අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජ සේවයට මාර්ගයක් පාදා ගත් බයිසිකල් ශූරයා ගයි ඊස්ට්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 15, 2013

1077941_10153026187300191_937018058_n

ගයි ඊස්ට් මගේ ඥාති පුත්‍රයෙකි. ඔහු බයිසිකල් ශූරයෙකි. සැතපුම් පනහක් සියයක් අතර දුරක දිනපතා පාහේ බයිසිකලය පදිමින් බයිසිකල් ශූරයෙක් වීමට හේ පුහුණු විය. ඇමෙරිකාවේ යෞවන තරඟ වලින් ජයග්‍රහණ ලබන ඔහුට යෞවන ජාතික කණ්ඩයාමේ සාමාජිකත්වය ලැබිණ. ඔහුව නැඟී එන ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන්නට පටන් ගැනිණ.

යුරෝපයේ යෞවන බයිසිකල් සවාරි තරඟයන්ට සහභාගී වන්නට ඒ නිසා ගයි ඊස්ට් වරම් ලැබීය. බෙල්ජියමේ ඔහු ගෙවූ කාලය ගැන Daniel Lee ලියූ The Belgian Hammer; Forging Young Americans into Professional Cyclists (2011) පොතේ සටහන් වෙයි.

මාර්ග තරඟ වලට පමණක් නොව මැඩිසන් බයිසිකල් රේස් සඳහා ද හේ සහභාගී වූයේය. ඒ ප්‍රංශ සවාරිය සහ ඔලිම්පික් උළෙල යනාදියට සුදුසුකම් ලබනු පිණිස ලකුණු රුස් කරගන්නටයි. පුහුණුවේ නොනවත්වා යෙදුන ගයි ඊස්ට් බෙල්ජියම, ජර්මනිය හා ලක්ස්ම්බර්ග් වැනි යුරෝපීය රටවල් වල තරඟයේ යෙදී සිටිය දී පිලිපීන සවාරියට සහභාගී වූ ඇමෙරිකන් කණ්ඩායම සමඟ පුහුණුවට එකතු විය. පුහුණුවට යන මහමඟ දී දුප්පත් දරුවන් වතුර බෝතල් ඉල්ලා පින්සෙන්ඩු වීම නිසා ඔහුගේ සිත කැළඹුණි. මෙක්සිකෝ සවාරියක දී ද ඔහු මහමඟ දුප්පත්කමෙන් පීඩිතව ඉන්නා අසරණයන් දැක්කේය. ඒ අස්සේ ඔලිම්පික් තරඟ වල රීති වෙනස් විය. මැඩිසන් තරඟ ලකුණු තව දුරටත් එකතු නොවීමෙන් ලකුණු තත්වය හිටිහැටියේ අඩු විය. මාර්ග තරඟ වල දී සුප්‍රකට ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතය ගැන විස්තර පැතිර යාමත් සමඟ තරුණයා තවත් ආකුල විය.

සාර්ථකත්වය කුමක් දැයි කියා විමසන්නට මේ තරුණයා පටන් ගති.

අයින් රූන්ඩ් ලියූ ඇට්ලස් හැකිළුණි කියවන්නට මේ තරුණයා පටන් ගති.

දැඩි ඇල්මක් තිබුණු බයිසිකලය පැදීම ඔහුගේ රස්සාවයි. යන යන තැන ආරාධිතයෙක් ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වීම ඔහු නිති කැපවීමෙන් අයත් කරගෙන තිබුණු සමාජ මට්ටමයි. මාසයකට ඩොලර් හතළිස් දාහක් පමණ ආදායමක් උපයමින් සිටි තරුණයාට එහෙත් ජීවිතයේ යම් අඩුවක් දැනිණ. ඔහු වෘත්තීය බයිසිකල් තරඟ වලින් ඉවත් විය. ඉන්දියෑනා ප්‍රාන්තයේ නිවාස වලින් බැහැරව ජීවත්වන අයට සේවා සපයන සංවිධානයක ස්වේච්ඡා සේවය කළේය. එහෙත් එය මදි යැයි ඔහුට සිතිණ. සන්තක සියළු බඩු භාණ්ඩ විකුණා දැමූ ඔහු මෙක්සිකෝවට ගුවනින් ගොස් එහි සිට නොයෙක් සුළු රස්සාවන් කරමින් දකුණු ඇමෙරිකාවේ අන්තිම අගිස්සේ පිහිටා ඇති චිලේ රටට අයත් පැටගෝනියාව දක්වා ගියේය.

ක්‍රිස්තියානි සේවා සංවිධානයක් සමඟ පැටගෝනියාවේ ගිනි කන්දකින් පිටවූ අළු පිරිසිදු කරන ස්වේච්ඡා කටයුත්තක ඔහු නිරත විය. යන යන තැන සමරුවක් ගන්නට යුරෝපීය තරුණියන් පොර කෑ කාලය අවසන් වී ඇති බව ඔහු දැක්කේය. ඔහු කළ හපන්කම් මොනවාදැයි නොදත් අය සමඟ ජීවත්වෙමින් වැසිකිලි බිම හේදීමේ පවා ඔහු නිරත විය. බයිබලය හැදෑරීය. අල්පේච්ඡතා දිවියකින් මහජන සේවය සඳහා ජීවිතයේ ඉතිරි කොටස කැප කරන්නට ඉටා ගති.

එහෙත් ඇඟේ නළියන ආශාවක් වූ බයිසිකල් තරඟ සිතේ යටපත් කරන්නට ගයිට නොහැකි විය.

දුප්පත් වැසියන් වෙනුවෙන් ගෙවල් හදා දෙන ක්‍රිස්තියානි සංවිධානයක් සමඟ එකතු වී බයිසිකල් පදිනවා වෙනුවට සිය කායික ශක්තිය එයට වෙහෙසීය. එයින් දැඩි සතුටක් ලැබුවත් බයිසිකලය පැදීමෙන් හා තරඟයක දී දැනෙන ප්‍රමෝදය නොමැතිකම ඔහුගේ සතුටට අවශ්‍ය ලොකු අඩුවක් බව ඔහුට ඒත්තු ගියේය.

බයිසිකල් තරඟයේ යෙදෙමින්, ඒ ජයග්‍රහණයන් තුලින් ලබන කීර්තිය ප්‍රයෝජනයට ගෙන දුප්පතුන්ට සහනයක් සපයන්නට හැකිදැයි සෙවීමට උවමනාවක් ඔහුට පහළ විණ. බයිසිකල් ක්‍රීඩකයන් පමණක් නොව ඕනෑම ක්‍රීඩකයෙක් සහාය කරගෙන දුප්පතුන්ට නිවාස හදා තෑගි කරන වෑයමට එකතු කරගන්නට ඔහුගේ ජනප්‍රියත්වය ඔහු යොදා ගත්තේය.

අනුන් යටතේ බයිසිකල් පැදීමෙන් ඉවත් වුවහොත් ඔවුන් කියන නීති හා රෙගුලාසි අනුව කටයුතු කරන්නට අවශ්‍ය නොවන බව දැක ගයි කළේ තමන්ටම කියා පුද්ගලික වූ අකෘතියක් ගොඩනැඟීමයි. ඔහු දිනපතා ලියුම් ලියා යවමින් ඇමෙරිකන් කොම්පැණි වලින් ඉල්ලා සිටියේ තමන්ට පුද්ගලික අනුග්‍රහය ලබාදෙන්නට කියායි. තම පරමාර්ථය බයිසිකල් තරඟයකින් කෙසේ හෝ ජයගැනීම නොව විශිෂ්ඨ මට්ටමක උත්සාහයෙන් ක්‍රීඩා කිරීම පමණක් බවත්, තම කීර්තිය යොදවා ලාභ උපයන්නේ නැති ස්වේච්ඡා සංවිධානයක් මඟින් දුප්පතුන්ට නිවාස ඉදිකිරීමේ යෙදෙන බවත් හේ ඔවුනට දැන්වීය. විසල් කොම්පැණි හා රාජ්‍ය අනුග්‍රහය ඇති බයිසිකල් කණ්ඩායම් ලොව පවතිද්දී ඔහු ගත්තේ අවදානමකි. ඔහුට අනුග්‍රහය දක්වන්නට විවිධ කොම්පැණි ක්‍රමයෙන් එකතු වූහ.

මෙම වසරේ දී ඔහුගේ විවාහයට ආරාධනා ලැබූවන් සති අන්තයේ එකතු වී දුප්පත් පවුලකට නිවහනක් හදා තෑගි කළහ.

ලෝකයේ දරීද්‍රතාවය තුරන් කරන්නට නම් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අයෙකුගෙන් උදුරා තවකෙකුට දෙන ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි බහුතර යෞවනයන් සිතන කාලයක ඉතා සාර්ථක ලෙසකින් දුප්පතුන් වෙනුවෙන් කැමැත්තෙන් පරිත්‍යාග කරන්නට කැමති අය ඒකරාශී කිරීම ගයි ගේ වෑයමයි.

සෑම වසරක දී ම තමා අයින් රෑන්ඩ්ගේ ඇට්ලස් හැකිළුණි පොත නැවත වරක් කියවන බව ගයි කියයි.

2013 මෙක්සිකෝ බයිසිකල් සවාරියේ එක් අදියරක් ඔහු දිනාගති. එහෙත් මාර්ග තරඟ වලට වඩා වෙලඩ්‍රෝම් නමින් හැඳින්වෙන ගොඩනැඟිල්ලක් ඇතුලත පවත්වන මැඩිසන් නොහොත් දින හයේ බයිසිකල් තරඟ වලට දැන් ඔහුගේ හිත තදින් ඇදී ගිහින් තිබේ. පසුගිය දිනෙක නෙදර්ලන්තයේ දී අවසන් වූ දින හයේ බයිසිකල් තරඟයේ ඩර්නි තරඟය ඔහු දිනාගත්තේය. මැඩිසන් නමින් හැඳින්වෙන දින හයේ බයිසිකල් තරඟ මුලින් ම පටන් ගෙන ඇත්තේ ඇමෙරිකාවේ මැඩිසන් ස්කුවෙයාර් ගාඩ්න්ස් හි දී ය. එහෙත් වර්තමානයේ දී මැඩිසන් තරඟ ඉතා ජනප්‍රිය යුරෝපයේයි. නිව්යෝර්ක් හි මැඩිසන් ස්කුවෙයාර් ගාඩ්න්ස් මෑතක සිට ප්‍රතිසංස්කරණය වී අවසන් වෙමින් පවතියි. ඇමෙරිකාව තුල මැඩිසන් තරඟ යළි ජනප්‍රිය කිරීම ඔහුගේ තවත් අභිප්‍රායයකි.

තමන් විසින් තරඟයේ යෙදිය යුත්තේ මන්දැයි ජයග්‍රාහී ලෙසින් තෝරා බේරාගන්නට සමත් වූ ගයි ඊස්ට් පුතාට සදා ජයවේවා!

building-a-home-in-Mexico-Guy-East

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. magenama said, on නොවැම්බර් 18, 2013 at 2:29 පෙ.ව.

    ඒබ්‍රහම් මැස්ලෝගේ මිනිස් අවශ්‍යතා ධූරාවලිය මතක් කරවන කතාවක්.තරගය ඇතුලේ තමන්ගේ මූලික,ආරක්ෂක,සමාජ අවශ්‍යතා ඉ‍ටුකරගත් නිසා එතනින් එහාට ගිහින් තමන්ගේ හිතේ තියෙන සිහිනයන් සැබෑකර ගැනීමේ වෑයමට පණ දීලා තියෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: