අරුණි ශපීරෝ‍ වෙතින්

අව්‍යාජ ඇමෙරිකන් ක්‍රීඩාවක් වූ ෆුට්බෝල්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 12, 2013

football-game-1916-granger

ෆුට්බෝල් ගැන සටහන් කිහිපයක් දැනටමත් මම ලියා තිබුණත් ඇමෙරිකාවේ අන්තර් විශ්ව විද්‍යාලීය ෆුට්බෝල් ගැන ලියා නැත්තෙමි. ෆුට්බෝල් තරඟයක දී පිලක් ජයග්‍රහණය ලබන්නේ ඒකීය ක්‍රීඩකයන් තම තමන් සතු විශිෂ්ඨ දස්කම් පෙන්වමින් ඒ සමඟින් එකිනෙකා හා සහයෝගයෙන් ක්‍රීඩා කිරීමෙනි. එය නිදහස් වෙළඳපොලක ක්‍රියාකාරීත්වය මැනවින් දක්වන්නකි.

සීමා බාධක නොමැතිව ෆුට්බෝල් පිටියේ එක කොනක සිට අනෙක් කොන දක්වා දිව යමින් ජයග්‍රහණයක් ලබත හැකියාව යනු ස්වාධීන ප්‍රාන්ත 50 ක් තිබුණ ද ඒවා අතර වෙළඳ ගණුදෙනු හා සංචාරයට බාධක නොමැති බව පිළිබිඹු කරන ඇමෙරිකාවට ආවේනික ලක්ෂණකි. එසේම දක්ෂ ක්‍රීඩකයන්ට හැල්මේ දුවන අයව නතර කරන්නට පුළුවන. එයින් දක්ෂයන්ට පවා බාධක වලට මුහුණ දීමට සිද්ධ වෙන බව මතක් කරදෙයි.

විශ්ව විද්‍යාල මට්ටමින් සෙල්ලම් කරන ක්‍රීඩකයන් සියල්ලන්ටම ක්‍රීඩා ශිෂ්‍යත්ව හිමි නොවේ. එහෙත් දක්ෂකම් පාන්නට සමත් වෙන්නාට වෘත්තීය මට්ටමෙන් ඉහළ ආදායම් ලැබිය හැකියි. අවාසනාවන්ත ලෙසින් සදහටම ආබාධිතයෙක් වන්නට හෝ සමහර විට මරණයට පත්වන්නට ද ඉඩ තිබීම විදහා පාන්නේ වෘත්තීය මට්ටමෙන් ඉහළ වේතන වලට (NFL Salaries) හිමිකම් කියන්නට නම් දැඩි අවදානම් ගතයුතු බවයි.

විශ්ව විද්‍යාල මට්ටමෙන් ෆුට්බෝල් ක්‍රීඩා කරන ලද ඇමෙරිකන් ජනාධිපතිවරු හැටියට වෙස්ට් පොයින්ට් හි ඩ්වයිට් අයිසන්හවර්, මිචිගන් විශ්ව විද්‍යාලයේ හි ජෙරල්ඩ් ෆෝඩ්, සහ යුරේකා කොලෙජ් හි රොනල්ඩ් රේගන් ඉතිහාසගත වෙති. එහෙත් ෆුට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ඨතම සේවයක් කරන ලද්දේ එහි ක්‍රීඩකයෙක් නොවූ එහෙත් දැඩි ෆුට්බෝල් ක්‍රීඩා ලෝලයෙක් වූ තියඩෝර් (ටෙඩී) රූසවෙල්ට් විසිනි.

ටෙඩී රූසවෙල්ට් කුඩා කාලයේ දී ඇදුම රෝගයෙන් පීඩා වින්ඳේය. ඔහු සුව කරන්නට ගත් කිසිදු වෑයමක් හරි නොයද්දී අවසානයේ දෙමව්පියන් තීරණය කළේ ඔහු දිනපතා ව්‍යයාම් කරමින් ඇදුමෙන් ගැලවිය යුතු බවයි. වැඩිහිටියෙක් වෙද්දී එයින් මිදෙන්නට ඔහුට හැකියාව ලැබුණි. ශාරීරික ව්‍යායාම් වලට කැපවීමෙන් කටයුතු කළ නිසා ළාබාල වියේ කෙඩෑරී කොල්ලා වෙනුවට ගැටවර වියේ දී හේ දේහකායෙන් පිරි වූවෙක් බවට විපර්යාස වී තිබිණ.

හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දී ඔහු එහි ෆුට්බෝල් ක්‍රීඩා තරඟ නරඹන්නට ගියේය. රූසවෙල්ට් ජනාධිපති වෙද්දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ෆුට්බෝල් ක්‍රීඩාව තහනම් කරන්නට උත්සාහයක් ගත්තේ එහි සභාපති වූ චාල්ස් ඩබ්ලිව්. එලියට් විසිනි.

ෆුට්බෝල් යනු එකිනෙකා සමඟ ගැටන ක්‍රීඩාවකි. සිරුරේ ප්‍රමාණය, ශක්තිය (strength) සහ පෙන්විය හැකි ශාරීරික බලය (power) අනුව එහි දක්ෂතා ඉස්මතු වෙන්නකි. ටෙඩී රූසවෙල්ට් 1876 දී නරඹන්නට ගිය තරඟයේ ක්‍රීඩකයන් හෙල්මට් පැළඳ ගත්තේ නැත. මුහුණු හෝ උරහිස් ආරක්ෂා කරන ආවරණ ඔවුනට නොවීය. එකිනෙකා සමඟ තරඟයේ පොර බදින විට තරඟ විනිශ්චයකරුවන්ට නොපෙනෙන ලෙසින් ඇතුලත ගුටි ගසා ගැනීම් බහුල ලෙසින් සිද්ධ විය. එදා මරණ සිදුවූයේ හදිසි අනතුරැ නිසා නොව තරඟයේ ප්‍රචණ්ඩකාරී ස්වභාවය නිසාම විය. ඒ ඒ තරඟය පටන් ගන්නට පෙර එදින පිළිපැදිය යුතු නීති රීති අනුමත කරගැනීම කණ්ඩායම් දෙකේ අනුමැතිය අනුව සිද්ධ වුණි.

ඇමෙරිකන් ෆුට්බෝල් හි පියා ලෙසින් විරුදාවලිය ලත් වෝල්ටර් කෑම්ප් යනු යෙල් කොලෙජ් හි ක්‍රීඩකයෙක් සහ එහි පුහුණුකරුවෙක් ද විය. ඔහු අනතුරුව ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පුහුණුකරුවෙක් ලෙසින් පත් වී ගියේය.

ෆුට්බෝල් ක්‍රීඩාව තරඟකාරී ලෙසින් පවත්වා ගන්නට කැමති කෑම්ප්ගේ සහායට එන්නේ ටෙඩී රූසවෙල්ට්. 1905 දී ෆුට්බෝල් අහෝසියට හාවඩ් හි එලියට් පුවත්පත් වලට ලියමින් ජනතා ව්‍යාපාරයක් ගෙන යද්දී, රූසවෙල්ට් වයිට් හවුස් එකට කැඳවූයේ හාවඩ් සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයන්හි පුහුණුකරුවන් සමඟ යෙල් හි වෝල්ටර් කෑම්ප්වයි. එවක දී රටේ විශිෂ්ඨතම ෆුට්බෝල් කණ්ඩායම් තුන හැටියට ඒවා සැලකුණි.

හාවඩ් හි පුහුණුකරුවා වූ තරුණ බිල් රීඩ් ප්‍රමුඛත්වය ගෙන ජනාධිපති ටෙඩී රූසවෙල්ට් ක්‍රීඩාව දක්වන ප්‍රසාදය ගැන පැහැදී ෆුට්බෝල් ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට වර්තමානයේ දී අප NCAA නමින් හඳුන්වන ජාතික විශ්ව විද්‍යාලීය ක්‍රීඩා සංවිධානය පිහිටුවා ගති.

1913 නොවැම්බර් 1 වැනිදා වර්තමානයේ අප දකින ෆුට්බෝල් හි ආරම්භය සේ සැලකේ.

ජාතික කුසලානයට හිමිකම් කියන්නට එදා සැවොම දත් සුදුස්සා යැයි සැලකුණු යුද හමුදා පිලට එරෙහිව තරඟ කළේ කිසිවෙක් වැඩිය දැන නොසිටි නොට්‍ර ඩේම් නම් කතෝලික පුද්ගලික විශ්ව විද්‍යාල පිලයි. එදා තරඟය නැරඹූ අය අතර වෙස්ට් පොයින්ට් හි කැඩෙට් වූ ඩ්වයිට් අයිසන්හවර් ද සිටියේය. එතෙක් කාලයක් ෆුට්බෝල් වල දී බෝලය රැගෙන දිවීම සහ බෝලයට පයින් ගැසීම සිද්ධ විය. එදින ඔවුන් එදින කතිකා කරගත් නීතිය වූයේ බෝලය ඉදිරියට විසි කිරීමට නොහොත් forward pass හැකියාවයි. එදා සැවොම දත් දක්ෂ පිල වූ යුද හමුදා පිල පරදවා නොට්‍ර ඩේම් ජයගත්තේ (35-14) ඩ්වයිට් අයිසන්හවර් ද මවිත කරවමිනි. නරඹන්නන්ගේ සිත් කුලමත් කරන ලද එදා තරඟයේ නීති NCAA තරඟ නීති බවට හැරවුණි.

ඇමෙරිකන් යනු තමන් විසින් තමන්ව ආණ්ඩු කරගන්නා ජනතාවකි. ප්‍රචණ්ඩත්වය වැඩි යැයි කියමින් ෆුට්බෝල් ක්‍රීඩාව මැඬලන්නට නැවතත් කසුකුසු රටේ තැන තැන පටන් ගෙන ඇත. තහනම් නීති ගෙනැවිත් කිසිවක නියැළෙන්නට ඉඩ නොදීමෙන් මිනිසා ආරක්ෂා කරගත හැකි යැයි සිතන අය ෆුට්බෝල් ක්‍රීඩාව අනතුරුදායක නිසාම එය අව්‍යාජ ලෙසකින් ඇමෙරිකන් චරිතය ගොඩ නඟන්නක් බව නොදකිති.

ලංකාවෙන් පැමිණි දෙදෙනෙක්ව වරක් මම ටෙනසි විශ්ව විද්‍යාලයේ ෆුට්බෝල් තරඟයක් නරඹන්නට කැඳවා ගෙන ගියෙමි. ලක්ෂයකට අධික ජන සංඛ්‍යාවක් රැස්වී මහත් උද්‍යෝගයකින් හා දැඩි සුහදත්වයකින් ප්‍රීති ඝෝෂා කරන තරඟයක් නැරඹීම අතිශයින්ම සිත උද්දාමයට පත් කරන්නකි. හැබැයි ඊටත් වඩා මගේ අමුත්තන් පුදුම වූයේ තරඟය නිමා වී මිනිත්තු 15 ක් ඇතුලත කිසිම වාහන තදබදයක් නැතිව අපි ආපහු නිවහනට පැමිණීම ගැනයි!!!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Sameera Nadugala said, on නොවැම්බර් 12, 2013 at 10:06 පෙ.ව.

    ( හැබැයි ඊටත් වඩා මගේ අමුත්තන් පුදුම වූයේ තරඟය නිමා වී මිනිත්තු 15 ක් ඇතුලත කිසිම වාහන තදබදයක් නැතිව අපි ආපහු නිවහනට පැමිණීම ගැනයි!!!!!! )
    හරිම කනගාටුයි ඒ ගොල්ල සෙල්ලන් කරන්ඩ දන්නේ නෑ ….. !! මං එහෙම පිටින්ම ඇමරිකන් කාරයෝ ගැන කල් කිරුනා …..

    ඔය අගේ කරන්නැතුව ඉස්සර ෆුට් බෝල ගහපු විදිහේ තව පොටෝ ටිකක් දාන්න බැරිද ? බේතකට වගේ එක පොටෝ එකක් දාලා ….

      • amalpasanna said, on නොවැම්බර් 13, 2013 at 1:30 පෙ.ව.

        මම ඇමෙරිකන් ෆුට්බෝල් වල නීති දන්නෙ නැති නිසා බැලුවට කිසිම ගතියක් නෑ.
        මේ vintage කියන එකේ තේරුම පරණ කියන එකද? මදුර ඩික් එකෙන් එන්නෙ මිදි නෙලන කාලය කියල.

        • arunishapiro said, on නොවැම්බර් 13, 2013 at 5:07 ප.ව.

          amalpasanna,

          වින්ටෙජ් කියන වචනයට ඇති තේරුම් වලින් පළමුවැන්න ලෙසට සැලකෙන්නේ අස්වැනු කාලයක දී නෙලා ගන්න ලැබෙන මිදි ප්‍රමාණය හෝ ලහදාගන්න ලැබෙන වයින් ප්‍රමාණය. ඉතින් වින්ටෙජ් අහද්දී වයින් බෝතලය හදපු ස්ථානය (උදාහරණයක් හැටියට නාපා මිටියාවතේ) සහ අවුරුද්ද (1990) යනාදියත් සැලකෙනවා. පරණ සහ යල්පැන ගිය යන අදහසත් එහිම අර්ථයක් තමයි. බොහෝවිට පරණ නිසා වැඩියෙන් අගයක් ඇතැයි කියනා අදහසක් එයට ලැබෙනවා.

          ෆුට්බෝල් රීති ගැන “ඉතාමත් කෙටියෙන් කිව්වොත්:
          තරඟයක් කාර්තු 4 ක් තුල පැවැත්වෙන්නෙ. එක කාර්තුවක් මිනිත්තු 15 ක්. කාර්තු 2 කට පස්සෙ විවේක කාලයක් ලැබෙනවා. මිනිත්තු 60 ක් තරඟයට යනවා කිව්වට, විවේක කාලයට පෙර බාගයට හා පසු බාගයට පිල් දෙකටම ‘ටයිම් අවුට්’ නොහොත් පුංචි විරාම තුනක් බැගින් ලැබෙනවා. ඒ වගේම රූපවාහිනී දැන්වීම් විරාම සහ පිටියේ ක්‍රීඩකයකු ලබන තුවාල නිසා විරාමත් ලැබෙනවා. ඉතින් තරඟය මිනිත්තු 60 ක් නෙමේ පැය 3 ක් යන්න පුළුවන්.

          නියමිත මිනිත්තු 60 තරඟ කළාට පස්සෙ, වැඩියෙන් ලකුණු තියන පිලට ජය. දෙපැත්තටම එකම ලකුණු නම් තවත් මිනිත්තු 15 ක් අතිරේක වශයෙන් එකතු කරනවා. මෙතැන දී ඉස්සර වෙලාම ලකුණු ගන්න පිලට ජය.

          ක්‍රීඩකයෝ ආක්‍රමණිකයෝ, ආරක්ෂකයෝ හා විශේෂ කණ්ඩායම් යනුවෙන් කොටස් 3 ක් ඉන්නවා. එක පිලක ක්‍රීඩක සංඛ්‍යාව 100 ක් පමණ!

          ආක්‍රමණිකයෝ කියන්නෙ බෝලය කාසියේ වාසිය අනුව ලැබිලා ප්‍රතිවාදී අන්තයට රැගෙන යන අය. කුවාටර්බැක් කියන්නෙ පිලේ බෝලය හසුරුවන නායකයා. ඔහුට බෝලය පාස් කරන්නෙ සෙන්ටර්. අනිත් පැත්තෙ අයව ආම්බාම් කරන්න ඉන්නෙ ඔෆෙන්සිව් ලයින්මන්. බැරල් වගේ ඉන්නෙ එයාල. ක්වාටර්බැක් පිටිපස්සෙ හෝ සමාන්තරව ඉන්නෙ රනින් බැක්. එයාට බෝලය අරන් දුවන්න පුළුවන්. වයිඩ් රිසිවර්ස් කියන්නෙ බෝලය පාස් කරාම දුවන අය. ඉතින් පිටියේ පේලියට හිටගන්න කොට එක පිලක ක්‍රීඩකයෝ 11 ක් ඉන්න ඕන.

          ප්‍රතිවාදී අන්තයට බෝලය අරන් ගියාම ලකුණු 6 ක්. ලකුණු 6 ලැබුණට පස්සෙ පයින් පහර දීලා කණු දෙක අතරින් බෝලය යවාගත්තම ලකුණක්. ලකුණු 6 ගන්න බැහැ, ඒත් ළඟට ගිහින් නම් කණු දෙක අතරින් බෝලය යවාගත්තොත් ලකුණු 3 ක්. සේෆ්ටි කියලා ලකුණු 2 ක් ගන්න පුළුවන් බෝලය නැති කණ්ඩායමට අනිත් කණ්ඩායමේ බෝලය ඇති අයකුව එයාලගේ අන්තයේ දී අල්ල ගත්තාම. ලකුණු හයක් ගත්තාට පස්සෙ කණු දෙක අතරින් නොයවා ආයෙත් අන්තයටම ගියොත් එක ලකුණක් වෙනුවට ලකුණු 2 ක් ගන්නත් පුළුවන්.

          ආරක්ෂක පිලේ කාර්ය අනිත් අයට බෝලය ඉදිරියට ගෙන යාමට ඉඩ නොදීම. වාර හතරක් ඉඩ දෙනවා. ඒ වාර හතරේ දී යාර 10 ක් බෝලය ඉදිරියට ගෙනි යන්න ඕන. යාර 10 ක් ඉදිරියට ගියාම, තව වාර හතරක් ලැබෙනවා තවත් යාර 10 ක් යන්න. ඉදිරියට යා ගන්න බැරි නම් එයාල බෝලය අනිත් පිලට දෙන්න පයින් ගහලා හැකි තරම් ඈතට යවනවා.

          එහෙම පයින් ගහලා ඈතට යවන, කණු දෙක අතරින් යවන, ඒ එන බෝල අරන් දුවන, දිවීම හා කණු අතරින් බෝලය යැවීම නතර කරන්න ඉන්න කණ්ඩායම් තමයි විශේෂ කණ්ඩායම් හැටියට හැඳින්වෙන්නෙ.”


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )