙලවෙයාර් හි චිකන් ඕපන් හවුස්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 8, 2013

IMG_9918

මහා පරිමාණයෙන් කුකුලන් ඇති කරද්දී ඒ ස්ථානයට කොටුවක් කියලා නෙමෙයි කියන්නෙ ගෙයක් හෙවත් “චිකන් හවුස්” එකක් කියල. මේ කුකුල් ගෙය අළුතින් හදපු එකක්. ඒ නිසා අපේ පළාතේ වැසියන්ට එය නරඹන්න ආරාධනා කරල විවෘතව තිබුණ ඊයේ දවස පුරාම.

මහා පරිමාණ කුකුල් ව්‍යාපාරයේ යෙදෙන මේ පළාතේ කොම්පැණි වලින් එකක් තමයි පර්ඩ්‍යු කුකුල් ආහාර කොම්පැණිය. ඒක 1920 දී පටන් ගත්තෙ ගෙවත්තක කුකුල් කොටුවකින්. මෙවැනි පුද්ගලිකව කුකුල් නිවාස වලට අයිතිය කියන අය ඒ වගේ කොම්පැණියක් කියන විදියට කුකුලන් ඇතිදැඩි කරලා ඔවුන්ට තොගය පිටින්ම විකුණනවා. නිවාස හදාගෙන එහි ලයිට් වතුර බිල් ගෙවාගෙන, කුකුල් ආහාර සහ බෙහෙත් වලට යන වියදම් දරන්නේ කුකුලන් ඇති කරන අයයි.

IMG_9921කුකුල් නිවාසයට ඇතුල් වෙන තැන සපත්තු අඩිය හේදිලා යන්න විශබීජ නාශක දියර දාපු භාජනයක් තියෙනවා. ඇතුලට ආවම සපත්තු වැහෙන්න ආවරණයක් දාගන්නත් ඕනෑ. කුකුලන් ගෙනාවට පස්සෙ චිකන් හවුස් ඇතුලට යන්න පිටස්තරයන්ට අවසරයක් ලැබෙන්නෙ නැහැ.

ශීත සහ ග්‍රීෂ්ම ඍතු තියෙන නිසා මෙහෙ කුකුල් නිවාසයක් ඇතුලත උෂ්ණත්වය පාලනය කරන්න අවශ්‍යයයි. උණුසුම සපයන හීටර් වගේ ම ජනේල සහ විදුලි පංකා ද හයි කරලා තියෙන්නෙ ඕනෑම උෂ්ණත්වයකට මුහුණ දෙන්න හැකි විදියට. මිනිත්තුවක් ඇතුලත දී මේ නිවාසයේ ඇතුලත වායුව සම්පූර්ණයෙන් අයින් කරලා එය අළුත් වායුවෙන් පුරවන්න හැකියි.

වහලෙ එල්ලිලා බිමට පහත් වෙන ආහාර භාජන වලට ධාන්‍ය සැපයෙන්නේ යන්ත්‍රානුසාරයෙන්. කුකුලන් භාජනයේ ආහාර ඉවර කරද්දී එය ආපහු පිරෙන්න හදලා තියෙන්නෙ අතින් කරන්න අවශ්‍යතාවයක් නොවෙන විදියට.

IMG_9926 IMG_9944 IMG_9951 IMG_9953

ජලය සපයන ඒවට කියන්නෙ තනපුඩු කියල. 1935 දී පෙන්සිල්වේනියාවේ ඉංජිනේරුවෙක් ස්විට්ස්සර්ලන්ත සවාරියක දී දැක්ක යන්ත්‍රයක් අරන් ඇවිත් ඒකෙන් ලබාගත් අදහසක් අනුව කුකුල් කර්මාන්තය සඳහා දියුණු කරන ලද්දක් යැයි එතැන සිටි ඒවා විකුණන කොම්පැණියේ අයෙක් තමයි මා සමඟ කිව්වෙ. වතුර බිල් වලට යන වැයටත් වඩා කුකුල් සෞඛ්‍ය සඳහා කුකුල් නිවාසය ඇතුල තෙත ගතිය අඩුවෙන් තියාගන්න මෙයාකාරයෙන් වතුර සැපයීම ඉතා කාර්යක්ෂම වූවක්.

IMG_9942ඒ කොම්පැණියේ අයම හදනවා මැරෙන කුකුලන්ව ආදාහනය කරන උදුනකුත්. මේ නිවාසයට කුකුලන් තිස්දාහකටත් හතළිස්දාහකටත් අතර ප්‍රමාණයක් ගෙනැත් දැම්මම, එකෙක් මැරුණම අනික් කුකුල්ලු කුණට කොටලා කන නිසා අයින් කරලා දාන්නෙ එළිමහනක තියන එවැනි උදුනකට.

පළාතේ කුකුල් ගොවියන් සමහර අය ඊයේ ඇවිත් තිබුනෙ දාලා තියෙන අළුත්ම උපකරණ ගැන තොරතුරු ඒ කොම්පැණිවල නියෝජිතවරුන් වෙතින් අසා දැනගන්න.

චිකන් හවුස් එකට පැත්තකින් තිබ්බ පුංචි ගබඩා කාමරයක විසාල ඩීසල් ජෙනරේටයක් තිබ්බ. පළාතේ විදුලි බලය අහිමි වුවහොත් එය තමයි පාවිච්චියට ගැනෙන්නේ. හැම සතියකටම වරක් එය ටෙස්ට් කරලා බලනවාලු. ඇමෙරිකාවේ ඕනෑම සෙනඟක් එක්වෙන තැනක දී ආහාර සංග්‍රහයක් ද වරදින්නෙ නැහැ. බාබික්‍යු චිකන් එක්ක සෝඩා පාන රස බැලුව බොහොමයක් අය හිටිය.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. Pradeep Jayatunga said, on නොවැම්බර් 11, 2013 at 12:29 පෙ.ව.

    “ඒ කොම්පැණියේ අයම හදනවා මැරෙන කුකුලන්ව ආදාහනය කරන උදුනකුත්. මේ නිවාසයට කුකුලන් තිස්දාහකටත් හතළිස්දාහකටත් අතර ප්‍රමාණයක් ගෙනැත් දැම්මම”
    A large number of chicken die BEFORE slaughter?

    • arunishapiro said, on නොවැම්බර් 11, 2013 at 8:10 පෙ.ව.

      Pradeep Jayatunga,

      පුළුවන් තරම් අඩුවෙන් කුකුලන් මැරෙනවා නම් කුකුලන් ඇතිකරන ගොවියාට ලැබෙන ලාබය වැඩියි. ගොඩක් කුකුලෝ මැරෙන නිසාම නෙමෙයි එම උදුන අවශ්‍ය. ස්වභාවිකව මැරෙන කුකුලන් එකා දෙකා පවා ගොවිපොල අසල භූමියේ වළ දැමුවොත් වෙනත් වල් සත්තු ගොවිපල අසල වාසය පටන් ගැනීම නතර කරන්නත් එක්ක. සමහර අවස්ථාවල දී රෝගයක් වැළඳී කුකුලන් සෑහෙන සංඛ්‍යාවක් මිය යනවා නම් හෝ සමහර අවස්ථා වල දී ආහාර පිණිස යැවිය නොහැකි රෝගී බවක් ඇත්නම් මුළු නිවාසයේම කුකුලන් ද මරන්නට සිද්ධ වෙන නිසා. ඒත් දෙවැන්න වර්තමානයේ දී සිද්ධ වූ අවස්ථාවක් දැනට දැනගන්නට ලැබී නැහැ මොකද අද තාක්ෂණයෙන් රෝග ලක්ෂණ කළින් හඳුනා ගැනීමට ලැබීමත් ඒවාට නිපදවා ඇති බෙහෙත් වලින් ඔවුන් සුවකරගත හැකියාව ලැබෙන බැවින්. ගං වතුර ගැලීම සහ හිම කුණාටු වැනි ස්වභාවික ව්‍යසනයක දී වහල කඩා වැටිච්ච නිසා නම් මුළු චිකන් හවුස් එකේම කුකුලන්ව එවැනි උදුන් වලට යැවුන අවස්ථා ගැන ඉඳහිටෙක අහන්නට ලැබෙනවා.

  2. amalpasanna said, on නොවැම්බර් 12, 2013 at 1:38 පෙ.ව.

    “චිකන් හවුස්” එකේ කුකුල්ලු මරන්නෙ යන්ත්‍රයකින්ද? අතින්ද?
    (විහිලු නෙවේ දන්නෙ නැති හින්දයි ඇහුවෙ)

    • arunishapiro said, on නොවැම්බර් 12, 2013 at 10:14 පෙ.ව.

      amalpasanna,

      චිකන් හවුස් එකේ දී කුකුල්ලු මරන්නේ නැහැ. ඒ සඳහා යන්ත්‍රානුසාරයෙන් ලක්ෂ ගණනක් එක වැඩ මුරයක දී මරන වෙනම කම්හල් වලට පිටත් කර හරිනවා.

      • amalpasanna said, on නොවැම්බර් 13, 2013 at 1:15 පෙ.ව.

        මෙහේ කුකුල්ලු වගාව කරාම හරියන්නෙ නෑ පවුල් පිටින් විනාස වෙලා යනව කියුවට එහෙම උන කෙනෙකුත් නෑ වැඩිම ඉල්ලුම චිකන් වලට තමයි!

        • arunishapiro said, on නොවැම්බර් 13, 2013 at 4:58 ප.ව.

          amalpasanna,

          චීනය, ඉන්දියාව ඇතුළු දුප්පත් යැයි සැලකුණ රටවල් ආර්ථිකව නැඟී එද්දී කුකුල් මස් සඳහා ඉල්ලුම එන්න එන්නම වැඩිවේ යැයි ඒ කර්මාන්තයේ යෙදෙන අය දකිනවා. ලංකාවේ කුකුල් ගොවිතැන් කරපු මම දන්න අය ඇමෙරිකාවේ ආයෝජනය කරන්න තරම් ධනවත් වුනා මිසක් පවුල් පිටින් විනාස වෙලා ගියේ නැහැ.

  3. amalpasanna said, on නොවැම්බර් 14, 2013 at 3:09 පෙ.ව.

    ඉස්සන් වැවීම පවක්ලු කියල ඉස්සන් කොටු කාරයටත් බඩේ පාර ගහන්න හදනව.

    • arunishapiro said, on නොවැම්බර් 14, 2013 at 9:10 පෙ.ව.

      amalpasanna,

      පව් තමයි. ඉස්සන් හැදුවත්, කුකුලන් හැදුවත් උන් හදන්නෙ මස් වලට නම් පව් තමයි. ඒක වෙනම කතාවක්. පවක් කියලා මිනිස්සුන්ට කන්න දෙන්න රස්සාවක නියැළීමට බඩේ පාර ගහන්න හැදීම වෙනම කතාවක්.

      • amalpasanna said, on නොවැම්බර් 15, 2013 at 3:21 පෙ.ව.

        බුදු දහම අනූම පව් කිරීම වැරැද්දක් හැටිටයි කියන්නෙ. එතකොට බුදු දහම 100% ජීවිතය සමග එකට ගෙනියන එක ප්‍රායොගික නැද්ද?

        • arunishapiro said, on නොවැම්බර් 15, 2013 at 7:14 පෙ.ව.

          amalpasanna,

          බුදු දහමෙ විතරක් නෙමෙයි හින්දු දහම සහ අනෙකුත් අවිහිංසාවාදී ආගම් බොහොමයක සතුන් මැරීම පවක්. මිනිසා ජීවත්වෙන පමණින් microbes නොහොත් microorganisms වලට හානියක් සිද්ධ වීමේ දී එය පවක් ද? බොරු කීම, නුදුන් දෙය ගැනීම, සම්ප්‍රපලාපයෙන් කාලය ගෙවීම යනාදී පව් සිද්ධ වෙන ආකාර කොච්චරක් ද? ඒ වගේ ම ක්‍රිස්තියානි ආගම් වල අයහපත් සිතුවිලි පවා පව් කියලා සැලකෙනවා.

          යම් ආගමක් 100% ජීවිතය සමඟ එකට ගෙනියන එක ප්‍රායෝගික නැද්ද යන්න තීරණය කළ යුත්තේ එය අදහන තැනැත්තා.

          • amalpasanna said, on නොවැම්බර් 15, 2013 at 9:14 පෙ.ව.

            යම් ආගමක් 100% ජීවිතය සමඟ එකට ගෙනියන එක ප්‍රායෝගික නැද්ද යන්න තීරණය කළ යුත්තේ එය අදහන තැනැත්තා.
            100% ඒකඟයි.
            බැක්ටීරියාත් microbes නොහොත් microorganisms ජීවීන් ගනයට නේද වැටෙන්නෙ?
            උත්තරය ඔව් නම් ඉතිං බැක්ටීරියා ආසාදනයකට බෙහෙත් ගැනීමක් පවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: